Labels

Showing posts with label ඊර්ෂ්‍යාව. Show all posts
Showing posts with label ඊර්ෂ්‍යාව. Show all posts

Thursday, November 24, 2016

අනෙකාගේ ජයග්‍රහණය දරාගැනීමේ නොහැකියාව ඊර්ෂ්‍යාවයි

අනෙකාගේ ජයග්‍රහණය, අනෙකාගේ සාර්ථකත්වය දරාගැනීම හෙවත් උහුළාගැනීම අපට තිබෙන නොහැකියාව ඊර්ෂ්‍යාව යන චෛතසිකය බව අප අවබෝධ කරගත යුතුයි. ද්වේෂය, පටිඝය, තරහව යන ගැටෙන සුළු මානසික තත්ත්වය ඊර්ෂ්‍යාව තුළ සැඟවී ඇත. සෝමනස්ස සහගත සිතක් තුළ ඊර්ෂ්‍යාව හට නොගන්නා අතර එය ද්වේෂ මුලික සිතක් තුළ ගොඩනැගෙයි. ඊර්ෂ්‍යාව විසින් අප තුළ අලුත් චෛතසික ධර්මයන් උපදවනු ලබයි. අනෙකාගේ සම්පත් අනෙකාගේ දියුණුව නොඉවසන්න පටන්ගැනීම තුළ අස්ථානයේ විචිකිච්ජාව නමැති චෛතසික තත්වයන් ඇති වේ.

Thursday, August 27, 2015

අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කිරීමේ විපාක

 

ධම්මපදට්ඨකතාවෙන්

උදේනි රාජ්‍යයෙහි විසූ චණ්ඩපජ්ජෝත නම් රජු සියලු ධන සම්පතින් ආඪ්‍ය රජෙකි. දිනක් තම වැසියන් අමතා, තමා තරම් ඉසුරුමතකු මෙම රාජ්‍යයෙහි තවත් නොමැති බවට පුරසාරම් දෙඩීය. එවිට වැසියන් කීවේ, ඔබගේ මේ සම්පත් කුමක්ද? උදේනි නම් රජු මහා ඉසුරුමතකු බවයි. චණ්ඩපජ්ජෝත රජු ඒ පිළිබඳ තෘෂ්ණාව උපදවා ඒ සියල්ල අත්පත් කර ගන්නට යෝජනා කළේ ය. එවිට වැසියන් කීවේ එය කෙසේවත් කළ නොහැකි බවත් උදේනි රජුට ඇතුන් අල්වා ගන්නා සහ පලවා හරින්නා වූ හස්තිකාන්ත වීණාවක් ඇති බවත් ය. එබැවින් බොහෝ ඇතුන්ගෙන් පිරි ඔහුගේ රාජ්‍යය ආක්‍රමණය කිරීම ඉතා අපහසු කාර්යයක් වන බව රටවැසියෝ රජුට පැහැදිලි කළහ.

Tuesday, July 7, 2015

අඳුරෙන් අඳුරට ඇද දමන ඊර්ෂ්‍යාව

මිනිස් සිත තුළ හටගන්නා එක්දහස් පන්සීයක් තරම් වූ කෙලෙස් සතුරන් අතුරින් ‘ඉස්සා’ නැත්නම් ඊර්ෂ්‍යාව කියලා කියන්නේ ඉතා භයානක කෙලෙස් සතුරෙක්. ඒ විතරක් නොවෙයි මෙලොව පරලොව අපට මහා පරිහානියක් උරුම කරලා දෙනවා. සංසාරෙම අඳුරෙන් අඳුරට අපව තල්ලුකර දමනවා. අනුන්ගේ සැප සම්පත්වලට, යානවාහන, ඉඩකඩම්, කීර්ති ප්‍රශංසා තනතුරු ආදියට අකැමැති බව ඒවා නො ඉවසන ගතියට තමයි ‘ ඊර්ෂ්‍යාව‘ කියලා කියන්නේ.
ඊර්ෂ්‍යා කරන කිසිම කෙනෙක් කියන්නේ නැහැ තමන් අනුන්ට ඊර්ෂ්‍යා කරනවය කියලා. එයා කියන්නේ “ මං කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ වුණාට මිනිස්සු මට ඊර්ෂ්‍යා කරනවනේ” කියලයි. තමුන්ගේ සිතේ තියන ඊර්ෂ්‍යාව තමුන්ට පෙනෙන්නේ නැහැ. ඊර්ෂ්‍යා කරන කෙනාට කිසිම දෙයක් නැහැ. හැබැයි සිතේ සැනසිල්ල නම් අහිමි වෙලා යනවා. ඉතා බිහිසුනු ප්‍රතිවිපාක කිහිපයක් එයා වෙත ළඟා වෙනවාය කියලා අංගුත්තර නිකායේ ‘කෝධන සූත්‍රයේදී’ බුදුන් වහන්සේ වදාළ සේක.
පිරිසක් ඉන්නවා අනුන්ගේ ලස්සනට ඊර්ෂ්‍යා කරනවා. එහි ප්‍රතිඵලය නිසා ලේ ධාතුව අපිරිසුදු වෙලා. එන්න එන්නම ඒ ඇත්තෝ දුර්වර්ණ වෙනවා. කැත වෙනවා, තවත් සමහරු අනෙකාගේ සැනසිල්ලට, ඊර්ෂ්‍යා කරනවා. එහෙම කරන එකේ ප්‍රතිවිපාක විදිහට තමුන් ළඟ යම් සැනසිල්ලක් තිබුණද ඒක අහිමි වෙලා යනවා. හරියකට නින්දවත් යන්නේ නැහැ. ඇයි ඒ සිත ‘ඊර්ෂ්‍යාවෙන්’ පිරිලා නිසා. ඒ වගේම යමෙක් අනුන්ගේ ඉගෙනීමට ඊර්ෂ්‍යා කළොත් වෙන්නේ තමන්ගේ නැණ නුවණ පිරිහිලා යන එකයි. ඇතැම් දෙනා අනෙකාගේ වස්තුවට ඊර්ෂ්‍යා කරනවා. එහි ප්‍රතිවිපාක විදියට තමා සන්තකව යම් වස්තුවක් තියනවද ඒක නොසිතූ විදියට විනාශ වෙලා යනවා. අනුන්ගේ කීර්ති ප්‍රශංසාවලට පරිවාර සම්පත්තියට ඊර්ෂ්‍යා කළාම තමන්ගේ කීර්ති ප්‍රශංසාවලටයි හානි සිද්ධ වෙන්නේ. තමන්ගේ පරිවාර සම්පත්තියයි පිරිහිලා යන්නේ” ය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා.අනුන්ට එල්ල කරන ඊර්ෂ්‍යාව දෙගුණ තෙගුණ වෙලා ආපහු තමා වෙතට එනවා. එහෙම ඇවිල්ලා මෙලොව වශයෙන් මහා පරිහානියකට අපව ඇඳ දමනවා. ඒ විතරක් ද සිතෙන්, කයෙන්, වචනයෙන් ගොඩාක් අකුසල් කරගෙන ඒ ඇත්තෝ මරණෙන් මත්තේ සතර අපායේ උපදින බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ.
බුදුරජාණන් වහන්සේ මජ්ඣිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී වදාළා. “ ඇතැම් අය අනුන්ගේ ( පරලාභ සත්කාර ) ලාභ සත්කාරවලට ( ඉස්සති ) ඊර්ෂ්‍යා කරනවා..( ඉස්සං බන්‍ධති ) ඊර්ෂ්‍යාවෙන් බැඳෙනවා. එහෙම ඊර්ෂ්‍යා කරලා අකුසල් කරගන අපාය දුර්ගති විනිපාත නිරයේ උපදිනවාය කීවා. එහෙම අපායකට නොගිහින් යළි මිනිසත් බවක් ලැබුවත් අර ඊර්ෂ්‍යා කිරීමේ විපාක විදියට අල්පේශාක්‍ය ජීවිතයි ලැබෙන්නේ. ඒ නිසා මේකේ ආදීනව හොඳට හඳුන ගන්න ඕන. අපේ සිතෙත් ඊර්ෂ්‍යාවක් හටගන්න බැරිද? පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඒකට වර්ධනය වෙන්න දෙන්න හොඳ නෑ. ඒක අනුවණකමක් හටගත්ත ගමන් ඒක හඳුනගන්න ඕන.
ඒ විතරක් නොවෙයි. ‘ඊර්ෂ්‍යාවට’ ප්‍රතිපක්‍ෂ ගුණාංගය වන ‘මුදිතාව‘ එයා සිත තුළ පුරුදු කරනවා. මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සැපත සතුටේදී අනුන්ගේ ජයග්‍රහණයේදි තමනුත් සතුටු වෙන එකටයි.අනුන්ගේ දියුණුවේදී පෙරළා සතුටු වෙන්න. ඒක කොයිතරම් වටිනවද මුදිතාව පුරුදු කරන සිතක ඊර්ෂ්‍යාවට ඉඩක් නෑ. ඊර්ෂ්‍යාව පෑලදොරෙන් පිටවී යනවා. ඒත් සැබෑවටම අනෙකාගේ දියුණුවේදී සතුටු වන මුදිතා සිත් ඇත්තෝ මේ ලෝකයේ ගොඩාක් දුර්ලභයි. ඔබත් උත්සාහ ගත යුතු වන්නේ ඒ දුර්ලභ අය අතර කෙනෙක් වෙන්නටයි. එහෙම වුණොත් ඔබේ ජීවිතය තුළ සතුට දෝරේ ගලාවී. ඒ විතරක් නොවෙයි මුදිතා සිත නිසාම පරලොවත් ඔබට ලොකු රැකවරණයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ‘චුල්ලකම්ම විභංග සූත්‍රයේදී’ වදාළා ‘ මේ ලෝකයේ ඇතැම් අය ඉන්නවා අනුන්ගේ ලාභ සත්කාරවලට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මුදිතා ගුණය පුරුදු කරනවා. අනුන්ගේ දියුණුවේදී සතුටු වෙනවා. එහෙම ඇත්තෝ මරණින් මත්තේ ස්වර්ග ලෝකයට යනවාය කියා. ස්වර්ග ලෝකවලට නොයා යළි මිනිසත් බවක් ලැබුවොත් අනුන්ට ඊර්ෂ්‍යා නොකරපු එකේ ප්‍රතිඵලයක් විදියට එයාට මහේශාක්‍ය ජීවිත ලැබෙනවාය කීවා”

ඊර්ෂ්‍යාව වෙනුවට ‘මුදිතා සිත’ පුරුදු කොට ඉන් මෙලොව සැනසිල්ල ලබන්න. පරලොව සැනසිල්ල ලබන්න කෙළවර උතුම් නිවනින් සැනසිල්ල ලැබීම පිණිසමත් ඔබ සැමට මෙම දහම් කරුණු හේතු වේවා!

 රාජකීය – පණ්ඩිත ශාස්ත්‍රපති
රාජසිංහගම තිලකධම්ම හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ නොවැම්බර් 17 වන ඉරිදා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි