Labels

Showing posts with label අති පූජ්‍ය ඌරුගමුවේ අස්සජි හිමියන්. Show all posts
Showing posts with label අති පූජ්‍ය ඌරුගමුවේ අස්සජි හිමියන්. Show all posts

Sunday, February 18, 2018

අගසව් ගුණ නැණ හැඳින දිවිමග සපල කර ගනිමු

“මහණෙනි, පංච වර්ගික භික්ෂුහු, යස භික්ෂුව, භද්ද වග්ගිය භික්ෂූහු, තුන් බෑ ජටිල භික්ෂූහු යන මේ සියලුදෙනා ම අනෙකක් පතාම පින් කළාහු ය. අගසව් තනතුරු නො පැතූහ. එහෙත් සැරියුත්, මුගලන් දෙනම අගසව් තනතුරු පතා ම පින් කළහ.”
බෞද්ධ සමාජය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසකගෙන් සමන්විත ය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයෙහි මෙම සිව් පිරිසෙහි ම විශේෂ කුසලතා සැලකිල්ලට ගනිමින් ඔවුනට යෝග්‍ය තනතුරු ප්‍රදානය කළ හ. මෙම තනතුරු අතර වඩාත් විශිෂ්ට වනුයේ අගසව් තනතුරු දෙක ය. බුදු සසුනෙහි එම උත්තරීතර තනතුරු ලැබීමට භාග්‍ය සම්පන්න වූයේ සැරියුත් මුගලන් යන මහ රහතන් වහන්සේ දෙනම ය.
රජගහ නුවර දඹදිව ඉතා ප්‍රසිද්ධ නගරයකි. ඒ සමීපයෙහි උපතිස්ස නම් වූ සුන්දර බමුණු ගමක් පිහිටා තිබුණි. එහි මහාසාර බමුණු කුලයක සාරි නම් වූ බැමිණියට උපන් දෙටු පුත්‍රයා උපතිස්ස යන නමින් ප්‍රකට විය. කෝලිත නම් බමුණු ගම ද උපතිස්ස ගම සමීපයෙහි වූ තවත් ගම්මානයකි. එහි මහාසාර බමුණු කුලයෙහි මොග්ගල්ලාන බැමිණියගේ පුත්‍රයා ප්‍රකට වූයේ කෝලිත යන නමිනි.
මෙම උපතිස්ස - කෝලිත දෙදෙනා ඉතා කුඩා කල පටන්ම කල්‍යාණ මිත්‍රත්වයක් ඇතිව ජීවත් වූහ. ක්‍රමයෙන් තරුණ වියට පත් ඔවුහු තවත් මිතුරන් පිරිසක් ද සමග රජගහනුවර වාර්ෂිකව පත්වන මහා සැණකෙළියකට සහභාගි වූහ. ඔවුන් සැණකෙළිය නරඹනුයේ අපමණ විනෝදාස්වාදයකින් යුක්තව යි. එහෙත් උපතිස්ස කෝලිත දෙදෙනා මෙමගින් සෙසු තරුණ තරුණියන් ලබන විනෝදය නො ලැබූ හ. එපමණක් නොව ජීවිතය ගැන කලකිරීමක් ද ඇති කර ගත් හ.

Saturday, December 16, 2017

සිරිලක බෝධිපූජා පුරාණය

ලක්දිවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛාව වැඩමවීමෙන් පසුව මහත් උත්සවාකාරයෙන් එයට පුද පූජා පැවැත්වී ය. දඹදිව සිට සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් වැඩමවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබී ය. මෙම බෝධි ශාඛාව දඹකොල පටුනේදී පිළිගෙන අනුරාධපුර අගනුවරට වැඩමවීම හා රෝපණය කිරීම නිමිති කොට විශාල උත්සවයක් පවත්වා ඇත

බෝධි ශාඛාව අත්‍යලංකාරයෙන් සකස් කෙරුණු රථයක් මත තබා මග දිගට පුද සත්කාර පවත්වමින් නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩමවාගෙන පැමිණි බව සමන්තපාසාදිකාවෙහි 1 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි. මෙම පෙරහර සම්බන්ධයෙන් සමන්ත පාසාදිකාවෙහි සඳහන් නොවන තොරතුරු කිහිපයක් මහාවංසයෙහිත්, බෝධිවංසයෙහිත් සඳහන් ය. දඹකොළ පටුනෙන් පිටත් වූ බෝධි ශාඛාව රැගත් පෙරහර නාගදීපයෙහිත් , තිවක්ක නම් බමුණා ගේ ගමෙහිත්, පුද සත්කාර පිණිස නතර වූ බව මහාවංසයේ හා බෝධිවංසයේ සඳහන්ව තිබේ. අනුරාධපුර නගරයේ ජනතාවගේ වැඳුම් පිදුම් හා පී‍්‍රති ඝෝෂා මධ්‍යයේ ගමන්ගත් මෙම පෙරහර මහමෙවුනා උයනට පිවිස එහි සකස් කළ භූමියෙහි බෝධි ශාඛාව පිහිටුවීම සිදුකළ බව මහාවංසයෙහි 19 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි.

Saturday, November 18, 2017

අට මහා පින්කම්

කඨිනට්ඨපරික්ඛාරං –
වාසදානං ච උත්තමං
බුද්ධපමුඛ සංඝස්ස දානං –
ම්මස්ස ලේඛනං
ඛෙත්තදානං ච බුද්ධස්ස –
පටිමාකරණංපිච
කරණං වච්චකුටියා –
අට්ඨ පුඤ්ඤානි උච්ඡරෙ
මෙම ගාථාවෙන් ඉගැන්වෙන පරිදි කඨින පූජාව, අටපිරිකර පූජාව, ආවාස ( නිවාස) පූජාව. බුදුරදුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේට සිදු කෙරෙන දාන පුජාව, ධර්මය ලියවීම, ඉඩකඩම් පූජාව, බුද්ධ ප්‍රතිමා තැනීම හා වච්චකුටි ( වැසිකිලි) තැනවීම අට මහා පින්කම් වේ.

කඨින පූජාව


අට මහා පින්කම් අතර පළමුවැන්න කඨින චීවර පූජාව යි. පෙළ පොතට හා අටුවා අනුව මෙය උසස් ම පින්කමකි. වස්සාන ඍතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන උපසම්පදා භික්ෂූන් වහන්සේලා වස් සමාදන් ව වැඩ සිටින කාලය යි. මෙම සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පොහොයෙනි. සෑම වර්ෂයක ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන මෙම වස් කාලය සැදැහැවතුන්ගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ. මෙම කාලයෙහි සිදු කෙරෙන විශේෂ පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පුජා පුණ්‍ය මහෝත්සවයෙනි. වප් පුර පසළොස්වක පොහෝදා සිට කඨින මහා පින්කම් ඇරඹෙයි. එබැවින් වප් මහට චීවර මාසය යන නම ද ව්‍යවහාර කෙරෙයි. කඨින පින්කම් සිදුකළ හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහෝදා ය.

Tuesday, August 22, 2017

උපන් කුසල් පවත්වා ගැනීමට ගන්නා උත්සාහය

උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් සම්මා වායාම වන මාර්ගාංගය යටතේ ඉගැන්වෙන්නකි. එහි සම්මා වායාම සතරක් තිබෙයි. ඉන් සිව්වන සම්මා වායාමය දක්වා ඇත්තේ උප්පන්නානං කුසලානං ධම්මානං... යනාදී වශයෙනි. සෝවාන් ආදී මාර්ගඵල මාර්ගයෙනි.
පෘතග්ජන පුද්ගලයාගේ ශීලයට හානි සිදු විය හැකි ය. උදාහරණයක් ලෙස පන්සිල්, අටසිල් යනා දී ශීල ප්‍රතිපදාවන්හි එක් සිල් පදයක් හෝ කිහිපයක් විනාශ විය හැකි ය. ඒ අනුව ඇතැම් විට මනා සිල්වතෙකුව සිටින පෘතග්ජන පුද්ගලයා ඇතැම් විට හෙට දිනයේ පස්කම් සැප විඳිමින් පව්කම් කරන දුසිල්වතෙකු විය හැකි ය.
සිල්වතෙකු ලෙස ප්‍රසිද්ධිය ලබා සිටින පැවිද්දෙකු උපැවිදිව යම් වරදක් කරනු දුටුවහොත්, ඇසුවහොත් අපි එයට කලබල වෙමු. ඇතැම් බෞද්ධයෝ බුදු දහමෙන් ඈත් වන තරමට කල කිරෙති. සමස්ත පැවිදි සමාජයටම ගර්හා කරති. එය ධර්මය නොදැනීම නිසා වන කලබලයකි. පෘතග්ජන ස්වභාවයට අනුව අප සංසාරයෙහි තබා එක් ජීවිත කාලයක් මුළුල්ලෙහි වුව ද දුකෙන් මිදී වාසය කරන්නට තිබුණත් එය පුදුම සහගත ය. එය නොහැකිවීම පුදුමයක් නොවේ. එය පෘතග්ජන ස්වභාවයේ ස්වරූපය යි.
පැවිදිව භාවනා කර ධ්‍යාන අභිඤ්ඤාව ලබා අහසින් ගමන් කරමින් සිටින ඇතැම් උතුමෝ පවා සියල්ලෙන් පිරිහී නැවත ගිහි බවට පත්වූ අවස්ථා තිබේ. එසේ වූයේ කුමක් හෝ හේතුවක් නිසා නොව උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට උත්සාහ නොකළ නිසා ය.

Tuesday, May 9, 2017

මිතුරු නොවන මිතුරන් හඳුනා ගනිමු


" යම් පුද්ගලයන් කෙරෙහි සද්ධාව නොමැතිද, දුස්සීල වෙයි ද ධර්ම විනය නොදන්නේ වේද, මසුරුකම ඇත්තේ වේද, නුවණ නැත්තේ වේද ඔවුහු පාප මිත්‍රයෝ වෙති. මෙම අමිත්‍රයින් සිංහ ව්‍යාඝ්‍රාදී වන සතුන්ගෙන් වන භය ඇති මාර්ගයක් මෙන් දුරින්ම දුරු කළ යුතු ය."
නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මංපි සමනුපස්සාමි යෙන අනුප්පන්නාවා අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නාවා කුසලාධම්මා පරිහායන්ති යථා ඉදං භික්ඛවෙ පාප මිත්තතා, පාපමිත්තස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති. උප්පන්නා ච කුසලාධම්මා පරිහායන්තී’ ති.

Tuesday, October 25, 2016

මරණය සිහි කරනවාද ?

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි යැයි” සිහිපත් කරමින් මරණානුස්සතිය වැඩිය යුතුය.
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
පවාත දීප තුල්‍යාය
සායුසන්තති යාක්ඛයං
පරුපමාය සම්පස්සං
භාවයෙ මරණස්සති
මහා සම්පත්ති සම්පත්තා
යථා සත්තා මතා ඉධ
තථා අහං මරිස්සාමි
මරණං මම හෙස්සති
පින්වත්නි
ඉහත දැක්වූයේ මරණානුස්සති කර්මස්ථානයෙහි ආරම්භක ගාථා දෙකයි.

Sunday, February 14, 2016

සිතීමේ හා විමසීමේ නිදහස


නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“චථ තුම්හෙ කාලාමා මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉති කිරාය, මා පිටකසම්පදානේන මා තක්කහේතු මා නය හේතු මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨි නිජ්ඣානක්ඛන්තියා , මා භබ්බරූපකාය, මා සමණො නො ගරු”ති

සැදැහැවත්නි,

Saturday, January 16, 2016

ජීවිතයට ඔවදනක්


මිනිසුන් ලෙස සසර එක් භවයක් තුළ ගත කරන මෙම ඉතා කෙටි කාල සීමාව තුළ ජීවිතය මෙලොව හා පරලොව වශයෙන් ජය ගැනීම සඳහා අපි අනේකවිධ වූ ක්‍රියාකාරකම්වල නිරත වන්නෙමු. එයින් මෙලොව ජීවිතය ධාර්මික ලෙස ජය ගැනීම යනු පරලොව ජීවිතය ද ජය ගැනීමක් බව අප හොඳින් දන්නා කරුණකි.
සැදැහැවත්නි,

Thursday, September 3, 2015

දෙලොව යහපත සදන්නේ පිරිසුදු සිතයි


නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
ඉධ සෝචති පෙච්ච සෝචති
පාපකාරී උභයත්ථ සොචති
සො සෝචති සො විහඤ්ඤති
දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ’ති


සැදැහැවතුනි,

Wednesday, August 12, 2015

නිවන් පිළිවෙත



දුක නැති කිරීමේ මාර්ගය පිළිබද ආර්ය සත්‍යය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් දියුණු කර පරිපූර්ණත්වයට පැමිණීම මෙම අංග අටෙන් අදහස් වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැර කර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය යන අදහස ගත් කාමසුඛල්ලිකානුයෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක් දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි.

Friday, July 31, 2015

ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ අසිරිමත් ඇසළ පොහොය



ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තුළින් පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස් පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.ඒ අනුව ඇසළ පොහෝදා සිදු වූ සදාඅනුස්මරණීය සිදුවීම මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍රය පැවැත්වීමයි.

