Labels

Tuesday, December 29, 2020

සතුටෙහිදී පොරොන්දු දීමෙන් දුකෙහිදී තීරණ ගැනීමෙන් ජීවිතයම වරදින්න පුළුවන්


 වේගයෙන් එන සිතුවිලි ආවේගයන් ය. තාරුණ්‍යයේ බොහෝ ගැටලුවලට මුල සිතුවිලි පාලනය නොවීමයි. ආවේග මත තමන් පිළිබඳ හදිසි තීරණ ගැනීම මෙන්ම, අන්‍යයන් උදෙසා ඉක්මන් තීරණවලට එළඹිය හැකි ය.

බොහෝ සිදුවීම්වල මූලය ආවේගයයි. සියදිවි හානිකර ගැනීමේ සිට පුද්ගල දේපළ විනාශය ආවේග මත සිදුවේ. කේන්තිය, වෛරය, දුක ආදී බොහෝ හැඟීම් පාලනය නොවීම මත තමන්ට මෙන්ම අනෙකාට ද හානි සිදුවේ.

ඉඳුරන්ට වහල්වීම

වේගයෙන් එන වාහනයක් වේගය පාලනය කරගත නොහැකි විට තවත් වාහනයක හෝ ස්ථානයක ගැටේ. එසේ නැතිනම් එකවර තිරිංග තද කිරීම මත වාහනය පෙරළීමට පත්වේ. පුද්ගල ආවේග හඳුනාගත යුත්තේ මේ පදනමිනි.

ආවේග වර්ග දෙකකි. එනම් ධනාත්මක හා සෘණාත්මක වශයෙනි. ධනාත්මක ආවේග පාලනය කළ යුතු ම ය. ආවේග පාලනය නොකිරීම සහ ඉඳුරන්ට වහල් වීම තරුණකමට නිගාවකි. ලොව ජයගත් සෑම තරුණයෙක්, තරුණියක් ම හැඟීම් පාලනය කළ පිරිස් ය. සියලු සත්ත්වයන්ට හැඟීම් පවතී. ඉන් මිනිසා, විශේෂ වන්නේ හැඟීම් පාලනය කිරීමට සමත් එකම සත්ව කොටස බැවිනි.

Sunday, December 27, 2020

සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් වැඩසිටිනා ලොව බලගතුම සෑය රුවන්වැලි මහා සෑ රදුන්

 


අද බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍රවන මහසෑය හෙවත් රුවන්වැලි මහ සෑය සැබවින්ම දෙව්ලොවත් මනුලොවත් එකට සම්බන්ධ වී තනන ලද මහා නිර්මාණයකි. මෙහි ඇති සුවිශේෂිත්වය නම්, ලෝකයේ ප්‍රබලම විශ්ව ශක්තිය ඇති එකම ස්ථානය මෙය බවට නාසා ආයතනයත් තහවුරු කිරීමයි. අපි මේ නිර්මාණයේ සැඟැවුණු රහස් පිළිබඳ ගරු ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගමු.

පින්වත්නි, අද අප ඉදිරියේ මේ අහස උසට පෙනෙන්නේ, බුදුරදුන්ගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහ සෑ රජාණන් වහන්සේයි.

අප මේ වැඩ සිටින ස්ථානය රහතන් වහන්සේලා අනූහය කෝටියක් වැඩ හිටපු තැනක්. එමෙන්ම බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. මේ මහ භද්‍රකල්පයේ බුදුවරු හතර නමක් පහළ වුණා. එනම් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බුදුවරුන්ගේ පා පහස ලැබු ස්ථානයකි මේ. ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවක රහතන් වහන්සේලා පන්සිය නමක් සමඟ මේ රන්කොත පිහිටි මධ්‍ය ලක්ෂයේ (සෑය හරි මැද) සමාධි සුවයෙන් වැඩ සිටියා. මේ රහතන් වහන්සේලා අතර සිටි ඇහැළ මලේ පාටින් බබළන, කල්පයක් ඇතුළත වැටෙන වැස්සේ වැහිබිඳු ගාණ ගණන්කරලා කියන්න පුළුවන් ප්‍රඥාවක් සහිත සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ස්ථානයට බුදුරජාණන් වහන්සේ සමඟ වැඩම කළා. ඊළඟට නිල් මානෙල් මලේ පාටින් බබළන මුගලන් මහ රහතන් වහන්සේත් මේ අප හිඳින ස්ථානයට වැඩම කළා. ඉන්පසු ධූතාංග ගුණයෙන් අගතැන්පත් දුප්පතුන්ගේ මුණිවරයා කියා, ඒ කාලයේ හැඳින්වූ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ මේ සෑයට වැඩම කළා. අංගුලිමාල මහ රහතන් වහන්සේත් මේ ස්ථානයට වැඩම කළා. උපාලි මහරහතන් වහන්සේත් වැඩම කළා. එමෙන්ම නීරෝගී ගුණයෙන් අග තැන්පත් බක්කුල මහරහතන් වහන්සේත් වැඩම කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ හැර අනෙක් සියලුම රහතන් වහන්සේලා වැඩම කරපු ස්ථානයක් තමයි මේ. ආනන්ද ස්වාමීන් වහන්සේට වැඩම කිරීමට නොහැකි වුණේ, උන්වහන්සේ ඒ වනවිට රහත්භාවය ලබා නොතිබූ නිසාවෙනි.