මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Showing posts with label අති පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමියන්. Show all posts
Showing posts with label අති පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමියන්. Show all posts
Saturday, September 19, 2015
Tuesday, September 8, 2015
Monday, August 31, 2015
අසත්පුරුෂ කරුණු බැහැර කරමු
පාපී ආශාවන්ට ගොදුරු වෙනවා කිව්වම ඒවායේ ලාමක ආස්වාදයක් තියෙනවා. පාප මිත්‍ර ඇසුරේ ලාමක ආස්වාදයක් තියෙනවා. අවබෝධ වුණා කියලා එන මුළාවේ ලාමක ආස්වාදයත් තියෙනවා. ඒකයි ඒවට
යට වෙන්නේ. නමුත් අප තේරුම් ගත්තොත් මේවා අසත්පුරුෂ ධර්මයන් කියලා අපට ඒවයින් ගැලවෙන්ට පුළුවන්කම තියෙනවා. අසුනොවී ඉන්ට පුළුවන්කම තියෙනවා. අසු වුණොත් ගැලවෙනවා කියන කාරණාව නෙවේ අප තේරුම් ගන්ට ඕනෑ. ඒවාට අහු වුණොත් ගැලවෙන්න බැරි වෙන්න පුළුවන්
Tuesday, August 25, 2015
බුදු වදන පිළිගත් අය තුළ දුබල සිතුම් - පැතුම් නෑ
ධර්මය කෙරෙහි විශ්වාසයට එන්න බැරි ඇතැම් අය දේශනා කියවනවා. අන් අයට කියලත් දෙනවා. නමුත් ඒ අය කල්පනා කරනවා ‘ කොහොම ද සමාධිය ඇති කර ගන්නේ ‘කියලා . එයා කල්පනා කරනවා ‘කොහොම ද සම්මා දිට්ඨිය ඇති කර ගන්නේ ‘ කියලා. ඊළඟට යථාභූත ඤාණය ඇති කරගන්නෙ කොහොමද කියලා. මේ පංචඋපාදානස්කන්ධය අවබෝධ කරන්නේ කොහොම ද කියලා මොකක් ද මේ පංච උපාදානස්කන්ධය ? මේ රූපය මොකක් ද? කිය කියා ඉතින් හොයනවා. “ මොකක් ද කළ යුත්තේ “ කියන කරුණාව ගැන බොහෝ දෙනකුට තේරුමක් නැහැ. අඳුරේ අත පත ගානවා.
Friday, August 14, 2015
ඉන්ද්‍රිය සංවරය ඇති කර ගනිමු
විශේෂයෙන් “ඉන්ද්‍රිය සංවර” සකසා ගන්න. සම්පජඤ්ඤය හොඳින් හදා ගන්න. ඒවා බාහිර කාටත් පේන්නෙ නෑ. ඒවා තමන් තනියෙන් හුරු කර ගන්න. ඒ විදියට ඉන්ද්‍රිය සංවරයත්, සම්පජඤ්ඤයත් හුරු කර ගත් කෙනාගෙ සීලයට හානි වෙන්නෙ නෑ. සීලය රකින එක එයාට පහසුයි. එයාට වාඩි වෙලා භාවනා කරනවිට පහසුවක් තියෙයි.
Thursday, August 13, 2015
ඉවසීමෙන් භාවනාව හුරු කර ගනිමු
ආධුනික කෙනෙක් විදියට භාවනාව පුරුදු වෙන කෙනාගේ සිතේ කළබල ගතියක් ඇතිවෙන්නට පුළුවන්. එහෙම වන්නේ ආධුනික බව නිසා. අපි ඒ කළබල ස්වභාවය බැහැර කරගන්නට කල්පනා නොකළොත්, අපිට ආධුනික බවෙන් මිදෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ආරම්භයේදී ම, භාවනාව පුරුදු වෙන කෙනෙක් සිතේ කළබල ස්වභාවයක් ඇති කර නොගෙන, සිත සංසුන්ව පවත්වාගන්නට පුරුදු වෙන්නට ඕන. ඒ වගේ ම කයත් සැහැල්ලුවෙන් පවත්වාගන්නට පුරුදු වෙන්නට ඕන. ගොඩක් අය කයත් සැහැල්ලුවෙන් තියාගන්නේ නෑ, සිත සැහැල්ලුවෙන් තියාගන්නෙත් නෑ. ඒ නිසා ම තමයි කළබල බවක් ඇති වෙන්නේ. එයාට භාවනා අරමුණ පවත්වගන්නට අමාරු වෙනවා. ඒ භාවනාව හොඳින් දියුණු කරගන්නට එයාට අමාරුයි. එතකොට භාවනාව කරදරයක් විදියට තමයි එයාට තේරෙන්නෙ. ටික දවසකින් එයා භාවනා කිරීම අතහැරල දානවා.
Sunday, August 2, 2015
මරණානුස්සතිය
අපි නිතර පුරුදු කළ යුතු භාවනාවක් විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන “ මරණ සතිය, “මේ ධර්මයෙන් යම් ප්‍රයෝජනයක්, පිහිටක්, පිළිසරණක් ලබා ගන්න කැමැති කෙනකුට ඒ සඳහා හොඳ අවස්ථාවක් උදා කර ගන්න හොඳින්ම පුළුවන්කම තිබෙනවා මරණ සතිය පුරුදු කර ගැනීමෙන්.
මරණය ඉදිරියේ ඔබ...?
පින්වතුනි අපේ ජීවිත ටිකෙන් ටික ටිකෙන් ටික ජරාව කරාම යනවා. ඒ වගේම ටිකෙන් ටික ටිකෙන් ටික මරණයට ළංවෙනවා.ලෝක සත්වයා ජරාවට පත් වීම ඉදිරියේ කම්පාවට පත් වෙනවා.
