Labels

Showing posts with label අති පුජ්‍ය මකුලෑවේ විමල නා හිමියන්. Show all posts
Showing posts with label අති පුජ්‍ය මකුලෑවේ විමල නා හිමියන්. Show all posts

Thursday, December 14, 2017

නිවන් මග හෙළි කරන සිත පිරිසුදු කර ගැනීම

සීල විසුද්ධියෙන් පිරිසුදු ව තමන්ගේ කය හා වචනය මැනවින් හික්මවා ගත් තැනැත්තා අනතුරු ව තමන්ගේ සිත පිරිසුදු කර ගැනීම නම් වූ චිත්ත විසුද්ධිය ඇති කර ගැනීමට දෙවන පියවර තබයි. ඒ පඤ්ච නීවරණයන්ගෙන් තමන්ගේ සිත මුදවා ගෙන අභ්‍යන්තරික පාරිශුද්ධත්වය ලැබීමට ය. මෙහි ලා පඤ්ච නීවරණ නමින් සැලකෙන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්චා යන කෙලෙසුන් ය.

රූප, ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ යන පඤ්චකාමයන් කෙරෙහි ඇති කර ගන්නා බැඳීම, ඇල්ම, ආශාව කාමච්ඡන්දය නමින් හැඳින්වෙයි. තරහව, ක්‍රෝධය, ද්වේෂය යන නමිවලින් හැඳින්වෙන්නේ ව්‍යාපාදය යි. ථීනමිද්ධය නම් චිත්ත චෛතසිකයන්ගේ පවත්නා අරමුණු ගැනීමේ අදක්ෂතාව, හෙවත් සිත, කය දෙකේ පවතින අකර්මණ්‍යතාවයි. උද්ධච්චය නම් සිතේ ඇතිවන නො සන්සුන් බවයි. කුක්කුච්ච නො කළ කුසල් ගැනත්, කළ අකුසල් ගැනත්, සිත - සිතා පසුතැවිලි වීමයි. බුද්ධ, ධම්ම, සංඝ යන ආදී කරුණු අටක් සම්බන්ධ සැක කිරීම විචිකිච්ඡාව යි. මෙම කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී නීවරණ නමින් හැඳින්වෙන්නේ ද ඒ අර්ථය සලකා ගෙන ය. එසේ ම ප්‍රඥාව නමැති ඇස වසාලන නිසා ද නීවරණ යැයි කියයි.

Friday, November 17, 2017

නිවන් මග පෙන්වන සීල විසුද්ධිය


" දස අකුසලයන්ගෙන් වැළකී වතාවත්වල යෙදෙන තැනැත්තාගේ සිතේ ඇතිවන්නේ සීලමය කුසල් සිතිවිලි ය. එසේ කායික, වාචසික වශයෙන් තැන්පත් වී, දුස්සීල බවින්, නරක පැවැත්මෙන් ,වැරැදි ආකාරයට දිවි ගෙවීමෙන් වැලකුණු තැනැත්තා තුළ සීල විසුද්ධිය ඇතිවෙයි."

බුදු දහමෙහි සාරාංශය දැක්වෙන දහම් කොටස් අතර සත්ත විසුද්ධිය ඉතා වැදගත් ය. සංසාර ගත සත්වයන්ට විමුක්තිය ලැබිය හැක්කේ මේ සත්ත විසුද්ධි ධර්මයන් වැඩීමෙනි. ඒ නිසා ම ඒවා විසුද්ධි නාමයෙන් හඳුන්වා ඇත. කෙලෙස් කුණු කහට සපුරා ඉවත් කොට විසුද්ධත්වයට පත් වීමට ධනයෙන්, ගෝත්‍රයෙන් , කුල පරම්පරාවෙන් නො හැකි ය. ඒ සඳහා ඇති නිවැරැදි පැහැදිලි මග මේ සත්ත විසුද්ධිය වැඩීම ය.

Tuesday, August 15, 2017

වස්සානයේ කථාව

ක්‍රි.පූ. හයවන සියවසේ දී බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමය මුල්කරගෙන තමන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කළහ. ඒ සඳහා පළමු වරට රහතන් වහන්සේලා හැට නමක් සහභාගි වූහ. ඒ සැට නමක් වන රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණේ ‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය අත්ථාය හිතාය දේව මනුස්සානං’ යන උපදේශනයයි. ඒ අනුව දෙදෙනකු එක මඟ නොයා තනි තනිව ගමන් කරන ලෙස උපදෙස් දී තමන් වහන්සේ ද උරුවෙල් දනව්ව බලා පිටත් වූහ. සැට නමක් වන රහතන් වහන්සේලා ද නිස්සරණාධ්‍යාසයෙන් ධර්මදූත කාර්යයෙහි නිරත වූහ.
ඒ මහරහතන් වහන්සේලා දැක්මෙන් ප්‍රසාදයට පත් බොහෝ දෙනා තමන් ද පැවිදි කර ගන්නා ලෙස ඒ ඒ රහතන් වහන්සේලාගෙන් අයැද සිටියහ. උන්වහන්සේලා ද පැවිදි වනු කැමැති පිරිස බුදුරදුන් වෙත කැඳවාගෙන අවුත් පැවිදි කරවූහ. කාලයාගේ ඇවෑමෙන් එසේ පැවිදි කිරීමේ බලය ඒ ඒ භික්ෂූන් වෙතම පැවරිණි. තවත් කල් යාමෙන් පැවිදි වන්නවුන්ගේ සංඛ්‍යාව වැඩි විය. ඔවුහු අව්වැසි නොබලා ධර්ම චාරිකාවේ යෙදුණහ. එය සමාජගත ප්‍රශ්නයක් බවට පත්වූයේ වස්සාන සෘතුවේ දී ය.

Monday, July 10, 2017

කිසිවෙකු හටත් නැති මුනිඳුට සනුවණෙක් ඇති


යමා මහ පෙළහර පෑමේ දී එක්වර ක්‍රියා දෙකක් පෙන්වයි. උඩුකයින් ගිනි කඳ පවතින විට යටිකයින් දිය දහර පවතියි. වම් ඇසින් දිය දහර පිටවන විට දකුණු ඇසින් ගිනි කඳ පිටවෙයි."
බුදුරජාණන් වහන්සේට පමණක් ඇති අන් කිසිම සත්වයෙකුට නොමැති, අන්‍ය සියලු ශ්‍රාවකයන්ගේ ඤාණයන් හා සාධාරණ නොවූ ඤාණ හයක් ගැන ධර්මයෙහි සඳහන් වේ. ඒවා ෂඩ් අසාධාරණ ඤාණ නමින් හැඳින්වේ. බුදුරජාණන් වහන්සේට විනා අන් කිසිම කෙනෙකුට නොමැති මේ නුවණ සය, කිසිවෙකුට සාධාරණ නොවූ ඤාණ හයක් වූ බව වෑත්තෑවේ හිමියන් ද,

“කිසිවෙකු හටත් නැති
මුනිඳුට සනුවණෙක් ඇති
මෙලොව සැමටම ඇති
වාසනා ගුණ කිසිවෙකුත් නැති”

යැයි දක්වා ඇත. බුදුරජාණන් වහන්සේ තුළ ඇති ඤාණ ශක්තිය අනෙක් සියලුම ඤාණයන් පරදවා ජය ගැනීමට සමත් ය. උන්වහන්සේගේ නුවණ සංඛත අසංඛත සියලු ධර්මයන් විෂයෙහි විනිවිද ගෙන පැතිර පවතී. එබඳු ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ඤාණයන් ස්වල්ප වශයෙන් නමුත් සිහි කිරීම බෞද්ධ අප කාහට වුවද ප්‍රයෝජනවත් වේ. බුදුරජාණන් වහන්සේට පමණක් සාධාරණ වූ ඒ ඤාණ සය මෙසේ ය.

Sunday, January 15, 2017

හැකිළුණු සිත හඳුනා ගන්න


සමාධි යන වචනයේ අර්ථය සිත එක්තැන් කිරීම ලෙසද” සම්බොජ්ඣංග යන වචනයේ අර්ථය ,සතර මාර්ග“ ඥානයයි කියන ලද අංග වන ධර්ම හෙවත් සත්තිස් බෝ පැකි දම් ලෙසද, පාලි සිංහල ශබ්ද කෝෂයන්හි අර්ථ ගන්වා ඇත. ඒ අනුව සතර මාර්ගය (සෝවාන් සකදාගාමී, අනාගාමි, අරහත්) යන මාර්ග ඵල ලබා ගැනීමට සිත එක්තැන් කිරීම සමාධි සම්බොජ්ඣංගය ලෙස හඳුන්වා දිය හැකිය.

Wednesday, October 12, 2016

ධම්ම විචය සම්බොජ්ඣංගය

" බොජ්ඣංග ධර්මයන් අතර දෙවැන්න සේ සැලකෙන මෙහි අර්ථය දුක්ඛ, සමුදය, නිරෝධ මග්ග යන සිව්සස් පිළිබඳව කරුණු රැස් කිරීම. සෙවීම යනුවෙන් අටුවා විස්තර අනුව සලකා ගත හැකි ය. "
මනා අවබෝධයට හේතු වන අංග සහිත ධර්මය සෙවීම යන අරුතින් යුතුව ධම්ම විචය සම්බොජ්ඣංග යන වචනය නිපැයී ඇත. බොජ්ඣංග ධර්මයන් අතර දෙවැන්න සේ සැලකෙන මෙහි අර්ථය දුක්ඛ, සමුදය, නිරෝධ මග්ග යන සිව්සස් පිළිබඳව කරුණු රැස් කිරීම. සෙවීම යනුවෙන් අටුවා විස්තර අනුව සලකා ගත හැකි ය.
ධම්ම විචය යනු ප්‍රඥා චෛතසිකයෙකි. නාම රූප දෙකේ පවතින අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ස්වභාවය සොයා දැන වටහා ගැනීම ධම්ම විචය සම්බොජ්ඣංගයෙන් සිදුවන කාර්යයයි. කිං සච්ච ගවේසි ව ඇත්ත කුමක්දැයි සෙවීම, විමසා වටහා ගැනීම එමඟින් සිදුවෙයි. ආධ්‍යාත්මික සංස්කාරයන් පිළිබඳ ව පහළ වන ඤාණයක් ද, බාහිර සංස්කාරයන් පිළිබඳ ව පහළ වන ඤාණයක් ද ඇත. ඒ දෙයාකාර වූ සංස්කාරයන් විමැසීමෙන් උපදින ප්‍රඥාව ධම්ම විචය සම්බොජ්ඣංගයයි.

Friday, September 16, 2016

නිවන් මඟ හෙළි කරන සති සම්බොජ්ඣංගය

“සති” යන පාලි භාෂාමය වචනයේ අරුත “සිහිය” යන්නයි. එහි අරුත වැඩි දුරටත් විස්තර කරන ආචාර්යවරු “සරණං සති (සිහි කිරීම සතියයි) කියති. අරමුණක් ඇති සැටියෙන් සිහිපත් කිරීම සති නමින් සැලකෙන බව ඒ අර්ථ විග්‍රහයන්ගෙන් වැඩි දුරටත් කියැවෙයි
“සති” යන පාලි භාෂාමය වචනයේ අරුත “සිහිය” යන්නයි. එහි අරුත වැඩි දුරටත් විස්තර කරන ආචාර්යවරු “සරණං සති (සිහි කිරීම සතියයි) කියති. අරමුණක් ඇති සැටියෙන් සිහිපත් කිරීම සති නමින් සැලකෙන බව ඒ අර්ථ විග්‍රහයන්ගෙන් වැඩි දුරටත් කියැවෙයි. සතිය යනු කලින් කළ කී දෑ අමතක වන්නට නොදී ඒ වූ සැටියෙන් සිතේ එළඹ සිටීම ස්වභාව කොට ඇති චෛතසිකයෙකි. සති චෛතසිකය සති පට්ඨානය, සතින්ද්‍රීය, සතිබල, සම්මාසති යන තැන්වල දී යෙදී බොජ්ඣංග ගැන විස්තර කිරීමේ දී යොදා ඇත්තේ සති සම්බොජ්ඣංග යනුවෙනි

Saturday, September 10, 2016

බොජ්ඣංග ධර්ම හැදෑරීමට පෙරවදනක්

මෙම සූත්‍ර දේශනාවන්ගෙන් කියවෙන්නේ රෝගාතුර ව (ආබාධිතෝ) දුකට පත් ව (දුක්ඛිතො) දැඩිසේ ගිලන් ව (බාළ්හ ගිලානො) සිටින අවස්ථා තුනකදීම සත්ත බොජ්ඣංගය රෝගියාට සිහිපත් කර දීමෙන් සුවපත් වූ අවස්ථා තුනක් ගැනය. මෙහි රෝගීන් වශයෙන් මහරහත් නමක්, අගසව් නමක්, බුදුවරයෙක් මුණ ගැසෙති. ලොව ජීවත් වූ ඉහළම ගණයේ බුද්ධිමතුන් තිදෙන දැඩි රෝගී බවින් මිදුණේ සත්ත බොජ්ඣංගයන් නාමික වශයෙන් තවකෙනකු කියනු අසා සිටීමෙනි.

මහා කස්සප, මහා මොග්ගල්ලාන, මහාචුන්ද නමින් සූත්‍රාන්ත දේශනා තුනක් සිංහල බෞද්ධ සමාජයේ ව්‍යාප්ත ව පවතී. පිරුවානා පොතේ දෙවැනි බණවරෙහි බොජ්ඣංග පරිත්ත වශයෙන් දැක්වෙන එම සූත්‍රාන්ත දේශනා පිරිත් පොතට, එනම් චතුභාණවාර පාලියට උපුටා ගෙන ඇත්තේ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුත්තයේ ගිලාන වර්ගයෙනි.

Friday, July 1, 2016

මිහිඳු මාහිමියන් හෙළදිව පැවැත් වූ දෙවන දහම් දෙසුම


“මිනිස් අත්බව ලැබූ කෙනෙකුට පේතවත්ථුවල දැක්වෙන දුර්ගති මාර්ගයන්හි ගමන් නො කොට, විමානවත්ථුවල දැක්වෙන සුගති මාර්ගයන්හි ගමන් කරන්නේ නම් ඔහුට තමා ලද මිනිසත් බව වඩ වඩා සඵල කරගත හැකිය.” යන උදාර පණිවුඩය අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළ දෙවෙනි දවසේදීම ප්‍රකාශයට පත් කළ ආකාරය පේතවත්ථු, විමාන වත්ථු මාතෘකා කරගෙන රජ මැදුරේදී කළ ධර්ම දේශනය ආශ්‍රයෙන් සිතා ගත හැකිය.

Thursday, June 16, 2016

ධර්ම දේශනා ක්‍රමය ආරම්භ වීම හා නිවැරදි අර්ථ කථනය සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත්


පැරණි සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘතීන් බුත්සරණ, අමාවතුර, දහම්සරණ, සඟසරණ, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාකරය, ජාතක පොත් වහන්සේ ආදි ගද්‍ය කෘති වගේම සඳකිඳුරුදාවත, ලෝවැඩ සඟරාව, කාව්‍ය ශේඛරය , ගුත්තිලය, කුස ජාතකය ආදී පද්‍ය කෘති ද ලිය වී ඇත්තේ ධර්ම දේශනා සඳහාය. එසේම සන්න ගැට පද ආදී පත පොත ලියවී ඇත්තේ පාලි ත්‍රිපිටකයට අයත් බණපොත් හැදෑරීමට පහසු වනු පිණිසය. ඒ අනුව බැලීමේදී ධර්ම දේශකයකු වශයෙන් නිවැරදිව ධර්මය විස්තර කිරීමට නම් සිංහල පාලි, සංස්කෘත භාෂාවන් පිළිබඳවත් ඒ භාෂාවන්ගෙන් ලියැවුණු ග්‍රන්ථ ගැනත් පැතිරුණු දැනුමක් ධර්ම දේශකයන් වහන්සේ නමකට තිබීම අත්‍යවශ්‍ය බව පෙනී යයි.

Wednesday, January 6, 2016

බුදුරදුන් පෙන්වූ ධර්ම දේශනා මාර්ගය


ධර්මාශෝක අධිරාජයාගේ විදේශ ධර්ම ප්‍රචාරක වැඩ පිළිවෙළේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.පූ. තෙවන සියවසේ දී සිරිලකට ද බුදු දහමේ ආලෝකය ලැබිණි. ඒ සොඳුරු ආලෝකය රැගෙන පළමු වරට මෙරටට වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ය. එවකට සිරිලක රජ කළ දෙවන පෑතිස් රජුට මිහිඳු මාහිමියන් මුණ ගැසුණේ මිහින්තලේදී බවත්, ඒ පොසොන් පසළොස්වක දිනයක බවත් ඉතා ප්‍රසිද්ධ කරුණකි

Thursday, September 3, 2015

සදහම් දෙසුම කෙසේ කළ යුතු ද?



අවවාද, අනුශාසනා, ධර්ම දේශනා යන වචන සිංහල බෞද්ධයන් අතර නිතර කතා බහට ලක්වන, ගරු සැලකිලි ලබන සංස්කෘතික හා අධ්‍යාපනික අගයකින් යුතු අරුත්බර වචන තුනකි. අවවාද කරන්නවුන් බුදු දහමේ හඳුන්වන්නේ ‘නිග්ගය්හවාදි’ යන වචනයෙනි.

Wednesday, July 29, 2015

වස් විසීමයි-කඨින පූජාවයි


කරුණා සාගර වූ බුදුපියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සමයේදී, භික්ෂූන් වහන්සේට යම් යම් නීති රීති ශික්ෂා පද පැනවූයේ යම් යම් හේතු නිමිති ඉදිරිපත් වූ විටයි. මෙම වස් විසීම නියම කළේ ද මහජන උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙනුයි.
බුදුරජාණන් වහන්සේ පහළ වන යුගය වන විට දඹදිව සමාජයේ විවිධ ශ්‍රමණ, බ්‍රාහ්මණ, පැවිදි පිරිස විවිධ දර්ශන ජන සමාජයට පෙන්වා දෙමින් කටයුතු කළ ආකාරය ඉතා පැහැදිලිව, තත් කාලීන ඉතිහාසය හදාරන විට මැනවින් පෙනෙන්නට තිබේ. ඒ සමහර ඉගැන්වීම්වල තිබුණු යහපත් විරිත් බුදුරජාණන් වහන්සේත්, හොඳ යැයි අනුමත කොට භික්ෂූන් වහන්සේටත් එය විනය නීතියක් වශයෙන් අනුගමනය කරන්නට නියම කළ අවස්ථා කීපයක්ම ප්‍රාතිමෝක්ෂයේ දක්නට ලැබේ.
වස් විසීමට නියම කිරීමත් එවැනි අවස්ථාවකි. බුදු දහම පහළ වූ මුල් යුගයේ භික්ෂූන් වහන්සේට වස් කාලය එක් තැනක සිටීමට නියමයක් නොතිබුණු නිසා වර්ෂයේ සෑම දිනකම චාරිකාවේ හැසිරෙමින් උන්වහන්සේ මහජන සේවය සිදු කළහ. එහෙත් ජෛන වැනි ආගම්වල ශ්‍රමණයින්ට වස් කාලයේ එක් තැනකට වී සිටීමට නියමව තිබුණා. චාරිකාවේ යෑම තහනම් කර තිබුණා.
භික්ෂූන් වහන්සේ වස් කාලයේදීත් චාරිකාවේ වඩිනු දුටු මහජනතාව දොස් කියන්නට පටන් ගත්තා. “වැසි කාලයේ පොලවෙන් මතු වන සතුන් පවා පාගමින්, ලා තණ නිල්ල මඩිමින් මෙම ශ්‍රමණ භවත් ගොෟතමයන්ගේ ශ්‍රාවකයන් වූ භික්ෂූන් වහන්සේ පිඬු සිඟා වඩිනවා. චාරිකාවේ හැසිරෙනවා වැසි සමයේ කුරුල්ලන් පවා කූඩු සාදාගෙන සිටිනවා. එහෙත් මෙම භික්ෂු පිරිසට එවැනි ශික්ෂණයක් නැහැ” යනාදී කරුණු කියමින් භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කළා.
භික්ෂූන් වහන්සේට මහජනතාවගේ අප්‍රසාදය වැටහුණා. මෙම කාරණය බුදුරජාණන් වහන්සේට දැන්වූ පසු බුදුරජාණන් වහන්සේ කරුණු සලකා බලා වස් කාලයෙහි එක් තැන්ව සිටීමෙහි ප්‍රයෝජන මහා කරුණාවෙන් යුතුව දේශනා කළා.
“අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” යනුවෙන් මෙම ශික්ෂා පදය පනවමින් වැසි සමයේ වස් වසන්නට අනුදැන වදාළහ. එහෙත් ජෛන ආගමෙහි මෙන් තණකොළ පෑගීම ආදිය සලකා බලා නොවෙයි. අට මාසයක් ධර්ම චාරිකාවේ හැසිරෙන භික්ෂුන්ට වසර හාර මාසයෙහි එක් තැනක වැඩ විසීමෙන් අධ්‍යාත්මික විමුක්තිය සළසා ගැනීමටත්, තමන්ට ඇප උපස්ථාන කරන ගිහි පින්වතුන් ගේ ගුණධර්ම වර්ධනයටත් මෙම කාලය බෙහෙවින්ම උපයෝගී කර ගැනීමට හේතු වන නිසයි, වඩාත්ම මෙවැනි ශික්ෂා පදයක් පැනවීමට අදහස් කළේය.
වස් විසීමේ ශික්ෂා පදය පැනවූ පසු වස් විසිය යුත්තේ කවදා ද? වස් එළඹීමට දින කීයක් තිබේද? යන ගැටලු මතු වීම නිසා පෙරවස් එළඹීම, පසුවස් එළඹීම යැයි වස් විසීම් දෙකක් ඇති බවත්, ගිම්හාන ඍතුවේ අටවැනි පෝය වූ ඇසළ මස පුර පසළොස්වක දිනයේ පෝය කොට පෙර වස් විසිය යුතු බවටත්, වස්සාන ඍතුවේ දෙවන පෝය වූ නිකිණි මස පුර පසළොස්වක දිනයේ පෝය කොට අවපෑලවිය දිනයෙහි පසුවස් එළඹිය යුතු බවටත්, කරුණු පෙන්වා දුන් සේක.
මෙම දින දෙකෙන් එක් දිනකදී වස් නොවිසූ භික්ෂුවට “දුක්කටා පත්ති” නම් ඇවත සිදුවන බවද, ප්‍රඥප්තියකින් පැහැදිලි කර දුන්හ. වස් විසීම පිළිබඳ ස්ථාන, වස් විසූ ස්ථානයෙන් පිටත්ව යෑමට ඇති අවස්ථා එවැනි පිටතට ගිය විට ආපසු පැමිණිය යුතු දින ගණන් ආදිය පිළිබඳ විශේෂයෙන් වස් විසූ භික්ෂූන් වහන්සේ සිහියෙන් යුතුව කටයුතු කොට, වස්සාන ඍතුවේ හය වැනි පෝය දිනයෙහි පවාරණය නමැති විනය කර්මය සිදු කර ගැනීමෙන් කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් ලබති. පෙර වස් විසූ භික්ෂුවට මිස පසුවස් විසූ භික්ෂුවකට “කඨින” නමින් යුත් චීවරය ලැබීමට සුදුසුකම් නොලැබෙන්නේ ය.

කඨින පූජාව නියම කිරීමේ හේතු 

දෙපොට සිවුර, තනිපොට සිවුර, අඳන සිවුර යන නම් වලින් යුතු තුන් සිවුර අධිෂ්ඨාන කොට පරිභෝග කරන භික්ෂූන් වහන්සේට එම තුන්සිවුරෙන් වෙන්ව එක් රාත්‍රියක් හෝ ගත කිරීමෙන් ප්‍රාතිමෝක්ෂයෙහි සඳහන් නිස්සග්ගිය පාචිත්තිය නම් ඇවතකට පත්වීමට සිදුවේ. එබැවින් තුන් සිවුරු අධිෂ්ඨාන කොට සිවුරු පරිහරණය කරන භික්ෂූන් වහන්සේ තමන් යන සෑම තැනකටම මේ තුන් සිවුරු රැගෙන ගියහ. එය භික්ෂූන් වහන්සේට තරමක කරදරයක් බවට පත්වී තිබුණු බව පෙනේ.
වරක් බුදුරජාණන්වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි කොසොල් රට පාවානුවර තෙචීවරික වූ ආරණ්‍යවාසී තිස් නමක් වූ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දකිනු කැමැතිව සැවැත්නුවරට යෑමට පිටත් වුවත් සැවැත් නුවර ආසන්න වන විට වස් කාලය එළැඹි නිසා උන්වහන්සේ සාකේත නුවර වස් විසූහ. වස් වැස පවාරණය නිම වූ විගසම බුදුරජාණන් වහන්සේ දැකගැනීමේ බලවත් ආශාව නිසා තවත් වැසි වැටෙද්දීම සැවැත් නුවර බලා පිටත් වූහ. එහෙත් තුන් මාසයක් පැවැති මහ වැස නිසා මාර්ග අබලන්ව තිබිණ. තවමත් මඳ වැසි ද පවතින නිසා මෙම භික්ෂු පිරිස මඩ තැවරුණු දියබේරෙන සිවුරු වලින් යුක්තවයි, ඉතා අපහසුවෙන් ජේතවනාරාමයට ළඟාවූයේ. තමන් බැහැදැකීමට පැමිණි මෙම භික්ෂු පිරිස පත්වී ඇති කරදරය මැනවින් දුටු බුදු පියාණන් වහන්සේ තවත් අතිරේක සිවුරක් තිබුණේ නම් මඩ තැවුරුණු සිවුර සෝදා ගන්නට හැකියාව ලැබෙන බවත්, යම් කාලයකට හෝ තුන් සිවුරෙන් වෙන්ව සිටීමේ ආනිශංස ආදියත් සලකා “අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං කඨින අත්ථරිතුං” යනුවෙන් වස් වසා නිමකොට පැවරූ භික්ෂුවට කඨිනයක් ඇතිරීමට අනුදැන වදාළහ.

කඨින පූජාවේ ආනිසංස

වෙනත් පූජාවන්හිදී පූජාව කරන ලද දායක පක්ෂයට ලැබෙන විශේෂ ආනිශංස ආදිය ඉහළින් දක්වා තිබේ. කඨින පූජාවේ වැදගත්කම නම් පූජාව කරන දායක පිරිසට මෙන්ම ලබන්නා වූ භික්ෂූන් වහන්සේටද, විනය ශික්ෂා පද පහකින් ආරක්ෂා විය හැකි ආනිශංස ලබාගැනීමට හැකිවීමයි.

පඤ්චානිසංස සහිතං
පංච දෝස විවජ්ජිතං
හන්ති වජ්ජංති සංඝස්ස
තස්මා කඨිනමුත්තමං

යයි දැක්වෙන පරිදි දෝෂ පහක් බැහැර කොට පංච ආනිශංස ලබාදීමට සමත්වන නිසා කඨින උතුම් යැයි සඳහන් වේ.
භික්ෂූන් වහන්සේට ප්‍රාතිමෝක්ෂයෙහි පැනවූ ශික්ෂාපද උල්ලංඝනය කිරීමට විනයෙන් ඉඩක් නැත. එහෙත් කඨිනයක් ලැබූ භික්ෂුවකට කඨිනය ලැබූ දිනයෙහි සිට මැදින් පුර පොහොය දක්වා (පස් මාසයක්) බුද්ධාඥාව පරිදි ලැබෙන ආනිශංස පහ නිසා යම් යම් ශික්ෂා පද වලින් තාවකාලිකව නිදහස් වීමක් දක්වා ඇත.
එම ආනිසංසනම්,
1. අනාමන්තචාරය
2. අසමාදානචාරය
3. ගණ භෝජනය
4. යාවදත්ථ චීවරය
5. යොචතත්ථ චිවරුප්පාදය යනුවෙනි.

අනාමන්තචාරය

ප්‍රාතිමෝක්ෂයේ ආචේලක වග්ගයේ සයවෙනි ශික්ෂාපදයෙන් නිදහස්වීමේ ආනිශංසයි. මේ ශික්ෂාපදයේ හැටියට විහාරයෙහි වාසය කරන භික්ෂුවකගෙන් නොවිමසා කුල ගෙවල්වල හැසිරීමෙන් ආපත්තියක් සිදුවේ. එහෙත් කඨිනය ඇතිරූ භික්ෂුවට ආරාමයෙහි භික්ෂු නමකට නොදන්වා කුලගෙවල්වල හැසිරීමෙන් වන ඇවතින් නිදහස් වීමට හැකිය. උපනන්ද භික්ෂුව ආරාමයෙහි තවත් භික්ෂූන් සිටියදී තමන් පමණක් කුලගෙවල්වලට ගොස් තනිවම දන් වළඳා එන සිරිත නිසයි, මේ ශික්ෂාපදය පනවා තිබුණේ.
කඨිනානිශංසයක් හැටියට එය ලිහිල් කළේ සිවුරු පූජා කරන කාලයෙහි භික්ෂූන් ගමට නොයෑම නිසා සිවුරු හිඟ විය. එය දැනගත් බුදුරජාණන් වහන්සේ සිවුරු පූජා කරන කාලයෙහි ආරාමයෙහි භික්ෂුවකට නොදන්වා හෝ කුල ගෙවල්වල හැසිරීමෙන් වන ඇවතින් මිදිය හැකි බව අනාමන්තචාර යන ආනිශංසය දැක්වීමෙන් පැහැදිලි කර දුන්හ.

අසමාදානචාර

ප්‍රාතිමොක්ෂයෙහි නිසඟි පචිතිවල දෙවන ශික්ෂා පදයෙන් අධිෂ්ඨාන කරගෙන සිටින තුන් සිවුරෙන් වෙන්ව රාත්‍රී ඉක්මවීමෙන් ආපත්තියක් සිදුවන බව දක්වා තිබේ. එහෙත් කඨිනයක් ලැබූ භික්ෂුවට ඇවැත්
සිදු නොවීමේ වරප්‍රසාදය ලැබී තිබේ. එයද එක් කඨිනානිසංසයකි.
භික්ෂූන් වහන්සේට නොයෙක් තැනින් ලැබුණු සිවුරු තැන්තැන්වල දමා තිබීම ආදිය සලකා මුලින් මේ ශික්ෂාපදය පනවා තිබූ අතර කඨිනය ලැබූ කාලය තුළ මේ ශික්ෂාපදයෙන් නිදහසක් ලැබීමට අවස්ථාව සලසා දී තිබේ.

ගණ භෝජනය

ප්‍රාතිමෝක්ෂයේ භෝජන වග්ගයේ දෙවන ශික්ෂාපදය මේ ගණ භෝජනය යි. එයින් නිදහස් වන අවස්ථා ලෙස ගිලන් සමය ආදී අවස්ථා කීපයක්ද දක්වා ඇත. ගණ භෝජනය ලෙස දැක්වෙන්නේ කිසියම් පුද්ගලයෙක් පැමිණ භික්ෂූවකට පූජාකරන අදහසකට වඩා හිතමිත්‍ර භාවයෙන් කෙරෙන සංග්‍රහයක් වශයෙන් අපගේ ගෙදරට එන්න. ආහාර වේලක් ගන්න යනුවෙන් කරන ඉල්ලීමකදී සතර නමක් හෝ වැඩි පිරිසක් එහි ගොස් වැළඳීම හෝ අපට කෑම වේලක් දෙන්න තමන් කියවා සූදානම් කරගෙන එසේ වැළඳීමෙන් සිදුවන ඇවතයි.
එහෙත් කඨිනය අතුල භික්ෂුවට කඨිනානිශංස කාලය තුළ මේ ඇවතින් නිදහස් බව ලැබී තිබේ.

යාවදත්‍ථචීවර

නිසභි පචිතිවල පළමුවන ශික්ෂාපදයෙන් දස දිනකට වඩා අතිරේක සිවුරක් අධිෂ්ඨානාදිය නොකොට තබා ගැනීමෙන් ඇවතක් සිදුවන බව දක්වා තිබේ. එහෙත් කඨිනයක් ලැබූ භික්ෂුවකට කඨිනානිසංස කාලය තුළ ආරාමයට ලැබෙන සිවුරු යම්තාක් ද ඒවා තබා ගැනීමේ වරප්‍රසාදය ලැබී තිබේ. එය යාවදත්ථ චීවර යන ආනිශංසය ලෙස දැක්වේ.

යෝචතත්‍ථ චිවරුප්පාදය

කඨිනය අතුල භික්ෂුවකට එම සීමාව තුළ මතක වස්ත්‍ර වශයෙන් හෝ සැදැහැවතුන් විසින් සඟ සතු කොට පිදීමෙන් හෝ එම ඉඩමේ උපදනා දෙයින් හෝ අන් ආකාරයකින් හෝ සඟ සතු සිවුරු හා පූජා භාණ්ඩ ලැබුණහොත් කඨිනානිංස කාලය තුළ දී කඨිනය අතුල භික්ෂුන්ට හිමිවේ. මෙය කඨිනය අතුල භික්ෂුන්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් ලෙස සැලකේ.
මෙසේ කඨිනය ලැබූ භික්ෂුවට කඨින බලය බලපැවැත්වෙන පස් මාසය තුල වරප්‍රසාද පසක් ලැබීමේ ආනිසංස ලැබේ.
කඨින දායකයාට ලැබෙන ආනිසංස

අට මහ කුසල් බෞද්ධයන් අතර ඉතා ප්‍රසිද්ධය.
එහි මුල තැන ලැබෙන්නේ කඨිනයටයි. බුද්ධ ශාසනයේ උසස්ම ආනිසංස ගෙන දෙන මහ කුසල් අට හැටියට දක්වා තිබෙන්නේ
කඨිනට්ඨ පරික්ඛාරං- වාසදානංච උත්තමං
බුද්ධ පමුඛ සංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානං ච බුද්ධස්ස - පටිමා කරණං පිච
කරණං වච්චකුටියා - අට්ඨ පුඤ්ඤානි චූච්වරේ (කඨින විනිශ්චය)

ඉහත ගාථාවේ සඳහන් වන පරිදි 1. කඨින දානය, 2. අට පිරිකර පූජාව, 3. ආවාස සාදා පූජා කිරීම, 4. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන්දීම , 5. ධර්මය ලිවීම, 6. කෙත්වතු පිදීම, 7. බුද්ධ ප්‍රතිමා කරවීම, 8. වැසිකිළි කැසිකිළි සෑදීම යන පූජාය.
පුරාණ ආචාර්යවරයන් වහන්සේ පැහැදිලි කර ඇති පරිදි මෙම අට මහ කුසල අතුරින්ද, ප්‍රමුඛස්ථානයෙහිලා සලකා ඇත්තේ කඨින පූජාවයි. පංචානන්තරිය පාප කර්මය කරගෙන නොමැත්තේ නම්, ඊළඟ භවය ඒකාන්තයෙන්ම සුගතිගාමී වීමට මෙම කඨින දාන මහා පින්කමේ ආනිසංස හේතු වන්නේය. කඨින දානය එසේ ඉදිරියෙන් සිටීමට හේතුව ලෙස සැලකෙන්නේ ස්ථිරසාර නොසෙල්වෙන අකම්ප්‍ය වූ ආනිශංස ලබාදෙන බැවින්යැයි දේශනාවන්හි සඳහන් වේ. කඨින දායකයෝ චුල්ලසෝතාපන්නයන් ලෙස සලකති. සෝවාන් නොවූවත්, සෝවාන් වූවෙකු ලෙස සලකා මෙම නම භාවිතා කළ බව පෙනේ. ඔහු කළ්‍යාණ පෘථග්ජනයකු ලෙස සලකා තිබේ. ඔහුගේ් ගතිය, උපදින තැන ස්ථිරය. කාමසුගති ප්‍රතිසන්ධියක් බව ස්ථිර වශයෙන් දක්වා ඇත.
වසරකට එක් තැනකදී එක්වරක් පමණක් පිදිය හැකි පූජාවක් ලෙස කඨින පූජාව පිළිබඳ සඳහන් වේ. එසේ පූජා කිරීමටත් උපසම්පදා භික්ෂුවක් ඇසළ පෝය දිනට පසු දිනයේ පෙරවස් සමාදන්ව වස් කඩා නොගෙන වස් තුන් මාසය ගතකොට වප් පුර පසළොස්වක දිනයෙහි පවාරණ නම් විනය කර්මය සිදු කරගෙන කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් සපුරා තිබිය යුතුය. එවැනි ස්ථානයකදී වුවද වසරකට එක්වරක්, කරගත හැකි මෙම පින්කම වුවත් කරගන්නට ලැබෙන්නේ මාසයක් ඇතුළත දිනකදී (වප් පුර පසළොස්වක දිනට පසු දින සිට ඉල්පුර පෝය දක්වා) පමණක් ය.
වර්ෂයේ සෑම කාලයකම, සෑම දිනකම, සෑම තැනකදීම කර ගැනීමට හැකි පින්කමක් නොවේ. එම නිසාත් කඨින දානය දුර්ලභ පින්කමකි.
කඨින දානය පිළිබඳ ඉතා ප්‍රකට ආනිශංස විස්තරය ඇතුළත්වන්නේ නාහිත ථෙරාපදානයේ ය. එහි සඳහන් වන්නේ කඨිනයේ උසස් බව දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ඒහි භික්ෂූ උපසම්පදාවෙන් පැවිද්ද ලැබූ සිවු පිළිසිඹියාවෙන් රහත් වූ පන්සියයක් රහතන් වහන්සේ පිරිවරා අනෝතත්ත විල් තෙරට වැඩමවා විශේෂ පින්කමක් සිදුකළ භික්ෂූ නමක් සිටීනම් ඉදිරිපත් වන ලෙස දැක්වූ අවස්ථාවේදී නාහිත මහා රහතන් වහන්සේ ඉදිරිපත්ව තමන් කළ කඨින දානයේ ආනිශංස ප්‍රකාශ කළ ආකාරයයි. තමන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි බන්දුමතී නම් නුවර උසස් ප්‍රභූවරයකු ලෙස උපත ලබා විවිධ පින්කම් සිදුකරමින් සිටින අතර, බුදුපාමොක් මහ සඟනට ආරාධනා කොට වස් වසවා වස් තුන් මාසයෙහි උපස්ථාන කර කඨිනයක් පූජා කොට තමන්ට මෙම කඨින දානමය පින්කම ආශ්‍රවක්ෂය ඥාණය පිණිස හේතුවේවා යැයි ප්‍රාර්ථනා කළ බවයි. නිවන කුළුගන්වමින් කරගත් එම පින්කම නිසා එදා පටන් කිසිම අවස්ථාවක දුගතියක නූපන් බවත් මනුෂ්‍ය දිව්‍ය ආත්මවලම පමණක් උපත ලද බවත් ය.
මෙම කරුණු විස්තර වශයෙන් එහි සඳහන් කර ඇත.


යාවතා සබ්බ පරික්ඛාරේ - සංඝස්ස සතතං දදෙ
එකස්ස කඨින දානස්ස - කලංනාග්ඝති සොළසිං
ගිරිරාජ සමං රාසිං - සංඝෙදෙති තිචීචරං
එකස්ස කඨින දානස්ස - කලංනාග්ඝති සොළසිං

(30 - 31 නාගිතාපදානය)

භික්ෂූ සංඝයාට නිතර පූජා කරන සියලු පරිෂ්කාරයන්ට වඩා එක් කඨින දානයකින් ලැබෙන ආනිශංස ඉතා විශාල බවත්, මහාමේරු පර්වතය තෙක් උසට තුන්සිවුරු ගොඩගසා සංඝයාට පූජා කළත් ඊට වඩා ආනිශංසයක් කඨින පූජාවෙන් ලැබෙන බවත් මෙම ගාථාවලින් දේශනා කර ඇත.

 ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති
මකුලෑවේ විමල හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2008 ක් වූ ඔක්තෝබර් මස 07 වන අගහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

Friday, June 5, 2015

වස් විසීම-කඨින පූජාව හා කඨින ආනිශංස



කරුණා සාගර වූ බුදු පියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සමයේ දී, භික්‍ෂූන් වහන්සේට යම් යම් නීති රීති ශික්‍ෂා පද පැනවූයේ, යම් යම් හේතු නිමිති ඉදිරිපත් වූ විට යි. මෙම වස් විසීම නියම කළේ ද මහජන උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙනුයි.

බුදුරජාණන් වහන්සේ පහළ වන යුගය වන විට දඹදිව සමාජයේ විවිධ ශ්‍රමණ, බ්‍රාහ්මණ, පැවිදි පිරිස් විවිධ දර්ශන ජන සමාජයට පෙන්වා දෙමින් කටයුතු කළ ආකාරය ඉතා පැහැදිලිව, තත්කාලීනව ඉතිහාසය හදාරන විට මැනවින් පෙනෙන්නට තිබේ. ඒ සමහර ඉගැන්වීම් වල තිබුණු යහපත් සිරිත් විරිත් බුදුරජාණන් වහන්සේ හොඳ යැයි අනුමත කොට, භික්‍ෂූන් වහන්සේටත් එය විනය නීතියක් වශයෙන් අනුගමනය කරන්නට නියම කළ අවස්ථා කීපයක්ම, ප්‍රාතිමෝක්‍ෂයේ දක්නට ලැබේ.


වස් විසීමට නියම කිරීමත් එවැනි අවස්ථාවකි. බුදු දහම පහළ වූ මුල් යුගයේ භික්‍ෂූන් වහන්සේට වස් කාලය එක් තැනක සිටීමට නියමයක් නොතිබුණු නිසා වර්ෂයේ සෑම දිනකම චාරිකාවේ හැසිරෙමින් උන්වහන්සේ මහජන සේවය සිදු කළහ. එහෙත් ජෛන වැනි ආගම්වල ශ්‍රමණයින්ට වස් කාලයේ එක් තැනකට වී සිටීමට නියමව තිබිණි. චාරිකාවේ යෑම තහනම් කර තිබිණි.
භික්‍ෂූන් වහන්සේ වස් කාලයේදීත් චාරිකාවේ වඩිනු දුටු මහජනතාව දොස් කියන්නට පටන් ගත්හ. වැසි කාලයේ පොළවෙන් මතු වන සතුන් පවා පාගමින්, ලා තණ නිල්ල මඩිමින් මෙම ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් වූ භික්‍ෂූන් වහන්සේ පිඬු සිඟා වඩිනවා. චාරිකාවේ හැසිරෙනවා, වැසි සමයෙහි කුරුල්ලන් පවා කූඩු සාදාගෙන සිටිනවා, එහෙත් මෙම භික්‍ෂූන් පිරිසට එවැනි ශික්‍ෂණයක් නැහැ. යනාදී කරුණු කියමින් භික්‍ෂූන් වහන්සේ අප්‍රසාදයට පත් කළා.
භික්‍ෂූන් වහන්සේට මහජනතාවගේ අප්‍රසාදය වැටහුණා. මෙම කාරණය බුදුරජාණන් වහන්සේට දැන් වූ පසු බුදුරජාණන් වහන්සේ කරුණු සළකා බලා වස් කාලයෙහි එක් තැන්ව සිටීමෙහි ප්‍රයෝජන මහා කරුණාවෙන් යුතුව දේශනා කළා.
“අනුජානාමි භික්‍ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” යනුවෙන් මෙම ශික්‍ෂා පදය පනවමින් වැසි සමයේ වස් වසන්නට අනු දැන වදාළහ. එහෙත් ජෛන ආගමෙහි මෙන් තණකොළ පෑගීම ආදිය සළකා බලා නොවෙයි. අට මාසයක් ධර්ම චාරිකාවේ හැසිරෙන භික්‍ෂූන්ට වස් හාර මාසයෙහි එක් තැනක වැඩ විසීමෙන් අධ්‍යාත්මික විමුක්තිය සලසා ගැනීමටත් තමන්ට ඇප උපස්ථාන කරන ගිහි පින්වතුන්ගේ ගුණ ධර්ම වර්ධනයට සහාය වීමටත් මෙම කාලය බෙහෙවින් උපයෝගී කර ගැනීමට හැකි වන නිසයි. මෙවැනි ශික්‍ෂා පදයක් පැනවීමට වඩාත්ම අදහස් කළේ.
වස් විසීමේ ශික්‍ෂා පදය පැන වූ පසු වස් විසිය යුතු කවදාද? වස් එළඹීමට දින කීයක් තිබේ ද? යන ගැටලු මතු වීම නිසා පෙර වස් එළඹීම, පසු වස් එළඹීම යැයි වස් විසීම් දෙකක් ඇති බවත්, ගිම්හාන සෘතුවේ අටවැනි පෝය වූ ඇසළ මස පුර පසළොස්වක දිනයේ පෝය කොට පෙර වස් විසිය යුතු බවටත්, වස්සාන සෘතුවේ දෙවන පෝය වූ නිකිණි මස පුර පසළොස්වක දිනයේ පෝය කොට අවපෑළවිය දිනයෙහි පසු වස් එළඹිය යුතු බවටත්, කරුණු පෙන්වා දුන් සේක.
මෙම දින දෙකෙන් එක් දිනක දී වස් නොවිසූ භික්‍ෂුවට “දුක්කටා පත්ති” නම් ඇවත සිදුවන බව ද, ප්‍රඥප්තියකින් පැහැදිලි කර දුන්හ. වස් විසීම පිළිබඳ ස්ථාන, වස් විසූ ස්ථානයෙන් පිටත්ව යෑමට ඇති අවස්ථා, එසේ පිටතට ගිය විට ආපසු පැමිණිය යුතු දින ගණන ආදිය පිළිබඳ විශේෂයෙන් වස් විසූ භික්‍ෂුව සිහියෙන් යුතුව වස් තුන් මස කටයුතු කොට වස් පවාරණයෙන් පසු ‘කඨින’ නමින් යුත් චීවරය ලැබීමට සුදුසුකම් ලබන්නේ ය.
කඨින පූජාව නියම කිරීමේ හේතු
දෙපොට සිවුර, තනිපොට සිවුර, අඳීන සිවුර යන නම් වලින් යුතු තුන් සිවුර අධිෂ්ඨාන කොට පරිභෝග කරන භික්‍ෂූන් වහන්සේලාට එම තුන් සිවුරෙන් වෙන්ව එක් රාත්‍රියක් හෝ ගත කිරීමෙන් ප්‍රාතිමෝක්ෂයෙහි සඳහන් නිස්සග්ගිය පාචිත්තිය නම් ඇවතකට පත්වීමට සිදුවේ. එබැවින් තුන් සිවුරු අධිෂ්ඨාන කොට සිවුරු පරිහරණය කරන භික්‍ෂූන් වහන්සේ තමන් යන සෑම තැනකටම මේ තුන් සිවුරු රැගෙන ගියහ. එය භික්‍ෂූන් වහන්සේට තරමක කරදරයක් බවට පත් වී තිබුණු බව පෙනේ.
වරක් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි කොසොල් රට පාවානුවර තෙචීවරික වූ ආරණ්‍යවාසී තිස් නමක් වූ භික්‍ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දකිනු කැමැතිව සැවැත් නුවරට යෑමට පිටත් වූවත් සැවැත් නුවර ආසන්න වන විට වස් කාලය එළඹි නිසා උන්වහන්සේ සාකේත නුවර වස් විසූහ.
වස් වැස පවාරණය නිම වූ විගසම බුදුරජාණන් වහන්සේ දැක ගැනීමේ බලවත් ආශාව නිසා තවත් වැසි වැටෙද්දීම සැවැත් නුවර බලා පිටත් වූහ. එහෙත් තුන් මාසයක් පැවැති මහ වැසි නිසා මාර්ග අබලන්ව තිබිණි. තවමත් මඳ වැසි ද පවතින නිසා මෙම භික්‍ෂු පිරිස මඩ තැවරුණු, දිය බේරෙන සිවුරු වලින් යුක්තවයි, ඉතා අපහසුවෙන් ජේතවනාරාමයට ළඟා වූයේ. තමන් බැහැදැකීමට පැමිණි මෙම භික්‍ෂු පිරිස පත්වී ඇති කරදරය මැනවින් දුටු බුදුපියාණන් වහන්සේ, තවත් අතිරේක සිවුරක් තිබුණේ නම් මඩ තැවරුණු සිවුර සෝදා ගන්නට හැකියාව ලැබෙන බවත්, යම් කාලයකට හෝ තුන් සිවුරෙන් වෙන්ව සිටීමේ ආනිසංස ආදියත් සලකා “අනුජානාමි භික්‍ඛවේ වස්සං වුත්ථානං භික්‍ඛුනං කඨිනං අත්‍ථරිතුං” යනුවෙන් වස් වසා නිම කොට පැවරූ භික්‍ෂුවට, කඨිනයක් ඇතිකිරීමට අනුදැන වදාළහ.

කඨින දායකයාට ලැබෙන ආනිශංස

අට මහ කුසල් බෞද්ධයන් අතර, ඉතා ප්‍රසිද්ධ ය.
එහි මුල් තැන ලැබෙන්නේ කඨිනයට යි. බුද්ධ ශාසනයේ උසස්ම ආනිශංස ගෙන දෙන මහ කුසල් අට හැටියට දක්වා තිබෙන්නේ.

කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධ පමුඛ සංඝස්ස
දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානං ච බුද්ධස්ස
පටිමා කාරණං පිච
කරණං වච්චකුටියා
අට්ඨ පුඤ්ඤාති චුච්චරේ (කඨින විනිශ්චය)


ඉහත ගාථාවේ සඳහන් වන පරිදි අට මහ කුසල් වන්නේ, 1. කඨින දානය, 2. අටපිරිකර පූජාව, 3. ආවාස සාදා පූජා කිරීම, 4. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීම, 5. ධර්මය ලිවීම, 6. කෙත්වතු පිදීම, 7. බුද්ධ ප්‍රතිමා කරවීම, 8. වැසිකිලි කැසිකිළි සෑදීම යන පූජාවන් ය. පුරාණ ආචාර්යවරයන් වහන්සේ පැහැදිලි කර ඇති පරිදි මෙම අට මහ කුසල අතරින් ද, ප්‍රමුඛස්ථානයෙහිලා සලකා ඇත්තේ කඨින පූජාව යි.
පංචානන්තරිය පාප කර්මය කරගෙන නැති නම්, ඊළඟ භවය ඒකාන්තයෙන්ම සුගතිගාමී වීමට මෙම කඨින දාන මහා පින්කමේ ආනිසංස හේතු වන්නේ ය. කඨින දානය එසේ ඉදිරියෙන් සිටීමට හේතුව ලෙස සැලකෙන්නේ ස්ථිරසාර නොසෙල්වෙන අකම්ප්‍ය වූ ආනිශංස ලබාදෙන බැවින් යැයි දේශනාවන්හි සඳහන් වේ. කඨින දායකයෝ චුල්ලසෝතාපන්නයන් ලෙස සලකති. සෝවාන් නොවූවත්, සෝවාන් වූවකු ලෙස සලකා මෙම නම භාවිතා කළ බව පෙනේ. ඔහු කළ්‍යාණ පෘථග්ජනයකු ලෙස සලකා තිබේ. ඔහුගේ ගතිය, උපදින තැන ස්ථිර ය. කාම සුගති ප්‍රතිසන්ධියක් බව ස්ථිර වශයෙන් දක්වා ඇත.
වසරකට එක් තැනකදී එක් වරක් පමණක් පිදිය හැකි පූජාවක් ලෙස කඨින පූජාව පිළිබඳ සඳහන් වේ. එසේ පූජා කිරීමටත් උපසම්පදා භික්‍ෂුවක් ඇසළ පෝය දිනට පසු දිනයේ පෙර වස් සමාදන්ව වස් කඩා නොගෙන වස් තුන් මාසය ගතකොට වප් පුර පසළොස්වක දිනයෙහි පවාරණ නම් විනය කර්මය සිදු කරගෙන කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් සපුරා තිබිය යුතු ය. එවැනි ස්ථානයකදී වූව ද වසරකට එක් වරක්, කර ගත හැකි මෙම පින්කම වූවත් කරගන්නට ලැබෙන්නේ මාසයක් ඇතුළත දිනකදී (වප් පුර පසළොස්වක දිනට පසු දින සිට ඉල් පුර පෝය දක්වා) පමණක් ය. වර්ෂයේ සෑම කාලයකම, සෑම දිනකම, සෑම තැනකදීම ම කර ගැනීමට හැකි පින්කමක් නොවේ. එම නිසාද කඨින දානය දුර්ලභ පින්කමකි.
කඨින දානය පිළිබඳ ඉතා ප්‍රකට ආනිසංස විස්තරය ඇතුළත් වන්නේ නාගිත ථෙරාපදානයේ ය. එහි සඳහන් වන්නේ කඨිනයේ උසස් බව දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් එහි භික්‍ෂු උපසම්පදාවෙන් පැවිද්ද ලැබූ සිවු පිළිසිඹියාවෙන් රහත් වූ පන්සියයක් රහතන් වහන්සේ පිරිවරා අනෝතත්ත විල් තෙරට වැඩමවා විශේෂ පින්කමක් සිදු කළ භික්‍ෂු නමක් සිටිනම් ඉදිරිපත් වන ලෙස දැක්වූ අවස්ථාවේදී නාහිත මහා රහතන් වහන්සේ ඉදිරිපත්ව තමන් කළ කඨින දානයේ ආනිසංස ප්‍රකාශ කළ ආකාරයයි.
නාගිත රහතන් වහන්සේ තමන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි බන්දුමතී නම් නුවර උසස් ප්‍රභූවරයකු ලෙස උපත ලබා විවිධ පින්කම් සිදුකරමින් සිටින අතර, බුදුපාමොක් මහ සඟනට ආරාධනා කොට වස් වසවා වස් තුන් මාසයෙහි උපස්ථාන කර කඨිනයක් පූජාකොට තමන්ට මෙම කඨින දානමය පින්කම ආශ්‍රවක්‍ෂය ඤාණය පිණිස හේතුවේවා යැයි ප්‍රාර්ථනා කළ බවප්‍රකාශ කළහ. නිවන ප්‍රාර්ථනා කරමින් කරගත් එම පින්කම නිසා, එදා පටන් කිසි අවස්ථාවක දුගතියක නූපන් බවත්, මනුෂ්‍ය හා දිව්‍ය ආත්මවලම පමණක් උන් වහන්සේ උපත ලද බවත් එහි දි සදහන් විය. මෙම කරුණු විස්තර වශයෙන් එහි සඳහන් කර ඇත.

යාවතා සබ්බ පරික්ඛාරේ
සංඝස්ස සතතං දදෙ
එකස්ස කඨින දානස්ස
කලංනාග්ඝති සොළසිං
ගිරිරාජ සමං රාසිං
සංඝෙදෙති තිචීචරං
එකස්ස කඨින දානස්ස
කලංනාග්ඝති සොළසිං
(30 – 31 නාගිතාපදානය)


භික්‍ෂු සංඝයාට නිතර පූජා කරන සියලු පරිෂ්කාරයන්ට වඩා එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස ඉතා විශාල බවත්, මහාමේරු පර්වතය තෙක් උසට තුන් සිවුරු ගොඩගසා සංඝයාට පූජා කළත් ඊට වඩා ආනිශංසයක් කඨින පූජාවෙන් ලැබෙන බවත් මෙම ගාථාවලින් දේශනා කර ඇත.

 මීරිගම, මිණිඔලුව,
විද්‍යාවාස පරිවේණාධ්‍යක්‍ෂ
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය පරියත්ති ලේඛකාධිකාරී,
ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති මකුලෑවේ විමල හිමි


 2009/09/12 දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි