Labels

Monday, January 17, 2022

තමන් ළඟම සිටින කලණ මිතුරා හීලෑ කළ සිතයි

 


බුදුදහමට අනුව මිනිසාගේ මනස විශ්මිත එකකි. එබැවින් එය නිසි පරිදි හීලෑ කර ගත හොත් එයින් ලැබිය හැකි ප්‍රයෝජනය අසීමිත ය. ධම්මපදයේ දැක්වෙන පරිදි මව, පියා හෝ වෙනත් ඤාතියකු විසින් කරනු ලබන යහපතටත් වඩා වැඩි යහපතක් මනාව හික්මවන ලද සමාහිත සිතට කළ හැකි ය

. එසේම සොරකු තවත් එබඳු ම සොරකුට කරන හානියටත් වඩා වැඩි හානියක් අසමාහිත අසංවර සිතකට කළ හැකි ය. ඒ අනුව පුද්ගලයා උසස් අයකු හෝ පහත් අයකු බවට පත්කරන බලවේගය එම තැනැත්තාගේ සිත බව පැහැදිලි ය.

ඒ ඒ ඉන්ද්‍රියන්ගෙන් පැමිණෙන අරමුණු මඟින් එයට අදාළ සිතිවිලි නිර්මාණය වන අතර මනින්ද්‍රියේ පැවැත්ම තීරණය වන්නේ එයට ගෝචරවන ධම්මාරම්මණ නිසයි. ඉන්ද්‍රිය සංවරය යනු හුදෙක්ම ඇස, කන, නාසය, දිව, ශරීරය පමණක් නොවේ. මනසට ගෝචරවන ධම්මාරම්මණ සම්බන්ධයෙන් ද සංවරයක් ඇතිකර ගැනීම අවශ්‍ය වේ.

මනස ඉතා බලවත් ඉන්ද්‍රියකි. එයට තමාට අදාළ විෂය සීමාව තුළ පමණක් නොව එයින් පරිබාහිර අනෙකුත් ඉන්ද්‍රියයන් පහ සම්බන්ධ අරමුණු ද ගෝචර කර ගත හැකි ය. ඇසින් දුටු රූපයක් නැවත නැවත සිහියට නඟා ගෙන එයට අදාළ විතර්ක නිර්මාණය කිරීමේ හැකියාව මනස සතු වේ.

අනෙකුත් ඉන්ද්‍රියයන්ට එවැනි හැකියාවක් නැත. මේ ඉන්ද්‍රියයන් හා සම්බන්ධ අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව නිසා මනසේ ගෝචර සීමාව අතිශය පුළුල් වේ. මනින්ද්‍රිය හැර අනෙකුත් ඉන්ද්‍රියයන්ට එයට අදාළ අරමුණ හැර වෙනත් අරමුණක් හා සම්බන්ධ විය නොහැකි ය.

බොදු උරුමයක අභිමානය දකින්නට ජීවිතයේ එක් වතාවක් හෝ ඓතිහාසික කූරගල පුදබිමට එන්න

 


අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේගේ” සුවඳවත් වූ ගර්භයේ නිදන් වස්තු තැන්පත් කිරීම මේ මස 16,17, 18 යන තෙදින තුළ පැවැත්වේ. 16 දින සවස 3.00ට නිල වශයෙන් නිදන් වස්තු තැන්පත් කිරීම සිදු වන අතර 18 වැනි දින සවස 3.00 දක්වා ම අඛණ්ඩව සුවඳවත් වූ සෑ ගර්භයේ සැදැහැවතුන්ට පූජා වස්තු තැන්පත් කිරීම සිදු කළ හැකි ය.

අභිමානනීය අතීතයක නටබුන් වසා දමමින් බොදුනුවන්ට නැතිවී ගිය උරුමයක් යළි ගොඩනඟන්නට (බලංගොඩ) කුරගල කඳු මුදුනේ “අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේ ඉදි කරන්නට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු වූයේ පසුගිය වසරේ මැදින් පෝදා ය.

" අන්තවාදී කොටස්වලින් අදටත් යම් යම් බලපෑම් පවතිනවා. විවිධ ප්‍රශ්න ගැටලු ඇති කරනවා. මම නුවර සිට මෙහි පැමිණියේ පුද බිම ඉදිකරන්න. ඒ නිසා මම අර ප්‍රශ්නය, මේ ප්‍රශ්නය පවතිනවා කියා මාධ්‍ය ඉදිරියේ නහයෙන් අඬන්න ලැහැස්ති නැහැ. මේ එන සෑම අභියෝගයකට ම මුහුණ දෙන්න අවශ්‍ය භික්ෂු පෞරුෂත්වය මට තියෙනවා. "

ඒ ආරම්භයත් සමඟ අපේ වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ, සුවහසක් බොදුනුවන්ගේ ශක්තියෙන් ඉදිවෙමින් පවතින මේ පින් බිම දෙනෙතින් දැක ගන්නට අපි වාසනාවන්ත වීමු. අප එහි යන විටත් මේ මහා සෑරදුන්ගේ සලපතළ මලුවට කොන්ක්‍රීට් ඇතිරීමේ මහා වැඩ කටයුත්ත සිදුවෙමින් පැවතුණි. ඒ උතුම් පුණ්‍ය කටයුත්තට තම ශ්‍රමදායකත්වය සපයන්නට එහි පැමිණ සිටි පිරිස පන්දහසකට ආසන්න ය. ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බලකාය සහ දෙස් විදෙස් බොදු දනන් ඒ අතර වූහ. මේ උතුම් පින් කටයුත්ත සිදු වන්නේ මෙහි නියමුවාණන් වහන්සේ අපේ වතුර කුඹුරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ ලක්වාසි දනන් වෙත කළ පෙර දැනුම් දීමකිනි. ඒ මෙදින සෑ රදුන් පිහිටි බිම සල පතළ මලුවේ කොන්ක්‍රීට් ඇතිරීම සිදුවෙන බවටයි. ඒ පුංචි දැනුම්වත් කිරීමට ඇහුම්කන් දෙමින් දහස් ගණනින් ජනතාව ශ්‍රම දායකත්වය ලබා දෙමින් පින් පුරවා ගන්නට මෙහි පැමිණ සිටියහ.

“අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේගේ” උස අඩි 130 කි. උන්වහන්සේ සබරගමුව පළාතේ ඉදිවන විශාලතම සෑ රදුන් වහන්සේ ය. විශේෂත්වය වන්නේ දිස්ත්‍රික්ක හයකටත්, පළාත් හතරකටත් උන්වහන්සේගේ පින්බර දසුන දිස් වීම ය.

අපේ උරුමය සුරකින මේ පින්වන්ත සුවිසල් කාර්ය භාරය පිළිබඳ අපේ නායක හාමුදුරුවන් වහන්සේ අදහස් පළ කළේ මෙලෙසිනි.

Tuesday, January 4, 2022

කම්සැප විඳීමේ සීමාව හඳුනා ගන්න

 


 කම් යනු කැමැත්ත ය. කැමැති දේ ලබමින් සිතේ හටගන්නා අත්දැකීම කම් සැපයයි. එය පසිඳුරන්ට පමණක් සීමා වේ. එසේ පංච කාමය වි¼දීම පිළිබඳ දීඝජානු කෝලිය පුත්‍රයා බුදුන් හමුවට පැමිණ කළ ප්‍රකාශයෙන් ද පැහැදිලි වන්නේ අගාරික දිවියේ අරමුණු පිළිබඳවයි. "

සත්වයා ඉපදෙමින් මැරෙමින් යන සංසාර චක්‍රය අවිද්‍යාව හා තෘෂ්ණාව මත පදනම් වූවක් බව අවධාරණය කරන මුල් බුදුසමය එයින් මිදීමේ මග ආර්ය මාර්ගය වන බව ප්‍රකාශ කරයි.

මිනිසා ලෞකික සැප සම්පත් පරිහරණය කරයි. ඒවා නිත්‍ය නොවන බව නොදැනීමෙන් පංච උපාදානස්ඛන්ධය සැපයක් සේ සලකයි. ඒවාම උපාදානය කොට දුකට පත්වෙයි. මේ බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත.

උන් වහන්සේ සත්වයාගේ දුක නැති කොට නිවන් පසක් කරලීම අරමුණු කොටගෙන ම ධර්මය දේශනා කොට ඇත. චතුරාර්ය සත්‍යයේ පළමු වැන්න දුක්ඛ සත්‍යය වූයේ ද එබැවිණි. සංයුක්ත නිකායේ දුක්ඛ සූත්‍රයට අනුව දුක ප්‍රභේද තුනකින් යුක්ත වන ආකාරය පෙන්වා දේ.

දුක්ඛ දුක්ඛ, සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ යනුවෙනි.

මිනිසා එදිනෙදා විඳීන ජීවිතයේ සාමාන්‍ය දුක් ගැහැට පළමුවැන්නෙන් පෙන්වා දී ඇත. එනම් කැමති දේ නොලැබීම , අකමැති දෑ ලැබීම , අලාභ , නින්දා , කායික මානසික දුක් පීඩා ආදී දෛනික ව මුහුණ දෙන දුක්ඛයන් මෙම දුක්ඛ දුක්ඛයට අයත් වේ.

මෙලොව සුරපුරක් සදන්නට මිනිසත් ගුණයෙන් සිත සවිමත් කර ගන්න

ඇතැමෙක් අවඥා සහගත සිනහවෙන් යුතුව ඔහු දෙස බැලූහ. මොහු ගැන දන්නෝ වික්ෂිප්තවැ, නොමඳ හිරු රැසින් හාත්පස ආලෝකවත් වූ දහවලක මෙතුමා ගිනිහුළක් ද ගෙන සැරිසැරීමට යම් හේතුවක් ඇතැයි සිතා එය දැනගනු රිසියෙන් මොහු ළඟට ගොස් කරුණු කාරණා විමසූ කල්හි, පඬිතුමා කියා සිටියේ පිරුණු මිනිස් ගුණයන්ගෙන් හෙබි සැබෑ මිනිසකු සොයමින් තමන් ඇවිදින බවත්, පවතින ආලෝකය ඊට ප්‍රමාණවත් නොවූයෙන් ගිනි හුළක් ද ගෙන මේ අසීරු වෑයමේ නියැළෙන බවයි.

වසක්, දැඩි හිරු රැසින් මහපොළොව ගිනියම් වූ මධ්‍යහ්නයක දී එක් පුරුෂයෙක් ගිනි හුළක් ගෙන ගී‍්‍රසියේ ඇතෑන්ස් නුවර වීථියක ගමන් කරන්නට වූයේ ය. මේ වනාහි ලෝ පතළ මහා ප්‍රාඥයකු වූ ගී‍්‍රසියේ සොක්‍රටීස් පඬිතුමා මිස සෙස්සෙක් නොවෙයි.

ඇඟ, බඩ, කඳ මනාව පිහිටි ඇත්තන් කොතෙකුත් සිටිය ද එයින් ම කෙනකු මිනිසකු නොවන බැව් මේ ප්‍රාඥයාගේ කියමනෙන් මොනවට පැහැදිලි වෙයි. ලොව අන් සතුන්ගෙන් මිනිසා වෙන්ව හඳුනාගත හැකි මූලිකාංගය මිනිසාට සිතා මතා නුවණින් වැඩ කිරීමට ඇති හැකියාව යි. ගතේ සවිය මත රැඳුණු කැලෑ නීතියෙන් සපුරා බැහැර වූ විධිමත් චර්යා පද්ධතියකට හෙතෙම උරුමකම් කියයි. තිලොව සත්වගට අසදෘශ ධර්මයකින් සංග්‍රහ කළ තිලෝගුරු සම්බුදුරජාණන් වහන්සේ නිරතුරු මිනිස්බව අරුත් ගන්වා දිවි ගෙවීමේ අගය, වටිනාකම ලෝකයාට පෙන්වා වදාළහ. එම සදූපදේශ ඉවත ලා හැසිරීම, පුද්ගලයාගේ ද එවන් පුද්ගලයින්ගෙන් සුසැදුණු සමාජයේ ද පිරිහීමට, පරාභවයට හේතුභූත වෙයි.

සිතා මතා ක්‍රියා කිරීමේ නුවණක් නැති සියොත් කැළ උදෑසන පිබිද පරිසරය පුබුදුවා දුටුවන් සිත ද පිය උපදවා පලවැලින් කුස පුරවා තුටින් සියොත් මඟ සරති. පක්ෂි සමූහයාගෙන් අනෙකාට හිරිහැරයක් නැත. ඔවුහු වනේ පුරා සොයා ගොසින් අහර ගෙනැවිත් තම පැටවුන් රකිති. කැදලි සාදති. වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, කෙනකුගේ දියුණුවට බාධා අවහිරකිරීම් ආදී දුර්ගුණ කුරුලු ලොවැ නැත. කෑමට දෙයක් ලද විට කපුටා තම වර්ගයා ද කැඳවා ඔවුන් හා බෙදා හදා ගෙන කයි. කපුටු සිරිත කොපමණ අගනේදැයි සිතාබැලීම වටියි. තම මහලු දෙමාපියන් ද පෝෂණය කළ ජාතක කතා පොතේ එන ගිරා පෝතකයාගේ කතාව ද, නුවණින් ක්‍රියා කර විපතින් බේරුණු වඳුරු රංචුව ගැන කියැවෙන නලපාන ජාතක කථාව ද, සමඟියේ බලයෙන් උගුලෙන් බේරුණු වටු කුරුල්ලන් ගැන කියැවෙන සම්මෝදවාන කතාව ද සතුන් තුළ වූ වටිනා ගුණාංග පිළිබඳ මනා දෘෂ්ඨාන්ත ජාතක පොත් වහන්සේ ගෙනහැර පාති.

එදිනෙදා නෙත ගැටෙන කුරුලු ලොව සොඳුරු සිදුවීම් ද, තිරිසන් ලෝකයේ අන් සත්වයන්ගෙන්, බුද්ධියෙන්, මනසින් උසස් වූ මිනිසාට ලබාගත හැකි ආදර්ශ බොහෝ ය. පුංචි වේයා මහා තුඹසක නිර්මාණකරුවා වෙයි. මහාර්ඝ මී පැණි ඖෂධය මී මැස්සාගේ වෙහෙස මහන්සියේ ඵලයකි. අනලස් පුංචි කුහුඹුවා දිවා රෑ වෙහෙසී කෑම රැස් කර වැසි සමයේ අහර හිඟයකට කල් ඇතිව සූදානම් වෙයි. චිත්තාකර්ශනීය ‘වඩුකුරුලු කූඩුව ‘පුංචි සතකුගේ අපූරු නිර්මාණයකි. තමාට බත් පිඬකින් උපකාර කරන්නට සුනඛ තිරිසනාගේ “ලෙන්ගතුකම” මිනිස් අපට කදිම පාඩමකි.

සිත සනහන හදයංගම පිය තෙපුල කාගෙත් සිත් සතන් පහන් කරවයි. හයක් හතරක් නොදන්නා තිරිසනා වුව මුදු වදනට කොතරම් කැමති වේ ද යන්න නන්දිවිසාල ජාතක කතාවෙන් මොනවට පැහැදිලි ය.

දයාව, කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව, මුදිතාව, ඉවසීම, කෘතගුණ දැක්වීම, මිනිස් ලොව මිනිස් වග උතුම් පුරුෂාර්ථ බබුළුවන රන්හුයක අගනා මිණිමුතු ය.

බුදු දහමේ ඉගැන්වෙන සතර බඹවිහරණ කෙනකු තුළ පිහිටා ඇත්නම් එබඳු තැනැත්තා සැබැවින් ම උසස් මනසකට හිමිකම් කියන අරුතින් පිරුණු අයෙකි. සතර බඹ විහරණ යනු මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා උපේක්ෂාවයි. අන්‍යයන් කෙරෙහි දක්වන මිත්‍රත්වය, හිතෛෂි බව, මෛත්‍රිය යි. තමා මෙන් ම සමාජයේ අන්‍යයන්ට ද මිතුරුකමින් සලකන්නා, ගරු කරන්නා තුළ මෛත්‍රී ගුණය පිහිටා ඇත. හෙතෙම අනෙකාගේ හිතසුව පතයි, වරෙක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ තෙරුන් වහන්සේගේ පැනයකට පිළිතුරු සපයමින් ශාසනයේ පැවැත්මට අඩක් නොව සම්පූර්ණයෙන් ම කල්‍යාණ මිත්‍රත්වය හේතුවන බව තථාගත සම්බුදු පියාණෝ වදාළ සේක. මිත්‍රත්වයේ අගය ඉන් මොනවට පැහැදිලි ය.

“මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී

බිතුසිතුවම් රූමෙන් පිටු නොපාවිතී” යහපත් මිත්‍රයෝ දුකෙහිදීත්, සැපේදීත්, තම මිත්‍රයන් අත් නොහරිති. ඒ බිතු සිතුවම් පරිද්දෙනි. සැලළිහිණි සංදේශය රචනා කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ මිතුරුකමේ අගය එලෙසින් පැහැදිලි කළහ.

පොරණ රජ දරුවෝ අසීමිත මෙත් සිතින් යුතුව රටට, දැයට ජනතාවට වැඩ වැඩූහ. රට ධර්මද්වීපයක් වූයේ ද, සහලින් ස්වයංපෝෂිත වූයේ ද, මහ සයුර සදිසි වැව්, අහස්කුසට නැඟුණු සුදෝ සුදු දාගැබ් ඉදිවූයේ ද එදා රට කරවූ නායකයන් ජනතාව වෙත පෑ සෙනෙහස, මිත්‍රත්වය, ඇල්ම, නිසාවෙන් ම යැ. එහෙයින් ම පෙරදා ලක්වැසියෝ භෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මිකව ද පොහොසත් වූ හ.

කෙනෙක් දුකකට, කරදරයකට, පීඩාවකට පත් වූ කල්හි එය තමාට වූ බව සිතා එම තැනැත්තාට උපකාරී වීම කරුණා හදක ලක්ෂණයකි. අප මෙලොව උපන් දා පටන් ලෙඩ වී මහලු වී ජරාවට පත්වී විඳින භවදුකින් සදාකාලික ව මිදීමේ මඟ අපට කියා දුන්නෝ තථාගත බුදුපියාණෝ ම ය. එදා මහ බෝසත්හු සුමේධ තවුස්වැ ඉපිද දීපංකර බුදු පා මුලදි තම අතට පත් නිවන හැරදැමූහ. ඒ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුකින් පීඩිත අසංඛ්‍ය සත්වග දුකින් මුදවනු පිණිස ය. සංසාර මහෝඝයට වැද දස පෙරුම් දම් සපුරා බුදුවැ උන්වහන්සේ අපමණ දෙව් මිනිසුනට අපමණ සුව සෙත උදාකර දුන් සේක. ඒ අසීමිත කරුණාවේ මහිමයෙනි.

සැබැවින්ම බුදුදහමේ ආභාසය ලත් අපේ ලක්වැසියෝ සැමදා කාරුණික හදින් පොහොසත් වූහ.

එදා මෙදා තුර සිරිලක් සමාජයේ බොහෝ දෙනා කරුණාබර හදින් යුතු වූහ. කෙනකුගේ දුක්ඛදායක අවස්ථාව තමා දුකට පත් කලක් මෙන් සලකා ඔවුහු විපතට පත්වූවනට උපකාර කළහ. කෙනකුගේ දුකේ දී පමණක් නොව සතුටේ දී ද ජයග්‍රහණයේ දී ද සතුටුවීම පිරුණු මිනිසකුගේ සැබෑ ලක්ෂණයකි. පෙර දා අපේ ගමක දරුවකු සරසවියට පිවිස උපාධි ලැබූ කල මුළු ගමම සතුටු විය. තොරණ බැඳ ඉතිරුණු තුටින් ජයග්‍රාහකයා පිළිගත්හ. ඒ අපේ කෙනකු ඉහළ තනතුරකට පත් වූයේ ය, යන බලවත් චිත්ත ප්‍රසාදයකිනි.

“ඇතින්නියක ලත් දරු පෙම්බෙර්යා
ඇතිනි රැලේ සැමටම කිරි එරේයා”

යන කියමනෙන් ඇත් පන්තියක සමඟිය, බැඳීම, සාමුහිකත්වය මොනවට විදහාපායි. එදා අපේ ගමක කාන්තාවක කුස දරුවකු පිළිසිඳගත් කල දොළදුක සපුරන රුචි රුචි ප්‍රත්‍යාහාර සපයා දුන්නේ ද, අද මෙන් පහසුකම් නොතිබූ එකල දරු උපතට වින්නඹුකම් කළෝ ද මව් සෙනෙහස ලොවට පළකළ ගමේ වැඩිහිටි අම්මාවරුන් ම ය. එදා සිරිලක ප්‍රධාන ජීවනෝපාය වූ ගොවිතැන් වැඩවලදී ද අපේ අය කයියට වැඩ කළහ. අන්‍යෝන්‍ය ව බැඳෙමින් එකිනෙකාට උපකාරීව තම දිවි පැවැත්වූහ. දුක, කඳුළ, ගැටලුව අභියස නොසැලී අටලෝ දහම ගැන සිතා උපේක්ෂාවෙන් සිත සවිමත් කර ගන්නට අවැසි අයෝමය මානසික පන්නරයෙන් හෙළ බොදු හද සන්තානය සවිමත් වූයේ ය.

කෙනකුගේ ජය, දියුණුව, දැක සතුටු සිත් ඇතිව ඔහුට ඇයට සෙත් පතන්නට ඔබේ හද නැමේ ද, තවකකුගේ හද ගැබ බුර බුරා නඟින සෝ ලතැවුල් මකන්නට කරුණාබර පිය මුදු වදනකට ඔබේ පිවිතුරු හදවත ඔබට විධාන නිකුත් කරයිද? “මට බඩගිනියි, අනේ, අනුකම්පාකර කෑම ටිකක් දෙන්න.” යනුවෙන් පවසන්නට, ඉල්ලන්නට විශ්ව ධර්මයෙන් වරම් නොලද, කළ පව්වලින් අසරණ වූ තිරිසන් සතකුගේ පිපාසයට දිය බිඳක්, කුසගින්නට බත් පිඬක් දිය යුතුය යන සිතිවිල්ලෙන් සරු මහාර්ඝ හදකට ඔබ හිමිකම් කියන්නේ ද?

සැබෑවට ම මෙබඳු ආකාරයෙන් කෙනකුගේ ඇවැතුම් පැවැතුම් පවතී ද? උතුම් සිතුම් පැතුම් ඇති දෙවියන් සදිසි මිනිසුන් වසන මෙවන් තැන මෙලෝ සුරපුරයක් ම යැ. බුදු දහමින් ඔපවත් වූ මිනිස් දිවිය මෙලොව සුරපුරයකට මඟ පාදයි.


මොරටුවේ ආනන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ උඳුවප් අමාවක පෝදා 2022 ජනවාරි 02 ඉරිදා දින  බුදුසරණ පුවත්පතෙ පල වු ලිපියකි

සිතේ මායාව කරන කරදර

 


බුද්ධ කාලයේ වැඩසිටි ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් ආනන්ද මහ රහතන් වහන්සේට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ මෙන්ම ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ ද වූ ආනන්ද හිමියන් මන්තානිපුත්ත නම් තම පැවිදි ආචාර්යයන් වහන්සේගේ ධර්ම දේශනාවක් අවසානයේ සෝවාන් ඵලය ලැබ සිටි, බුද්ධඅංගුත්තර නිකායේ භික්ෂුණී සූත්‍රයට අනුව ආනන්ද හාමුදුරුවන් ඝෝෂිතාරාමයෙහි වාසය කරන කාලයේ භික්ෂුණියක් උන්වහන්සේගේ රූප සම්පත්තියට වසඟ වී ආලය කරන්නට පටන් ගත්තා ය. දිනක් ඇය එක්තරා මිනිසකු කැඳවා “එක් භික්ෂුණියක් අසනීප වී හොඳටම අමාරුවෙන් සිටිනා බවත් , අවසන් මොහොතේ ඔබ වහන්සේ දැක ගන්නට ඕනෑ යැයි පවසන බවත් ඈ පිළිබඳ අනුකම්පා කොට මෙහෙණි අරමට ගොස් ඇගේ සිත සනසන්න” යනුවෙන් ආනන්ද හිමියන් වෙත ගොස් ඉල්ලා සිටින මෙන් පැවසුවා ය. ඔහු ද උන්වහන්සේ වෙත ගොස් එලෙස ඉල්ලා සිටි අතර ඈ කෙරෙහි අනුකම්පාවෙන් ආනන්ද හිමියෝ මෙහෙණවරට වැඩියහ. උන්වහන්සේ වඩිනු දුටු භික්ෂුණිය ද කාමරය වෙත ගොස් ඇඳේ වැතිරී හිසේ සිට පොරවාගෙන නිදාගෙන සිටින ආකාරයක් දැක්වූවා ය. මෙය පිළිබඳ අවබෝධ කොටගත් ආනන්ද හිමියෝ ධර්මය දේශනා කරන්නට පටන් ගත්හ.

මිතුරු වෙසින් එන සතුරන් සිහි බුද්ධියෙන් හඳුනා ගන්න

 


සමාජයේ ජීවත් වනවිට අප හැම කෙනෙකුට ම කවර හෝ මිත්‍රයෙක් ඉන්නවා. මේ මිත්‍රයාගේ සැබෑ තත්වය හඳුනා ගැනීම අප හැම දෙනාට ම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මිත්‍රයාගේ ස්වභාවය පිළිබඳ පැහැදිලි විස්තරයක් අපට පෙන්වා දී තිබෙනවා.

ඒ සිඟාලෝවාද සූත්‍රයේ දී. සමාජයේ ජීවත්වන විට එක් එක් වයස් කාණ්ඩවලදී හමු වෙන මිතුරන් ගැන සිතුවොත් දරුවන්ට බොහෝ විට වැදගත් වන්නේ දෙමාපියන්ටත් වඩා ඒ මිතුරන්. ඉතින් මේ සැබෑ මිතුරා කවුද කියලා තේරුම් ගෙන ධර්මානුකූල ව වටහා ගෙන ක්‍රියා කළොත්, ඇතැම් විට සමහර මව්පියන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා නොමඟට යන දරුවන් පවා ඒ මිතුරන්ගේ ඇසුරෙන් සුමඟට හැරවීමේ හැකියාවකුත් තිබෙනවා. මවත් පියත් දෙදෙනා තමා ඇත්තට ම දරුවන්ට හමු වන පළමුවන මිතුරන් දෙපළ වන්නේ. එසේ වීමට නම් ඒ මවත් පියත් දෙපළ ම තමන්ගේ මාතෘත්වය හා පිතෘත්වය හරි හැටි අවබෝධ කර ගෙන තම දරුවන් යහපතෙහි පිහිටුවන්නට ක්‍රියා කළ යුතු වෙනවා.

පාසලේ දී දරුවාට ගුරවරු යන්නෙන් පිරිසක් හමු වෙනවා. ඒ හමු වෙන්නේත් මිතුරු පිරිසක් විදයට යි අර්ථ දක්වන්නේ. එහෙත් ගුරු වෘත්තියට නිගා දෙන ගුරුවරයා යන උතුම් වචනයේ අරුත නො වටහා ගෙන ක්‍රියා කරන ගුරුවරුත් අප ජිවත් වන සමාජයේ නැත්තේ නොවෙයි.

ඉතින් මේ අවාසනාවන්ත තත්වයන් හරිහැටි තේරුම් ගෙන මිතුරා හඳුනා ගෙන ක්‍රියා කිරිම නිසා මෙලොවත් පරලොවත් ජය ගන්නට ඇති හැකියාව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා.

මෙහි දී සූත්‍ර පිටකයේ, සංයුත්ත නිකායේ, කෝසල සුංයුත්තයේ එන කල්‍යාණමිත්ත සූත්‍රය විශේෂයෙන් පෙන්වා දෙන්නට පුළුවනි.

මෙතරම් මානසික පීඩා තමන් ගැන නොසිතීම නිසයි

 


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකංඛා, කතමේ එකාදස? සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියෝ හොති, අමනුස්සානං පියො හොති, දේවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණෝ විප්පසීදති, අසම්මුළ්හො කාලං කරොති, උත්තරීං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලොකුපගෝ හොති.

කාරුණික පින්වත,

අද මම ඔබට පහදා දෙනු ලබන්නේ මෛත්‍රිය වැඩීමේ අනුසස් පිළිබඳවයි. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා සූත්‍රයක් ලෙස මා මාතෘකා කර ගත් ඉහත දේශනා පාඨය අඩංගු මෙත්තානිසංස සූත්‍රය දැක්විය හැකි ය. මෙම සූත්‍රය අයත් වන්නේ අංගුත්තර නිකායේ එකාදසක නිපාතයේ අනුස්සති වග්ගයට යි. මෙහිදී උන්වහන්සේ මෙත් වැඩීමේ ආනිශංස එකොළොසක් පෙන්වා වදාළහ.