Labels

Saturday, December 2, 2017

විසිරුණු සිත ඉගෙනීම දුර්වල කරයි


ඡ්‍යොතිෂය ඉගෙන ගත් එක් මිනිසෙක් සිටියේ ය. දිනක් හේ තමන් මිය යන්නේ කවදාදැයි තමන් ම විමසා බැලුවේ ය. මිය යන දිනය හා වේලාව දැන අනුන්ට කරදරයක් නොවන සේ තමන් ම වළක් කැපුවේ ය. නියමිත වෙලාවට විනාඩි කිහිපයකට පෙර ඒ වළට බැස දිගා වූයේ ය. ඒ අසලින් යන තවත් මිනිසෙකි ඔහු ද ඡ්‍යොතිර්වේදියෙකි. වළට එබී බැලූ ඔහු එහි නිදා සිටින මිනිසා දුටුවේ ය.

“ඔබ ඔය විදිහට සිටින්නේ කුමක් නිසා ද?” ඔහු පුදුමයෙන් ඇසුවේ ය. එවිට වළතුළ සිටි මිනිසා කීවේ තමන් තව විනාඩි දහයකින් මිය යන බව ය. කිසිවෙකුටත් කරදරයක් නොවන සේ අවසන් ගමන් යන්නට වළට බැස දිගා වී සිටින බව ය.
“එසේ නම් ඔබ උපන් වේලාව මට කියන්න. මිය යන බවට ඔබ කී වේලාව නිවැරැදිදැයි මම ද බලන්නම්. වළ උඩ සිටි මිනිසා ද කීවේ ය. උපන් වේලාව දැනගත් ඔහු තමන්ගේ දැනුමට අනුව ගණන් සාදා බැලුවේ ය. ඔහුට මියයන්නට විනාඩි දහයක් නොව තවත් විනාඩි තිහක් ම ඇති බව දුටුවේ ය. ඒ ඇසූ වහා ම මියයන්නට සූදානමින් සිටි මිනිසා වහාම ගොඩ ආවේ ය.

“ඔබගේ ශාස්ත්‍රය මා ඉගෙන ගත් ශාස්ත්‍රයට වඩා වෙනස් බව පෙනෙනවා. මා එය ඉගෙන ගන්නට කැමැතියි. අනේ, මට ඉක්මනින් එය කියා දෙන්න.” යි ආයාචනා කළේ ය. මරණය දැක, දැක ම ඒ මිනිසාට ඉගෙන ගන්නට තිබූ බලවත් කැමැත්ත පුදුම සහගත නොවන්නේ ද? මිය යන මොහොත දක්වා ම නොතිත් ආශාවෙන්, කැමැත්තෙන් ඉගෙන ගත යුතු බව මේ කතාවෙන් ප්‍රකට කරන්නේ ය. උගත් දෙය අමතක කිරීම ඉගෙනීමට බාධාවක් බව ‘අසජ්ඣාය මලා මහන්තා’ ධම්ම පදයේ මල වග්ගයේ සඳහන් ය. ඉගෙන ගන්නා දෙය නැවත නැවත අධ්‍යයනය නොකරන්නේ නම්, හදාරන්නේ නැති නම් ඒවායේ මළ බැඳේ. අමතක වීම නිසා අවශ්‍ය වේලාවට ඉගෙනගත් දෙයින් ප්‍රයෝජනයක් ගත නොහැකි වේ. ඉගෙනීම යනු යාවජීව ක්‍රියාවලියකි. දිවි ඇතිතෙක් ම ඉගෙන ගත යුතුය යනු එහි අදහසයි.
ළමා වියේ අනිවාර්යයෙන් ම ඉගෙන ගත යුතු ය. උසස් අධ්‍යාපනය ද ලැබිය යුතු ය. එහෙත් එපමණකින් ඉගෙනීම අවසන් නොවේ. හැකි සෑම විටෙකම පොත පත කියවිය යුතු ය. තොරතුරු සොයා යා යුතු ය. ලෝකය ගැන දැනුම්වත් විය යුතු ය. එවිට අභිමානයෙන් යුතුව ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්නට ශක්තිය ලැබෙනු ඇත.
ඉගෙනීම තුළින් පෙනෙනවාට වඩා යමක් දකින්නට, ඇසෙනවාට වඩා යමක් අහන්නට, සිතනවාට වඩා යමක් සිතන්නට වෙසෙස් පෙළඹවීමක් ලැබේ. වඩාත් නිවැරැදි වන්නේ එලෙස දකිමින්, අසමින් සිතමින් ගන්නා තීරණ ය.
ඉගෙනීම සඵල කර ගැනීමට වැදගත්වන මූලික කරුණු සතරක් ගැන එක්තරා සංස්කෘත පඬිවරයෙක් මෙසේ සඳහන් කර ඇත.

“ආචාර්ය පාද මාදත්තේ
පාදං ශිෂ්‍යඞ ස්ව මේධයා
පාදං සබ්‍රහ්ම චාරිභ්‍යඞ
පාදං කාලක්‍රමේන ච”

යම්කිසි දෙයක් පිළිබඳව ගුරුවරයා උගන්වන්නේ සතරෙන් එකක් පමණි. තවත් සතරෙන් එකක් තම බුද්ධියෙන් කල්පනා කර තර්ක විතර්ක කරමින් ගොඩනඟා ගත යුතු ය. තවත් සතරෙන් එකක් තමන් සමඟ එකට ඉගෙන ගන්නා මිතුරු මිතුරියන් සමඟ සාකච්ඡා කරමින්, හුවමාරු කර ගත යුතු ය. ඉතිරිය ඉගෙන ගන්නේ ජීවත් වීමෙන් ලබන අත්දැකීම්වලිනි.
නූතන අධ්‍යාපන ක්‍රමවේදයන් හා මේ කරුණු කොතෙක් දුරට ගැළපේ ද යන්න මේ පද්‍යයේ අර්ථය විමසීමෙන් ම ඔබට පැහැදිලි කර ගත හැකි ය.
අද අපගේ දරුවන්ට සිතන්නට වෙලාවක් නැත. කියවීමට ඉඩක් නැත. සමාජයීය අත්දැකීම් ද අඩු ය. සමහර විට අවශ්‍ය සියල්ල කියාදීමට ගුරුවරයාට සිදුවේ.
අමතර පන්තිවල දී නම් ගුරුවරයා ප්‍රශ්න ලබා දෙයි. පිළිතුරු ද දෙයි. ශිෂ්‍යයාට ඇත්තේ වනපොත් කිරීමටය. ශිෂ්‍යයාට සිතන්නට, කරුණු ගොනු කරන්නට අවස්ථාවක් නොලැබෙන්නේ ය. ඉතින් එවැනි කලෙක මේ දරුවන්, නිර්මාණශීලී වන්නේ කෙලෙස ද?
එහෙත්, අධ්‍යාපනයේ මූලික අරමුණ අතර සිතන්නට, විමසන්නට, නිවැරැදි දේ තෝරා ගන්නට, හා නිර්මාණශීලීවන්නට ඉඩ සලසා දීම ප්‍රධාන වේ. එහි දී විෂයයන්ට අදාළ අමතර පොතපත, ලිපි ලේඛන පරිශීලනයට ඉඩ සලසා දීම වැදගත් ය. විමර්ශනාත්මක අධ්‍යයනයට හුරු වීමෙන් පෙනෙන දෙයට වඩා එහි විශේෂත්වයක් දකින්නටත්, ඇසෙන දෙයට වඩා සුවිශේෂී යමක් අහන්නටත්, වඩා විමසුම් නුවණින් සිතන්නටත් පෙළඹෙනු ඇත. අධ්‍යාපනයේ නිර්මාණශීලී ඉදිරිගමන ගොඩනැගෙන්නේ මේ නිවැරැදි පසුබිම මතිනි.
ඉගෙනුම සාර්ථක වෙන්නට නම් මූලික කරුණු හතරක් පිළිබඳ අවධානය යොමු කළ යුතු වේ. පළමුවැන්න ඡන්දයයි. එනම් කැමැත්තයි. ඉගෙන ගන්නා විෂයය ධාරාවට ඇති කැමැත්තයි. දරුවා යම් විෂයයකට අකැමැති නම් මවුපියන්, ගුරුවරුන් කෙතරම් උත්සාහ කළ ද, ප්‍රතිඵල සාර්ථක නොවනු ඇත. දෙවැන්න ‘චිත්ත’ ය. ඉගෙන ගන්නා දෙය කෙරෙහි සිත යොමු කිරීම, අවධානය යොමු කිරීම ඉන් අදහස් වේ. අධ්‍යාපන කටයුතු කළ යුතු වන්නේ සමාධිගත සිතකිනි. වික්ෂිප්ත වූ, අවුල් වූ සිත ඉගෙනීම දුර්වල කරයි. තෙවැන්න ‘වීර්ය’ යයි. ඉගෙන ගන්නා කෙනා අලස නොවිය යුතු ය. උත්සාහයෙන්, වීර්යයෙන් කාර්යයන් සාධනය කර ගත යුතු ය.
‘විමංසා’ සිව්වැන්නයි. ඉගෙන ගත් දේ විමසීමන් යුතුව, හේතු සාධක සොයමින් අධ්‍යයනය කළ යුතු බව ඉන් කියැවේ. සාර්ථක ඉගෙනුම් ක්‍රියාවලියකට මේ සාධක අත්‍යවශ්‍ය ය.
දරුවන් වෙත මවුපිය අවධානය පෙරටත් වඩා දැන් යොමුවිය යුතු ය. උදේ පාන්දරින් නිවෙසින් පිටවන දරුවා ආපසු එන්නේ සන්ධ්‍යාවේ ය. පෞද්ගලික පන්ති නිසා විවේකී දින නැත. ගෙදර එන දරුවා විඩාපත් ය. කා බී නින්දට යයි. එසේත් නැතිනම් රූප පෙට්ටිය, පරිගණකය, අන්තර්ජාලය, ජංගම දුරකථනය ඇසුරෙහි කල්ගෙවයි. එවිට මවුපිය ඇසුර අඩුය. එක් වේලක් හෝ දරුවන් සමඟ එක්ව ආහාර ගන්නා පරිසරයක් නිවස තුළ සාදා ගත යුතු ම ය. උදේ සිට කළ, කී දේ ආගිය තොරතුරු දැන ගැනීම මෙහි දී ඉතා වැදගත් ය. දරුවාගේ හැසිරීම්, වෙනස්කම් හඳුනාගැනීම වැදගත් ය.
දිනක් ජපන් රටේ ව්‍යාපාරිකයකුගෙන් වෙනත් රටක මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇසුවේ ය. එවිට ඔහු දුන් පිළිතුර අපට වැදගත් පාඩමක් කියා දෙයි. මාධ්‍යවේදියා ඇසුවේ ජපන් රට මේ තරම් ඉක්මනට දියුණු වූයේ කෙසේද යනුවෙනි. එයට පිළිතුරු දුන් ජපන් ජාතිකයා කරුණු තුනක් ඉදිරිපත් කළේ ය. අපේ රටේ මිනිසුන් රටට ආදරෙයි, අපේ රටේ මිනිසුන් වෙලාවට වැඩ කරනවා, ඒ වගේ ම වැඩ කරන විට වැඩ කරනවා යනුවෙනි.
රටට ආදරය කරනවා යනු රටේ සම්පත්වලට ආදරය කිරීමයි. එනම් මිනිසාට, සතා සිවුපාවුන්ට, ගහට කොළට, වතුර බිංදුවට, වායුවට, මේ මහ පොළොවට, එහි සියලු ස්වභාවික සම්පත්වලට ආදරය කිරීමයි.
දෙවැනි හා තෙවැනි කරුණුවලින් වෙලාවෙහි ඇති වටිනාකමත්, කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ගැනත් සඳහන් ය. මේ කරුණු අපගේ කුඩා දරුවන්ට, තරුණ පරපුරට මෙන් ම වැඩිහිටියන්ට මොන තරම් පාඩමක් කියා දෙනවාද?
අනවශ්‍ය දේ සඳහා අප මොනතරම් කාලය, ශ්‍රමය, ධනය වෙන් කරනවා ද? දරුවෙකුගේ උපන් දිනයට පොතක් පරිත්‍යාග කළ හැකි නම්, එය ඉතා වැදගත් ය. සැම ගෙදරකම කුඩා පුස්තකාලයක් ආරම්භ කරමු. දරුවන්ට ආදර්ශයක් ලෙස මවුපියන් ද පොත්පත් කියවිය යුතු ය.
ඕනෑම කෙනෙක් තම ඉලක්කය වෙත, අරමුණ වෙත ගමන් කිරීමට අවශ්‍ය දෑ සම්පාදනය කර ගැනීම වැදගත් ය. තමන්ගේ ගමන සදාචාරවත් ව, අර්ථවත් ව, ඵලදායී ව යා යුතු ය. කැඩපතකින් බලා අඩුපාඩු සකසා ගන්නා සේ ජීවිතයේ අඩුපාඩු සාදාගෙන ඒවා නිවැරැදි කරගත යුතු ය. අනාගතය පැහැබර වන්නේ එවිට ය.


බළන්ගොඩ 
ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති 
කරගොඩ උයන්ගොඩ 
මෛත්‍රීමූර්ති මහා නා හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍උඳුවප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 26 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment