මිනිස්සු උපදිනවා, ජීවත්වෙනවා, මැරෙනවා. ඒ මිනිසුන් අතරෙන් ම කලාතුරකින් කෙනෙක් බුද්ධත්වයට පත්වෙනවා. ඒ කාලාන්තරයක් පුරා පුරන ලද පෙරුම්දම්වල ප්‍රතිඵල වශයෙන්. අප ජීවත් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ, උන් වහන්සේගේ දහම පවතින කාලයක යි.
බුදුවරයන් වහන්සේ නමකගේ පහළවීමත්, ධර්ම විනය ලෝකයේ පැවතීමත් ලෝකයට හිත පිණිස, සැප පිණිස පවතින බව සුගත විනය සූත්‍රයේ තථාගතයන් වහන්සේ ම දේශනා කොට තිබෙනවා. ලෝකයේ මිනිස්සු කල්පනා කරන්නේ, තමන් සිතන දේ එලෙසින් ම ඉටු වෙනවා නම් එය සැපයක් කියලයි. ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පසිඳුරන් ඇසුරෙන් ලබන සංතෘප්තිය ම ඔවුන් අපේක්ෂා කරනවා.
ඉඳුරන් පිනවන්නට ලැබීම සැපයක් කියලා හිතනවා. එහෙත් කිසිවෙකුටත් කිසි විටෙකත් එලෙස තමන් සිතන පතන සියල්ල එලෙසින්ම සපුරා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එසේ නොවන විට ඇති වන්නේ දුකක්. එබැවින් ලෝකයේ සියලු දෙනාම බොහෝ විටජීවත් වෙන්නේ බලාපොරොත්තු කඩ වූ අය හැටියට දුකෙන්, වේදනාවෙන්. එනිසා බොහොම ඈත කාලයක ඉඳලාම දුක යටපත් කිරීමට, නැතිනම් නැතිකර දැමීමට ක්‍රම සෙවීම කෙරෙහි මිනිසුන් උනන්දුවක් දැක්වූවා. බුද්ධ කාලයට පෙර සිටම මිනිසා දුකෙන් මිදීම පිණිස, නොයෙක් ක්‍රියා මාර්ග අනුගමනය කළ බව පොත පතෙහි දැක්වෙනවා. මහා බ්‍රහ්මයා, ඊශ්වරයා වැනි අදෘශ්‍යමාන බලවේග කෙරෙහි විශ්වාසය තැබීම ඒ අතරින් එක් ක්‍රමයක්. තව කොටසක් සිරුරට දුක්දීම තුළින්ම සියලු දුක් නිමා කළහැකි බව හිතුවා. මේ අතර සිරුරට අසීමිත ලෙස සැප දීමෙන් දුක් දුරලිය හැකි බව පිළිගත් පිරිසක් ද හිටියා. මේ කිසිදු ක්‍රමයකින් දුක නැතිකළ නොහැකි බව පසක් කරගත් බුදු රජාණන් වහන්සේ, ලෝකයට අනාවරණය කරන ලද්දේ එතෙක් ලෝකයේ කිසිවෙකුත් සොයා නොගත් නවතම ක්‍රියා මාර්ගයකි.
වරක් අචේල කස්සප නම් පිරිවැජියා බුදුරජාණන් වන්සේ වෙත පැමිණ ප්‍රශ්න කීපයක් ම විමසුවා.
ගෞතමයන් වහන්ස, දුක ඇති කරන්නේ තමා විසින් ම ද? නැතිනම් අනුන් විසින් ද? එසේත් නැතිනම් තමන් හා අනුන් යන දෙදෙනා විසින්දැ’යි? කස්සප ප්‍රශ්න කළා. තථාගතයන් වහන්සේගේ පිළිතුර වූයේ, දුක තමන් විසින් හෝ අනෙකෙකු විසින් හෝ තමා හා අනෙකෙකු විසින් හෝ ඇති කරන ලද්දක් නොවන බවයි.එසේනම් දුක ආකස්මික ව ඇති වන්නක් දැයි කස්සප නැවතත් විමසුවා. දුක ආකස්මික ව ඇති වන්නක් ද නොවන බව තථාගතයන් වහන්සේ වදාළා. එසේනම් දුක කියා දෙයක් නැද්දැයි ඔහු නැවත විමසුවා. දුක කියා දෙයක් තිබෙන බව බුදු පියාණන් වහන්සේ වදාළා. ඔබ වහන්සේ දුක දැක තිබේදැයි? ඔහු නැවතත් විමසා සිටියා. තමන් වහන්සේ දුක දැක ඇති බව උන් වහන්සේ වදාළා.
