Labels

Sunday, December 10, 2017

බුදු දහමෙන් මානසික රෝග සුවපත් කළ හැකිද?

මහණෙනි, කායික හා මානසික යනුවෙන් රෝගයෝ දෙදෙනෙකි. මෙයින් කායික රෝගවලින් නො පෙළී අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක්, තිහක්, හතළිහක්, පණහක් ඇතැම් විට අවුරුදු සියයක් නිරෝගී ව සිටින අය සිටිති. එහෙත් මානසික රෝගවලින් එක මොහොතක් හෝ නොපෙළි, පීඩා නොවිඳ සිටින අය රහතන් වහන්සේලා හැර සොයා ගැනීම දුෂ්කර ය. (අංගුත්තර නිකාය, චතුක්ක නිපාතය, රෝග සූත්‍රය)


හිතේ ලෙඩට බෙහෙත් කිරීමට බුදුහාමුදුරුවන් තරම් දක්ෂ වෛද්‍යවරයෙක් ලොව ඉපදී නැත. බුදුහු මිනිසාගේ සිතේ ඇතිවන කෙලෙස් ලෙඩ මැනවින් හඳුනාගෙන රෝග නිධාන හොඳින් වටහාගෙන එයට සුදුසු ඖෂධ දුන්හ. උන්වහන්සේ සේල බමුණාට බමුණ, මම සම්බුද්ධ වෙමි.
එසේ ම ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයා ද වෙමි. එක් අවස්ථාවක පැවසූහ. ( සුත්ත නිපාතය - සේල සූත්‍රය)
බුද්ධ ධර්මය පිළිබඳ ව විද්වතුන් විසින් විවිධ පර්යේෂණ පවත්වා ඇත. එහෙත් බුදුසමයෙහි ඇතුළත් ජීවන ක්‍රමය ප්‍රායෝගික වශයෙන් භාවිතයට ගෙන මිනිස් ජීවිත සාර්ථක කරගන්නට මෙතෙක් ගෙන ඇත්තේ අල්ප උත්සාහයකි. මෙම ලිපිය මගින් උත්සාහ කරන්නේ දිනෙන් දින විකෘති භාවයට පත්වන මිනිසාට බුදු සමයෙන් ලබාගත හැකි පිටුවහල කවරේදැයි පෙන්වාදීමයි. මෙම අරමුණ අනුව සිතන විට බුදුසමය සහමුලින් ම මනෝ චිකිත්සක ක්‍රමයක් වශයෙන් ද, මාර්ගෝපදේශනය හා උපදේශනය පදනම් කරගත් දහමක් වශයෙන් ද හඳුන්වා දෙන්නට පුළුවන.

බුදුදහම මිනිසාගේ මනසට හා සිරුරට ප්‍රතිකාර දක්වයි. විශේෂයෙන් විවිධ මානසික හා ශාරීරික රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහා කළ යුතු දේ පෙන්නුම් කරයි. මානසික රෝග යන වචනය ඇසෙන විට නිතැතින් ම අපගේ මතකයට එන්නේ උමතුව, පිස්සුව යන තේරුම් ය. නමුත් මනෝ විද්‍යාත්මක ව සොයා බැලීමේ දී අපගේ පැවැත්මෙහි, චර්යාවෙහි අසාමාන්‍ය ස්වභාවය මනෝ රෝග යන්නෙන් ප්‍රකට කරයි. අසාමාන්‍ය තත්ත්වය යනු කෙබඳු එකක්දැයි යන්න පිළිබඳ ව ද ගැටලු පැවතිය හැකි ය. යම් කිසි පැවැත්මක් අසම්මත බව හෝ අසාමාන්‍ය බව තීරණය කරන්නේ සදාචාරාත්මක හෝ සාමාජික මිනුම් දඬු මත ය. මනෝ විද්‍යාව අනුව මානසික රෝග අසාමාන්‍ය චර්යා  (Abnormal behaviour)  ලෙස හඳුන්වා ඇති අතර එය මානසික ගැටලු, චර්යා විෂමතා, පෞරුෂ ව්‍යාබාධ වශයෙන් හඳුනාගත හැකිවේ. මිනිසා මානසික ඌනතාවයකින් පෙළෙන බවත් මානසික ආබාධයන්ට ගොදුරුවන බවත් බුදුසමය පිළිගනී. (සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා)

මිනිසා සැපත හෙවත් ආශාව පසුපස ලුහුබැඳීම නිසා ඔහු ආසාවෙහි වහලෙක් වීම හේතු කොටගෙන අතෘප්තියට පැමිණීමෙන් දුක් වේදනාවලට පත්වෙයි.
බටහිර මනෝ විද්‍යාව අනුව මානසික රෝග ඇතිවීමට විවිධ හේතු ඉදිරිපත් කර ඇත. මොළයට විෂබීජ ඇතුළු වීම, රසායනික විපර්යාස, ස්නායු හා කායික අර්බුද ආදී වශයෙන් දැක්විය හැකි ය. බුදු දහම අනුව ලෝහ, දෝස, මෝහ යන අභ්‍යන්තරික පෙළඹවීම් නිසා මිනිසා තුළ මානසික රෝග ඇතිවේ. මානසික රෝගවලට පදනම වන්නේ දැඩි තණ්හාවයි. තණ්හාව නිසා බැඳීම් ඇතිවේ. තණ්හාව කාම, භව, විභව වශයෙන් ක්‍රියාත්මක වෙයි. තණ්හාව නිසා අප තුළ පළිගැනීම, වෛරය වැනි අකුසල ධර්මවලින් නොයෙක් අපරාධවලට ද පෙළඹේ. තණ්හාව විසින් උත්තේජනය කොට ලෝභය, දෝසය, මෝහය යන කරුණු විසින් මෙහෙයවන මිනිස් සිත මරු වසඟයට පත් වී ඇති බව බුදුසමයෙන් පෙන්වා දී ඇත. මේ අයුරෙන් මිනිසා තණ්හාවේ වහලෙකු බවට පත්වෙමින් සැහැල්ලු ගති පැවතුම්, අපිස් දිවිය, බිඳවැටී සැපත පසුපස ලුහුබැඳ අවසානයේ අසහනයට, අතෘප්තියට පත්වන අතර එය සියලු මානසික රෝගයන්ට හේතුවන බව බුදුසමය දක්වයි.
මේ ආකාරයට සෑහීමකට පත් නොවීම බුදුසමය හඳුන්වන්නේ ‘දුක’ වශයෙනි. මෙම කරුණු සෑම ජන කොටසක් තුළ ම අද විහිද ගොස් ඇත. බාල, තරුණ, මහලු, භේදයක් නොමැති ව සෑම මිනිසෙකු ම මේ තත්ත්වයට පත්ව ඇත. නමුත් එය ‘දුක’ යන වචනයෙන් හඳුන්වා දෙනු වෙනුවට ‘අසහාය’ යනුවෙන් පෙන්නුම් කරති.
බොහෝ මානසික රෝගවල පොදු ලක්ෂණය වන්නේ චිත්තවේගයන් ය. (Emotions)  මෙම ආවේග නිසා මිනිසා නොසන්සුන්භාවයට පත්වේ. බුදුදහම අනුව මිනිස් සිත කළඹන චිත්තවේග කිහිපයක් මෙහි දක්වමු. දැඩි ලෝභය, තරහ, කෝපය, ක්‍රෝධය, බද්ධ වෛරය, ඊර්ෂ්‍යාව, ගුණමකු බව, තද ගතිය, සැකය, මසුරුකම, නොසන්සුන්කම, චාටුබව, කපටිකම, මාන්නය, මත්වීම හා ප්‍රමාදය ආදී වශයෙනි.
බටහිර මනෝ විද්‍යාවට අනුව මානසික රෝග ප්‍රධාන වශයෙන් අංශ දෙකකට බෙදා දක්වා ඇත.
සුළු මානසික රෝග  (Neurosis)  හා ප්‍රධාන මානසික රෝග (Psychosis) වශයෙනි.



සංසාරගත රෝග සුවකළ නොහැකි ද?



මානසික වශයෙන් සුළු විකෘතිතාවන් දක්නට ලැබෙන තත්ත්වය නියුරෝසියාව විය හැකි ය. එනම් සුළු මානසික රෝගයක් විය හැකි ය. ඇතැම් සතුන් දැකීමට ඇති බිය, අත්පාවලට අහේතුකව දහඩිය දැමීම, වෙව්ලීම, මුහුණදීමට ඇති බිය, අභියෝගාත්මක අවස්ථාවල චිත්තවේග ඇතිවීම, භීතිකාව, නුරුස්නාබව, කාංසාව, තැවුල් සහිත බව, නින්ද නො යෑම, අමතකවීම, ඉච්ඡාභංගත්වයට පත් වූ අයට ඇතිවන චර්යාවන්, මනසින් දුර්වලවීම, කළකිරුණු ස්වභාවය, සෑම දෙයක් ගැනම ඇති සැකය, පසුබට වීම, ආතතිය, කලබලයෙන් වැඩ කිරීමට ගොස් ඇතිවන පීඩාව, විවේක රහිත බව, හිස්ට්‍රියාව, හේතුවක් නැතිව අධික සිනහව හෝ හැඬීම, බලාගත් අත බලා සිටීම, සමහරවිට කන් ඇසීම නැතිවීම, මාංශපේශීන් පෙරලීම වැනි තත්ත්වයන් සුළු මානසික රෝගී ආබාධයන් ය. මේ තත්ත්වය පහව ගිය විට ශාරීරික ආබාධ ඉබේ ම සුව වන්නට පුළුවන. (මනෝ ග්‍රස්ථි Obsessions) යනු ද මානසික රෝගයකි. සිතේ දැඩි ආශාවන්, ආලම්බනයන් මෙයින් අදහස් වේ. චිත්‍රපට බැලීමට ඇති තද ආශාව, ගායකයෙකුට හෝ නළුවෙකුට ඇති නිරර්ථක බැඳීම්, ඔවුන් අනුකරණය වැනි දෑ මේ රෝගී තත්ත්වයේ ස්වභාවයන් ය.
නියුරෝසික තත්ත්වයට වඩා වෙනස්, සාමාන්‍ය ව්‍යවහාරයේ උමතුව, පිස්සුව ලෙස හැඳින්වෙන්නේ සයිකෝසියාව නම් රෝගී තත්ත්වයයි. මෙහි දී පුද්ගලයාගේ පෞරුෂය බිඳවැටී, යම්දෙයක නියම ස්වභාවය දැකීමේ හැකියාව ඔහු වෙතින් ඉවත්වේ. ඔහුට මතිභ්‍රමයන් (මුලාවන්) ඇතිවේ. උදාහරණ ලෙස තමා අගමැති ලෙස සිතීම, මුළු ලෝකය ම වැරැදියි, තමා පමණක් නිවැරැදියි ලෙස සිතීම, ආදී තත්ත්වයන් පෙන්වා දීමට පුළුවන. සයිකෝසික රෝගවල දී මානසික ප්‍රතිකාර කිරීමට පෙර ශාරීරික ප්‍රතිකාර කළ යුතු ය.
මානසික රෝග බොහොමයක් අසුබ ලෙස සිතීම හා යථාර්ථයෙන් ඈත්වීම නිසා හටගනී. ජීවිතය පිළිබඳවත්, සමාජය පිළිබඳවත්, අවබෝධ කර ගැනීමෙන් මෙවැනි මනෝ ව්‍යාධිවලින් මිදීමේ මාර්ගය බුදුසමයෙහි දක්වා ඇත. බුදු දහමට අනුව රෝගයක් තිබේ නම්, රෝගයට හේතුව, රෝගය නැති කිරීම හා රෝගය නැති කිරීමේ මග යන කරුණු අවබෝධකරගත් විට මෙම තත්ත්වයෙන් අත් මිදිය හැකි ය. පස්කම් සැප විඳීමේ සීමාව ඉක්මවා ඊට ගොදුරු වීම නිසා ශාරීරික හා මානසික ආබාධ හට ගන්නා ආකාරය බුදු සමයෙන් පෙන්වා දී තිබේ. ඒ ඒ වයස් සීමාවල දී තිබිය යුතු ඇවතුම් පැවතුම්වලින් තොරවීම නිසා ඇතිවන ගැටලු මානසික රෝග දක්වා ව්‍යාප්ත වී යාම වළක්වා එම තත්ත්වයන්ගෙන් අත්මිදීමට අවශ්‍ය මූලික ඉගැන්වීම් බුදු දහමෙහි ඇතුළත් ය.
මූලික බුදුසමය මිනිස් සිත සියුම් ලෙසත්, ගැඹුරු ලෙසත් විග්‍රහ කර ඇත. මිනිස් සිතේ හට ගන්නා ගැටලු විසඳීම දක්වා ඇති ප්‍රවීණත්වය නූතන මනෝ විද්‍යාඥයින්ගේ දැනුම ඉක්මවා යයි.
මිනිසා කෙරෙහි බලපාන පෞද්ගලික මානසික ගැටලු ද, පවුල් ජීවිතය හා තරුණ ජීවිතය සම්බන්ධ ගැටලු විග්‍රහ කරමින් ඒ ඒ පෞරුෂයන්ට අනුකූලව විසඳුම් බුදු සමය දක්වා ඇත. මෙතෙක් සමාජ විද්‍යාඥයන් නො බැලූ දෘෂ්ටිකෝණයකින් සමාජ ප්‍රශ්න විවරණය කරන බුදු දහම මානව වර්ගයා ඇතුළු සකල ලෝක සත්ත්වයා කෙරෙහි ම හෙළන නෙත විනිවිද ගිය එකකි. සමාජයේ විවිධාකාර ගැටුම්, යුද්ධ අපරාධ, දේශපාලන හා රාජ්‍යමය වියවුල් යනුවෙන් මිනිස් සත්තානය තුළ පැන නගින සියලු භෞතික ගැටලුවලට බුදු සමයෙන් පිළිතුරු සැපයෙයි.
සිත පහන් කිරීම සඳහා මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සති භාවනාව, ආනාපානසති, කායගතාසති වැනි භාවනා වෙසෙස් ය. පුරුදු පුහුණු කිරීමෙන් අපමණ මානසික සහනයක් ලද හැකි ය. සති හා සම්පජඤ්ඤය යන සංකල්ප දෙක මෙහි දී ඉතා වැදගත් ය. සෑම දෙයක් ම සිහියෙන් හා නුවණින් බලා කිරීම මෙයින් අදහස් වේ.
බුදු සමයට අනුව මිනිසාගේ මෙලොව ජීවිතය, ඔහු මීට ඉහත ගතකර ඇති ජීවන පිළිවෙත් හා ජීවන ක්‍රියාදාමයන් සමඟ සියුම් ලෙස බැඳී පවතී. ඒ බව පිලන්දිවච්ඡ රහතන් වහන්සේගේ හා අකාලරාවි භික්ෂුවගේ ඇවතුම් පැවතුම්වලින් සනාථ වනු ඇත.
බුදු සමය සලකන්නේ මිනිසා සාංසාරික වශයෙන් රෝගියෙකු බවයි. ඔහු ජීවන ක්‍රියාවලියේ දී මෙම රෝග තත්ත්වය අවබෝධ කරගෙන එයින් නිදහස් වීමට උත්සාහ කළ යුතු ය. සසර සැරි සරනවිට මේ සඳහා වෙහෙසුණු ප්‍රමාණයේ ප්‍රතිඵල මේ ආත්ම භවයේ දී අපට උරුම ව ඇත. චිත්ත බලය උපයෝගී කරගෙන අධිෂ්ඨාන පූර්වක ව කටයුතු කිරීමෙන් මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට පුළුවන. කුඩා කල පටන් සංජානනය හා සංවේදනය තුළින් අප තුළ ජනිතවන අදහස්, ආකල්ප අනුව සැකසෙන සිතිවිලි පරම්පරාව අපගේ ජීවිත කෙරෙහි බලපායි. මෙය තේරුම් ගත්විට මානසික රෝගී තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ශක්තිය අපතුළ ජනිත වේ.
මනෝරෝග හා කායික රෝගවලින් වැළකීමට චිත්ත ශක්තිය වර්ධනය කර ගැනීමත්, සමාජගත තත්ත්වයන්ට හුරුවීමත්, සාමාජික පරිණතබව වැඩි කර ගැනීමත් අවශ්‍ය ය. මෙම අදහස් නූතන මනෝ විද්‍යාඥයන් වන ආර්. ඩබ්ලිව්. තවුලත් හා ජීන් පියාජේ යන අය විසින් පැහැදිලි කර ඇත. එක් එක් පුද්ගලයාගේ පෞරුෂය තේරුම්ගෙන ප්‍රතිකර්ම කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන බුදු සමය පෞරුෂය ගොඩනැගීම සඳහා විවිධ ශිල්පක්‍රම උපයෝගී කරගෙන ඇත. ප්‍රශ්නෝත්තර ක්‍රමය සහ සාකච්ඡා ක්‍රමය යොදාගත් පටාචාරා, කිසාගෝතමී වැනි චරිත නිදසුන් ලෙස දක්වන්නට පුළුවන. පෞරුෂය මැනීමේ දී පුද්ගලයින්ගේ ආකල්ප (Attitudes) හා අභිරුචි ගැන ද සැලකිලිමත් වී ඇත. උදාහරණ ලෙස නන්ද කුමරු හා ඡත්ත මානවක සම්බන්ධ සිදුවීම් දැක්විය හැකි ය.
බුදු දහම අනුව අයහපත් මානසික ක්‍රියාකාරීත්වය නිසා පුද්ගලයාගේ අයහපත් හැසිරීම තීරණය වේ. මෙහි දී අපගාමී චර්යාව විග්‍රහ කිරීමෙහි ලා දස අකුසල් සංකල්පය ඉවහල් කර ගන්නට පුළුවන. කායික වැරැදි, වචනයෙන් කරන වැරැදි හා මනසින් කරන වැරැදි ලෙස දස අකුසල් තෙවැදෑරුම් වේ. පරපණ නැසීම, සොරකම, වැරැදි ලිංගිකත්වය කයින් සිදුවන වැරැදි ය. බොරු කීම, කේළාම් කීම, නපුරු ලෙස කතා කිරීම, අර්ථ ශුන්‍ය දේ කතා කිරීම වචනයෙන් වන වැරැදි ය. දැඩිලෝභය, කෝපයෙන් ක්‍රියා කිරීම, වැරැදි මත අනුව ක්‍රියා කිරීම මනසින් කරන වැරැදි ය.
යහපත්, හොඳ පෞරුෂයක් ගොඩනැගීමට මෙන් ම, නිරෝගී පුද්ගලයෙකු වීමට අවශ්‍ය කරන සප්පාය පහක් බුදු දහමෙහි සඳහන් ය. එනම්, ආහාර සප්පාය හෙවත් සුදුසු ආහාර පරිබෝජනය ය. විහරණ සප්පාය හෙවත් නිවැරැදි ඉඳුම් හිටුම් මෙන් ම නිවැරැදි හැසිරීම් රටාව ය. උතු සප්පාය හෙවත් ශරීරයට හිතකර කාල පරිහරණය ය. පුග්ගල සප්පාය හෙවත් සුදුසු පුද්ගලයන් ආශ්‍රය ය. අජ්ඣාසය සප්පාය හෙවත් හොඳ අදහස් ඇතිකර ගැනීම ය.
පුද්ගලයෙක් වෙත අයහපත් පෞරුෂයක් ගොඩනැගෙන්නේ ලෝභ, දෝස, මෝහ යන සිතිවිලි ක්‍රියාත්මක වීම නිසා ය. එමඟින් ආවේග ද, තණ්හාව හා අවිද්‍යාව ද ඇතිවේ. කාමතණ්හා, භව තණ්හා, විභව තණ්හා තුළින් අසහනයත්, අතෘප්තියත්, ආතතියත් ඇති වේ. එබඳු චරිතයක් අපගාමී පෞරුෂය ඇත්තෙක් ලෙස සැලකිය හැකි ය. හොඳ පෞරුෂයක් ගොඩනැඟෙන්නට නම් අලෝභ, අදෝස, අමෝහ යන සිතිවිලි පුරුදු පුහුණු කළ යුතු ය. ඒ කුසල් සිත් මූලිකව ප්‍රඥාව ඇතිවේ. ප්‍රඥාවන්තයාගේ ජීවිතය ධාර්මික ය. එවිට සැහැල්ලු ගති පැවතුම් හා අල්පේච්ඡතාවය ඇතිවේ. ඒ තුළ නිරෝගී මනසක් ගොඩනැඟේ. එවැනි පුද්ගලයා යහපත් පෞරුෂය ඇත්තෙකි.
අපගාමී පෞරුෂයෙන් මිදීම සඳහා බුදුරජාණන් වහන්සේ පැහැදිලි සමාජ දර්ශනයක් ද ඉදිරිපත් කර ඇත. ප්ලේටෝ හොඳ පෞරුෂයක් ඇතිකර ගැනීම සඳහා පරමාදර්ශී රාජ්‍යයක වැදගත්කම පෙන්වා දී ඇත. මිනිසා දුක්ඛිත තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා කාර්ල් මාක්ස් යෝජනා කර ඇත්තේ පවත්නා නිෂ්පාදන රටාව වෙනස් කිරීමයි.
බුදුරජාණන් වහන්සේ විකෘති පෞරුෂයකින් මිදීමට අභ්‍යන්තරික මානසික ජීවිතය සඳහා මුල් තැනක් දෙන අතර දේශපාලන, සදාචාරාත්මක හා ආර්ථික කරුණුවලට ද විශේෂ අවධානයක් යොමු කර ඇත. මේ අනුව නිරෝගී මනසක් ඇතිකර ගැනීමටත්, හොඳ ජීවිතයක් ගත කිරීමටත් ජීවත්වන සමාජ පරිසරය යහපත් විය යුතු ය. අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජ සුඛය ඇති විට පුද්ගලයා තුළ අසහනය, අතෘප්තිය, ආතතිය ආදී මානසික කැළඹීම් හා ආවේග බොහෝ දුරට සමනය වනු ඇත.
සත්ත්ව ලෝකයේ සිතීමට හා විමසීමට නිදහස ඇත්තේ මිනිසාට පමණි. හොඳ නරක තෝරා ගන්නේ ද ඒ මිනිසා ම ය. මිනිසාගේ ස්වාමියා ඒ මිනිසා ම ය. සෑම මිනිසෙකුට ම නිරවුල් මනසක් පවත්වා ගැනීමේ අයිතිය ඇත.
කෙටියෙන් දක්වන්නේ නම් මානසික රෝගවලින් මිදීමේ නිවැරැදි මග ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදීම හෙවත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමයි.



බළන්ගොඩ 
ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති 
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නා හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍උඳුවප් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 03 හා 10 වන  ඉරිදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment