Labels

Showing posts with label අති පූජ්‍ය පල්ලත්තර ශ්‍රී සුමනජෝති හිමියන්. Show all posts
Showing posts with label අති පූජ්‍ය පල්ලත්තර ශ්‍රී සුමනජෝති හිමියන්. Show all posts

Sunday, October 9, 2016

කාමරාග නීවරණය

“තත්ථ කතමං දුක්ඛ සමුදයං අරීය සච්චං? යායං තණ්හා පොණො භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාහිනන්දිනී. සෙය්‍යථිදං?
කාමතණ්හා, භවතණ්හා, විභව තණ්හා” (ධම්මචක්ක දේශනාව) බුදුරජාණන් වහන්සේ දම්සක් දේශනාව අරඹමින් තණ්හාව තෙවැදෑරුම් බව වදාළේ ඉහත සඳහන් පරිදිය. සියලු සත්ත්වයන්ගේ පුනර්භවය සනිටුහන් ප්‍රධාන ක්ලේශය කාම තණ්හාව හෙවත් කාමච්ඡන්දය බව මෙයින් වදාළහ.
හැම සත්ත්වයෙක් ම තමා උපන් භවය කුමක් වුවත් ඔහු එය පි‍්‍රය කරයි.

Monday, July 18, 2016

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව

ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යොචායං කාමෙසු කාම සුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනී කො අනරියො අනත්ථ සංහිතො. යොචායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො. එතෙ තෙ භික්ඛවෙ උභො අන්තේ අනුපගම්ම මජ්මා පටිපදා තථාගතෙන අභි සම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. ති.
අදට වසර 2645 ට පෙර ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක් වෙසක් පුන් පෝ දිනකය. උන්වහන්සේ තමන් දුෂ්කරක්‍රියා කරන සමයෙහි තමන්ට හමුවූ බුද්ධිමතුන් අතුරින් අඤ්ඤාකොණ්ඩඤ්ඤාදි පස්වග තවුසන් බරණැස ඉසිපතනයේ සිටිනු දැක තමන් වහන්සේ අවබෝධ කරගත් අතිශය ගැඹුරු දහම හෙවත් ධම්ම චක්ක දේශනාව පවත්වන්නට උරුවෙල් දනවුවේ සිට බරණැසට පා ගමනින් වැඩම කළහ. බුදුහු ඉසිපතනයට ළඟාවත්ම පස්වග තවුසන් කතා කරගත්තේ ගෞතම තාපසයෝ අත්තකිලමථානු යෝගය බැහැර කොට සුවපහසු දිවියක් ගෙවමින් යළිත් අපෙන් උපස්ථාන ලබා ගැනීමට අප කරා එනවය. ඔහු උසස් කුලිකයෙකු බැවින් පිළිගනිමු. එහෙත් අපි වැඳුම් පිදුම් ආදී ආචාර සමාචාර නො පවත්වමු කියල. එහෙත් උන්වහන්සේ අසපුවට ළඟාවත් ම සිය කතිකාවත්හි නොසිටිය හැකි වූ තවුසෝ පා දෝවනයට දියබඳුන තබා අසුනක් පනවා සාදරයෙන් පිළිගත්හ.

Friday, July 1, 2016

චුල්ලහත්ථි පදෝපම සූත්‍රය

එවං වුත්තෙ භගවා ජාණුස්සොණිං බ්‍රාහ්මණං එතදවොචං. න ඛො බ්‍රාහ්මණ එත්තාචතා හත්ථිපදොපමො විත්ථා රෙන පරිපූරො හොති. අපි ච බ්‍රාහ්මණ යථාහත්ථිපදොපමො චිත්ථාරෙන පරිපූරො හොති, තං සුණාහී සාධුකං මනසිකරොහි භාසිස්සාමි තිං. එවං හො ති ඛො ජාණුස්සොණි බ්‍රාහ්මණො භගවතො පච්චස්සොයි. භගවා එතද වොච (ම.නි. ඕපම්මවග්ග. 1. 3. 7)
පිලෝතික පිරුවැජියා හා ජාණුස්සෝණි බමුණා අතර ඇති වූ කතා සල්ලාපය පිළිබඳව බමුණා විසින් බුදුරදුන්ට සැලකළ විට බුදුන් වහන්සේ මෙසේ වදාළහ. ‘බමුණ’ මෙපමණකින් හත්ථිපදෝපමාව සම්පූර්ණ නොවේ. හත්ථි පදෝපමාව විස්තර වශයෙන් සම්පූර්ණ වන හැටි මැනවින් අහන්න. අසා මැනවින් මෙනෙහි කරන්න. මම කියන්නම්. පින්වතුන් වහන්ස, හොඳමයි. යනුවෙන් ජාණුස්සොණි බමුණා බුදුරඳුන්ට පිළිතුරු දුන්නා. එවිට බුදුරජාණන් වහන්සේ සුළු ඇත්පා සටහන උපමා කොට විස්තර දේශනාව මෙසේ වදාළහ. ඉහත සඳහන් දේශනා පාඨයෙහි තේරුම එයයි.
මේ ධර්ම දේශනාව මිහිඳු මාහිමි එදා හෙළදිව වැසියන්ට දේශනා කළේ මිස්සක පව්වේ අඹතලා ගල මත වැඩ හිඳිමිනි. මිහිඳු මරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස පොසොන් පුර පොහෝ දවසෙ දඹදිව විදිසාවෙ සිට ලක්දිව මිස්සක පර්වතයට අහසින් වැඩිම කළේ බෞද්ධ ධර්ම දූතයන් වශයෙනි. උත්සව දිනයක් වූ එදින හෙළ දිව මහරජ වූ තිස්ස රජතුමා මිස්සක පව්ව දෙසට සේනා සමඟ විනෝදයට මුව දඩයමේ ගියේ රාජ්‍යමය චාරිත්‍රයක් වශයෙනි. එහිදී මිහිඳු මාහිමි හමු වූ තිස්ස රජතුමා උන්වහන්සේ සමඟ කතා සල්ලාපයෙන් පසු පන්සිල් ගෙන බුදුදහම ඒ අවස්ථාවේ වැළඳ ගති. රජතුමා ප්‍රමුඛ පිරිසට පළමුවෙන්ම දෙසූ ධර්ම දේශනාව වූයේ චුල්ල (චූළ) හත්ථිපදෝපම සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරා අවබෝධ කර ගත් නිවන් මඟ පිළිබඳ පූර්ණ විස්තරයක් ඇතුළත් වේ.

Friday, May 13, 2016

වාසනාවන්ත මිනිස් බවක් ලැබීම පහසුද


බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අපට අසන්නට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේගෙනි. ධර්මාශෝක අධිරාජයා විසින් සිහලද්වීපයට එවනලද සත් ධර්ම දූත සමාගමේ ප්‍රමුඛයා වූයේ මිහිඳු මා හිමියෝය.

Monday, November 9, 2015

සිත දමනය කරගත් සේක


නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“තයො මෙ භික්ඛවෙ මදා, කතමෙ තයො? යොබ්බන මදො, ආරොග්‍ය මදො, ජීවිත මදො, යොබ්බන මද මත්තොවා, ආරොග්‍ය මද මත්තො වා ජීවිත මද මත්තො වා භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො කායෙන, වාචාය. මනසා දුච්චරිතං චරිත්වා කායස්ස හෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති.”

Saturday, September 26, 2015

අනත්ත ලක්ඛණ සූත්‍ර දේශනාව


“ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ, තත්‍ර ඛො භගවා පඤ්ච වග්ගියෙ භික්ඛු ආමන්තෙසි, භික්ඛවොති, හදන්තෙති? තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං, භගවා, එතදවොච, රූපං භික්ඛවෙ, අනත්තා, රූපඤ්ච හිදං භික්ඛවෙ, අත්තා අභවිස්ස, න ඉදං රූපං ආබාධාය සංවත්තෙයිය, ලබ්බේථ ච රූපෙ, එවං මෙ රූපං හොතුං එවං මෙ රූප මා අහොසී ති, යස්මා ච ඛො භික්ඛවෙ රූපං අනත්තා, තස්මා රූපං ආබාධාය සංවත්තංනච ලබ්හති රූපෙ එවං මෙ රූපං හොතුං එවං මෙ රූපං මා අහොසි ති (සං.නි. ඛන්ධ සංයුක්තං උපය වග්ග 1 – 2 – 1 – 7 බු.ජ. 115 පිට)

Thursday, September 24, 2015

ගිහි ගෙයින් නික්මුනු සේක



දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතල වදාළා මහණෙනි, මම (ගිහිකල) දුක් නැත්තෙක් වීමි. අතිශයින් ම දුක් නැත්තෙක් වීමි. නිරන්තරයෙන්ම දුක් නැත්තෙක් වීමි. මහණෙනි, මාගේ පියාගේ නිවසෙහි එක් එක් වර්ගයට අයත් පොකුණු තනවා තිබුණි. එකෙක නිලුපුල් පිපෙයි. එකෙක හෙළ පියුම් පිපෙයි.

Sunday, September 20, 2015

නිසල සිත ගෙනෙයි සෙත

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
පහස්සරම්ද, භික්ඛවෙ චිත්තං, කඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං

Wednesday, September 2, 2015

ක්‍ෂාන්තියෙන් දුරැලිය යුතු ක්‍රෝධය


ඔබ ඔබේ නිවසෙහි එහාට මෙහාට වේගයෙන් යන අවස්ථාවක ඔබේ පය ඔබම තියාපු මේසයක හෝ පුටුවක හෝ වෙනත්
අවයවයක හෝ හැපෙයි. එවිට ඔබට මහත් වේදනාවක් ඇතිවෙයි. ඒනිසා ඇතිවන තරහ හෙවත් ක්‍රෝධය අස්ථාන ක්‍රෝධයයි.

Tuesday, September 1, 2015

වයසෙන් බාල යැයි අවමන් නොකළ යුත්තෝ

 
භුජංගමං පාවකං ච
ඛත්තියං ච යසස්සිනං
භීක්ඛුං ච සීල සම්පන්නං
සම්මදෙව සමාචරෙ 

 

මේ ගාථාව ඇතුළත් ධර්ම දේශනාව අඩංගු වන්නේ සංයුක්ත නිකායේ කෝසල සංයුත්තයේ පළමුවන ඛන්ධකයටයි. මෙය නම්කර ඇත්තේ දහර සුත්ත යනුවෙන්. දහර කියන්නෙ ළදරුවාට. එහෙයින් මේ සූත්‍රයෙන් දහර (ලාබාල) හෙවත් ළදරුවන් සිව්දෙනෙකු පිළිබඳ කරුණු සතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

Thursday, August 27, 2015

අයහපත ගෙන දෙන වැරැදීම් කුමට ද?




උස්සූර සෙය්‍යං ආලස්සං
චණ්ඩික්කං දීඝ සොත්ථියං
ඒකස්සද්ධාන ගමනං
පරදාරූප සේවනං
එතං බ්‍රාහ්මණ සේමස්සු
අනත්ථං තෙ භවිස්සති


(ධම්මපදට්ඨ කථාව)



දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ, අනර්ථකර කරුණු පිළිබඳ විමසූ ‘අනර්ථ පුච්ඡක’ නම් බමුණාට බුදු හිමියන් විසින් දේශනා කරන ලද අනර්ථකර කරුණු සය දැක්වෙන ගාථාවයි ඉහතින් සඳහන් වන්නේ. පළමු අනර්ථකර කරුණ නම් උස්සූරසෙය්‍යාව යි. එනම්, හිරු උදාවන තෙක් නිදීමයි. දෙවැන්න ආලස්‍යය එනම් අලසකම හෙවත් කම්මැලිකමයි. තෙවැන්න චණ්ඩික්ක එනම් සැඩ ඵරුෂකමයි. සිව්වැන්න දීඝසොත්ථිය බව එනම් තමා වෙත පැවැරුණු කාර්යය අතපසු කිරීමයි. පස්වැන්න නම්

Saturday, August 1, 2015

ගාරව සූත්‍රය


මෙලොව හැම සත්ත්වයන්ටම එකම පිහිට බුදු සසුන බව සිතා එයම අනුව යමින් සදා සැනසීම ළඟා කරගන්න උත්සාහ කරන්නේ නම් ඔබ ලැබූ දුර්ලභ මිනිස් බවින් උපරිම ඵල නෙළා ගත්තා වේ.


“අථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස එවංචෙතසො පරිචිත්තතො උදපාදි. දුක්ඛං ඛො අගාරවො විහරති අප්පතිස්සො, කන්නු, ඛො අහං සමණං වා බ්‍රාහ්මණං වා සත්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරේ‍යන්ති.”
ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ පළමු වන ධර්ම සංගායනා අවස්ථාවේ එහි ප්‍රධානත්වය දැරූ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෙසේ ප්‍රකාශ කළහ. ඇවැත්නි, එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ආසන්නයේම පළමු කොටම උරුවෙල් දනවුවෙහි නේරංජනා නදී තීරයෙහි අජපල් නුගරුක මුල වැඩසිටියහ. හුදෙකලාව චිත්ත විවේකයෙන් වැඩසිටි උන්වහන්සේට කිසිවකු ගුරුවරයකු වශයෙන් තබා නොගෙන, එසේම කිසිවකු දෙටුතන්හි තබා නොගෙන විසීම දුකයි, කියල බුද්ධත්වයෙන් පස්වන සතියෙහි මෙබඳු විතර්කයක් ඇතිවුණා. එසේම උන්වහන්සේ හිතුව මම කවර නම් ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම්ද? (මෙබඳු විතර්කයකුයි පහළ වුණේ. ගාරව සූත්‍රය දේශනා කිරීමට හිතුන අවස්ථාව පිළිබඳ නිදානයයි මේ කීවේ. මේ සූත්‍රය ඇතුළත් වන්නේ සංයුක්ත නිකායේ හය වන බ්‍රහ්ම සංයුක්තයටයි. බු.ජ.පු. ප්‍රථම භාගයෙහි 252 පිටුව) 

දිනක් නේරංජනා නදී තීරයෙහි හුදෙකලාව වැඩ සිටි බුදුරජාණන් වහන්සේට මෙසේ සිතුණ. මාගේ අසම්පූර්ණ ශීලස්ඛන්ධය (තිබේනම්) සම්පූර්ණ කර ගැනීම පිරිස කවර නම් අන්‍ය මහණකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ සත්කාර කොට, ගුරු කොට, ඇසුරු කොට වසම්නෙම්ද? (දිවසින් බැලුව ඒ සඳහා සුදුසු කෙනෙකු ලොව සිටිනවාද? කියල) තමන් වහන්සේට වඩා ශීල ගුණයෙන් වැඩි තරම් (උත්තරීතර) වූ මහණකු බමුණකු ලොව සිටී දැයි බැලූ විට එබඳු අන්‍ය ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි කිසිවෙකුත් දක්නට නොලැබුණි. (සැ.යු. මෙහි ශීලයයි කීවේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ප්‍රත්‍ය සන්නිශි‍්‍රත ශීලය, ආජීව පාරිසුද්ධි ශීලය යන සතර සංවර ශීල හා කෙලෙස් ධුතාංගයි. එනම් ආර්ය ශීලයයි.) තවද බුදුරජාණන් වහන්සේ දම්සක් පැවැත්වීම සඳහා ඉසිපතනයට වඩින අතර මඟදී හමු වූ උපක ආජීවකට වදාළ “න මේ ආචරියො අත්ථි සදිසො මේ නවිජ්ජ්ති. සදෙවකස්මිං ලොකස්මිං නත්ථි මෙ පටිපුග්ගලො” යනුවෙන් ආජීවකය, මා අවබෝධ කරගත් සිවුසස් දහම් අවබෝධ කර ගැනීමට මට ගුරුවරයෙක් නොවීය. එමෙන්ම මා හා සම කළ හැකි (රහතෙක්) කෙනෙකු ද නො පෙනේ. දෙවියන් සහිත ලෝකයෙහි මා වැනි තවත් පුද්ගලයෙකු නොදකිමි යි කරන ලද විවරණය සිහි කරන්න.
මෙසේ තමන්ට වඩා උත්තරීතර ශීලස්ඛන්ධයෙන් යුත් ගුරුතන්හි ලා ඇසුරු කිරීමට සුදුස්සකු නොදුටු මම අනතුරුව මාගේ අසම්පූර්ණ සමාධිස්න්ධයක් ඇත්තේ නම් එය සම්පූර්ණ කර ගැනීමට සමාධියෙන් මට වඩා උත්තරීතර කෙනෙකු ගුරු කොට ඇසුරු කිරීමට ලොව සිටිද්දැයි බැලීමීයි වදාළ. එහෙත් එබඳු කෙනෙකුත් ලොව නොමැති බව මට පෙණුන. (මෙහි සමාධියයි කීවේ සමථ භාවනාවේ දී වඩන දස අසුබ දස කසිනාදී සම සතළිස් කර්මස්ථානයි. එවා අතුරින් සුදුසු කර්මස්ථානයක් අරමුණු කොට එය වැඩීමෙන් ලබන චිත්ත සමාධියටයි. එනම් කුසල් සිතේ ඒකාග්‍රතාවටයි. නාම, රූප,අරූප යන තුන් භවයෙහිම මේ කුසල් සිත් ඇති වේ. මේ ‘චේතො සමාධිය’ විදර්ශනාවට මහෝපකාරී වේ. සමථ භාවනාවන් ප්‍රථමාදී රූපා වචර සමාධි හා ආකාසානච්චායතනාදි අරූපාවචර සමාධි යන අෂ්ට සමාපත්ති ලැබීමට හෙවත් සමාධි ලැබීමට ඉවහල් වේ. මේවා ලෞකිකයයි. ලෞකික සමාධියට ප්‍රථමයෙන් ඇතිවන චිත්ත ඒකාග්‍රතාව උපචාර සමාධියයි. සෝතා පත්ති ආදී ආර්ය මාර්ගයේ දී සිතේ ඇතිවන ඒකාග්‍රතාව ලෝකෝත්තර සමාධියයි. ජලාශයක පැතිර තිබෙන සෙවෙල් පසකට තල්ලු කොට පිරිසුදු ජලය ගතහැකිවන්නාක් මෙන් ධ්‍යාන ශක්තියෙන් හිතේ තිබෙන කාමච්ඡන්දාදී කෙලෙස් පහ වී තදංග වශයෙන් සිත සමාධිගත වේ. අනතුරුව සමාධිගත සිතේ ප්‍රඥාව වැඩීමෙන් වික්ඛම්භණ වශයෙන් කෙගෙස් සම්පූර්ණයෙන් විනාශ වී වික්ඛම්භණ ප්‍රහානය සිදුවේ. එනම් මාර්ගඵල පසක් වේ.
තෙවනුව අසම්පූර්ණ ප්‍රඥාස්ඛන්ධය සම්පූර්ණ කර ගැනීම පිණිස යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට විමසීමට සිතා තමන්ට වඩා ප්‍රඥාස්ඛන්ධයෙන් උත්තරීතර ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලොව සිටි දැයි බැලුවෙමි. එහෙත් සත්කාර කොට ගුරුකොට ඇසුරු කිරීමට තමන්ට වැඩ තරම් ගුණයෙන් උත්තරීතර කිසිවකු ලොව නො දුටු මම අනතුරුව විමුක්තිස්ඛන්ධයෙන් යුක්ත කෙනෙක් ලොව සිටී දැයි බැලුවෙමි. මෙයට පෙරාතුව ප්‍රඥාස්ඛන්ධ යයි කීවේ ලෞකික හා ලෝකෝත්තර ප්‍රඥාවටයි. එනම් සෝතා පන්නතාදී මාර්ග හා ඵල ප්‍රඥාවයි. එනම් පඤ්චස්ඛන්ධය පිළිබඳ යථාස්වභාවය නුවණින් දැකීමයි. ලෞකික ප්‍රඥාව නම්, කාමාවචර, රූපාවචර, අරූපාවචර, යන ත්‍රිවිධ භවයන්හි සිත්වල යෙදෙන කුසල හා අව්‍යාකෘ ත ප්‍රඥාවයි. එය ලෞකිකයි. අට වැදෑරුම් මාර්ගය හා ඵල සිත් වල යෙදෙන ප්‍රඥාවයි. එය ලෝකෝත්තරයි. අවිද්‍යාව දුරු වන්නේ ද ප්‍රඥාවෙනි. සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකින නුවණ ද ප්‍රඥාවයි. මෙයද ලෞකිකයයි. මාර්ග හා ඵල සිත්වලදී අවිද්‍යාව නසමින් උපදින නුවණ ලෝකෝත්තර ප්‍රඥාවයි. එනම් අර්හත් ඵලප්‍රාප්තියයි. ( මේ කියන ප්‍රඥාව වටහා ගන්නට නම් ඔබත් මාත් යටත් පිරිසෙයින් සෝතාපත්ති ඵලයටවත් පත්විය යුතුයි.) මෙම ප්‍රඥාස්ඛන්ධය පිළිබඳව තමන් වහන්සේ ට වඩා අධිකතර කිසිවෙකු ලොව නොදැක අනතුරුව මම අසම්පූර්ණ විමුක්තිස්ඛන්ධය සපුරා ගැනීම සඳහා කිසියම් මහණකු බ්‍රාහ්මණයකු ගුරු තන්හි තබා සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වසන්නේ නම් මැනැවැයි සිතා එබඳු කෙනෙක් ලොව සිටී දැයි බැලුවෙමි.
විමුක්තිස්ඛන්ධය නම්, මාර්ග චිත්තයට අනතුරුව ඉතිරිවී තිබෙන සාංසාරිකව සිතේ තියෙන කෙලෙස් පුරුදුයි. අනාදිමත් කාලයක් තුළ සිතේ පවතින රාගාදී කෙළෙස් මාර්ගඥානයෙන් නැසුනත් ඒ කෙලෙස්වල පුරුදු තවදුරටත් ඉතිරිවී තිබේ. ගිනිගොඩක් නිවා දැමුවත් ඒ ස්ථානයේ ගිනි රස්නෙ තවදුරටත් ඉතිරිව තිබෙන්නාක් මෙන් ක්ලේශ වාසනා ද ඉතිරිව තිබේ. එම ක්ලේශ වාසනා දුරුවන්නේ මාර්ගඵලඥානයෙනි. එයට විමුක්තිස්ඛන්ධයයි කියති. “සවාසනා සකලක්ලේශයන් නැසූ බුදුරජාණන් වහන්සේ යයි අප කියන්නේ මේ ක්ලේශ වාසනා දුරුකළ එකම පුද්ගලයා වන බුදුරජාණන් වහන්සේට පමණකි.
එහෙත් විමුක්ති ස්ඛන්ධ ඥානයෙන් තමාට වඩා උත්තරීතර ශ්‍රමණයකු හෝ බමුණකු හෝ ලොව නුදුටු මම මාගේ අසම්පූර්ණ විමුක්තිඥාන දර්ශනස්ඛන්ධයාගේ සම්පූර්ණ කරලීමට අන්‍ය වූ මහණ, බමුණකු සත්කාර කොට ගුරුකොට ඇසුරු කොට වාසය කෙරේනම් යෙහෙකැයි සිතා තමාට වඩා එම ඤාණයෙන් උත්තරීතර කෙනෙකු ලොව සිටීදැයි බැලුවෙමි. එහෙත් එබන්ඳෙක් නොදුටු මම තවදුරටත් එබන්ඳෙකු සෙවීම අත්හැර යම් ඒ ධර්මයක් මා විසින් (බෝ මැඩ දී) මනාකොට අවබෝධ කරන ලද ඒ ධර්මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන්නේ නම් මැනැවැයි තීරණය කෙළෙමි යි වදාළහ.
ඒ අවස්ථාවෙහි සහම්පතී මහා බ්‍රහ්මතෙමේ තම සිතින් බුදුන් වහන්සේගේ චිත්ත විතර්කය (සිතිවිල්ල) දැන බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නට හෝ දිගු කළ අතක් හකුළුවන්නට හෝ පෙරාතුව බඹලොවින් අතුරුදන් ව බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි පහළ විය. සහම්පති මහා බ්‍රහ්මයා උතුරු සළුව ඒකාංශ කොට ගෙන බුදුන් වහන්සේට නමස්කාර කරගෙන මෙසේ සැලකළහ. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධර්මය ගුරු කොට ඇසුරු කිරීමට බැසගත් තීරණය හරියට හරි. ස්වාමීනි, අතීත කාලයෙහි කිසියම අර්හත් සම්බුදු කෙනෙක් විසුවේද උන්වහන්සේත් ධර්මයටම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට විසූසේක. ස්වාමීනි, අනාගතයෙහි කිසියම් සම්මා සම්බුදු කෙනෙක් පහළ වනසේක් ද උන්වහන්සේත් ධර්මයටම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වාසය කරනසේක. ස්වාමීනී, දැනුදු භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේත් ධර්මයම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වාසය කරන සේක්වායි කී සහම්පති මහා බ්‍රහ්ම රාජයා පහත සඳහන් ගාථා තුනෙන් මෙසේ ද සැළකළා.

යෙ චබ්භ තිතා සම්බුද්ධා යෙ චබුද්ධා අනාගතා
යො චෙතරහි සම්බුද්ධො බහුන්නං සොත නාසනො

අතීත කාලික වූ සම්බුදු කෙනෙක් වූයේ ද අනාගත කාලීන වූ
යම් බුදු කෙනෙක් පහළ වන්නේ ද බොහෝ දෙනාගේ සෝකය නසන යම් සම්බුදු කෙනෙක් දැන් සිටිද්ද (එසේම)

සබ්බෙ සද්ධම්ම ගරුනො විහංසු විහරන්ති ච
අථොපි විහරිස්සන්ති ඵසා බුද්ධාන ධම්මතා 

 
ඒ සියලු බුදුවරුන් වහන්සේ සද්ධර්මය ම ගරු කොට විසූහ. දැනුදු වසනසේක. වැළිදු මතුද වනසේක. මේ බුදුවරුන් වහන්සේගේ ධර්මතාවයයි. ස්වභාවයයි.


තස්මා හි අත්ථකාමෙන මහත්ත මහිකඩ්බතා
සද්ධම්මො ගරුකා තබ්බො සරං බුද්ධානසාසනං 

 
හෙයින් (තමාට) වැඩ කැමැති (එමෙන්ම) තමාගේ මහත් බව ( මහන්තත්වය) ප්‍රාර්ථනා කරන පුද්ගලයා විසින් බුදුන් වහන්සේගේ අනුශාසනාව (අවවාදය) සිහිකරමින් ශ්‍රී සද්ධර්මය ම ගුරු කොට පිළිගෙන විසිය යුතුයි. මෙසේ කියූ සහම්පති මහා බ්‍රහ්ම තෙමේ අතුරු දන්ව බඹලොවට ගියේ ය. මහබඹු මේ අවසන් ගාථා තුනෙන් මෙම අවවාදය කළේ අපට කරන අවවාදයක් වශයෙන් බව සිතන්න. මෙලොව හැම සත්ත්වයන්ටම එකම පිහිට බුදු සසුන බව සිතා එයම අනුව යමින් සදා සැනසීම ළඟා කරගන්න උත්සාහ කරන්නේ නම් ඔබ ලැබූ දුර්ලභ මිනිස් බවින් උපරිම ඵල නෙළා ගත්තා වේ.

ගාල්ල මලිගස්පේ, සුභද්‍රරාමාධිපති
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අග්ග මහා පණ්ඩිත,
පල්ලත්තර සුමනජෝති නාහිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ ජූලි 12 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

Friday, July 31, 2015

අතැර සසර නැවැතුම වෙත



පුද්ගලයා සසර සැරිසරවන සියලු අකුසල කර්ම ‘වජ්ජ’ යි භවගාමි කර්ම යන්නට කුසල් අකුසල් දෙකම ගැනේ. කුසල්වලින් පුද්ගලයාගේ සසර ගමන කෙටි කොට ඔහු නිවනට ළං කරයි. ඒ නිසා කුසල් ‘වජ්ජ’ ගණයට අයත් නොවේ

චත්තාරෝ මේ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානො ලොකස්මිං. කතමෙ චත්තාරො? සාවජ්ජො වජ්ජ බහුලො අප්පවජ්ජො අනවජ්ජෝති. (අංගුත්තර නිකාය – චතුක්ක නිපාත)

පින්වත්නි දිනක් බුදු හාමුදුරුවෝ භික්‍ෂූන් අමතා වදාරනවා මේ ලෝකයේ පුද්ගලයන් සතර දෙනකු සිටින බව . ඔවුන් සතර දෙනා මෙසේයි.

1. සාවජ්ජ පුද්ගලයා  (වැරැදි සහිත තැනැත්තා)

2. වජ්ජ බහුල පුද්ගලයා  (වැරැදි බහුල තැනැත්තා)

3. අප්ප වජ්ජ පුද්ගලයා (වැරැදි අල්ප තැනැත්තා)

4. අනවජ්ජ පුද්ගලයා   (වැරැදි නොමැති තැනැත්තා)

ඉහත සඳහන් පුද්ගලයන් සිවුදෙනාම ජීවත් වන්නේ අප අතරමයි මේ පුද්ගලයන් පිළිබඳ විස්තර කෙරෙන විට ඔබ අයිති වන්නේ මොවුන්ගෙන් කවර පුද්ගල කොට්ඨාසයටද යන්න ඔබටම වටහා ගත හැකියි. මොවුන්ගෙන් පළමුවැනි හෝ දෙවැනි පුද්ගල කොටසට ඔබ අයත් නම් ඔබට සතුටු විය නො හැකියි.තෙවැනි පුද්ගල කොටසට ඔබ අයත් නම් බොහෝ දුරට සතුටු විය හැකි වුවත් එම සතුට සම්පූර්ණ නොවේ. ඔබ සිවුවැනි පුද්ගල කොට්ඨාසයට අයිති නම් පමණකි ඔබට සම්පූර්ණ සතුටක් භුක්ති විඳිය හැක්කේ. එම නිසා මේ ලිපිය කියවා සම්පූර්ණ සතුටක් මේ භවයේදීම හෝ අනතුරු භවයකදී ලැබීමට උත්සාහ දැරීම ඔබගේ පරම යුතුකමයි.
පෙර කී පුද්ගලයන් සිවු දෙනා ගැනම හැඳින්වීමේදි මෙහි ‘වජ්ජ’ යන වදන භාවිත වෙයි. ‘වජ්ජ’ නම් අකුසල ධර්මයි. මේ පදය නිර්වචනය කරන අටුවාචාරීන් වහන්සේ ‘සබ්බෙ කිලේසා දුච්චරිතා අභිසංකාරා සබ්බේ භවගාමි කම්මං වජ්ජං’ යනුවෙන් දක්වති. සියලු කෙලෙස්, සියලු දුසිරිත්, සියලු අකුසල් ‘වජ්ජ’ නම් වන බව මින් පැහැදිලි කරති. කෙටියෙන් සඳහන් කරන්නේ නම් පුද්ගලයා සසර සැරිසරවන සියලු අකුසල කර්ම ‘වජ්ජ’ යි භවගාමි කර්ම යන්නට කුසල් අකුසල් දෙකම ගැනේ. කුසල්වලින් පුද්ගලයාගේ සසර ගමන කෙටි කොට ඔහු නිවනට ළං කරයි. ඒ නිසා කුසල් ‘වජ්ජ’ ගණයට අයත් නොවේ. එහෙත් අර්හත් ඵලයට පත් වන්නා කුසල් අකුසල් යන සියලුම කර්ම ක්ෂය කළ යුතු ය. පින්වත්නි, කුසල් අපට අවශ්‍ය වන්නේ සසරින් එගොඩ වීමට පමණයි. එය හරියට පාරුවක් වැනියි. ගඟකින් එගොඩ වන්නට පාරුවකට නැඟී එගොඩට යන්න අවශ්‍යයි. ඉන් පසු අප එය කරතබාගෙන යන සිරිතක් නැත. ඒ ආකාරයට අරහත් ඵලයට පත්වීමෙන් පසු භවගාමී කර්ම සිදුවීමක්ද නැත.
පෙර සඳහන් කළ ආකාරයට අප කරන සියලුම භවගාමි අකුසල කර්ම වජ්ජ හෙවත් වැරැදි ක්‍රියායි. එම ක්‍රියා , කය, වචනය, සහ සිත යන තිදොරින් සිදු කරන බව බුදුන් වහන්සේ පෙන්වාදී තිබේ.මේවා කායික, වාචසික, මානසික වජ්ජ නමින් හැඳින්වේ. එම වැරැදි හෙවත් අකුසල් කළ පුද්ගලයා සසර මහ සයුරෙහි ගසාගෙන යමින් අනාදිමත් කාලයක් දුක් ගැහැට විඳිමින් සැරිසරයි. ‘ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සාවජ්ජේන කාය කම්මේන සාවජ්ජේන වචී කම්මේන සාවජ්ජේන මනො කම්මේන සමන්නාගතො හොති’ යනුවෙන් වදාළේ ඒ බවයි. අප කරන කියන සහ සිතන අකුසල කර්ම මෙන්ම කුසල කර්මද සිදු කරන්නේ මේ තුන් දොරෙනි. ප්‍රාණඝාත, අදත්තාදාන, හා කාමමිථ්‍යාචාර යන අකුසල් තුන කයෙනුත් මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච සහ සම්ඵප්පලාප, යන අකුසල් සතර වචනයෙනුත් අභිධ්‍යා (විසම ලෝභය) ව්‍යාපාද, (ද්වේෂය) සහ මිථ්‍යා දෘෂ්ටි යන අකුසල තුන සිතෙනුත් සිදු කරති. මේ දස අකුසල් වජ්ජයි. පාප කර්ම යනුවෙන් ද නම් කරන්නේ මේවායි. මේවා කරන්නා හඳුන්වන්නේ බාලයා හෙවත් මෝඩයා කියායි.
’දිට්ඨ ධම්මික සම්පරායික සංඛාතෙ ද්වේ අනත්ථෙ දේවදත්ත කොකාලිකාදයො ලාති ආදදාති බාලො “ යන්නෙන් මෙලොවෙන් හා පරලොවෙන් වන්නා වූ ද්විවිධ අනර්ථයන් දේවදත්ත කෝකාලික ආදි පාපතර තෙරවරුන් මෙන් තමා වෙතට ළං කර ගන්නා තැනැත්තා බාලයා බව කියැවෙයි. බාලයා මෙලොව යහපතත් පරලොව යහපතත් දෙකම විනාශ කර ගන්නෙක් වෙයි. තවත් විග්‍රහයකට අනුව ‘අත්ථත්ථ පරත්ථ සංඛාතෙ ද්වේ අත්ථෙ ලුණාති ඡින්දති ඛාලො’ යන්නෙන් කීවේද අත්වැඩ පරවැඩ යන උභයාර්ථයම විනාශ කරගත් පුද්ගලයා බාලයා බවයි. බාලයා ඇසුරු නොකළ යුතු බව ‘අසෙවනාච බාලානං’ යන්නෙන් බුදුන් වහන්සේ විසින් මංගල සූත්‍රයේදී දේශනා කරනු ලැබ තිබේ. මෝඩයා නුවණැත්තකු කිරීමේ අදහසෙන් ඔහු කෙරෙහි දයාවෙන් ඇසුරු කිරීම වරදක් බව මෙයින් නොකියැවේ. පුහුදුන් අප අතර වැඩි දෙනකු මෝඩයන් බව ‘දන්ධාබහු ‘ යනුවෙන් බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. ‘යානි කානිචි භික්ඛවෙ භයානි උජ්පජ්ජන්ති සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො ‘ යන පාඨයෙන් බුදු හිමියන් පෙන්වා දුන්නේ කිසියම් බියක්, විපතක් පිරිසකට, රටකට ලෝකයට හෝ පුද්ගලයකුට ඇති වන්නේ නම් ඒ සියල්ල ඇති වන්නේ බාලයා නිසාය යනුවෙනි. එදත් අදත් කවදත් මිනිසුන් අතර කිසියම් විපතක් ඇති වුණා නම් ඒ ඇති කළ අය මෝඩ, බාල අසද් පුරුෂයන්ය. මේ අනුව, ප්‍රාණඝාතාදි වැරැදි ක්‍රියා සිදු කරන්නේ බාලයා බව පෙන්වා දුන් බුදුහිමියෝ එම පුද්ගලයා සාවජ්ජ (වැරැදි සහිත) තැනැත්තා බව දේශනා කළහ.
දෙවනුව උන්වහන්සේ හඳුන්වා දුන්නේ වජ්ජ බහුල පුද්ගලයාය.ඔහු තුළ ඉහත කී වැරැදි අධිකයි.අප පාපතර පුද්ගලයන් යැයි හඳුන්වන්නේ මෙබඳු අයයි. එහෙත් මොහු පවා කලාතුරකින් පිනක් දහමක් කරයි. එහෙත් ඔහු බහුල වශයෙන් කරන්නේ පාප ක්‍රියාවන්ය. වර්තමාන අපේ සමාජයේ වැඩි දෙනකු වජ්ජ බහුල පුද්ගලයන් බව සඳහන් කළ හැකියි. අද සොරකමෙන් , බොරුවෙන්, හා වංචාවෙන් තොරව අසවල් රැකියාව කරනවා යැයි කිය හැකි පුද්ගලයන් සොයා ගැනීම කළුනික සෙවීමක් වැනිය. එදා ගොවිතැන, වෙළෙඳාම රජයේ සේවය සහ ගෘහ කර්මාන්තය වැනි ජීවිකා වෘත්ති ධාර්මික රැකියා වශයෙන් පිළිගෙන තිබුණත් අද මේ සියල්ලක්ම පාහේ එහි නියුක්ත වූවන් වැඩි දෙනකුගේ අධාර්මික ක්‍රියාකලාප නිසා නිවැරැදි මාවතෙන් පිට ගොස් ඇත.ගොවිතැන වුවද වැරැදි බහුල පුද්ගලයන්ගේ වැරැදි භාවිත නිසා යහපත්ව, දැහැමි ලෙස සිදුවන්නේ නැතැයි වැටහේ. මෙවැනි වජ්ජ බහුල පුද්ගලයන් පිනකට දහමකට යොමු වන්නේ සිය කැමැත්තෙන් නොව අනුන්ගේ පෙළඹවීමෙනි. ඔවුන්ගේ අරමුණ මනුෂ්‍යයාගේ සිට සෑම සත්වයකුටම හිරිහැර කොට හෝ මරා දමා හෝ ක්‍රම ක්‍රමයෙන් මැරෙන්නට හේතු වන හෝ කූඨ උපක්‍රමවලින් මිල මුදල් රැස් කිරීමයි. මෙබඳු වැරැදි බහුල පුද්ගලයා ‘ලෝකීය පෘථජ්ජනයා’ යනුවෙන්ද හඳුන්වයි.
තුන්වැනුව බුදුන් වහන්සේ හඳුන්වා දුන්නේ අල්ප වජ්ජ හෙවත් වැරැදි අඩු පුද්ගලයායි. විශේෂයෙන් සෝවාන්, සකෘදාගාමි සහ අනාගාමි යන මාර්ගඵලවලට පත් පුද්ගලයන් අල්ප වජ්ජ යන්නෙන් මෙහි දැක්වෙයි. මේ අය අපාගත වන කිසිම පාප ක්‍රියාවක් නො කරති. එහෙත් සිතින් වැරැදි මොවුන්ගෙනුත් සිදු වේ. තෘෂ්ණාව ආදි කෙලෙස් මේ අය තුළත් දුරු නොවීම සිතෙන් වැරැදි කිරීමට ඇති හේතුවයි. මාර්ග ඵලලාභි නොවන අල්ප වජ්ජ පුද්ගලයන්ද සිටිය හැකියි. ඒ අය කය, වචනය සංවර කරගෙන සම්පත්ත විරති වශයෙන් අවස්ථානුකූ®ලව කායික, වාචසික වැරැදි වලින් වැළැකී හෝ සමාදාන විරති වශයෙන් ශික්‍ෂා පද සමාදන් වීමෙන් වැරැදි වලින් වැළැකී හෝ සිටින අයයි. මාර්ග ඵලයක් ලබන්නට උත්සාහ කරන්නා පළමුවෙන් සිල්වත්ව දෙවනුව භාවනා වෙන් සිත සංවර කරගෙන තෙවැනුව ත්‍රිලක්‍ෂණය වැඩීමෙන් ප්‍රඥාව දියුණු කරගෙන නිර්වාණාවබෝධය කළ යුතුයි.
මේ සූත්‍රයේ දැක්වෙන සිවුවැනි පුද්ගලයා අනවජ්ජ පුද්ගලයා හෙවත් වැරැදි නැති පුද්ගලයායි. පුද්ගලයා වරදට පෙළැඹීමට හේතු සාධක වන්නේ සිතේ තිබෙන රාග, ද්වේශ, මෝහ ආදි ක්ලේශයෝයි. එම කෙලෙස් සම්පුර්ණයෙන් නැසූ පුද්ගලයා අර්හත් පුද්ගලයා වශයෙන් හඳුන්වති. රහතන් වහන්සේගෙන් පවා සවාසනා වශයෙන් හෙවත් සසර පුරුදු වශයෙන් සිදුවන ක්‍රියාකාරකම් ඇතැමකුට වැරැදි වශයෙන් පෙනී යා හැකියි. එහෙත් ඒවා මෙන්ම උන්වහන්සේ කරන කුසල ක්‍රියාද කර්ම ගණයට නො වැටේ. ඊට අදාළ සිත් ක්‍රියා සිත් ලෙසයි හැඳින්වෙන්නේ. රහතන් වහන්සේ ‘කත කිච්ච’ එනම් කළ යුතු සියල්ල කොට නිමා කළ තැනැත්තායි. උන්වහන්සේට තවත් කළ යුතු කිසිවක් ඉතිරිව නැත.

අතීතං නානුසොචන්ති නප්පජප්පන්ති නාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති තේන වණ්ණෝ පසීදති

 
රහතන් වහන්සේ අතීතය ගැන සිතමින් දුක් නොවෙති. අනාගතය පිළිබඳ, බලාපොරෙත්තු ද නැත. වර්තමානයේ ජීවත්වෙති. එහෙයින් රහතන් වහන්සේ පිරිසුදු වර්ණයෙන්, එනම් සිරුරේ ප්‍රසන්න පැහැයෙන් යුතු වන සේක. රහතන් වහන්සේ තුළ ජීවත් වීමේ ආශාවක් නැත. එමෙන්ම මිය යෑමටද අවශ්‍යතාවක් නැත. මෙලොව උපන් කර්ම ශක්තිය අවසන් වන තුරු උන්වහන්සේ ජීවත් වෙති. උන්වහන්සේ සිසිල් වූවෙකි. (සීතිභූ®ත) එමෙන්ම නිබ්බුත හෙවත් සකල ක්ලේශයන් නැසූ කෙනෙකි. එහෙයින් මේ උත්තමයා අනවජ්ජ පුද්ගලයා වශයෙන් බුදුන් වහන්සේ හඳුන්වා තිබේ.
පින්වත, මිථ්‍යා ධර්මවලින් ගහන මේ ලෝකයෙහි බෞද්ධයකුව උපන් ඔබ අතිශය පුණ්‍යවන්තයි. පුරාකෘත පුණ්‍ය මහිමයෙන් මිනිසත් බවක් ලැබ සිටින ඔබ එහි ශ්‍රේෂ්ඨත්වය වටහාගෙන කටයුතු කිරීම අතිශයින්ම වැදගත්ය. ලැබුවා වූ මනුෂ්‍යත්වය කල්ප ගණනකට යළිත් ලැබිය නොහැකි වන අන්දමේ පාප කර්මවලින් වැළැකී සසරින් ආරක්‍ෂා වීමට අප්‍රමාදි විය යුතුය. සසරින් මිදීමට මේ අත්භවයම ප්‍රයෝජනයට ගන්නා ඔබ ජීවිතය ජයගත්තෙක් වෙයි.


නිබ්බානං පරමං සුඛං
නිවීම උතුම් සැපයයි



 දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක,
රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති,
මහෝපාධ්‍යාය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී
පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමි





 ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ පෙබරවාරි 07 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි 

මධ්‍යම ප්‍රතිපදාව



දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව “ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතෙන න සෙවී තබ්බා. යොචායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො. යොචායං අත්ත කිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො. එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛු කරණී ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති”
මහණෙනි, පැවිද්දා විසින් සේවනය නොකළයුතු අන්ත දෙකක් තියෙනව. පළමු අන්තය නම් කාමසුඛල්ලිකානු යෝගයයි. කාම සුඛයෙහි ඇලී ගැලී ඒ අනුව ක්‍රියා කිරීමයි. එය පහත් ක්‍රියාවකි. එය ග්‍රාම්‍ය (අශිෂ්ට) පුද්ගලයන්ගේ ක්‍රියාවකි. එය කෙලෙස් සහිත පුහුදුන් පුද්ගලයන්ගේ ක්‍රියාවකි. එය අනරිය හෙවත් නිර්වාණය කරා ගමන් නොකරන ක්‍රියාවකි. එය චතුරාර්ය සත්‍යාවබෝධයට බාධා කරන අනර්ථය ගෙන දෙන ක්‍රියාවකි. දෙවන අන්තය නම් අත්තකිලමථානුයෝගයයි. තම සිරුර නිසා පව් උපදිනව යි යන විශ්වාසයෙන් සිරුරට වධ දී එය දුබල කීරීමෙන් සදා සැප ලැබිය හැකිය යන දෙවන විශ්වාසයයි.

එයත් අනරීයයි. නිවන් මඟ නොවේ. එය වඩන්නාට යහපත පිණිස නොව අයහපත පිණිස පවතින ප්‍රතිපදාවකි. එය දුක්ඛය සහගතයි. මහණෙනි, සසර කෙලවරක් නොදකින මේ අන්ත දෙක (උභො අන්තෙ) අනුගමනය නොකරන්නැයි ඉහත සඳහන් පාඨයෙන් පස්වග තවුසන්ට බුදුන් වදාළ බව ඉහත සඳහන් දේශනා පාඨයෙන් ගම්‍ය වේ.
“ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සේවිතබ්බා. යොචායං කාමෙසු කාම සුඛල්ලිකානු යොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො” යො චායං අත්තකිලමථානු යොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො” එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගෙතන අභිසම්බුද්ධා. චක්ඛු කරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බොධාය නිබ්බානය සංවත්තති” යනුවෙන් ආරම්භ කොට දේශනා කළ උන්වහන්සේගේ මංගල දේශනාව වන දම්සක් පැවැතුම් දේශනාව තමන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලෙහි දේශනා කළ අසූහාරදහසක් ධර්මස්ඛන්ධය සම්පිණ්ඩනය කොට දෙසු පළමු වන අසහාය අතිශ්‍රේෂ්ඨ ධර්මදේශනාවයි.
මෙලොව උපන් සත්ත්වයන්ට පුනර්භවයක් තවත් නැතැයි යන මිථ්‍යා දෘෂ්ටිය ගත් උච්ඡේදවාදීන්ගේ මෙලොවදී හැකිතාක් පස්කම් සැප විඳිමින් කාම සුඛයෙහි ඇලී ගැලී වාසය කොට මේ භවය අවසන්, කළයුතු ය යන උච්ඡේද දෘෂ්ටියත් එසේම යී කී පරිදි සැප ලැබීමට කැමැති නම් මේ ආත්මයට (පස් කඳට) හැකිතාක් දුක්දීමෙන් කෙලෙස් නැසිය යුතුය. යන අත්තකිලමථානු යෝගයත් යන අන්ත දෙක පැවිද්දන් විසින් බැහැර කළයුතුයයි පළමුවෙන්ම වදාරා තමන් වහන්සේ සොයාගත් මධ්‍යම ප්‍රතිපදාව එතැන් සිට විස්තරව වදාළ සේක. කම් සුවයෙහි ඇලී ගැලී විසීමි එක් අන්තයකි. එය ළාමකයි. එය ග්‍රාම්‍යයි. පුහුදුන් ජනයා විසින් අනුගමනය කරන්නකි. එය මාර්ග ඵල සෙවුනා ආර්ය පුද්ගලයන්ගේ පිළිවෙතත් නොවේ. එය අනර්ථ කරයි. එය ආධ්‍යාත්මික වශයෙන් යහපතක් ගෙනදෙන පිළිවෙතක් නොවේ. එය වස්තුකාම සහ ක්ලේශ කාම කියා දෙයාකාරයි. රූපාදී වස්තුවලට ආශාවෙන් රූපාදියේ රස විඳීමෙන් සැප විඳීම වස්තු කාමයයි. ජීවත්වනතාක් කම්සැප විඳිමින් ජීවත් විය යුතුයි කීයේ ඒ බවයි. අනෙක ක්ලේශ කාමයයි. පස්කාම වස්තු අරමුණු කරගෙන සිතේ උපදින ක්ලේශකාම පිළිබඳව සිත සිතා සතුටු වීමයි. දෙවනුව වදාළ අන්තය මේ අත්තකිලමථානුයොගයයි. කයට හෙවත් ඉන්ද්‍රියයන් පිනවීමේ ආශාවන්ගෙන් මැඩී ඒවා සෙවීමේදී අපමණ දුක් හටගන්නව. ඒ නිසා කෙලෙස් අඩුකරගන්න ඕන.

ඒ සඳහා ශරීරයට දුක් දෙන්න ඕන. සිරුරට හැකිතාක් දුක් දීල සැප ලබාගතයුතුයි යන මිථ්‍යා පිළිවෙත්හි යෙදීම අනෙක් අන්තයයි. එය කාමසුඛල්ලිකානුයොගය තරම් නරක පිළිවෙතක් නොවේ. එහෙත් එය ආර්ය (ශ්‍රේෂ්ඨ) පිළිවෙතක් නොවේ. එයත් අනර්ථ කරයි. එයත් දුකක් මෙන්ම අනරිය අනර්ථකර පිළිවෙතක් බව තව දුරටත් පෙන්නා දුන්හ. එහෙයින් මහණෙනි, මේ අන්ත දෙකම අත්හැරල මේ ප්‍රතිපත්ති දෙකින් තොර මැදුම් පිළිවෙත නුඹලා අනුගමනය කරන්නැයි වදාරළ එහි අගයද මෙසේ වදාළහ. මහණෙනි මා අවබෝධ කරගත් මැදුම් පිළිවෙත වන බෞද්ධ දර්ශන මාර්ගය චක්ඛු කරණීයයි. එනම් ප්‍රඥා චක්ෂුස ඇති කරන්නකි. ඤාණකරණීයයි. එනම් ඥානය හෙවත් නිර්වාන මාර්ගඥානය උපදවන්නකි. එයින් සියලුම කෙලෙස් සමනය කරනව. සිවුසස් දහම් උපද වනව. එසේම සිවුසස් දහම් අවබෝධ කරනව. සෘජුවම එය නිවන් අවබෝධ කර ගැනීමට උපනිශ්‍රය වෙනව.
මහණෙනි, ඉහත කී ගුණයන්ගෙන් සමන්විත මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක්ද? යි ඇසූ උන්වහන්සේ තමන්ම එය පහදා දෙමින් මෙසේ වදාළහ. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අට තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදැයි වදාළහ. ඉක්බිති උන්වහන්සේ චතුරාර්ය සත්‍යයට අයත් ධර්ම හතර විස්තර කරමින් “ඉදං ඛො පනභික්ඛවෙ දුක්ඛං අරිය සච්චං” සවිස්තර කරමින් මහණෙනි, ජාතිය (උපත) දුකයි. ජරාව (දිරීම) දුකයි. ව්‍යාධිය (රෝගීවීම) දුකයි. මරණය දුකයි. අප්පිය සම්පයෝගය (අපි‍්‍රය පුද්ගලයන් හා එක්ව විසීම) දුකයි. පි‍්‍රය පුද්ගලයන්ගෙන් වෙන්ව විසීම දුකයි. කැමැති දෑ නොලැබීම දුකයි.
මේ සියල්ල ගොනුකොට සලකනවිට පඤ්චුපාදනක්ඛන්ධයම (රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන උපාදාන පසේම ඇතිවීම) දුකයි. ඉක්බිති බුදුන් වහන්සේ විස්තර කරනව දුක්ඛාර්ය සත්‍යය හෙවත් මාර්ග ඵලාබෝධයෙන් වටහා ගතයුතු ජාත්‍යාදී දුක්ඛාර්ය සත්‍යය ඉහත සඳහන් පරිදි දේශනා කළා. දෙවනුව දුක්ඛ සමුදය හෙවත් දුක් උපවන ආර්ය සත්‍යය දේශනා කළා. එනම් පෙර භවය හා මේ භවය සම්බන්ධ කරන නැතහොත් මේ භවයෙහි උපතාදී දුක් හට ගැනීමට හේතුවන තෘෂ්ණාව පිළිබඳව දේශනා කරමින් එය කාම, භව, විභව යනුවෙන් පුනර්භවය ඇති කරන, නන්දි නම් සත්වයා සසර බැඳ තබන රාගයෙන් (ඇලීමෙන්) යුක්ත, උපන් උපන් භවයට ආශාවෙන් සතුටු වන කාම තණ්හා (රූපාදී පඤ්චස්කන්ධය පිළිබඳ ආශාව) භව තණ්හා (සත්වයා සදාකාලිකයයි පිළිගෙන භවයට ඇති ආශාව විභව තණ්හා (සත්වයා මරණින් මතු යළි නූපදින්නේ යයි යන දෘෂ්ටිය) යන මේ ත්‍රිවිධ තෘෂ්ණාව විස්තර කළා. අනතුරුව දුක්ඛ නිරෝධ සත්‍යය විස්තර කරමින් වදාරනව ඉහත කී ත්‍රිවිධ තෘෂ්ණාව මුළුමනින් නැසීම, මුළුමනින් අත්හැර දැමීම, මුළුමනින් දුරු කිරීම, මුළුමනින් එයින් මිදීම මුළුමනින් ඒ පිළිබඳ ඇලීම දුරු කිරීම දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි වදාළහ. දුක්ඛ නිරෝධය නම් කෙලෙස් සහිත පඤ්චස්කන්ධයාගේ චුතිය, ප්‍රතිසන්ධිය, නැතිවීමට දුක්ඛ නිරෝධය හෙවත් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට හේතුවෙනව. එවිට පඤ්චස්කන්ධය නමැති දුක්ගොඩ යළි ඇතිවන්නේ නැත. අනතුරුව දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදාර්ය සත්‍යය විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ වදාරනව සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මාසති, සම්මා සමාධිය යන ආර්ය අෂ්ටාංගික මාර්ගය බව. දුක්ඛ නිරෝධ නම් පුද්ගලයා නම් නිවන කරා පමුණුවන හා ඒ සඳහා අනුගමනය කළයුතු ප්‍රතිපත්තිය හෙයින් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව යයි මෙය හඳුන්වනව.
නිවන් අරමුණු කොට උපදින සෝවාන් සකෘදාගාමි, අනාගාමී, අර්හත් යන ලෝකෝත්තර කුසල් සිත් සතර සමග යෙදෙන ප්‍රඥා, විතර්ක, විරති, වීර්ය, ස්මෘති, ඒකග්‍රතා යන චෛතසික හයයි. ආර්යෂ්ටාංගික මාර්ගය නම්, මෙහි විරති චෛතසික සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වශයෙන් ත්‍රිවිධයි.

ප්‍රඥා, විතර්ක, වීර්ය, ස්මෘති, එකග්‍රතා යන චෛතසික අට ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් වේ. මෙහි දැක් වූ ප්‍රඥා චෛතසිකය සම්මාදිට්ඨියයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන තුන විරතියයි. සම්මා වායාමය වීර්යයයි. ස්මෘතිය සම්මා සතියයි. එකග්ගතාව සම්මා සමාධියයි. මෙහි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, තුන සීලයයි. සම්මාවායාම, සම්මා සති, සම්මා සමාධි තුන සමාධියයි. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප යන දෙක ප්‍රඥාවයි. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිවිධ ශික්ෂාවට අයත් වේ. නිවන අවබෝධ කරගැනීමට භාවනා කරන්නා පළමුවෙන් ශීලයෙහි පිහිටා දෙවනුව සමාධිය වඩා අවසානයෙහි විදර්ශනා වඩා ප්‍රඥාව ලැබිය යුතු යි. අනතුරුව බුදුරජාණන් වහන්සේ වදාරනව මෙසේ දුක්ඛාර්ය සත්‍යය දුක්ඛ සමුදයාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනි පටිපදාර්ය සත්‍ය යන සත්‍ය සතර මා පෙර නෑසු ධර්මයකි. ඒ පිළිබඳ නුවණැස පහළ වුණ, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණි. මහණෙනි, මේවායින් දුක්ඛාර්ය සත්‍යය පිරිසිඳ දත යුතු යයි පළමු නුවණ මට පහළ වුණ. අනතුරුව දුක්ඛ සමුදයාර්ය සත්‍ය ප්‍රහාන කළ යුතුය යන නුවණ පහළ වූණා. අනතුරුව දුක්ඛ නිරෝධාර්ය සත්‍යය නුවණින් ප්‍රත්‍යක්ෂ කළ යුතුය යන නුවණ පහළ වුණා. අනතුරුව දුක්ඛ නිරෝධගාමිණි පටිපදා ආර්ය සත්‍යය වැඩිය යුතුය. ප්‍රගුණ කළයුතුය. යන නුවණ පහළ වුණා. අනතුරුව මේ සත්‍ය හතරම වඩන ලදැයි යන නුවණ පහළ වුණා. මෙසේ සත්‍යඥාන, නත්‍ය ඥාන, කෘත ඥාන යන ත්‍රිවිධාකාරයෙන් මේවා පිළිබඳ නුවණ පහළ වුණා. මහණෙනි, චතුරාර්ය සත්‍යය වඩා නිවන් අවබෝධවන තුරු මරුන්, බඹුන්, මහණ බමුණන් දෙවි මිනිසුන් සහිත ලෝකයට මම උතුම් සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යි පිළින නොකෙළෙමි. ප්‍රකාශ නොකළෙමියි වදාළහ. මහණෙනි, කිසියම් දවසෙක තිපරිවට්ට (එකක් තුන් ආකාර වශයෙන් දොළොස් ආකාර වූ) චතුරාර්ය සත්‍යය ඇති සැටියෙන් (යථාභූතඥානයෙන්) නුවණට වැටහුණේ ද එකල්හි මරුන්, බඹුන්, දෙවි, මිනිසුන් සහිත ලෝකයට මම උතුම් සම්බෝධිය අවබෝධ කෙළෙමි. මාගේ අර්හත් ඵලය ස්ථිරය. මේ මාගේ අන්තිම උපතයි. මට මතු භවයක් නැත. යන සිහිකටයුතු ප්‍රත්‍යවේක්ෂ ඥානය පහළ වී යයි වදාළෙමි.
ධම්මචක්ක දේශනාව නිමාවීමෙන් හිරු බැසයාමත් කොණ්ඩඤ්ඤ තවුසාණන් සොතාපත්ති ඵලයට පත්වීමත් යන කරුණු තුන එකවිටම සිදුවිය. එසේම ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ තවුසාණන්ට යම්කිසි ධර්මයක් (එනම් සත්ත්ව පුද්ගල හෝ එසේ නොවන හෝ ප්‍රත්‍යයෙන් හටගත් සියල්ලක්ම නිරුද්ධවීම ස්වාභාවිකය යන රාගාදී රජස් රහිත පහවූ දෘෂ්ටි විචිකිච්ඡා දී මළ රහිත (සක්කායදිට්ඨි, විචිකිච්චා යන සංයෝජනයන්ගෙන් තොර) සොතාපත්ති මාර්ගඥානය (දහම් ඇස) අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්ට පහළ විය. (ධම්ම චක්ඛුං උදපාදී)
බුදුරදුන් ගේ මේ මංගල ධර්ම දේශනාව අසන්නට පස්වග මහණුන් හැර පැමිණ සිටියේ දසදහසක් සක්වල දෙව් බඹුන්ය. මේ දේශනාව හමාර කරත්ම භූමාටු දෙවතාවන් විසින් බුදුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී මේ ලෝකයෙහි කිසිම ශ්‍රමණයකු, බ්‍රාහ්මණයකු, දෙවියකු, මාරයකු, බ්‍රහ්මයකු විසින් නො පැවැත්විය හැකි නිරුත්තර වූ මේ ධර්ම චක්‍රය තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලදැ’යි කියා මහ හඬින් සාධුනාද දුන්හ. එම සාධුනාදය ඇසූ චාතුර්මහා රාජිත, තාවතිංස, යාම තුසිත නිම්මාණරතී, පරනිර්මිත වසවර්ති යන සදෙව් ලෝ වැසි දෙවියෝ ද බ්‍රහ්ම කායිකාදී දෙවියෝ ද ඉහත සඳහන් ප්‍රකාශය කරමින් සාධුනාද පැවැත් වූහ. බඹලොව තෙක් මේ සාධු නාදය උස්ව හැඟෙත්ම දස දහසක් සක්වල ලෝක ධාතුව කම්පා විය. (සංකම්පි’ සම්පකම්පි’ සම්මපවෙධී) අතිශයින් කම්පාවිය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා අප්‍රමාණ වූ උදාර වූ ආලෝකයක් ලොව පුරා පැතුරුණි.
ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ සතුට ප්‍රකාශ කරමින් ‘කොණ්ඩඤ්ඤ’ (ඔබ) ඒකාන්තයෙන් ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තේ ය. කොණ්ඩඤ්ඤ, ඔබ ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තේය යනුවෙන් තෙවරක් කියා තමන් වහන්සේගේ (උදානය) පී‍්‍රතිය ප්‍රකාශ කළ සේක. සිව්සස් අවබෝධ කළ පළමු ශ්‍රාවක කොණ්ඩඤ්ඤ තෙරනුවෝ එතැන් පටන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් වූහ. අඤ්ඤාසි වත හො කොණ්ඩඤ්ඤො යයි බුදුහු වහන්සේ වදාළහ. ඉතිරි සිව් නමට ඒ අවස්ථාවේ මාර්ග ඵලයක් නොලැබුණත් අප්‍රමාණ දෙව සමූහයෝ මාර්ගඵල ලාභීහු වූහ.
මේ පස්වග තවුසන් හැම දෙනාම බුදුන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියා අපට ඔබවහන්සේගේ සසුනේ පැවිද්ද ලබා දෙන මෙන්. අපි ඔබවහන්සේගේ මේ ධර්මය පිළිගත්තෙමු කියා පැවිද්ද ඉල්ලා සිටියා. එවිට බුදුන් වහන්සේ ඔවුන්ගේ අතීත පුණ්‍ය මහිමය බලා පළමු වන දිනයේ කොණ්ඩඤ්ඤ තවුසාට ඒහිභික්ඛු පැවිද්ද හා උපසම්පදාව ලබා දුන්හ. ඉක්බිති දෙවන දිනයෙහි බුදුන්ගේ අනුශාසනාව ඇසූ භද්දිය හා වප්ප යන දෙනම සෝතාපත්ති ඵලයට පත්ව බුදුන්ගෙන් පැවිද්ද ඉල්වා ඒහි භික්ඛු සාමණේර පැවිද්ද හා උපසම්පදාව ලැබූහ. අනතුරුව තෙවන දිනයෙහි බුදුන්ගේ අනුශාසනාව අසා මහානාම හා අස්සජි යන දෙනම සෝවාන් ඵලයට පැමිණ බුදුන් ළඟ පැවිද්ද ඉල්ලා ඒ දෙනම ද ඒහි භික්ඛු පැවිද්ද හා උපසම්පදාව ලැබූහ. මේ කාලය තුළ මාර්ගඵලලාභී භික්ෂූන් පිඬු සිඟා වැඩ දානය ගෙනවුත් බුදුන් ප්‍රධාන හතමම එම දානය පරිභෝග කළහ. අවසානයෙහි බුදුරජාණන් වහන්සේ සොතාපන්න වූ පස්වග භික්ෂූන් අමතා අනත්ත ලක්ඛණ සූත්‍රය දෙසමින් මහණෙනි, රූප වේදනා, සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේවා මාගේ නොවෙයි. මේ රූපාදිය මම නොවෙමි. මා කැමැති පරිදි මේවා පවත්වා ගන්න නොහැකිය. මේවා අනාත්මයි. සදාකාලිකව නොනැසී පවත්නේ නොවෙයි. යනුවෙන් සත්ත්වයා අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයින් යුක්ත බව හෙවත් යථා ස්වභාවයෙන් යුක්ත බව පෙන්නා දී රූපාදියෙහි ඇල්ම දුරු කොට ඒවා පිළිබඳ කලකිරුවා ඒවායින් මිදීම සසර දුක් නිවීමට හේතුවන බව පහදා දුන්හ. ඒ ඇසූ පස්වග මහණහු සතුටට පත්ව තෘෂ්ණා දෘෂ්ටිවලින් මිදී කෙලෙසුන්ගෙන් මිදුනහ. සියලු සත්ත්වයෝ නිවනින් සදාකාලික සැනසීම ලබත්වා.

 ඉතිරි කොටස ඇසළ අව අටවක අගෝස්තු 07වනදා පත්‍රයේ පළවේ

 දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත, අග්ග මහා පණ්ඩිත,
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති,
පල්ලත්තර සුමනජෝති නා හිමි





 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 31 වනදා සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

Wednesday, July 29, 2015

අයං වස්සාන කාලෝ මේ වස්සාන කාලය යි


බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව වර්ෂයකට සෘතු හෙවත් කාල පරිච්ඡේද තුනකි. එනම් හේමන්ත, ගිම්හාන, වස්සාන යන කාල තුනයි. එකල වැසි කාලය, ග්‍රීස්ම කාලය හා හිම වැටෙන කාලය අවුරුද්දේ මාස හතරෙන් හතරට මාරු විය. ඒ අනුව මහජනයා ද ඒ ඒ කාලය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැනගෙන තමන්ගේ ජීවන රටාව ද කාලයට අනුකූල පරිදි සකස් කරගත්හ. හේමන්ත සමය නම් හිම වැටෙන කාලයයි. වසරේ උඳුවප්, දුරුතු, නවම්, මැදින් යන සිව් මාස හේමන්ත සෘතුවට අයත් වේ. ගිම්හාන කාලය නම් බක්, වෙසක්, පොසොන්, ඇසළ යන හාර මාසය යි. මේ කාලයෙහි උෂ්ණත්වය අධිකයි. වස්සාන කාලය නම් වර්ෂා කාලය යි. එයට නිකිණි, බිනර, වප්, ඉල් යන සිව් මස් ගැනේ. මෙයින් වස් වැසීමට බුදුන් වහන්සේ නියම කොට ඇත්තේ වස්සාන සෘතුවේ ය. සෘතු බෙදීම ඉහත සඳහන් වූ පරිදි වුවක් වස් විසීමට අනුදැන වදාරන ලද්දේ ගිම්හාන සෘතුවේ පුරපසළොස්වක පෝදා පොහොය කොට පෑලවිය දවසේය. බොහෝවිට වර්තමාන මාස ක්‍රමය අනුව පුර පෝය මාසය අගදී පැමිණෙන අතර, ඒ කාලේ පැවැති මාස බෙදීම අනුව මේ දිනය වස්සාන සෘතුවේ ආරම්භක දිනය වශයෙන් පිළිගන්නට ඇත.

Tuesday, July 21, 2015

ගුණ නුවණ වඩන කත ගෙනෙයි ලොවටම සතුට සැනසුම

 



පතිකුලයට ගිය ස්ත්‍රිය සිය සැමියාගේ මවුපියන් දේවත්වයෙන් සැලකිය යුතු බව වදාළ බුදුහු පරපුරුෂ සේවනයෙන් දුරුව පතිව්‍රතාවෙන් යුක්ත විය යුතු යයි ද වදාළහ. නැදි මයිලන්ට සැලකීම සහ පතිව්‍රතාව පවුලේ සමඟියට, පවුලේ පාරිශුද්ධතාවට, පවුලේ දියුණුවට, දරුවන් ආදී හැමගේ ගෞරවයට හේතු වන ප්‍රබල කරුණු වේ. මෙබඳු ස්ත්‍රිය මනුෂ්‍යයන්ගේ පමණක් නොව දෙවියන් ආදී අමනුෂ්‍යයන්ගේ ද ගෞරවයට, ප්‍රශංසාවට ලක් ‍වේ



ඉත්ථියො ජීවලොකස්මිං
යා හොන්තී සමාචාරිනී
මෙධාවිනි සීලවතී, සස්සු දේවා පතිබ්බතා
තා දිසාය සුමෙධාය සුචිකම්මාය නාරියා
දෙවා දස්සන මායන්ති මානුස්සා අමානුසියා 

 
(ජාතකට්ඨ කතා)

මේ ජීවලෝකයෙහි නුවණැති, සිල්වත්, නැදි මයිලන් දේවත්වයෙන් පුදන, පතිව්‍රතාවෙන් යුත්, යහපත් ඇවැතුම් පැවැතුම් වලින් යුක්ත ස්ත්‍රී කෙනෙකු වෙයි නම් යහපත් නුවණින් යුත් නිවැරැදි ක්‍රියාවලින් යුක්ත එබඳු ස්ත්‍රිය දැකීමට මිනිස්සු පමණක් නොව දෙවියන් ආදී අමනුෂ්‍යයෝ ද පැමිණෙති, යන්නයි ඉහත සඳහන් ගාථාවෙන් අදහස් කරන්නේ.
එදා පැවැති බමුණු සමාජය කාන්තාව දෙස බැලුවේ වැඩි වශයෙන් නරක ගති පැවැතුම් ඇති තැනැත්තියක වශයෙනි. කාන්තාව අබල දුබල, දුසිරිතෙහි යෙදෙන තැනැත්තියක සේ හංවඩු ගැසූ බමුණෝ ඇය මන්ද බුද්ධික තැනැත්තියක වශයෙන් ද සැලකූහ. පුරුෂයා යහපත් හෝ අයහපත් හෝ කවර දෙයක් කළත් ඔහුට ඉන් නිදහස්වීමට අවසර තිබුණි. ඒ අයිතිය කාන්තාවට නොවීය. මෙම අයුක්තිය පිටුදැක්ක බුදුන් වහන්සේ දෙව් මිනිසුන් සහිත සමස්ත ලෝකයේම සිටින ප්‍රජාවගේ වෙනස දැක්වූයේ ඔවුන් කරන හොඳ සහ නරක දෙකිනි. නොඑසේව උපතින් කිසිවකු උසස් හෝ පහත් නොවන බව ‘කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො’ යනාදී වශයෙන් නොයෙක් විට දේශනා කර තිබේ. පුරුෂයා මෙන්ම කාන්තාව ද නුවණින්, සීලයෙන්, යහගුණවලින් යුක්ත නම් ඇය පුරුෂයා හා සමාන බව බුදුන් වහන්සේ වදාළ සේක

විශේෂයෙන් පතිකුලයට ගිය ස්ත්‍රිය සිය සැමියාගේ මවුපියන් දේවත්වයෙන් සැලකිය යුතු බව වදාළ බුදුහු පරපුරුෂ සේවනයෙන් දුරුව පතිව්‍රතාවෙන් යුක්ත විය යුතු යයි ද වදාළහ. නැදි මයිලන්ට සැලකීම සහ පතිව්‍රතාව පවුලේ සමඟියට, පවුලේ පාරිශුද්ධතාවට, පවුලේ දියුණුවට, දරුවන් ආදී හැමගේ ගෞරවයට හේතු වන ප්‍රබල කරුණු වේ. මෙ බඳු ස්ත්‍රිය මනුෂ්‍යයන්ගේ පමණක් නොව දෙවියන් ආදී අමනුෂ්‍යයන්ගේ ද ගෞරවයට, ප්‍රශංසාවට ලක්වන බව මේ ගාථාවෙන් හෙළි කරයි.
බුද්ධ කාලයෙහි කාන්තාව බමුණන් විසින් හෙළනු ලැබ තිබූ අගාධයෙන් ගොඩ ගැනීමට මෙබඳු ප්‍රකාශ කරන්නට බුදුන්ට සිදු වූයේ කාන්තාව ‘ද්වංගුල පඤ්ඤා’ එනම් අඟල් දෙකේ නුවණ ඇත්තියක වශයෙන් හෙවත් අනුවණ තැනැත්තියක ලෙස සමාජය පිළිගෙන තිබූ නිසාය. එම ගතානුගතික විශ්වාසය බිඳ දමා ඇයටද පුරුෂයා හා සමානව ගුණ නුවණ දියුණු කර ගත හැකි බව බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.
බමුණු මතයට අනුව ස්ත්‍රිය බාල කාලයෙහි පියා යටතේත් තරුණ කළ පුරුෂයා යටතේත් ස්වාමියා මළ පසු දරුවන් යටතේත් විසිය යුතුය. ස්ත්‍රියට නිදහසේ විසීමක් නැත්තේ ය. ස්ත්‍රිය සදා වහලියක් බව මෙයින් හෙළි වේ. මේ අතර ස්ත්‍රිය ‘අසූර්යං පශ්චිං’ යනුවෙන් හඳුන්වා තිබුණේ හිරු දකින්නට පවා එළියට බැසීමට අවසර නැති ගෙයි බිත්ති හතරට සීමාවී සිටිය යුතු තැනැත්තියක බව හැඟවීමටයි. ලොව හැමට උරුම තමා අදහන ධර්මය ඇදහීමට ඇති නිදහස පවා ස්ත්‍රියට නැති කළ බමුණෝ ඇයට ස්වාමියාට සැලකීමෙන් පමණක් ස්වර්ගයට යා හැකි බව පැවසූහ.
මේ අනුව සදහටම ස්ත්‍රිය සැමියා ගේ වහලියක බවට පත්කර තබාගත් බව පැහැදිලි වේ.
පුරාතන භාරතයේ බහුභාර්යා පරිහරණය ද තිබුණි. මෙය භාර්යාවන් අතර ඊර්ෂ්‍යාව, තරගය සපත්නි රෝෂය (සමාන භාර්යාවන් අතර විරුද්ධතාව) ඇතිවීමට හේතු විය. එක අතකින් එය පුරුෂයාට වාසියක් මෙන් ම තවත් අතකින් ඔවුන් අතර පැන නගින ප්‍රශ්න විසඳීමට මැදහත් වීමට සිදුවූ නිසා කරදරයක් ද වන්නට ඇත. තම සැමියා තුළ තමා කෙරෙහි වැඩි හිතවත්කමක් ඇති කරවා ගැනීමට මෙන්ම ඔහුගෙන් සැලකිලි සම්මාන වඩ වඩාත් ලබා ගැනීමට භාර්යාවන් අතර තරගයක් විය. දවසක් බුදුන් වෙත පැමිණි දේවතාවකු පුරුෂයා සතු වස්තු අතර උසස්ම වස්තුව කුමක්දැයි ප්‍රශ්න කළ විට බුදුන් පිළිතුරු දුන්නේ ‘ඉත්ථි භණ්ඩානමුත්තමං’ යනුවෙන්. පුරුෂයා සතු භාණ්ඩ හෙවත් වස්තු අතර වැදගත් ම වස්තුව ස්ති‍්‍රය හෙවත් භාර්යාව කියායි. එයින් අදහස් කරන්නේ තමාට ඉතාම විශ්වාසදායක, තමා ආරක්‍ෂා කරන, තමාගේ සියලු දෙයෙහි හිමිකාරිය වන ස්ත්‍රිය පුරුෂයාගේ අගනාම වස්තුව බවයි. මෙසේම ‘භරියාච පරමා සඛා’ යන්නෙන්ද පුරුෂයාගේ උතුම්ම යෙහෙළිය බිරිඳ බව වදාරා තිබේ. බමුණු සමාජය විසින් වර්ණ භේදයෙන් භාරතීය ජනතාව ක්‍ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යයි සිව් කොටසකට බෙදනු ලැබ තිබුණාක් මෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් ද බෙදනුලැබ තිබුණි. එහෙත් මේ තහංචි කඩා බිඳ දමා නිදහසේ විසූ ස්ත්‍රීහු ද එකල සිටියහ. ඔවුන් අතර ප්‍රමුඛ තැනක් ගන්නේ ගණිකාවෝ යි. ඒ හැර පරිබ්‍රාජක පක්‍ෂය අතර ද පරිබ්‍රාජිකාවෝ සිටියහ. මොවුන් ද නිදහස් කාන්තා පූජ්‍ය පිරිසකි. මේ පූජකවරියන් කිසියම් දර්ශනයක් මැනවින් හදාළ වාද විවාදාදියට ද යොමු වූ පිරිසකි. ඔවුහු තවත් දාර්ශනිකයකු සමඟ වාද කොට පැරදුනහොත් ඒ දිනූ තැනැත්තාගේ දර්ශනය පිළිගත්හ. (කුණ්ඩලකේසී චරිතය කියවන්න)
සමහරවිට තමාට අකීකරු ස්ත්‍රිය නිවෙසින් නෙරපීමට හෝ සමහරවිට මරා දැමීමට හෝ පුරුෂාධිපත්‍යයට බලය තිබුණ මෙබඳු අවධියෙහි යි ගෞතම බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූයේ. එදා පැවැති සමාජ බෙදීම හෙළා දුටු උන්වහන්සේ වර්ණ භේදය හෙළා දකිමින් ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන සිව් වර්ණයම මනුෂ්‍යයන් වශයෙන් සම බව ප්‍රකාශ කළේ ‘චත්තාරො වණ්ණා සම සමා’ යනුවෙන් චාතුර් වර්ණයම සමාන බව පවසමිනි. බුදුන් වහන්සේ භික්‍ෂු සංස්ථාව තුළින් මුළුමනින්ම වර්ණ භේදය ඉවත් කළහ. සතර දිගින් මහ මුහුදට ගලා එන ගංගා, යමුණා, සරභු, මහී යන සිව් ගංගාවන් මුහුදට වැටුණ පසු එකම මුහුදු ජලය යයි හඳුන්වන්නාක් මෙන් කවර වර්ණයකට අයත් කෙනකු හෝ පැවිදි වූ පසු බුද්ධ පුත්‍රයන් වශයෙන් හඳුන්වන බව ප්‍රකාශ කළහ.
තමන්ගේ කරනැවෑමියා වූ උපාලි පළමුව පැවිදි කළ ක්‍ෂත්‍රිය කුමාරවරුන් උන්වහන්සේට වැඳ පසුව පැවිදි වූයේ ඒ නිසයි. උපාලි හාමුදුරුවන් පහත් වර්ණයක වූවත් විනයධර තෙරවරුන් අතර අගතනතුර දුන්නේ ඒ නිසයි. බුද්ධියට, සිල්වත්කමටයි බුදුසසුනෙහි උසස් තැන ලැබුණේ. අග සවු තනතුරු ලැබුණේ ඒ සඳහා පාරමී පුරා පැමිණි සාරිපුත්ත මොග්ගල්ලාන යන දෙනමටයි. විශේෂයෙන් තනතුරු දීමේ දී ඒ ඒ පුද්ගලයන් සසරදි ඒ වෙනුවෙන් පුරන ලද පාරමී දහම් පුරුද්ද සොයා බලනු ලැබිණි.
බුදුරජාණන් වහන්සේ කාන්තාවන් පුරුෂ පක්‍ෂය හා සමාන බව හෙළි කළේ කාන්තාවන්ට පැවිද්ද ලබා දීමෙනි. මහා ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්‍ෂේප කළ බුදුහු ආනන්ද හිමියන් ස්වාමීනී, ස්ත්‍රීන්ට මේ සසුනේ පැවිදිවී මාර්ග ඵල ලැබිය හැකි දැයි විචාළ විට හැකියැයි පිළිතුරු දුන්හ. එවිට ආනන්ද හිමියන් මහාප්‍රජාපතී ගෝතමියගේ ගුණ කියා ඇය ප්‍රධාන ක්‍ෂත්‍රිය කාන්තාවන්ට පැවිද්ද දෙනු මැනවැයි ඉල්ලා සිිටි විට අෂ්ට ගරු ධර්ම පණවා ඒවා පිළිගන්නේ නම් ඔවුන්ගේ බුදුසසුනේ පැවිද්දත් උපසම්පදාවත් දෙකම එය බව වදාළහ. අනඳ හිමියන්ගෙන් මේ පණිවුඩය පිළිගත් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු පන්සියයක් ක්‍ෂත්‍රිය කාන්තාවෝ භික්‍ෂුණී භාවයට පත් වූහ.
මහාප්‍රජාපතී ගෝතමීන් වහන්සේ පිරිනිවන් පාන්නට සූදානම් ව බුදුන්ගෙන් අවසර ගෙන ආපසු වඩින විට බුදුන් වහන්සේ එතුමියගේ ගුණ කියා මඳ දුරක් භික්‍ෂූන් සමග පසුගමන් කළේ ශ්‍රේෂ්ඨ කාන්තාරත්නයට ගෞරව කිරීම සඳහාය. එතුමිය පිරිනිවී පසු එතැනට වැඩිය උන්වහන්සේ එතුමිය දැවූ ස්ථානයෙහි ධාතු නිදන්කොට ස්මාරකයක් ද පිහිට වූ බව සාසන ඉතිහාසයෙහි සඳහන් වේ. පටාචාරා, වැනි අසරණ කාන්තාවන් මෙන්ම අම්බපාලි වැනි වෛශ්‍යා ස්ත්‍රීන්ටද මේ සාසනයෙහි උත්තරීතර තත්ත්වයට පත් වන්නට වාසනාව ලැබුණේ බුදුන් වහන්සේ නිසයි. බුදු දහමින් සදාකාලික ශාන්තිය ලැබූ කාන්තාවන් රාශියක් ගැන ථෙරීගාථාවල දක්නට ලැබේ. රහත්භාවයට පත් වූ සෝමා තෙරණිය තමා ලත් නිවන් සුවය පිළිබඳ උදම් ඇණුවේ මෙසේ ය.

යං තං ඉසිහි පත්තබ්බං ඨානං දුරහි සම්භවං
න තං ද්වංගුල පඤ්ඤාය සක්කා පප්පොතු මිත්ථියා


දැඟුල් නුවණැති ස්ත්‍රීන්ට ලැබිය නොහැකි යයිද, සෘෂීන්ට පමණක් ලැබිය හැකියයිද කියන අති දුෂ්කර තත්ත්වය (නිවන) මා විසින් ලැබීයයි එතුමිය ප්‍රකාශ කළේ බුදුමඟ අනුගමනය කොට ඒ මඟින් සදාකාලික විමුක්තිය ලැබීමෙනි.



කාන්තාවන් අනුවණ යැයි කියන බමුණු මතය බොරුකරමින් පුණ්ණා දාසිය උදක සුද්දික බමුණාට දුන් අවවාදය කාන්තාවගේ ඥාන ශක්තිය විශද කරන තවත් වැදගත් පුවතකි.
උදේ පාන්දරම දියගෙන ඒමට ගඟ ළඟට ගිය පුණ්ණාට උදකසුද්ධික (දියෙහි නෑමෙන් පව් සේදේයයි විශ්වාස කරන) බමුණෙක් හිමිදිරියේ සීතලේ වෙව්ල වෙව්ලා දියෙහි ගිලෙමින් මතුවෙමින් දිය නානු දැක ගත හැකිවිය. ‘බමුණ, ඔබ ඔය කරන්නේ කුමක්දැ’යි ඇය ඇසුවාය. ‘පුණ්ණා, මම පව් සෝදමි’යි කීවිට ඇය ‘බමුණ, ඔබ කළ පව් දියේ නෑමෙන් සේදී යනව නම් ගඟේ හැමදාම ඉන්න මාළුවො, කැස්බෑවො, ඉබ්බො ආදී සතුන්ට පව් ඇත්තෙම නැහැ නේදැ’යි පවසමින් ඔහුගේ අනුවණ ක්‍රියාව පෙන්වා දුන්නාය. එයින් ඔහුට දහම් මඟෙහි යෑමට මඟ පෙන්වීම ලැබිණි.
එක් අවස්ථාවක සෝමා රහත් තෙරණිය මාරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ කීවා ය.

ඉත්ථි භාවො නො කිං කයිරා චිත්තම්හි සුසමාහිතෙ
ඤාණම්හි වත්තමානම්හි සම්මා ධම්මං විපස්සකො
(ථෙරි ගාථා)

නුවණ තිබේනම් එම නුවණින් මනාව ධර්මය දැකිය හැකි නම් ඒ මඟින් සිත දමනය කරගත් විට ගැහැනු කම අපට කුමක් කරන්නේද? විමුක්තියට ගැහැනුකමින් බාධාවක් නැත යනු එහි අදහසයි.
යශෝධරා තෙරණිය කළ පහත ප්‍රකාශයේ අගය කෙතරම්ද බලන්න.

උපකාරකා ච යා නාරී සමානා ච සුඛෙ දුඛෙ
අත්ථක්ඛායී ච යා නාරී සුන්දර් චානුකම්පිකා
එවං ධම්මං සුචින්තානං සදා සද්ධම්ම චාරිනං
ධම්ම චාරී සුඛං සෙති අස්මිං ලොකෙ පරම්හි ච


කිසියම් ස්ත්‍රියක් සැමියාගේ උපකාරකාරීනියක වේද එසේම සැමියාගේ සැප දුක් දෙකම සමානව විඳ දරා ගනීද සැමියාගේ සුබසාධනය පිණිස ක්‍රියා කරයිද, සැමියා කෙරෙහි සානුකම්පිතව ගරු සැලකිලි කරයිද, එසේම ධර්මානුකූලව ක්‍රියා කරයිද, හැම කල්හි සුචරිතයෙහි හැසිරෙන ධර්මචාරී ස්ත්‍රිය මෙලොවත් පරලොවත් දෙලොවම සැප ලබයි. මේ ප්‍රකාශය කාන්තාවන්ට මොන තරම් උතුම් අවවාදයක්ද? ස්වාමි භාර්යා දෙපොළ ඒකාත්මිකව ජීවත් විය යුතු ය. ඒ දෙදෙනාගේ සමගිය මුළු ගෙදර සිටින හැමට දෙන මහඟු ආදර්ශයකි. විශේෂයෙන් දරු ප්‍රජාවගේ යහපත පිණිස හේතු වේ.
බුදුන් මවුපියන් ගැන කතා කිරීමේ දී දෙදෙනා වෙන් වශයෙන් ගෙන කථාකර ඇත්නම් ඒ ඉතාම කලාතුරකිනි. හැම විටම එකට ගෙනයි උන්වහන්සේ කථාකර ඇත්තේ. සිඟාලෝවාද සූත්‍රයෙහි ‘මාතා පිතා දිසා පුබ්බා’ යනුවෙන් මවුපිය දෙපොළම පෙරදිග වශයෙනුයි වදාළේ. ‘බ්‍රහ්මාති මාතාපිතරො’ යන්න ද එසේමය. බ්‍රහ්ම කියන්නේ මවුපිය දෙදෙනාටම ය. පූර්වාචාර්ය යනුද මවුපිය දෙදෙනාම ය. පුබ්බදේවතා යනු මව්පිය දෙදෙනාම ය. මෙසේ සලකනවිට මේ දෙදෙනා සමාන දෙපොළක් මිස බමුණු මතය පරිදි පුරුෂයාගේ වහළියක් නොවේ බිරිඳ.
කෙසොල් රජුගේ අග බිසව වූ කෝසල මල්ලිකාව බුද්ධිමත් කාන්තාවකි. අසදෘස මහා දානයේ දී නුවර වැසියන්ට පරාජය වන්නට සිදුවන බව දැන ගත් රජතුමා යහනට වී කනස්සල්ලෙන් සිටින විට නුවර වැසියන් පරදවා අසදෘස මහා දානය පිරිනමන්නට අවශ්‍ය උපදෙස් දුන්නේ කෝසල මල්ලිකාවයි. (කෝසල සංයුක්තය කියවන්න) දිනක් මල්ලිකාව සමඟ සතුටු සාමිචියේ යෙදී සිටින අතර කොසොල් රජතුමා මල්ලිකාවගෙන් ඇසුවේ මල්ලිකාවෙනි, ඔබ වඩාත්ම ආදරේ කාටද, කියායි. කොසොල් රජුට අවශ්‍ය වූයේ ස්වාමිනී, මම වඩාත්ම ආදරේ ඔබටයි කියා කියවා ගැනීමටයි. එහෙත් එතුමිය කීවේ ස්වාමිනී, මා වඩාත්ම ආදරේ මටයි යනුවෙන්. මෙයින් පෙනෙනවා ඇය කොතරම් බුද්ධිමත්ද කියා. කොසොල් රජු මේ පුවත බුදුන්ට කීවාම උන්වහන්සේත් එය අනුමත කරමින් වදාළේ ‘නත්ථි අත්ත සමං පෙමං’ යනුවෙනි. තමාට තමා තරම් පි‍්‍රය කෙනෙකු නැත යන්නයි.
බුදුරජාණන් වහන්සේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසෙන් තෝරා ගත් ඇත්තන්ට සාසනික තනතුරු දීමේ දී කාන්තාවන්ට ද වෙනසක් නැතිව තනතුරු දුන්නේ ඔවුන් බුද්ධිමත් නිසයි. අග්‍රශ්‍රාවිකා තනතුරු දුන්නේ ඛේමා, උප්පලවණ්ණා යන භික්‍ෂුණීන් දෙදෙනාටයි. සෙසු අයට ද ඒ ඒ තනතුරු දුන්හ. විශාඛාවට ද අග්‍ර දායිකා තනතුර ලැබුණි.අංගුත්තර නිකායේ සඳහන් වන පරිදි මව, පියා, බුදුන්, බුද්ධශ්‍රාවකයා යන සිව් දෙනාට වඳින පුදන පුද්ගලයාට පින් අත්වන බවත් එසේ නොකරන්නාට පව් සිදුවන බවත් දේශනා කර තිබේ. නකුල අඹුසැමි දෙදෙනා පිළිබඳ පුවතේ සඳහන් වන්නේ නකුල පියාටත් වැඩිය නකුල මාතාව බුද්ධිමත් බවයි. නකුල පියා තමාගේ මරණයෙන් පසු බිරිඳ අසරණ වන බව සිතා දුක්වන බව දත් ඇය සැමියාට කීයේ ස්වාමීනී, සාපේක්‍ෂකව මරණයට පත්වීම නුසුදුසු බවයි. මා මෝඩ තැනැත්තියක නොවේ යැයි ඇය සැමියාට මතක් කර දුන්නාය. මේ සිද්ධිය බුදුන්ට කීවිට බුදුන් වදාළේ නකුල පියාණෙනි, නකුල මාතාව සුසිල්වත්, සන්සුන්, දහම් මැනැවින් දන්නා, විශාරද කාන්තාවක් බවයි. එබඳු බුද්ධිමත් තැනැත්තියක ඔබේ බිරිඳ වීම ඔබේ වාසනාවක් බව උන්වහන්සේ නකුල පියාට පහදා දුන්හ. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබේ දෙලොව දියුණුවට අවවාද අනුශාසනා කිරීමෙන් ඇය ඔබට විශාල යහපතක් සලසා තිබේයැයි තවදුරටත් පෙන්වා දුන්හ.
බුදුන් වහන්සේ පළමු වරට කාන්තා නිදහස ලබා දුන් උත්තමයන් වහන්සේ වශයෙන් ශාසන ඉතිහාසයෙන් හෙළිවන සිද්ධි කිහිපයකි ඉහතින් ඉදිරිපත් කළේ. පුරාණයෙහි භාරත සමාජය විසින් ශුද්‍රයන්ගේ තත්ත්වයට හෙළනු ලැබ ස්වාමියාගේ වහලියක සේ සැලකූ කාන්තාව බුදුන් වහන්සේ විසින් සමාජයේ උපරිම තලයට නඟා සිටුවනු ලැබූ අයුරු ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වේ. එසේ කාන්තාවට බුදුහමෙන් ලැබුණ තැන එලෙසින්ම සුරැකදීම අප කාගේත් වගකීමකි.


කාන්තාවන් අනුවණ යැයි කියන බමුණු මතය බොරුකරමින් පුණ්ණා දාසිය උදක සුද්දික බමුණාට දුන් අවවාදය කාන්තාවගේ ඥාන ශක්තිය විශද කරන තවත් වැදගත් පුවතකි.
උදේ පාන්දරම දියගෙන ඒමට ගඟ ළඟට ගිය පුණ්ණාට උදකසුද්ධික (දියෙහි නෑමෙන් පව් සේදේයයි විශ්වාස කරන) බමුණෙක් හිමිදිරියේ සීතලේ වෙව්ල වෙව්ලා දියෙහි ගිලෙමින් මතුවෙමින් දිය නානු දැක ගත හැකිවිය. ‘බමුණ, ඔබ ඔය කරන්නේ කුමක්දැ’යි ඇය ඇසුවාය. ‘පුණ්ණා, මම පව් සෝදමි’යි කීවිට ඇය ‘බමුණ, ඔබ කළ පව් දියේ නෑමෙන් සේදී යනව නම් ගඟේ හැමදාම ඉන්න මාළුවො, කැස්බෑවො, ඉබ්බො ආදී සතුන්ට පව් ඇත්තෙම නැහැ නේදැ’යි පවසමින් ඔහුගේ අනුවණ ක්‍රියාව පෙන්වා දුන්නාය. එයින් ඔහුට දහම් මඟෙහි යෑමට මඟ පෙන්වීම ලැබිණි.
එක් අවස්ථාවක සෝමා රහත් තෙරණිය මාරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ කීවා ය.

ඉත්ථි භාවො නො කිං කයිරා
චිත්තම්හි සුසමාහිතෙ
ඤාණම්හි වත්තමානම්හි
සම්මා ධම්මං විපස්සකො 

 
(ථෙරි ගාථා)

නුවණ තිබේනම් එම නුවණින් මනාව ධර්මය දැකිය හැකි නම් ඒ මඟින් සිත දමනය කරගත් විට ගැහැනු කම අපට කුමක් කරන්නේද? විමුක්තියට ගැහැනුකමින් බාධාවක් නැත යනු එහි අදහසයි.
යශෝධරා තෙරණිය කළ පහත ප්‍රකාශයේ අගය කෙතරම්ද බලන්න.

උපකාරකා ච යා නාරී සමානා ච සුඛෙ දුඛෙ
අත්ථක්ඛායී ච යා නාරී සුන්දර් චානුකම්පිකා
එවං ධම්මං සුචින්තානං සදා සද්ධම්ම චාරිනං
ධම්ම චාරී සුඛං සෙති අස්මිං ලොකෙ පරම්හි ච



කිසියම් ස්ත්‍රියක් සැමියාගේ උපකාරකාරීනියක වේද එසේම සැමියාගේ සැප දුක් දෙකම සමානව විඳ දරා ගනීද සැමියාගේ සුබසාධනය පිණිස ක්‍රියා කරයිද, සැමියා කෙරෙහි සානුකම්පිතව ගරු සැලකිලි කරයිද, එසේම ධර්මානුකූලව ක්‍රියා කරයිද, හැම කල්හි සුචරිතයෙහි හැසිරෙන ධර්මචාරී ස්ත්‍රිය මෙලොවත් පරලොවත් දෙලොවම සැප ලබයි. මේ ප්‍රකාශය කාන්තාවන්ට මොන තරම් උතුම් අවවාදයක්ද? ස්වාමි භාර්යා දෙපොළ ඒකාත්මිකව ජීවත් විය යුතු ය. ඒ දෙදෙනාගේ සමගිය මුළු ගෙදර සිටින හැමට දෙන මහඟු ආදර්ශයකි. විශේෂයෙන් දරු ප්‍රජාවගේ යහපත පිණිස හේතු වේ.
බුදුන් මවුපියන් ගැන කතා කිරීමේ දී දෙදෙනා වෙන් වශයෙන් ගෙන කථාකර ඇත්නම් ඒ ඉතාම කලාතුරකිනි. හැම විටම එකට ගෙනයි උන්වහන්සේ කථාකර ඇත්තේ. සිඟාලෝවාද සූත්‍රයෙහි ‘මාතා පිතා දිසා පුබ්බා’ යනුවෙන් මවුපිය දෙපොළම පෙරදිග වශයෙනුයි වදාළේ. ‘බ්‍රහ්මාති මාතාපිතරො’ යන්න ද එසේමය. බ්‍රහ්ම කියන්නේ මවුපිය දෙදෙනාටම ය. පූර්වාචාර්ය යනුද මවුපිය දෙදෙනාම ය. පුබ්බදේවතා යනු මව්පිය දෙදෙනාම ය. මෙසේ සලකනවිට මේ දෙදෙනා සමාන දෙපොළක් මිස බමුණු මතය පරිදි පුරුෂයාගේ වහළියක් නොවේ බිරිඳ.
කෙසොල් රජුගේ අග බිසව වූ කෝසල මල්ලිකාව බුද්ධිමත් කාන්තාවකි. අසදෘස මහා දානයේ දී නුවර වැසියන්ට පරාජය වන්නට සිදුවන බව දැන ගත් රජතුමා යහනට වී කනස්සල්ලෙන් සිටින විට නුවර වැසියන් පරදවා අසදෘස මහා දානය පිරිනමන්නට අවශ්‍ය උපදෙස් දුන්නේ කෝසල මල්ලිකාවයි. (කෝසල සංයුක්තය කියවන්න)
දිනක් මල්ලිකාව සමඟ සතුටු සාමිචියේ යෙදී සිටින අතර කොසොල් රජතුමා මල්ලිකාවගෙන් ඇසුවේ මල්ලිකාවෙනි, ඔබ වඩාත්ම ආදරේ කාටද, කියායි. කොසොල් රජුට අවශ්‍ය වූයේ ස්වාමිනී, මම වඩාත්ම ආදරේ ඔබටයි කියා කියවා ගැනීමටයි. එහෙත් එතුමිය කීවේ ස්වාමිනී, මා වඩාත්ම ආදරේ මටයි යනුවෙන්. මෙයින් පෙනෙනවා ඇය කොතරම් බුද්ධිමත්ද කියා. කොසොල් රජු මේ පුවත බුදුන්ට කීවාම උන්වහන්සේත් එය අනුමත කරමින් වදාළේ ‘නත්ථි අත්ත සමං පෙමං’ යනුවෙනි. තමාට තමා තරම් පි‍්‍රය කෙනෙකු නැත යන්නයි.
බුදුරජාණන් වහන්සේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසෙන් තෝරා ගත් ඇත්තන්ට සාසනික තනතුරු දීමේ දී කාන්තාවන්ට ද වෙනසක් නැතිව තනතුරු දුන්නේ ඔවුන් බුද්ධිමත් නිසයි.
අග්‍රශ්‍රාවිකා තනතුරු දුන්නේ ඛේමා, උප්පලවණ්ණා යන භික්‍ෂුණීන් දෙදෙනාටයි. සෙසු අයට ද ඒ ඒ තනතුරු දුන්හ. විශාඛාවට ද අග්‍ර දායිකා තනතුර ලැබුණි.අංගුත්තර නිකායේ සඳහන් වන පරිදි මව, පියා, බුදුන්, බුද්ධශ්‍රාවකයා යන සිව් දෙනාට වඳින පුදන පුද්ගලයාට පින් අත්වන බවත් එසේ නොකරන්නාට පව් සිදුවන බවත් දේශනා කර තිබේ. නකුල අඹුසැමි දෙදෙනා පිළිබඳ පුවතේ සඳහන් වන්නේ නකුල පියාටත් වැඩිය නකුල මාතාව බුද්ධිමත් බවයි. නකුල පියා තමාගේ මරණයෙන් පසු බිරිඳ අසරණ වන බව සිතා දුක්වන බව දත් ඇය සැමියාට කීයේ ස්වාමීනී, සාපේක්‍ෂකව මරණයට පත්වීම නුසුදුසු බවයි. මා මෝඩ තැනැත්තියක නොවේ යැයි ඇය සැමියාට මතක් කර දුන්නාය. මේ සිද්ධිය බුදුන්ට කීවිට බුදුන් වදාළේ නකුල පියාණෙනි, නකුල මාතාව සුසිල්වත්, සන්සුන්, දහම් මැනැවින් දන්නා, විශාරද කාන්තාවක් බවයි. එබඳු බුද්ධිමත් තැනැත්තියක ඔබේ බිරිඳ වීම ඔබේ වාසනාවක් බව උන්වහන්සේ නකුල පියාට පහදා දුන්හ. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබේ දෙලොව දියුණුවට අවවාද අනුශාසනා කිරීමෙන් ඇය ඔබට විශාල යහපතක් සලසා තිබේයැයි තවදුරටත් පෙන්වා දුන්හ.
බුදුන් වහන්සේ පළමු වරට කාන්තා නිදහස ලබා දුන් උත්තමයන් වහන්සේ වශයෙන් ශාසන ඉතිහාසයෙන් හෙළිවන සිද්ධි කිහිපයකි ඉහතින් ඉදිරිපත් කළේ. පුරාණයෙහි භාරත සමාජය විසින් ශුද්‍රයන්ගේ තත්ත්වයට හෙළනු ලැබ ස්වාමියාගේ වහලියක සේ සැලකූ කාන්තාව බුදුන් වහන්සේ විසින් සමාජයේ උපරිම තලයට නඟා සිටුවනු ලැබූ අයුරු ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වේ. එසේ කාන්තාවට බුදුහමෙන් ලැබුණ තැන එලෙසින්ම සුරැකදීම අප කාගේත් වගකීමකි.


 
 රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර සුමනජෝති නා හිමි









ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ අධි බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අගෝස්තු 31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

Sunday, June 7, 2015

අනත්ත ලක්ඛණ සූත්‍ර දේශනාව



“ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ, තත්‍ර ඛො භගවා පඤ්ච වග්ගියෙ භික්ඛු ආමන්තෙසි, භික්ඛවොති, හදන්තෙති? තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං, භගවා, එතදවොච, රූපං භික්ඛවෙ, අනත්තා, රූපඤ්ච හිදං භික්ඛවෙ, අත්තා අභවිස්ස, න ඉදං රූපං ආබාධාය සංවත්තෙයිය, ලබ්බේථ ච රූපෙ, එවං මෙ රූපං හොතුං එවං මෙ රූප මා අහොසී ති, යස්මා ච ඛො භික්ඛවෙ රූපං අනත්තා, තස්මා රූපං ආබාධාය සංවත්තංනච ලබ්හති රූපෙ එවං මෙ රූපං හොතුං එවං මෙ රූපං මා අහොසි ති (සං.නි. ඛන්ධ සංයුක්තං උපය වග්ග 1 – 2 – 1 – 7 බු.ජ. 115 පිට)

අපේ බුදු හාමුරුවො බුද්ධත්වයට පත්වෙල සහම්පති මහා බ්‍රහ්මරාජයාගේ ආරාධනාවෙන් ද මේ දෙසන්නට තීරණය කළහ. තමන් වහන්සේ අවබෝධ කර ගත් සද්ධර්මය ඉතා ගැඹුරු, ඉතා සියුම් ධර්මයක් නිසා කෙලෙස්බරින් මැඩුණු පුහුදුන් ජනයාට එය වටහා ගත නොහැකියයි සිතා උන්වහන්සේ පළමුවෙන් ධර්මදේශනා කරන්නට උදාසීන වූ සේක. එහෙත් බඹහුගේ ඇරයුම පිළිගත් උන්වහන්සේ අල්පරජෂ්ක පුද්ගලයන් ලොව සිටින බව දැක ධර්ම දේශනා කරන්නට තීරණය කොට ලොව සිටින ඉතා නුවණැති අය කවරහුදැයි බැලූහ. දුෂ්කරක්‍රියා කළ සාවරුදු සමයෙහි උන්වහන්සේට වූ ආළාරකාලාම, උද්දකරාම පුත්ත, වැනි ධ්‍යානලාභී අෂ්ට සමාපත්ති ලාභි තවුසෝ කොහි සිටින්නෝ දැයි බැලූ විට ඔවුන් මිය අරූපතලවල උපන් බව දුටහ.

බුදුන් වහන්සේ අනතුරුව බැලුවේ තමන් වහන්සේගේ සාවුරුදු දුෂ්කරක්‍රියා සමයේ තමන් බුදුවේය යන විශ්වාසයෙන් උන්වහන්සේ සමීපයෙහි හැසිරෙමින් තමන්ට උවටැන් කළ බුද්ධිමත් පස්වග තවුසන්දෙසය.ඔවුන් තමාද අනුගමනය කළ අත්තකිලමථානුයෝගය බැහැර කොට සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වූ විට අත්තකිලමථානුයෝගයෙන් තොරව නිවන ලබන්නට නොහැකිය යන මිසදිටුයෙහි දැධ් විශ්වාසයෙන් සිටි පස්වග තවුසෝ බුදුන් හැරගොස් සිටින්නෝ කොතැනක දැයි දිවැසින් බැලූහ. ඔවුන් බරණැස ඉසිපතනයේ මිගදාය නම් අසපුවක වසන බව දැක බරණැස සිට ඔවුන්ට දහම් දෙසීම සඳහා පා ගමනින් එහි වැඩම කළහ. බුදුන් වහන්සේ ඉසිපතනයට ළඟා වූයේ ඇසළ මස පුර පොහොය දිනයේ සවස් යාමයෙහිය. සිදුහත් තවුසාණෝ බුදුවිය නොහී යළිත් අපගෙන් උපස්ථාන ලැබීමට තමන් සමීපයට පැමිණෙතැයි සිතූ තවුසෝ මුලදී උන්වහන්සේ පිළිගන්නට නො කැමැති වුවත් බුදුන් වහන්සේ විසින් තමන් බුදු වූ බව යළි යළිත් වදාළ විට විශ්වාස කළහ. ඉක්බිති එම සන්ධ්‍යා සමයෙහි තමන් අවබෝධ කරගත් ධර්මය අසන්නට සැරසෙන්නට යයි වදාළ විට ඔවුහු එම අලුත් දහම අසන්නට සූදානම් වූහ.
මේ අවස්ථාවේ මුව වනයෙහි වූ අසපුවෙහි මේ දහම අසන්නට සිටියේ මනුෂ්‍යයන් වශයෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ, වප්ප, මහානාම, භද්දිය හා අස්සජි යන තවුසන් පස්නම පමණි. ඒ හැර සෙස්සෝ දසදසක් සක්වල අප්‍රමාණ දෙව් බඹහු වූහ. “සිව් සස්” දහම මොවුනට දෙසූ බුදුරජාණන් වහන්සේ මහණෙනි, සිරුරට දුක් දීමෙන් සැප ලැබිය හැකිය හා සිරුරට සැප දීමෙන් සැප ලැබිය හැකිය යන අන්ත දෙකම නිවන් මඟ නොවන බැවින් ඒ දෙකින්ම තොර මැදුම් පිළිවෙත නම් අරිඅටගි මඟ පිළිපදින්නටය යි වදාළ ධම්මචක්ක සූත්‍රය දේශනා කළහ. කවරදාක නොඇසූවිරූ අතිශය ගැඹුරු එම දහම ශ්‍රවණය කළ පස්වග තවුසන්ගෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් බුද්ධිමත් තවුසාට පමණක් අවබෝධ වී නිවන් මගේ පළමු පියවරට අවතීර්ණ විය. ඒ හැර දෙව් බඹහු බොහෝ දෙනකුට ද අවබෝධ වූහ. එම ඇසළ පුර පෝදින සිට ඉදිරි සිවු දින තුළ කොණ්ඩඤ්ඤ තවුසා හැර සෙසු සිව් දෙනාට දහම් දෙසා එක් දිනෙක එක තවුසා බැගින් සෝතාපත්ති ඵලයට පමුණුවා සවන දිනයෙහි තවුසන් සියලු දෙනාම එක්කොට මෙම අනත්තලක්ඛණ හෙවත් පඤ්චවග්ගිය සූත්‍ර ධර්මය දේශනා කොට පස්නමම අර්හත්වයට පත් කළසේක.
අනත්ත ලක්ඛණ ධර්ම දේශනාව අසනවිට පස්වග තවුසෝ “ඒහිභික්ඛු භාවයෙන්” පැවිද්ද ලබා සිටියහ. එහෙයිනි, බුදුන් වහන්සේ උන්වහන්සේ භික්ඛවෙ කියා ඇමතුවේ එසේ අමතා උන්වහන්සේ දේශනා කළා මහණෙනි, රූපය අනාත්මයි. මහණෙනි, මේ රූපය ආත්ම නම් (ද්‍රව්‍යයක් නොවන නොදිරන ජරා, මරණ නැති සදාකාලික ජීව නම් මෙය ජරා, ව්‍යාධි, මරණ, දුක්, දොම්නස් ආදියට භාජන වන්නෙක් නොවේ. ඒ ආත්මය කිසිම විපතට, හිරිහැරයකට විපරිතාවයකට භාජන වන්නේ නැහැ. ආත්මයක් නම් සදාකාලිකව ම එකම ස්වරූපයෙන් පවතින්න ඕන. මහණෙනි, යම් හෙයකින් රූපය කියල යමක් තියෙනව නම් එම රූපය (මගේ නම්) එය මේ විදියට දිරන්න, කැඩෙන්න, ලෙඩ වෙන්න, අවලස්සන වෙන්න මා ඉඩ තියෙන්නෙ නැහැ. මාගේ මේ රූපය නොකැඩී නොදිරා මට ඕන හැටියට හැමදාම මා කැමැති වයසක මා කැමැති පරිදි සුරූපීව, සෝක පරිදේව, දුක්ඛ,දොීමනස්ස ආදියෙන් තොරව හැමදාම තියෙන්න ඕන කියල හිතුවට, එසේ තියා ගන්න උත්සාහ කළාට, කවරදාක වත් එසේ වන්නේ නැහැ. එසේ නම් මහණෙනි, මේ (ඔබේ හෝ මගේ හෝ) රූපය ඔබ, මම, කැමැති පරිදි නොතිබී වෙනස් වන්නේ කැඩෙන්නේ, බිඳෙන්නේ දිරන්නේ මැරෙන්නෙ නානාබාධවලට භාජන වන්නෙ මෙය ආත්ම සහගත නොවන නිසයි. මෙය සදාකාලික වෙනස් නොවන ආත්මයක් නොවන නිසයි. ඒ නිසාම මාගේ මේ රූපය මේ මේ විදියට ආබාධවලට භාජනය නොවී හැමදාම සුරූපීමත්ව දුටුවන් මන වඩන පරිදි ජරා ව්‍යාධි, මරණාදීන් තොරව හැමදා පවතීවා කියල සිතුවට එය කවරදාක සිදුනොවන්නකි. මහණෙනි, මෙන්න මේ තත්ත්වයට අප කියනව රූපය අනිත්‍ය කියල. එම නිසා තමයි රූපය අනිත්‍ය වන්නෙ. දුක්ඛ වන්නෙ. අනාත්ම වන්නෙ.

අනතුරුව බුදුන් වදාරනව මහණෙනි, රූපය මෙන්ම වේදනාවත් අනාත්මයි. සංඥාවත් අනාත්මයි. සංස්කාරයත් අනාත්මයි. විඥානයත් අනාත්මයි. රූපස්ඛන්ධය මෙන් විඥානය ආදී සෙසු උපාදාස්කන්ද හතරමත් ආත්ම (සදාකාලික ජීව) වී නම් මේ එකක්වත් ආබාධිත වන්නේ නැහැ. මාගේ මේ විඥානාදී සිත පසම මට අවශ්‍ය පරිදි මේ මේ විදියට පවතීවා මේ මේ විදියට නොපවතීවා කියා සිතුවට එසේ වන්නේ නැහැ. මහණෙනි, මේ විඥානාදිය අනාත්ම නිසයි ඒවා ආබාධයට පැමිණෙන්නෙ. මාගේ රූපය, විඥාණයකද? පස තම තමන් සිතන විදියට නොපවතින්නේ ඒවා ආත්ම නොවන නිසයි.
මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ යළිත් භික්ෂූන්ගෙන් අහනව, මහණෙනි, රූපය නිත්‍ය ද අනිත්‍ය ද? කියලා. ලෝකයෙහි සජීවී අජීවී යන සියලුම වස්තු රූපී බවක් දක්වන්නෙ මහාභූත හෙවත් ස්වභාව ලක්ෂණ හතරකිනුයි. එනම් පඨවි (තද ස්වභාවය), ආපො (වැගිරෙන ස්වභාවය) තෙජො (උණුසුම් ස්වභාවය හා වායො ( සැලෙන පිම්බෙන ස්වභාවය) කියන ද්‍රව්‍ය නොවන එකෙත් මේ මූලධර්ම හතරේ එකතුවෙන් ද්‍රව්‍යයන් නිර්මාණය වන ශක්තිවල එක්වීමෙනි. මේ හතරින් යම් දෙයක එක ගතියක් අඩු හෝ වැඩි වීම නිසා ඒ ගතිය ඒ ඒ වස්තුවල අඩු වැඩි වශයෙන් පවතිනව. උදාහරණයක් වශයෙන් අප මහපොළොව ගත්තොත් එය සෙසු ගති තුනටම වඩා තද ගතියෙන් යුක්තයි. එහෙත් නිර්මාණය වී ඇත්තේ සුදු තද ගතියෙන්ම නොවේ. එහි ආපො ආදී සෙසු ගති තුනම සංකලනය වී තිබේ. ජලය ගත්තොත් එහි දියාරු ගතිය වැඩියි. එහෙත් එයත් සැදී තිබෙන්නේ සෙසු ගති තුනේම සංකලනයෙනි. අනෙක් ද්‍රව්‍යවල තත්ත්වයද එසේ යි. මේ හතර එකට සංකලනය වූ තැන වර්ණය ගන්ධය රසය ඕජාව යන ගති හතර ද හටගනී. ඒ නිසා මේ ගති එකතු වුණාම හැම ද්‍රව්‍යයක්ම ශුද්ධාෂ්ටක රූප කාලය හෙවත් රූප මිටි බවට පත් වෙනවා එසේ නම්ය. ශරීර ගස්, වැල්, ජලය ආදී සියලු දැයම සියලු රූපම සැදී තිබෙන්නේ මෙසේය. මේ සියල්ල අනිත්‍යයි. කැඩෙන බිඳෙන විනාශ වන සුළුයි.
එහෙයින් මේ ශරීරය මම නොවෙමි. මේ ශරීරය මගේ නොවේ. මේ ශරීරය තුළ මාගේයයි කියහැකි ආත්මයක් නැත. එසේම චක්ෂුරාද ී ෂඩ්න්ද්‍රියයන්ට රූපාදී අඩලාම්බන අරමුණු වීම නිසා සුඛ, දුක්ඛ, උපෙක්ඛා යන වේදනා (මානසික වින්දන) උපදිනව. එම වේදනාද, එමෙන්ම එම රූපාදියේ ස්වභාව හඳුනා ගැනීම නමැති සංඥාව ද, එසේම (ස්ඛන්ධ පහෙන් රූප, වේදනා සංඥා යන තුන හැරුන විට ඉතිරි ස්ඛන්ධය හෙවත් චෛතසික සංඛාරස්ඛධන්ය නමැති චෛතසික ද හටගනී. මේ සංඛාරකර්මයි. එසේම විඤ්ඤාණය එනම් සිත (සිතිවිලි සිතන ශක්තිය ඇත්තේ සිතටයි. සිතෙහි සිතිවිලි උපදින්නේ) එයිනි සත්ත්වයා සසර සැරිසර වන්නේ ලෝකය හෙවත් සත්ත්වයා සසර ගමන් කරවන්නේ සිත මුල්වයි. යන සිද්ධාන්තය බුදු දහමේ උගවන්නේ සියල්ලටම සිත ප්‍රධාන නිසයි. අත්ත හෙවත් ආත්මය යනුවෙන් දක්වන්නේ ද සිත මිස බාහිර වූ සර්වබලධාරී සදාකාලික සත්ත්වයකු හෝ බලයක් පිළිබඳව නොවේ. මේ අනුව මෙම සූත්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේ අවධාරණයෙන් වදාරනව මහණෙනි, මේ පඤ්චුපදානක්ඛන්ධත්වයම අනාත්මයි. මේවා ආත්ම වූයේ නම්, ඒවා ආබාධවලට භාජන වන්නේ නැහැ. මේවා කැමැති පරිදි වෙනස් නොවී සදාකල්හි මා කැමැති පරිදි පවතින්න ඕන. මහණෙනි, කවරදාකවත් එසේ පවතින්නෙ නැහැ. ඒ නිසා මහණෙනි, මේ පඤ්චස්කන්ධයම අනාත්ම (නිත්‍ය ආත්මයක් නොවන) නිසයි. ඒවා ආබාධිත වන්නේ ඒවා එකක් එකක් තමා කැමැති පරිදි එකසේ නොතිබෙන්නේ, එසේම තමා ගේ පඤ්චස්කන්ධයට මෙහෙම නොවේවායි සිතුවත් මෙහෙම වන්නේ ඒවා අනාත්ම කියා යයි වදාළහ.
ඉක්බිති බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගෙන් ප්‍රශ්න කරනව මහණෙනි, රූපය නිත්‍යද? අනිත්‍යද? කියල. ස්වාමිනී, රූපය අනිත්‍යයි, කියල උන්වහන්සේ පිළිතුරු දුන්හ. යළිත් ප්‍රශ්න කරනව යමක් අනිත්‍ය නම්, එය දුක්ඛ සහගතද? නැතහොත් සුඛ සහගතද?

භික්ෂුහු - ස්වාමීනි, දුක්ඛ සහගතයි. අනිත්‍ය සියල්ල දුකින් යුක්තයි. නිත්‍ය නම් සුඛ සහගතය විය යුතුයි?

බුදුහු - මහණෙනි, යමක් අනිත්‍ය නම් එය දුක්ඛ සහගත නම් වෙනස්වන සුළු නම්, එය මාගේය. එය මම වෙමි. ඒ මාගේ ආත්මයයි දැකීම හෙවත් පිළිගැනීම හරිද?

භික්ෂුහු- ස්වාමිනි, සුදුසු නැහැ. (එහෙම වෙන්නට බැහැ)

බුදුහු - යළිත් ප්‍රශ්න කරනව මහණෙනි, වේදනාව, සංඥාව, සංස්ඛාර, විඥාන යන මේවා නිත්‍යද? අනිත්‍යද?

භික්ෂුහු - ස්වාමීනි, අනිත්‍යයි, බුදුහු - මහණෙනි, යමක් අනිත්‍ය නම් හෝ දුක් හෝ සුඛ නම්? ස්වාමීනි, ඒත් දුකයි. බුදුහු - මහණෙනි, යමක් අනිත්‍යද? දුක්ඛ ද වෙනස්වන සුළු, එයමාගේය, එය මමය, ඒ මාගේ ආත්මය යනුවෙන් පිළිගැනීමට සුදුසුද? භික්ෂුහු - ස්වාමිනි, එසේ පිළිගැනීම කැළම සිදුවිය යුත්තක් නොවේ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ වදාරනව, මහණෙනි, ඒ නිසා අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලයට අයත් වන තමා පිළිබඳ වූ හෝ අනුන් පිළිබඳව හෝ ඔලාරික (විශාල) වූ හෝ සියුම් වූ හෝ හීන (පහත්) වූ හෝ උසස් වූ හෝ යම්කිසි රූපස්ඛන්ධයක් වේ නම්, එමෙන්ම ඒවා භවාග්‍රයේ සිට අවීචිය තෙක් ලොව එ බන්දක් ඉතා දුර හෝ ළඟ හෝ කොතැනක හෝ තිබේ නම් ඒ සියලු රූපාදිය පස පිළිබඳවම මේ ආකාරයෙන් දකින්න. කෙසේද? (නෙතං මම) මේ රූපාදි පඤ්චස්ඛන්ධය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවෙයි. යනුවෙන් සම්‍යප්‍රඥාවෙන් (නිවැරදි යථා තත්ත්වය දකිණ නුවණින්) දකින්න.
මහණෙනි, තම තමාගේ මෙන්ම බාහිර වූත් අතීත අනාගත, පච්චුප්පන්න වූත් සියලුම උපාදානයස්ඛන්ධ පිළිබඳව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා (විශේෂයෙන් දක්නාසුළු) ප්‍රඥාවෙන් දකින ආර්යශ්‍රාවකයා දෙතිස් කුණපයන්ගෙන් පිරිණු නවදොරකින් අසූචි වෑහෙන රූපයෙහි නිසරු බව වටහා ගෙන කලකිරෙයි. පිළිකුල් කරයි. බැහැර කරයි. එසේම වේදනාව, සංඥාව සංස්කාර විඥාන යන සෙසු ස්කන්ධ පිළිබඳව ද එමෙන්ම සලකා ඒමයි කලකිරෙයි. එසේ ඒවා පිළිබඳ ප්‍රඥාවෙන් දැක කලකිරුණ ආර්යශ්‍රාවකයා රූපාදියෙහි ඇලීම දුරලයි. ඇලීම නිසා ඇතිවන රාගාදී කෙලෙසුන් ගෙන් මිදෙයි. තමා සසර අනාදිමත් කාලයක් බැඳ තබාගෙන අපමණ දුක් දුන් කෙලෙසුන්ගෙන් මිදුන පසු එයින් මිදුණෙමි යි යන විදර්ශනා ප්‍රඥාව පහළවෙයි. අර්හත් ඵලයට පත් වූ මුන්වහන්සේ දැන් නුවණින් දකිනව මාගේ සංසාරික උපත නැතිවුණා. නිර්වාණ ගාමිණී ප්‍රතිපදාව පුරල අවසානයි. සසර දුක් දුරලීම සඳහා කළයුතු සියලු පිළිවෙත් පුරා අවසානයි. අර්හත්වය සඳහා මතු මතු තවත් කළයුතු කිසිවක් නැත. යන්න අවබෝධ කරගනියි. මේ ආකාරයෙන් ඇසළ පුරපෝදා සිට දින හයක් ගතවුණු දා බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වහන්සේ එක්කොට දෙසූ මේ අනමතග්ග හෙවත් පඤ්චවග්ගිය සූත්‍ර දේශනාව ඇසූ පස්වග භික්ෂූහු අර්හත්වයට පත්ව බුදුන්වහන්සේගේ ධර්ම දේශනාව සතුටින් පිළිගත්හ. මේ ධර්ම විවරණය බුදුන් විසින් වදාරත්ම පස්වග මහණුන්ගේ සිත් තවත් නූපදින සේ කෙලෙසුන්ගෙන් මිදුණේ ය.

 රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති, ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාමාධිපති
අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර සුමනජෝති නා හිමි






 ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජනවාරි 04 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි


Monday, June 1, 2015

ගිහියකු ලබා ගත යුතු දුෂ්කර කරුණු






ගෘහපතිය, මේ ඉෂ්ට, කාන්ත, මනාප, ලෝකයෙහි ලැබීමට අමාරු මේ කරුණු හතර ලැබීමටනම් අනුගමනය කළ යුතු ධර්ම කරුණු හතරක් තියෙනව. ඒ හතර නම් ශ්‍රද්ධා සම්පත්තිය,ශීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය හා ප්‍රඥා සම්පත්තිය’ යි යන කරුණු හතරයි


‘චත්තාරො මෙ ගහපති, ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං. කත මෙ චත්තා රො භොගා මෙ උප්පජ්ජන්තු, භොගෙ ලද්ධා සහධම්මෙන යසො මං අබ්ගුග්ගච්ඡතු, සහ ඤාතිහි, සහ උපප්ක්‍ඛායෙහි, භොගේ ලද්ධා සහධම්මෙන යසං ලද්ධා සහ ඤාතීහි සහ උපප්ඣයෙහි චිරං ජිවාම් දීඝම ද්ධානුං පාලෙමි, භොගෙ ලද්ධා, සහධම්මෙන යසං ලද්ධා, සහඤාතිහි, සහ උපප්ක්‍ඛයෙහි චීරං ජීවිත්වා දීඝද්ධායුං පාලෙත්වා කායස්සභෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජාමි.’
බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩසිටි දිනක උන්වහන්සේ දකින්න ගිය අනේපිඬු සිටුතුමාට මේ සූත්‍රය දේශනා කළේ, උන්වහන්සේ සිටුතුමාට වදාරනව, මේ ලෝකයෙහි සිතට පි‍්‍රය උපදවන, කැමැති වන සිත් අලවන, ලැබීමට දුෂ්කර කරුණු හතරක් තියෙනවා. ඒවා නම්, මට භෝග සම්පත් ධාර්මිකව උපදීවා, ධාර්මිකව හරි හම්බ කරගත් භෝග සම්පත් ද මාගේ නෑයන් සහ මා හඳුනන මා ආශ්‍රය කරන අය ඇතුළුව පිරිවර සම්පත්ද වැඩිවේවා. ඒ දැහැමින් ලැබූ භෝග සම්පත් සහ ඤාති මිත්‍රයන් සහිත පිරිවර සමඟ චිරාත් කාලයක් ජීවත් වෙමින් එසේම දැහැමින් ලැබූ භෝග සම්පත් ද ඇතිව, ඤාති මිත්‍රාදී පිරිවර සහිතව, දීර්ඝායුෂ ද ලබා බොහෝ කල් ජීවත් වී මරණින් පසු සුගති සංඛ්‍යාත ස්වර්ගයෙහි උපදිම්වා යන පැතුම් හතර ඉටුකර ගැනීම ඉතාම දුර්ලභ කරුණුයි. එහෙත් ධාර්මික ගෘහපතියකු මේ ධර්ම හතර ලැබීමට බලාපොරොත්තුවන බව වදාළ බුදුරජාණන් වහන්සේ එය ඉතාම දුෂ්කර බව පෙන්නා දෙමින් මෙසේ ද වදාළ. ගෘහපතිය, මේ ඉෂ්ට, කාන්ත, මනාප, ලෝකයෙහි ලැබීමට අමාරු මේ කරුණු හතර ලැබීමටනම් අනුගමනය කළ යුතු ධර්ම කරුණු හතරක් තියෙනව. ඒ හතර නම් ශ්‍රද්ධා සම්පත්තිය, ශීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය හා ප්‍රඥා සම්පත්තියයි යන කරුණු හතරයි

අනතුරුව කතමා ච ගහපති සද්ධා සම්පදා යනුවෙන් විචාළ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධා සම්පත්තිය විස්තර කරමින් මෙසේ වදාළහ. ගෘහපතිය, සැදැහැවත් ආර්ය ශ්‍රාවකයා මෙසේ සිතයි. තථාගතයන් වහන්සේ කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද, සිවුපස ලැබීමට සුදුසු හෙයින් ද, රහසින්වත් පව් නොකළ හෙයින්ද නික්ලේශී හෙයින්ද අර්හත්වන සේක. උන්වහන්සේ අභිඤ්ඤෙය්‍යවූ හෙවත් දතයුතු චතුරාර්ය සත්‍ය ධර්මයන් තමාවිසින්ම අවබෝධ කළසේක. පරිඤ්ඤෙය වූ දුක්ඛ සත්‍යය හාත්පසින්ම අවබෝධ කළ සේක. තෘෂ්ණාව නමැති සමුදය (සත්‍යය) ප්‍රහාණ කළසේක. නිරෝධ සත්‍යය හෙවත් නිර්වාණ සත්‍යය අවබෝධ කළසේක. භාවිත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩූසේක. එහෙයින් උන්වහන්සේ සම්මා සම්බුද්ධවන සේක. උන්වහන්සේ පුබ්බේ නිවාසානුස්සති, දිව්‍යචක්‍ෂු, ආශ්‍රවක්‍ෂ, විදර්ශනා, මනෝමය, සෘද්ධි, ඉද්ධවිධ, දිබ්බසෝත, චුතපපාත යන අෂ්ට විද්‍යාඥාන හා සීල, ඉන්ද්‍රිය, භොජනමාත්‍රඥතා, ජාගරියානුයොග, ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, බාහුසච්ච, වීරිය, සති, ප්‍රඥා රූපාවචර ධ්‍යාන 4, යන චරණ ධර්ම වලින් යුක්ත වන සේක. උන්වහන්සේ නිවන් මඟට ගිය බැවින්ද නිර්වාණය නමැති සුන්දර ස්ථානයට ගිය බැවින්ද ඒ ඒ මාර්ගයෙන් ප්‍රහීණ කළ ක්ලේශයන් නැවත නූපදින බැවින් ද ශාස්වත උච්ඡේද වශයෙන් හා කාමසුඛල්ලික, අත්තකිලමථානු යන අන්තයන්ට නොගිය හෙයින් ද අර්ථවත් සත්‍ය වූ පි‍්‍රය මනාප වචන කතාකරන බැවින්ද අසත්‍ය අපි‍්‍රය අමනාප හිස් වචන කතා නොකරන බැවින් ද තථාගත (යහපත් ගමන් ගිය හා යහපත් වචන කතාකරන බැවින්ද) වන සේක. උන්වහන්සේ පඤ්චස්කන්ධය නමැති ලෝකය මනාව අවබෝධ කරගත්සේක. එනම් බඹයක් පමණ මේ (සිත සහිත) පඤ්චස්කන්ධය පිළිබඳවත් එහි හටගැනීමත් එහි නිරුද්ධිය පිළිබඳවත් එය නිරුද්ධ කිරීමට අනුගමනය කළයුතු ප්‍රතිපදාව පිළිබඳවත් උන්වහන්සේ අවබෝධ කරන ලද හෙයින් ලෝකවිදූ වූ සේක. උන්වහන්සේ දිව්‍ය බ්‍රහ්ම, නාග, හත්ථි, යක්‍ෂ, මනුෂ්‍ය ආදී සත්වයන් ශීලයෙහි පිහිටුවා දමනය කළ හෙයින් ද ධ්‍යාන, මාර්ගලාභීන් ඉහළ ඉහළ ධ්‍යාන මාර්ග ඵලාදියෙහි ද පිහිටුවමින් දමනය කළ බැවින් ද නොදැමුණු අය දමනය කරන්නන් අතර ශ්‍රේෂ්ඨ දමිතයාණන් වූ බැවින් පුරිස දම්ම සාරථී වූ සේක. උන්වහන්සේ පුද්ගලයාට මෙලොවින් වන අර්ථය, පරලොවින් අර්ථය හා නිවන් දැකීමෙන් වන අර්ථය යන ත්‍රිවිධ අර්ථය සඳහා දෙව් මිනිසුන්ට අනුශාසනා කරන හෙයින් ශාස්තෘ වනසේක. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය තමන් විසින්ම අවබෝධ කළ බැවින් (බෝධිමූලයේදීම සර්වඥතාඥානය ලැබීමත් සමඟ ලැබුණ නිසා) බුද්ධ නම් වූ සේක. උන්වහන්සේ රාග ද්වේශ මොහාදී ක්ලේශයන් බිඳ දැමූ හෙයින්ද සියලු ආශ්‍රවයන් නැති කළ හෙයින් ද, ගරු කළයුතු ශ්‍රේෂ්ඨ, උත්තම පුද්ගලයෙක් වීම නිසා ද භාග්‍යවත් වූ හෙයින් ද භගවා නම් වනසේක.මෙසේ බුදුරදුන්ගේ නව අරහාදී ගුණ දැනගෙන උන්වහන්සේ තුළ මේ ගුණ තිබෙන නිසාම උන්වහන්සේ අන්වර්ථ වශයෙන් ම මේ ගුණවලින් සමන්විතයයි නිසැකව පිළිගැනීමෙන් උන්වහන්සේ පිළිබඳව ඇති වූ විශ්වාසය ශ්‍රද්ධා සම්පත්තියයි. ගෘහපතිය, මේ ගෘහපතියකු තුළ පිහිටිය යුතු පළමු වන ප්‍රතිලාභය වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නා දුන් සේක.
“කතමා ච ගහපති සීල සම්පදා?” යනුවෙන් ගෘහපතිය සීලසම්පත්තිය යනු කුමක්ද? කියා ප්‍රශ්න කොට බුදුරජාණන් වහන්සේ ම වදාරනවා ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්යශ්‍රාවක වූ (උතුම් ගුණ ඇත්තා හෙවත් බෞද්ධයා යන අදහසයි මෙහි ගතයුත්තේ. නියම ආර්යයෝ නම් බුදු පසේ බුදු මහරහත් හා සෝවාන් ආදී මාර්ගඵලස්ථ උතුමෝයි.) බෞද්ධයා හෙවත් ආර්යශ්‍රාවකයා පරපණ නැසීම, නුදුන් දෑ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, මුසාවා ද නොබිණීම, කේලාම් නොකීම, පරුෂ බස් නොබිණීම, හිස් බස් නො බිණීම සහ සුරා මේරයා දී මද්‍ය පානය හා පවට හේතුවන දුසිරිත්වලින් වැළකීම ශීල සම්පත්තියයි. එම කායික වාචසික අකුශල් වලින් බෞද්ධයා වැළකුනේ නම් හේ ශීල ගුණයෙන් යුක්ත වූවෙක් වේ.
“කතමා ච ගහපති චාග සම්පදා?” ගෘහපතිය, ත්‍යාග සම්පත්තිය හෙවත් පරිත්‍යාග ගුණය නම් කිමෙක්ද?. ගෘහපතිය, මේ ලෝකයේ ආර්ය ශ්‍රාවකයා මසුරුකම සිතේ යටපත් කරගෙන වස්තුව පිළිබඳ ආශාවක් නැතිව, දීම සඳහාම සෝදාගත් දෑත් ඇතිව, අත්හැරීමෙහි ඇලුම් ඇතිව, යමක් ඉල්ලීමට සුදුසුව, ඉල්ලනදැයම දීමට නිසිව සිටියේ වේද එය ත්‍යාග සම්පදාවයි.
‘කතමා ච ගහපති පඤ්ඤා සම්පදා?’ ගෘහපතිය, ප්‍රඥා සම්ප දාව නම් කුමක්ද? ගෘහපතිය, අභිධ්‍යාව නමැති (අනුන්ගේ වස්තුව තමාට අත්කර ගැනීමට සිතීම) විෂම ලෝභයෙන් මැඩුණු සිත් ඇති පුද්ගලයා නොකළයුතු දෑ කරයි. කළයුතු දෑ නොකරයි. නොකළයුතු දෑ කරන කළයුතු දෑ නොකරන හේ යසසින් (පිරිවර සම්පත්තියෙන්) හා සැපයෙන් පිරිහෙයි. ගෘහපතිය ව්‍යාපාදයෙන් මැඩුණු සිත් ඇත්තා නොකටයුතු දෑ කරයි. කළයුතු දෑ නොකරයි. කටයුතු දෑ කරන කළයුතු දෑ නොකරන හේ යසසිනුත් සැපයෙනුත් පිරිහෙයි. ගෘහපතිය, ථීන මිද්ධ දෙකින් මැඩුණු පුද්ගලයා (චිත්ත චෛතසික බල අකර්මණ්‍ය බව) ද උද්ධච්ච කුක්කුච්චයෙන් (සිතේ නොසන්සුන් කමින් හා පසුතැවිල්ලෙන්) යුක්ත පුද්ගලයා ද, විචිකිච්ඡාවෙන් (බුද්ධාදි අට තැන සැකකරන) යුක්ත පුද්ගලයා ද යන මොවුහු නොකළයුතු දෑ කරයි. කළයුතු දෑ නොකරයි. එසේ නොකළ යුතු දෑ කරන කළයුතු දෑ නොකරන හේ යසසිනුත් සැපයෙනුත් පිරිහෙයි.
ගෘහපතිය, ඒ ආර්යශ්‍රාවකයා අභිධ්‍යාව නමැති විෂම ලෝභය සිතකිළිටිකරන්නක් බව ද ව්‍යාපාදය නමැති ක්‍රෝධය සිත කිළිටිකරන්නක් බවද, ථීන මිද්ධය නමැති සිතෙත් චෛතසිකව ලත් ගිලන් බව සිත කිළිටි කරන්නක් බව ද උද්ධච්ච කුක්කුච්චය හෙවත් සිතේ නොසන්සුන්කම හා කුකුස සිත කිළිටි කරන්නක් බවද විචිකිච්ඡාව නමැති සැකය සිත කිළිටි කරන්නක් බව ද දැන ඒවා ප්‍රහීණ කරයි. ගෘහපතිය, මෙසේ මේ පඤ්ච නීවරණ ප්‍රහීණ කළ ආර්යශ්‍රාවකයා මහාප්‍රඥාවෙයි. පෘථුල ප්‍රඥාවෙයි. එකිනෙකෙහි අර්ථය දනියි. එහි තිබෙන ඉතා සියුම් අර්ථය පවා දකියි. ප්‍රඥා සම්පන්න වෙයි. ගෘහපතිය, මේ ප්‍රඥා සම්පදාවයි. ගෘහපතිය, ආර්ය ශ්‍රාවක ගෘහපතියා ඉෂ්ට, කාන්ත, මනාප, දුර්ලභ කරුණු හතර ලබා ගැනීමට බලාපොරොත්තුවේද ඒවා ලබාගැනීමට තවද දහම් කරුණු හතරක් පිළිපැදිය යුතු යයි වදාළ බුදුරජාණන් වහන්සේ ඒවා මෙසේ වදාළහ. ගෘහපතිය, ආර්යශ්‍රාවකයා උට්ඨාන වීර්යයෙන් යුතුව දෑතේ මහන්සියෙන් දහදිය වගුරුවා දශකුශල ධර්ම මාර්ගයට පටහැනි නොවී රැස් කරන ලද භෝග කරුණු හතරක් සඳහා පරිභෝග කළයුතුයි. ඒ හතර කවරේද?
ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්යශ්‍රාවකයා උට්ඨාන වීර්යයෙන්, දෑතේ ශක්තියෙන්, දහදිය වගුරුවමින් අධර්මයෙන් තොරව ධාර්මිකව උපයන භෝගවලින් තමා සැප විඳියි. ශක්තිමත් වෙයි. මනාව සැප විඳියි. මා පියන්, අඹු දරුවන් දාස කම්කරුවන් මිතුරන්, යහළුවන්, සැපවත් කෙරෙයි. බලවත් කෙරෙයි. මනාව සැපවත් කරයි. මෙය ඔහු ලත් භෝගවලින් ගත යුතු එක් ප්‍රයෝජනයකි. (දියයුතු තැනට) ගියේ වෙයි. එම භෝග යායුතු තැනට තම භෝග හේතු සහිතව පරිභෝග කළේ වෙයි.

 අප්‍රේල් 22 වන දා පත්‍රය

 මෙම පත්ත කම්ම සූත්‍රය දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම දායකතුමා වන අනාථපිණ්ඩික සිටුතුමාටයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය වූ (තෙරුවන් සරණගිය) ගිහියකුට මෙලොව දී සතුටු වියහැකි කරුණු හතරක් තියෙනව. ඒ හතර තමයි, මට ධාර්මිකව හරිහම්බ කර ගත් භවබෝග සම්පත් ඇතිවේවා. එම සම්පත් නෑයන්, මිත්‍රයන්, දාසි දාස කම්කරුවන් ආදි පරිවාර සම්පත් සමඟ තව තවත් වැඩිවේවා. භෝග සම්පතුත්, ඥාතීහුත් දන්නා හඳුනන පිරිවර සම්පතුත් සමඟ දිගු කලක් සැපසේ ජීවත්වෙම්වා, එසේ දිගු කලක් ජීවත් වූ විට මරණින් පසු සුගතියෙහි ඉපද සැපවිඳිම්වා යන කරුණු හතර ධාර්මික (සැබෑ බෞද්ධයකු) පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ මෙලොව සැපවත් ජීවිතයක් ගතකිරීමට බලාපොරොත්තු වෙනව නම් අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි

එසේම ගෘහපතියා,ආර්යශ්‍රාවකයා විසින් උට්ඨාන වීර්යයෙන්, බාහු ශක්තියෙන්, දහදිය හෙළමින් ධාර්මිකව ධර්මානුකූලව ලබන ලද භෝග ගින්නෙන් හෝ දියෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ තමා නොකැමැතියන්ට දීමෙන් හෝ උපයන ලද භෝගයන්ට කිසියම් විපතක් වේද එබඳු විපතකදී එම ධනය උපයෝග කරගෙන හෙවත් වැය කොට එම විපතෙන් මිදිය හැකිය. ආත්මය (ජීවිතය) ආරක්‍ෂා කෙරෙයි. ඔහුගේ ධනය යායුතු දෙවන තැනට ගියේ වෙයි. අවශ්‍ය දෙයට වැයවූයේ වෙයි. කරුණු සහිතව පරිභෝග කළේ වෙයි.
එසේම ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා උත්සාහයෙන්, දෑතේ මහන්සියෙන් දහදිය හෙළා අදැහැමින් තොරව ධාර්මිකව උපයා ගත් භෝගවලින් ඤාතිබලි (නෑයන්ට දීම) අතිථි බලි ( ආගන්තුකයන්ටදීම) පුබ්බපේත බලි (මළගිය නෑයන් වෙනුවෙන් දීම) රාජ බලි (රජුන්ට අයබදු වශයෙන් දීම) දේවතා බලි ( දෙවියන් උදෙසා දීම) යන පස් වැදෑරුම් බලි හෙවත් දාන ( තමන් විසින් ඒ ඒ අවශ්‍ය අයට දීම ) වශයෙන් දීම හෙවත් පිදීම ඔහුගේ භෝග යා යුතු තෙවන තැනට ගියේ (දුන්නේ) වේ.
එසේම ගෘහපතිය, ආර්යශ්‍රාවකයා උට්ඨාන වීර්යයෙන් බාහු බලයෙන් දහදිය වගුරා ධර්මානුකූලව ධාර්මික ක්‍රියාවලින් උපයන ලද භෝග මදයෙන් (මත්වීමෙන්) හා ප්‍රමාදයෙන් ( දුසිරිත්වල යෙදීමෙන්) තොරව වාසය කරන හා අධි වාසනා ක්‍ෂාන්තියෙන් හා සුසිල්වත් බවින් යුක්ත එකම ආත්මය තමා විසින්ම ඉන්ද්‍රිය දමනයෙන් දමනය කරන, එකම ආත්මයෙහි කෙලෙස් සමනය කිරීමෙන් සමනය කරන, එකම ආත්මය කෙලෙස් පිරිනිවීමෙන් නිවන, කිසියම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද මරණින් පසු උඩ උඩ ලෝකවල උපදින මහණ බමුණෝ වෙත්ද ස්වර්ගයෙහි ඉපදීමට හීන වූ සුඛ විපාක ඇති, දිව්‍ය වර්ණාදී දශ වැදෑරුම් විශේෂ ගුණයන්ගේ උත්පත්තියට හේතු වන දක්‍ෂිණාව (දානය ) පිහිටුවයි හෙවත් දන්දෙයි. මෙය ඔහුගේ භෝග දියයුතු සතර වන ස්ථානයට දී තම දියයුතු තැනට දීමයි. අවශ්‍ය පරිදිම ධනය වැය වූයේ වෙයි. ගෘහපතිය මෙසේ ඒ ආර්යශ්‍රාවකයා උත්සාහයෙන් දෑතේ ශක්තියෙන් දහදිය හෙළමින් දැහැමි වූ දැහැමින් උපයන ලද භෝගයෙන් ගෘහපතියකු විසින් කළයුතු ක්‍රියා (කර්ම) කළේවේ.
ගෘහපතිය, මේ සිව්වැදෑරුම් කළයුතු යුතුකම්වලින් බැහැරව වෙනත් නොකටයුතු ක්‍රියා වෙනුවෙන් උපයාගත් භෝග විනාශයට පත්වේද ගෘහපතිය, ඔහුගේ මේ භෝග අස්ථාන ගත වූයේ වෙයි. අප්පත්ත ගත වූයේ නොයායුතු තැනට ගියේ වේ. නුසුදුසු තැනට පරිභෝග වශයෙන් ගියේයයි කියති.
ගෘහපතිය, යම් කිසිවකු හෝ මේ භෝග සිවු වැදෑරුම් ප්‍රාප්තකර්මයන් සඳහාම තම භෝග ක්‍ෂය වේද (අඩුවේ ද) එසේ වූයේ නම් ඒ භෝග (ඨානගතා) යා යුතු තැනට ගියේ වේ. (පත්ත ගතා) යා යුතු තැනට ගියේ වේ. (ආයතන සො පරිභුත්තා) ප්‍රයෝජන ගතයුත්තන් ප්‍රයෝජන ගත්ථා යි කියනු ලබති. ඔහු භෝගයෝ වළඳන ලදහ. පෝෂණය කළ යුත්තෝ පෝෂණය කරන ලදහ. විපත් පැමිණි කල මා විසින් භෝගයෝ ප්‍රයෝජන ගන්නා ලදහ. මරණින් මතු පලදෙන මහණ බමුණන්ට දක්‍ෂිණාව දෙනලදහ. තවද පස් බලිද දෙන ලදී.
සංවර වූ බ්‍රහ්මචාරී වූ සිල්වතුන්ට උපස්ථාන කරන ලදී. ගිහිගෙයි වසන පණ්ඩිත තෙමේ යම් අර්ථයක් සඳහා භෝග කැමැති වන්නේ ද මා විසින් ඒ අර්ථය (ඵලය) ලබන ලදී. පසුතැවිලි නොවන කටයුත්තදෑ කරන ලදී.
පඤ්ච ශීල ධර්මයෙහි යෙදී සිටින හෙවත් පන්සිල් රකින ආර්ය (බෞද්ධ) ගෘහපතිය (ගිහිය) ඉහත සඳහන් දහම් සිහි කරමින් තම ජීවිතය නිවැරදිව ගත කරන්නේ නම් ඉහාත්මයෙහි දීම ඔහු අන්‍යයන්ගේ පැසසුමට ලක්වෙයි. මරණින් පසු පරලොවගොස් දෙව් ලොව දෙවියෙකුව ඉපිද දිව්‍ය සැප විඳිමින් සතුටු වෙයි කියා අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
මෙම පත්ත කම්ම සූත්‍රය දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම දායකතුමා වන අනාථපිණ්ඩික සිටුතුමාටයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය වූ (තෙරුවන් සරණගිය) ගිහියකුට මෙලොව දී සතුටු වියහැකි කරුණු හතරක් තියෙනව. ඒ හතර තමයි, මට ධාර්මිකව හරිහම්බ කර ගත් භවබෝග සම්පත් ඇතිවේවා. එම සම්පත් නෑයන්, මිත්‍රයන්, දාසි දාස කම්කරුවන් ආදි පරිවාර සම්පත් සමඟ තව තවත් වැඩිවේවා. භෝග සම්පතුත්, ඥාතීහුත් දන්නා හඳුනන පිරිවර සම්පතුත් සමඟ දිගු කලක් සැපසේ ජීවත්වෙම්වා, එසේ දිගු කලක් ජීවත් වූ විට මරණින් පසු සුගතියෙහි ඉපද සැපවිඳිම්වා යන කරුණු හතර ධාර්මික (සැබෑ බෞද්ධයකු) පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ මෙලොව සැපවත් ජීවිතයක් ගතකිරීමට බලාපොරොත්තු වෙනව නම් අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි. එහෙත් එම කරුණු ලබාගැනීම අතිශය දුෂ්කර යි. එම කරුණු හතරම පුද්ගලයාට ඉෂ්ටයි. සිත් බඳින සුළුයි. සිත පිනවන සුළුයි. ඉතාම දුර්ලභයි. (ලැබීමට ඉතාම අපහසුයි)
පළමුකරුණ වන භෝග සම්පත් ලැබිය යුත්තේ ධාර්මිකවයි. එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන කාය වාග් අකුසල්වලින් දුරුව එසේම නිවැරදි ජීවිකා වෘත්තීන්ගෙනුයි. එවිටයි සපයන දේ ධාර්මික වන්නේ. අන්න එසේ ඉපයූ භව භෝග ඇතිවේවා යන්න පළමු සැපයයි. ඉහත කී පරිදි දැහැමින් භව භෝග (රූපාදී) සම්පත්ත මාගේ දැහැමි ජීවිකා වෘත්තීන්ට අනුව ලබන ඤාතීන්, සන්දිට්ඨ සම්හත්ත (දැකීමෙන් හා ආශ්‍රයෙන්) මිත්‍රයන් ආදී පරිවාර සම්පතුන් සමගම මාගේ දියුණුව සැලසේවා. එසේම එම භෝගත්, පිරිවර සම්පතුත් ලැබ දීර්ඝායුෂ විඳිමින් කලක් ජීවත් වෙම්වා. එසේම දැහැමින් ලද භෝග සම්පතුත් ඤාතීන්, හිතවතුන් ආදී පිරිවර සම්පත් ද දීර්ඝායුෂ ද ලැබ සැපසේ ජීවත් වී මරණින් පසු දෙව් ලොව ඉපිද දෙව් සැප ලබම්වා යන පැතුම් අනුව ඒවා ලබාගෙන ජීවත් වන්න සැබෑ ආර්ය බෞද්ධයා අපේක්‍ෂා කළයුතු යයි බුදුරදුන් වදාළහ.
අනතුරුව බුදුරදුන් වදාරණව ගෘහපතිය, ඉහත සඳහන් සැප ලැබීම පහසු කරුණක් නොවෙයි. ඒවා ලබාගන්නට කැමැති පුද්ගලයා ධර්ම කරුණු හතරක් අනුගමනය කළයුතුයි. ඒවා නම්, ශ්‍රද්ධා සම්පත්තිය, ශීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය යන හතරයි. එම ධර්ම කරුණු හතර මෙසේ නම් වශයෙන් දැක් වූ බුදුරජාණන් වහන්සේ එකින් එක ඒවා විස්තර කරමින් මෙසේ වදාළහ. ශ්‍රද්ධා සම්පත්ති නම් අරහාදි බුදුගුණ නවය අනුව බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ යයි විශ්වාසය ශ්‍රද්ධා සම්පදාවයි. එසේම ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතාදි කායික වාචසික අකුශලයන්ගෙන් හා මදයට ප්‍රමාදයට හේතු වන රහමෙර ( මත්වන දැයින්) පානයෙන් දුරුවීම ශීලසම්පදාවයි. එසේම ආර්යශ්‍රාවකයා මසුරුමළයෙන් තොරවූ සිතින් ගිහි ගෙයි වෙසෙයි. අත්හරින ලද වස්තුව කෙරෙහි ඇල්මකින් තොරව වෙසෙයි. දීමට සෝදාගත් අත් ඇතිව වෙසෙයි. දීමෙහි ඇලුම් ඇතිව වෙසෙයි. ඉල්ලීමට සුදුසුව (කවරෙක්ද තමාගෙන් යමක් ඉල්ලන්නේ කියල දීමට බලාපොරොත්තු වෙන්ම) වෙසෙයි. මෙය ත්‍යාග සම්පත්තියයි. එසේම ප්‍රඥා සම්පත්තිය නම් අභිධ්‍යා, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන චිත්තෝපක්ලේෂයන් දුරු කොට වෙසෙයි. මෙසේ චිත්තෝපලේශ ප්‍රහීණ කළ ආර්යශ්‍රාවකයා මහා ප්‍රාඥයි. පෘථුල ප්‍රාඥයි. සියුම් අර්ථය පවා දක්නේ වෙයි. එවිට මොහු ප්‍රඥා සම්පන්න පුද්ගලයෙක් වේ. මෙය ප්‍රඥා සම සම්පත්තියයි. මේ සිව් වැදෑරුම් සම්පදාවෙන් යුක්ත පුද්ගලයාගේ ගිහි ජීවිතය සාර්ථක වේ.


 රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති
අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමි






 බුද්ධ වර්ෂ 2557 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින හා බක් අව අටවක පොහෝ දිනයන්හි රාජ්‍ය වර්ෂ 2014 ක් වූ අප්‍රේල් 14 හා  අප්‍රේල් 22  දිනයන්හි  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියන් ඇසුරෙන් උපුටා ගැනිමකි