හඬනවා, වැළපෙනවා, ශෝකකරනවා, මරණය ඉදිරියේත් හැඬීම, වැළපීම, ශෝක කිරීම, කම්පා වීම තමයි තියෙන්නේ. ඒ මහත් වූ කම්පාව උපදවන, මහත් වූ ශෝකය උපදවන, ඉතාමත් ම කර්කශ වූ දුක් උපදවන, ඒ ජරා මරණවලින් නිදහස්වන මග කියාදීම පිණිස යි. මේ ලෝකයට බුදුවරු පහළ වන්නේ. උන්වහන්සේලා ඒ ජරා මරණවලින් නිදහස් වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා. අන්න එතකොට පිනැති දෙවියන්ටත්, මිනිසුන්ටත් ජරා මරණ ඉදිරියේ කම්පා නොවන, තැති නොගන්නා ජීවිත ඇතිකරගන්ට භාග්‍ය උදාවෙනවා. ඒ භාග්‍ය, ගෞතම බුදු සසුන ජීවමානව පවතින යුගයක උපන් අප සියලු දෙනාට ම දැන් උදාවී තිබෙන්නෙ.
පින්වතුනි, ජරා මරණය ඉදිරියේ කම්පාවට පත්වන, ශෝක කරන සත්වයන්හට පිළිසරණ ලබා ගැනීමට බුදු සසුනක හැර වෙනත් තැනක අවකාශ සැලසෙන්නේ නෑ. ඒ නිසා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දෙව් මිනිසුන් ගේ යහපත උදෙසා, දෙව් මිනිසුන් ගේ සැපත උදෙසා මහා කරුණාවෙන් පිහිටුවා වදාළ ඒ සම්බුදු සසුනේ පිහිට, පිළිසරණ යාන්තමින් හෝ ඇති කරගැනීම පිණිස ඔබ අපි කවුරුත් මහත් වූ කැමැත්තක් උපදචා ගෙන ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට කටයුතු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් ඔබ අපි කාටත් ජරාව ඉදිරියේ අසරණ භාවයට පත්වන්නට සිදුවීම හැර, මරණය ඉදිරියේ අසරණ භාවයට පත්වන්නට සිදුවීම හැර වෙන දෙයක් සිදුවන්නේ නෑ.
පින්වතුනි, දවසක් බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්ට ජාණුස්සෝණි කියල බ්‍රාහ්මණයෙක් පැමිණියා. ඒ වෙලාවේ දී ඒ බ්‍රාහ්මණයා, බුදු රජාණන් වහන්සේට වන්දනා කරල පැත්තකින් වාඩි වෙලා ප්‍රකාශ කළා, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම මෙන්න මේ වගේ අදහසකින් යුක්ත කෙනෙක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මරණයට පත් වන ස්වභාවයෙන් යුතුව සිටිමින් යමෙක් මරණයට බිය නොවෙයි නම්, තැතිගැනීමට පත් නොවෙයි නම් එවැන්නෙක් නැත. මෙන්න මෙබඳු අදහසකින් මම යුක්ත යි කියා සිටියා.
ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ, හරි ලස්සනට මරණයට පත් වන ස්වභාවයෙන් යුතුව සිටිමින් මරණය ඉදිරියේ බිය වන කෙනාගේ ස්වභාවයත්, මරණයට පත් වන ස්වභාවයෙන් යුතුව සිටිිමින් මරණය ඉදිරියේ බිය නොවන කෙනාගේ ස්වභාවයත් ඒ බ්‍රාහ්මණයට කියලා දෙනවා. පින්වත් බ්‍රාහ්මණය, ඒක එහෙම නො වෙයි. මේ ලෝකයේ සමහර අය ඉන්නවා ඒ අය ඒ මැරුන ස්වභාවය තියාගෙන ම මරණය ඉදිරියේ භයෙන් තැති ගැනීමෙන් තමයි වාසය කරන්නේ. ඒ වගේ ම තමයි පින්වත් බ්‍රාහ්මණය, මේ ලෝකයේ සමහර අය ඉන්නවා මැරුන ස්වභාවයෙන් යුක්තයි. හැබැයි ඒ අය මරණය ඉදිරියේ කම්පා වෙන්නේ නෑ. බිය වෙන්නෙ නෑත තැති ගන්නේ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ කියා සිටියා.
මින් වඩා හොඳ කුමක්ද? දැන් අපි තුළ මැරුන ස්වභාවය තියෙනව ද නැද්ද? තියෙනවා. ඒ මැරුන ස්වභාවය තිබෙද් දී ම භයෙන් ඉදීම ද හොඳ, කම්පාවෙන් ඉඳීම ද හොඳ, තැතිගැනීමෙන් ඉඳීම ද හොඳ, එහෙම නැත්නම් ඒ මැරුන ස්වභාවය තියාගෙන කම්පා නො වී, මරණයට භය නොවී, මරණය ඉදිරියේ දුක ඇති කරගන්නේ නැතිව වාසය කිරීම ද හොඳ? ඒ මැරුණ ස්වභාවය තිබියදී බිය තැති ගැනීම් නැතුව ඉන්න තමයි අපි කැමැති විය යුත්තේ නුවණ තියෙන සියලු දෙනා ම කැමති විය යුත්තේ ඒ ශෝක කරන, තැතිගන්නා වු තත්ත්වයෙන් නිදහස් වෙන්න යි.
ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයට කියා දෙනවා, පින්වත් බ්‍රාහ්මණය, මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා, ඒ අය කාමයන් කෙරෙහි මහත් වූ ඇල්මෙන් වාසය කරන්නේ. කාමයන් කෙරෙහි ඇල්ම දුරු කරල නැහැ. කාමයන්ට ගිජු වෙලා ඉන්නේ. කාමයන් මත්තේ ම ජීවිතය පුදාගෙන ඉන්නෙ. ඒ විදිහට කාමයන්ට ම ගිජුවෙලා, කාමයන් පතමින්, කාමයන්ට ම ජීවිතේ පුදමින් ඉන්න, අන්න ඒ වගේ කෙනෙකුට ලොකු අසනීපයක් හැදෙනවා. අන්න එතකොට ඒ කෙනා භය වෙනවා, තැතිගන්නවා, ක්ලාන්තය දානවා. එයාට කල්පනා වෙනවා. අහෝ... මගේ මේ වස්තුව මට දාලා යන්ට යි වෙන්නේ. ඍම මේ පරිහරණය කරන බඩු මුට්ටු මට දාලා යන්න වෙනවා කියල. එයා බියට, තැති ගැනීමට පත්වෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා. එහෙම නම් මේ ඇසට පෙනෙන පි‍්‍රය මනාප රූප, කනට ඇසෙන පි‍්‍රය මනාප ශබ්ද, නාසයට දැනෙන පි‍්‍රය මනාප ගඳ සුවඳ, දිවට දැනෙන පි‍්‍රය මනාප රස කයට දැනෙන පි‍්‍රය මනාප පහස, කියන මෙන්න මේවා කෙරෙහි අපි සිතෙන් වසඟ වෙලා නම් ඉන්නෙ, ජරා මරණ ඉදිරියේ අපි කම්පා වෙනවා. භය වෙනවා, ක්ලාන්තය දානවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට කියා දෙනවා පින්වත් බ්‍රාහ්මණය තව පිරිසක් ඉන්නවා. ඒ අය තමන් ගේ ශරීරය කෙරෙහි ආශාව දුරු කරල නැහැ. කුමක් කෙරෙහි ද ආශාව දුරු කර නැත්තේ? ශරීරය කෙරෙහි . එහෙම කෙනෙකුටත් තදබල අසනීපයක් හට ගන්නවා. ඇඳට වැටෙනවා. එතකොට එයාට ‘මට මේ පි‍්‍රය මනාප ශරීරය අහිමි වෙන්න යි යන්නේ කියල කල්පනා වෙනවා. එහිදීත් එයා භයට, තැති ගැනීමට පත්වෙනවා. ඇයි? එයා ඒ ශරීරයට ආසයි. පි‍්‍රය යි. මහත් වූ ආශාවෙන් එයා ඒකට බැඳිල ඉන්නෙ. දැන් ඒ ශරීරය තමයි ලෙඩ වෙන්නේ. එතකොට එයා භය වෙන්නේ ඒ ශරීරය මට දාලා යන්න වෙයි කියල යි.
ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් බ්‍රාහ්මණය, මේ ලෝකයේ තවත් පිරිසක් ඉන්නවා. මේ අය අකුසල් කරනවා. හොඳ දේවල් කරන්නේ නෑ. පව් කරනවා. ලාමක දේවල් කරනවා. ලාමක දේවල් ම තමයි කියන්නෙත්. තමාටත් අනුන්ටත් යහපත ඇති නො කරන දේවල් කරනවා. අන්න හෙම ඉන්න කෙනාට යම් දවසක අසනීපයක් ඇති වෙන කොට, තදබල රෝගාබාධයක් ඇති වෙන කොට, එයාටත් භය ඇතිවෙනවා. ක්ලාන්තය දානවා. තැතිගන්නවා. භීිතියට පත් වෙනවා. ඇයි එයා භීතියට පත් වෙන්නේ? එයා භීතියට පත් වෙන්නේ, මං පිං කළේ නෑ. මං යහපත් දේ කළේ නෑ. මං පව් කරගත්තා. මම නරක දේ කළා. මේ ලෝකයේ නරක දේවල් කළ අයට යම් නරක තැනක උපතක් තියෙනවා නම්, මටත් එතන උපදින්න සිදුවෙයි කියලා එයාට භය හිතෙනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා, පින්වත් බ්‍රාහ්මණය, තවත් පිරිසක් ඉන්නවා, ඒ අය බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ශ්‍රද්ධාවට පත් වෙලා නෑ. තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගන්න ඒ අය දක්ෂ වෙලා නෑ. අදක්ෂ වෙලා අන්න ඒ වගේ අයත් රෝගාබාධයක් ඇති වුණාම භය වෙනව. අනේ මට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න බැරි වුණා නේ ද? තෙරුවන් කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න මට බැරි වුණා නේ ද, කියල එයා භය වෙනවා. ක්ලාන්තය දානවා. තැති ගන්නවා. අනේ මට මේ මහා දුක් සහිත සංසාරේ ආයෙ යන්ට වෙයි යැයි කල්පනා වෙනවා. එයා භය වෙනවා, තැති ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියා දෙනව, පින්වත් බ්‍රාහ්මණය මෙන්න මේ විදිහට මැරුණ ස්වභාවය තිබෙද්දී ඒ මරණයට භය වෙන පුද්ගලයෝ සතර දෙනෙක් මේ ලෝකයේ ඉන්නවා බව.
ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා පින්වත් බ්‍රාහ්මණය ඒ වගේ ම තමයි මේ මරණ ස්වභාවය තියෙද්දී වුණත් ඒ මරණය ඉදිරියේ භය නොවෙන, තැතිගන්නේ නැති, ක්ලාන්තය දාන්නෙ නැති පුද්ගලයෝ මේ ලෝකයේ ඉන්නවා. පින්වත් බ්‍රාහ්මණය, මේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු කර, බැහැර කර, අත් හැර වාසය කරන සමහර අය ඉන්නවා ඒ කියන්නේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම අත්හැරපු අය ඉන්නවා. ඒ අයටත් මැරුණ ස්වභාවය තියෙනවා. මැරුණ ස්වභාවය තිබුණත්, ඒ වගේ කෙනෙක් අර වගේ ලෙඩකට, දරුණු රෝගයකට ගොදුරු වූ විට එයා කටයුතු කරන්නේ කාමයන්ට ඇල්ම තියෙන කෙනා වගේ නෙමෙයි, එයාට භය හට ගන්නේ නෑ. තැතිගැනීම හට ගන්නේ නෑ. ක්ලාන්තය දාන්නේ නෑ. ඇයි ඒ භය තැති ගැනීම් ඇති වෙන්නෙ නැත්තේ? එයා ඒ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම බැහැර කරල යි ඉන්නේ. එයාට හිතෙනව ද ‘අහෝ, මට මේව දාල යන්ට වෙයි’ කියල. කාමයන් කෙරෙහි ඇල්ම දුරුකළ කෙනාට එහෙම හැඟීමක් එනව ද? එන්නෙ නෑ. ඇයි ඒ? එයාට කාමයන් කෙරෙහි ඇල්මක් නෑ. එයාට දාල යන්න දෙයක් නෑ. දැන් ඒකෙන් අදහස් වෙනව ද, එයා ඒව පාවිච්චි නොකරයි කියල. නෑ. එයා ඒව පරිහරණය කරමින් ඉන්නවා. එයා ගේ දොර පරිහරණය කරනවා. ඇඳුම් පැළඳුම් පරිහරණය කරනවා. ඒ බඩු මුට්ටු පරිහරණය කරනවා. හැබැයි එයා ඒව ගැන තියෙන ඇල්ම දුරු කරලා, ඇල්ම අත්හැරල හිතෙන් එයා ඒව බැහැර කරල. නමුත් එයා ඒව පරිහරණය කරනවා. එබඳු කෙනාට අර දරුණු රෝගාබාධයක් හට ගත්ත වෙලාවට භය හට ගන්නේ නෑ. තැති ගැනීම හට ගන්නේ නෑ.
ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, පින්වත් බ්‍රාහ්මණය, තවත් කෙනෙක් ඉන්නවා. එයාට ත් මැරෙන ස්වභාවය තිබෙනවා. මැරෙන ස්වභාවය තිබුණත් එයා තමන්ගේ මේ ශරීරය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලයි වාසය කරන්නේ. එයාට රෝගාබාධයක් හට ගත්තම, දරුණු විපතක් ඇති වෙච්ච වෙලාවෙදි භයක් ඇති වෙන්නෙ නෑ. ක්ලාන්තය දාන්නෙ නෑ. නැති ගන්නෙ නෑ. ඒ ඇයි එහෙම වෙන්නෙ? එයා ශරීරය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරල යි වාසය කරන්නේ.
ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, පින්වත් බ්‍රාහ්මණය, ඒ වගේම තමයි තව කෙනෙක් ඉන්නවා. එයා අකුසල් කරල නෑ. පව් කරල නෑ. එයා පින් දහම් කරල තිබෙන කෙනෙක්, කුසල් රැස් කරල තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් ලෙඩකට පත් වුණා ම , ලෙඩකට ගොදුරු වුණා ම, දරුණු උපද්‍රවයකට භාජන වුණා ම, එතනදී එයාට භය ඇති වෙන්නෙ නෑ. තැතිගැනීම ඇති වෙන්නෙ නෑ. ක්ලාන්තය දාන්නේ නෑ කියල, ඇයි ඒ? එයාට සිහි වෙනවා මම පව් කළේ නෑ. මම වැරදි වැඩ කළේ නෑ. ළාමක දේවල් මම කළේ නෑ. මම කුසල් දහම් කළා. හොඳ දේවල් කළා. යහපත් දේවල් කළා.
ඉතින් ඒ විදිහට යහපත් දේවල් කළා නම්, ඒ යහපත් දේ කළ කෙනෙකුට යම් හොඳ උපතක් තිබෙනවා නම්, මටත් අන්න එබඳු උපතක් ලැබෙන බව. ඒ නිසා එයාට භය ඇතිවෙන්නෙ නෑ. ඇයි භය ඇති නොවන්නේ එයාට විශ්වාසයක් තිබෙනවා තමා කළ හොඳ දේ ට හොඳ විපාක ලැබෙනවා කියන එක පිළිබඳව. බලන්න අපේ මේ ජීවිතයට කෙබඳු ආරක්ෂාවක්ද මේ ධර්මය තුළ තියෙන්නේ කියල. මේ ධර්මය අපි හොඳින් ඇසුවොත්, හොඳින් දරා ගත්තොත් මේ ධර්මය කෙරෙහි මහත් වූ පැහැදීමක් ඇති කරගත්තොත්, ඒ සඳහා අපි දක්ෂ වුණොත්, අපිට මේ ජීවිතේට පිහිටක් පිළිසරණක් තිබෙනවාම යි. ඒ පිහිට පිළිසරණ ප්‍රමාණ කරන්න බෑ.
ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට කියා දෙනවා, පින්වත් බ්‍රාහ්මණය, තවත් කෙනෙක් ඉන්නවා. එයා තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගෙන වාසය කරන කෙනෙක්. එයා අර වගේ දරුණු රෝගයකට, උපද්‍රවයකට ගොදුරු වෙච්ච වෙලාවෙදි භය වෙන්නෙ නෑ. තැතිගන්නේ නෑ. ක්ලාන්තය දාන්නේ නෑ. එයා ඒ භය නැති කරගන්නේ කොහොමද? එයා හිතනවා, මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක්. ශ්‍රී සද්ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක්. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි අචල ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක්. ඉතින් එබඳු කෙනෙකුට දුකක් කරා යන සංසාර ගමනක් උරුම වන්නේ නෑ කියල එයා කල්පනා කරනවා. ඇත්තටම එයා මහා දුක් සහිත සංසාරයෙන් නිදහස් වෙන පැත්තට වැටිල ඉවරයි. එතකොට එයා භය වෙයි ද? එයා භය වෙන්නෙ නෑ. එතකොට එයාට මැරුණ ස්වභාවය නැද්ද? මැරුණ ස්වභාවය තියෙනවා. මැරුණ ස්වභාවය තියෙද්දීත් ඒ මරණය ඉදිරියේ එයා ගේ සිතේ භය ඇති වෙන්නෙ නෑ.
මින් අපිට මේ ධර්මයෙන් කාරණා දෙකක් වැටහෙනවා. මොකක් ද ඒ කාරණා දෙක? මැරණ ස්වභාවය තියාගෙනම මරණය ඉදිරියේ භය වෙන, තැතිගන්න, ක්ලාන්තය දාන, කම්පා වන පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි මැරුණ ස්වභාවය තියෙද්දීම, මරණය ඉදිරියේ භය නොවන, ක්ලාන්තය නොදාන, තැති ගන්නේ නැති, කම්පා නොවන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිස් දෙකෙන් හොඳ කව්ද? මරණය ඉදරියේ කම්පා නොවන, ක්ලාන්තය දාන්නෙ නැති භය ඇති නොවන පිරිස තමයි හොඳ. අන්නඒ අය තමයි යම් දියුණුවක් ඇති කර ගත්ත පිරිස. මේ මනුස්ස ජීවිතයෙන් යහපත් ඵල නෙළා ගත්ත අය තමයි අන්න ඒ අය. එහෙනම් ඔබ අප කවුරුත් මේ ලැබූ මනුස්ස ජීවිතයෙන් වටිනා දෙයක් රැස් කරගන්න කැමති වෙනවා නම්, මරණය ඉදිරියේ බිය නොවන, තැතිගන්නෙ නැති ක්ලාන්තය දාන්නෙ නැති පිරිසට එකතු වෙන්න අපි කල්පනා කළ යුතුයි. අපි ඒ විදිහට මරණය ඉදිරියේ බිය නො වන කෙනෙක් බවට පත් වුණොත්, අපි මේ ජීවිතයේ සැබෑම ලාභය අත් කරගත්ත අය බවට පත්වෙනවා. මේ ශාසනයේ සැබෑම ප්‍රතිලාභය අත් කරගත් අය බවට පත්වෙනවා. එහෙම නැතිව මේ මනුස්ස ජීවිතේ දී අපි මොන දේ ලැබුවත් මරණය ඉදිරියේ කම්පා වෙනවා නම් ඒ ලබා ගත්ත දෙයින් අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. අපි මේ ජීවිතේ දී මොන තරම් සැප සම්පත් වින්දත් මොනතරම් බලයක්, හැකියාවක් අපි රැස් කරගෙන හිටියත් මරණය ඉදිරියේ අපි කම්පා වෙනවා නම්, කලන්තෙ දානවා නම්, තැතිගන්නවා නම්, අපිට ඒ ධනයෙන් හෝ වේවා, බලයෙන් හෝ වේවා, හැකියාවලින් හෝ වේවා සැබෑ ප්‍රයෝජනයක් නෑ.
ඒ නිසා පින්වතුනි, අතීතයේ සිදුවුණ අඩුපාඩුකම් ගැන හිත හිතා පසුතැවෙන්ට එපා. ඒ හැම අඩුපාඩුවක්ම හදාගන්ට දැන් අවස්ථාව ඇවිල්ලා. දැන් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේව සරණ යන්න මුළු හදවතින්ම ශ්‍රී සද්ධර්මය සරණ යන්න. මුළු හදවතින්ම ආර්ය මහා සංඝරත්නය සරණ යන්න සිල්වත් වෙන්න. ටික ටික හරි කාමයන් කෙරෙහි, ශරීරය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරන්න මහන්සි වෙන්න. කුසල ධර්මයන් රැස්කරන්න මහන්සි වෙන්න. එතකොට අපි කාටත් ජරා මරණ ඉදිරියේ අසරණ නොවී සිටින්න පුළුවන් වේවි. අන්න ඒ භාග්‍ය සියලු දෙනාට ම උදාවේවා කියල අපි ආශිර්වාද කරනවා.
නාවලපිටියේ අරියවංශ හිමි
2014 ඔක්තෝබර් මස 01 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
Thursday, July 23, 2015
ඉන්ද්‍රිය සංවරය පුරුදුකරමු
නීවර්ණ වලින් පීඩා විඳිමින් නීවර්ණ පෝෂනය වන වැඩපිළිවෙලක් තුලම අපි හිටියොත් අපිට වෙන්නෙ දුකසේ වාසය කරනට සිදුවෙන එක. නමුත් නීවර්ණ බැහැරකර ගන්ට වැඩපිළිවෙලට අපි ආවොත් සැපසේ වාසය කරමින් අප්‍රමාදීව නිවන් මගේ හැසිරෙන්ට අපිට පුළුවන්කම තිබෙනව. එතකොට අපි ප්‍රමාදයට වැටුනොත් වැටෙන්නේ ම ඉන්ද්‍රිය අසංවර කරගෙන සිටීමෙන්.
කාමයන් නිසයි අපිට මේක වෙන්නෙ. ප්‍රිය මානාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේවාට අපේ ගිජුකම නිසා තමයි සිත කෙලෙසෙන වැටෙන්නෙ. එතකොට අපි කාමයන් ගැන තිබෙන තද කැමැත්ත බැහැර කරගන්ට අපිට පුළුවන් වුනොත්, අපිට ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්ට ඒක පහසුයි.
ඉන්ද්‍රිය සංවරකර ගැනීමෙන් අපිට ලැබෙන මේ මහා ලාභය, අතිශය සුවපහසු ජීවිතය ගැන අපි කැමති වුනොත් සතුටු වුනොත්, එබඳූ සුවපහසු ජීවිතයට අපි කැමති වුනොත් ඉන්ද්‍රිය සංවරයට අපි සිත කැමතියි. ඉන්ද්‍රිය සංවරයට කැමති නැත්නම් කෙනෙක් ඉන්ද්‍රිය සංවර කරන්නෙ නෑ. ඉන්ද්‍රිය සංවරය කියන ඒ උතුම් ධර්මය පුරුදුකරගන්ට අපි කැමති වෙන්ට ඕනැ. කැමති වෙන්නේ එයින් ලැබෙන මහා ප්‍රතිලාභය අපිට තේරෙනව නම්, ඒ ප්‍රතිලාභය විඳින්ට අපි කැමතිනම්.
ඒ නිසා ඉන්ද්‍රිය සංවර කරන කෙනාට ලැබෙන මහා ප්‍රථිලාභය අතිශය සුවපහසුව ගැන හිතන්න. ඉතාම සුවපහසු ජීවිතයක් උපදවගන්ට පුලුවන් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත කෙනා තුළ.
ඉන්ද්‍රිය අසංවර වුනානම් අතිශය දුක්පීඩා සහිතයි. ඒ දුක් පීඩා සහිත බව උපදින්නෙ කාමයන් ගැන අපේ සිතේ තිබෙන කැමැත්ත, ඇල්ම නිසා. ඉතින් කාමයන්ගේ තිබෙන කැමැත්ත ඇල්ම බැහැරකරගන්න අපි උත්සාහ කළොත් ඉන්ද්‍රිය සංවරය අපිට පහසු වෙනව. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ කියා දෙන විදිහට කාමයන්ගේ ආදීනව හොඳට තේරුම් අරගෙන සිහිකරන්න. ඒ කාමයන්ගෙන් බේරිලා ඉන්ද්‍රිය හොඳට සංවර කරගත්තොත් අපට ලබන්ට පුළුවන් මහා සැප ගැන කල්පනා කරන්න, තේරුම් ගන්න. ඒ සැපවත් ජීවිතයට කැමතිවෙලා ඒ සැපවත් ජීවිතය උපදවගන්ට අපි වෑයම් කළොත් අපිට ඉන්ද්‍රිය සංවරය ඇතිකරගන්ට පුළුවන්.
ඉතින් ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගත්ත කියල මේ අයට ගිහි ජීවිතයට භාධාවක් වෙන්නෙ නෑ. බය වෙන්න එපා. තමන්ගෙ ජීවිතය ගතකරමින්ම මේ ඉන්ද්‍රිය සංවර බව ඇතිකරන්න පුළුවන්.
මේකට කාලයක් ගතවෙයි. එකපාරට කරන්ට බැරිවෙයි. මේක උත්සාහ කරන්න. අපට වෙන ක්‍රමයක් නෑ දුකෙන් නිදහස්වෙන්ට. දුකෙන් නිදහස්වෙන්ට කැමති කෙනා මේක කළ යුතුමයි.
අපි හීන වූ ආසාවන්, හීන සැපක් ඇතිකරගන්ට ඉන්ද්‍රිය අසංවර කරගත්තොත් අපිට විඳින්ට තියෙන මහා දුක අපි තේරුම්ගන්ට ඕනැ. ඉතින් භාග්‍යවත-=න් වහන්සේ අපිට කියා දෙන්නෙ කාමයන් ගැන තියෙන කැමැත්ත අඩුකරගන්ට ඒවයේ ආදීනව ගැන හිතන්න කියල. භාග්‍යවතුන් වහන්සේ කියා දෙනව කාමයන් කියන්නෙ ගිනි අඟූරු වලක් වගේ කියල ඒ ගැන බය උපදව ගන්ට කියල.
භාග්‍යවතුන් වහන්සේ කියල දෙනව මනුෂ්‍යයෙකුගේ උසට වඩා උස වලක් තියෙනව. ඒ වල ගිනි අඟුරු වලින් පුරවල තියෙන්නෙ. යම් බලවත් මනුෂ්‍යයො දෙන්නෙක් ජීවත්වෙන්ට ආස සැපට ආස දුකට අකමැති මනුෂයෙක්ව අත් වලින් අල්ලගෙන බලෙන් ඒ ගිනි අඟුරු වල ලඟට අරගෙන එනව. එතකොට අර සැපට කැමති කෙනා ජීවත් වෙන්ට කැමති කෙනා විවිධ විදිහට උත්සාහ කරනව අර ගිනි අඟුරු වලෙන් බේරෙන්න.
මේ ගිනි අඟුරුවලට මම වැටුනොත් මම විනාස වෙනව. මට මහත් දුකකට පත්වෙන්ට වෙයි කියල දඟලනව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව ඒ වගේ කාමයන් ගැන බය උපදවගන්න කියල. කාමයන් කියන්නෙ ගිනි අඟුරු වලක් වගේ. විශාල දුක් පීඩා සහිත දෙයක් කියල කාමයන් ගැන බය ඇතිකරගන්ට කියනව.
ඊලඟට භාග්‍යවතුන් වහන්සේ කියා දෙනව හාත්පස කටු තියෙන කැලෑවකට යම් කෙනෙක් ගියොත් එහෙම එතකොට එයා හැරුනත් කටු ඇනෙනව. අන්න එයාට කරන්ට තියෙන්නෙ ඉතාම සිහි කල්පනාවෙන් ඉස්සරහට ගියත් සිහියෙන් පිටිපස්සට ගියත් සිහි නුවණ පවත්වගන්ට ඕනැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව මේ කාමයන් කියන්නෙ කටු වගේ එකක් කියල. හැරුනත් දුක පීඩාව. ඇහෙනුත් පීඩාව, කණෙනුත් පීඩාව, නාසෙනුත් පීඩාව, දිවෙනුත් පීඩාව, ශරීරය මේ හැම තැනින්ම මේ කාමයන් නිසා ඇතිවෙන පීඩාව තියෙනව.
ඒ විදිහට කාමයන් ගැන තේරුම් අරගෙන කාමයන්ගෙන් නිදහස්වෙන්ට අපි කල්පනා කරන්ට ඕනැ. එතකොට ඉන්ද්‍රිය සංවරයට අපි කැමතියි. ඒ විදිහට අපි ඉන්ද්‍රිය සංවරයට කැමති වුනොත් අපි ක්‍රම ක්‍රමයෙන් ඉන්ද්‍රිය සංවරය ඇතිකරගෙන අතිශය සුවපහසු ජීවිතයක් ඇතිකර ගන්නව. එයා නිවන් මගේ අප්‍රමාදීව යන කෙනා. ඉතින් අපි කාටත් සෙත් පතනව අතිශය සැපවත් ජීවිතයක් ඇතිකර ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් අපිට කියා දෙන නිවන් මගේ අප්‍රමාදී බව ඇතිකරගන්ට සියලු දෙනාටම දුර්ලභ වූ භාග්‍යය උදාවේවා.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ
හිමිපාණන් විසිනි.
2012-07- 27 දින දිනමින පුවත්පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි
රාගයට අකමැති හිත උපදවා ගනිමු
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මහත් විශ්වාසය ඇති වන පරිදි අප උදෙසා කළ ප්‍රකාශයන් තිබෙනවා. "මේ ආකාරයට කළොත් මේ විදිහට සිද්ධ වෙනවා" කියල මහත් විශ්වාසයන් යුක්තව කළ ප්‍රකාශයන් පිළිබදව අපි තුළ විශ්වාසයක් ඇති වුනොත් අපිට ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ඒ ධර්මයෙන් පිහිට ලබාගන්ට පුලුවන්කම තිබෙනව.
ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ එක එල්ලේ කළ ප්‍රකාශයන් කෙරෙහි අපි පැහැදීමක් ඇතිකර ගත්තොත් අපිට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්ට පුවන්කම තිබෙනව. ඒ නිසා අපි ඒ ධර්මය කෙරෙහි බයක් ඇති කර නොගත යුතුයි.
භය නොවී අපි ඒ ධර්මය කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තොත් අපට ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්ට පුළුවන් කම තිබෙනව. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දී තිබෙනව පින්වත් මහණෙනි මේ රාගය කියන එකම එක දේ අත්හැරියොත් ඔබ අනාගාමී වෙන බවට මම ඇප වෙනවා.
ඒ වගේම ඒ ද්වේෂය කියන එකම එක දේ අතහැරියොත් ඔබ අනාගාමී වෙන බවට මම ඇප වෙනවා. ඊලග"ට මේ මෝහය කියන එකම එක දේ අතහැරියොත් ඔබ අනාගාමී වෙන බවට මම ඇපවෙනවා. මේ ආදී වශයෙන් එක එල්ලේම රිජුවම කියන ප්‍රකාශයන් තියෙනව අපේ විශ්වාසය ඇති කිරීම පිණිසම ඒ ධර්මය ඉස්මතු කරල පෙන්වන අවස්ථා තියෙනව.
අපි තුළ වීරිය උපදන ආකාරයට ඒ ධර්මය ඉස්මතු කරල පෙන්වන අවස්ථාවන් තියෙනව. ඉතින් අපිට පුළුවන් වුනොත් අන්න ඒ ධර්මයන් කෙරෙහි හිත පහදව ගන්ට, විශ්වාසය ඇතිකරගන්ට අපේ හිතේ කැමැත්ත උපදීවි එතකොට ඒ ධර්මය අවබෝධ කරගන්ට.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
2012-07- 06 දින දිනමින පුවත්පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි
mp3 Download
සැපවත් වූ සක්දෙව් පදවි ලබන්නට නම්.....
පින්වතුනි,
ශක්‍ර දෙවියන් ශක්‍ර දෙවි පදවිය ලබන්ට මනුෂ්‍ය ලෝකෙ ඉන්න කාලෙ, මොනවද කලේ කියල භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වාදෙනව. ශක්‍ර දෙවියන් මනුෂ්‍ය ලෝකේ වාසයකරනකොට කරුණු ගණනාවක් අත්නොහැර පුරුදුකලා කියල අපිට කියාදෙනව. ව්‍රැත විදිහට සමාදන් වෙලා එයා ඒව පුරුදුකලා කියල කියනව. ජීවිතේ තියෙන තාක්ම ඒ කරුණු අත්නොහැර පුරුදුකලා කියල කියනව.
අන්න ඒ විදිහට ඒ කරුණු අත්නොහැර පුරුදුකිරීමෙන් ඉපදුණ පිනෙන් තමයි එයාට මහත් වූ ආනුභාව සහිත සක්දෙවි පදවිය ලබාගන්ට පුළුවන්කම ලැබුනෙ. ඒ සක්දෙවි පදවිය එයාට හිමිවුනේ, ඒ ඉතා ම දුර්ලභ වූ ගුණධර්ම ජීවිතේ පුරාවට ම සමාදන්වෙලා, පුරුදුකල නිසා කියල භාග්‍යවතුන් පෙන්වා දෙනව.
භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනව, ඒ ශක්‍ර දෙවියන් මනුෂ්‍ය ලෝකෙ වාසයකරනකොට දිවිහිමියෙන් ම දෙමව්පියන්ට සත්කාර කලා. ජීවිතය තියෙනතාක් ම දෙමව්පියන්ට සත්කාර කලා. ඒක අත්හැරියෙ නෑ. ඉතා ම සෙනෙහසින්, ආදර ගෞරවයෙන් දෙමව්පියන් පෝෂණය කලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, මනුෂ්‍ය ලෝකෙ ඉන්න කාලෙ ශක්‍ර දෙවියන් ජීවිතය තියෙන තාක් ම වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වමින් ඥාතීන්ට සංග්‍රහ කලා, අත්නොහැර සංග්‍රහ කලා.
අන්න ඒකත් ජීවිතය පුරාවට ම කඩ නොකල දෙයක් වුනා. ඊළඟට දිවි තිබෙනතාක් කේලාම් කිව්වෙ නෑ කියල කියනව. කේලම කියල කියන්නෙ පිරිස් කොටවන්ට, මෙතන එකක් අහල එතන තව එකක් කියනව. එතන තව එකක් අහල මෙතන වෙන එකක් කියනව. එකට කියන්නෙ කේලම. පිරිස වෙන්කරවනව, බෙදනව, බින්නකරනව.
අන්න ඒ විදිහට පිරිස වෙන්වෙන්ට, බින්නවෙන්ට අසමඟි වෙන්ට හේතුවෙන විදිහේ ප්‍රකාශකලේ නෑ. කේලාම් කිව්වෙ නෑ ජීවිතය තියෙනතාක් ම. ඊළඟට ශක්‍ර දෙවියන් මනුෂ්‍ය ලෝකෙ ඉන්න කාලෙ ජීවිතය තියෙනතාක් ම ප්‍රිය වචන කතා කලා, මිහිරි වචන කතා කලා. අමිහිරි, අප්‍රිය වූ වචන කතාකලේ නෑ. හරි පුදුමයි නේද? හිතා ගන්නවත් බෑ නේද මෙහෙම මනුෂ්‍යයෙක් ලෝකෙ හිටියද කියල.
එහෙම මනුෂ්‍යයෙක් ලෝකෙ හිටිය. එයා දැන් ඉන්නෙ තාවතිංස දිව්‍ය ලෝකෙ. දෙවියන් අතර අග්‍ර බවට පත්වෙලයි එයා ඉන්නෙ . ඒ අග්‍ර බවට පත්වුනේ, අපිට විශ්වාස කරන්ට බැරි, අදහගන්ට බැරි ගුණධර්ම පුරුදුකල නිසා. ඊළඟට දිවිහිමියෙන් ම සත්‍යයවාදී වුනා, බොරු කිව්වෙ නෑ, සත්‍යය ප්‍රකාශකලා. ඊළඟට ජීවිතය පුරාවට ම මසුරුමල දුරුකරල දන් දුන්න. දන් දීමට නැUුරු වූ සිතින් වාසය කලා. දන් දීමට දෑත සෝදගෙන හිටියෙ කියල කියනව.
ඊළඟට ශක්‍ර දෙවියන් ගිහිගෙදර වාසය කරනකොට ක්‍රෝධ රහිත සිතින් තමයි දිවි හිමියෙන් ම වාසය කලේ. ජීවිතය තියෙනතාක් ම ක්‍රෝධ රහිත සිතින් හිටියෙ. තරහ සහිත සිතුවිල්ලක් ආවොත් එයා බැහැරකලා, පවතින්ට දුන්නෙ නෑ. මෙන්න මේ කරුණු ජීවිතය තියෙනතාක් ම ශක්‍ර දෙවියන් පුරුදුකලා මනුෂ්‍යය ලෝකෙ ඉන්නකොට.
අන්න ඒව පුරුදුකිරීමෙන් උපදවගත්ත පිනෙන් තමයි ශක්‍ර දෙවි පදවිය ලැබුනෙ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනව, ඒ තාවතිංස දෙවියන් කතා වෙනවලු, "යම් කෙනෙක් දෙමව්පියන්ට පුද සත්කාර දෙමින් සලකනවානම්, ඥාතීන්ට ගරු බුහුමන් දක්වමින් ඥාති සංග්‍රහ කරනවානම්, මිහිරි වචන දිවිහිමියෙන් කතා කරනවානම්, කේලාම් කියන්නෙ නැත්නම්, මසුරු මල දුරුකරමින් දන් පැන් දෙමින් වාසය කරනවානම්, සත්‍යය වචන කතා කරනවනම්, අන්න එයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙක්" කියල.
එතකොට අපිට සත්පුරුෂයෙක් විදිහට අපේ ජීවිතය දියුණුකරගන්ට මේක මගපෙන්වීමක් කරගන්ට අපිට පුළුවන් නේද? දැන් බලන්න දෙමව්පියන්ට සලකනවා කියන එක ගෙදර ඉඳල අපිට කරන්ට පුළුවන්ද බැරිද? ගෙදර සිට කලයුතු දෙයක්. ඥාතීන්ට සංග්‍රහ කිරීම ගෙදර සිට කලයුතු දෙයක්. මිහිරි වචන කතා කිරීම ගෙදර සිට කලයුතු දෙයක්.
කේලාම් නොකිය සිටීම ගෙදර සිට කලයුතු දෙයක්. දන්පැන් දීම, මසුරු මල දුරු කරල දන්පැන් දීම ගෙදර සිට කලයුතු දෙයක්. සත්‍යය වචන කතා කිරීම, ක්‍රෝධය දුරු කරල වාසයකිරීම ගෙදර දොරේ සිට කලයුතු දෙයක්. රාජකාරි කරන තැන. එතෙන්දිත් ඒක කල යුතුයි. ගමේ රටේ සමාජයේ එතෙන්දිත් මේ ගුණධර්ම අපි පුරුදුකල යුතුයි.
මේ ගුණධර්ම යමෙක් පුරුදුකර ගත්තොත්, එයාට සුවපහසු ජීවිතයක් ඇතිවෙයිද? පීඩාකාරී ජීවිතයක් ඇතිවෙයිද? නිතැතින් ම සුවපහසු ජීවිතයක් ඇතිවෙනවාම යි. එතකොට බලන්න මේ ගුණධර්ම පුරුදුකර ගත්තොත් යම් කෙනෙක් එයා තමන්ගේ දෙමාව්පියන්ගේ ආශිර්වාදයට හිමිකරුවෙක් වෙයිද නැද්ද? හිමිකරුවෙක් වෙනව.
ඥාතීන්ගේ ආශිර්වාදයට හිමිකරුවෙක් වෙනවද නැද්ද? හිමිකරුවෙක් වෙනව. ගමේ රටේ අයගේ ආශිර්වාදයට ප්‍රිය බවට හිමිකරුවෙක් වෙයිද නැද්ද? යාළු මිතුරන් අතර මෙයා ප්‍රියබව උපදවන, ප්‍රශංසාවට පාත්‍ර වන කෙනෙක් වෙයිද නැද්ද? වෙනව. ඊට පස්සෙ ශ්‍රමණයින් අතර මෙයට ප්‍රශංසාව ලැබෙයිද නොලැබෙයිද? ලැබෙනව. එහෙනම් සමාජයේ කොතන ගියත් මේ ගුණධර්ම පුරුදුවෙනවා නම් මෙයාට සමාජයේ කොතනත් පිළිගැනීමක්, කීර්තියක් ලැබෙනව.
එතකොට ඒ ගුණධර්ම පුරුදුකරන කෙනා සුවපහසුවෙන් සැපසේ වාසය කරන කෙනෙක් බවට නිතැතින්ම පත්වෙනව. එතකොට මේ කටයුතු කරන්ට කරන්ට එයාගෙ පින තව තවත් බලවත් වෙනවද නැද්ද? බලවත් වෙනව. එයා මරණයට මූණදෙනකොට බය තැති ගැනීම් වෙයිද? ලෙඩ දුක එනකොට බය තැතිගැනීම් එයිද? නෑ. මරණයෙන් මත්තේ එයාට මොකද වෙන්නෙ? සුගතියේ උපදිනවා.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි
2011-03-30 දින දිනමින පුවත්පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි
Subscribe to:
Posts (Atom)










