දේවාවරෝහණය
කඨින චීවර පූජාව ආරම්භවීමට අමතරව වප් පුර පසළොස්වක පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් කිහිපයකි. ඉන් පළමුවැන්න නම් සත් වැනි වස් කාලය තව්තිසා දිව්‍ය ලෝකයෙහි ගත කළ බුදුරදුන් සංකස්ස නගර ද්වාරයට වැඩම කිරීම යි. එදා මහා පිරිසක් සංකස්ස නගර ද්වාරයට එක්රැස් වූ හ.
දිව්‍ය බ්‍රහ්ම සමූහයා ගේ පංචතූර්ය වාදනයන් හා සාධු නද මධ්‍යයේ අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස නගර ද්වාරයට බුදුරදුන් වැඩම කළ කල්හි ඒ අසිරිය දුටු සියල්ලෝ ම බුදුවන්නට ප්‍රාර්ථනා කළහ. මෙම පූජෝත්සවය “දේවාවරෝහණ” නම් විය. මෙය දැකීමෙනුත්, බුදුරදුන් හා සැරියුත් මාහිමියන් අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙනුත් අපමණ ප්‍රසාදයට පත් මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ සසුනෙහි පැවිදි බවට පත්වූයේ ද වප් පොහොය දිනෙක ය.
දූත චාරිකාවක්
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ නියමයෙන් දේවානම්පියතිස්ස රජුගේ සංදේශයත්, තුටු පඬුරුත් රැගෙන ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් දඹදිව පැළලුප්නුවර සිටි ධර්මාශෝක අධිරාජයා වෙත පිටත්කොට හැරියේත් වප් පොහොය දිනෙක ය. සඟමිත් තෙරණිය සිරිලකට වැඩම කරවා ගෙන ලක්දිව පැවිද්ද බලාපොරොත්තුවෙන් සිටි අනුලා දේවිය ප්‍රමුඛ කුල කතුන් සසුන්ගත කරවීම එම දූත චාරිකාවෙහි අභිප්‍රාය විය.