Labels

Showing posts with label අති පුජ්‍ය වේරගොඩ සාරද නා හිමියන්. Show all posts
Showing posts with label අති පුජ්‍ය වේරගොඩ සාරද නා හිමියන්. Show all posts

Sunday, April 29, 2018

අලසකම විනාශයේ මුල යි

යමක වග්ගය 07-08

සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි අමත්තඤ්ඤුං
කුසීතං හීනවීරියං
තං වෙ පසහති මාරො
වාතො රුක්ඛං’ව දුබ්බලං
ජීවිතයේ සුභ පක්ෂය
බලමින් නො දමා ඉඳුරන්
පමණ නොදැන භෝජනයෙහි
කුසීත වී බෙල හීනව
විසුවොත් වනසයි මරුවා 
සැඬ පවනින් මහ තුරු මෙන්

සේතව්‍ය නුවර අසල වසන සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා යුග්මය මහා කාල සහ චූල කාල යන සහෝදරයන් දෙදෙනා අරබයා දේශනා කළහ.
සේතව්‍ය නුවර චූල කාල, මජ්ක්‍ධිම කාල හා මහා කාල නමැති සහෝදරයෝ තුන් දෙනෙක් විසූහ. වැඩිමලා හා බාලයා වූ මහා කාල හා චූල කාල ගැල් රැගෙන ඈත දුර ප්‍රදේශ වලට ගොස් කරත්ත පන්සියයක් පුරාම විවිධ වෙළෙඳ භාණ්ඩ රැගෙන එති. මජ්ක්‍ධිම කාල මේවා නිවසේ තබා ගෙන වෙළෙඳාම් කරයි.
මෙසේ ගිය එක් වතාවක ගැල් පුරා විවිධ වාණිජ භාණ්ඩ පුරවා ගෙන සැවැත් නුවර බලා එන අතර සැවැත් නුවරත් ජේතවනාරාමයත් අතර කරත්ත මුදා විවේක ගත් හ. එදින සන්ධ්‍යා භාගයෙහි සැවැත් නුවර වැසියන් මල් දම් හා සුවඳ ද්‍රව්‍ය ඇතැතිව දහම් ඇසීම පිණිස යනු දුටු මහා කාල ‘ඔබ මේ කොහි ද යන්නේ?’ යි ඔවුන් ගෙන් විමසා බණ අසන්නට යන බව දැන ‘මමත් යන්නෙමි’ යි ඉටා ගත්තේ ය. තම මලණුවන් ඇමතූ හේ ‘මල්ලී කරත්ත ටික බලා ගන්න. මා බණ අහන්නට යනවා’ යි පවසා විහාරස්ථානයට ගොස් බුදුරදුන් වැඳ ධර්ම ශ්‍රවණය පිණිස හිඳ ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ එදින දුක්ඛ සත්‍යය විවරණය කරමින් කාමාස්වාදයෙහි ආදීනව පැහැදිලි කරමින් කළ ධර්ම දේශනාව ඇසූ මහා කාල සසර කලකිරී පැවිදි විය.

මහා කාල පැවිදි වූ පුවත ඇසූ චූල කාල ද පැවිදි විය. එහෙත් ඔහු පැවිදි වූයේ කෙසේ හෝ සිය සොහොයුරා ද සමඟ ආපසු ගිහිගෙට ගෙන එන අරමුණෙනි.

Sunday, February 18, 2018

වෛර නො කිරීම සැපයකි ( කාලි යක්ෂණියගේ කතා වස්තුව )

සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන අතර භාග්‍යවතුන් වහන්සේ දරු පල ඇති කතක් හා දරුපල නැති කතක් ඇරඹයා මේ කතා වදාළහ.
එක් ගෘහපතියෙක් තම බිරිඳට දරුවන් නැතිකම පිළිබඳව තැවෙන විට ඔහුගේ බිරිඳ මෙසේ සිතුවාය. ‘මේ විදියට දරුවකු නැතිව කලක් ගත වුණොත් නැන්දම්මත්, ස්වාමිපුරුෂයාත් දෙන්නම එකතු වෙලා මට වෙනස්කම් කරයි. තවත් ගැහැණු කෙනෙක් මේ මනුස්සයාට ගෙනාවොත්, එයාගෙන් ළමයි ලැබෙනවානම්, මටත් සහනයක්. එතකොට ප්‍රශ්නයක් නැතිවෙයි.” මෙසේ සිතූ ඕ තම පුරුෂයාට තවත් කාන්තාවක් අවාහ කර ගන්නට සැලසුවා ය. එහෙත් දෙවන බිරිඳ ගැබ් ගන්නා විට ඇයගේ සිතෙහි ඊර්ෂ්‍යාවක් ජනිත වී ඔසුවක් රහසේ පොවා ගැබ් නැසුවා ය. එය තේරුම් ගත් දෙවන බිරිඳ ඊළඟ වර ගැබ් ගත් විට එය රහසක් ව තබා ගත්තා ය. එහෙත් ඇය දෙස බැලීමෙන් ඇය ගැබ්ගෙන ඇති බව දැනගත් පළමු බිරිඳ නැවත ද ආහාර සමඟ මිශ්‍ර කොට බෙහෙත් යොදා ගැබ් නැසුවා ය. අන්තිමේ දරු ප්‍රසූතියකදීම මිය ගිය දෙවන බිරිඳ දැඩි කෝපයෙන් පුපුරමින් මෙසේ ප්‍රාර්ථනා කළාය. ‘මම උප උපන් ජාති නුඹෙනුත් නුඹේ දරුවන්ගෙනුත් පළි ගන්නෙමි” දිග වෛරයක ආරම්භය මෙසේ සටහන් විය
ඊළඟ ජන්මවලදී මේ දෙදෙනා බැළලියක් හා කිකිළියක්, මුව දෙනක් හා කොටියෙක් ආදි වශයෙන් ඉපිදෙමින් වෛරයෙන් වෛරය පෝෂණය කරමින් සසර සැරිසරා අවසන බුදුන් දවස සැවැත්නුවර ධනවත් සිටුවරයෙකුගේ දියණියක හා යක්ෂණියක වශයෙන් උපන්න හ.

Wednesday, February 7, 2018

දුරු නො කළ වෛරය කරයි සම්පත් හානිය

මට බැන්නා මට ගැහුවා - වද දුන්නා පාඩු කළා
සිතමින් සිටියොත් මෙලෙසින් - වෛරය දුරු නොවෙයි සිතින
“අක්කොච්ජි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසං න සම්මති”
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටි සමයේ ‘තිස්ස’ තෙරුන් අරභයා ඉහත තුන්වන ගාථාවත්, සිව්වැනි ගාථාවත් දේශනා කොට වදාළහ.
යම් කිසිවෙක් “මට අසවලා බැණ වැදුණේ ය. පහර දුන්නේ ය. වධ හිරිහැර කළේ ය. මා පරාජය කළේ ය. මා සතු දේ පැහැරගෙන මට අලාභ කළේ ය.” යි නිතර නිතර ම මතක් කරමින් වෛරය දිගට පවත්වන්නේ නම්, ඔවුන්ගේ වෛරය සංසිඳෙන්නේ නැත.

බුදුරජාණන් වහන්සේගේ නැන්දා කෙනෙකුගේ පුතෙකු වූ තිස්ස හිමියන් පැවිදි වූයේ වැඩි වයසට පත් වීමෙන් පසු ය. පැවිදි බිමේ දී ජ්‍යෙෂ්ඨත්වය මනින්නේ වයසින් වැඩිමහල්කම අනුව නොව පැවිදි උපසම්පදාවෙන් වැඩිමහල්කම අනුව හෙයින් උන්වහන්සේ කණිටු භික්ෂුවක ලෙස සැලකිණි. එහෙත් තමන් බුදුරදුන්ගේ ළඟම ඥාතිවරයකු හෙයින් මානයක් සිත ඇති ව සිටි තිස්ස හිමියෝ ජ්‍යේෂ්ඨ හිමිනමක මෙන් සුව පහසු අසුනක වැඩ හිඳිමින් තමන්ට වඩා ජ්‍යෙෂ්ඨයන්ගෙන් පවා ගෞරව ලැබූහ. ජ්‍යෙෂ්ඨ හිමිවරුන්ට ගරුසරු නොදක්වා මානාධිකව හැසිරෙන විලාසය ගැන කවුරුන් හෝ දොස් දැක්වුවහොත් හඬාගෙන ගොස් බුදුරජාණන් වහන්සේට පැමිණිලි කිරීම තිස්ස හිමිගේ සිරිතයි.

Thursday, February 1, 2018

මට්ටකුණ්ඩලීගේ කතාව ( යමක වග්ගය )

සිත පෙරටු කොට - සිත ම මුල්කොට
සිතෙන් උපදිති - දහම් හැම විට
කතාවට හෝ ක්‍රියාවට යම් - පහන් සිතිවිලි පෙරටු වේ නම්
සෙවනැල්ල සේ අත නොහැර එන - ලැබෙයි සුව සෙත එයින් සතහට

කුසල් දහමට සිත මුල් වන්නේ ය. පහන් වූ සිතින් පින් කළ තැනැත්තා පසුපස සැප ලුහුබඳී.

මනොපුබ්බංගමා ධම්මා
මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පසන්නෙන
භාසති වා කරොති වා
තතො නං සුඛමන්වෙති
ඡායාව අනපායිනී
මට්ටකුණ්ඩලී නම් බමුණු දරුවෙකුට අත් වූ ඉරණම අරබයා භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි දී මේ ගාථාව වදාළ සේක.
මට්ටකුණ්ඩලීගේ පියා මසුරෙක් විය. කිසිවෙකුට කිසිවක් නො දෙන හෙතෙම නො කා, නො බී ඉතිරි කළේ ය. එහෙයින් අසල්වැසියෝ ඔහුට අදින්න පුබ්බක යැයි නමක් දුන්හ. තම එකම පුතාට පංචායුධයක් වැනි ස්වර්ණාභරණයක් කරට දැමිය යුතු අවස්ථාවේ ද, රන්කරුවනට මුදල් ගෙවන්නට අදි මදි කළ හේ තමා ම රන් කැබැල්ලක් තලා මට්ටම් කර එය කරෙහි පැළඳුවේ ය. එම ආභරණයෙහි විසිතුරු කැටයම් කිසිවක් නැති නිසා එය ‘මට්ටකුණ්ඩලයක්’ ලෙස හැඳින් වූ අසල්වැසියෝ දරුවට ‘මට්ටකුණ්ඩලී’ යි විහිළු නමක් ද පටබැන්ඳහ. මට්ටකුණ්ඩලී වරක් බලවත් ලෙස අසනීප විය. එහෙත් වෛද්‍යවරුන්ට මුදල් ගෙවන්නට සිදුවෙතැයි බියෙන් ඔහු පිළියම් සඳහා ගෙන යාමක් නො කෙරිණි. දරුවා මරණාසන්න වූ විට පමණක් කලබල වූ බමුණා.

Friday, January 19, 2018

චක්ඛුපාල හිමියන්ගේ කතාව ( යමක වග්ගය )

" සිත පෙරටු කොට - සිත ම මුල් කොට
සිතෙන් උපදිති – දහම හැම විට
කතාවට හෝ ක්‍රියාවට යම් – නපුරු සිතිවිලි පෙරටු වේ නම්
ලෙසට රිය සක ගොනු අනුව එන – ලැබෙයි දුක් වේදනා සතහට "
‘අකුසල දහමට මුල් වන්නේ සිත ය. කිළිටි වූ සිතින් අකුසල් කළ තැනැත්තා පසු පස දුක ලුහු බඳින්නේ ය.’
මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතෝ නං දුක්ඛමන්වෙති
චක්කං’ව වහතො පදං
මේ ගාථාව භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ විසූ සමයෙහි චක්ඛුපාල නම් දෙනෙත් අඳ තෙර නමක් අරභයා වදාරන ලද්දකි.
චක්ඛුපාල හිමියෝ බුදුරජාණන් වහන්සේ වැඳ පුදා ගනු පිණිස වරක් ජේතවනාරාමයට පැමිණියහ. එදින රැයෙහි සක්මන් භාවනාවෙහි යෙදුණු උන්වහන්සේට පෑගී කෘමී සත්තු රැසක් මිය ගියහ. දෙනෙත් නොපෙනෙන හෙයින් මෙය නොදැනුවත්කමින් සිදු වූවකි. උදෑසන පිබිදුණු හිමිවරු කීපනමක් මිය ගිය කෘමීන් දැක ඒ ගැන බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළහ.
“චක්ඛුපාල හිමියන් ඒ සතුන් මරණවා ඔබ දැක්කාද?” යි උන්වහන්සේ ප්‍රශ්න කළහ.
“නැත ස්වාමීනි”