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසයෙහිලා ඉතා වැදගත් සිදුවීම් රැසකට මුල් වූ ඓතිහාසික වූත්, පූජනීය වූත් දිනයක් ලෙස පෙන්වා දිය හැකිය. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වීම මේ අතර ප්‍රධානත්වය ගනී.
තවද වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහාබෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, විසිනව වන වියේදී සතර පෙරනිමිති දැක ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම, බුදුරදුන් ප්‍රමුඛ පස්වග මහණුන්ගේ ප්‍රථම වස්සූපගමනය සිදුවීම, රාහුල කුමරු ඉපදීම ,ගණ්ඩබ්බ රුක් මුල්හිදී තීර්ථකයන් ගේ මානය මර්දනය කරනු වස් බුදුරදුන් යමාමහ පෙළහර පෑම, මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදුකිරීම, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසු තෘතීය මහාශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම යන සිදුවීම් ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත්වීමට බලපාන කරුණු අතර ප්‍රමුඛත්වය ගනියි. 
ලංකා ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේදී මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා විසින් සම්මත කරන ලද මහාවිහාර සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කිරීම, ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබීම, දේවානම්පියතිස්ස රජු විසින් මිහින්තලයේ කණ්ඨක චේතිය වටා කර වූ අට සැට ලෙන් පූජාව, මහරහතන් වහන්සේලා හැට දෙනමක් පළමුවරට ලක්දිව වස් එළඹීම.දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑය තැනීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීම, එම මහාසෑයෙහි ධාතු නිධානෝත්සවය සිදු කිරීමද, දළදා වහන්සේ ලක්දිවට වැඩමකරවීමෙන් පසු වාර්ෂික දළදා මහා පෙරහරේ ආරම්භය සිදුවීම යන කරුණු ඇසළ පොහොය හා සම්බන්ධව ඉතා වැදගත් වෙයි.
බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී පස්වග මහණුන් අරභයා බුදුරදුන් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වීම ඇසළ පොහෝදා වූ මෙම සෑම සිදුවීමක් අතරම වඩාත් ප්‍රමුඛත්වය ගනියි. එම ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ පළමුව පස්වග මහණුන් අරභයා මෙසේ දේශනා කළහ.
ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනොගම්මො පොථුජ්ජනිකො අනරියො අනන්ථ සංහිතො යො චායං අත්තකිලමථානු යොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතා, එතෙ තෙ, භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා, චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති
මෙහි සිංහල අර්ථය මෙසේය
මහණෙනි පැවිද්දෙකු විසින් අත්හල යුතු අන්ත දෙකකි. එනම් ලාමක වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වූ වස්තු කාමයන් කෙරෙහි යම් කාමසුඛල්ලිකානුයෝගයක් ඇද්ද, එසේම දුක් උපදන්නා වූ අනාර්ය වූ අනර්ථයක්ම සිදුකරන්නාවූ යම් අත්තකිලමථානුයෝගයක් ඇද්ද, මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ බුදුරජාණන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය මාර්ගය අවබෝධ කරන ලදහ. එම මග යාමෙන් ප්‍රඥා ඇස පිරිසුදු කෙරෙයි. නුවණැස ඇති කෙරෙයි. එය කෙලෙසුන් සන්සිඳීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස නිවන පිණිස හේතු වන්නේය.
සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙන යන ප්‍රතිපදාව මෙහි ඇතුළත් චතුරාර්ය සත්‍යය තුළින් විග්‍රහ කොට ඇත. දුක, දුක ඇතිවීම, දුක නැතිකිරීම් හා දුක නැති කිරීමේ මාර්ගය වශයෙන් මෙම අංග සතර බෙදා වෙන්කොට තිබේ. මෙහි දුක නැති කිරීමේ මාර්ගය නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැරකර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය යන අදහස ගත් කාමසුඛල්ලිකානු යෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක් දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි. මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තුළින් පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස් පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.ඒ අනුව ඇසළ පොහෝදා සිදු වූ සදාඅනුස්මරණීය සිදුවීම මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍රය පැවැත්වීමයි.
ඇසළ පොහොය හා සම්බන්ධව මහනුවර ඇසළ මහා පෙරහර ඇතුළුව ප්‍රකට සිද්ධස්ථාන ගණනාවකම පැවැත්වෙන පෙරහර මංගල්‍යයක් රාශියකම පවතියි. විජය රජු ගෙන් පසුව ලංකාවේ ඇරැඹි ඇසළ උත්සවය 1 වෙනි ගජබා රජුගේ කාලයේදී (ක්‍රි.ව. 112-134) ඇසළ පෙරහර බවට පත්විණි. කප් සිටුවීමෙන් ඇරඹෙන ඇසළ උත්සවය නිමාවට පත්වන්නේ දිය කැපීමෙනි. මේ අනුව මෙය වර්ෂාව ලබාගැනීම සඳහා අතීතයේ පැවැත් වූ උත්සවයකින් ආරම්භ වු බව පෙනේ. කෙසේ වුවද පුරාතනයේ පටන් පැවතෙන අනේකවිධ වූ සිද්ධීන් හා චාරිත්‍රවිධි සිහිකිරීම සඳහා මෙම ඇසළ උත්සවය යොදාගත් බවට සාධක ඇත. දළදා වහන්සේ මෙම උත්සවයට සම්බන්ධ කිරීම එයට ප්‍රධාන සාධකයෙකි. දළදා වහන්සේ ඇසළ උත්සවය හා සම්බන්ධ කරගත් පසුව එය “දළදා පෙරහර හා ,දළදා උත්සවය යන නම් දෙකින්ම ව්‍යවහාර කෙරිණි.
ඓතිහාසික වූත්, පූජනීය වූත් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය ආමිෂ පූජාවන්ට මෙන්ම වෙසෙසින් ප්‍රතිපත්ති පූජාවන්ට ද මුල්තැන දෙමින් අර්ථවත්ව සැමරීම කෙරෙහි සැදැහැවත් සියලු දෙනාම වඩාත් උත්සුක විය යුත්තාහුය.

 ඌරුගමුවේ අස්සජි හිමි






 ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ ජූලි 12 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි