Labels

Showing posts with label අති පුජ්‍ය දිවියාගහ යසස්සි හිමියන්. Show all posts
Showing posts with label අති පුජ්‍ය දිවියාගහ යසස්සි හිමියන්. Show all posts

Friday, March 2, 2018

පින් කළ නොහැකි ලොව

ඔහු ඒ වන විට කවර තැනක සිටී දැයි බුදු නුවණ මෙහෙයවා බලත් ම කලුරිය කොට අරූප ලෝකයෙහි ඉපිද සිටින බව අවබෝධ විය. එයින් පැහැදිලි වන්නේ රූපය ගැන කළකිරී භාවනා කොට කෙලෙස් ප්‍රහීණ කිරීමෙන් අරූප තලයෙහි උපත ලබා දෙන බවයි.
සිත මිස කය නැති බඹලොව සතර කි 
සිත නැතිව ම කය ඇති බඹ තලය කි
මෙද සත පින් කොට උපදින පෙදෙස කි
එහි උපනත් කුසලක් නොම කළ හැ කි
සිත ඇති, රූපයක් නැති අරූප බ්‍රහ්ම ලෝක සතරකි. සිත නැති, රූපය ඇති එක් අසඤ්ඤ බ්‍රහ්ම ලෝකයකි. මේවායේ වසන සත්ත්වයන් පින් කොට උපත ලබා සිටී. එහෙත් ඒ කිසිවෙකුට කුසලයක් කළ නො හැකි ය. මේ ලෝවැඩ සඟරාවෙහි එන ඉහත කවියෙහි අර්ථ යයි.
සමසතළිස් කර්මස්ථාන අතුරෙන් සුදුසු එකක් අනුව භාවනා කිරීමෙන් සිත දියුණු කොට ගත් අය ධ්‍යාන උපදවා ගනිති. එය බුදු උපතටත් පෙර සිට සමාජයෙහි ක්‍රියාත්මක ව පැවතුණු බව ආළාරකාලාම, උද්දකරාම ආදීන්ගෙන් පැහැදිලි වෙයි. සමථ භාවනා ක්‍රමයෙන් සිත දියුණු කොට ප්‍රථම ධ්‍යානය උපදවා ගත් අය මියගිය කල්හි බ්‍රහ්මපාරිසජ්ජ, බ්‍රහ්මපුරෝහිත, මහාබ්‍රහ්ම යන බ්‍රහ්ම ලෝකයන්ගෙන් එකක උපත ලබති. තවදුරටත් භාවනා කිරීමෙන් ද්විතීය ධ්‍යානය ලැබූ අය කලුරිය කළහොත් පරිත්තසුභ, අප්පමාණසුභ, ආභස්සර යන බ්‍රහ්මලෝකයන්ගෙන් එකක උපත ලබති. භාවනා මඟින් තෘතීය ධ්‍යානය උපදවාගෙන සිටිය දී කලුරිය කළ අය පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්හක යන බ්‍රහ්මලෝකයන්ගෙන් එකක උපත ලබති. භාවනාව වැඩිදියුණු කොට චතුර්ථ ධ්‍යානය ලැබුවෙක් වේහප්ඵල, අසඤ්ඤසත්ත යන බ්‍රහ්ම ලෝකයන්ගෙන් එකක උපත ලබති. විදර්ශනා භාවනාවෙන් අනාගාමි තත්ත්වය උදාකරගත් කෙනෙක් මියගිය කල්හි අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ඨ යන සුද්ධාවාසයන්ගෙන් එකක උප්පත්තිය ලබති.

Friday, January 12, 2018

සිල්වතුන් දුසිල්වතුන් කරන අඥාන ඇසුර

ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව -අංක 13:

" මනුෂ්‍ය ආත්මයක් තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා බැලීමත්, කතා කිරීමත්, ඇසීමත් විශේෂයෙන් වැදගත් වෙයි. ඒ කරුණු තුන ම නොව එක් කරුණක් නැති වුවත් සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් පවත්වාගෙන යාම අපහසු ය. කෙනෙකුගේ ජීවිතයක අඟ පසඟ අඩුව පැවතීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අතීතයෙහි කරන ලද අකුසල කර්මයන් ය.
දද මිනිසුන් බස් ගෙන කිසි කලෙක ය
තද අකුසල් කොට කුසලින් වැළක ය
අඳ ගොලු බිහිරිව ලදුවත් මේ ක ය
මද පිනකුත් නො පිරෙයි බල නිසැක ය
ලෝවැඩ සඟරාවෙහි සඳහන් මෙම කවිය අපේ ජීවිතය මැනවින් පවත්වාගෙන යෑමට වැදගත් අදහසක් ඉදිරිපත් කොට ඇත. සමහර කාලයක මෝඩ මිනිසුන්ගේ අදහස් පිළිගෙන කුසල් කිරීමෙන් වැළකී බලවත් අකුසකුල් කිරීම නිසා අඳ, ගොළු, බිහිරි ලෙසින් මනුෂ්‍ය ආත්මයක් ලැබුවත්, බලවත් වූ ස්වල්ප පිනක්වත් ඒකාන්තයෙන් සම්පූර්ණ කරගත නොහැක්කේ ය යන්න එම කවියෙහි අදහස යි.

Thursday, December 7, 2017

පිනට නො නැමෙන සිත්

පව් මිස පිනකැයි නොකරන හැමක ල
මුනි බණ නොපැවති පසල් දනව් වල
නිසි ලෙස උපනත් ලැබ දන මනක ල
කිසි කලෙකත්කුසලක් නොකළැකි බ ල

සියලු කාලයන්හි පවක් මිස පිනක් නොකරන, බුදු බණ නො ඇසෙන ප්‍රත්‍යන්ත දේශයන්හි සිත් පිනවන ධන සම්පත්තිය නිසි අන්දමට උපන්නේ වී නමුත් කිසි කලෙකත් පිනක් කළ නො හැක්කේම ය, යනු එම කවියේ ලිහිල් අදහසයි.
ඉහත දැක්වූ කවියෙහි දෙවැනි පාදය සමහර පොත්වල ‘මුනි බණ නොපවතිනා පිට සක්වල’ යනුවෙන් දැක්වෙයි. සක්වල යනු එක් සූර්ය මණ්ඩලයක හා චන්ද්‍ර මණ්ඩලයක ආලෝකය විහිදෙන ප්‍රමාණය ඇති ලෝක ධාතුවකි. එසේ ගත් කල්හි එම ලෝක ධාතුවට අයත් සියලු තන්හි වසන අයට කුසල් කළ නොහැකි යයි දැක්වීම් සාවද්‍යය ය. අපේ ධර්ම ග්‍රන්ථවල ‘පච්චන්තිමේසු ජනපදෙසු පච්චාජාතො හෝති’ යන වචනවලින් කියවෙන්නේ පින් කළ නොහැකි ප්‍රදේශ වශයෙන් පසල් දනව්ව පිළිබඳව යි.
කොපමණ ධනය තිබුණද කිසිදු ගුණ ධර්මයක් නැති ජනතාව පසල් දනව්වල වාසය කරති. ඔවුනට පින් පව් ගැන අවබෝධයක් නැත. ඉන්දියාව පිළිබඳ සලකතොත් ම දේශය හා ධර්මය පැතිරගිය ප්‍රදේශ හැර අන් සියලු කොටස් ප්‍රත්‍යන්ත සේ සැලකිය හැකි ය. ශ්‍රී ලංකාව පිළිබඳ සලකන විට ප්‍රත්‍යන්ත ප්‍රදේශයක් වශයෙන් යම්කිසි කොටසක් හෝ දැක්වීම පහසු නොවේ. බුදුහු ලංකාවට වැඩම වූ අවස්ථා තුනෙහි දී මහියංගනය, නාගදීපය, කැලණිය, ශ්‍රී පාදය, දීඝවාපිය, මුතියංගනය, තිස්සමහාරාමය, අනුරාධපුරය, කතරගම යන ඈත දුරබැහැර ප්‍රදේශවලට ද වැඩම වීමෙන් හා ප්‍රදේශවාසී ජනතාව දහම් මගට යොමු කළහ.

Saturday, November 18, 2017

සතර අපායෙන් බලවත් ප්‍රේත ආත්මය

ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව – අංක 11


කාලකඤ්ජික නම් පේ‍්‍රත කොටසක් ගැන ද ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. මහත් වු මුහුණු ද, විරූප වු බිහිසුණු ශරීර ද මේ අයට ඇත. ලෝ වැස්සන් විසින් ඉතා පිළිකුල් කොට සලකන සෙම්, සොටු ආදිය ලබා ගැනීමට යොදුන් ගණන් දුව යති. ඒ සඳහා කලකෝලාහල ද කරති. කොපමණ උත්සාහ කළත් ඒවා පවා ලබා ගැනීමට අපහසු හෙයින් කලෙකත් නො ලැබෙයි."

උපනත් පේතව පව් කොට නොපණ ත්
කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමණ ත්
උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණ ත්
මදකුත් පින් නො කළැකි මැයි සිතුණ ත්

“පව් කොට පේ‍්‍රත ආත්මයක් ලබා උපන්නොත් හදිසියේවත් සෙම් සොටු පමණවත් ආහාරයක් නො ලැබෙයි. ආකාශ ගංගාව ගලාගෙන ආවත් උගුරක්වත් නො තෙමෙන්නේ ය. සිතුණේ වී නමුත් කවර කලෙකවත් පින් කිරීමට නො හැකි ය”
පේ‍්‍රතයන් ප්‍රධාන වශයෙන් සතර කොටසකි. නිජ්ඣාවතණ්හික, ඛුප්පිපාසික, පාංශුපිසාච, පරදත්තූපජීවි යනුවෙනි. එහි නිජ්ඣාවතණ්හික නම් පේ‍්‍රත ලෝකයෙහි උපදින අයගේ සිරුර තුළ දැල්වු මහා ගින්නක් ඇති වෙයි. ඔවුහු නිතර ම සා පිපාසා දෙකෙන් පෙළෙති. ඛුප්පිපාසික නම් පේ‍්‍රත ලෝකයෙහි උපන් අය බුද්ධාන්තර ගණනක් නිරන්තරයෙන් සා පිපාසා දෙකෙන් පෙළෙති. පරදත්තූපජීවි පේ‍්‍රත ලෝකයෙහි උපන් අය අන් අය විසින් දෙන පින්වලින් සුලු හෝ සැපතක් ළඟා කර ගනිති. පාංශු පිසාච යන පේ‍්‍රත ලෝකයෙහි උපන් අය අසූචි පහ කරනා තැන්වල වාසය කරති. කැළිකසළ බහුල තැන්වල ද මේ අය උපදිති. අසූචි ආදිය නිරන්තරයෙන් අනුභව කරති. මෙයට අමතරව කාලකඤ්ජික නම් පේ‍්‍රත කොටසක් ගැන ද ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. මහත් වු මුහුණු ද, විරූප වු බිහිසුණු ශරීරය ද මේ අයට ඇත. ලෝ වැස්සන් විසින් ඉතා පිළිකුල් කොට සලකන සෙම්, සොටු ආදිය ලබා ගැනීමට යොදුන් ගණන් දුව යති. ඒ සඳහා කලකෝලාහල ද කරති. කොපමණ උත්සාහ කළත් ඒවා පවා ලබා ගැනීමට අපහසු හෙයින් කලෙකත් නො ලැබෙයි. සෙම් සොටු පමණක් යනුවෙන් ගෙනහැර දක්වා ඇත.

Saturday, September 30, 2017

නිරයෙහි දුක ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව

සිතුවත් බිය කරවන අරතර යේ
වැටුණොත් එක් සිය සතිසක් නිර යේ
බලවත් දුක් විඳිනෙය කරදර යේ
මදකුත් පිනකට නැත අවසර යේ
සිතූ පමණින් මහත් සේ බිය උපදවන එක්සිය තිස් හයක් වූ නරකයෙහි වැටුණහොත් ඉතා විශාල වූ දැඩි දුක් කරදරයන්ට භාජන වන්නේ ය. එහි පින්කම් කිරීමට සුළු හෝ ඉඩක් නැත, යනු ඉහත සඳහන් කවියෙහි සරල අදහසයි.

පව් කම් කරන අය මරණින් මතු උපත ලබන එකසිය තිස් හයක් වූ නරක පිළිබඳ කවියෙන් සිහිගන්වයි. ඒ එක්සිය සතිස අතුරෙන් අටක් මහා නරක ය. ඒවා නම් සංජීවය, කාළසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන ඒවා යි. මේ සෑම නරකයක ම සතර පැත්තේ පිහිටි දොරටු සතරකි. එහි එක් එක් දොරක් පාසා බලවත් දුක් ලබා දෙන නරක සතර බැගින් වෙයි. ඒ අනුව එක් මහා නරකයකට අමතර වශයෙන් බලවත් දුක්ගෙන දෙන නිරය දහසයක් ඇත. ඒ අනුව අට මහා නිරයන් හා ඒවා සම්බන්ධව පවතින එකසිය විසි අටක් වූ නිරයන් එක් වූ කල් හි එක්සිය සතිසක් නරක ඇති බව පැහැදිලි වෙයි.

Tuesday, August 15, 2017

පින් කළ නොහැකි තැන් ( ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව – 07 )


සියල් සසර දුක් දුරුකර නොයෙ කී
අසල් කරන මොක් සිරිසැප නිසැ කී
සියල් සතුනි පින් කරවයි මුනි කී
නොකල් අටෙකි පින්කම් කළ නොහැ කී


සියලු සත්වයිනි, පින්කම් කළ නොහැකි නොකල් අටක් ඇත. එහෙයින් සියලු සංසාර දුක් දුරු කරන, නිසැකවම නිවන් සැපය ළඟා කරන්නා වූ පුණ්‍ය ක්‍රියාවන් සිදුකරන්න යනුවෙන් බුදුරදුන් දේශනා කොට ඇත යනු ඉහත දැක් වූ කවියෙහි සරල අදහසයි.
නරකය හෙවත් අපාය යනු කෙනෙකු පෙර ආත්මයේ කරන ලද අකුසල්වල විපාක විඳින ස්ථානයකි. එම නරකය ප්‍රධාන වශයෙන් කොටස් අටකින් යුක්ත ය. යමපල්ලන් විසින් කපා කොටා දැමූවත් නැවත නැවත හට ගනිමින් දුක් ගෙනදෙන සංජීව නම් නරකය එයින් එකකි. වෑ පොරෝ ආදියෙන් කපා දමමින් වදදෙන කාලසූත්‍ර නම් නිරයත්, ගිනිගෙන ඇති යකඩ පර්වතවලින් මිරිකමින් වද දෙන සංඝාත නරකයත් යනු තවත් කොටස් කිහිපයකි. සිරුරෙහි කන් ආදී නව දොරින් ශරීරය පුළුස්සා දමන රෞරව නම් වු බිහිසුණු නරකයත්, එයටත් වඩා වද දෙන රතු ලේ වැනි ගිනි දැල්වලින් පිළිස්සෙමින් පීඩාවට පත් කෙරෙන මහා රෞරව නම් වූ නරකයත්, ගිනි දැල්වලින් බෙහෙවින් තවන තාප නම් නිරයත් අට මහා නිරයන්ට අයත් විය.

Saturday, July 8, 2017

බණ ඇසිය යුතු නියම ක්‍රමය

බිම ඉඳ සිට කී බණ නාසන් නේ
විම තිව උඩ ඉඳ සිට නාසන් නේ
කැම තිව කීවොත් විමසා සන් නේ
එම වද සගමොක් සැප සාදන් නේ


මෙම කවියෙන් බණ ඇසීම පිළිබඳ උපදෙස් කීපයක් දෙයි. එයින් එකක් නම් සිටගෙන කියන බණ බිම ඉඳ ගෙන නො ඇසිය යුතු බවයි. එසේ ම වෙනත් කල්පනාවකින් හෝ උඩක ඉඳගෙන හෝ සිටගෙන නො ඇසිය යුතු බවයි. ධර්මය දේශනා ඕනෑකමකින් සහ විමසීමෙන් වටහාගෙන ඇසිය යුතු බව තවත් උපදේශයකි. මේ කරුණු පිළිපදින තැනැත්තාට ස්වර්ග මෝක්ෂ සම්පත් හිමිය. සිටගෙන කියන බණ තමාට අසනීපයක් නැතිනම් සාමාන්‍ය බිමක හෝ ඉඳගෙන ඇසීම සුදුසු නොවේ. එය ධර්මයට කරන නිගරුවකි. ධර්ම ශ්‍රවණය කරන විට සිත වෙනතකට යොමුකළ හොත් ඒ ධර්මයෙන් නියම ප්‍රයෝජන ගත නොහැකි ය.
බණ අසන පුද්ගලයන් තුන් කොටසක් ගැන ධර්ම ග්‍රන්ථයන්හි සඳහන්ය. එයින් අවකුජ්ජපඤ්ඤ නමින් දැක්වෙන පුද්ගලයා ධර්ම දේශනාව ආරම්භ කළ අවස්ථාවේ සිට අවසානය දක්වා එහි රැඳී සිටින නමුත් ඔහු ධර්මය කෙරෙහි සිත් යොමු නො කරයි.

