මහජනයාගේ අවමනට නින්දාවට දෝෂාරෝපණයට පත් භික්‍ෂූන් වහන්සේ මෙම කරුණු බුදුරජාණන් වහන්සේට දැන්වූහ. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව කරුණු විමසා බලා භික්‍ෂූන් වහන්සේට වර්ෂා කාලය තුළ එක්තැන්ව වාසය කරන ලෙස “අනුජානාමි භික්ඛාවෙ වස්සං උපගන්තුං” යනුවෙන් අනුදැන වදාළහ.
වස් විසීම හෙවත් වස් එළඹීම යනු උපසපන් භික්‍ෂූන් වහන්සේ විසින් කළ යුතු වැදගත් විනය කර්මයකි. උපසපන් භික්‍ෂුවක් වස් සිටුවා ගැනීම සඳහා ගිහි ජනතාව ද වැඩි උනන්දුවක් දක්වති.මෙම ඇසළ පුන් පොහෝ දින උදාවත් සමඟ එළඹෙන්නේ වස්කාලයයි. වස් එළඹීමට පෙර උපසපන් භික්‍ෂූන් වහන්සේ ඇසළ පුන් පොහෝ දින උපෝෂථ කර්ම සිදුකොට ආත්ම පාරිශුද්ධිය ඇති කර ගත යුතු ය. වස් විසීම මෙන්ම ඒ හා බැඳි විනය නීති ඇතුළත් වන්නේ විනය පිටකාන්තර්ගත මහාවග්ග පාලියෙහි වස්සූපනායිකඛන්ධකයෙහි ය. එම පෙළ දහමෙහි ඇතුළත් අයුරින් ඒ පිළිබඳ විමසා බැලීම මෙහි අරමුණයි.
එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. මේ වන විට භික්‍ෂූන් වහන්සේ උදෙසා වස්විසීම පිළිබඳ ශික්‍ෂා පද පනවා නොතිබූ හෙයින් උන්වහන්සේ හේමන්ත කාලයෙහි ද ගිම්හාන කාලයෙහිද වස්සාන (වර්ෂා) කාලයෙහිද චාරිකාවෙහි හැසිරෙති.
වර්ෂා කාලයෙහි මෙසේ භික්‍ෂූන් වහන්සේ චාරිකාවේ හැසිරීමෙන් අලුතින් හටගත් තෘණ ජාති හා කුඩා ජීවීන් විනාශ වන්නට විය. අන්‍ය තීර්ථකපරිබ්‍රාජකයන් වර්ෂා කාය තුළ එක්තැන්ව විසීම එකල සිරිත විය. තෘණ වර්ග ඒක ජීවීන් ලෙසත් සත්වයන් ද්වි ජීවි ලෙසත් ඔවුහු සැලකූහ. භික්‍ෂූන් වහන්සේගේ මෙම චර්යාව ගැන කළ කිරුණු මහජනයා උන්වහන්සේට අවමන් කරන්නට නින්දා කරන්නට දොස් නගන්නට වූහ.
“කෙසේ නම් ශ්‍රමණ ශක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ පාගමින් ඒකීන්ද්‍රිය ජීවීන් පෙළමින් කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් ද? අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ වැරැදි සේ කියූ දහම් ඇති වූවත් වර්ෂා කාලයෙහි ආහාර පිණිස උත්සාහ නොකර එකතැන්ව හිදිත්.
කුරුල්ලෝ ද ගස් මුදුන් වල කූඩු සාදාගෙන එම කූඩුවල වර්ෂා කාලයෙහි ගොදුරු පිණිස උත්සාහ නොකොට වසත්. මෙසේ වූ කල කෙසේ නම් ශ්‍රමණ ශක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ පාගමින් ඒකීන්ද්‍රිය ජීවීන් පෙළමින් කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් ද?” යනුවෙන් මහජනයා උන්වහන්සේට අවමන් කරන්නට නින්දා කරන්නට දොස් නගන්නට වූහ.
මෙසේ මහජනයාගේ අවමනට නින්දාවට දෝෂාරෝපණයට පත් භික්‍ෂූන් වහන්සේ මෙම කරුණු බුදුරජාණන් වහන්සේට දැන්වූහ. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව කරුණු විමසා බලා භික්‍ෂූන් වහන්සේට වර්ෂා කාලය තුළ එක්තැන්ව වාසය කරන ලෙස “අනුජානාමි භික්ඛාවෙ වස්සං උපගන්තුං” යනුවෙන් අනුදැන වදාළහ. එවිට භික්‍ෂූන් වහන්සේ කවදා වස් එළඹිය යුතු දැයි විමසූහ. එවිට බුදුරජාණන් වහන්සේ වර්ෂා කාලයෙහි වස් එළඹිය යුතු යැයි “අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන් අනුදැන වදාළහ. නැවතත් භික්‍ෂූන් වහන්සේ වස් එළඹීම කෙතෙක් දැයි විමසූහ. එවිට බුදුරජාණන් වහන්සේ වස් එළඹීම් දෙකක් ඇති බව මෙසේ වදාළහ.
වස් එළඹීම් දෙක
“ද්වේමා භික්ඛවේ වස්සූපනායිකා පුරිමිකා පච්ඡිමිකා අපරජ්ජුතාය ආසාළ්හියා පුරිමිකා උපගන්තබ්බා මාසගතාය ආස්ළ්හියා පච්ඡිමිකා උපගන්තබ්බා”1. පෙරවස් එළඹීම – ඇසළ පුන්පොහෝ දිනයට පසුදින (අව පැළවිය) පෙරවස් සමාදන් වීම කළ යුතු ය.
2. පසු වස් එළඹීම – ඇසළ පුන්පොහෝ දිනයේ සිට මසක් ඉක්ම ගිය කල්හි එනම් නිකිණි පොහෝ දිනට පසු දින පසු වස් සමාදන් වීම කළ යුතු ය.
ජබ්බග්ගිය භික්‍ෂූන්ගේ නොමනා ක්‍රියා
බුදුරජාණන් වහන්සේ විසින් වස්කාලයෙහි වස් විසීම අනුදැන වදාළ තිබියදීත් ජබ්බග්ගිය භික්‍ෂූහු වර්ෂා කාලයෙහි චාරිකාවේ යෙදෙන්නට වූහ. මෙය දුටු මහජනයා පෙරසේම භික්‍ෂූන් වහන්සේට අවමන් කරන්නට, නින්දා කරන්නට, දොස් නගන්නට වූහ. මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ ජබ්බග්ගිය භික්‍ෂූන්ගේ මෙම නොමනා ක්‍රියාව පිළිබඳ අවවාද කොට, දැහැමි කතා පවත්වා වස් කාලය තුළ චාරිකාවෙහි නොයෙදෙන ලෙසටත් එසේ යමෙක් යෙදෙන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් (දුක්කටාපත්ති – කුඩා වරදක්) සිදුවන බවත් දේශනා කොට “න භික්ඛවෙ වස්සං උපගන්ත්වා පුරිමං වා තෙමාසං පච්ඡිමං වා තෙමාසං අවසිත්වා චාරිකා පක්කමිතබ්බා යො පක්කමෙය්‍ය සො ආපත්ති දුක්කටස්ස” යනුවෙන් ශික්‍ෂා පදයක් පැනවූහ.මෙය අසතුටු වූ ජබ්බග්ගිය භික්‍ෂූන් වර්ෂා කාලයෙහි වස් නොවැස සිටියහ. මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ නැවතත් ජබ්බග්ගිය භික්‍ෂූන්ට අවවාද කොට දැහැමි කතා පවත්වා යම් උපසපන් භික්‍ෂුවක් වස් කාලය තුළ වස් නොවැස සිටී නම් ඔහුට දුකුළා ඇවතක් සිදුවන බව දේශනා කොට “න භික්ඛවෙ වස්සං න උපනගන්තබ්බං යො න උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනුවෙන් ශික්‍ෂා පදයක් ද පැනවූහ.
රජුන්ට අනුව ක්‍රියා කිරීම
එක් කලෙක බිම්බිසාර රජුට වස් එළඹීම මුලට ගන්නට (පසොළොස්වක තිථියට) අවශ්‍ය විය. ඒ බව දූතයෙකු මගින් භික්‍ෂූන්ට දැනුම් දුන්හ. මේ බව භික්‍ෂූන් වහන්සේ බුදුරදුන්ට දැන්වීමෙන් අනතුරුව එය රජුට අනුව සකස් කර ගන්නා ලෙස දේශනා කොට, “අනුජානාමි භික්ඛවෙ රාජූනං අනුවත්තුන්ති” යනුවෙන් විනය නීතියක් ද පැනවීය.සත්තාහකරණය පැනවීම
එක් කලෙක බුදුරජාණන් වහන්සේ, අනේපිඬු මහ සිටුහු විසින් කරන ලද ජේතවන මහා විහාරයෙහි වාසය කරති. මේ සමයෙහි කොසොල් ජනපදයේ විසූ උදේන නම් උපාසකයෙක් මහා සංඝයා උදෙසා විශාල ධනයක් වියදම් කොට මහා විහාරයක් කරවීය. මෙය පිළිගැනීමට මහා සංඝයාට වඩින ලෙස පවසා දූතයෙකු යැවී ය. එය වස්කාලය වූ බැවින් බුදුරදුන් වස් කාලයෙහි චාරිකා නොකරන ලෙසට ශික්‍ෂා පද පනවා ඇති හෙයින්, භික්‍ෂූහු එම ආරාධනාව ප්‍රතික්‍ෂේප කළහ. මෙයින් කළ කිරුණු උදේන උපාසකයා මා වැනි සංඝෝපස්ථායකුගේ ආරාධනාව ප්‍රතික්‍ෂේප කිරීම නොහොඹිනේ යැයි පවසමින් භික්‍ෂූන්ට අවමන් කරන්නට නින්දා කරන්නට දොස් නගන්නට වූහ.මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ වස් එළඹි භික්‍ෂුවක් වස්කාලය තුළ සත්දෙනෙකුගේ ආරාධනා වලට වැඩිය හැකි බවත්, එසේ ආරාධනා නොලැබ නොයාහැකි බවත්, ඒ කටයුත්ත නිමවීමෙන් පසුව දින හතක් තුළ තමා වස් එළඹි ස්ථානයට වැඩිය යුතු බවත් දේශනා කොට විනය නීතියක් ද පැනවූහ.
“ අනුජානාමි භික්ඛවෙ සත්තන්නං සත්තාහරණීයෙන පහිතෙ ගන්තුං නත්වෙව අප්පහිතෙ භික්ඛුස්ස භික්ඛුණියා සික්ඛමානාය සාමණෙරස්ස සාමණෙරියා උපාසකස්ස උපාසිකාය අනුජානාමි භික්ඛවෙ ඉමේසං සත්තන්නං සත්තාහරණීයෙන පහිතෙ ගන්තුං නත්වෙව අප්පහිතෙ සත්තාහං සන්නිවන්තො කාතබ්බෝ”
සත්තාහකරණයෙන් යා හැක්කේ මේ පුද්ගලයන් උදෙසා පමණි.
1. භික්ඛුස්ස - භික්ෂුවක උදෙසා
2. භික්‍ඛුණියා - භික්‍ෂුණියක උදෙසා
3. සික්ඛාමානාය – හික්මෙන්නියක් උදෙසා (පැවිදි වීම සඳහා අවශ්‍ය කටයුතු සපුරන තැනැත්තිය)
4. සාමණෙරස්ස - සාමණෙරයෙකු උදෙසා (උපසම්පදා නොවූ හෙරණ භික්‍ෂුව)
5. සාමණෙරියා - සාමණෙරයෙක උදෙසා (උපසම්පදා නොවූ හෙරණ භික්‍ෂුණිය)
6. උපාසකස්ස - උපාසකයකු උදෙසා
7. උපාසිකාය – උපාසිකාවක උදෙසා
මහනුවර, මාරතුගොඩ, විදුමිණ විද්‍යායතන පිරිවෙනෙහි ආචාර්ය, ගෞරව ශාස්ත්‍රවේදී,
රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ ජුලි මස 25 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment