ජීවිතයක යාම තුනකි. බාල ළමා යාමය, යොවුන් තරුණ යාමය, මහලු වැඩිහිටි යාමය යනුවෙනි. ළමා වයස නම්, පෙරයම ය. තරුණ වයස නම් මැදියම ය. මහලු වයස පසු යම ය. තමා නිතැතින් ම පි‍්‍රයවන්නේ තමාටයි. ඒ බව දන්නා තැනැත්තා ඉහත කී ත්‍රිවිධ යාමයෙන් එකක දී හෝ නොකළ යුතු පව්කම් ආදිය නොකර කළ යුතු පින්කම් ආදිය කරමින් තමා රැක ගන්නේ ය, යනු බුද්ධ වචනයයි.
තාරුණ්‍යයෙන්, යෞවනයෙන් මත්වීම යොබ්බන මදයයි. එනම් උමතුවීම ය. සිත් විකෘති කර ගැනීම ය. යෞවන මදයෙන් මත් වූ, බුදු බණ නොදන්නා තරුණයා කයින් වචනයෙන් මෙන් ම සිතින් ද දුසිරිත් කරන්නේ ය. සිය තාරුණ්‍යය විනාශ කර ගන්නේ ය. මග වරද්දා ගන්නේ ය. මත්ව, උමතුව සිටින ඒ තරුණයාට වැරදි මග හරි යැයි හැඟෙයි, පෙනෙයි, සිතෙයි, නිවැරැදි මග වැරදි යැයි හැඟෙයි, පෙනෙයි, සිතෙයි. ඔහුට සත්‍යය, ප්‍රකෘතිය පෙනෙනුයේ අසත්‍යය, විකෘතිය ලෙස ය. මේ හේතුවෙන් හෙතෙම ආධ්‍යාත්මිකව ද, භෞතිකව ද පිරිහෙයි. නොයෙක් අයුරින් සිය අභිවෘද්ධියට දියුණුවට යහපත්ව යොදාගත හැකි තරුණකම විනාශයට පිරිහීමට පත් කරගනියි. එබදු තරුණයෙකු පිළිබඳ පුවතක් දම්පියා අටුවාවෙහි හමුවන්නේ ය. ඔහු මහධන සිටුපුත් නම් විය.
ධනවත් වංශවත් කුලයෙක උපන් හෙතෙම නිසි අධ්‍යාපනයක් ද නොලද්දෙකි. සිය පරපුරෙන් ආ ධනයකට හිමිකම් ලද මෙම තරුණ සිටුවරයා එබඳුම ධනවත් වංශවත්, නූගත් සිටු කුමරියක සරණපාවා ගත්තේ ය. නූගත්, බුද්ධි හීනයෙකු වූ හෙතෙම නොබෝ කලෙකින් ම නුසුදුසු සමාජ ඇසුරට යොමු විය. සිත කය දෙකම මත්වන, උමතුවන මද්‍යසාර භාවිතයට ද පෙළඹුණේ නිසැකව ම ඒ හා බැඳුණු තවත් දුසිරිත් ද නිසා තාරුණ්‍යය විනාශකර ගත්තේ ය. මත් ලෝලියෙකු මෙන් ම තරුණ සල්ලාලයෙකු ද වූ ඔහු තම පාරම්පරික ධන සම්පත් මෙන්ම තම බිරිඳ නිසා ලද ධන සම්පත් ද විනාශ කර ගත්තේ ය. ධනවත් අවදියෙහි සිටි මිතුරන් ඔහුට දැන් නැත. සමාජයෙහි පිළිකුළට ද භාජනය වූ හෙතෙම යාචකයෙකු වූයේ ඉඳුල් බත් කෑම පිණිස දෙව්රම් වෙහෙර දාන ශාලාව අසලට බිරින්දෑ ද සමග දිනෙක පැමිණ සිටියේ ය. ඔහු දුටු බුදුරජාණන් වහන්සේ වදාළ සදූපදේශය සිත් ගන්නා සුළු උපමා දෙකකින් යුක්ත විය. කෙටියෙන් වදාළ එම උපමාවන් තේරුම් ගත යුත්තේ මෙපරිද්දෙනි.













