ජාතක කතා පොත් වහන්සේ තුළ එන නවසාර ජාතක කතාවත්, සාලිය ජාතක කතාවත් එක ළඟ හමුවන සමාන කතා දෙකකි. ඇත්තේ සුළු අසමානකමකි. එක් වෙද මහතෙක් වෙදකම් කරන්නට රෝගීන් සොයා යයි. බොහෝ දුර ඇවිදගෙන ගිය ද එකම රෝගියකු හෝ හමු නොවෙයි. අතරමඟ තැනෙක ළමයින් පිරිසක් සෙල්ලම් කරමින් සිටින සැටි වෙද මහතා දකියි. ඒ අසළ නුග ගසකි. එහි බෙනයක සර්පයෙකි. වෙද මහතා ඒ දකියි. උපායක් සිහිවෙය “දරුවනේ..... අර බලන්න. අර ගස් බෙනයේ සැළලිහිණියෙක් ඉන්නවා. ගිහින් අල්ලා ගන්න.”
වෙද මහතා සිතුවේ සැළලිහිණියා ගන්නට ගස් බෙනයට අත දමනවිට නිසැකව ම සර්පයා දෂ්ට කරන බව ය. එවිට රෝගියාට ප්‍රතිකාර කොට මුදලක් සොයා ගත හැකි වන බව ය. සිදුවූයේ නො සිතූවකි. ගස් බෙනයට අත දැමූ ළමයාට ඒ සැළලිහිණියෙක් නොව සර්පයෙක් බව දැනුණි. බෙල්ලෙන් අල්ලා සැණින් සර්පයා එළියට වීසි කළේ ය. අවාසනාවට සර්පයා වැටුණේ වෙද මහතාගේ සිරුර මතට ය. කෝප වූ සර්පයා ඔහුට දෂ්ට කළේ ය. වෙද මහතා විෂ නැගී මරණයට පත් විය. මේ සාලිය ජාතකයේ එන කතා පුවතේ සාරාංශය යි.

