Labels

Sunday, June 28, 2015

අකුසල කර්ම දෙන විපාක






 

අපායේ බොහෝම කාලයක් දුක් විඳල ඉන් පසුව පේ‍්‍රත අපායේ උප්පත්තිය ලැබුවත් මුහුණ පේ‍්‍රතයකුගේ වගෙයි. කේලාම් කියමින් අනෙකුත් අය රවටපු නිසාම කට ඌරකුගේ වගේ වූ නිසයි සූකර පේ‍්‍රතයා කියලා කිව්වේ. ඔහු තමන්ගේ සිතින් තමන්ගෙ කටින් තමන්ගේ මනසින් කරන ලද අකුසල කර්මවල විපාක විඳිනවා

සුරාපානයෙන් බොහෝ කරදර පැමිණේ


මානව සමාජයේ යහපත උදෙසාත් පී‍්‍රතියෙන් හා බියක් සැකක් නොමැතිව ජීවත්වීම උදෙසාත් දේශනා කළ පංචශීල ප්‍රතිපදාවට අයත් සුරාමේරයෙන් වැළකීමේ සික පදය ආරක්ෂා කිරීමට සෑම කෙනෙකුම ඇප කැප විය යුතුය


මත්ද්‍රව්‍ය වශයෙන් රා, අරක්කු, ආදි පාන වර්ග බීමද, දුම් වර්ග බීමද, කෑම වර්ග කෑමද යන සියල්ල මත් වන දේවල් වශයෙන් ගැනීමට පුළුවන. සුරාපානය යන වචනය තුළ ඒ සියල්ල අන්තර්ගත වන අතර එතුළින් මනුෂ්‍යයාගේ ප්‍රකෘති ස්වභාවය නැතිකොට විකෘති ස්වභාවයකට පත් කිරීමට එම දේවල් තුළට හැකියාවක් ඇත. බුද්ධ දේශනාව අනුව ගත් කළ සුරාපානය යන වචනය තුළ මත්ද්‍රව්‍ය යන වචනය සම්බන්ධ කොට ඇත. එනිසාම පංච ශීලය තුළ පස්වන සික පදය වන්නේද එයයි. “සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි” (මම ප්‍රමාදයට හේතුවන මත්ද්‍රව්‍යවලින් වැළකීමේ සික පදය සමාදන් වෙමි)


යනුවෙන් බෞද්ධයාගේ නිත්‍ය ශීලය තුළ සුරාපානයෙන් වැළකීමේ ස්වභාවය නොහොත් සමාජ යහපත උදෙසා චර්යාමය වෙනසක් ඒ තුළ අවශ්‍ය බව අන්තර්ගත කොට ඇත.
සුරාපානයේ සමාරම්භය පිළිබඳ සොයා බැලීමේදී ජාතක පොත් වහන්සේ තුළ ඇතුළත් 504 වෙනි” කුම්භ ජාතකය” ඉතා වැදගත් වේ. ඒ තුළින් පැහැදිලි වන්නේ බරණැස් නුවර බ්‍රහ්ම දත්ත රජ සමයේ එක්තරා “සුර” නම් වූ වැද්දෙක් ගස් දෙබලක රැඳී තිබුණු පල්වතුර බී එයින් මත්ව එහි සිටි” වර්ණ” නම් තපස් කෙනෙකුටද ඒවා පානය කරන්නට දීමත් ඉන් පසු එම තාපසයාද ඒවා පානය කොට මත්වීමේ කතා පුවතකි.
එයින් පසු ඔවුන් දෙදෙනා එම පල් වූ වතුර භාජනවල දමාගෙන නගරයටද ගෙන ගොස් බොහෝ දෙනාට ඒවා අලෙවි කොට මුදල් ලබා ගත්හ. එරට රජුද එය දැන සුරාව පානය කොට විසාල සැලිවල එම වැද්දාට කියා සුරාව සැකසූ අතර පසුව රට පුරා සුරාව පැතිර ගියේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ බරණැස, සාකේත, සැවැත්නුවර රට වැසියෝ හැමකෙනෙකුම සුරා පානය කොට අන් සියලු කටයුතු අතපසු කොට මුළු මහත් රටේම අන්ත දිළිඳු බවට පත් කර ගැනීමය.
මෙම කතා පුවතින් සුරාව පිළිබඳ අතීතයට නෙත් යොමු කිරීමට පුළුවන් කමක් ඇත. සුරාපානය යනු මත් වන ද්‍රව්‍යයක් බව අමුතුවෙන් කිවයුතු නැත. සුරාපානය තුළින් සත්වයාට වන හානිය බුදුරදුන් සිඟාලෝවාද සූත්‍රය තුළින් දේශනා කොට ඇත. එහි සුරා පානය නොහොත් මත්ද්‍රව්‍ය භාවිතය තුළින් වන විනාශය දක්වා ඇත. එනම්

1.මේ ආත්මභාවයෙහිදීම ධනය විනාශ වීම
2.කෝලාහල ඇතිවීම
3.රෝග පීඩාවන්ට ගොදුරු වීම
4.අපකීර්තිය ඇතිවීම
5.ලජ්ජා නැතිව හැසිරීම
6.නුවණ දුර්වල වීම

පරාභව සූත්‍රය තුළ දැක්වෙන ගාථා අතර 16 වෙනි ගාථාව වන්නේ.

ඉත්ථිධුත්තෝ සුරාධුත්තෝ
අක්ඛධුත්තෝච යෝ නරෝ
ලද්ධං ලද්ධං විනාසේතී
තං පරාභවතෝ මුඛං 

 
යම් මිනිසෙක් ස්ත්‍රීන් කෙරෙහි ලොල් වේද, සුරාවෙහි ලොල් වේද, දූ කෙළියෙහි ලොල් වේද, ලද ලද දෙය වනසයිද එය පිරිහීමට කාරණය වේ යනුවෙනි.
සුරාව යනු කෙනෙකුගේ මුළු ජීවිතයම විනාශ කර ඔහු ප්‍රපාතයට ඇද දමන විෂබීජයකි. ඉතිහාසය ගත් කළ අපේ රටේ මිනිසුන් පංචශීල ප්‍රතිපත්ති ඔස්සේ ජීවිතය පවත්වාගෙන ගිය අයුරු ඉතා පැහැදිලිය. නමුදු විදෙස් සංක්‍රමණත් සමඟ ඔවුන්ගේ ආභාෂය මත අපේ රටේ බෞද්ධයින් පවා මෙවැනි අධාර්මික පිළිවෙත්වලට යොමු වූ ආකාරය කීමට පුළුවන. වර්තමාන සමාජය තුළ මංගල්‍ය, අවමංගල්‍ය,පොදු සමාජ උත්සව, සමිති සමාගම් ආදි බොහෝ තැනකම මත්ද්‍රව්‍ය අත්‍යවශ්‍යම කාරණය වී ඇත. සමහර අවස්ථාවලදී දරුවන් ඉදිරියේදි මාපියන් මත්ද්‍රව්‍ය භාවිතා කරති. දුවගෙ පුතාගෙ උපන්දින සාද පවත්වන්නේද මත්ද්‍රව්‍යයන් සමඟය.
එනිසා බුදු හිමි දේශනා කළ කරුණු කාරණාවන් සමඟ සැසඳිමේදී මත්ද්‍රව්‍ය පුද්ගලයාගේ මෙලොව පරලොව යන දෙඅංශයටම ඍජුවම බලපාන කාරණයකි. තමන්ටත් අනුන්ටත් විපත් කැඳවන්නකි. විකෘති වූ මනසකට නොකළ හැකි දෙයක් නොමැත. ලෝකය සමාජය දෙස බැලීමෙන් පැහැදිලි වන්නේ බොහෝ දූෂණ, භීෂණ, අපරාධ සිදු වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයත් සමඟය.

උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති
දීනා සාදා ව්‍යසන රෝග පරායනා ච
ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා
පීත්වා හලාහලවිසං ව සුරා විපඤ්ඤා 

 
නුවණ නැත්තා වූ පුද්ගලයෝ හලාහල විෂයක් බඳු වූ සුරාව පානය කොට අනාගතයෙහි උම්මත්තකයෝ වන්නාහ. ලජ්ජා ගුණය නැත්තේ වන්නාහ. දිළින්දෝ වන්නාහ. “සෑම කල්හි නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ යනු එහි තේරුමයි.
ඉන් පැහැදිලි වන්නේ සුරා පානය කිරීම තුළින් මෙලොවදීම සත්වයා පිරිහෙන ආකාරයයි. එය තමන්ට අයහපත පිණිසම පවතී. එපමණකුදු නොව අන්‍යයන්ගේ විපත පිණිසද හේතුවේ. සුරාපානය තුළින් මරණයෙන් පසු වුවද දුක් විඳීමට සිදුවන අයුරු දේශනා කොට ඇත. ඒ අනුව “සුරාමේර පානං භික්ඛවේ හෝති තිරච්ඡාන යොනි සංවත්තනිකං හෝති” පෙත්ති විසය සංවවත්තනිකං හෝති යො සම්බලහුසො” සුරාමේරය පානස්ස විපාකො මනුස්ස භූතස්ස උම්මත්තක සංවත්තනිකා හෝති”
මහණෙනි සේවනය කරන ලද්දා වූ වඩනා ලද්දා වූ බොහෝ කොට කරන ලද්දා වූ සුරාමේරය පානය නරකයෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. තිරිසන් යෝනියෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. පේ‍්‍රත විෂයෙහි ඉපදීම පිණිස පවත්නේය.
සුරාමේරය පානය කිරීමේ ඉතාම අල්ප විපාකයාගේ වශයෙන් මිනිස් ලොව උපන්නහුට උමතු බව ඇති කරන්නේ වේ.
මේ ආදි වශයෙන් බුදුරදුන් සුරාපානයෙහි විපාක මෙලොව වශයෙනුත් පරලොව වශයෙනුත් ලැබෙන අයුරු දේශනා කොට ඇත. සුරාපානය මදයටත් මදය අකුසලයටත් අකුසලය අපායෝත්පත්තියටත් හේතු වන බැවින් එයින් වැළකීම ඉතා ප්‍රයෝජනවත් වේ. සුරාපානය නොකිරීමෙන් බොහෝ අකුසල් දුරුකර ගැනීමේ ශක්තිය ඇත. සුරාපානය කළාට පසු සිතින් කයින් වචනෙන් සිදුවන අකුසලත් සමඟ එය අපායෝත්පත්තියට හේතුවක් බව වටහා ගත යුතුය.
වෛද්‍ය විද්‍යාවට අනුව වුවද සුරාපානය නිසා ඇතිවන බොහෝ රෝගාබාධ හඳුනාගෙන ඇත. ඒ අනුව සිතුවද ඉන් වැළකීමට අපහසු නැත. ඒ අනුව සුරාපානය එතරම් සුබ දෙයක් නොවේ. විනෝදයට හෝ සිතේ දුකට හෝ ප්‍රශ්න ගැටලු නිරාකරණය කර ගන්නා අදහසින් හෝ සුරාපානය කළද එහි විපාක ඉතා බරපතළය.
මානව සමාජයේ යහපත උදෙසාත් පී‍්‍රතියෙන් හා බියක් සැකක් නොමැතිව ජීවත්වීම උදෙසාත් දේශනා කළ පංචශීල ප්‍රතිපදාවට අයත් සුරාමේරයෙන් වැළකීමේ සික පදය ආරක්ෂා කිරීමට සෑම කෙනෙකුම ඇප කැප විය යුතුය.
සෑම ආගමක් තුළින්ම ඒ පිළිබඳ අඩු වැඩි වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇත්තේ මිනිසාගේ යහපත උදෙසාය. ඉහත කරුණු පිළිබඳ සිතා ඉන් වැළකීම හා අන්‍යයා ඉන් වළක්වා ගැනීමට සෑම පියවරක්ම ගත යුතුය. ඒ තුළින් රටක සමාජයක ජීවත් වන්නන්ට සමගියෙන් සහජීවනයෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගෙනවාට කිසිදු සැකයක් නැත.

කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනෙහි ආචාර්ය
මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
ගලගෙදර රතනවංශ හිමි






 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ අධි ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජුනි 24 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Saturday, June 27, 2015

මරණාසන්න මොහොතේ පහළවන දර්ශන

 






බුදුරජාණන් වහන්සේ තම දහම වැළඳගන්නා ලෙස කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ ශාස්තෘවරයන් වහන්සේ නමකි. තම දහම පරික්‍ෂාකර බලා ගැළපේ නම් පමණක් එය අනුගමනය කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කොට වදාළහ 
 

තමන් අදහනු ලබන ආගම ධර්මය කුමක් වුවද මරණාසන්න අවස්ථාවේදී දර්ශනය වන නිමිති පහක් පිළිබඳව බුදුදහමේ කරුණු සඳහන් වේ.

මරණයට පත්වීමට ආසන්නව සිටින අයෙකුට දර්ශනය වන මෙම පංච නිමිති පිළිබඳව පරීක්‍ෂාකර බලා විමර්ශනයක් සිදුකළ විට මෙම නිමිතිවල ඇති සත්‍ය අසත්‍ය බව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පේ‍්‍රතවත්තු , විමානවත්තු වැනි සූත්‍ර දේශනා කරනු ලැබුවේ මනුෂ්‍යයන් අතින් සිදුවන අකුසල කර්ම වළක්වා කුසල කර්ම රැස් කිරීමටත් එමගින් මනුෂ්‍යයාගේ මෙලොව හා පරලොව සුබ සිද්ධිය සලසාදීම සඳහාත්ය.
බුදුරජාණන් වහන්සේ තම දහම වැළඳගන්නා ලෙස කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ ශාස්තෘවරයන් වහන්සේ නමකි. තම දහම පරික්‍ෂාකර බලා ගැළපේ නම් පමණක් එය අනුගමනය කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කොට වදාළහ. මේ බව කාලාම සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් ඒවා වේ. බුදුරදුන් ලෝකත්‍රයම ඇති සැටියෙන්ම
දේශනා කොට වදාළ හෙයින් ලෝකවිදු නමින්ද හඳුන්වති. එවැනි ධර්මයක් පිළිබඳව සැක සංකා නොමැතිව මරණාසන්න අවස්ථාවේ දර්ශනය වන පංච නිමිති පිළිබඳව විමර්ශනශීලිව සොයා බලා සත්‍ය අවබෝධ කර ගත හැකිවේ.
අග්නි ජාලාවක් දර්ශනය වීම – කාලයාත්‍රා කරන අවස්ථාවේ ගින්දර ගොඩක් පෙනේ යැයි සඳහන් කරන්නවුන් මෙන්ම ඒ බව නොපවසා දනවා දනවා යැයි කියමින් කෑ මොර දෙන අයද සිටිති. තවත් අය කිසිවක් නොපවසා අභිනයන් මගින් ඉරියව් පළ කරති. තවත් අය ගින්නක් ඇවිලෙන විට කටින් පිඹ එය නිවා දැමීමට හුලං පිඹිති. තවත් සමහරුන් ජලය සොයති.
අන්ධකාරය දර්ශනය වීම “මට මොකක්වත් පේන්නේ නැහැ. ලාම්පුව පත්තු කරන්න. ලයිට් දමන්න .හරි කළුවරයි. මොකක්වත් පේන්නේ නැහැ. ඉටිපන්දමක් වත් ගේන්න” යනුවෙන් මරණාසන්න මොහොතේ ප්‍රකාශ කරන අය සිටිති. එළියක් රැගෙන එන ලෙස පවසමින් කෑ මොර දෙන අය සිටිති. ඇස් පොඩි කරමින් ඇස් පිලි ගසන අය සිටිති.
වන සතුන් හා වනාන්තර දර්ශනය වීම “හරක් එනවො” ඔන්න අලි එනවෝ මා බේර ගන්න” යනුවෙන් සතුන් ගේ නම් කියමින් කෑමොර දෙන්නවුන් මෙන්ම එසේ නොකියා සතුන් එළවන අභිනයන් පළ කරන්නෝද සිටිති. තවත් සමහරුන් නොයෙක් සතුන් කෑ ගසන හඬට සමාන හඬවල් පිට කරමින් මිය යති. කැලයේ විස්තර ප්‍රකාශ කරන්නෝද සිටිති. තවත් අය කැලයේ ඇවිදින අය මෙන් විපරම් කරමින් වටපිට බලති.
මිය ගිය ඥාතින් හෝ මනුෂ්‍යයන් දර්ශනය වීම
කාලයාත්‍රා කරණ මොහොතේ තම මියගිය නෑ දැ හිතවතුන් දර්ශනය වන්නවුන් මෙන්ම ජීවතුන් අතර සිටින අයගේ නම ප්‍රකාශ කරමින් කතා කරන අය, එම අයගේ තොරතුරු පවසන්නවුන් මරණින් මතු මනුෂ්‍ය භවයේම උත්පත්තිය ලබන්නෝය.
දෙවිදේවතාවුන් හා දිව්‍ය විමාන දර්ශනය වීම
මිය යන විට ප්‍රසන්න මුහුණින් සමන්විතව මල් සුවඳ හා මල් ගැන කතා කරන, සිනහවන මෙන්ම දුක්මුසු බියකරු හැඟීම් කිසිවක් පළ නොකරන අය වෙති. තවද අහස දෙස බලා සිටිමින් උඩ හිඳින දෙවි දේවතාවුන් ගැන කරුණු සඳහන් කරන්නෝද සිටිති. ඔවුන් දිව්‍ය විමාන, දිව්‍ය සම්පත්, දිව්‍ය රථ ගැන කරුණු දක්වයි. සුදත්ත සිටුතුමා, දුටුගැමුණු රජතුමා වැනි අයට මෙවැනි දර්ශන පෙනුන බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. වර්තමානයේද මෙවැනි දර්ශන පෙනෙන අය සිටිති.
කාල යාත්‍රා කිරීමට ආසන්නව සිටින අයට බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කරවා පිරිත් දේශනා කිරීම, ධර්ම දේශනා කරවීම, පිං පොත කියවීම ආදි සිරිත් බෞද්ධයන් තුළ එදා සිට මේ දක්වාම පවතියි. ශාසන ඉතිහාසයේ සඳහන් ධම්මික උපාසක චරිතයෙන් දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන අයට දිව්‍ය සැප සම්පත් ලැබෙන බව බුදුරදුන් භික්‍ෂුන් වහන්සේලාට දේශනා කොට ඇත. හදිසි අනතුරුවලින් ක්ෂණයෙන් මරණයට පත්වන අය තුළ ඉහත පංච නිමිති දර්ශනය වේදැයි ප්‍රශ්නයක් පැන නගී. එහෙත් මේකී දර්ශනයක් පහළවීමට චිත්තක්ෂණයක් පමණක්ම ප්‍රමාණවත් වේ. විශුද්ධි මාර්ගයෙහි පෙන්වා දී ඇති පරිදි ජීවියෙකුගේ පරම ජීවිත කාලය ඉතා කෙටි මොහොතක් වන අතර එය එක් සිතිවිල්ලක් පවතින තෙක් පමණක්ම වේ. රථ රෝදයක් කැරකෙන විට රෝදය ඒ මොහොතක් පොළොව හා බද්ධ වී පවතින්නේ එක ස්ථානයකින් පමණක් වන්නාසේම ජීවියාගේ පැවැත්ම පවතින්නේද එක් සිතිවිල්ලක් පවතින තරම් සුළු මොහොතක් බවද පෙන්වා දෙයි. ඊට අදාළව, යම් සිතිවිල්ලක් සත්වයාගේ සිත තුළ පහළ වීද ඒ සඳහා වූ ගති ස්වභාවයක් පවතී. ඒ ගති ස්වභාවය දේව ගතියක් විය හැකිය. මනුෂ්‍ය, පේ‍්‍රත හෝ තිරිසන් ගතියක් විය හැක. දුගති ගතියක් විය හැක.

එම ගති නිමිති ස්වභාවය අනුව පංච නිමිති දර්ශනය පහළවීම, චිත්තනියාමය ලෙස සඳහන් කළ හැකිය. බුදුරජාණන් වහන්සේගේ මඟ ගමන් කරන්න වුන් වශයෙන් තම තමන්ගේ චිත්තසන්තානයන්, තුළ නිරන්තරයෙන් මනුෂ්‍ය ගතිගුණ හා දේවගති ගුණ පවත්වාගෙන යෑමට සිහි බුද්ධියෙන් හා නුවණින් කටයුතු කිරීමට පුරුදු පුහුණූ වීමට හැකියාවක් ඇත්තේ නම් මරණාසන්න අවස්ථාවේ සුගතිගාමී නිමිති දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ සඳහා ඔබ අප සියලු දෙනාටම ශක්තිය හා වාසනාව ලැබේවා!

  ස්වර්ණකලාප්‍රදීප, දර්ශනපති
උඩුගම,
මෝහාන් නන්දන නානායක්කාර



 ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ වෙසක් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ මැයි 20 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

ලොව දුලබ කරුණ





ලොව කෙතරම් බුදුවරුන් පහළ වුවද එම බුදුවරුන්ගේ දහම් ඇසීමට තරම් නැණවත් සර්ව සම්පූර්ණ මිනිසත් බවක් නොලැබුවොත් අර්ථයක් සිදුනොවන්නේමය. ශ්‍රද්ධාවෙන්, වීර්යයෙන් , සමාධියෙන්, ප්‍රඥාවෙන් මෙලොව ධාර්මික ජීවනය, භවාන්තරයෙහි දේවමානුෂික සම්පත් මෙන්ම සංසාරික ජාති,ජරා, ව්‍යාධි, මරණ , ශෝක පරිදේවාදි අප්‍රමාණ දුක්වේදනා, සමනය කිරීම සහ උතුම් නිවනින් සැනසීමට හේතු වෙයි .

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ




පින්වත්නි,


සිරිසුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර මහරි වෘක්‍ෂයක් මුල වැඩ සිටින සමයෙක ඒරකපත්ත නාරජු අරබයා මෙම ගාථාධර්මය දේශනා කළ සේක. මෙකී ඒරක පත්ත නාගරාජයා පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි උසස් මිනිසත් බවක් ලැබ එම බුදු සසුනෙහි දිවි ඇතිතෙක් මහණ දම් පුරා එහෙත් උතුම් මිනිස් දම් නොලබාම යළි පාප කර්මයක ප්‍රතිවිපාක වශයෙන් සසරගතව තිරිසන් ආත්මයක් ලැබූවෙකි.
එදවස කිසියම් කාරණයකට ගඟකින් එතර වීම සඳහා අගුලකට නගිද්දී ඒරුගසක අත්තක් අල්ලා ගන්නා ලදින් එයින් කොලයක් කැඩී ගඟට වැටින, උපසපන් භික්‍ෂුවක් ගස්වැල් සිඳ බිඳ දැමීම ආපත්ති දෝෂයක් බැවින් ආයති සංවරය සඳහා ඇවැත්දෙසිය යුතුවේ. එහෙත් මෙම භික්‍ෂුව එසේ ඇවැත් නොදෙසීමෙන් එම අරමුණ පිළිබඳව චිත්තසන්තානයේ කැළඹීමක් ඇතිවී මරණාසන්න චිත්ත වීථියට සංයුක්තව මරණින් පසු ඔරුවක් පමණ විශාල නාගරාජයෙක්ව උපන්නේය. අප බුදුරදුන් බරණැස මහරිරුකමුල වැඩ සිටින බව දැන එතැනට පැමිණ සිරිපා වැඳ අඬන්නට විය. කාශ්‍යප බුද්ධ කාලයෙන් පසු මිනිසත් බවක් නොලැබීමත්, බණ ඇසීමක් හෝ බුදුරජාණන් වහන්සේ නමක් දැක පිනක් කිරීමට නොහැකි වීමත් නිසා ශෝකය ඉවසුම් නැතිව ඇඬෙන බව බුදුරදුන්ට ප්‍රකාශ කළේය. නාගරාජයාගේ මෙම ශෝචනීය ස්වභාවය නිමිත්තෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයේ දුර්ලභ කරුණු හතරක් දේශනා කර වදාළ සේක.

පින්වත්නි ,
විශ්වයේ අපමණ ලෝකවල අසංඛ්‍ය සංඛ්‍යාත සත්වයන් සිටින නමුත් මෙම සක්වල මිනිස්ලොව මිනිස් බව ලබන සත්වයන් ඉතාම ස්වල්ප වන අතර මිනිසත් බව ලබා ගැනීමද ඉතා දුෂ්කර වේ. සිතිවිලි අනුව භවය පවත්නා බව සත්ව විශ්ලේෂණයේදී ප්‍රකට වන පරම සත්‍ය ධර්මතාවයකි. විද්‍යාව හා ආගම යන විෂය දෙකම සත්වයාගේ පැවැත්මට අදාළ වන අතර මිනිසාගේ හා සෙසු ජීවින්ගේ උපත හා පැවැත්ම සත්ධර්ම හා අසත්ධර්මයන්හි ප්‍රතිවිපාක ලෙස සිදුවන බව බෞද්ධ දර්ශනයේ පැහැදිලි වේ. චින්තනයෙන් උස් පහත් වීම මනුෂ්‍ය තිරිසන් වෙනස බව පිළිගැනීම සෑම ආගමක මෙන්ම විද්‍යාවෙන්ද ඉගැන්වෙන නමුත් එම චින්තනය යථාපරිදි වෙනස් කිරීමට මනුෂ්‍යත්වයට අදාල වන ලෙස සකස් කිරීමට අවශ්‍ය මානසික භූමිකාව ගොඩනගාගන්ට උගන්වන එකම විෂය බුදුදහමයි. එහෙත් එය අන්තර්ඤාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට නොහැකි කෝටි සංඛ්‍යාත මිනිසුන් මනුලොව ජීවත්වීම නිසා සෙසු මිනිසුන්ටද එම ප්‍රවණතාවය විශාල පීඩනයකි. මෙයට ප්‍රධාන හේතු කීපයකි.

01.මනුෂ්‍යත්වයේ වටිනාකම පිළිබඳව නොසිතීම

02. කර්ම නියමය නොපිළිගැනීම

03. විවේක බුද්ධියක් නොතිබීම

04. භෞතික සම්පත් පිළිබඳ ආශාව

මේ නිසා අතීත පිනකින් මිනිසත් බව ලැබුවද කෝටි සංඛ්‍යාත මානව සමාජයේ මිනිස් සිතකින් ජීවත්වන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. මනුෂ්‍ය සමාජයේ වැඩි පිරිසකට මනු කය පැවතියද චින්තනය තිරිසන් වේ. එම මිනිසුන් මානව පරපුරටම ශෝක සන්තාප ගෙන දී යළි උපදින්නේ තිරිසන් කයෙනි. මේ ලෝකයේ ඉතාම දුෂ්කර වන්නේ මනුෂ්‍යත්වය ආරක්‍ෂා කිරීමයි. එවන් බෞද්ධයෙක්ව බුද්ධ ශාසනයේ පැවිදිව ශ්‍රේෂ්ඨ මහණකම ආරක්‍ෂා කරගන්නේ නම් ඒ උතුමා යථාර්ථයෙන්ම කයින්, මනසින් ආශ්චර්යවත් උත්තරීතර මනුෂ්‍යයෙකි. එවන් මනුෂ්‍යත්වය ලබාගැනීම ඉතා දුෂ්කර බව බුදුරදුන් විසින් හේතුඵල සහිතව දේශනා කරන ලදී.

“පින්වත්නි “ මිනිසත් බව ලැබීම මෙන්ම පවත්වාගෙන යාමද ඉතා දුෂ්කර වේ. මිනිසෙකුට මනුෂ්‍යත්වය ආරක්‍ෂා කර ගැනීමට ප්‍රධාන කාරණා කීපයක් අත්‍යවශ්‍ය වේ.

01. මනුෂ්‍යත්වය පිළිබඳ මනා දැනීම

02. ධාර්මික ජීවන පැවැත්ම

03. ජීවන දර්ශනය

04. කල්‍යාණ මිත්‍ර සේවනය

අතීත සංසාරික ජීවිතවලදී කළ කුසල චේතනාවක ප්‍රතිවිපාක වශයෙන් මානුෂික මවුපියන්ගෙන් උපදින්නට වාසනාවන්ත වූ මිනිසෙකු ක්‍රමයෙන් කයින් මනසින් හැදී වැඩී මනුෂ්‍යත්වය පිළිබඳ දැනීමක් ලබා ගත යුතුවේ. විශේෂයෙන් මෙයට පරිසරය මහෝපකාරී වන අතර ආධ්‍යාත්මික ගුණයෙන් මූර්තිමත් මිනිසුන් හා සුන්දර පරිසරය තුළින් සත්පුරුෂයන් බිහිවන අතර අසත්පුරුෂයන් සිටින අසුන්දර අපි‍්‍රය පරිසරයක අසත්පුරුෂ මිනිසුන් බිහිවීම ස්වාභාවික වේ.
මිනිස් කය උපදින විට ලැබෙන අතර මිනිස්කම අවබෝධයෙන් ලැබේ. එය ආරක්‍ෂා කර ගැනීමට ධාර්මික ජීවන පැවැත්මක් අත්‍යාවශ්‍ය වේ. “ ධම්මිකෝ ධම්මජීවි “ යනුවෙන් අප බුදුරදුන් වදාළ පරිදි ප්‍රාණඝාත අදත්තාදානාදී පස් පව් කිරීමෙන් වැළකී ධාර්මික ජීවන පැවැත්ම උදාර මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියයි. කෙතරම් සමාජය පරිවර්තනය වුවද ධාර්මික ජීවන වෘත්තියක් නොමැති නම් උපයා සපයා ගන්නා සම්පත මිනිස්කමට විපතක්ම වේ.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවට අනුව සම්මා කම්මන්ත සම්මා ආජීව යන ආර්ය ගුණාංග මිනිසත් බව ආරක්‍ෂා කර ගැනීමට ද ලෝකෝත්තර නිවන් සුව ලැබීමට ද හේතු කාරක වේ. ලෝකයේ ඉතා දුර්ලභ කාරණා අතර සත්ධර්මය ඇසීමද කාලාන්තරයකින් ලබන වාසනාවකි. ධර්මය ලෝක ස්වභාවයයි. එය සත් අසත් වන්නේ මිනිසාගේම චින්තනයෙන් හා ක්‍රියාකාරිත්වයෙනි. බුද්ධාදී උත්තමයන් ලෝක ධර්මය දේශනා කරන්නේ අවබෝධයෙන් පරාර්ථකාමී මහා කරුණාවෙනි. එබැවින් බුද්ධ ධර්මය සම්පූර්ණයෙන්ම සත්ධර්මය වන අතර එය ඇසීමෙන් දැරීමෙන්, පිළිපැදීමෙන් දෙලොව යහපත ඒකාන්තයෙන් ලැබේ.
ලෝක ස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් නොදැන අනුමානයෙන් දැනගෙන ආත්මාර්ථකාමිත්වයෙන් සිතන කියන දේශනා අසත්ධර්මය වේ. එවන් දහම් ලොව සැමදා අසන්නට ඇති නමුත් සත් ධර්මය අසන්නට වාසනාවන්ත වන්නේ කල්පාන්තරයකට පසුව පහළවන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් මනු ලොවක, මිනිසත් බව ලබා අවබෝධයෙන් එම බුදුරදුන් ට සවන් දීමෙනි. ලොව කෙතරම් බුදුවරුන් පහළ වුවද එම බුදුවරුන්ගේ දහම් ඇසීමට තරම් නැණවත් සර්ව සම්පූර්ණ මිනිසත් බවක් නොලැබුවොත් අර්ථයක් සිදුනොවන්නේමය. සත්ධර්මය ඇසීමෙන් , සිතීමෙන් බිනීමෙන් පිළිපැදීමෙන් වන්නා වූ ආනිශංස අපමණය. ශ්‍රද්ධාවෙන්, වීර්යයෙන් , සමාධියෙන්, ප්‍රඥාවෙන් මෙලොව ධාර්මික ජීවනය, භවාන්තරයෙහි දේවමානුෂික සම්පත් මෙන්ම සංසාරික ජාති,ජරා, ව්‍යාධි, මරණ , ශෝක පරිදේවාදි අප්‍රමාණ දුක්වේදනා, සමනය කිරීම සහ උතුම් නිවනින් සැනසීමට හේතු වෙයි . පරපුරෙන් පරපුරට ඉපදෙනා මැරෙණ, කෝටි ප්‍රකෝටි මිනිසුන් අතර ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළවීම සිදුවන්නේ කල්පාන්තරයක් ගත වූ පසුය. එවන් ආශ්චර්යවත් අවස්ථාවක අති දුර්ලභ වූ, උතුම් මනුෂ්‍යත්වය ලබා එම බුදුරදුන් කරා පැමිණීමට බුදුබණ අසා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පිරීමෙන් සසරින් මිදීමට ලැබීම කෙතරම් වාසනාවක්ද?

සියලු සත්වයෝ සුවපත් වෙත්වා

 මහනුවර අස්ගිරිය විජයසුන්දරාරාමයේ
ශාස්ත්‍රවේදී, පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි


 ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2009 ක් වූ මාර්තු මස 10 වන  අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Friday, June 26, 2015

තාක්ෂණික ලෝකයේ භික්ෂු ප්‍රතිපදාව


සරල ජීවන පැවැත්ම භික්ෂු ජීවිතයට ආභරණයකි. තාක්ෂණික මෙවලම් හා භාණ්ඩ පරිහරණයේදී ද මෙම සරල බව භික්ෂු ජීවිතය තුළ රැඳී තිබිය යුතුය. විනය පිටකයේ දැක්වෙන සතර වැදෑරුම් ‘නිස්සය’ පිළිබඳ ඉගැන්වීම භාණ්ඩ පරිභෝගය පිළිබඳ මනා මගපෙන්වීමක් ලබාදෙයි. තාක්ෂණික උපකරණ භාවිතය පිළිබඳ අදහසක් ද එයින් ඉස්මතු කරගත හැක
 නව විද්‍යාත්මක සොයාගැනීම හා තාක්ෂණික විප්ලවයන් රැසක් සිදුවන යුගයක අපි ජීවත් වෙමු. දැන් අප ප්‍රවේශ වී සිටින්නේ මෙම විද්‍යාත්මක හා තාක්ෂණික යුගයේ නව අවධියකටයි. මුලින් විද්‍යාත්මක සොයාගැනීම් සිදු කෙරුණේ මිනිසුන්ගේ කායික හා පාරිසරික අභියෝග ජයගැනීමට හා විවිධ අපහසුතා මගහරවා ගැනීමටය. නමුත් වර්තමානයේ බොහෝමයක් විද්‍යාත්මක පර්යේෂණයන් හා තාක්ෂණික නිපදවීම් සිදුවන්නේ මිනිසුන්ට නැති අවශ්‍යතා අලුතෙන් නිර්මාණය කරමින් ය.

බොහෝවිට වාණිජ අරමුණු පෙරදැරි කරගෙන නව තාක්ෂණික උපකරණ හා නව පාරිභෝගික භාණ්ඩ ලෙස හඳුන්වාදීමත් ඒවා පිළිබඳ අවශ්‍යතාව මාධ්‍ය මඟින් හා වෙනත් උපක්‍රම මගින් අලුතෙන් ඇති කිරීමත් අද බහුලව දක්නට ලැබේ.
මේ තත්ත්වය යටතේ ලෝකයේ බොහෝ ජනයා අධි පරිභෝජනවාදී ජීවන රටාවකට යොමු වී ඇති අතර විශේෂයෙන් ආසියාතික ජනයා ද ඒ වෙත සීඝ්‍රයෙන් යොමුවෙන බව පෙනේ. දිනෙන් දින වෙළෙඳපොළට නිකුත්වන නව පාරිභෝගික භාණ්ඩ අලුත්ම මාදිලියෙන් ලබා ගැනීමට බොහෝ දෙනෙක් මහත් වෙහෙසක් දරන ආකාරය අද දැක ගත හැක. මෙම අධි පරිභෝජනවාදී ජීවන රටාව පුද්ගල ජීවිතයට හා පරිසරයට ඔරොත්තු නොදෙන මට්ටමට වර්ධනය වීම නිසා විවිධ මානසික ගැටලු ආර්ථික ගැටලු, සමාජීය ගැටලු හා පාරිසරික ගැටලු රාශියක් නිර්මාණය වෙමින් පවතී. මේ තත්ත්වයෙන් ජන සමාජය මුදවා ගැනීමට අධි පරිභෝජනවාදී ජීවන රටාවෙන් මිදුණු කණ්ඩායමකගේ මග පෙන්වීම හා ආදර්ශ නූතන ලෝකයේ අවශ්‍යතාවයක් වී ඇත.

බුදුරජාණන්වහන්සේ උන්වහන්සේ සොයාගත් ධර්ම විනය පදනම් කරගෙන ගොඩනැගූ භික්ෂු සංස්ථාව අත්තකිලමථානු යෝගයත්, කාමසුඛල්ලිකානු යෝගයත් බැහැර කළ නිවැරදි පාරිභෝගික දර්ශනයකින් යුතු මානව සංවිධානයකි. මූලික මිනිස් අවශ්‍යතා හා තෘෂ්ණා හරිත නෙතින් ආශා මැනවින් වෙන්කර හඳුනාගත හැකි දර්ශනයන් මත පදනම් වූ චරණයක් මෙම භික්ෂු සංස්ථාව උදෙසා බුදුරදුන් අනුදැන වදාළ සේක. නූතන අධි පරිභෝජනවාදී සමාජයට නිවැරදි හා සාර්ථක මග පෙන්වීමක් සැපයීමට මෙම භික්ෂු ප්‍රතිපදාවට හැකියාවක් ඇත.

එහෙත් නූතන ශ්‍රී ලාංකික භික්ෂු සමාජය ක්‍රියාකරන්නේ, අප රටට ගලා එන අධි පරිභෝජනවා දී ජීවන රටාවන් හමුවේ. ඉහත දැක්වූ ආකාරයේ දර්ශනයක් හෝ චරණයක් අනුගමනය කරමින් බව පෙනෙන්නට නැත. තාක්ෂණික මෙවලම් උපකරණ භාවිතයේ දී ඒවායෙන් වසඟයට පත්ව ක්‍රියාකරන ගිහි සමාජයට වඩා වැඩි වෙනසක් භික්ෂු සමාජය තුළ දක්නට නැත. නූතන තාක්ෂණික මෙවලම් පිළිබඳ තිබිය යුතු නිවැරදි ආකල්පය පමණක් නොව ඒවා ශ්‍රමණ ස්වරූපයට අනුව භාවිත කළ යුතු නිවැරදි පිළිවෙත පිළිබඳ අවබෝධය ද නූතන භික්ෂු සමාජයෙන් ගිලිහී යන අයුරු අද දැක ගත හැක. ජංගම දුරකතන භාවිතය පණිවිඩ හුවමාරුව ඉතා පහසුකර ඇති වුවත් එයින් භික්ෂූුන්වහන්සේගේ චර්යාවට නොගැලපීම් රැසක් නිර්මාණය වී ඇත. බොහෝ දන්පළවල්වල දන් වළඳන බණ දෙසන අතරතුර හා පිරිත් මණ්ඩපවල පිරිත් දේශනා කරන අතරතුර භික්ෂූන් වහන්සේගේ ජංගම දුරකතන නාද වේ. එවැනි තැන්වල ඇති ගෞරවනීය සාමකාමී ආගමික පරිසරයට එය කිසිසේත්ම නොගැලපේ. එසේම සමහරවිට එම දුරකතන වෙතින් නාද වෙන්නේ බොළඳ ගීත කාණ්ඩයන් ය. එමගින් පොදුජන හදවත් වල ඇති භික්ෂු ගෞරවය හෑල්ලු වී යයි. කැමරා භාවිතය ද එබඳුම ගැටලු භික්ෂු සමාජය තුළ නිර්මාණය කර ඇත. උත්සව සභාවන් වල පෙරහරවල හා වෙනත් විශේෂ අවස්ථාවන්වල භික්ෂූුන් වහන්සේ වැදගත් ආරාධිත පුද්ගලයෙකි. සහභාගි වන අන්සියලු දෙනාගේ් අවධානය හා ගෞරවය භික්ෂූන් වහන්සේ වෙත යොමු වේ. 

එවැනි අවස්ථාවක භික්ෂූන් වහන්සේ කැමරා ශිල්පියෙකුගේ තත්ත්වයට වැටී ඡායාරූප ගැනීමේ යෙදෙන විට උත්සව සභාවන් අවලස්සන වන අතරම භික්ෂූ ගෞරවය ද හෑල්ලුවට ලක්වේ.
ගුවන් විදුලිය, රූපවාහිනිය, පරිගණකය, යානවාහන යන තාක්ෂණික මෙවලම් නූතනයේ භාවිතා කරන පරිමාව හා භාවිතා කිරීමේ ස්වරූපය නිසාද ඉහත ආකාරයේ නොගැලපීම් රැසක් නිර්මාණය වී ඇත.
සමාජය වෙනස්වීමත් සමග බිහිවන මෙවැනි නව තාක්ෂණික මෙවලම් භික්ෂු සමාජය වෙත ප්‍රවේශවීමේදී ඒවා නිවැරදි පරිදි අනුගත කර ගැනීමේ ක්‍රමවේදයන් ගැන අවබෝධය අඩුවීම මෙවැනි නොගැලපීම් හා ගැටලු නිර්මාණය වීමට හේතු වී ඇත.
මෙම තාක්ෂණික මෙවලම් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම බැහැරවීම මේ සඳහා ඇති විසඳුම නොවන අතර භික්ෂූ ජීවිතයේ අරමුණට ඒවායේ ඇති අදාළත්වය හා ප්‍රයෝජනය මැනවින් තේරුම් ගෙන ඒවා භාවිතා කරන පරිමාව හා භාවිතා කරන ස්වරූපය භික්ෂු ජීවිතයට ගැලෙපන පරිදි සකස්කර ගැනීම නූතනයේ සිදුකළ යුතුව ඇත. ‘අඤ්ඤෙ මෙ ආකප්පො කරණීයෝ’ යන්න මෙහිලා භාවිත කළ යුතුය. සිහිගන්වා කටයුතු කළ යුතුය.


උපකරණ හා මෙවලම් භාවිතයේ මූලධර්ම

යුගයෙන් යුගයට සමාජය වෙනස් වනවිට නව තත්ත්වයන්ට මුහුණ පාන්නට භික්ෂු සමාජයට සිදුවන අතර භික්ෂු විනය ප්‍රතිපදා පැණවීමේදී බුදුරජාණන් වහන්සේ හා විනය ධර මහ තෙරුවන් ඒ පිළිබඳ අවබෝධයකින් ක්‍රියාකර ඇත. ඒ අනුව විනය ශික්ෂාවන්ට අන්තර්ගත නොවූ තත්ත්වයන් හා කරුණු ඉස්මතු වූ විට ඒවා නිශ්චය කර ගැනීමට විනය ‘මහාපදේස’ හතරක් දේශනා කර ඇත. බුද්ධ භාවිත ධර්මය කුමක්දැයි නිශ්චය කර ගැනීමට සූත්‍ර පිටකයේ මහාපදෙස දක්වා ඇති පරිදිම විනය ශික්ෂාවන්ට අනුකූ®ල වන නොවන දේ නිශ්චය කර ගැනීමට මෙම විනය ‘මහාපදේස’ දේශනා කර ඇත. ඒවානම්,

01. බුදුරජාණන් වහන්සේ අකැප යැයි ප්‍රතික්ෂේප නොකළ දෙයක් කැප යැයි වදාළ දෙයකට සමාන වේ නම් කැපයැයි වදාළ දෙයකට අසමාන වේ නම් එය අකැප ලෙස සැලකිය යුතුය.

02. බුදුරජාණන් වහන්සේ අකැප යැයි ප්‍රතික්ෂේප නොකළ දෙයක් කැප යැයි වදාළ දෙයකට සමාන වේ නම් අකැප යැයි වදාළ දෙයකට අසමාන වේ නම් එය කැප ලෙස සැලකිය යුතුය.

03. බුදුරජාණන් වහන්සේ කැප යැයි නො අනුදක්නා ලද දෙයක් අකැප යැයි අනුදක්නා ලද දෙයකට සමාන නම් කැපයැයි අනුදක්නා ලද දෙයකට අසමාන වේනම් එය අකැප ලෙස සැලකිය යුතුය.

04. බුදුරජාණන් වහන්සේ කැප යැයි නොඅනුදක්නා ලද දෙයක් කැප යැයි අනුදක්නා ලද දෙයකට සමාන වේ නම් අකැප යැයි අනුදක්නා ලද දෙයකට අසමාන වේ නම් එය කැප යැයි සැලකිය යුතුයි.

මේ අනුව පවතින ශික්ෂා පද ඇසුරෙන් නව තත්ත්වයකට මුහුණ දීමට මගපෙන්වීමක් සපයාගත යුතු බව මෙයින් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ දුර දක්නා නුවණින් හා ප්‍රායෝගික පදනමකින් යුතුව භික්ෂූ සංස්ථාවේ යහ පැවැත්ම වෙනුවෙන් පණවා වදාළ දැනට විනය පිටකයේ සඳහන් ශික්ෂණයන් ඇසුරෙන් උපකරණ හා මෙවලම් භාවිතය පිළිබඳ මූලධර්ම කිහිපයක් හඳුනාගත හැකිය.

01. භික්ෂු ජීවිතයේ මූලික පරමාර්ථයට අදාළ බව

02. අවමය උපරිමයක් කොට සලකන සරල බව

03. පරිසර හිතකාමී බව

04. පොදුජන සමාජ රටාවෙන් වෙන් වූ ස්වභාවය

බුදුරදුන් වදාළ ධර්ම විනය අනුව ජීවිතය ගෙවීමට කැප වූ භික්ෂු ජීවිතයේ පරමාර්ථය වන්නේ තමන්ගේ අධ්‍යාත්මික සුවය සලසාගෙන අන් අයගේද අධ්‍යාත්මික සුවය පිණිස ක්‍රියාකිරීමය. නව උපකරණ හා මෙවලම් භික්ෂු ජීවිතයට සම්බන්ධ කර ගැනීමේදී ඉහත දැක් වූ ආත්මාර්ථයට හා පරාර්ථයට පහසුවන පරිදි ක්‍රියාකිරීම මෙම මූලධර්මයයි. බොහෝ උපකරණ හා මෙවලම් තමන්ගේ අධ්‍යාත්මික සුවයට බාධාකාරී විය හැක. ඒවා කෙලෙස් වඩවන තමන්ගේ විවේකය නසන අනවශ්‍ය වෙහෙසක් තමන්ට ඇතිකරන දේ විය හැක. එසේත් නැතිනම් පරාර්ථය පිණිස තමන්ට හැසිරෙන්නට තිබෙන කාලය හා විවේකය සීමා කරවන දේ විය හැක. එසේ තම පරමාර්ථයට බාධා කරන දේ ඉවතලා එය පහසු කරන දේ සුදුසු ප්‍රමාණයෙන් තම ජීවිතයට සම්බන්ධ කර ගැනීමට භික්ෂුව නුවණැති විය යුතුය.
සරල ජීවන පැවැත්ම භික්ෂු ජීවිතයට ආභරණයකි. තාක්ෂණික මෙවලම් හා භාණ්ඩ පරිහරණයේදී ද මෙම සරල බව භික්ෂු ජීවිතය තුළ රැඳී තිබිය යුතුය. විනය පිටකයේ දැක්වෙන සතර වැදෑරුම් ‘නිස්සය’ පිළිබඳ ඉගැන්වීම භාණ්ඩ පරිභෝගය පිළිබඳ මනා මගපෙන්වීමක් ලබාදෙයි. තාක්ෂණික උපකරණ භාවිතය පිළිබඳ අදහසක් ද එයින් ඉස්මතු කරගත හැක. පාරිශුද්ධ උපසම්පදා ශීලයට පත්වන නවක භික්ෂුවක් උපසපන් වූ වහාම මෙම නිස්සය කියවා ඒ පිළිබඳ ප්‍රතිඥාවක් දෙයි. මෙම නිස්සය ධර්මයත් උපසම්පත්තියට පත් වූ වහාම අනිවාර්යයෙන් කියවිය යුතු හා කියාදිය යුතු (ආචික්ඛිතබ්බ) කරුණු ලෙස මහා වග්ගපාලියේ දැක්වේ. එහි කියවෙන්නේ තම පැවිදි ජීවිතයේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමේදී තමන් සෑහීමකට පත්වන සීමාව තීරණය කර ගන්නා ආකාරය චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යය යන සිව් පසය පරිභෝජනයේදී තමන් සෑහීමකට පත්වන්නේ කුමන සීමාවේද යන්න මෙහිදී පැහැදිලිව තීරණය කරයි.

ආහාර - මාගේ පැවිද්ද පිණ්ඩපාතයෙන් යැපෙන ආකාරය පිහිට කොටගෙන ඇත. ජීවිතාන්තය දක්වා එලෙස පවතින්නට උත්සාහ ගතිමි. එයින් බැහැරව සංඝදාන ආරාධනා කරගෙන දාන, සලාක දාන, ආදි ක්‍රම වලින් ලැබෙන ආහාර අතිරේක ලාභ ලෙස සලකමි.

චීවර - මාගේ පැවිද්ද පාංශකූ®ල චීවරය පිහිටකොට ගෙන ඇත. ජීවිතාන්තය දක්වා එලෙස පවතින්නට උත්සාහ ගතිමි. එයින් පැහැරව ලැබෙන කපු, කොහු, හණ ආදි සිවුරු ‘අතිරේඛ ලාභ’ ලෙස සලකමි.

සේනාසන- මාගේ පැවිද්ද රුක්මුල් පිහිට කොටගෙන ඇත. එලෙස පැවිදි ජීවිතය ජීවිතාන්තය දක්වා පවත්වා ගන්නට උත්සාහ ගතිමි. එයින් බැහැරව ලැබෙන විහාරාරාම, ප්‍රාසාද, ගුහා ආදී වාසස්ථාන ‘අතිරේඛ ලාභ’ ලෙස සලකමි.

ගිලන්පස - මාගේ පැවිද්ද පුතිමුත්ත භේසජ්ජය පිහිට කොටගෙන ඇත. එසේ පැවතීමට ජීවිතාන්තය දක්වා උත්සාහ ගතිමි. එයින් බැහැරව ලැබෙන ගීතෙල්, මීපැණි, ආදිය වෙනත් ඖෂධ ‘අතිරේක ලාභ’ ලෙස සලකමි.

මෙම සතර නිස්සය කියවීමේදී ආහාරය පිළිබඳ තමන්ගේ සැහීමේ සීමාව පිණ්ඩපාතය බවත් ගිලන්පස පිළිබඳ සෑහීමේ සීමාව ස්වාභාවික ප්‍රතිමුත්ත භේසජ්ජය බවත් තීරණය කරයි. එයින් බැහැරව ලැබෙන දේ සතුටින් භාර ගන්නා නමුත් ඒවා සලකන්නේ අමතර ලැබීම් ලෙස බව මෙහිදී අවධාරණය කරයි. සතර නිස්සය මගින් ඉස්මතු වන මූලධර්ම වන්නේ භික්ෂු ජීවිතයේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේදී අවමය උපරිමය ලෙස සැලකීමයි. කොතරම් සිව්පසය ලැබුණත් ඒවා බාරගන්නා නමුත් තමන්ගේ සෑහීමේ සීමාව අවමය බව සිහිතබාගෙන ක්‍රියාකිරීම මෙහිදී සිදු වේ. නූතන තාක්ෂණික මෙවලම් භාවිතයේදී ද මේ මූලධර්මය අනුගමනය කරන්නේ නම් එය මෙවලම් වලින් සැබැවින්ම අපට ප්‍රයෝජනයක් සැලසේ නම් පමණක් ඒවා භාවිතා කිරීමට අප යොමු වේ. දුරකථන කැමරා රූපවාහිනි, ගුවන්විදුලි, යාන වාහන වැනි දෑ තම ජීවිතයේ අනිවාර්ය අංගයන් නොව අවශ්‍යතාවය මතුවන පරිදි අවශ්‍ය මට්ටමට භාවිතයට ගත යුතු දේ ලෙස තේරුම් යයි. අවශ්‍යතාවය තදින් මතුව තිබෙන විටෙක නව තාක්ෂණික මෙවලම් අවබෝධයෙන් යුතුව භාවිතා කිරීමටත්, එවැනි අවශ්‍යතාවයක් නැති විටෙක හෝ තාක්ෂණික මෙවලම් සොයාගැනීමට නොහැකි වූ විට ඒ පිළිබඳ වෙහෙස නොවී සිටීමටත්, ඒ පසුපස හඹා නොයාමටත් භික්ෂුවට හැකියාව තිබිය යුතුය.

බුදුරජාණන් වහන්සේ භික්ෂු ප්‍රතිපදාව අනුදැන වදාළේ සබ්බපාණ භූත හිතානුකම්පි ප්‍රතිපදාවක් ලෙසය. උන්වහන්සේ අපේක්ෂා කළේ පරිසරයටවත් හානියක් නොවන ප්‍රතිපදාවකින් භික්ෂු ජීවිතය සැරසීමටය. විනය පිටකය පුරා ගස් කොළන් වලට හානි පැමිණවීම, තණ හා ජලය අපිරිසිදු කිරීම, පොළොව කැනීම වැනි පරිසරයට හානි කර ක්‍රියා වළක්වන ශික්ෂාපද අනුදැන වදාරා ඇත. විශේෂයෙන් භෞතික සම්පත් අපතේ නොයවා උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් පරිසර හිතකාමීන් හැසිරෙන්නට මග පෙන්වන ශික්ෂාපද හා ප්‍රතිපදා රාශියක් ප්‍රාතිමෝක්ෂයේ හා බන්ධක විනයේ ඇතුළත් ය. මහා වග්ගපාලියේ චම්මක්ඛන්ධකයේ තල්ගස් සිඳ තල්පත් වලින් කළ පාවහන් භික්ෂුව භාවිත කළ බවක් සඳහන් ය.
එහිදී ඒ හේතුවන් තරුණ තල්ගස් මැලවෙන ආකාරය දැනගෙන එහෙයින් තල්පත් වලින් තද පාවාහන් නොදැරිය යතු යැයි භික්ෂා පදයක් පනවා ඇත. නූතන තාක්ෂණික මෙවලම් භාවිතයේදී පරිසර හිතකාමී බව භික්ෂුවක් විසින් පවත්වා ගත යුතුය. ස්වාභාවික සම්පත් අපතේ යන අයුරින් අනවශ්‍ය ලෙස මෙවලම් භාවිතයට නොගෙන අවම ලවණයන්ගෙන් භාවිතා කිරීම මෙන්ම වායුගෝලය, ශබ්දය, ජලය දූෂණයට ලක් නොවන පරිදි ඒවා භාවිතා කිරීම ද භික්ෂු ප්‍රතිපදාවට ඇතුළත්විය යුතුය. බුදුරජාණන් වහන්සේ සිය සංස්ථාව පිහිට වූයේ කෙලෙස් සැඩ පහරට ගහගෙන යන ජන සමාජයට නිවැරදි මාර්ගය පෙන්වීමට සමත් ශක්ති සම්පන්න ආදර්ශමත් පිරිසක් වශයෙනි. එබැවින් භික්ෂු සංස්ථාවේ ගමන් මග පොදුජන සමාජයේ ගමන් මග නොවේ. පොදුජන සමාජයේ ප්‍රවණතාවලට වෙනස් වූ ප්‍රතිපදාවක් භික්ෂු සංස්ථාවට තිබිය යුතුය. භික්ෂු සංස්ථාවේ ගමන් මගේ දිශාව පොදුජන සමාජයේ දිශාවට වෙනස්විය යුතුය. බුදුරජාණන් වහන්සේගේ ‘පටිසෝත ගාමී’ ලෙස හැඳින්වූයේ මෙම වෙනසයි. භික්ෂු ජීවිත ප්‍රතිපදාවේ මූලික ලක්ෂණ මැනවින් පැහැදිලි කරන දසධම්ම සූත්‍රයේ ‘අඤ්ඤෝ මෙ ආකප්පො කරණියෝ’ ලෙස දක්වා ඇත්තේ භික්ෂු සංස්ථාව තුළ තිබිය යුතු මෙම මූලික ආකල්පමය වෙනසයි. විවිධ උපකරණ හා මෙවලම් භාවිතයේ ප්‍රධාන මූලධර්මයන් වන්නේ පොදුජන සමාජයෙන් වෙනස් වූ මෙම ‘අන්‍යභාවයයි’ පොදුජන සමාජය නව තාක්ෂණික උපකරණ හා මෙවලම් භාවිතා කරන ආකාරයෙන් වෙනස් වූ ක්‍රමයක් භික්ෂු සංස්ථාවට තිබිය යුතුය. මෙම අන්‍යභාවය තාක්ෂණික මෙවලම් භාවිතා කරන පරිමාව හා ස්වරූපය යන අංශ දෙකෙහිම පවත්වාගත යුතුය.

සාමාන්‍ය ජනතාව මෙම තාක්ෂණික මෙවලම් වල ඇලී ගැලී ඒ මතම යැපෙමින් ක්‍රියාකරන විට භික්ෂූන් වහනසේ එම ආභරණ නොව උපකරණ වශයෙන් සලකා පමණ දැන භාවිත කළ යුතුය.
සමාජයේ පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක් ලෙස දුරකථන, කැමරා, පරිගණක වැනි තාක්ෂණික මෙවලම් භාවිතයේදී ගිහි සමාජයට වඩා විනයක් සංවරයක් ශික්ෂණ බවක් භික්ෂූන් වහන්සේ සතුවිය යුතුය. ගිහි පුද්ගලයන් සිදුකරන අනෙකුත් සාමාන්‍ය ක්‍රියාද භික්ෂූන් වහන්සේ කරන්නේ සංවර භාවයකිනි. ගමන්කිරීම, ආහාර ගැනීම, වැනි ක්‍රියා භික්ෂූන් වහන්සේ කරන විට වඩිනවා, වළදනවා වැනි විශේෂ යෙදුම් අපේ භාෂාවේ දැක්වෙන්නේ භික්ෂු හැසිරීමේ ඇති ඒ සංවරශීලි ශිෂ්ට සම්පන්නකම නිසාය. නූතන තාක්ෂණික මෙවලම් භාවිතයේදී ද එපරිද්දෙන්ම භික්ෂූන් වහන්සේ තුළ සංවරශීලි ශිෂ්ට සම්පන්නකමක් දිස්විය යුතුය.


යෝජනා

නව තාක්ෂණික උපකරණ හා මෙවලම් භික්ෂු ජීවිතයට අනුගත කරගත හැකි ආකාරය ගැන යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ හැක. කැමරාවක් භාවිතා කර උත්සව සභාවක, රැස්වීමක, පෙරහරක ඡායාරූප ගැනීම අත්‍යවශ්‍ය වූ විට භික්ෂූන් වහන්සේ ලෙස තමන් ඡායාරූප ගැනීම සිදුනොකර ඒ සඳහා පුහුණු කළ තරුණයෙක් ලවා හෝ එතැන සිටින සුදුසු ගිහි පුද්ගලයෙකු ලවා අවශ්‍ය උපදෙස් ලබාදී එය කරගැනීම උචිතය. ජංගම දුරකථන භාවිතයේදී මගතොට ගමන් කරන විට පොදු ස්ථානවල ගැවසෙන විට හැකි තරම් එයින් වැළකී සිටීම වඩාත් සුදුසු ය. අත්‍යවශ්‍ය නම් ආවරණය වූ තැනකට ගොස් ඉක්මණින් සංවාදය අවසන් කිරීම සුදුසුය. බස්රථවල ගමන් කරන විට දුරකථන සංවාද වලින් හැකි තරම් වැලකීම, අත්‍යවශ්‍ය සංවාද කෙටි කිරීම, දුරකථන නාද වීම නිහඬ කර තැබීම, වඩා ගැලපෙන ක්‍රියාදාමයන් ය. වෙළෙඳපොළේ ඇති අලුත්ම මාදිලියේ ජංගම දුරකතන මිලදී ගෙන ඒවා ප්‍රදර්ශනය වන සේ හැසිරීම තමන්ට තත්ත්වයක් ලබා ගැනීමට බොහෝ ගිහි පුද්ගලයන් උත්සාහ දැරුවත් භික්ෂුවකට එසේ කිරීම කිසිසේත්ම නොගැලපේ. ඊට වඩා ගෞරවණීය තත්ත්වයක් භික්ෂුවකට නිතැතින්ම සමාජය තුළ හිමි වේ. ජංගම දුරකතන ප්‍රදර්ශනය කරන තත්ත්වයක් ලබා ගැනීමට යෑමේදී සිදුවන්නේ තිබෙන තත්ත්වයද නැතිවීමයි. ගුවන් විදුලි හා රූපවාහිනීය යන තොරතුරු තාක්ෂණික උපකරණ භාවිතයද අධ්‍යාපනික හා ආගමික වටිනාකමක් ඇති වැඩසටහන්වලට හැකි තරම් සීමා කිරීම භික්ෂු ප්‍රතිපදාවට වඩාත් යෝග්‍ය වේ. එසේම විහාරස්ථානයේ සිදු කරන දෛනික හා විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වන වේලාවල් වල රූපවාහිනී වැඩසටහන් නැරඹීම හා ගුවන් විදුලි වැඩසටහන් ඇසීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වේ. යාන වාහන භාවිතයේදී ද ඒවා භාවිතා කිරීමේ මූලික අරමුණ සිහියේ තබාගෙන ක්‍රියාකිරීම වැදගත් ය. එසේම වාහනයක ගමන් කරන විටද සිව්රේ කොන් එළියට පෙනෙන සේ ගමන් නොකර මැනවින් සිවුරු හැඳ පොරවා සංවරභාවයෙන් උපලක්ෂිතව හිඳීම භික්ෂුත්වයට ගැලපේ. තමන් ගමන් කරන වාහනය පාරේ ගමන් කරන අනෙකුත් වාහන වලට හා පුද්ගලයන්ට කරදරයක් නොවන සේ පැදවීමට මෙන්ම මාර්ග නීතිරීති වලට ගරු කරමින් වාහනය පැදවීමට රියදුරු යොමුකර ගැනීමට භික්ෂූන් වහන්සේ වගබල ගත යුතුය.
නූතනයේ බහුලව භාවිතා කරන තවත් තාක්ෂණික උපකරණයක් නම් පරිගණකය යි. පරිගණකයේ භික්ෂූත්වයට අදාළ උපකරණයක් බවට පත්කර ගැනීමට භික්ෂූන් වහන්සේට හැකියාවක් ඇත. පරිගණකය හුදු විනෝදාස්වාදය සපයන උපකරණයක් නොව ප්‍රායෝගික ප්‍රයෝජන රැසක් ඇති උපකරණයක් ලෙස වටහා ගැනීම මෙහිදී වැදගත් ය. විහාරස්ථානයේ දායක පින්වතුන්ගේ නාම ලේඛන හා විස්තර ලිපිගොනු පවත්වාගැනීම දහම් පාසල් විස්තර රැස්කර ගැනීම විහාරස්ථානයෙන් නිකුත්කරන ලිපි, විහාරස්ථානයේ උත්සව සඳහා යවන ආරාධනා පත්‍ර දැන්වීම් පත්‍රිකා සැලසුම් කිරීම හා මුද්‍රණය කිරීම පරිගණකයෙන් සිදුකරගත හැකි දේ ය. පරිගණක භාවිතය මඟින් අන්තර්ජාලයට පිවිසීමට ද ලොව පුරා ඇති විවිධ තොරතුරුවලට ප්‍රවණතාවලට හා සංස්කෘතීන්ට විවරවීමට ද හැකිය. මෙම නිමාවක් නැති තොරතුරු වලින් තම භික්ෂු ජීවිතයේ දියුණුව වෙනුවෙන් යොදාගත හැකි දේ තෝරාබේරා ගැනීමට භික්ෂුන් වහන්සේ සමත් නොවුණහොත් අන්තර්ජාලය භික්ෂු ජීවිතයට තවත් බාධකයක් විය හැක. බුදුදහම පිළිබඳ හා ලෝකයේ බෞද්ධ ආයතන පිළිබඳ තොරතුරු අඩංගු වන වෙබ් අඩවි අතිවිශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයේ ඇත. අන්තර්ජාලය ඔස්සේ ඉංගී‍්‍රසි භාෂාවෙන් ත්‍රිපිටක ග්‍රන්ථ සහ වෙනත් බෞද්ධ පොත් කියවිය හැකි අතරම බුදුදහම පිළිබඳ නූතනයේ කෙරෙන විවිධ පර්යේෂණ හා ලෝකයේ විවිධ බෞද්ධ ආයතන වල සිදු කෙරෙන වැඩසටහන් පිළිබඳ තොරතුරු ද දැනගත හැක. ඒ තොරතුරු ඇසුරෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු හා විහාරස්ථානයේ ආගමික කටයුතු වලට නව ආදර්ශයන් ලබාගැනීමට භික්ෂූන් වහන්සේට හැකිවනු ඇත. තම විහාරස්ථානය හෝ පිරිවෙන් ආයතනය පිළිබඳවද එහි ඉතිහාසය හා සේවා ව ඇතුළත් කොට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට ද හැකියාව ඇත. මේ අයුරින් ශාසනික හා අධ්‍යාපනික අරමුණු වෙනුවෙන් අන්තර්ජාලය යොදා ගැනීම හා එය විනයකින් යුක්තව පරිහරණය කිරීම භික්ෂු ජීවිතයට ගැලපෙන පිළිවෙතයි. අන්තර්ජාලය ඔස්සේ ඊමේල්, ස්කයිප්, ෆේස්බුක්, වැනි ක්‍රම මඟින් ලෝකයේ බොහෝ අය සමග සම්බන්ධතා ඇතිකර ගත හැකි අතර එහිදී වඩාත් ප්‍රවේශම්කාරි විය යුතුය. මෙම ක්‍රම මගින් ලෝකයේ විවිධ රටවල අයව සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ඇත. එසේ සම්බන්ධ වන අය බුදුදහම පිළිබඳව භික්ෂූන් වහන්සේ පිළිබඳ දැනගන්නා මුල්ම අවස්ථාව සමහරවිට මෙය විය හැක. එහිදී අප ඔවුන් සමග සම්බන්ධවන ආකාරයෙන් ඔව්හු භික්ෂූන් වහන්සේ ගැන කරුණු මැන ගනිති. ඒ සම්බන්ධය හරහා බුදුදහම පිළිබඳ ආකල්ප ඇතිකර ගනිති. එබැවින් භික්ෂූත්වයේ සීමා තේරුම් ගෙන බුදුදුහම පිළිබඳ හෝ භික්ෂූන් වහන්සේ පිළිබඳව සෘණාත්මක ආකල්පයන් ඇති නොවන සේ විදේශිකයන් සමග ඉහත ක්‍රම මගින් ගනුදෙනු කිරීම භික්ෂුවකගේ වගකීමයි. ඒ සම්බන්ධතා මගින් බුදුදහම පිළිබඳ කරුණු කියාදීම භික්ෂුවකගේ යුතුකමයි.

මේ අයුරින් නව තාක්ෂණික මෙවලම් නිවැරදි පරිමාවෙන් හා නිවැරදි ස්වරූපයෙන් භික්ෂුත්වයේ පරමාර්ථයට අනුකූලව භාවිතා කිරීමෙන් නූතනයේ ශ්‍රී ලාංකික භික්ෂු සංස්ථාව මුහුණ පා ඇති නව තාක්ෂණයේ අභියෝගය ජය ගත හැකි වනු ඇත. සහස්‍ර දෙක හමාරකට වඩා දීර්ඝ වූ ඉතිහාසය ගමන් මගක් හිමි භික්ෂු සංස්ථාව මීට පෙර යුගවලදීද මෙවැනි තත්ත්වයන්ට හා අභියෝගයන්ට මුහුණ දී ඇති අතර එම අවස්ථාවල දී මූලික භික්ෂු අරමුණු වලට හා ශ්‍රමණ ස්වරූපයට අදාල වන පරිදි එම නව තත්ත්වයන් අනුගත කර ගැනීමට භික්ෂු සංස්ථාවට හැකි වූ නිසා මේ දක්වා නොනැසී පවතින්නට හා සමාජ ගෞරවය හිමි සමාජයට මග පෙන්වන මානව කණ්ඩායමක් ලෙස පෙනී සිටින්නට භික්ෂු සංස්ථාවට හැකි වී ඇත. අනාගතයටත් එසේ පවතින්නට නම් තාක්ෂණික දියුණුව මගින් නිර්මාණය කර ඇති නව තාක්ෂණික මෙවලම් භාවිතය නිවැරදිව භික්ෂු ජීවිතයට අනුගත කරගත යුතුය. පොදුජන සමාජයටත් ආදර්ශයක් සපයන ආකාරයට ඒවා භික්ෂු ජීවිතයට ද අනුගත කර ගැනීමට භික්ෂූන් වහන්සේ වගබලා ගත යුතුය. ඉහත දැත්වූ පරිදි නව තාක්ෂණික මෙවලම් භාවිතයේ නිවැරදි ආකල්පයන් නිවැරදි පරිමාවන් හා නිවැරදි ස්වරූපයන් මැනවින් තේරුම් ගතහොත් එමගින් භික්ෂුත්වය සරසා ගැනීමටත්, පොදුජන සමාජයට නිවැරදි මගපෙන්වීමක් ලබාදීමටත් භික්ෂූන් වහන්සේට හැකිවනු ඇත. බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ බුද්ධ ශ්‍රාවකයා කසල ගොඩක පිපෙන පියුමක් සේ සමාජ ව්‍යාධින්ගෙන් මිදී සමාජය බබළවනු ඇත කියාය. භික්ෂූන් වහන්සේ නව තාක්ෂණික උපකරණ භාවිතය සම්බන්ධයෙන් ද මේ ලක්ෂණ ප්‍රකට කළ යුතුය.
පාදක සටහන්

01. මහා වග්ගපාලි ධ් බු. ජ. මු. 624 පිට
02. මහා වග්ගපාලි , මහා බන්ධක, බු.ජ.මු 236 පිට
03. මහා වග්ගපාලි , මහා බන්ධක, බු.ජ.මු 238 පිට
04. මහා වග්ගපාලි, මහා බන්ධක බු.ජ.මු 497 පිට
05. ධම්මපද පුප්ඵවග්ග 58 - 59 ගාථා



මේ ලිපිය සැකසීමේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංඝාරාම උපශාලාධිපති ශාස්ත්‍රපති කහගල සාරානන්ද හිමියන්ගෙන් ලද මඟපෙන්වීම අගය කොට සලකමි.


 ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
සුරක්කුලමේ පේමරතන හිමි
ආචාර්ය උපාධි පර්යේෂක - පෙන්සිල්වේනියා
පීට්ස්බර්ග් විශ්ව විද්‍යාලය






 ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ බිනරපුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ සැප්තැම්බර් මස 22 වන  බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

කෙලෙසද සිත රැඳි කෙලෙස් නසන්නේ




පුහුදුන් සිතෙහි ඇතිවන ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවුද, මෝහ සහගතවූද, ළාමකවූ අකුසල සිතිවිලි දුරුකර, සමාධිය ඇති කිරීම සඳහා ඉවහල්වන ක්‍රම පහක් දේශනා කළහ. උපමානුසාරයෙන් දේශිත මෙම ක්‍රමවේදයන් ක්ලේශ ධර්මයන්ගෙන් සිත නිදහස් කිරීම සඳහා ඉතා වැදගත් වෙයි.

විතක්කසණ්ඨාන සූත්‍රය
මජ්ඣිම නිකාය



එක්කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වාසය කරති. එහිදී භික්ෂූන් ඇමැතු බුදුරජාණන් වහන්සේ, පුහුදුන් සිතෙහි ඇතිවන ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවුද, මෝහ සහගතවූද, ළාමකවූ අකුසල සිතිවිලි දුරුකර, සමාධිය ඇති කිරීම සඳහා ඉවහල්වන ක්‍රම පහක් දේශනා කළහ. 
 
උපමානුසාරයෙන් දේශිත මෙම ක්‍රමවේදයන් ක්ලේශ ධර්මයන්ගෙන් සිත නිදහස් කිරීම සඳහා ඉතා වැදගත්වෙයි. මෙම දෙම් දෙසුම පෙළ දහමට අනුව විස්තරාත්මකව විමසා බලමු.

කුසල් අරමුණක් මෙනෙහි කිරීම

මහණෙනි, විදර්ශනාවට පාදකවූ සමාධිය වඩන්නාවූ භික්‍ෂුව විසින් කලින් කල කරුණු පහක් මෙනෙහි කළ යුත්තාහුය. ඒවා නම් මෙසේය, මහණනි, මේ ශාසනයෙහි භික්‍ෂුවට යම් අරමුණක් නිසා, යම් අරමුණක් මෙනෙහි කිරීම හේතුකොටගෙන, ලෝභ සහගතවූද ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද ළාමකවූ අකුසල කල්පනා උපදිත්ද, මහණනි, ඒ භික්‍ෂුව විසින් ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිත අරමුණක් මෙනෙහි කළ යුතුය. ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිතවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්‍ෂුවට ලෝභ සහගතවූ ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද ළාමකවූ යම් අකුසල කල්පනාවෝ වෙද්ද, ඒ අකුසල කල්පනාවෝ පහවෙත්. විනාශවෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.
 මහණනි, යම්සේ දක්‍ෂ වඩුවෙක් හෝ වඩු ගෝලයෙක් හෝ කුඩා ඇණයකින් ලොකු ඇණයක් පිටකරන්නේද, නිකුත් කරන්නේද, ගලවා දමන්නේද, මහණනි, එසේම භික්‍ෂුවනට යම් අරමුණක් නිසා, යම් අරමුණක් මෙනෙහි කිරීම නිසා, ලෝභ සහගතවූද ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද ළාමකවූ අකුසල කල්පනාවෝ උපදිද්ද, මහණනි, ඒ භික්‍ෂුව විසින් අකුසල සහිතවූ ඒ අරමුණෙන් අන් අරමුණක් මෙනෙහි කළ යුතුය. අකුසල සහිතවූ ඒ අරමුණෙන් අන් අරමුණක් මෙනෙහි කිරීම හේතුකොටගෙන ඒ භික්‍ෂුවගේ ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද, ළාමක අකුසල කල්පනාවෝ පහ වෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි. මනාව තැන්පත් වෙයි.එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි


ආදීනව මෙනෙහි කිරීම

මහණනි, ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිත අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්‍ෂුවට ලෝභ සහගතවූ ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද ළාමකවූ අකුශල කල්පනාවෝ උපදින්නාහුම වෙත්ද මහණනි, එසේ නම් ඒ භික්‍ෂුව විසින් ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහිකළ යුතුය. මෙසේද මේ කල්පනාවෝ අකුසල්ය. මෙසේද මේ කල්පනාවෝ වරද සහිතය. මෙසේද මේ කල්පනාවෝ දුක්වූ විපාක ඇත්තෝය කියායි. ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කරන්නාවූ ඒ භික්‍ෂුවගේ ලෝභ සහගතවූද ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද, යම් ළාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ වෙද්ද ඒ අකුසල කල්පනාවෝ පහවෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.

 මහණනි, යමසේ තරුණවූ අලංකාරයට කැමැතිවූ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සර්ප කුණක් හෝ බලු කුණක් හෝ මිනී කුණක් හෝ බෙල්ලෙහි එල්ලීමෙන් හැකිලෙන්නේද, පිළිකුල් කරන්නේද, මහණනි, එපරිද්දෙන්ම ඒ අරමුණෙන් අන්‍ය කුසලයෙන් යුක්තවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්‍ෂුවට ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද ළාමකවූ අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම්, මහණනි, ඒ භික්‍ෂුව විසින් මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ අකුසල්ය, මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ වරද සහිතය. මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ දුක් විපාක ඇත්තාහුයැයි ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කළ යුතුයි. ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඔහුට ලෝභ සහගතවූද ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද ළාමකවූ අකුසල කල්පනාවන් ඇද්ද ඒ ළාමක අකුසල කල්පනාවෝ පහවෙත්. විනාශයට පැමිණෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.

අකුසල කල්පනා මෙනෙහි නොකිරීම

මහණනි, ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද ඒ ළාමක අකුසල කල්පනාවෝ ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඒ භික්‍ෂුවහට උපදින්නාහුම වෙත්ද, මහණනි, ඒ භික්‍ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණිය යුතුයි. ඒ අකුසල කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණියාවූ ඒ භික්‍ෂුවට ලෝභ සහගතවූද ද්වේෂ සහගතවූද මෝහ සහගතවද ළාමකවූ අකුසල කල්පනා කෙතෙක් වෙද්ද, ඒ අකුසල කල්පනාවෝ පහවෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණය හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි. මනාව තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.
මහණනි, යම්සේ ඇස් ඇත්තාවු පුරුෂයෙක් ඇස් හමුවට පැමිණියාවූ රූපයන් නොදකිනු කැමැත්තේ නම් හෙතෙම ඇස් පියාගන්නේ හෝ වේද අන් දිසාවක් බලන්නේ හෝ වේද, මහණනි, එමෙන් ඒ ළාමක අකුසල ධර්මයන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඒ භික්‍ෂුවට ඒ ලෝභ සහගතවූද ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද ඒ ළාමක අකුශල ධර්මයෝ උපදින්නාහුම වෙත්ද, මහණනි, ඒ භික්‍ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට, අමතක කිරීමට පැමිණිය යුතුයි. ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණියාවූ ඒ භික්‍ෂුවට ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද යම් ළාමක අකුසල කල්පනා කෙනෙක් වෙත්ද, ඒ ළාමක අකුසල කල්පනාවෝ ප්‍රහීණවෙත්. අභාවයට යත්. ඔවුන්ගේ ප්‍රහාණය හේතුකොටගෙන සිත අභ්‍යන්තරයෙහිම පවතියි. මනාව තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.

මූල හේතුව සෙවීම

මහණනි, ඒ කල්පනා මෙනෙහි නොකරන්නාවූ අමතක කරන්නාවූ භික්‍ෂුවට ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද ඒ ළාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත්ද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කටයුතුයි. මහණනි, ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ ඒ භික්‍ෂුවට ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද යම් ළාමක අකුසල කල්පනා කෙතෙක් ඇද්ද, ඒ අකුසල කල්පනාවෝ පහ වෙත්. අභාවට යත්.ඔවුනගේ පහවීම හේතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි. මනාව තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.
මහණනි යම්සේ පුරුෂයෙක් ඉක්මනින් යන්නේද, ඔහුට මම කුමක් නිසා වහා යන්නෙම්ද? සෙමින් යන්නෙමි’ යි අදහස් වන්නේය. හෙතෙම හෙමින් යන්නේය. ඔහු නැවත කුමක් නිසා මම සෙමින් යන්නෙම්ද? නැවතී සිටින්නෙම් නම් යහපතැයි සිතා නවතින්නේය. නැවත ඔහු කුමක් නිසා මම නැවතී සිටින්නෙම්ද? මම හිඳගන්නෙමි’ යි සිතා හිඳගන්නේය. නැවත ඔහු කුමක් නිසා මම හිඳගන්නෙම්ද? නිදාගන්නෙමි’ යි සිතා නිදාගන්නේය. මහණනි මෙසේ ඒ පුරුෂතෙම ඕළාරික ඉරියව් නවත්වා සියුම් ඉරියවු පවත්වන්නේය. මහණෙනි, එසේම ඒ කල්පනා නොකරන්නාවූ අමතක කරන්නාවූ ඒ භික්‍ෂුවට ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුමද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කළ යුතුයි. ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ ඒ භික්‍ෂුවට ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද ඒ ළාමක අකුසල කල්පනාවෝ පහවෙත්. අභාවයට යෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි. මනාව තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.

දත්මිටි කෑම

මහණනි, ඒ කල්පනාවන්ගේ මූල හේතුව මෙනෙහි කරන්නාවූ භික්ෂුවටද, ඉදින් ඒ ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද, ඒ ළාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම් මහණනි, ඒ භික්‍ෂුව විසින් දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොටගෙන (දත්මිටි කාගෙන) සිතින් සිත නිග්‍රහ කළ යුතුයි. පෙළිය යුතුයි. නැවිය යුතුයි. දත්වලින් දත් තද කොටගෙන දිවෙන් තලු තදකොටගෙන සිතින් සිත නිග්‍රහ කරන්නාවූ පෙළන්නාවූ තවන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද, යම් ළාමක අකුසල කල්පනා කෙතෙක් වෙද්ද, ඒ ළාමකවූ අකුසල කල්පනාවෝ පහවෙත්. අභාවට යත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි
.


මහණනි, යම්සේ බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙකු හිසෙන් හෝ අල්වා, කරෙන් හෝ අල්වා, නිග්‍රහ කරන්නේද, පෙළන්නේද, තවන්නේද, මහණනි, එසේම ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ භික්ෂුවට ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද, ඒ ළාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම්, මහණනි, ඒ භික්‍ෂුව විසින් දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොටගෙන (දත්මිටිකාගෙන) සිතින් සිත නිග්‍රහ කළ යුතුයි. පෙළිය යුතුයි. නැවිය යුතුයි. දත්වලින් දත් තද කොටගෙන දිවෙන් තලු තදකොටගෙන සිතින් සිත නිග්‍රහ කරන්නාවූ පෙළන්නාවූ තවන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙතෙක් වෙත්ද, ඒ ළාමකවූ අකුසල කල්පනාවෝ පහවෙත්. අභාවට යත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි. මහණනි, යම් හෙයකින් යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කරන්නාවූ භික්ෂුවට ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද, ළාමක අකුසල කල්පනාවෝ උපදිත්ද, එම අරමුණෙන් අන්‍යවූ කුසල් පිණිස පවත්නාවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද ඒ ළාමක අකුසල කල්පනාවෝ පහ වෙත්. විනාශවෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.
ඒ කල්පනාවන්ගේ දෝෂ පරීක්‍ෂා කර බලන්නාහටද ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද, යම් ළාමක අකුසල කල්පනා සහිත කෙතෙක් ඇද්ද, ඔවුහු පහවෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.
ඒ කල්පනාවන්ගේ මුල් හේතුව බලන්නාවූ භික්‍ෂුවහටද ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද, යම් ළාමක අකුසල කල්පනා කෙනක් ඇද්ද, ඒ ළාමක අකුසල කල්පනාවෝ පහවෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.

දත්වලින් දත් තදකොට, දිවෙන් තලු තදකොට, සිතින් සිත නිග්‍රහ කරන්නාවූද, පෙළන්නාවූද, තවන්නාවූද, භික්ෂුවටද ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද, යම් ළාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද ඒ ළාමක අකුසල කල්පනාවෝ පහ වෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි. නවතියි. එකඟවෙයි. සමාධියට පැමිණෙයි.මහණනි, මේ භික්‍ෂු තෙමේ යම් කල්පනාවක් කැමැති නම් එය කල්පනා කරන්නාවූද, යම් කල්පනාවක් නොකැමැති නම් එය කල්පනා නොකරන්නාවූද කල්පනා විෂයෙහි පුරුදු කරන ලද වශීභාව ඇත්තේයැයි කියනු ලැබේ. හෙතෙම තෘෂ්ණාව සින්දේය. සංයෝජන පෙරළා දැම්මේය. මනාකොට අර්හත් මාර්ග ඥානයෙන් මානය ප්‍රහීණ කොට දුක් කෙළවර කෙළේය. (අර්හත් තත්ත්වයට පත්වූහ)

භාග්‍යවතුන් වහන්සේ මේ දම් දෙසුම හමාර කළසේක. සතුටු සිත් ඇත්තාවූ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.

 මහනුවර, මාරතුගොඩ, විදුමිණ විද්‍යායතන පිරිවෙනෙහි ආචාර්ය
ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත
මහරැඹෑවේ පාලිත හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ බිනරපුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ සැප්තැම්බර් මස 22 වන  බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

සසර දුක් විඳින්නේ ඇයි?




මිනිසුන් කායිකව සහ මානසිකව දුක් පීඩාවන් විදිමින් ජිවත්වන්නේ ඇයි? ඊට හේතු කවරේ ද? යන්න පිළිබඳව ධර්මානුකූ®ලව විමසා බැලීම අද දහම් දෙසුමේ අරමුණ වේ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ දක්නට ලැබෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳව විග්‍රහයට අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතු වෙනවා

 නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස


ඉදං ඛො පන භික්‍ඛවෙ දුක්‍ඛ සමුදයං අරියසච්චං, යායං තණ්හා පොනො භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභි නන්දිනී සෙය්‍යථීදං? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා

කාරුණික පින්වත්නි,
මිනිසුන් කායිකව සහ මානසිකව දුක් පීඩාවන් විදිමින් ජිවත්වන්නේ ඇයි? ඊට හේතු කවරේද? යන්න පිළිබඳව ධර්මානුකූ®ලව විමසා බැලීම අද දහම් දෙසුමේ අරමුණ වේ.
තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ දක්නට ලැබෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳව විග්‍රහයට අනිවාර්යෙන්ම අවධානය යොමුකළ යුතු වෙනවා.

බුදුරජාණන් වහන්සේ ඔබට පෙන්වා දෙනවා අතිශයින්ම දුක්විඳීමට හේතු තුනක්. ඉන් පළමුවැන්න නම් ඔබ තුළ තිබෙන්නා වූ කාම තණ්හාව, එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියයන් පහ පිනවීමට තිබෙන්නා වූ බරපතල අවශ්‍යතාව හෙවත් ඕනෑකම. ඒ සඳහා වූ ආශාව බුදු දහමෙහි කාම තණ්හා යනුවෙන් පෙන්වා දී තිබෙනවා. ඇසින් ප්‍රිය ජනක රූප දැකීමට, කනින් මියුරු ශබ්ද ඇසීමට, දිවෙන් මියුරු රස විඳීමට නාසයෙන් මියුරු ගන්ධයන් ආග්‍රහණය කිරීමට ඒ වගේම ශරීරයෙන් මිහිරි සියුමැලි ස්පර්ශයන් ලැබීමට ඔබ තුළ තිබෙන්නාවූ ආසාව තමයි කාම තණ්හා ලෙස පෙන්වා දී තිබෙන්නේ. මෙකී කාම තණ්හාව දුකක් වන්නේ කෙළෙසද? දුකට හේතුවන්නේ කෙළෙසද යන්න පිළිබඳව ඔබ නිවැරැදිව අවබෝධ කරගත යුතුයි. දුක්ඛ සත්‍යය පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා ඔබ කැමැති යමක් නොලැබීම දුකක්. ඔබගේ ඉන්ද්‍රියන් පහ පිනවීමට යමක් අපේක්‍ෂා කරනවද ආසාවෙන් ඕනෑකමින් ඒ අපේක්‍ෂා කරන්නාවූ දෙය ඔබට නොලැබෙයිද එය දුකක් ලෙස ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
බොහෝ විට අපගේ ඉන්ද්‍රියන් පිනවීමට අවශ්‍ය කරන අරමුණු ඔබ අපේක්‍ෂා කරන පරිදි ලබාගැනීමට නොහැකි වන විට ඒ වගේමයි ඔබ අකැමැති අරමුණු ඔබගේ ඉන්ද්‍රියන් සමඟ එක්වන විට ගැටෙනා විට ඒ තුළින් අප දැඩිසේ දුකට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඔබ ප්‍රධාන වශයෙන්ම දුකට අසහනයට පත්වන්නේ ඔබ තුළ තිබෙන්නාවූ පංචකාමයන් භුක්ති විඳීම සඳහා වූ කැමැත්ත නොවැළැක්විය හැකි නිසා. අන් කිසිවක් නිසා නොව මේ ලෝලත්වයේ සීමාව පෘතග්ජන ලෝකයා කිසි කලෙකවත් හඳුනාගෙන නැති නිසා. උන්වහන්සේ පෙන්වනවා කාම තණ්හාවට දායක වුන මේ ලෝකයේ සෑම කෙනෙක්ම ඌනතාවයකින් පීඩා විඳින බව. ඒ නිසාම අතෘප්තිමත්ව දුකට පත්වී කාලය ගතකරන බව. පංච කාමයන් නිසා වන අසීමිත තෘෂ්ණාව මිනිසා දුක් විඳීමට හේතුවන ප්‍රධාන කරුණ බවයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ මග පෙන්වීම. කාම තෘෂ්ණාව ඇතුළත දැනෙන්නාවූ හැඟීම විටෙක සුවදායි එකක් ලෙසත්, විටෙක සැපවත් එකක් ලෙසත් ඔබට හැඟී ගියත් සැබවින්ම එකී මනෝභාවය විසින් අපට උරුම කරදෙනු ලබන්නේ අන්කිසිවක් නොව උසුලාගත නොහැකි දුකක් බවයි.
ඒ වගේම භව තණ්හාව යනු ඔබට දුක් විඳීමට හේතුවන තවත් කරුණක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. උන්වහන්සේ පහළවන සමයෙහි ලෝකයෙහි විසූ එක් දාර්ශනික ගුරු කුලයක් කීවේ පුද්ගලයා, සංසාරය, මේ ලෝකය පිළිබඳ විග්‍රහයක නියැලෙමින් සදාකාලික ආත්මයක් නොවෙනස් ආත්මයක් භවයෙන් භවයට උපතින් උපතට ගමන් කරනවාය පවතිනවාය කියන විශ්වාසය සහිතව දෘෂ්ටියක එල්බ සිටි පිරිසක්. මේ දාර්ශනික පිළිගැනීම නිසා අතිශය දුක්ඛිත සසර දික්වීමට හේතුවන ප්‍රතිපදාවන්හි නියැලුණා.
ඔවුන්ගේ ප්‍රතිපදාවන් නිසා පුද්ගලයා දුක් විඳින බව බුදුරජාණන් වහන්සේ අත්තකිලමතානු යෝගය විවේචනයට ලක්කරමින් ගෙනහැර දේශනා කළා.
උන්වහන්සේ වසර තුනක් අත්තකිලමතානු යෝගයෙහි යෙදෙනු ලැබුවා. “දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ” ඔවුන්ගේ භාවිතාව හෙවත් අත්තකිලමතානු” යෝගය හෙවත් ආත්මයට වද දෙමින් ආත්මය දිගින් දිගටම ගමන් කිරීම නැවතීම සඳහා දරන්නාවූ උත්සාහය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක් උපදවන, උතුම් නොවන, කිසිඳු අර්ථයක් නැති ක්‍රියාකාරකමක් ලෙස.
ඒ අනුව ඔබ අවබෝධ කරගත යුතු වෙනවා භව තණ්හාව හෙවත් ශාස්ත්‍රක දෘෂ්ටියකින් පෙළණු අත්තකිලමතානුයෝගී ප්‍රතිපදාවෙන් යුක්ත ශාස්ත්‍රවාදය නිසා බුදුරජාණන් වහන්සේගේ පෙන්වා දීමවන්නේ මිනිසා දුක් විඳිනා බවයි. ඒ අනුව දෙවනුව උන්වහන්සේ පෙන්වා දෙනවා විභව තණ්හා. ‘විභව තණ්හා’ යනු මේ භවයෙන් පසුව වෙනත් කිසිඳු භවයක් නැත කියන පිළිගැනීම. එවැනි පිළිගැනීමකට යෑම තුළ පුද්ගලයා දිගින් දිගටම කාමසුඛල්ලිකානු යෝගී ප්‍රතිපදාව වෙත අනිවාර්යෙන්ම යොමුවෙනවා. කාමසුඛල්ලිකානු යෝගී ප්‍රතිපදාව තුළ එළබුණු මනුෂ්‍යයාට කිසි ලෙසකින් වත් මානසිකව තෘප්තිමත් ජීවිතයක් ගතකරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔහු හැම මොහොතකම පංච කාමයන් තුළින් ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවමින් කාමුක සැප ඇතුළේම විමුක්තිය සොයන්නට යාම නිසා එකී පංච කාමයන් සපුරා ගනුවස් ඕනෑම පාපී ක්‍රියාකාරකමක් ඕනෑම ධර්ම විරෝධී ක්‍රියාකාරකමක් කිරීමට අනිවාර්යෙන්ම පෙළඹෙනවා. මෙකී පෙළඹීම තුළ පුද්ගලයා පංච දුෂ්චරිතයෙහි නියැළීමෙන් එහි ප්‍රතිපලයක් වශයෙන් ඔහුගේ සංසාර භව ගමන තව තවත් දිග්වූ, රාග, ද්වේශ, මෝහ, තව තවත් වර්ධනය වීමත් අනිවාර්යෙන්ම සිදුවෙනවා. මේ කරුණ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කාමසුකල්ලිකානු යෝගී ප්‍රතිපදාව සහිත උච්ඡේදවාදී දෘෂ්ටියෙන් ගොඩ නැගුණු විභව තණ්හාව නිසා පුද්ගලයා අනිවාර්යෙන්ම දුක් විඳින පුද්ගලයකු බවටම දුකසේම සසර ගමන ගමන් කරන පුද්ගලයකු බවට සංසාරයෙන් කිසි කලෙකවත් එතෙරවීමට අවස්ථාවක් නැති පුද්ගලයකු බවට පත්වන බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ. ඒ නිසා උන්වහන්සේ එකී කාමසුකල්ලිකානු යෝගී ප්‍රතිපදාව පහත්, ග්‍රාම්‍ය, පෘතග්ජන, අනාර්යය අරුත් විරහිත ප්‍රතිපදාවක් ලෙස පෙන්වා දී තිබෙන්නේ මෙවැනි ප්‍රතිපදාවක ගමන් කිරීම තුළ පුද්ගලයා දිගින් දිගටම සංසාරගත දුකින් පීඩා විඳිනා බව ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිගැනීම බවට පත්වී තිබෙනවා. මේ අනුව අපට ඉතාමත් නිරවුල්ව අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දවස පමණක් නොවෙයි වත්මනෙහි පවා අප ජීවත්වන සමාජය තුළ මිනිසුන් දුක් විදිනවා නම් එයට හේතුවී තිබෙන්නේ පුද්ගලයා තුළ තිබෙන්නාවූ ප්‍රබල සිතිවිල්ලක් වන තෘෂ්ණාවයි.
ඒ අනුව දුක් විඳීමට හේතුව කුමක්ද? යන පැනයට ඔබට දැන් ඉතාම නිවැරැදි පිළිතුරක් ලැබී තිබෙනවා. ආර්යය ධර්මය මත පදනම් වී බලන විට දුක් විඳීමට හේතු වී ඇත්තේ ධනවාදය හෝ සමාජවාදය නිසා නොව ස්ත්‍රීන් හෝ පුරුෂයින් නිසා නොව මේ සියල්ලටම ඇතුළින් දිවෙන්නාවූ සියල්ලටම පදනම් වී ඇත්තාවූ තෘෂ්ණාව නිසා බව. තෘෂ්ණාව පදනම් කරගෙනම අපගේ දුක නිර්මාණය වී ඇති බව පවත්වාගෙන යන බව ඔබ මෙහිදී ඉතාම ගැඹුරින් අවබෝධ කරගත යුතු යැයි මා කල්පනා කරනවා.

 කොළඹ කුප්පියාවත්ත
ජයශේඛරාරාම විහාරවාසී
මාවරලේ භද්දිය හිමි







  
ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ බිනරපුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ සැප්තැම්බර් මස 22 වන  බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Wednesday, June 24, 2015

චේතනාවයි කර්මයයි




කර්මය පිළිබඳව බොහෝ අය ළග තිබෙන්නෙ සාම්ප්‍රදායික දැනුමක්. සවිඥානකව කර්මය ගැන මෙලෙස විමසීමක් කරමු.
බුදුදහමට අනුව කර්මය කියන්නේ ක්‍රියාවක්. කර්මය කියලා වෙන දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” ඒ අනුව කර්මය ක්‍රියාවක් නෙමෙයි. ඕනෑම ක්‍රියාවක් කර්මයක් සහිත ක්‍රියාවක් බවට පත් වෙන්නත් පුළුවන් කර්මයක් නැති ක්‍රියාවක් බවටත් පත්වෙන්න පුළුවන්.
නිදසුනකින් පැහැදිලි කළහොත් මේසයක් මත තබා ඇති වීදුරුවක් නොහිතා අත වැදීමෙන් බිඳීයන්න පුළුවන්. එලෙසම යමෙක් හිතාමතා තරහ සිතින් වීදුරුව බිම දැමීමෙන් බිඳී යන්නත් පුළුවන්. මේ සිදුවීම් දෙකින්ම සිද්ධ වෙන්නෙ එක දෙයක්. ඒ වීදුරුව බිඳී යාමයි. සැබවින්ම මේ සිදුවීම් දෙකම ක්‍රියාව වශයෙන් සිදුවෙලා වීදුරුව බිඳිලා. නමුත් මේ සිදුවීම් දෙක එකක් නෙමේ  දෙකක්.

භික්ෂුණි සමාජය



ක්‍රි.පු.3 වැනි සියවසේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මේ රටට වැඩම කර දේවානම්පියතිස්ස රජු වෙත ධර්මය දේශනා කර එතුමා බෞද්ධයෙකු බවට පත් කරන ලදී. එදා සිට අද දක්වාම මේ රට රාජ්‍ය ආගම බුද්ධාගම වූ අතර සිංහල සියසුනේ උරුමය නීත්‍යානුකූ®ලවම හිමි විය යුත්තේ බෞද්ධයෙකුටම මිස වෙන කිසිවෙකුටත් නොවේය යන්න සමස්ත සිංහල ජනතාවගේ හැඟුම විය.
මහා වංශයේ සඳහන් වන පරිදි සේන, ගුත්තික, එළාර ආදී රජවරු වරින් වර අපේ රට පාලනය කළත් ඔවුන් පළවා හැර නැවතත් අපේ රටේ සිංහල බෞද්ධ රජ දරුවන් රාජ්‍ය පාලනයට උරුමකම් කියන ලදී.
මේ රජ දරුවන් එදා අපේ රටේ සම්බුද්ධ ශාසනය උදෙසා අනුපමේය මෙහෙයක් ඉටුකරන ලදී. ක්‍රි: පූ: 3 වන සියවසේ දී ශ්‍රී සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේත්, හේමා, ප්‍රසාදපාලා, අග්ගිමිත්තා, දාසිකා, ඓග්ගු, පබ්බතා, මත්තා, ධම්මදාසිකා, මහාදේවි, පදුමා, හේමසා, උත්තලා අඤ්ජලි, සාමා යන මහරහත් මෙහෙණින් වහන්සේලාත් සමග මේ රටට වැඩම කර අනුලා දේවිය ඇතුලු කාන්තාවන් පන්සියයක් දෙනාත් පැවිදි කර භික්‍ෂුණි සමාජය ආරම්භ කළහ. එදා සිට පොළොන්නරු රාජධානියේ අග භාගයේ පැමිණි නොයෙක් ව්‍යසනයන් නිසා මේ රට භික්‍ෂුණි සමාජය අතුරුදහන් වී යන තෙක්ම එකළ රජ පැමිණි රජ දරුවෝ භික්‍ෂුණී සමාජයේ උන්නතිය උදෙසා අනුපමේය සේවයක් සිදුකළ බව මහාවංශය සාක්‍ෂි දරයි.

එනම් :
දේවානම් පි‍්‍රයතිස්ස රජතුමා හත්තාලවක මෙහෙණවර සාදා සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේට පූජා කරන ලදී. සද්ධාතිස්ස රජුගේ වැඩිමහලු පුත් ලජ්ජිතිස්ස (බ.ව. 425 – 434) දවසද ඒ රජතුමා භික්‍ෂුණින් වහන්සේලාට අවශ්‍ය දේ සොයා බලා පූජා කළ බව සඳහන් වේ.

බු: ව: 467 – 482 කාලයේ රජකළ මහසිළු මහතිස් රජතුමා භික්‍ෂුණින් වහන්සේලා දොළොස් දහසකට තුන් සිවුරු පූජා කළ බවද සඳහන්ය.

වළගම්බා රජතුමා භික්‍ෂුණින් වහන්සේලාගෙන් බණ අසා පැහැදී භික්‍ෂුණින් වහන්සේලාට බෙහෙත් ආදි ද්‍රව්‍ය පූජා කළහ.

බු: ව: 552 – 564 කාලයේ රජ පැමිණි මහදැළිය මහා රජතුමා භික්‍ෂුණින් වහන්සේලාට කහවනු ලක්‍ෂයක් වැය කොට සිවුරු පූජා කළ බව සඳහන් වේ.

බු: ව: 684 – 698 කාලයේ රජ පැමිණි භාතිය තිස්ස රජතුමා භික්‍ෂුණින් වහන්සේලාට මහා දන් දුන් බව සඳහන් වේ.

බු: ව: 819 – 845 කාලයේ රජ කරන ලද මහසෙන් රජතුමා උතුරු අබාහෙබෙහි මෙහෙණවර දෙකක් කරවන ලදී.

බු: ව: 1040 – 1058 කාලයේ මුගලන් රජතුමා “රැජින” නම් මෙහෙණවරක් කරවා ජේතවන නිකායික භික්‍ෂුණින් වහන්සේලාට පූජා කළ බව සඳහන් වේ.

බු: ව: 1545 – 1560 කාලයේ රජ කළ සිව්වන මිහිදු රජු මහාමල්ලක
බු.ව. 1270 – 1276 කාලයේ රජ පැමිණි සිව්වන අග්බෝ රජතුමාගේ ජෙට්ඨා නමැති අග බිසව සිය නමින් මෙහෙණවරක් ඉදි කරවා එම ආරාමයට ගම් දෙකක් ද පුද කොට ඒ ගම් දෙකට නුදුරුව “බුද්ධ හෙල” නම් ගමක් ද ආරාමිකයන් (කැපකරුවන්) 100 යද දුන් බව සඳහන් වේ.

මිහිඳු නම් රජ ඔටුනු නොපැළදම බු.ව.1282 – 1285 කාලයේ රජය විචාරද්දි භික්‍ෂුණින් වහන්සේලාට සිය නමින් ආරාමයක් කරවා පූජා කරන ලදී.

බු: ව: 1411 – 1431 රජ පැමිණි පළමුවැනි මිහිදු රජතුමා රිදි මුවා බෝසත් රුවක් කරවා “සිලාමේඝ” නම් මෙහෙණවරක් කරවා භික්‍ෂුණින් වහන්සේලාට පූජා කරන ලදී.
පස්වන කසුප් රජුගේ පුත් සක් සෙනෙවියන්ගේ වජිරා නම් බිසව ශ්‍රී පාදස්ථානයෙහි මෙහෙණවරක් කරවා ථෙරවාද භික්‍ෂුණින්ට දුන් බව සඳහන් වේ.

බු: ව: 1457 – 1474 කාලයේ රජ පැමිණි 4 වන කසුප් රජතුමා “තිස්සරාම” නම් මෙහෙණවර ද මහින්දාරාම නම් මෙහෙණ වරක් ද කරවූ බව කුකුරුමහාදමන සෙල් ලිපියෙහි සඳහන් වේ.

මේ ආදි වශයෙන් තවත් බොහෝ කරුණු මහා වංශය පරීක්‍ෂා කර බැලීමෙන් භික්‍ෂුණි සමාජය උදෙසා පෙර රජ දරුවන් විසින් ඉටු කරන ලද රාජ්‍ය අනුග්‍රහය අවබෝධ කරගත හැකිය.

මේ ආකාරයට පෙර රජ දරුවන් භික්‍ෂුණි සමාජය වෙත චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලන්පස, යන සිව් පසයෙන් සංග්‍රහ කළා පමණක් නොව තම මව්වරු, බිසෝවරු, දියණිවරු මෙහෙණි සසුනේ පැවිදි කළහ. ඒ බවට උදාහරණ මහාවංශයේ සඳහන් වේ.
බු: ව: 1285 – 1288 දක්වා රජ කනර ලද අග්බෝ සලමෙවන් රජතුමා සිය දුවනිය මෙහෙණවරහි පැවිදි කළහ.

බු:ව: 467 – 482 කාලයේ රජ පැමිණි මකලන්තිස්ස රජතුමා තම මව් බිසව පැවිදි කරවා රජ මැදුරට නුදුරින් මෙහෙණවරක් කරවා පූජා කරන ලදී.

බු:ව: 1167 – 1172 රජ පැමිණි දෙටුතිස් රජ යුද්ධයෙන් පරදින බව වැටහුණු විට සිය මෙහෙසිය මතක් වී ඇයට පැවිදි වන්නටත් එසේ පැවිදි වී අභිධර්මය ඉගෙන ගෙන දේශනා කොට තමාට පින් දෙන්නටත් නියම කළේය. දේවියද රජු කී ලෙස කළාය.
දුටුගැමුණු රජුගේ සෙනෙවියකුගේ දියණියක වූ නාගා කුමරිය, කාවන්තිස්ස රජුගේ දියණිවරුන් වූ මහිලා හා සමන්තා යන රාජකුමාරිකාවනුත් ඒ රජුගේ පුරෝහිත බමුණාගේ දියණිවරුන් වූ දාසි ගිරිකාලි, සුබ්බපාසිකා, සංඛපාලි යන කුමරියත් පැවිදි වී භික්‍ෂුණි සමාජය බැබලවූ බව දීප වංශයේ සඳහන් වේ.

මෙරට භික්‍ෂුණී සමාජය ආරම්භ කරන ලද්දේ ද රජ බිසවක් වූ අනුලා දේවිය පැවිදි කිරීමෙන්ය.
එදා රජ දරුවන් මේ ආකාරයෙන් තමන්ගේ ඤාතීහු භික්‍ෂුණී ශාසනයේ පැවිදි කරවා සම්බුද්ධ ශාසනයේ ඤාතීන් බවට පත්විය. මේ ආකාරයට භික්‍ෂුණි සමාජය වෙත එවකට රාජ්‍ය පාලනය කළ සියලු බෞද්ධ රජ දරුවන්ගේ ආශිර්වාදය, අනුග්‍රහය ලැබුණු බැවින් එදා භික්‍ෂුණි සමාජය ඉතා දීප්තිමත්ව පැවැති බව පෙනේ. ඒ සඳහා සාධකද අපට වංශ කථාවලින්ම සොයා ගත හැකිවේ.
මෙහෙණි සස්න පිහිටුවා සියවස් එකහමාරක් පමණ ගතවන විට ලංකාවේ ලක්‍ෂ ගණනින් භික්‍ෂුණින් වහන්සේ වැඩ සිට ඇත. දුටු ගැමුණු රජතුමා විසින් පවත්වන ලද මහාථූප පූජෝත්සවයට භික්‍ෂුණීහු දාහතර දහසක් සහභාගි වූ බව මහා වංශයේ 18 වන පරිච්ඡේදයේ 69 වන ගාථාවේ සඳහන් වේ. එම චෛත්‍යයෙහි මංගල ශිලා පිහිටුවීමට දඹදිව දෙව්රම් වෙහෙරින් වැඩම කළාවූ පියදස්සි රහතන් වහන්සේගෙන් බණ ඇසූ තුදුස්දහසක් භික්‍ෂුණීහු රහත් වූ බව එම පරිච්ඡේදයෙහිම සඳහන්ව ඇත. මිරිසවැටි චෛත්‍යයේ කොත් වහන්සේ පලඳවන පූජෝත්සව අවස්ථාවේදී රැස්වූ පිරිස් අතර භික්‍ෂුණින් වහන්සේ අනුපන්දහසක් සිටි බව ථූපවංශයේ සඳහන් වේ. අනුරාධපුර මහා විහාරයේ වැඩසිටි භික්‍ෂුණින් වහන්සේලා එහි සිට විනය ග්‍රන්ථ පහ හා අභිධර්ම ග්‍රන්ථ හත ඉගැන්වූ බව දීපවංශයේ 18 වන පරිච්ඡේදයේ 14 වන ගාථාවේ සඳහන් වේ.
අභිධර්මය අධ්‍යයනය කෙරෙහි භික්‍ෂුණීහු රුචියක් දැක්වූ බව පෙනෙන්නට ඇත. වළගම්බා රජු දවස භික්‍ෂුණීන් විසි දහසකට ප්‍රධාන වූ උත්තරා නම් මෙහෙණිය ත්‍රිපිටකය උගන්වා ඇති බව දීප වංශයේ 18 පරිච්ඡේදයේ 19 –20 ගාථාවල සඳහන්ව ඇත. දෙවන පෑතිස් රජු දවස විසූ මහදේවි, පදුමා, හේමා යන භික්‍ෂුණීහු විනය ඉගැන්වූ බව දීප වංශයේ සඳහන් වේ.
ත්‍රිපිටකය ආරක්‍ෂා කර ගැනීම, මුඛ පරම්පරාවෙන් පවත්වා ගෙන යාම කෙරෙහි භික්‍ෂුණී සමූහයා උනන්දු වූ බව වංශ කථා අපට කියයි. ඇතැම් භික්‍ෂුණීහු මේ අත්භවේදිම සසර දුකින් මිදෙනු සඳහා උට්ඨාන වීය¸යෙන් මහණදම් පිරුවාය.
මහින්දාරාම නම් මෙහෙණවර ඉදිරිපිට ආරෝග්‍යශාලාවක් වූ බව දහවන සියවසට අයත් කුකුරුමහන්දමන ටැම් ලිපියේ සඳහන්වේ.
භික්‍ෂුණින් වහන්සේ මේ ආරෝග්‍ය ශාලාවල ලෙඩුන් සුවපත් කිරීමේ කාර්යන් හි නිරතව සිටියාය. මෙම කරුණුවලින් අපට පෙනී යන්නේ භික්‍ෂුණින් වහන්සේලා ශාසනික වශයෙන් ලබා ගන්නා ලෝකෝත්තර විමුක්තිය කෙරෙහි මෙන්ම සමාජය සැපවත් කරලීමේ කාර්යේ ද යෙදී සිටිය බවයි. එපමණක් නොව, දේශ දේශාන්තරයන් හි භික්‍ෂුණී ශාසනයත්, බුදු දහමත් ව්‍යාප්ත කිරීමට එදා භික්‍ෂුණින් වහන්සේලා කටයුතු කරන ලදහ.
බු: ව: 954 – 975 රජ පැමිණි මහානාම රජතුමාගේ කාලයේ “නන්දි” නමැත්තෙකු සමග මේ රට ථෙරවාද භික්‍ෂුණීන් වහන්සේ අට නමක් චීන කාන්තාවන් උපමසම්පදා කරනු පිණිස සුවාංචියා චීන රජුගේ දෙවන වර්ෂයේ දී එරටට වැඩම කර එහි භික්‍ෂුණී සමාජය පිහිටවන ලදී. චීන රටේ “භික්‍ෂුණී අපදාන” නමැති පොතෙහි ද එය සඳහන්ව ඇත.
මේ ආකාරයෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබ ඉතා දීප්තිමත්ව පැවතුන අප රටේ භික්‍ෂුණී සමාජය සොලී ආක්‍රමණ ආදී නොයෙකුත් ව්‍යසන හේතුවෙන් අතුරුදහන් විය.
මෑත යුගයේ දැනට වර්ෂ 13 කට පමණ පෙර අප රට තුළ නැවත භික්‍ෂුණී සමාජය ආරම්භ විය.
ථෙරවාද භික්‍ෂුණී සම්ප්‍රදායට අයත් විනය නීති ආරක්‍ෂා කරමින්, තම ආධ්‍යාත්මික දියුණුව සඳහා වීර්යයෙන් යුතුව භාවනා වඩමින්, සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මත්, බෞද්ධ ජනතාවගේ ලෞකික ලෝකෝත්තර දියුණුවත් උදෙසා නිහඬ සේවාවක යෙදී වැඩ වාසය කරති.

රත්විට විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිශාස්ත්‍රපති 
මිහිරිපුර ධම්මප්‍රදිපා භික්‍ෂුණිය

ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ බිනරපුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ සැප්තැම්බර් මස 22 වන  බදාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

දෙවියන් සහ බුදු දහම අතර ඇති සබැඳියාව


ක්‍රි.පූ 6 වන සියවන භාරතීය සමාජය බ්‍රාහ්මණ වංශිකයන්ගේ ආධිපත්‍යයට යටත් වූ යුගයකි. මහා බ්‍රහ්මයාගේ නියමය අනුව සමාජය කොටස් හතරකට වර්ග කරන ලදී. ඒ අනුව බ්‍රාහ්මණ ක්ෂත්‍රිය, වෛෂ්‍ය, ශුද්‍ර යන කුල හතරට මුළු මහත් සමාජයම බෙදා ඇතැමුන්ට සියලු වරප්‍රසාදත් ඇතැම් කුලයන්ට වරප්‍රසාද වලින් තොර වහල් මෙහෙවරත් දේව නියමයක් ලෙස හිමි කර දී තිබුණී. එය ඊෂ්වර නිර්මාණවාදය ලෙස සැලකේ. මෙවන් වූ පසුබිමක පහළ වූ අපේ බුදුරජාණන් වහන්සේ දේවත්වයක් යනු කුමක්දැයි පැහැදිලිව විග්‍රහකර ඇත.
දෙවියන් යනු අන් කිසිවෙක් නොව,මහත් සේ කුසල් කරන ලද මිනිසා මිය යාමෙන් පසු දේවත්වයට පත්වන තත්ත්වයකි. දෙවියන් අතර ද ඒ ඒ පුණ්‍ය ශක්තීන් මත ප්‍රබල සහ දුබල දෙවියන් සිටින බවත් ඔවුන් බ්‍රාහ්මණ නියමය අනුව සඳහන් වන පරිදි මිනිසුන් බෙදා වර්ග කරන ලද පිරිසක් වූ සමාජ විෂමතා ඇති කරන පිරිසක් නොවන බවත් බුදු දහම අනුව පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ සහ දෙවියන් අතර ඇති සබඳතාව ප්‍රධාන තැනක් ගෙන ඇත.

කෙලෙස් බරිත වූ අයට නාපෙනෙන දිව්‍ය ලෝක සහ දෙවියන් ඇති බවත් සඳහන් කරන අතර උන්වහන්සේ මනුලොව පැමිණීමට පෙර තුසිත දිව්‍ය ලෝකයේ සිටි බව ද සඳහන් වේ. තවද උන්වහන්සේ සිව්වරක් දේවත්වය ද ලබාගත් බව ප්‍රකාශ කර ඇත. ගිහිගෙය අතහැර දමා බුදුවීමට ගොස් එදා සමාජයේ පැවති අත්තකිලමතානුයෝගීව නැතහොත් ශරීරයට අධික දුක් දීමේ පිළිවෙත අනුගමනය කරන බෝසතුන් පවත්ත ඵල භෝජනයෙන් එනම් තමන් වාඩි වී සිටින විට එම පාත්‍රයට වැටෙන කොළයක් හෝ ජල බිංදුවක් පමණක් ආහාරයට ගැනීමේ පිළිවෙතින් යෙදී සිටින විට නිරාහාරව සිටි නිසා සිහිසුන්ව කටයුතුකර ඇති ආකාරය සඳහන් වේ.
මෙම අවස්ථාවේදී දෙවිවරු බෝසතුන්ගේ රෝම කූප හරහා දිව්‍යමය ආහාර යුෂ මුදා හරිමින් ජීවිතය රැක ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දරා ඇති බව සඳහන් වේ. එසේම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට මිනිසුන් වශයෙන් පස් දෙනෙකු සිටි අතර දෙවිවරු දහස් ගණනින් පැමිණි බව ධම්මචක්කප්පවත්තන සූත්‍රය දෙස විමසීමේදී පැහැදිලි වේ.
එහි සඳහන් පරිදි “සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පූජාය සදේව මනුස්සානං සම්මා සම්බෝධි අභිසම්බුද්ධෝ” මෙහි සිංහල තේරුම නම් දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයෙහි තමන් බුද්ධත්වය ලබාගත් බවයි. එම සූත්‍රයේ තවදුරටත් විස්තර කරන පරිදි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා චතුර්මහා රාජිකය, යාමය, තුසිතය, නිම්මානරතිය යනාදි දිව්‍ය ලෝකවල දෙවිවරු මහත් වූ සාධුකාර දුන් බවත් සඳහන් වන්නේ මෙසේ ය. “තුසිතානං දේවානං සද්ධං සුත්වා නිම්මාන රති දේවා සද්ධං මනුස්සාවේසුං”
බුදුරජාණන් වහන්සේ ප්‍රථම භික්ෂු හැටනම අමතා කළ ප්‍රකාශය දෙවියන් ඇත යන මතය තවදුරටත් සනාථ කරන්නකි. “චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං” යනාදි වශයෙන් දේශනා කොට ඇත්තේ බොහෝ ජනයාගේ හිතසුව පිණිස සැපය පිණිස දෙවි මිනිසුන් සහිත ලෝකයාට අර්ථවත් දහම් දෙසන ලෙසයි.
තවද බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කාල සටහනක් මත වෙන්කර ඇති බව පැහැදිලිය. එනම් පෙරබත්කිස, පසුබත්කිස, පෙරයම්කිස, මැදියම්කිස, පැසුළුයම්කිස, වශයෙනි. මෙහි මැදියම්කිස හෙවත් මධ්‍යම රාත්‍රිය වෙන්කර ඇත්තේ දෙවියන්ට දහම් දෙසීම සඳහාය. මෙහි ප්‍රතිඵල ලෙස මංගල, පරාභව වැනි සූත්‍ර ඉදිරිපත් කර හැක. එම සූත්‍රවලට අනුව දහම් ඇසීමට දෙවියන්ගේ පැමිණීම එහි විස්තර කර ඇත්තේ “අභික්ඛන්තවන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා” ආදි වශයෙන් විශිෂ්ට වර්ණයෙන් යුක්ත දෙවියන් ජේතවනය ආලෝකවත් කරමින් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි වගයි. පරාභව සූත්‍රය පුරාම දක්නට ඇත්තේ ප්‍රශ්නෝත්තර ක්‍රමයට කරන ලද දේශනාවකි. දෙවියන් ප්‍රශ්න අසන අතර බුදුරජාණන් වහන්සේ ඒවාට දහම් කරුණු මත පිළිතුරු දුන් සේක. කරණීයමෙත්ත සූත්‍රයේද සඳහන් පරිදි භික්ෂූන් වන්සේලා පන්සිය නමක් කමටහන් සඳහා වනයට වැඩම කළ අතර එහි වෘක්ෂාධිපති දෙවිවරුන්ට භික්ෂූන් වහන්සේලාගේ සීල සමාදනය නිසා රිසිසේ ජීවත් වීමට නොහැකි විය.
පසුව එම දෙවිවරු භයානක රූප, භයානක ශබ්ද, දුර්ගන්ධ මවා එම භික්ෂූන් වහන්සේලා බියට පත් කළහ. මේ නිසා භික්ෂූන් වන්සේලා කායික සහ මානසික රෝගීන් බවට පත් වුණි. දින පහළොවකින් පසුව මෙම පිරිස වනය අතහැර ගොස් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්නේ, මෙම වනයේ ජීවත්වීම අතිශය දුෂ්කර බවයි. පසුව බුදුරජාණන් වහන්සේ විසින් එම භික්ෂූන්ට දේශනා කරන ලද්දේ ඉහත සඳහන් දෙවියන් මෙම කරදර කම්කටොළු කළ බවත් ඔවුන්ට පිං දෙමින් මෛත්‍රිය වඩමින් කටයුතු කිරීම හරහා එම පිරිස වෙනස් වන බවත් ය. ඒ අනුව නැවත වනයට ගිය භික්ෂූන් වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරමින් භාවනා කළ අතර දෙවිවරු භික්ෂූන් වහන්සේලාගේ දායකයන් වූ බව එම සූත්‍රය විමසීමේදී පැහැදිලිව දැකිය හැකිය.
දෙවියන්ගේ සැබෑ තත්ත්වය තවදුරටත් මෙත්තානිසංස සූත්‍රය ඇසුරින්ද විග්‍රහ කළ හැකිය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මෛත්‍රියේ ආනිසංස මෙසේ දක්වා ඇත. “මනුස්සානං පියො හොති අමනුස්සානං පියො හොති දේවතා රක්ඛන්ති” ආදි වශයෙන් මෙහි සඳහන් වන අන්දමට බුදුරජාණන් වහන්සේ මෛත්‍රි සහගත මනුෂ්‍යයා අමුනෂ්‍යයන් විසින්ද දෙවියන් විසින්ද ආරක්ෂා කරන බව ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. එහි තවදුුරටත් සඳහන් කරන්නේ එවන් වූ මානසිකත්වයකින් මිය පරලොව ගිය අය “බ්‍රහ්ම ලෝකෝප ගොහොන්ති” බ්‍රහ්ම ලෝකයේ උපදින බවයි.
වරක් විඩුඪහ සහ සංඝාරව යන දෙපළ බුදුන් වෙතට පැමිණ දෙවියන් සිටීද යනුවෙන් ප්‍රශ්න කර ඇත. මෙහිදී උන්වහන්සේගේ පිළිතුර වන්නේ, දෙවියන් ඇති බව ගුණවන්තයින් විසින් පිළිගත යුතු බවයි. මජ්ක්‍ධිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයේ දේශනා කර ඇත්තේ දිව්‍ය සැප අසීමිත බවයි. එසේම අභිධර්මය දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ තෝරා ගත්තේද තුසිත දිව්‍ය ලෝකයේ ජීවත් වූ තම ආදරණීය මෑණියන්ය. මහාපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් පරිදි දහම් ඇසීමට ලක්ෂ සංඛ්‍යාත දෙවිවරු රැස් වූ බව පැහැදිලිය. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට පවන් සළමින් සිටින විට බුදුන් වහන්සේ භික්ෂුව එම ස්ථානයෙන් ඉවත් කළ පසුව අනඳ හිමියන් විමසන්නේ, එසේ කිරීමට හේතුව කුමක්දැයි කියාය.
එයට බුදුන් වහන්සේගේ පිළිතුර වන්නේ,දෙවියන් පැමිණ ඇති බැවින් දෙවියන්ට වන්දනාමාන කිරීමට එසේ කළ බවයි. බුදුන්ගේ දේහයට මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ උපහාර ලැබෙන තෙක් එය ගිනි දැල්වීමට කෙතෙක් උත්සාහ දැරුවද දෙවියන් එයට ඉඩ ලබා නොදුන් බව පැහැදිලි කරුණකි. දේව පණ්ඩිත සූත්‍රයේ සඳහන් වන්නේ දිව්‍ය සැපත අතිවිශාල බවයි. එය මෙසේ සඳහන් කර ඇත. “යාවංචිදං භික්ඛවේ උපදාපි හාසු කරා යාව සුඛා සග්ගති” එහි අදහස වන්නේ දෙව්ලොව සැපත හිමාලය පර්වතය තරම් වේ නම් මනුලොව සක්විති සැපත ගල්කැටයක් තරම් කුඩා වන බවයි.
රතන සූත්‍රය දෙස විමසීමේදී දෙවියන් පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් දැකිය හැකිය. “යානිධ භූතානි සමාගතානි.....” යන ගාථාවේ තේරුම වන්න්, පොළොවෙහි හෝ අහසෙහි යම් අමනුෂ්‍යය කෙනෙක් රැස්වේද ඒ සෑම අයකුම සතුටු සිතැත්තෝ වෙත්වා යනුවෙනි. එහි තවත් තැනක සඳහන් “මෙත්තං කරොථ මානුෂියාපජාය.....” යන්නෙහි අදහස වන්නේ දිවා රෑ දෙකෙහි දෙවියන්ට පුද පූජා දෙන අය ආරක්ෂා දෙන බවයි. රතන සූත්‍රය අවසානයේ එන “යානිධ භූතානි සමාගතානි ....” යන ගාථාවේ සඳහන් වන්නේ පොළොවෙහි අහසෙහි ජීවත්වන යම් අමනුෂ්‍යය කෙනෙක් වෙත්ද, බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයට ගරු කරන ලෙසත් සත්වයාට ආශිර්වාද කරන ලෙසත් සඳහන් වන ඉගැන්වීමකි.
ඉහත සඳහන් කරුණු අනුව අපට ඉතා පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ පුනර්භය සංකල්පය හා සමඟම දෙවියන් පිළිබඳවද දක්වා ඇති වැදගත් අදහස නම් දේවත්වය යනු කුසල් දහම්වල ප්‍රතිඵලයක් වන බවයි.
කතරගම දෙවියන්ද ලෝකයේ සිටින මහා බලසම්පන්න දෙවි කෙනෙකි. බුදුරජාණන් වහන්සේ සියැසින් දුටු දෙවියන් අතරට කතරගම දෙවියන්ද එක් වන්නේ, කතරගම ඉතිහාසය පිළිබඳව විමසීමෙනි. බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාවට වැඩි දවසේ කතරගම මහසේන නොහොත් මහාඝෝෂ නැමැති රජුගේ කිහිරි උයනෙහි උන්වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටියහ. එහිදී ප්‍රදේශය පාලනය කළ මහසේන රජතුමන් ඇතුළු පිරිසට ධර්මදේශනා කළ බවත් මහසේන රජු විසින් කිරිවෙහෙර වහන්සේ කරවූ බව ඉතිහාසගත තොරතුරුවලින් හෙළිවේ. කුළුණුබර පියකු මෙන් ජනතාවට ආදරය කළ එතුමා මිය පරලෝ යාමෙන් පසු මහාසේන නමින් දේවත්වාරෝපණයෙන් පිදුම් ලබන්නට විය.
කතරගම දෙවියන් හැඳීන්වීම සඳහා මහාසේන, ස්කන්ධ කුමාර, කන්දසාමි ආදි නම් රාශියක් දක්නට ඇත. නුවර යුගයේ ඇතිවූ දකුණු ඉන්දීය සබඳතා මත මහදෙවොලටද හින්දු සිරිත් විරිත් බලපාන්නට ඇත. දුටුගැමුණු මහ රජතුමා ඉන්දීය ආක්‍රමණිකයකු වූ එළාර රජු සමඟ යුද වැදීමට පෙර කිරිවෙහෙරටත් අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේටත් අධිගෘහිතව විසූ කතරගම දෙවියන් ඉදිරියේ භාරයක් වූයේ, ඉන් ජයග්‍රහණය ලැබුව හොත් වර්තමාන දේවාලය පිහිටි භූමියේ දෙවොලක් සාදා පූජාකරන බවටයි. එය ධාතු වංශයේ හා දේවාල ලේකම් පොතෙහි පැහැදිලිව සඳහන් වේ.
නව දේවමන්දිරය ඉදිවීමත් සමඟ කතරගම දෙවියන් පිළිබඳ විශ්වාසය, ගෞරවය, කීර්තිය වඩ වඩාත් පැතිරෙන්නට වූ බව පැහැදිලිය. ඊට ප්‍රධාන සාධකයක් වූයේ, කතරගම දෙවියන් උදෙසා නියමිත පුද පූජා රටාවක් රාජාඥාව මගින් ස්ථාපති කර එහි වගකීම තමන්ගේ ලේ නෑයෙකුට පැවරීමට දුටුගැමුණු මහ රජතුමා කටයුතු කිරීමයි. එපමණක්ද නොව ඌව ප්‍රදේශයේ ඉඩම් අක්කර දහස් ගණනක් මහා දේවාලයේ පැවැත්ම සඳහා දුටුගැමුණු මහරජතුමා පූජා කරන ලද අතර අදත් මේවා පවතින්නේ මහා දේවාලය සන්තකය. එදා සිට අද දක්වා සියවස් ගණනාවක් තිස්සේ අවිච්ජින්නව පවත්වාගෙන එනුයේ එදා රාජාඥාව පරිදි නිල කරනු ලැබූ පූජා චාරිත්‍ර විධීන්ය.
දුටු ගැමුණු රජතුමා එළාර රජු සමඟ සටන් වැදුණු කණ්ඩුල හස්තියාගේ දළ දෙක පවා රුහුණු කතරගම මහා දේවාලයේ තැන්පත්කර තිබීම ඉතා වැදගත් සිද්ධියක් වන අතර එය ඇසළ උත්සව සමයේ ජනතාවට දැක බලාගැනීමට ප්‍රදර්ශනය කිරීමද මෙහිදී සිහිපත් කළ යුතුය.
මේ අනුව බලන විට බුදුරජාණන් වහන්සේගේ දහම අනුව දෙවියන් සිටින බවත් දෙවියන්ගේ බලය අසීමිත බවත් සඳහන් කළ යුතුය. කතරගම දෙවියන්ද අසීමිත බලයෙන් යුත් දෙවි කෙනෙකි. එයට ප්‍රධාන හේතුව දහස් ගණන් බැතිමතුන්ගේ පිං ලබන මහානුභාව සම්පන්න දෙවියන් අතරට කතරගම දෙවියන් යොමුවන්නේ අවිවාදයෙන්ම පළමුවන ස්ථානයටයි.
මෙම වර්ෂයේද ඇසළ මහා උත්සවය ඉතාමත් සාර්ථකව දෙවියන්ට උපහාර පිණිස දේශීය කලාවන්ගෙන් යුක්තව පෞරාණික සම්ප්‍රදායට මුල්තැන දෙමින් පැවත්විණි. එහිදී රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මැතිතුමා බැතිබර ජනතාවගේ ගෞරවයට පාත්‍රවිය යුතුය.

Tuesday, June 23, 2015

දෙවියන් සරණ යා යුතුද ?

 
බුදුදහම හා දෙවියන් අතර ඇත්තේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකි. තිලෝගුරු ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චරිතයේ බෝසත් උත්පත්තියේ පටන් දෙවියන් බෝසතුන්ට ගෞරව පුද සත්කාර කළ ආකාරය විස්තර කෙරේ. සම්මා සම්බුද්ධත්වයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේගේ දින චර්යාවේ රාත්‍රී මධ්‍යම භාගය වෙන්කර තිබුණේද දෙවිදේවතාවුන්ගේ ධර්ම ගැටලු වලට විසඳුම් ලබාදීමටය.
සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ ඇතුළත් සූත්‍ර රැසක්ම දේශනා කොට ඇත්තේ විවිධ දෙවිදේවතාවුන් මුල්කොටගෙනය. විශුද්ධි මාර්ගය ලිවීම සඳහා පාදක කොටගත් “අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතො පජා “ යන ප්‍රශ්නයට පිළිතුරු සපයමින් බුදුන් වහන්සේ විසින් “ සිලෙ පතිට්ඨාය නරො සපංඤෝ “ ආදී වශයෙන් ගාථා ධර්මය දේශනා කොට ඇත්තේ එක්තරා දිව්‍ය පුත්‍රයෙකු මුල්කරගෙනය. සතුල්ල පතායික නම් වූ දේව කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේ හමුවී බොහෝ ප්‍රශ්න වලට ධර්මයෙන් පිළිතුරු ලබාගත් බව දේවතා සංයුක්තයෙහි සඳහන්ය.
එසේම සංයුක්ත නිකායේ “ සමය “ සූත්‍රයෙහිද, දීඝ නිකායේ මහාසමය සූත්‍රයෙහි ද දෙවිදේවතාවන් පිළිබද දීර්ඝ විස්තර රැසක් දැක්වේ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර තවත් මහ රහතන්වහන්සේලා පන්සිය නමක් සමග වැඩ වාසය කරන අවස්ථාවක , දස දහසක් ලෝක ධාතුන්හි දෙවිදේවතාවෝ බුදුරජාණන් වහන්සේ හා අනෙක් රහතන් වහන්සේලා හමුවීමට පැමිණියහ. එහිදී බුදුන් වහන්සේ හා කෙළෙසුන්ගෙන් නොපැරදුනා වූ මහ රහතන් වහන්සේලා හමුවීමට දෙවිදේවතාවුන් රැසක් සපැමිණි බව එහිදී දෙවියෝ බුදුරදුන් උදෙසා ප්‍රකාශ කළහ. යම් කෙනෙක් බුදුන් වහන්සේ සරණ ගියෙහිද ඔහු අපායට නොයන්නෙහිය. මිනිස් කය හැර දේවත්වය ලබන්නේයැයි එහිදී එක් දේවතාවෙක් ප්‍රකාශ කළේය.
ඊට එක්වූ දෙවිවරුන් මහරහතන් වහන්සේලාට හඳුන්වා දුන් බුදුරජාණන් වහනසේ කිඹුල්වත් නුවර වාසී සත් දහසක් බූමාට දේවතාවෝද සතාගිර වස් දේවතාවෝද, විශ්වාචිත්‍ර පර්වත හා රජගහ නුවර වැඩි දේවතාවුන් හා සතරවරම් දේවතාවෝ වූ ධෘතරාෂ්ට්‍ර, විරූපාක්ෂ, විරූඪක, කුවේර ආදී දෙවිවරුද , නාගයෝද, ගරුඬයෝද, අසුරයෝද ඇතුළත් විවිධ දේව නිකායයන් රාශියක් සපැමිණි බව දීඝ නිකායේ මහා සමය සූත්‍රයෙහි විස්තර කර තිබේ. වරක් බුදුන් වහන්සේ “ගිජඣකාවසථ “ යෙහි වැඩ විසූ අවස්ථාවක “ ජනවසභ “ නම් වූ යක්ෂයෙකු හිටි හැටියේම පහළ විය. සමහර අවස්ථාවලදී දෙවිදේවතාවුන් යක්ෂ නාමයෙන්ද හඳුන්වා ඇත. ඔහු යක්ෂ සේනාපති වෙසමුණි රජුගේ කාර්යයක් සඳහා යමින් සිටියදී ඒ අතරමග බුදුන් වහන්සේ හමුවීමට පැමිණි බව සඳහන් කොට ඇත. එහිදී ඔහු තමා මීට ඉහත ආත්ම භවයෙහි මගධාධිපති බිම්බිසාර මහ රජතුමා බවත්, මෙම ආත්ම භවයෙහි ජනවසභ නම් වෙසමුණු රජුගේ රාජ සභාවේ ක්‍රියාකාරිකයෙකු බවත් ඊට හේතු භූත වූයේ වේළුවනාරාමයේදී බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයට පත්වීම බවත් ප්‍රකාශ කළේය. එමෙන්ම පසළොස්වක පොහෝ දින පුරා සඳ පායා ඇති රාත්‍රියෙහි තව්තිසා දිව්‍ය ලෝකයෙහි වාසය කරන්නා වූ දෙවිදේවතාවුන් සභාවට රැස් වූ පසු සතරවරම් දෙවිවරුන් පැමිණ ශක්‍රදේවේන්ද්‍රයා ඇතුළු අනෙකුත් දෙවිදේවතාවුන්ට රැකවරණය සපයමින් සතරදෙස රැකවරණලා සිටින ආකාරය විස්තර කොට ඇත.
ඊට අදාළව ධෘතරාෂ්ට්‍ර අවරදිගට මුහුණලාද විරූපාක්ෂ පෙරදිගට මුහුණලාද විරූඪක උතුරු දිගට මුහුණලාද දෙවියන් පෙරටුකොට සිටින ආකාරය ජනවසභ විසින් බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරන ලදී.
එමෙන්ම එම දේව සභාවෙහි මහත් අලංකාරයෙන් බබළන ශරීර ඇති අලුතින් පහළ වූ දෙවිදේවතාවුන් රැසක් දැක දිව්‍ය සභාව මගින් ඔවුන් කවුරුන්ද යන වග විමර්ශනය කළ විට, ලෝකයේ බුදුන් වහන්සේ කෙනෙකු පහල වී ඇති බවත් උන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුව කටයුතු කළ බොහෝ දෙනා එම පුණ්‍ය ශක්තියේ බල මහිමයෙන් දිව්‍ය සැප සම්පත් ලබා තව්තිසා දිව්‍ය ලෝකයෙහි උත්පත්තිය ලබා ඇති බවත් ඒ හේතුවෙන් දෙවිදේවතාවුන් රාශියක්ම වර්ධනය වී ඇති ආකාරයත් අසුරයින්ගේ බලය පිරිහීමට පත්වී ඇති ආකාරයත් ඉමහත් පී‍්‍රතියෙන් සඳහන් කළේය. එම අවස්ථාවේදී ඉන්ද්‍ර සහිත තව්තිසා දිව්‍යලෝක වාසින් බුදුන් වහන්සේද ධර්මයෙහි සුධර්මත්වයද , සංඝයාගේ සුපිළිවෙතද නම දින්නාහුයැයි සඳහන් කළ බවත් ඉදිරි වර්ෂා කාලයේදී අරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාගේ ආරක්‍ෂාව උදෙසා සිවු වරම් දෙවිදේවතාවුන්ට භාර කළ බව ජනවසභ සඳහන් කළ බවත් දැක්වේ.
දීඝ නිකායේ සක්කපඤ්ඤ සූත්‍රයේ ශක්‍ර දේවේන්ද්‍රයා බුදුන් වහන්සේ හමුවීමට පැමිණ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇත. එම අවස්ථාවේ පඤ්චසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා විසින් බුදුන් වහන්සේ ඉදිරියේ සිදු කරන ලද සුමිහිරි ගීත ගායනයක් බුදුන් වහන්සේගේ ඉමහත් ප්‍රශංසාවට ලක්වූ ආකාරයද විස්තර කොට ඇත. එම ආත්ම භාවය අවසන් වී සිටි ශක්‍ර දේවේන්ද්‍රයා බුදුන් වහන්සේ ගෙන් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට බුදුන් වහන්සේ ඉදිරියේදීම චුත වී නැවතත් ශක්‍ර දේවේන්ද්‍රයාම වී උත්පත්තිය ලැබූ බව එම සූත්‍රයෙහි පැහැදිලිව සඳහන් කොට ඇත. බුදුන් වහන්සේ මංගල සූත්‍රය දේශනා කොට වදාළේද දෙවිදේවතාවුන් විසින් අසනලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. කරණීය මෙත්ත සූත්‍රය දේශනා කොට වදාළේද විවිධ දේව නිකායිකයින් අතර සහජීවනය වර්ධනය කර ගැනීම සඳහාය.
විශේෂයෙන් සඳහන් කළ යුත්තක් වන්නේ මෙම කිසිදු සූත්‍රයක හෝ වෙනත් තැනෙක ගිහි පැවිදි බුද්ධ ශ්‍රාවකයන් විසින් දෙවිදේවතාවුන් යැදිය යුතු යැයි බුදුන් වහන්සේ ප්‍රකාශ කොට නොමැති වීමයි. බුදුන් වහන්සේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා ඇතුළු පිරිසට දේශනා කොට වදාළේ බියෙන් තැතිගත් ජනයා පර්වත, වන ආරාම , වෘක්ෂ හා දේවාල පිහිට කොට යන බවත් එම සරණයාම සෙත් ශාන්තිය පිණිස කිසිසේත්ම හේතු නොවන බවත් එමගින් සසර දුකින් එතෙරවීමට නොහැකි බවත්ය. යම් කිසි පුද්ගලයෙකු බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යන්නේද ඔහු චතුරාර්ය සත්‍ය ප්‍රඥාවෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට දුකින් මිදීමට හේතුවන බවත් රත්නත්‍රය සරණයාම සියලු දුකින් මිදීමට හේතුවන බවත් බුදුන් වහන්සේ ඉතා පැහැදිලිවම දේශනා කොට වදාළහ.
සක්කනමස්සන සූත්‍රයෙහි දක්වා ඇති ආකාරයට පින්කරන්නාවූද, සිල්වත් වූද, ගෘහස්ථයන්ට පවා ශක්‍රයා නමස්කාර කරන බව ශක්‍ර දේවේන්ද්‍රයාම ප්‍රකාශ කොට ඇත.තමා කුසලයක් කරගත් විට එම පින දෙවියන්ට අනුමෝදන් කිරීමෙන් දෙවියන් පී‍්‍රතියට පත් වන බවත් පෙන්වා දී ඇත.
තමන් ගුණගරුකව ධර්මානුකූ®ලව ජීවත්වේ නම් දෙවියන් ගේ පවා ගෞරවාදරයට පාත්‍රවන බවද විස්තර කොට ඇත. මේ අනුව පෙනී යන්නේ දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කොට ඔවුන්ගේ සහාය ලබාගැනීම හැර දෙවියන් සරනයාම එතරම් ප්‍රයෝජනවත් නොවන බවයි. “හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී “ යන කියමන අනුව නිවැරදිව ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අනුව ජීවත් වන්නන්ට දෙවියෝ නිරන්තරයෙන්ම පිහිට වෙති. උපකාර කරති. ඔවුන් ආරක්‍ෂා කරති.

 ශාස්ත්‍රපති උඩුගම
මොහාන් නන්දන නානායක්කාර


 ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ බිනරපුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ සැප්තැම්බර් මස 22 වන  බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Monday, June 22, 2015

මටවත් මම හිමි නැති කල




නමෝතස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස

උපාදානීයේසු භික්‌ඛවේ ධම්මේසු අස්‌සාදානුපස්‌සිනෝ විහාරතෝ තණ්‌හා පවට්‌ඩ්ති'

'මහණෙනි, උපාදානයන්ට හේතුවූ ධර්මයන් විෂයෙහි ආස්‌වාදය අනුව බලමින් වාසය කරන්නාහුගේ තෘෂ්ණාව බෙහෙවින් වැඩෙයි.

ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුක්‌ත නිකායෙහි අභිසමය සංයුතියේ සඳහන් උපාදාන සූත්‍ර දේශනාවේ ධර්ම කොට්‌ඨාසයකුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‌ෂුන් වහන්සේ ආමන්ත්‍රණය කරන ලදහ. මහණෙනි, උපාදානයන්ට හේතුවූ ධර්මයන් විෂයෙහි ආස්‌වාද අනුව බලමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව බෙහෙවින් වැඩේ. තෘෂ්ණාව නිසා උපාදානය හෙවත්, අල්ලා ගැනීම වෙයි. ඒ උපාදානය නිසා භවය වෙයි. භවය නිසා ජාතිය හෙවත් ඉපදීම සිදුවෙයි. ඉපදීම ජරා මරණ සෝක පරිදේව,දුක්‌ දොම්නස්‌, සිත්තැවුල් හටගනිත්. මෙසේ මෙයම සියලු දුක්‌ හටගැනීම වෙයි.

මෙහිදී උපාදානයන්ට හේතුවූ ධර්ම යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද? ඇස උපාදාන ධර්මයකි. රූපය උපාදාන ධර්මයකි. චක්‌ඛු විඤ්Æණය උපාදාන ධර්මයකි. ඵස්‌ස හෙවත් ස්‌පර්ශය උපාදාන ධර්මයකි.වේදනාව හෙවත් විඳීම ද උපාදාන ධර්මයකි. මේ උපාදාන ධර්මයන්ගේ අවසාන ඵලය වන්නේ තණ්‌හාවයි. මේ ආදී වශයෙන් කන සහ ශබ්දයද, නාසය සහ ආග්‍රාණයද, දිව සහ රසයද කය සහ ස්‌පර්ශයද සිත සහ සිතුවිලිද උපාදාන ධර්ම වන්නේය. මෙම උපාදාන ධර්ම හෙවත් වස්‌තූන් ආස්‌සාදය හෙවත් ආස්‌වාද අනුව බලමින් වාසය කිරීම යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද? එම උපාදාන වස්‌තූන් 'මගේය'', 'මම වෙමි'', 'ස්‌ථිර ආත්මයක්‌ය හෝ මෙය නිත්‍යයි' යනුවෙන් සිතීම නැවත නැවත මෙනෙහි කිරීමයි. (එතං මම, එසොහමසම්, එසොමේ අත්තා). එමෙන්ම එම උපාදාන ධර්ම කෙරේ ආස්‌වාදය ඇතිවීමේදී වණ්‌ණ, ගන්ධ, රස, ඕජා ඔස්‌සේද සිත පැවතීමයි. මෙම අදහස තවදුරටත් ලිහිල්කොට බලමු. පරමාර්ථ ධර්මය නොදන්නා සහ එම ධර්මය පුරුදු නොකළ සිත් ආශ්‍රැතවත් පෘථග්ජන ලෙස හැඳින්විය හැකිය. එවැනි ආශ්‍රැතවත් පෘථග්ජන සිතකට දැනෙන්නේ ඇසින් අරමුණු කරගත් හෙවත් දුටු රූපය ස්‌ථිරයි කියාය. එයට කැමැති නම් මගේය, මමය, ස්‌ථිරයි යනුවෙන් සතුටු වෙයි. ඒ බවම පවසයි. සිතෙහි තැන්පත් කරගනී.

(අභිනන්දති, අභිවදති, අඡ්ෙCධාaසාය තිට්‌ඨති) ඇසෙන් දකින රූපයට අකමැති නම් පටිඝ හෙවත් ගැටීමක්‌ ඇතිවෙයි. එනම් තරහව, පිළිකුල, අමනාපය ඇතිවෙයි. කැමැත්ත හෝ අකමැත්ත නොමැති අරමුණෙහි මධ්‍යස්‌ථ අවස්‌ථාවන්ද පැවැතිය හැකිය.

අස්‌සාද අවස්‌ථාවේදී සිදුවන්නේ අනිච්ච, දුක්‌ඛ, අනත්ත අවස්‌ථාවන් අමතකකොට මගේය, මම වෙමි, ස්‌ථිරය යන සොම්නසින් යුතු ආස්‌වාදය පැවැත්වීමයි. මෙය ආරම්භ වන්නේ තමා කැමැතියි යනුවෙන් උපාදානය කරගත් අරමුණු සමගය. මෙම අවස්‌ථාව පරමාර්ථ ධර්ම විවරණයේදී පැහැදිලි කරන්නේ තණ්‌හා, මද, මාන ආත්ම දෘෂ්ටියෙන් යුතුව උපාදාන හෙවත් දැඩිව අල්ලා ගැනීමක්‌ ලෙසයි. 'මම කැමතියි', 'ඒක මගේ' යනුවෙන් සිතාගත් රූපය, එනම් යම් පුද්ගලයෙක්‌ හෝ වස්‌තුවක්‌ වෙනස්‌ වනවිට, දිරායන විට, අත්හැරෙන විට සිදුවන්නේ කුමක්‌ද? 'මගේ' යෑයි සිතාගෙන සිටි ජීවී හෝ අජීවී වස්‌තුවේ අනියත බව පිළිගන්නට නොහැකිව පටිඝයට හසුවෙයි. එනම් තමාගේ මනසෙහිම ගැටීමක්‌ හට ගනී. එයද තමා කෙරේද, අන්‍යයන් කෙරේද, අරමුණු කෙරේද, ඇතිවන්නාවූ අමනාපයකි. තරහවකි. පිළිකුලකි. මෙවිට සිදුවන්නේ කුමන කායික මානසික ස්‌වභාවයක්‌ද?

සෝචති - ශෝක කරයි

පරිදේවති - විලාප කියා හඬයි

උරත්තාලිං කන්දති - ළයේ අත් ගසාගනී

කිලමති - ක්‌ලාන්ත වෙයි

සම්මෝහති - මුළාවට පත්වෙයි

මේ ආකාරයෙන් ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන ආදී ඉන්ද්‍රිය සය ඔස්‌සේම දුක්‌ ගෙනදිය හැකිය. ඇසයි, රූපයයි නිසාද සිතයි සිතුවිලි නිසාද සියලු දුක්‌වල හටගැනීම සිදුවෙයි. භාග්‍යවතුන් වහන්සේ එය සඳහන් කළේ මෙසේය. 'ආස්‌වාදය පමණක්‌ම මෙනෙහි කිරීම නිසා තෘෂ්ණාව බෙහෙවින් වැඩෙයි. තෘෂ්ණාව නිසා ඇස ආදී ඉන්ද්‍රියයන්ගෙන් රුපාදී අරමුණු දැඩිව මනසින් අල්ලා ගනී. එසේ අල්ලා ගැනීම නිසා භවය හටගනී. භවය නිසා ඉපදීම සිදුවෙයි. ඉපදීම හේතුකොටගෙන ජරා මරණ, සෝක, පරිදේව, දුක්‌ඛ දොaමනස්‌ස උපායාස හටගනිති'.

භාග්‍යවතුන් වහන්සේ දෙසූ උපමාවද අපි එකතු කර ගනිමු. 'මහණෙනි, යම් සේ දර ගැල් දහයක්‌ හෝ දර ගැල් විස්‌සක්‌ හෝ දර ගැල් තිහක්‌ හෝ දර ගැල් හතළිහක්‌ හෝ පමණ දර ප්‍රමාණයක්‌ දැල්වෙන්නේද යම් පුරුෂයෙක්‌ කලින් කල වියලි තණ, වියළි ගොම, වියළි දර එයට දමන්නේද ඒ මහා ගිනිකඳ ආහාර ලැබුවා මෙන් ඉතා දීර්ඝ කාලයක්‌ දැල්වෙන්නේය. මහණෙනි, එසේම උපාදානීය ධර්මයන්හි ආස්‌වාදය නැවත නැවත මෙනෙහි කරමින් වෙසෙන්නාහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණාව නිසා දැඩිව අල්ලා ගැනීම වේ. එම අල්ලා ගැනීමෙන් භවය වේ. භවය නිසා ඉපදීම වේ. ඉපදීම නිසා ජරා මරණාදී සියලුම දුක්‌වල හටගැනීම සිදුවේ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන්නේ දුකින් නිදහස්‌වීම පිණිසයි. ඒ මේ ආකාරයෙනි. උපාදාන ධර්මයන්හි දොaෂ නැවත නැවත දකිමින් වාසය කරන්නාගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. එනම් නිමාවෙයි. තෘෂ්ණාව නිමා වීම නිසා උපාදානය කිරීමක්‌ නැති වෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවීමද, භවය නැතිවීමෙන් ඉපදීම නිරුද්ධවීමද, ඉපදීම අවසන් වීම නිසා ජරා මරණාදී සියලු දුක්‌ රැසේ නිමාව සිදුවේ. එය මුලින් සඳහන් කළ උපමාවටම අනුව ගැල් දහසේ සිට හතළිහක පමණ දර ගොඩකට දර, තණ, ගොම නැවත නැවත නොදමන්නා සේය. මහගිනි කඳ පිළිස්‌සී අවසන් වෙයි. නැවත දර, තණ, වියළි ගොම නොදැමීම නිසා ගිනි නතර වෙයි. ගින්නට දර ආදී ප්‍රත්‍යයන් නැත. ජරා මරණාදී දුක්‌ ඇවිලීමට ආස්‌වාද තෘෂ්ණා ආදී හේතු ප්‍රත්‍යයන්ද නැත. දුකෙහි නිමාවද එයමය.

මේ නිසා සම්මුති ලෝකයෙහි සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක වස්‌තූන් කෙරේ ජීවිත පැවැත්ම පිණිස සීලයෙහි පිහිටා ආස්‌වාදයක්‌ ඇතිකරගත්තද පරමාර්ථය ගැන මනා අවබෝධයක්‌ ලැබිය යුතුමය. එනම් එම උපාදානීය වස්‌තුවල ගැබ්ව ඇති ආදීනවයයි. එනම් අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් ත්‍රිලක්‌ෂණ ධර්මයන්ට යටත්ව කොට දැකීමේ හැකියාවයි. මෙය විදර්ශනා භාවනා අවස්‌ථාවයි. එමෙන්ම හැම අරමුණකම ඇති උප්පාද, ඨිති, භංග (හට ගැනීම පවත්නා ලෙස දකින වෙනස, නැතිවයාම) අවස්‌ථා අවබෝධයෙන් මෙනෙහි කිරීමයි. එවිට සියලු උපාදානීය ධර්මයෝ මගේ නොවේ (නේතං මම) මම නොවෙමි (නෙසෝහමස්‌මි) ආත්මය හෝ ස්‌ථිර යමක්‌ නොවේ. (නමේසෝ අත්තා) යනුවෙන් ආදීනයන් වැටහෙන්නට පටන් ගනියි. මීළඟ අවස්‌ථාව නම් නිස්‌සරණයයි. එනම් උපාදානයෙන් හෙවත් දැඩිව අල්ලා ගැනීමෙන් නිදහස්‌වීමයි. සසරින් ගැලවෙයි. දුකින් ගැලවීම හෙවත් සියලු දුකින් නිදහස්‌ වෙයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වූ පඤ්ච උපාදානස්‌කන්ධ සහ එය උපාදාන වන සියලු බාහිර අරමුණුද පරමාර්ථ ධර්මයන්ට යටත් නම් 'මමවත්, මගේ වෙන්නේ කොහොමද? මමවත් මට හිමි නැති ලොවක බාහිර කිසිවක්‌ද මගේ වෙන්නේ කොහොමද? හටගත් සියල්ල නැතිව යයි. නිස්‌සාරණයම පුරුදු කරමු.

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

2015 පොසොන් මස 02 වැනිදා අඟහරුවාදා බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි