නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පින්වතුනි,
බෞද්ධයාගේ ප්‍රධාන පරමාර්ථය නිවන් පසක් කර ගැනීමයි. බුදුදහමෙහි ඇතුළත් කුදුමහත් සියලු පිළිවෙත් තුඩු දී ඇත්තේ ඒ සඳහා ය. ඒ පිළිවෙත් සීල සමාධි ප්‍රඥා වශයෙන් තුන් ආකාරයයි. එයිනුත් මුලින්ම පිරිය යුත්තේ සීලයයි. සීලය කියන්නේ හික්මීමයි. කය වචන දෙකේ සංවරයයි. සීලයෙන් තොර සමාධියක් නැහැ. සමාධියක් නැතුව ප්‍රඥාව වඩන්නට බැහැ. සීල සමාධි ප්‍රඥා යන ගුණාංග අනුපිළිවෙලින් වඩන්නට ඕනෑ. එහෙම නැතිව රහත් වෙන්නට බැහැ. රහත් වීමට චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්නට ඕනෑ. ඒ සඳහා ප්‍රඥාව අවශ්‍යයි.
ප්‍රඥාව දියුණු කළ හැක්කේ දියුණු කළ සිතකයි. සිත දියුණු වන්නේ සමාධියෙන්. ඒ සමාධිය ඇති කර ගැනීමට පිරිසුදු සීලයක පිහිටන්නට ඕනෑ. ඒ නිසා අද ඔබ සිල් සමාදන් වීමෙන් කළේ ඉතාමත් ඤාණවන්ත ක්‍රියාවක්. ගිහි ජීවිතය වටා ගෙතී තිබෙන දහසක් ප්‍රශ්න අද ඔබ අමතක කළා. පෙහෙවස් සමාදන් වුණා. ප්‍රතිපත්ති පූජාවෙන් තෙරුවන් පිදීමට ඉටා ගත්තා. බුදු දහමේ විස්තර වෙන කුදුමහත් පිළිවෙත් සියල්ලම විස්තර කොට තිබෙන්නේ පණවා තිබෙන්නේ නිවන් පසක් කර ගැනීමට තුඩුදෙන විදියටයි.