Sunday, July 2, 2017

ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව

දහමට සරිකොට එළුවෙන් පෙර කී
කවියට සිත පහදා සිට නිසැ කී
සිහිකොට කඳ පිළිවෙල දොස් නොය කී
නිවනට සපැමිණි සඟ සැට නම කී
ධර්මයට එකඟ වූ පරිද්දෙන් සිංහලෙන් කියන ලද කාව්‍ය සැකයකින් තොරව සිත පහදාගෙන පඤ්චස්ඛන්ධ පරම්පරාව පිළිබඳ විවිධ ආදීනවයන් මෙනෙහි කිරීමෙන් නිවනට සැපත් වූ සංඝයා වහන්සේලා සැට නමක් පිළිබඳව ඉහත දැක් වූ කවියෙන් දැක්වෙයි.
මිනිස් ඉතිහාසයෙහි ආරම්භයේ සිට ම කවියේ ජනපි‍්‍රයත්වය පිළිබඳව සඳහන් වෙයි. අපේ රටේ සාමාන්‍ය ගැමියා කුඹුරේ දීත්, හේනේදීත්, ගැල් පදවද්දීත් වෙනත් වැඩක යෙදෙද්දීත්, කවියට හුරු වී සිටිය බව පැහැදිලිය. කාන්තාවෝ වුවත් කැලේ දර කඩද්දීත්, කුඹුරේ අස්වනු නෙලද්දීත් කවි භාවිතයට පෙළඹී සිටියහ. එයින් මහන්සිය නොදැනීමත්, පාලුව මැකීයාමත් අන් අයගේ ගත සිත පිනවීමත් සිදුවිය.

Wednesday, May 10, 2017

ලෝසතට වැඩ සලසන ලෝ වැඩ සඟරාව - අංක 04

මෙනරම් නරදම් සැරිදම් සඟන ට
මෙලෙසින් බැතියෙන් අදරින් නමකො ට
වෙසෙසින් පෙළඹේ නොමදත් දනහ ට
පවසම් කළ කම පල දැන් හෙළු කො ට


මමෝරම්‍ය වූ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයට භක්තියෙන් සිත, කය, වචන යන ත්‍රිවිධද්වාරයෙන් විශේෂයෙන් නමස්කාර කොට පාලි ධර්මය නොදත් ජනයාහට කුසලාකුසල කර්මඵල විපාක හෙළ බසින් ප්‍රකාශ කරමි” යනු ඉහත සඳහන් කවියෙහි සරල තේරුමයි.

බුදුරදුන් දැක්වීම සඳහා කවියෙහි යොදා ඇත්තේ නරදම් සැරියන වචනයයි. පාලි භාෂාවෙන් පුරිසදම්ම සාරථි යන්න මෙහි හෙළයට නඟා ඇත. අග්ගිසිඛ, ධූමසිඛ, චුලෝදර, මහෝදර ආදි නර රජවරුන්ද සෝණ දණ්ඩ, කූඨදන්ත, පොක්ඛරසාථි ආදි බ්‍රාහ්මණයන්ද ආලවක, සුචිරෝම, ඛරරෝම වැනි යක්ෂයන්ද බක ආදි බ්‍රහ්මයන්ද නාලාගිරි ආදී මත් ඇතුන්ද වශයෙන් නොදැමුණූ සැඩ පරුෂ බොහෝ අය දමනය කළ හෙයින් උන්වහන්සේ නරදම්සැරි නම් වූහ. සුවාසුදහසක් ධර්මස්ඛන්ධය දලු කොල, අතු, පොතු, මුල් ආදියෙන් සැදුම්ලත් මහා ගසකට සමකළ හැකිය. එම වෘක්ෂයෙහි කවර දෙස ලස්සනට තිබුණත් වඩාත් වටින්නේ අරටුවයි. එමෙන් බුද්ධ ධර්මය නමැති මහා වෘක්ෂයෙහි අගනා අරටුවට සමාන කළ හැක්කේ පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍යය කර්මය ආදි අන් කිසිදු ආගමක නොදැක්වෙන අසම වූ ධර්ම කරුණුය. ඒ අතුරෙන් ජන ජීවිතයට වඩාත් ලංව පවතින කර්මය පිළිබඳව කරුණු දැක්වීම බෙහෙවින් අගනේය.

Tuesday, April 11, 2017

ලෝ සතට සෙත සලසන ලෝවැඩ සඟරාව

ඇම පමණින් පැවසු මුනි දැන තතු
මෙම හැම දෙන බලවයි දැක්විය යුතු
තම තම නැණ පමණින් දැනගත යුතු
මම නමදිම් සදහම් පහදා සිතු
ලෝවැඩ සඟරාවෙහි දෙවන කවියෙන් දැක්වෙන්නේ ධර්ම රත්නයට නමස්කාර කිරීමයි. එම කවියෙහි ලිහිල් අර්ථය නම් “බුදුරදුන් ලෝක තත්ත්වය දැනගෙන හැම දෙනාගේම ප්‍රඥාවෙහි ප්‍රමාණය සලකාගෙන දේශනා කළා වූ ද,සෑම දෙනාට මෙය බලව‘යි දැක්වීමට සුදුසු වූ ද, තම තමන්ගේ නුවණින් දැනගත යුතු වූ ද සද්ධර්මය මම පැහැදුනා වූ සිතින් නමස්කාර කරමි” යනුයි. බුදුරදුන් දේශනා කොට වදාළ ධර්මය ලෝ වැසි සත්ත්වයන්ට සලසන යහපත කුමක්ද? චතුසු අපායෙසු පතමානෙ සත්තෙ අපතමානෙ කත්වා ධාරෙතීති ධම්මො යනුවෙන් නරක තිරිසන්, පේ‍්‍රත හා අසුර යන සතර අපායට වැටෙන සත්ත්වයන් එයින් ගලවාලන හෙයින් ධර්මය යනුවෙන් ව්‍යවහාර කරන බව සඳහන් වෙයි. එසේ ගලවන සත්ත්වයන් උතුම් වූ නිවනට පමුණුවනු ලබන්නේ ද මේ උතුම් වූ ධර්මයයි.
ධර්ම රත්නයේ ඇති සුවිශේෂී ලක්ෂණ කිහිපයක් පෙන්වා දී නමස්කාර කිරීමට කතුවරයා උත්සාහ ගෙන ඇතිබව මෙයින් පැහැදිලි වෙයි. ධර්ම රත්නයේ ගුණ ප්‍රකාශිත ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො’ යන පාලි පාඨයෙහි සිංහල අදහස ‘ඇම පමණින් පැවසු මුනි දැන තතු’ යනුවෙන් පෙන්වා දී ඇත. ලෝක සත්ත්වයෝ එක හා සමාන නොවෙති.

Sunday, September 27, 2015

මෙහෙණ සස්නේ ආරම්භයයි බිනර පොහොයයි





(  2015 ක් වූ සැප්තැම්බර් 27 වැනිදා බිනර පුර පසළොස්වක පොහෝ දිනය)

බුදුපියාණෝ විශාලා මහනුවර කූඨාගාර ශාලාවෙහි පස්වන වස වැඩසිටියහ. මේ අවස්ථාවෙහි මහාප්‍රජාපතී ගෝතමිය රෝහිණී නදිය අසල දී පැවිද්ද ලබාගත් කුමාරවරුන්ගේ භාර්යාවන් පන්සියයක් සමඟ හිස් මුඩුකොට කසාවත් හැඳ බුදුරදුන් වැඩ සිටි කූඨාගාර ශාලාව වෙත පැමිණියා ය. පනස් එක් යොදුනක් තරම් වූ දීර්ඝ මාර්ගය ගෙවා අධික වෙහෙසට පත් ඒ සැමදෙනා ඉදිමුන පා ඇතිව, දූවිලි වැකුණු ශරීරයන්ගෙන් යුක්තව පැමිණ සිටීම දුටුවන්ගේ හද කම්පා කරන සුළු විය. මේ අවස්ථාවෙහි එතැනට පැමිණි ආනන්ද හිමියෝ මහාප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන් පැවිද්ද ලබා ගැනීමේ ආශාවෙන් දුර මග ගෙවා කඳුළු සලමින් දුක්බරව පැමිණි පුවත අසා දැනගත්හ.

Saturday, September 26, 2015

සැප පතන සැම පින් කළ යුතුයි


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අච්චෙන්තිකාලා තරයන්ති රත්තියො
වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණෙ පෙක්ඛමානො
ලොකාමිසං පජහෙ සන්තිපෙක්ඛො’ති

කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වතුනි ,

Friday, September 25, 2015

කුණ්ඩධාන මහ රහතන් වහන්සේ

 අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පළමුව සලාක ගන්නා භික්‍ෂූන් අතුරෙන් කුණ්ඩධාන රහතන් වහන්සේ අග්‍ර ස්ථානය හිමිකර ගැනීමට තරම් පින්වන්ත වූවා.

Sunday, September 13, 2015

වක්කලි මහා රහතන් වහන්සේ


අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ශ්‍රද්ධා බහුල භික්‍ෂු නම වශයෙන් අග තනතුර ලබන ලද්දේ වක්කලි මහ රහතන් වහන්සේ විසින්ය.

Thursday, August 27, 2015

ඇලීම අත්හැර සැනසීම ලබන්න




නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
අචිචෙන්තිකාල තරයන්ති රත්තියො
වයො ගුණා අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණෙ පෙක්‍ඛ මානො
ලොකාම්සං පජතෙ සන්තිපෙක්ඛා


ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි,

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ සඳහන් ඉතා වැදගත් ගාථාවක් පළමුව දැක්වෙනවා. මේ ගාථාව දේශනා කිරීමට හේතු වූයේ දෙවියකු විසින් දක්වන ලද අදහසක් නිමිතිකොට ගෙනයි. බුදුරදුන් ජේතවනාරාමයේ වැඩ සිටිය දී ‘නන්ද’ නමින් හැඳින් වූ දෙවියකු එක්තරා දිනක මධ්‍යම රාත්‍රියේ දී පැමිණ ගාථාවකින් කදිම අදහසක් ප්‍රකාශ කළා. එයින් පැවසෙන්නේ කාලය අනුක්‍රමයෙන් ගෙවෙමින් ගමන් කොට රෑ දවල් ඉක්ම යන බවත්,

Saturday, August 1, 2015

බුදුරදුන් ගොඩ නැගූ ධර්ම රාජ්‍යයෙහි මහ ඇමතිවරු


දිනක් උගත් සේල නමැති බමුණා බුදුරදුන්ගේ මහා පුරුෂ ලක්‍ෂණ දැක සක්විති රජකම ගෙන පාලනය නො කරන්නේ මන්දැයි උන්වහන්සේගෙන් විමසුවා. “රාජභමස්මිං සේල ධර්ම රාජා අනුත්තරෝ” යනුවෙන් සේල බ්‍රාහ්මණයාට “මම රජෙක්මි , ශ්‍රේෂ්ඨ ධර්ම රාජයෙක්මි” යි පිළිතුරු දුනි. ඔබතුමා රජෙක් නම් සේනාපති වරු කවරෙක් දැයි බමුණා නැවත විමසූවිට සැරියුත් මුගලන් ආදී තම ශ්‍රාවකයන් ඒ උසස් තනතුරු දරන බව පෙන්වා දුන්නා.
අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ බුද්ධ ශ්‍රාවක සංඝ සමාජය වැඩි කලක් ගත වීමට පෙර ලක්‍ෂ ගණනින් වර්ධනය වූ බව ශාසන ඉතිහාසය පෙන්වා දෙනව. උන්වහන්සේලා අතුරින් අග්‍රශ්‍රාවක සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ප්‍රධාන මහා ශ්‍රාවකත්වය දැරූ අසූ නමක් වැඩ සිටියා. ඒ අය අතුරින් ඒතදග්ග භාවයට (සියලු භික්‍ෂූන් අතර මේ කරුණ නිසා අග්‍රය) පත් වූ භික්‍ෂූන්ගේ ගණන හතළිස් එක් නමක් බව අංගුත්තර නිකායෙහි ඒතදග්ග පාලියට අනුව පෙනී යනවා. එහෙත් ධර්ම ප්‍රදීපිකාවේ ඒ හතළිස් එක් නම සමග ගෙන හැත්තෑ හතකගේ නම් සඳහන් වෙනව, විනය ධරයන් අතර අග්‍රස්ථානය දැරූ උපාලි තෙරුන් වහා අවබෝධ කර ගැනීමේ ශක්තියෙන් අගතනතුර දැරූ බාහියදාරුවිරිය තෙරුන් කුලයන් පහදවන්නත් අතර අග තනතුර ලැබූ කාළුදායි යහපත් වචන කතා කරණ අය අතරින් අග තනතුර දැරූ සෝණකොටකණ්න තෙරුන් යන අංගුත්තර නිකායේ සඳහන් මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ නම් ඉහත දැක්වූ ධර්මප්‍රදීපිකාවේ සඳහන් වී නෑ. මේ සියල්ල පිළිබඳව විමසා බලන විට පෙනී යන්නේ අසමාන දක්‍ෂකම් වලින් හෙබි රහතුන් අසූ ගණනක් වැඩ සිටිය බවයි.
බුදුරදුන් අසූ නමකට මහා ශ්‍රාවක තනතුරු පිරිණැමුවේ කෙසේ ද? “නාහං මුඛං ඕලේකෙත්වා ධම්මි “ යනුවෙන් කිසිවෙකුගේ මුහුණ බලා තනතුරු නොදුන් බව බුදුරදුන්ම පෙන්වා දී තිබෙනවා. එසේ නම් විවිධාකාර කුසල් සිදු කරමින් කවදා හෝ දිනක බුදු කෙනෙකුන් හමුවේ දී මහා ශ්‍රාවක තනතුර ලබන්න ඕන කියන ප්‍රාර්ථනාව තබාගෙන කටයුතු කරතිබීම අත්‍යවශ්‍යයි. අපේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ පිළිබඳ විමසන විට පේනවා අප බුදුරදුන්ගේ බෝසත් අවධියේ සිට උන්වහන්සේ සමග එක්ව ගැවසෙමින් දානාදී කුසල ක්‍රියාවන් සිදු කරමින් මහා ශ්‍රාවක වීමේ ප්‍රාර්ථනය ඇතිව ආ බව, එසේ කටයුතු කොට පෙර කවර හෝ ආත්මයකදී අප බුදුරදුන් හමුවේදී මහා ශ්‍රාවකත්වය ලබන බවට විවරණ ලබා සිටිය බව පැහැදිලියි.
කුඩා දරුවාගේ සිට සෑම කෙනෙකුගේම ජීවිතයක් වඩාත් යහපත් තත්ත්වයට පත්වීම කෙරෙහි අතීතයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ උතුමන්ගේ යහපත් ඇවතුම් පැවතුම් ක්‍රියාකාරකම් තදින් බලපානව. ඒ නිසා මේ ලෝකයේ ජීවත් වූ බොහෝ අයගේ චරිත කතා ඉගැන්වීමට සෑම රටක්ම ප්‍රමුඛස්ථානය දී තිබෙනවා. එහෙත් එවැනි අයගේ චරිත කථා හැදෑරීමෙන් සකස් කර ගන්නා ජීවිත බොහෝ දුරට මෙලොව යහපත පිණිස හේතු වෙනව. එහෙත් බුදුරදුන් ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිත කතා හැදෑරීම තුළින් සකස් වෙන ජීවිතය මෙලොව වශයෙන් මනුෂ්‍යයා ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට පමණක් නොව මරණින් මතු ආත්ම භාවයන්හි අප්‍රමාණ සැප ලැබීමටත් සදාකාලික සැපත උදා කර ගැනීමටත් හේතු වෙනව. බුදුරදුන්ගේ අතීත ආත්ම එළි දක්වා ඇති ජාතක කතාවක් උපයෝගි කොට ගෙන අප සමාජයෙහි ඈත කාලයේ සිට ඇතිවූ ගුණාත්මක විප්ලවයෙහි උසස් තත්ත්වය ගැන සිතා බලන්න.
බෝසත් චරිත කතා මෙන්ම ශ්‍රාවක චරිත කථා හැදෑරීම තුළින් ලැබෙන ප්‍රතිඵල විශාලයි. එවැනි උසස් තැනකට පැමිණීමට කළ යහපත් ක්‍රියා මොනවාදැයි දැන ගැනීමෙන් සමාජයේ ජීවත් වන අයටත් එවැනි තැනකට යාමට උසස් ගුණ දම් පිරීමට සිත් පහළ වනු ඇත.විවිධ දුෂ්කරතා හේතු කොට ගෙන උදාසීන වූ මනසක් ඇතිව ජීවත් වන අයට එවැනි ගැටළු වලින් ගහනව පැවති අසූ මහා ශ්‍රාවකයන් එවැනි ගැටළු වලට සාර්ථකව මුහුණ දෙමින් උසස් ජීවිතයක් ගොඩනගාගත් ආකාරය සිහියට ගැනීම හැම දෙනාටම විශාල ප්‍රයෝජනයක් වනවාට සැක නෑ. එපමණක් නොව එක් නමකට පන්සීයයක් පරිවාර භික්‍ෂූන් ඇතිව වැඩ සිටි අසූ මහා ශ්‍රාවකයන් පිළිබඳව වෙන වෙනම හැදෑරීම තුළින් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වර්ධනය කොට ගෙන සාර්ථක පී‍්‍රතිමත් ජීවිතයක් ගෙවීමට මග පෑදෙනව. බොහෝ දෙනා කැමැත්ත දක්වන කථාවක් තුළින් මේ අන්දමට උසස් අවබෝධයක් ලබා ගැනීම වැදගත්. එහෙයින් ලොකු කුඩා හැම කෙනෙකුගේම ජීවිත බෙහෙවින් සාර්ථක කර ගැනීමට උපදෙස් ලබාදෙන මේ අසූ මහා ශ්‍රාවකයන් පිළිබඳ අපි විමසා බලමු.

 සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි










 ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ ජනවාරි 31 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි