Labels

Showing posts with label අති පූජ්‍ය උඩුහාවර ආනන්ද හිමියන්. Show all posts
Showing posts with label අති පූජ්‍ය උඩුහාවර ආනන්ද හිමියන්. Show all posts

Friday, August 8, 2025

පළමු සංගායනාවේ දී ධර්ම විනය සංග්‍රහ වූ අයුරු

 


බුද්ධ වචනය සංරක්‍ෂණයෙහි ලා දැරූ ප්‍රථම උත්සාහය වන ධර්ම සංගීතිය පිළිබඳ ප්‍රධාන වාර්තාව විනය පිටකයේ චුල්ලවග්ගපාළි පංචසතිකඛන්ධකයේ ඇතුළත් වන අතර, එය තවදුරටත් විස්තර කරමින් ඉදිරිපත් කළ වාර්තාවක් සමන්තපාසාදිකා විනය අටුවාවෙහි ද දක්නට ලැබේ. මෙම වාර්තා දෙක ඇසුරු කර ගනිමින් පළමු සංගායනාවේ දී ධර්මය හා විනය සංග්‍රහ කළ අයුරු සාකච්ඡා කිරීම මෙම ලිපියේ මූලික අරමුණ වේ.

චුල්ලවග්ග වාර්තාවට අනුව තථාගත පරිනිර්වාණයෙන් අනතුරුව භික්‍ෂූන් ඇමතූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අනාගතයේ දී ධර්මය යටපත්වී අධර්මය ඉස්මතුවන බවත්, විනය යටපත් ව ගොස් අවිනය ඉස්මතු වන බවත්, ධර්මවාදීන් දුර්වල වී අධර්මවාදීන් බලවත් වන බවත්, අවිනයවාදීන් බලවත් වී විනයවාදීන් දුර්වල වන බවත් දක්වා ධර්ම විනය සංගායනා කිරීම වැදගත් යැයි සඳහන් කළහ. ඒ අනුව මහාකාශ්‍යප මහරහතන් වහන්සේ විසින් පළමුව හාරසිය අනූනවයක් රහත් භික්‍ෂූන් වහන්සේ සංගායනා කාර්යය සඳහා තෝරා පත් කර ගත් අතර, එම අවස්ථාව වනවිටත් අර්හත්වය සාක්ෂාත් නොකළ ආනන්ද තෙරුන් වහන්සේ රහත් බවට පත්වීමෙන් පසුව සංගායනා කාර්යය සඳහා එකතු වීමෙන් සමස්ත සංඛ්‍යාව පන්සියයක් වූ නිසා මෙම සංගායනාව පංච සතික යනුවෙන් නම් කරන ලදී.

Monday, January 17, 2022

තමන් ළඟම සිටින කලණ මිතුරා හීලෑ කළ සිතයි

 


බුදුදහමට අනුව මිනිසාගේ මනස විශ්මිත එකකි. එබැවින් එය නිසි පරිදි හීලෑ කර ගත හොත් එයින් ලැබිය හැකි ප්‍රයෝජනය අසීමිත ය. ධම්මපදයේ දැක්වෙන පරිදි මව, පියා හෝ වෙනත් ඤාතියකු විසින් කරනු ලබන යහපතටත් වඩා වැඩි යහපතක් මනාව හික්මවන ලද සමාහිත සිතට කළ හැකි ය

. එසේම සොරකු තවත් එබඳු ම සොරකුට කරන හානියටත් වඩා වැඩි හානියක් අසමාහිත අසංවර සිතකට කළ හැකි ය. ඒ අනුව පුද්ගලයා උසස් අයකු හෝ පහත් අයකු බවට පත්කරන බලවේගය එම තැනැත්තාගේ සිත බව පැහැදිලි ය.

ඒ ඒ ඉන්ද්‍රියන්ගෙන් පැමිණෙන අරමුණු මඟින් එයට අදාළ සිතිවිලි නිර්මාණය වන අතර මනින්ද්‍රියේ පැවැත්ම තීරණය වන්නේ එයට ගෝචරවන ධම්මාරම්මණ නිසයි. ඉන්ද්‍රිය සංවරය යනු හුදෙක්ම ඇස, කන, නාසය, දිව, ශරීරය පමණක් නොවේ. මනසට ගෝචරවන ධම්මාරම්මණ සම්බන්ධයෙන් ද සංවරයක් ඇතිකර ගැනීම අවශ්‍ය වේ.

මනස ඉතා බලවත් ඉන්ද්‍රියකි. එයට තමාට අදාළ විෂය සීමාව තුළ පමණක් නොව එයින් පරිබාහිර අනෙකුත් ඉන්ද්‍රියයන් පහ සම්බන්ධ අරමුණු ද ගෝචර කර ගත හැකි ය. ඇසින් දුටු රූපයක් නැවත නැවත සිහියට නඟා ගෙන එයට අදාළ විතර්ක නිර්මාණය කිරීමේ හැකියාව මනස සතු වේ.

අනෙකුත් ඉන්ද්‍රියයන්ට එවැනි හැකියාවක් නැත. මේ ඉන්ද්‍රියයන් හා සම්බන්ධ අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව නිසා මනසේ ගෝචර සීමාව අතිශය පුළුල් වේ. මනින්ද්‍රිය හැර අනෙකුත් ඉන්ද්‍රියයන්ට එයට අදාළ අරමුණ හැර වෙනත් අරමුණක් හා සම්බන්ධ විය නොහැකි ය.

Sunday, April 29, 2018

වාසය කිරීමට සුදුසු ප්‍රදේශයක් නොවූ තැන .


සදාචාරාත්මක වශයෙන් නිසි මඟපෙන්වීමක් හා අනුශාසනයක් නොවූ නිසා තමා පාපයට යොමුවුණු බව ඇය සඳහන් කරයි. ඇය වාසය කළ ගම පතිරූපදේශයක් නොවේ. මිථ්‍යා දෘෂ්ටික මිනිසුන් බහුල ප්‍රදේශයකි. පතිරූපදේශ වාසය මංගල සම්මත ය. එය දෙලොව දියුණුවට හේතු වේ. එසේ ම වරදින් නිදහස් වීම ට සදාචාරාත්මක මඟපෙන්වීමක් හෝ අනුශාසනයක් අවශ්‍ය වේ. එය ලොකු කුඩා සියලු දෙනාට ම වලංගු වේ."

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි මගධයේ “ඉට්ඨකාවතී” නම් ග්‍රාමයෙහි විසූ එක්තරා ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

මගධ රටෙහි “ඉට්ඨාවතී” හා “දීඝරාජී” යනුවෙන් ගම් දෙකක් විය. එහි වාසය කළ බොහෝ දෙනෙක් පවට නැඹුරු වූ අදහැමි පුද්ගලයෝ වූහ. ඉට්ඨකාවතී නඟරයෙහි වාසය කළ එක්තරා කාන්තාවක් නිතර පණුවන් හා පළඟැටියන් මරමින් බොහෝ පව් සිදු කළ අතර එම පාප කර්මයේ විපාක වශයෙන් ඇය මරණින් පසුව ප්‍රේත ලෝකයෙහි උපන්නා ය.
ප්‍රාණ ඝාතය හේතුවෙන් ප්‍රේත ලෝකයෙහි උපන් ඇය වසර පන්සියයක් මුළුල්ලේ බඩසයින් පෙළෙමින් අපමණ දුක් වින්දා ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉට්ඨකාවතී ග්‍රාමයේ එක්තරා කුලයක දැරියක් ව ඉපිද සත් හැවිරිදි වියට පත්ව ගම්වාසී සෙසු දැරියන් සමඟ පාරතොටේ සෙල්ලම් කරමින් කාලය ගත කළා ය. මේ අවදියේ සැරියුත් මහ රහතන් වහන්සේ එම ග්‍රාමය ගොදුරු කොට පිහිටි අරුණවතී විහාරයේ වැඩ වාසය කළහ.

Wednesday, February 14, 2018

දිගු සසර ගමනට නෑකමක් පවතීද?


දහමට අනුව ප්‍රේත ලෝකය අතිශය දුක්ඛ දායක ය. එයින් නිදහස් වීම ඉතාමත් අසීරු ය. ප්‍රේත ලෝකයක ඉපදුන කෙනෙකුට එයින් ගැලවිය හැක්කේ තම ඤාතීන් විසින් සිදුකරනු ලබන යහපත් ක්‍රියා අනුමෝදන් වීමෙන් පමණි."
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වෙසෙන සමයෙහි පඤ්චපුත්ත ඛාදක ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

සැවැත්නුවර ආසන්න ගමක එක්තරා කෙළෙඹියෙක් වාසය කළේ ය. ඔහුගේ බිරිඳ දරුවන් නොමැති වඳ තැනැත්තියක් වූවා ය. බිරිඳ වඳ තැනැත්තියක් හෙයින් කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා වෙනත් කාන්තාවක් විවාහ කරගන්නා 


මෙන් ඔහුගේ ඤාතීහු ඉල්ලා සිටියහ. තම බිරිඳ කෙරෙහි දැඩිලෙස ආදරය කළ හෙයින් වෙනත් තැනැත්තියක් කැඳවාගෙන ඒමට කෙලෙඹි පුත්‍රයා අකැමැත්ත පළකළේ ය. එක් දිනක් ඔහුගේ බිරිඳ දන්වා සිටියේ තමාට දරුවන් නැති හෙයින් වෙනත් කාන්තාවක් කැඳවාගෙන විත් කුලපරම්පරාව පවත්වාගෙන යාමට දරුවෙකු බිහිකර ගන්නා ලෙසයි. ඇයගේ ඉල්ලීම පරිදි කෙලෙඹි පුත්‍රයා වෙනත් කන්‍යාවක කැඳවාගෙන ආවේ ය. ඇය නොබෝ කලකින් ම ගැබිණියක් වූවා ය. දෙවන බිරිඳට පුතෙකු ලැබීමෙන් අනාගතයේ තමාට හිමි තැන අහිමි වේ යැයි උපකල්පනය කළ පළමු බිරිඳ එක්තරා පරිබ්‍රාජිකාවකට ආහාර පානාදියෙන් සංග්‍රහකොට ඇයගේ සහාය ඇතිව දරු ගැබ විනාශ වන බෙහෙතක් ලබා දුන්නා ය.

Wednesday, February 7, 2018

කර්මයට අනුරූප විපාක

" ප්‍රේත ලෝකයක ඉපදුණ කෙනෙකුට එයින් ගැලවිය හැක්කේ තම ඤාතීන් විසින් සිදුකරනු ලබන යහපත් ක්‍රියා අනුමෝදන් වීමෙන් පමණි. එබැවින් මිය ගිය ඤාතීන් වෙනුවෙන් කවර හෝ පින්කමක් සිදුකිරීම ජිවත් ව සිටින ඤාතීන්ගේ යුතුකමක් වේ."

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වෙසෙන සමයෙහි පඤ්චපුත්ත ඛාදක ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

සැවැත්නුවර ආසන්න ගමක එක්තරා කෙළෙඹියෙක් වාසය කළේ ය. ඔහුගේ බිරිඳ දරුවන් නොමැති වඳ තැනැත්තියක් වූවා ය. බිරිඳ වඳ තැනැත්තියක් හෙයින් කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා වෙනත් කාන්තාවක් විවාහ කරගන්නා මෙන් ඔහුගේ ඤාතීහු ඉල්ලා සිටියහ. තම බිරිඳ කෙරෙහි දැඩිලෙස ආදරය කළ හෙයින් වෙනත් තැනැත්තියක් කැඳවාගෙන ඒමට කෙලෙඹි පුත්‍රයා අකැමැත්ත පළකළේ ය.

එක් දිනක් ඔහුගේ බිරිඳ දන්වා සිටියේ තමාට දරුවන් නැති හෙයින් වෙනත් කාන්තාවක් කැඳවාගෙන විත් කුලපරම්පරාව පවත්වාගෙන යාමට දරුවෙකු බිහිකර ගන්නා ලෙසයි. ඇයගේ ඉල්ලීම පරිදි කෙලෙඹි පුත්‍රයා වෙනත් කන්‍යාවක කැඳවාගෙන ආවේ ය. ඇය නොබෝ කලකින් ම ගැබිණියක් වූවා ය. දෙවන බිරිඳට පුතෙකු ලැබීමෙන් අනාගතයේ තමාට හිමි තැන අහිමිවේයැයි උපකල්පනය කළ පළමු බිරිඳ එක්තරා පරිබ්‍රාජිකාවකට ආහාර පානාදියෙන් සංග්‍රහකොට ඇයගේ සහාය ඇතිව දරු ගැබ විනාශ වන බෙහෙතක් ලබා දුන්නා ය. එය පානය කිරීමෙන් දෙවන බිරිඳගේ දරු ගැබ විනාශ වූ අතර ඇය ඒ පිළිබඳ තම මෑණියන්ට දන්වා සිටියා ය. මව ස්වකීය ඤාතීන් කැඳවා ඒ පිළිබඳ දැනුම් දුන්නා ය. ඥාතී හූ ඒ සම්බන්ධයෙන් පළමු බිරිඳට චෝදනා කළ අතර ඇය විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබී ය. එසේ නම් ඒ පිළිබඳ දිවුරා පොරොන්දු වන මෙන් දෙවන බිරිඳගේ ඥාතීහු ඉල්ලා සිටිය හ. එම ඉල්ලීම අනුව පළමු බිරිඳ “තමා විසින් මෙම අපරාධය කළේ නම් දුගතියෙහි ඉපිද බඩ සයින් පෙළෙමින් උදේ සවස පුතුන් පස් දෙනා බැගින් බිහිකොට ඔවුන් කෑමෙන් සෑහීමකට පත් නොවේවා! එසේම දුර්ගන්ධව නිල මැස්සන්ගෙන් ගැවසී තැනැත්තියක් වේවායි!” යනුවෙන් බොරුවට සපත කළා ය. පළමුවන බිරිඳ නොබෝ කලකින් කළුරිය කොට එම ග්‍රාමය අසල ම ප්‍රේතියක ව උපන්නා ය.

Thursday, February 1, 2018

කර්මයට අනුරූප විපාක

" ප්‍රේත ලෝකයක ඉපදුණ කෙනෙකුට එයින් ගැලවිය හැක්කේ තම ඤාතීන් විසින් සිදුකරනු ලබන යහපත් ක්‍රියා අනුමෝදන් වීමෙන් පමණි. එබැවින් මිය ගිය ඤාතීන් වෙනුවෙන් කවර හෝ පින්කමක් සිදුකිරීම ජිවත් ව සිටින ඤාතීන්ගේ යුතුකමක් වේ."

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වෙසෙන සමයෙහි පඤ්චපුත්ත ඛාදක ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.
සැවැත්නුවර ආසන්න ගමක එක්තරා කෙළෙඹියෙක් වාසය කළේ ය. ඔහුගේ බිරිඳ දරුවන් නොමැති වඳ තැනැත්තියක් වූවා ය. බිරිඳ වඳ තැනැත්තියක් හෙයින් කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා වෙනත් කාන්තාවක් විවාහ කරගන්නා මෙන් ඔහුගේ ඤාතීහු ඉල්ලා සිටියහ. තම බිරිඳ කෙරෙහි දැඩිලෙස ආදරය කළ හෙයින් වෙනත් තැනැත්තියක් කැඳවාගෙන ඒමට කෙලෙඹි පුත්‍රයා අකැමැත්ත පළකළේ ය.

කේලාම් කීමේ ආදීනව



 වාග් දුශ්චරිතයට අයත් කේලාම් කීම (පිසුණා වාචා) බර පතල අකුශලයක් බව මෙම ප්‍රේත කථාවෙන් පැහැදිලි වේ"
කේලාම් කීමේ ආදීනව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි පූතිමුඛ නම් ප්‍රේතයෙකු අරබයා මෙම කථාව ගෙනහැර දැක්වූහ.
අතීතයේ කාශ්‍යප බුදුරදුන් සමයෙහි කුල පුත්‍රයන් දෙදෙනකු බුදු සසුනෙහි පැවිදිව සීලයෙන් හා ආචාර සම්පත්තියෙන් ද ඔවුනොවුන් හා සමගියෙන් ද යුක්ත වූයේ එක්තරා පසල් ගමක පිහිටි ආරාමයක විවේක සුවයෙන් වාසය කළහ. කේලාම් කියා ඔවුනොවුන් බිඳවීමේ සිත් ඇති එක්තරා භික්ෂුවක් එම ආරාමයට පැමිණියේය. නේවාසික භික්ෂූන් දෙනම එම ආගන්තුක භික්ෂුවට වත් දක්වා උන්වහන්සේ පිළිගෙන සෙනසුන් සපයා දී පසු දින අළුයම උන්වහන්සේ ද කැටුව ගමට පිඬු සිඟා වැඩියහ. ගම්වැසි උවසු උවැසියෝ උන්වහන්සේලා කෙරෙහි පැහැදී ආහාර පානාදියෙන් මැනවින් සංග්‍රහ කළහ. පිණ්ඩපාතයෙන් අනතුරුව විහාරය බලා ආපසු පැමිණි ආගන්තුක භික්ෂුව තුළ “ මෙම ගොදුරු ගම ඉතා සුන්දරය. ගම් වැසියෝද ඉතා ශ්‍රද්ධා සම්පන්නය. ඉතා ප්‍රණීත ආහාර පානාදිය පූජා කරති. විහාරය ද අවශ්‍ය පහසුකම්වලින් යුක්ත ය. එබැවින් මෙහි පහසුවෙන් වාසය කළ හැකිය. එසේ වුවත් මෙම නේවාසික භික්ෂූන් දෙනම මෙහි වාසය කළහොත් මට පහසුවෙන් වාසය කළ නොහැකිය. අන්තේවාසිකයෙකු ලෙස වාසය කිරීමට සිදුවෙයි. එබැවින් උන්වහන්සේලා දෙනම ඔවුනොවුන් කෙරෙහි බිඳුවා විහාරයෙන් නෙරපා මා පමණක් මෙහි වාසය කළහොත් සැපෙන් විසිය හැකිය ” යනුවෙන් එක්තරා පවිටු සිතිවිල්ලක් හටගත්තේය.

Wednesday, December 27, 2017

පාපයෙන් අඳුර කුසලයෙන් ආලෝකය ( මහා කපි ජාතකය )


බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි දෙව්දත් තෙරුන් විසින් උන්වහන්සේට ගල් පෙරලීමේ පුවත පසුබිම්කරගෙන මෙම මහා කපි ජාතකය දේශනා කොට වදාළහ.

දෙව්දත් තෙරුන් විසින් බුදුරජාණන් වහන්සේ ඝාතනය කිරීම සඳහා විවිධ උපක්‍රම යෙදූ අතර ඒ සියල්ල අසාර්ථක විය. අනතුරුව ගිජු කුළු පව් පා මුල සක්මන් කරන බුදුරදුන් ඝාතනය කිරීමෙහිලා උන්වහන්සේගේ හිස මතට ගලක් පෙරලී ය. දෙව්දත් තෙරුන්ගේ එම ව්‍යායාමය අසාර්ථක වූ හෙයින් දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා අතර ඒ පිළිබඳ කතිකාවක් හටගත්තේ ය. දම්සභා මණ්ඩපයේ ඇති වූ සාකච්ඡාව දැනගත් බුදුරජාණන් වහන්සේ දෙව්දත් තෙරුන් වර්තමාන භවයේ පමණක් නොව අතීත භවයන්හි ද එසේ කළේ යැයි දක්වමින් අතීත කථාව ගෙනහැර දැක් වූහ.



පෙර භවයක

අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ එක්තරා වන ලැහැබක වඳුරෙකු ව උපන්නේ ය. එකල, එක්තරා ජනපද වැසි ගොවියෙකු තම කුඹුරෙහි සී සා ගවයන් මුදාහැර නියර බඳීමින් සිටියේ ය. බැම්මෙන් නිදහස් වූ ගවයෝ නිදැල්ලේ තණ කමින් මහා වනය දෙසට ගමන් කළහ. ටික වේලාවකින් ගොවියා තම කටයුතු නිමකර ගවයන් ගැන සොයා බලන්නේ උන් කිසිවෙක් එහි නොමැති බව දැන, ගවයන් සොයමින් වනය දෙසට ගමන් කළේ ය. වනයෙහි ඇතුළට වන් ගොවියා එහි අතර මං වූවේ ය. ආ අත හෝ ගිය අත සොයා ගැනීමට නොහැකිව මංමුලා වූයේ කැලෑවෙහි ඒ මේ අත ඇවිද්දේ ය. බඩගින්නෙන් හා පිපාසයෙන් දැඩි ලෙස පෙළුණු ගොවියා ඵල බර එක් තිඹිරි ගසක් දැක එයට නැඟ සිත් සේ තිඹිරි ගෙඩි කඩා කෑවේ ය. තිඹිරි ගෙඩි කඩා කමින් ගස මත සිටින ගොවියා එක් දිරාගිය අත්තක පය තැබීමේ හේතුවෙන් එය බිඳීගොස් ඒ අසල තිබූ මහා ප්‍රපාතයකට ඇද වැටුණේ ය. එයින් ගොඩ ඒ ගත නොහී දින දහයක් ප්‍රපාතයේ සිර වී සිටියේ ය. එක් දිනක බෝසත් වඳුරා තිඹිරි ගෙඩි කෑම සඳහා එහි පැමිණි අතර පහළ ප්‍රපාතයේ වේදනාවෙන් කෙඳිරිගාන මිනිසෙකුගේ හඬ අසා ඒ දෙස බැලී ය.

Monday, November 27, 2017

සත් පුරුෂ ඇසුරෙන් දරුවන් විනය ගරුක වේ

සත්තිගුම්භ ජාතකය


දෙව්දත් තෙරුන් විසින් බුදුරදුන් නැසීම පිණිස ගිජුකුළු පව්වේ සිට ගලක් පෙරලීමේ සිද්ධිය පසුබිම් කර ගෙන භික්ෂූන් අතර ඇති වූ කතිකාව මුල් කොටගෙන භාග්‍යවතුන් වහන්සේ මෙම සත්තිගුම්භ ජාතකය දේශනා කොට වදාළහ. යටගිය දවස උත්තර පඤ්චාල නම් නුවර පඤ්චාල නම් රජෙකු දැහැමින් රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ එක්තරා ගිරා රජෙකුට පුත්ව උපන්නේය. බෝසත් ගිරවාට පසුකලෙක සහෝදරයෝ දෙදෙනෙක් ද වූහ. ඔවුන් වාසය කළ ආරණ්‍යයෙහි ඉහළ ප්‍රදේශයේ සොරුන් පන්සියයක් වාසය කරන එක්තරා ගමක් ද පහළ ප්‍රදේශයේ පන්සියයක් තාපසවරුන් වාසය කළ තාපසාරාමයක් ද පිහිටා තිබුණි.
එක් දිනක වේගයෙන් හමා ගිය දැඩි සුළගක් හේතුවෙන් එක් ගිරා පැටවෙකු ගසාගෙන ගොස් සොරුන්ගේ ආයුධ මත්තෙහි වැටුණ අතර සොරු ඌ රැගෙන සත්තිගුම්භ යනුවෙන් නම්කොට තමා සන්තකයේ තබාගෙන පෝෂණය කළහ. අනෙක් ගිරා පැටවා සුළඟින් ගසාගෙන ගොස් තාපසයන් වාසය කළ ආරාමයෙහි මල් ගොඩක් මතට වැටුණ හෙයින් තාපසවරු ඌ රැගෙන පුෂ්පක යැයි නම් කොට පෝෂණය කළහ. මෙසේ ගිරා පෝතකයන් දෙදෙනා වැඩෙන කල්හී පඤ්චාල රජු එක් දිනක් මුවන් දඩයම් කිරීම පිණිස වනයට ගියේ, පිළිවෙලින් එම සොරුන් වසන ග්‍රාමයට පැමිණ ගමන් වෙහෙස දුරුකරගැනීම උදෙසා එක්තරා ගසක් මුල නිදාගත්තේ ය.

Tuesday, November 21, 2017

වරද නිවැරැදි කර ගත්තෝ උසස් අය බවට පත්වෙති

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි පෙහෙවස් සමාදන් වූ පන්සියයක් උපාසක පිරිස අමතා පංචුපෝසථ ජාතකය දේශනාකොට වදාළහ.

අතීතයේ කසී, කොසොල් හා මගධ රාජ්‍යයන් මධ්‍යයෙහි මහා වනයක් පිහිටා තිබුණි. එකල බෝධිසත්ත්වයන් වහන්සේ බමුණු මහසල් කුලයක ඉපිද පංච කාම ලෝකයේ පවතින ආදීනව අවබෝධ කර ගෙන ගිහි ගෙයින් නික්ම එම කැලෑවට ගොස් පන්සලක් සාදවා ගෙන තවුස් දම් රකිමින් වාසය කළහ. එම අසපුව නුදුරෙහි වූ උණ පඳුරක පරෙවි ජෝඩුවක් ද තුඹසක සර්පයෙක් ද ආසන්න වන ලැහැබෙහි සිවලෙක් හා වලසෙක් ද වාසය කළහ. මෙම සතුන් සිව් දෙනා කලින් කලට බෝධිසත්වයන් වෙසෙන පන්සලට ගොස් බණ කථා ඇසීමට පුරුදුව සිටියෝ ය. එක් දිනෙක පරෙවි ජෝඩුව කැදැල්ලෙන් නික්ම ගොදුරු සොයා යන අවස්ථාවෙහි උකුස්සෙකු පැමිණ පරවි ධේනුව පැහැර ගෙන ගොස් මරාගෙන කෑවේ ය.

Monday, November 20, 2017

සැනසුමට මග සමඟියයි ( ඵන්දන ජාතකය )

බුදුරජාණන් වහන්සේ රෝහිණි ගංගා ඉවුරේ වැඩවෙසෙමින් තමන්වහන්සේගේ ඤාතීන්ගේ සමඟියේ වැදගත්කම ගෙනහැර දක්වමින් මෙම ජාතක කථාව දේශනාකොට වදාළහ. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි එක්තරා වඩු ගමක අසල කැලෑවෙන් ලී දඬු කපා ගෙනවිත් කරත්ත සෑදීම ජීවිකාව කරගත් බමුණෙක් වාසය කළේය. ආසන්න කැලෑවෙහි විශාල කොලොන් ගසක් පිහිටා තිබුණු අතර එක්තරා වලසෙක් ගොදුරු සොයා කා නිතර එම ගස මුලට පැමිණ වැදහෙව වාසය කළේය.

එක් දිනක් එසේ වැදහෝනා අවස්ථාවෙහි මහත් සුළගක් හමා යාමෙන් කොලොන් ගසේ දිරාගිය අත්තක් කැඩී වලසාගේ පිටමත වැටුණේය. එයින් වලසාගේ පිට තැලී ගියේය. බියපත් වූ වලසා වේගයෙන් මඳදුරක් දුවගොස් අපසු හැරී බලා “සිංහයෙකු හෝ ව්‍යාඝ්‍රයෙකු මා පිටු පස ලුහු බඳවාගෙන නොඑන්නේය. ඒකාත්නයෙන්ම මේ කොලොන් ගසේ වාසය කරන වෘක්ෂ දේවතාවා මා මෙතන වැද හෝනා අකැමැත්තේය. ඒ නිසා මෙසේ කළේය” යැයි සිතා වෘක්ෂ දේවතාවා පිළිබඳ අස්ථාන කෝපයක් ඇතිකරගත්තේය. එපමණක් නොව කොලොන් ගස වෙත ගොස් “ඔබගේ ගසින් මම එක් කොලයකුදු නොකෑවෙමි. අත්තකුත් නොබින්දෙමි. එහෙත් ඔබ මා මෙහි වැදහෝනා අකැමැත්තේය. සෙසු සිංහ ව්‍යාඝ්‍ර ඌරු ආදි සිවුපාවුන් මෙහි වාසය කරනු කැමැත්තේය. මාගේ කවර දෝෂයක්ද? මට මේ කළ දෑ වෙනුවෙන් මම ඔබගෙන් පළිගනිමි. තව දින කීපයකින් ඔබ උදුරා දමා කුඩා කැබලිවලට කපා දමන්නෙමි” යනුවෙන් වෘක්ෂ දේවතාවාට තර්ජනය කොට එක්තරා පුරුෂයෙකු සොයා ගියේය.

Thursday, November 16, 2017

මිතුරා හා පසමිතුරා අතර වෙනස හඳුනා ගනිමු ( මිත්තාමිත්ත ජාතකය )

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි කොසොල් රජුගේ අමාත්‍ය මණ්ඩලයට අයත් එක්තරා යහපත් ඇමතිවරයෙකු අරභයා මෙම ජාතක කථාව දේශනා කොට වදාළහ. කොසොල් රජ්ජුරුවෝ එක්තරා ඇමතිවරයෙකු කෙරෙහි විශේෂ ලැදියාවක් දක්වමින් නොයෙක් ආකාරයෙන් ඔහුට උපකාර කළෝ ය. සෙසු අමාත්‍යවරු ඒ කෙරෙහි ස්වකීය අකැමැත්ත පළකොට එම අමාත්‍යවරයාගේ නොයෙක් දෝෂ පිළිබඳ රජුට කරුණු දැක්වූහ. රජතුමා ඒ සියල්ල අසා සිට ඔවුන් දක්වන දුර්ගුණ එම ඇමැතිවරයා තුළ පිහිටා තිබේදැයි පරීක්ෂා කොට එකී කිසි දෝෂයක් ඔහු වෙත නොදැක බුදුරජාණන් වහන්සේ වෙත ගොස් මිත්‍රයාගේ යහපත් ගතිලක්ෂණත් අමිත්‍රයාගේ දුර්ගුණත් වෙන්කොට හඳුනාගන්නේ කෙසේදැයි විමසූහ. රජුගේ පැනයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ අතීතයේත් නුවණැති රජදරුවෝ මිත්‍රයා හා අමිත්‍රයා හඳුනා ගන්නා ලක්ෂණ කවරේදැයි විමසා ඇතිබව ගෙනහැර දක්වමින් ඔවුන් එකිනෙකා වෙන්කොට හඳුනාගන්නා ලක්ෂණ රැසක් ඇතුළත් අතීත කථාව දේශනාකොට වදාළහ.

Wednesday, November 15, 2017

දුන් දේ ගැන පසු නො තැවෙන්න අත්හළ ලෝභය යළි කැඳවා නොගන්න ( මය්හ ජාතකය)


දන්දීම උතුම් ක්‍රියාවකි. එය ලෝභය දුරුකිරීම අරමුණු කර ගත් උසස් අභ්‍යාසයකි. එබැවින් දුන් දේ පිළිබඳ පසුතැවීම අත්හළ ලෝභය නැවත කැඳවා ගැනීමකි.'
දන් දී පසු තැවීමෙන් පිනෙහි අගය අඩුවේ. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි ආගන්තුක සිටුවරයෙකු අරභයා මය්හ ජාතකය දේශනාකොට වදාළහ. සැවැත් නුවර වැසි එක්තරා සිටුවරයෙකුට බොහෝ ධන සම්පත් විය. එසේ නමුත් ඔහු කිසි දිනෙක කිසිවෙකුටත් නූල් පොටක් තරමක දෙයක් වුව නො දුන්නේය. ඉතා දැඩි ලෝභියෙකු වූ සිටුවරයා එක්තරා දරුණු රෝගයක් වැළඳීමෙන් අකාලයේම මිය පරලොව ගියේය. දරුවන් නොමැති මෙම සිටුවරයාගේ ධනය ඔහුගේ මරණින් පසුව රාජ සන්තක විය.

එම ධනය රාජ භාණ්ඩාගාරය වෙත ගෙන යාම සඳහා අඛණ්ඩව දින හතක් ගතවූ හෙයින් රජතුමාට බුදුරදුන් බැහැදැකීමට නොහැකිවිය. සත් දිනක් ඇවෑමෙන් බුදුරදුන් හමුවීම පිණිස දෙව්රම් වෙහෙරට ගිය රජු සිදුවූ සියල්ල සැකෙවින් දක්වා මේසා විශාල ධනයක් තිබියදීත් සිටුවරයා විසින් දන් නොදෙන ලද්දේ කවර හේතුවක් නිසා දැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේය. මෙම ධනවත් සිටුවරයා පෙර ආත්මයක තගරසිඛී නම් පසේ බුදුරජාණන් වහන්සේ වීථියෙහි පිඬු පිණිස වඩිනු දැක උන්වහන්සේ තම සිටුමැදුරට වැඩමාගෙන ගොස් දන් පිළිගැන්වීමට සේවකයන්ට පවරා කිසියම් හදිසි රාජකාරී කටයුත්තක් සඳහා රජ ගෙදරට ගියේය


ගිය සැනින් රාජකාරිය නිමවා ආපසු නිවසට පැමිණි සිටුවරයා දන් පිළිගෙන වඩින පසේ බුදුරදුන්ගෙන් දන් ලැබුණේදැයි විමසීය. දන් ලබුණේයැයි පසේ බුදුරදුන් විසින් දැන් වූ කල්හී උන්වහන්සේගේ පාත්‍රයට එබී බලා මෙතරම් බත් ප්‍රමාණයක් මුන් වහන්සේට පිළිගැන්වූයේ කවර හේතුවක් නිසාද? මේ බත වෙන මිනිසෙකුට දුන්නේ වී නම් ඔහු මට නොසෑහෙන තරම් සේවය කරන්නේ යැයි පවසා සේවකයන් විසින් පසේ බුදුන්ට පිදූ පිණ්ඩ දානය පිළිබඳ දැඩි ලෙස නොසතුටට පත්විය.

Saturday, November 11, 2017

සැමටමෙත් සිත ( ලටුකික ජාතකය: )

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි දෙව්දත් තෙරුන් අරබයා මෙම ජාතකය දේශනා කළහ. දෙව්දත් තෙරුන් වහන්සේ කිසිවෙකුටත් දයාව නොදක්වන ද්වේෂය බහුල තැනැත්තෙක් යැයි දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා අතර සංවාදයක් ඇතිවිය.
එකිනෙහි දම්සභා මණ්ඩපයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එම සංවාදය අසා සිට දේවදත්ත තෙරුන් වර්තමාන භවයේ පමණක් නොව පෙර භවයන්හී ද කිසිවෙකුටත් දයාව නොදැක්වූවෙකැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ හ. අතීතයේ බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ අසූ දහසක් ඇතුන්ට නායක වූ ඇත් රජෙකුව උපන්නහ. ඇත් සමූහය වාසය කළ වනයෙහි එක් කැටකිරිල්ලක ඇතුන් ගමන් ගන්නා මාර්ගයේ අසල කැදල්ලක් කොට පැටවුන් පෝෂණය කරමින් සිටියා ය.

Friday, November 3, 2017

වාසනාව කැඳවාගන්නේ තමා විසින්මය ( ශ්‍රී කාලකණ්ණි ජාතකය )


බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි අනේපිඬු සිටුවරයා අරභයා මෙම ජාතක කථාව දේශනාකොට වදාළහ. අනේපිඬු සිටුවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම සේවක සේවිකාවන් ද නිති පන්සිල් හා පොහොය අටසිල් රකිමින් දැහැමි පිවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් භික්ෂූන්වහන්සේලා අතර සාකච්ඡාවක් ඇතිවිය. එම අවස්ථාවෙහි දම්සභා මණ්ඩපයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ අනේ පිඬු සිටුවරයා පමණක් නොව පෙරත් උත්තම පුරුෂයන් විසින් සදාචාර සම්පන්න දිවිපෙවෙතක් ගතකරමින් පරිවාර සම්පත් ලැබුවේ යැයි දේශනා කළහ.
මෙහි දී භික්ෂූන් වහන්සේලා විසින් ආරාධිත තථාගතයන් වහන්සේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ එක්තරා සිටු කුලයක උපන්නහ. සිටුවරයා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයනුත් සේවක පිරිසත් නිති පන්සිල් රකිමින් දැහැමි දිවියක් ගත කරන හෙයින් සුචිපරිවාර සිටාණෝ යැයි හඳුන්වනු ලැබූහ. ඔහුගේ සිටු මැඳුරෙහි තමන්ට වඩා උසස් ගුණයන්ගෙන් යුත් කෙනෙකු පැමිණියහොත් නිදා ගැනීම පිණිස විශේෂ සයනයක් පිළියෙලකර තිබුණේය.
එසමයෙහි ධෘතරාෂ්ට්‍ර නම් දිව්‍ය රජුගේ දියණිය වූ ශ්‍රී කාන්තාවද, විරුල්හක නම් දිව්‍ය රජුගේ කාලකණ්ණි නම් දියණියද යන කාන්තාවන් දෙදෙනා ස්නානය සඳහා අනෝතත්ත විලට ගියහ. කාන්තාවෝ දෙදෙන අනෝතත්ත විලෙහි දිව්‍ය ස්ත්‍රීන් ස්නානය කරන තොටුපොළට පැමිණ ඔවුනොවුන් සතු බලවත්කම් ගෙනහැර පාමින් පළමුව දියට බසින්නේ තමන් යැයි එකිනෙකා අතර රණ්ඩුවක් ඇතිකරගත්තෝය. ඔවුනොවුන්ගේ රණ්ඩුව සමතයකට පත්කර ගැනීමට අපොහොසත් ව තම පියවරුන් වෙත ගොස් එපවත් කීහ.

Saturday, October 28, 2017

විචාර බුද්ධිය අර්බුද දුරලයි ( දද්දභ ජාතකය)

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සමයෙහි අන්‍ය තීර්ථකයන් අමතා මෙම ජාතක කථාව දේශනාකොට වදාළහ. සැවැත් නුවර ජේතවනාරාමය අසල සිටි ඇතැම් පරිබ්‍රාජකයෝ විවිධ උග්‍ර වත තපස් රකිමින් ආගමික නිෂ්ඨාවක් අපේක්ෂා කළහ. ඔවුන්ගේ තපස් පිළිවෙත දුටු භික්ෂූන්වහන්සේ එම තපස් පිළිවෙතින් කිසියම් මාර්ග ඵලයක් ලැබිය හැකිදැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියහ. භික්ෂූන්ගේ පැනයට පිළිතුරු සැපයූ තථාගතයන් වහන්සේ ‘පොළොව පෙරළේ යැයි’ කියා’ දිවූ සාවා මෙන ්ම ඔවුන්ගේ වත තපස් නිශ්ඵල දෙයකැ’යි දේශනා කළහ.

එම පුවත අසනු රිසි වූ භික්ෂූන් වහන්සේලා සාවා පිළිබඳ අතීත සිද්ධිය ගෙනහැර දක්වා වදාරන මෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඇයැද සිටියහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ එම අතීත පුවත ගෙනහැර දැක්වූ සේක. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ සිංහ රාජයෙකුව ඉපිද එක්තරා පර්වතයක වාසය කළහ.

Sunday, October 15, 2017

ශෝකයක්නොමැත්තේ කාටද? ( මතරොදක ජාතකය )

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවෙසෙන සමයෙහි එක්තරා කෙළෙඹි පුත්‍රයෙකු අමතා මෙම ජාතකය දේශනාකොට වදාළහ. සැවැත් නුවර වැසි එක්තරා කෙළෙඹි පුත්‍රයෙක් තම ආදරණීය බැණනුවන්ගේ මරණය නිසා දැඩිලෙස ශෝකා තුර වූයේ ස්නාන ආදී ශරීර පවිත්‍රාදිය නොකර ආහාරපාන වර්ජනය කරමින් දිනකට දෙවරක් සොහොනට ගොස් හඬා වැලපෙයි. මහාකරුණා සමාපත්තියෙන් ලොව බලන බුදුරජාණන් වහන්සේ මෙසේ ශෝකයට පත් කෙළෙඹි පුත්‍රයා දැක ඔහුගේ නිවසට වැඩම කළ සේක.

බුදුරදුන් තම නිවසට වැඩම කළ බව දුටු කෙළෙඹි පුත්‍රයා මහත් ගෞරවයෙන් යුක්තව උන්වහන්සේ පිළිගෙන වඩා හිඳුවා නමස්කාරකොට එකත්පසක වාඩිවිය. ඔහුහේ ශෝකාකූල ස්වභාවය දුටු බුදුරජාණන් වහන්සේ එයට හේතු කවරේදැයි විමසූ සේක. තමාගේ ආදරණීය බෑණනුවන් මිය ගිය හෙයින් අතිශය ශෝකයට පත්ව සිටින බවත්, එබැවින් තමාට කිසිදු දෙයක උනන්දුවක් නැති  බවත් කෙළෙඹි පුත්‍රයා පැවසී ය. ඔහු කෙරෙහි කාරුණික වූ බුදුරජාණන්   වහන්සේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාවත් ශරීරය ජරා  ව්‍යාධි දෙකින් පීඩිතව මරණයෙන් කෙලවර වන බවත් ලොව සෑම අයෙකුටම එම ධර්මතාවට මුහුණ දීමට සිදුවන හෙයින් නුවණැති තැනැත්තා එම යථාර්ථය වටහාගෙන ශෝක කිරීමෙන් වැළකිය යුතු බවත් අනුශාසනා කළහ.

Saturday, September 2, 2017

කුසලතා දියුණුවේ සාර්ථකත්වය

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවෙසෙන සමයෙහි කෝකාලික නම් දේවදත්ත පාර්ශ්වයේ භික්ෂුවක් අරභයා දද්දර ජාතකය දේශනා කළහ. සැවත්නුවර දෙව්රම් වෙහෙරෙහි බොහෝ භික්ෂූන් වහන්සේලා ධර්මය මැනවින් හදාරා අනතුරුව ධර්ම දේශනා පවත්වති. කෝකාලික තෙරුන් වහන්සේ ද තමන්ට ධර්මය දේශනා කිරීමට නොහැකි බව දැන දැනත් “ඇයි අපිට බණ කිව නොහැකිද? අසන අය වෙතොත් අපටත් බණ කිව හැකි නොවේද?” යනාදි වශයෙන් මහා හඬින් ඝෝෂා කරමින් දෙව්රම් වෙහෙර එහා මෙහා ගමන් කළේය.
මෙම ඝෝෂාව ඇසූ භික්ෂූන් වහන්සේලා “ඇවැත් කෝකාලිකයෙනි එසේනම් අද දින ඔබ වහන්සේ ධර්ම දේශනා කරන්නැයි” දන්වා සිටියහ. කෝකාලික තෙරුන් වහන්සේ ද එබස් අසා හොදින් දන් වළදා මනා සිවුරක් හැඳ පොරවාගෙන ධර්මය දේශනා කරන්නට සූදානම්ව සිටියහ. ධම්මස්සවන කාලො අයං භදන්තා.... යනුවෙන් ධර්මය ඇසීම සඳහා කාලඝෝෂණය කළ කල්හී දෙව්රම් වෙහෙර වැසී බොහෝ භික්ෂූන් වහන්සේ බණ ඇසීම පිණිස දම්සභා මණ්ඩපයට රැස් වූහ.
කෝකාලික හිමියන් ද වෘද්ධ භික්ෂූන් වහන්සේට නමස්කාරකොට විසිතුරු කැටයමින් ඔපවත් වූ විජිනිපතක් රැගෙන ධර්මාසනාරූඪව බණ කියන්නට පටන් ගත්තේය. මාතෘකා කළ ගාථාවෙන් පළමු ගාථා පදය දේශනා කළ හැකි වුව මුත් දෙවන ගාථා පදය සිහියට නඟා ගැනීම කළ නොහැකිවිය.

Monday, August 28, 2017

විනය හා ගුණය

විවාහයේ දී බොහෝ දෙනෙකු රූමත් බව හා ධනවත් බව කෙරෙහි පමණක් සැළකිලිමත්වන අතර උගත්කම් හා හැදියාව ගැන දක්වන්නේ අඩු සැළකිල්ලකි. මෙම ජාතක කථාවේ එන වර්තමාන හා අතීත කථා දෙකෙන් ම අවධාරණය කරන්නේ සදාචාරය හෙවත් හැදියාව වඩාත් උසස් බවයි. සිල්වත් බව හෙවත් විනයගරුක බව බුදුසමයෙන් විශේෂ ඇගයුමට ලක්කර තිබේ. සිල්වත්කමින් තොර උගත්කම අර්ථවත් නොවන බව එහි එන එක ඉගැන්වීමකි.
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන සමයෙහි එක්තරා බමුණෙක් අරබයා මෙම සාධුසීල ජාතකය දේශනා කොට වදාළහ. සැවැත් නුවර වැසි එක්තරා බමුණෙකුට විවාහ වීමට යෝග්‍ය වයසේ දියණිවරුන් සිව් දෙනෙකු සිටියේය. එම දියණිවරුන් හා විවාහවීමට අපේක්ෂාවෙන් පුරුෂයෝ සිව් දෙනෙකු ද සිටි අතර ඔවුන්ගෙන් පළමු වැන්නා රූමත් අයෙක් විය. දෙවැන්නා වියපත් වූවෙකි. තෙවැන්නා උසස් කුලයකට අයත් වූවෙකි. සිව් වැන්නා මනා විනයකින් හා ගුණයෙන් හෙබි තැනැත්තෙකි. මෙම පුද්ගලයන් සිව්දෙනා අතරින් කවර තැනැත්තෙකුට තම දූවරුන් විවාහ කර දෙන්නේ දැ යි බමුණාට ගැටලුවක් ඇති විය. ඒ පිළිබඳ සුදුසු උපදෙසක් ලබා ගැනීම සඳහා බුදුරදුන් සොයා දෙව්රම් වෙහෙරට පැමිණි බමුණා උන්වහන්සේගෙන් කරුණු විමසා සිටියේ ය.
වර්තමානයේ එය ඔබට නොවැටහුණත් පෙර ආත්මයේ නුවණැත්තන් විසින් ඒ පිළිබඳ ඔබට කරුණු පැහැදලි කර ඇති බව කුමක් හෙයින් අමතකව තිබේදැයි විමසූ බුදුරජාණන් වහන්සේ ඔහුගේ ඉල්ලීම පරිදි අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

Monday, July 17, 2017

පරමාදර්ශය

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි අග්‍රෝපස්ථායක ආනන්ද තෙරුන් අරභයා මෙම ජාතකය දේශනාකොට වදාළහ. අග්‍රෝපස්ථායක ආනන්ද හාමුදුරුවෝ කොසොල් රජුගේ අන්තඞපුර කාන්තාවන්ට ධර්ම දේශනා කරන සමයෙහි රජතුමා විසින් තමන්වෙත ලද අගනා වස්ත්‍ර යුගල දහසකින් පන්සියයක් ගෙන අන්තඞපුර කාන්තාවන් අතර බෙදා දෙන ලදි.
අන්තඞපුර වැසි කාන්තාවෝ තමන් ලද සළු පන්සියය පරිහරණය නොකොට තබාගෙන ආනන්ද තෙරුන් ධර්මය දේශනා කළ කල්හී උන්වහන්සේට පරිස්කාර වශයෙන් පූජා කළහ. පසු දින දුර්වල වස්ත්‍ර සහිතව පැමිණි අන්තඞපුර කතුන් දුටු කොසොල් රජු තමා විසින් දුන් වස්ත්‍ර යුග්මයට කුමක් කළේදැයි විමසීය. එයටපිළිවදන් දුන් කාන්තාවෝ ඒ සියල්ල ආනන්ද තෙරුන් වෙත පිරිකර වශයෙන් පූජා කළේ යැයි දන්වා සිටියහ. බුදුරදුන් විසින් තුන් සිවුරක් පමණක් අනුදැන වදාරා තිබියදීත් මේ සා විශාල සළු ගොඩක් පිළිගත්තේ වෙළෙඳාම් පිණිස දැයි කෝපයට පත්ව ආනන්ද හිමියන් සොයා දෙව්රම් වෙහෙරට ගියේය. එහි ගොස් ආනන්ද හිමියන්ගෙන් සිවුරු පරිහරණය පිළිබඳ කරුණු විමසා සිටියේය.