Labels

Wednesday, June 20, 2018

සීල ධනය: දුසිල්වත් වීමේ කෙළවර සතර අපායයි

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළවීමටත් පෙර සිටම විමුක්ති මාර්ගයක් සොයා ගිය අය කය, වචනය සංවර කරගන්නට උත්සාහ කර තිබේ. සීලය කියන්නේ කය වචනය සංවර කර ගැනීමයි. ඒ කියන්නේ කයෙන් සිදුවන වැරැදි එනම් සතුන් මැරීම, සොරකම් කිරීම, වැරැදි කාම සේවනය යන මේ දුෂ්චරිතයන්ගෙන් වෙන් වීමයි. ඒ වගේම වචනයෙන් කෙරෙන වැරැදි එනම් බොරු කිම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන වාග් දුෂ්චරිතයෙන් වෙන් වීමයි. බුදුරජාණන් වහන්සේ පහළවීමත් සමග නිවන් අරමුණු කරගෙන යමෙක් සීලය උපයෝගී කරගත යුත්තේ කෙසේද යනුවෙන් දේශනා කළහ. තමන්ගේ ශ්‍රාවකයා ප්‍රථමයෙන් සම්මා දිට්ඨියේ ස්ථාපිත වී, තුන්සරණය තුළ ස්ථාපිත වී, ඉන්පසුව සීලය දියුණු කරගත යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
අද ලෝකයේ සම්මා දිට්ඨියෙන් තොර වූ, තිසරණයට පත් නොවූ එහෙත් සිල්වත් ජීවිත ගත කරන අය සිටිති. එසේ වුවද, ඒ ඇත්තන්ට විමුක්ති මාර්ගයක් කරා පියමං කරන්නට හැකියාවක් නැත. බුදුදහම තුළ තිබෙන්නේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා යන පිළිවෙළකට යන මාර්ගයයි. මෙහිදී අනුපුබ්බ සික්ඛා යනු සීලයට සම්බන්ධ කොටසයි.
ශ්‍රාවකයාගේ සීලය දියුණු කරගැනීමට උන්වහන්සේ ශික්ෂා පද පනවා වදාළහ. ඒ අනුව ප්‍රථමයෙන්ම සිල්වත් වී ඉන්පසුව චිත්ත සමාධිය ඇතිකරගෙන ඉන්පසුව ප්‍රඥාව පහළ කරගත යුතු යි. සිල්වත් ජීවිතයක් ගත කරන්නේ නැති කෙනාට සමාධියක් දියුණු කරගත නොහැකියි. ඒ නිසා බුද්ධ දේශනාවේ තිබෙන විමුක්ති මාර්ගයට සීලය අනිවාර්ය අංගයක් වේ. සිල්වත් නොවුනහොත් විමුක්තිය අහිමි වේ. මෙය ඉතා දුෂ්කර කාර්යයකි. බුදුන්වහන්සේ සප්ත ආර්ය ධනයතුළ සීලය ධනයක් ලෙස දේශනා කරන්නේ ඒ නිසයි.

සද්ධා ධනය: ශ්‍රද්ධාවන්තයා ඉන්ද්‍රඛීලයක් බඳු ය

" ශ්‍රද්ධාවන්තයා බොහෝ පරිත්‍යාගශීලී ය. ලෝභය, ද්වේෂය ප්‍රහාණය කරන්නට උත්සාහ කරමින් සිටින්නේ ය. දන්දීමට ඉතා කැමැති ය"
සම්බුදු දහමට පිවිසීමේ දී අනුපුබ්බ ශික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා ලෙස වැඩ පිළිවෙළක් වෙයි. එය දාන, සීල, භාවනා දක්වා විහිදී යයි. දානය අපට පුරුදු දෙයකි. දානය සහ සීලයෙන් නිර්වාණවබෝධය කළ නො හැක. ඒ සඳහා භාවනාව ප්‍රධාන වෙයි.
භාවනාව වඩන පුද්ගයා රාග, ද්වේෂ, මෝහය, ශ්‍රද්ධා ආදී වශයෙන් විවිධ චරිතයන්ට බෙදේ. චරිත යනු අපගේ චරිත ස්වභාවය යි. ශ්‍රද්ධාවන්තයා බොහෝ පරිත්‍යාගශීලී ය. ලෝභය, ද්වේෂය ප්‍රහාණය කරන්නට උත්සාහ කරමින් සිටින්නේ ය. දන්දීමට ඉතා කැමැති ය. තෙරුවනට පැහැදීමෙන් සිටින අතර ස්වාමින් වහන්සේලා දකිමින්, සුවදුක් විචාරති. ධර්ම දානය දීමට ඉදිරිපත් වේ. හොඳින් තෙරුවනට පහදී. මේ ශ්‍රද්ධාවන්තයා බුදුදහමේ ප්‍රයෝජනය ගන්නා තැනැත්තෙකි. ශ්‍රද්ධාවේ ක්‍රම දෙකකි. අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව යි. අමූලිකා ශ්‍රද්ධාව යනු ඔහුට තෙරුවන් කෙරෙහි කිසිදු ඇල්මක්, දෘෂ්ඨියක් නැත. පිරිදුසු අවබෝධයක් ද නැත. පදනමකින් තොරව කටයුතු කරයි. තෙරුවන් කෙරෙහි චංචල ගති ඇති වෙයි. නිතර සෙලවෙන සිතින් කටයුතු කරයි.
අකාරවතී ශ්‍රද්ධාවන්තයා එසේ නොවේ. ඉතා පිරිසුදුව කරුණු කාරණා තේරුම් ගෙන, තෙරුවන් පිළිබඳව සැකයක් නො සිතා කටයුතු කරන්නා ආකාරවතී ශ්‍රද්ධාවෙන් බලවත් වෙයි. නිතර නිතර තෙරුවනේ ගුණ සිහි කරමින් ඉන්ද්‍රඛීලයකට සම කොට සිටින්නේ ඔහුයි. තෙරුවන් ගැන පී‍්‍රතියෙන් කටයුතු කරන්නා ශ්‍රද්ධාවෙන් එහාට විහිදී එය ධනයක් සේ රැස්් කර ගනී. ශ්‍රද්ධා ප්‍රතිලාභය ලැබීමට ඔහු සුදුස්සෙක් වෙයි. ශ්‍රද්ධා ධනය ඇති තැනත්තා සෝවාන් ඵලයට පත්වීමට සුදුස්සෙක් ද වෙයි. එතැනින් එහාට මාර්ගඵල ලබන්නටත්, ශ්‍රද්ධා ධනය ඔහුට රුකුලක් වෙයි. ආකාරවතී ශ්‍රද්ධාවන්තයා තෙරුවන් දැක සතුටුවෙන කෙනෙකි. ඔහු කිසිවෙකුට වෙනස් කළ නො හැකි ආකාරයට තෙරුවන් කෙරෙහි පැහැදි සිටියි.

ආගමේ නාමය නොව හරය ජීවිතයට ළංකර ගමු ( වාසෙට්ඨ සූත්‍රය හා සහජීවනය )



උපත මත ලෝකය වෙනස් නොවේ. සෑම විටම ලෝකය වෙනස් වූයේ මිනිස් ක්‍රියාකාරකම් මත ය. සත්ත්ව ප්‍රජාව පවතිනුයේ ද මෙම ක්‍රියාකාරකම් මත ම ය. රථයක පැවැත්මට එහි රෝදවල කඩ ඇණය උපකාරි වන්නා සේ සත්වයන් හා කර්මය බැඳී පවතී. ක්‍රියාකාරකම් යහපත් වූ තරමට ම සමාජය යහපත් වේ. එසේ නොවන විට සමාජය භේදභින්න වී අයහපතට ඇද වැටේ.

ජාති,ආගම් , පාට,උස්මිටිකම් මත සමාජය බෙදා තමන් උසස් බවත්, අනෙකා පහත් බවත් හුවා දැක්වීම බුදු දහමෙන් අනුමත වන්නේ නැත. උපත මත උස් පහත් බව මැනිය නොහැකි බව වාසෙට්ඨ හා භාරද්වාජ බ්‍රාහ්මණයන් හමුවෙහි වාසෙට්ඨ සූත්‍රයේ දී බුදුහිමියෝ දේශනා කළහ. එසේ ම කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වයට හේතුවන කාරණා රාශියක් මෙහි දී දේශනා කර ඇත. පටු අරමුණු ඉටු කරගැනීම උදෙසා සහ තමන් තුළ ඇති බොහෝ වැරැදි ආගමට ,ජාතියට මුවාවී වසාගැනීමට තැත් කිරීම ඉතා පිළිකුල් සහගත ය.

එය මනුෂ්‍යත්වයට තරම් නොවේ. උපතින් උසස් යැයි සම්මත පුද්ගලයා ඕනෑම පහත් ක්‍රියාවක් සිදුකළ ද, එය ආගමේ නාමයෙන්, ජාත්‍යාලයෙන් වරදක් නොවේ නම් එය බරපතල සමාජ ගැටලුවකට මුලකි. දේවාලයේ කපු මහතා දේවාල භූමියේ අපිරිසුදු කිරීම වරදකි. ඔහු දෙවියන් වෙනුවෙන් යාතිකා කළ ද සමාජ සම්මතයෙන් ඉවත්විය නොහැකි ය. එසේ වීම තුළ ඔහු සහ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ මිනිසා තුළ විශ්වාසය පළිඳු වී යයි. එය බරපතල සමාජ ප්‍රශ්න රාශියකට මුලකි. වර්තමාන ලෝකය අත්විඳිමින් සිටිනුයේ එම තත්ත්වයයි. ආගම වෙනුවෙන් ජීවිතය පවා නැතිකර ගැනීමට සූදානම් වුව ද ආගම්වල ඇති හරයන් සැබෑ ජීවිතයට ලබා නොගනී.

විසිරෙන සිත එක්තැන් කර ගැනීමට..

සිත සහ කය යනුවෙන් ජීවිතය කොටස් දෙකකට බෙදෙයි. එහෙත් අපගේ ජීවිතය ගැන බලන විට ‘කය’ ගැන පමණක් මූලික අවධානය යොමුකර ඇති බවක් පෙනී යයි. මිනිසා සම්බන්ධ මූලික ගැටලුව රඳා පවතින්නේ සිත මුල් කරගෙන බව බුදුදහමෙහි සඳහන් ය. මිනිසාගේ මූලික ම බලාපොරොත්තු ව සතුටෙන් ජීවත් වීමයි.

ඒ සඳහා බලපාන ප්‍රධානම බලවේගය මිනිස් සිතයි. අප රවටන, මුලාකරන, මායාවක් ලෙස ක්‍රියාත්මකවන සිතේ ස්වභාවික ව පවතින ගති ලක්ෂණවලින් වෙන් ව සිතෙහි නියම අවංක ස්වභාවය තේරුම් ගත්විට අපට පුදුම සතුටක් ලැබිය හැකියි. සිත හා සම්බන්ධව කරුණු දක්වන වචන කිහිපයක් ම බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් ය. ඒ අතරින් චිත්ත, මන, විඤ්ඤාණ යන වචන නිතර අපට දැකගන්නට පුළුවන. මිනිස් සිතේ නියම ස්වරූපය නිවැරැදිව තේරුම් ගත් මෙලොව සිටි එකම තැනැත්තා බුදුරජාණන් වහන්සේ ය. ලෝකයා සසර දුකින් එතෙර කරවීමේ කාරුණික චේතනාවෙන් බුදුරදුහු සිතේ නිවැරැදි ක්‍රියාකාරීත්වය ලෝකයාට පසක් කළහ. මානසික ශක්තියක් කියා දෙයක් තිබේ. අපි හිතනවා, අපි දකිනවා යනුවෙන් ප්‍රකාශ කරන විට මේ සිතීම, මේ දැකීම කරන්නේ කවුද? ඒ අපේ සිතයි. ලෝකය යනු කුමක්දැයි බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ විට උන්වහන්සේ දුන් පිළිතුර වන්නේ ඇස ලෝකයයි. කන ලෝකයයි. නාසය ලෝකයයි. දිව ලෝකයයි. ශරීරය ලෝකයයි. මනස ලෝකයයි යනුවෙනි. මේ ඉන්ද්‍රියන් හයේ එකතුවෙන් ලෝකය සෑදෙන බව බුදුරදුහු පෙන්වා දුන්හ. ‘චිත්තේන නීයතී ලෝකෝ’ මේ ඉන්ද්‍රියයන් තුළින් සෑදෙන ලෝකය දිගටම පවත්වාගෙන යන්නේ සිතයි. මේ සිත කෙබඳු දෙයක් ද? කුමක් ඇසුරු කරමින් පවතින්නේ ද? යන්නට නිවැරදි පිළිතුරක් ධම්මපදයෙහි එන පහත සඳහන් ගාථා දෙක තේරුම් ගැනීමෙන් සිතාගත හැකි ය.

Monday, May 21, 2018

අධ්‍යාත්මික ශක්තිය බලවත් ය

අසුභානුපස්සිං විහරන්තං - ඉන්ද්‍රියෙසු සුසංවුතං
භොජනම්භි ච මත්තඤ්ඤුං - සද්ධං ආරද්ධ විරියං
තංවෙ නප්පසහති මාරො - වාතො සෙලං’ව පබ්බතං
වසමින් අසුබ බෑවුමෙන් - දමනය කළොත් ඉඳුරන්
පමණ දැන බොජුනෙහි - සැදැහැතිව වීරිය වඩමින්
වසතොත් නො වදියි මරු පහර - නො සැලෙන ගලක් මෙන් සැඩ කුණාටුවකින්
චූලකාල පැවිදිවූයේ පැවිදි ජීවිතයට තිබූ ඇල්ම නිසා නොවේ. .තම සොහොයුරා වූ මහාකාල උපැවිදි කරවා ගැනීමේ අදහසිනි.
චුලකාල හිමියන් උපැවිදි කරවා ගැනීමට ගිහි කල බිරින්ඳන් සමත් වූ බව දුටු මහාකාලගේ භාර්යාවෝ අට දෙනාද, “චූලකාලගේ බිරිඳ කළ දේ අපත් කරමුයි” කියා භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දන් පිණිස ඇරයුම් කළහ. එදින දන් වළදා අවසන “ මහාකාල ඔබ මේ අයට අනුමෝදනා බණ කියන්නැයි මහාකාල හිමි නවතා ශ්‍රාවක පිරිස සමඟ විහාරස්ථානයට වැඩම කළහ.
භාග්‍යවතුන් වහන්සේ ගම් දොරට වැඩම කරන අතරතුර බුදුරදුන් මහාකාල තෙරුන් නවතා ඒම ගැන භික්ෂූහු අමනාපයෙන් කතා කළහ. “එදා දානයේ උපදෙස් කටයුතුවලට චූලකාල තෙරුන් යාමෙන් සිදුවූයේ පරණ බිරින්ඳන් එක්ව උන්වහන්සේගේ සිවුරු ගලවා ගිහිගෙට ගැනීම යි. අද බුදුරජාණන් වහන්සේ මහාකාල තෙරුන්ට බණ කියන්න ගෙදර නවත්වා ආවා. කුමක් වේවිද දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ වැඩේ හිතාමතා කළ දෙයක් ද?” ආදී අදහස් හුවමාරු විය.

යහපතට හේතුවන උතුම් කරුණු

නිරෝගිකම උතුම්ම ලාභයයි. හැම කෙනෙකුටම නිරෝගිව ඉන්න බැහැ. ලෙඩ වෙනවා., ඔත්පල වෙනවා. මේවා ලියන කියවන ඔබ අපි හැමෝම ලෙඩ්ඩු නේද? අපි හැමෝම කැමැතියි, පි‍්‍රයයි නිරෝගිකමට. එය ලෝකයේ දුර්ලභම දෙයක්. රහතන්වහන්සේ අතර පවා නිරෝගිකම ලැබුණේ කලාතුරකින් උත්තමයෙකුට.
ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ඔබට මා කියාදෙන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ හයවන කොටසේ දසක නිපාතයේ තුන්වන වර්ගය වන ආකංඛ වර්ගයට අයත් ඉතාම උදාර වටිනා සූත්‍රයක්. ඒ තමයි "ඉට්ඨ ධම්ම" සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරදී දේශනා කර වදාළ මේ සූත්‍රයෙන් කියවෙන්නේ සිතට පි‍්‍රය වූ දේ ගැනයි.
උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔබ දන්නවාද මේ ලෝකයේ සිතට පි‍්‍රය වු (ඉට්ඨා) කාන්ත වූ (කාන්තා) මනාප වූ (මනාපා) ඒ වගේම දුර්ලභ වූ (දුර්ලභා) කරුණු දහයක් තියෙනවා කියලා. ඒ තමයි,

භෝග සම්පත්තිය

කෙනෙකුට මිල මුදල් ධනධාන්‍ය බවභෝග සම්පත් ආදිය තිබෙනවානම් කවුද කැමති නැත්තේ? ඒ වෙනුවෙන් මිනිස්සු බොහෝ දේවල් කරනවා. එය සිතට පි‍්‍රය වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ කරුණක්.

මනා පැහැපත් බව

ලෝකයේ සෑම කෙනෙක්ම තමන්ගේ රූපය ලස්සනට තියෙනවා නම් කැමතියි. මනා පැහැපත් නම්, ආකර්ෂණීය නම් කවුරුත් ඒකට කැමතියි. ඒක දුර්ලභ කරුණක්.

අල්පෙනෙත්තක්වත් සොර සිතින් ගන්න එපා

ඔසුපත් නරකයන් අතර එකොළොස්වන අපාය වන්නේ උස්කන්ධ නරකය යි. අම්බලම්, ඒ දඬු, විහාර ඉදිකිරීම, ගස් කොළන් රෝපණයට යැ’යි මුසා බස් පවසමින් ජනයාගෙන් සම්මාදම් ලබාගෙන ඒවා අනුභව කරන්නන් උපත ලබන්නේ උස්කන්ධ නරකයේ ය. යම පල්ලන්ගෙන් කටට සහ අතට පහර ලබමින් උස්කන්ධ නරකයේ නිරි සතුන් දිගු කලක් දුක් විඳියි.
එසේනම්, ජන සමාජයේ වැඩ කටයුතු කරද්දී තමන් ලබා ගන්නා මිල මුදල් සොරකමින් තොරව විය පැහැදැම් කළ යුතුයි. ඒ පුද්ගලයා කිසි විටෙකත් අපායගාමී නොවී සුගතිගාමී වෙයි.
දොළොස්වෙනි අපාය වේහකූට නරකය යි. බුදු, පසේ බුදු සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, මහ රහතන් වහන්සේ ආදී සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට දෝෂාරෝපණය කරන්නෝ මේ අපායේ උපත ලබති. අශුචි වළක් වැනි මෙහි අපමණ දුක පිරී ඇත. එහි වෙසෙන පණුවන් නිරි සතුන්ගේ සිරුරු තැනින් තැන විද කා දමයි.

ඒ නිසා කිසිවිටෙකත් සිල්වත් ගුණවත් උතුමන්ට, මව් පියන්ට නිග්‍රහ කරන්නට එපා. ඒ අයට වරදක් සිදු වුණා නම්, අතීත සංසාරයේ සිට බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට,සිල්වත් ගුණවත් උතුමන්ට, මව් පියන්ට සිතින් , කයින් , වදනින්, තමාට වරදක් සිදු වුණා නම්, වැඳ නමස්කාර කර, නිබඳව ම සමාව ගත යුතු යි. ඒ උත්තමයන්ගේ ගුණ වර්ණනා කරන්නෝ අපායෙන් නිදහස් ව, මෙලොව පරලොව සුගතිගාමී වෙති.

දහම් ඇස පහළ වූ වගයි

ආර්ය පර්යේෂණ සූත්‍රය
තථාගත බුදුරජාණන් වහන්සේ හා පස්වග මහණුන් වහන්සේලා අතර ඇති වූ මේ සාකච්ඡාව ඉතාම මනහරයි. කාලෝචිතයි. තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා ධර්මාවබෝධයක් නො ලැබූ පිරිසකට ඒ ධර්මය අවබෝධ කර දෙන්නට උන්වහන්සේ ගේ සම්මා සම්බුද්ධ උතුම් ගුණයන් ප්‍රකට කොට ගෙන කරන අවවාද පෙළ මින් අපට තේරුම් ගත හැකියි."

තථාගත බුදුරජාණන් වහන්සේ බරණැස මිගදායේ ඉසිපතනාරාමය වෙතට වැඩම කළ අවස්ථාව ආර්ය පර්යේෂණ සූත්‍ර දේශනාවෙහි මෙසේ සඳහන් කරනවා. “මහණෙනි, ඉක්බිති මම පිළිවෙලින් චාරිකා කර බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි පස්වග මහණුන් වෙත එළඹියෙමි.

පස්වග මහණුන් දුරදීම මා වඩිනා බව දුටුවා. එසේ දැක ඔවුනොවුන් මෙසේ කතිකා කරගත්තා. ඇවැත්නි, ප්‍රත්‍ය බහුලකොට ඇති බවට පැමිණ, ප්‍රධන් වීර්යයෙන් පිරුහුණු, මේ ශ්‍රමණ ගෞතමයන් අප සොයාගෙන එනවා. අප වන්දනා කළ යුතු වන්නේ නැහැ. පෙර ගමන් කළ යුතු වන්නේ ද නැහැ. ඔහුගේ පාත්‍රා සිවුරු අප විසින් පිළිගනු ලැබීමත් අවශ්‍ය නැහැ. කැමැත්තේ නම් හිඳින්නට යැයි ආසනයක් පමණක් පිළියෙළ කොට තබමු. මෙසේ පස්වග මහණුන් වහන්සේලා සාකච්ඡා කරන්නට පටන් ගත්තා. කෙසේ වෙතත් මම ඔවුන්ගේ සමීපයට ටිකෙන් ටික ළංවන විට ඔවුන් කතිකා කරගත් පරිදි එසේ සිටින්නට නොහැකි වුණා. අයෙක් මගේ ඉදිරියට ගමන් කර පාත්‍රා සිවුරු පිළිගත්තා. තවත් අයෙක් ආසන පැනෙව්වා. ඇතැම්හු පා දෝවනය කරන්න දිය රැගෙන එනවා. එසේ වූවත් ඔවුන් මට ආයුශෝවාදයෙන් ආමන්ත්‍රණය කළා. එනම් වැඩිහිටි කෙනෙක් බාල කෙනෙකුට කතා කරන විලසින් ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා.

Sunday, April 29, 2018

චුතිය හා ප්‍රතිසන්ධිය අතර අන්තරාභවයක් තිබෙනවා ද?

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 20

භික්ෂුවක් වී ඉන්න කාලයේ කෙනෙක් හොඳට ධර්මය ඉගෙන ගෙන කටපාඩම් කරගෙන දරාගෙන තියෙනවා. විශේෂයෙන් ම ධර්මය ඉගෙන ගත්තේ හොඳට ප්‍රාර්ථනා පිහිටුවාගෙන, ඊළඟ ජීවිතයේදීත් මහණදම් පුරන්න ලැබේවා යි කියන ප්‍රාර්ථනාවෙන් තමයි ඒ කටයුතු කරලා තියෙන්නේ කියලා හිතන්න. ඒ හැම ක්‍රියාවක දී ම කුසල් සිත පහළ වුණා. ඒ පහළ වුණ කුසල් සියල්ලක් තුළ ම අවිජ්ජා, තණ්හා, උපාදාන පහළ වුණා.

ඇයි? නැවත හොඳ භික්ෂු ජීවිතයක් ප්‍රාර්ථනා කළේ. එතකොට මරණාසන්න වෙලාවේ දී පහළ වුණා අර බල සම්පන්න, ඒ ධර්මය ඉගෙන ගත්ත කුසල ය. ඒ කුසලයට අනුව මනුස්ස ලෝකයේ උපත ලැබුවා. ඒ උප්පත්තිය ත්‍රිහේතුක මනුස්ස ආත්මයක්! ත්‍රිහේතුක යන්නෙහි අදහස ආලෝභ, අදෝශ, අමෝහ යන විපාක හේතු තුන් දෙනා නිසා හටගත්තා යන්නයි. ත්‍රිහේතුක මනුස්ස 
ආත්මයක් ලැබූ නිසා තමයි මහණ වෙන්න ලැබුණේ. ත්‍රිහේතුක මනුස්ස ආත්මයක් ලැබූ නිසා තමයි ධර්මය ඉගෙන ගන්න, කටපාඩම් කරන්න දේශනා කරන්න මේ හැම දෙයක් ම ලැබුණේ.

ප්‍රතිසන්ධි අවස්ථාවේ පහළ වුණ ප්‍රතිසන්ධි සිත, විඤ්ඤාණය යි. එතකොට අවිද්‍යාවයි, අතීත ජීවිතේ මරණාසන්න වේලාවේ සංස්කාර පහළ වෙලා, ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඔහුට පහළ වුණා. මව් කුසේ දී ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය පහළ වෙන්නෙ කොහොම ද? දැන් මේ සිත කියන එක පහළ වෙන්නේ කොහොම ද? එය හරියට ම කියනවා නම් මේ වගෙයි. කූඩැල්ලා තැනක් අත අරින්නෙ තව තැනක් අල්ලගෙන නේ. ඒවගේ ම තමයි ඊළඟ චිත්තක්ෂණයේ දී ප්‍රතිසන්ධි ලබනවා කොහේ හරි. මේ චුතියයි ප්‍රතිසන්ධියයි අතර අන්තරා භවයක් නැහැ.

උතුම් සරණ

සීහළවත්ථු කතා:

ඈත අතීතයේ රුහුණු දනව්වේ දීඝායු (දීඝවාපි මහා සෑය) නමින් මහා සෑයක් විය. ඒ සෑය මුදුනේ නංවා තිබු කොඩියක් සුළඟින් ගසාගෙන ගොස් එක්තරා ගොවියෙකුගේ ගොයම් කෙතකට වැටුණි.
දිනක් මේ කුඹුරු හිමියා අස්වැන්න බැලීමට කුඹුරේ ඇවිදින කල්හි ඒ කොඩිය දැක එහි ලියා තිබූ අකුරුවලින් දීඝවාපී මහා සෑයේ කොඩියක් බව දැන දැනම එය වෙන්කොට නො තබා එයට ගෞරව නො කොට ලෝභ සිතක් ඇතිව ශරීරය වටා කොඩිය ඔතාගෙන ගියේ ය.
ඔහුගේ ආයුෂ ගෙවුණි. මරණයට පත් හෙතෙම යකඩ තහඩු දහසකින් වෙළුණු පේ‍්‍රතයෙක් ව උපන්නේ ය. දැවෙන ශරීර ඇති පේ‍්‍රතයා බෝපිටිය නම් ගමට ආයේ ය. පිණ්ඩපාතිකව ජීවත්වන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සමීපයට ගොස් වැඳ ඇඟිලි බැඳගෙන දුරින් සිටියේ ය. ඔහු දුටු තෙරණුවෝ
”නුඹගේ මුලු සිරුර ලෝහ තහඩුවකින් වෙලා ඇති පරිදි වැසී ඇත. ගිනි පැහැයෙන් යුතු ය. මෙහි සිටින නුඹ කවරෙක් ද?”
”ස්වාමිනි, මම යකඩ තහඩු දහසකින් ආවරණය වූ ශරීරයකින් හැමවිටම දැවෙමින් සිටින පේ‍්‍රතයෙකි”
”නුඹ විසින් කයින්, වචනයෙන්, සිතින් කිනම් පවක් කරන ලද්දේ ද? කවර කර්ම විපාකයක් නිසා යකඩ තහඩුවලින් දැවෙන්නේ ද?”

සෑම ගෘහයක් ම නිවසක් ද ?


 මුදල් තිබෙන ඕනෑ ම කෙනකුට ගෘහයක් හදාගැනීමේ හැකියාව තිබෙන්න පුළුවන්. ඒත් නිවහනක් හදාගන්න එහෙම බැහැ. ආදරය, සෙනෙහස, දයාව, අන්‍ය අදහස්වලට ගරුකිරීම, ඉවසීම වැනි උතුම් යහපත් සිරිත් නිවසක් තුළ තිබිය යුතු යි. ගෘහ මන්දිරයක හා නිවස අතරේ තිබෙන වෙනස එයයි."

මනා ගෘහ පාලනය පිළිබඳ බුදු දහම කරුණු දක්වන්නේ කෙසේද? යන්න පිළිබඳව අවබෝධ කරගැනීම වැදගත් වේ. සාමාන්‍යයෙන් ගෘහ මූලිකයා පිරිමියා වුව ද, නිවසෙහි නායකත්වය හිමි වන්නේ ස්ත්‍රියට යි. නායකත්වය බලෙන් ලබාගන්න යනවාට වඩා ඉබේ ම ලැබෙන ලෙසට කටයුතු කළ යුතු යි. අම්මාගෙන් ගෙදරට ලැබෙන සේවය අනුව ඇයට එහි නායකත්වය හිමි වෙයි.

තමන් කරන වැඩ කොටස සේවය ලෙස හැඳින්විය හැකියි. මෙම සේවය විෂයයෙහි මඟ පෙන්වීමක් කළ හැකිවීම සුවිශේෂී ලක්ෂණයක්. ගෙදර අන්තිමට ම නින්දට යන තැනැත්තී අම්මා විය යුතු බවට බුදුදහම අවධාරණය කරන්නේ එම නිසාම යි. විවාහක කාන්තාවක් විශේෂයෙන්ම තමන්ගේ ඇවතුම් පැවතුම් හා කතාබහ පිළිබඳ ව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. තමා කරන කියන දෙය පිළිබඳ ව පුර්වයෙන් සිතිය යුතු යි. නිවසෙහි ස්වාධිපත්‍යය ආරක්ෂා කරගැනීම සඳහා ද, නිවසෙහි ආරක්ෂාව තහවුරුවීම සඳහා ද එය බෙහෙවින් ඉවහල් වෙයි .

වාසය කිරීමට සුදුසු ප්‍රදේශයක් නොවූ තැන .


සදාචාරාත්මක වශයෙන් නිසි මඟපෙන්වීමක් හා අනුශාසනයක් නොවූ නිසා තමා පාපයට යොමුවුණු බව ඇය සඳහන් කරයි. ඇය වාසය කළ ගම පතිරූපදේශයක් නොවේ. මිථ්‍යා දෘෂ්ටික මිනිසුන් බහුල ප්‍රදේශයකි. පතිරූපදේශ වාසය මංගල සම්මත ය. එය දෙලොව දියුණුවට හේතු වේ. එසේ ම වරදින් නිදහස් වීම ට සදාචාරාත්මක මඟපෙන්වීමක් හෝ අනුශාසනයක් අවශ්‍ය වේ. එය ලොකු කුඩා සියලු දෙනාට ම වලංගු වේ."

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි මගධයේ “ඉට්ඨකාවතී” නම් ග්‍රාමයෙහි විසූ එක්තරා ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

මගධ රටෙහි “ඉට්ඨාවතී” හා “දීඝරාජී” යනුවෙන් ගම් දෙකක් විය. එහි වාසය කළ බොහෝ දෙනෙක් පවට නැඹුරු වූ අදහැමි පුද්ගලයෝ වූහ. ඉට්ඨකාවතී නඟරයෙහි වාසය කළ එක්තරා කාන්තාවක් නිතර පණුවන් හා පළඟැටියන් මරමින් බොහෝ පව් සිදු කළ අතර එම පාප කර්මයේ විපාක වශයෙන් ඇය මරණින් පසුව ප්‍රේත ලෝකයෙහි උපන්නා ය.
ප්‍රාණ ඝාතය හේතුවෙන් ප්‍රේත ලෝකයෙහි උපන් ඇය වසර පන්සියයක් මුළුල්ලේ බඩසයින් පෙළෙමින් අපමණ දුක් වින්දා ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉට්ඨකාවතී ග්‍රාමයේ එක්තරා කුලයක දැරියක් ව ඉපිද සත් හැවිරිදි වියට පත්ව ගම්වාසී සෙසු දැරියන් සමඟ පාරතොටේ සෙල්ලම් කරමින් කාලය ගත කළා ය. මේ අවදියේ සැරියුත් මහ රහතන් වහන්සේ එම ග්‍රාමය ගොදුරු කොට පිහිටි අරුණවතී විහාරයේ වැඩ වාසය කළහ.

සිරිතට අනුව පිරිතට ආරාධනා කිරීම

පිරුවානා පොත් වහන්සේ

පිරුවානා යන වචනයෙහි තේරුම කටපාඩම් කරන යන අදහසයි. මෙහි ඇති සූත්‍ර අනිවාර්යයෙන් ම පැවිදි වීමට පෙර වාචෝත්ගත කරගත යුතු බව අතීතයේ පිළිගත් මතයයි. අනුරාධපුර ජේතවනාරාම ශි්ලා ලේඛනයක ‘මහණ කරත් පිරිත් සතර බණවර පිරියත් වූවන් මහණ කරනු ඉසා’ යන්නෙන් සතර බණවර කටපාඩම් අය පමණක් පැවිදි කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.
බණවර සතරකින්, සූත්‍ර විසිදෙකකින් සැදුම් ලත් වර්තමානයේ භාවිතයට ගන්නා පිරිත් පොත් වහන්සේ මහා විහාර භික්ෂූන්ගේ අභිමතය පරිදි සකස් කළ බව සඳහන් වේ.
අතීතයේ දී ලංකාවේ භික්ෂු සම්ප්‍රදායන් දෙකක් දක්නට ලැබිණ. එක් සම්ප්‍රදායක් වන්නේ විදර්ශනා ධූරය සපුරමින් වහ වහා විමුක්තිය පසක් කර ගැනීමට ප්‍රයත්න දැරූ පිරිසයි. දෙවන කණ්ඩායම වන්නේ ගිහි ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරමින් තමන් ද විමුක්තිය සලසා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ පිරිසයි.
බුදුරදුන් සිඟාලෝවාද සූත්‍රයේ දී, ගිහි උපාසක උපාසිකාවන්ගෙන් සිවුපසයෙන් උපස්ථාන ලබන භික්ෂූන් වහන්සේ ගිහියන් උදෙසා යුතුකම් හයක් ඉටු කළ යුතු බව දක්වා තිබේ. ඒවා නම්,
පවින් වැළැක්වීම, කුසලයෙහි යෙදවීම, කලණ සිතින් අනුග්‍රහ දැක්වීම, නොඇසූ විරූ දහම් ඇස්සවීම, අසා ඇති දහම් පිරිසුදු කරවීම, සුගතියට මග කීම, යනාදී කාර්යයන් වේ. බුදුරදුන්ගේ මෙම උපදේශය මැනවින් වටහාගත් ග්‍රන්ථධූරය දැරූ භික්ෂූන් වහන්සේලා ගිහි ජනතාවට ලෞකික ජීවිතයේ විවිධ ගැටලු සංසිඳුවාගෙන උසස් ජීවන තත්ත්වයකට ළඟාවීම සඳහා ඇවැසි ආශිර්වාදයන් නො අඩුව ලබාදීම සඳහා වර්තමාන පිරුවානා පොත් වහන්සේ ක්‍රමානුකූලව සකස් කළ බව හඳුනාගත හැකි ය.

ශ්‍රමාභිමානවත් දැහැමි ජීවිතය

සසර වූ කලී සරු බිමක් නොව නිසරු බිමකි. සැප ඇති තැනක් නොව දුක් ඇති තැනකි. සියලු දේ දුක මතම පිහිටා ඇති බව ‘දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ” යන්නෙන් පැහැදිලි වේ. සසර වසනාතාක් දුක ම විඳිය යුතු අතර සසරින් එතෙර වීම ම සැපත වශයෙන් බුදුදහමේ මූලික ඉගැන්වීමයි. අප සැප යයි ගන්නා සියලු දේ හි ම වන්නේ දුකම ය. එය බුදු දහමේ යථාර්ථයයි.
එසේ වූවද සැපක් ගැන කතා නොකරන දහමක් නොවන බව බුද්ධ දේශිත කරුණුවලින් සනාථ කළ හැකි ය. ඒ අනුව ගිහියා විඳින සැප මෙන්ම පැවිද්දා ලබන සැප විසිහතරක් ගැන සඳහන් වේ.

ගිහි සුවය, පැවිදි සුවය නමින් හඳුන්වන්නේ සැනසීමයි. සතුටුවීමයි. මෙහිලා ගිහියා විඳින සුවයට වඩා විශාල සුවයක් පැවිද්දා විසින් විඳිනු ලබයි. එම සුඛය නම් නෙක්ඛම්ම සුඛයයි. හෙවත් නිරාමිෂ පී‍්‍රතියයි. ගිහියා විඳින්නේ සාමිෂ පී‍්‍රතියයි. සාමිෂ පී‍්‍රතිය වූ කලි තාවකාලික ය. පැවිද්දාගේ සැපය සදාකාලික ය. එනම් පස්කම් සුවය විඳීමෙන් ඈත් වීම ය. හෙවත් අත හැරීමේ සැපයයි. එය ‘නත්ථි සුඛය’ හෙවත් නැත යන සැපය ලබයි. මව්පියන්, නෑදෑ හිතමිතුරන්, ධනය, වස්තුව, මිල මුදල්, රන් රිදී, මුතු මැණික් ආදියෙන් වෙන්වීමෙන් හෙවත් අත හැරීමෙන් යුතුව කිසිවෙකුට, කිසිවකට කිසිදු බැඳීමකින් තොරව, තමාට තමාවත් නොමැති බව සිතා බ්‍රහ්මචාරී හෙවත් උත්තම ජීවිතයක් ගත කිරීමයි. පැවිද්දාට ඒ නිසාම බලාපොරොත්තු කියා දෙයක් නැත. එබැවින් ජීවිතය අල්පේච්ඡ ය. අපිස්ය, චාම් ය. සැහැල්ලුය. (අප්පකිච්ච, සල්ලහුකවුත්ති) දැමුණු ඉඳුරන් ඇත්තේ ය. ලෙහෙසියෙන් පහසුවෙන් පෝෂණය කළ හැක්කේ ය. එබැවින් උන්වහන්සේ කිසිවකට නොඇළෙන්නෙකි. මෙවැනි ලක්ෂණයන්ගෙන් පිරිපුන් පැවිද්දා විඳින්නේ පැවිදි සුවයයි. එම සුවය අන් සියලු සැපයන්ට වඩා උතුම් ය. එය එසේ වුවද ගිහියාට ඒ සියල්ල අතහැර ජීවිතයක් ගත කළ නොහැකි ය. එසේ අපේක්ෂා කිරීම සාවද්‍ය ය. එබැවින් ගිහියාට අයත් සැප දැන ගත යුතු ය. දැනගෙන එය විඳිය යුතු ය. මේ අනුව ගිහියා විඳින සැප හතරක් ගැන සඳහන් වේ. අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජ සුඛය වශයෙන් ඒ සැප හතර දැක්වේ.

අලසකම විනාශයේ මුල යි

යමක වග්ගය 07-08

සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි අමත්තඤ්ඤුං
කුසීතං හීනවීරියං
තං වෙ පසහති මාරො
වාතො රුක්ඛං’ව දුබ්බලං
ජීවිතයේ සුභ පක්ෂය
බලමින් නො දමා ඉඳුරන්
පමණ නොදැන භෝජනයෙහි
කුසීත වී බෙල හීනව
විසුවොත් වනසයි මරුවා 
සැඬ පවනින් මහ තුරු මෙන්

සේතව්‍ය නුවර අසල වසන සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා යුග්මය මහා කාල සහ චූල කාල යන සහෝදරයන් දෙදෙනා අරබයා දේශනා කළහ.
සේතව්‍ය නුවර චූල කාල, මජ්ක්‍ධිම කාල හා මහා කාල නමැති සහෝදරයෝ තුන් දෙනෙක් විසූහ. වැඩිමලා හා බාලයා වූ මහා කාල හා චූල කාල ගැල් රැගෙන ඈත දුර ප්‍රදේශ වලට ගොස් කරත්ත පන්සියයක් පුරාම විවිධ වෙළෙඳ භාණ්ඩ රැගෙන එති. මජ්ක්‍ධිම කාල මේවා නිවසේ තබා ගෙන වෙළෙඳාම් කරයි.
මෙසේ ගිය එක් වතාවක ගැල් පුරා විවිධ වාණිජ භාණ්ඩ පුරවා ගෙන සැවැත් නුවර බලා එන අතර සැවැත් නුවරත් ජේතවනාරාමයත් අතර කරත්ත මුදා විවේක ගත් හ. එදින සන්ධ්‍යා භාගයෙහි සැවැත් නුවර වැසියන් මල් දම් හා සුවඳ ද්‍රව්‍ය ඇතැතිව දහම් ඇසීම පිණිස යනු දුටු මහා කාල ‘ඔබ මේ කොහි ද යන්නේ?’ යි ඔවුන් ගෙන් විමසා බණ අසන්නට යන බව දැන ‘මමත් යන්නෙමි’ යි ඉටා ගත්තේ ය. තම මලණුවන් ඇමතූ හේ ‘මල්ලී කරත්ත ටික බලා ගන්න. මා බණ අහන්නට යනවා’ යි පවසා විහාරස්ථානයට ගොස් බුදුරදුන් වැඳ ධර්ම ශ්‍රවණය පිණිස හිඳ ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ එදින දුක්ඛ සත්‍යය විවරණය කරමින් කාමාස්වාදයෙහි ආදීනව පැහැදිලි කරමින් කළ ධර්ම දේශනාව ඇසූ මහා කාල සසර කලකිරී පැවිදි විය.

මහා කාල පැවිදි වූ පුවත ඇසූ චූල කාල ද පැවිදි විය. එහෙත් ඔහු පැවිදි වූයේ කෙසේ හෝ සිය සොහොයුරා ද සමඟ ආපසු ගිහිගෙට ගෙන එන අරමුණෙනි.

පිසුණු බසක් නොකියමු



පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි එක්තරා කුලපුත්‍රයෝ දෙදෙනෙක් කාශ්‍යප බුදුරදුන්ගේ සසුනෙහි පැවිදි ව සමගියෙන් විසූහ.
මෙසේ පැවිදිව වාසය කරන කල එක්තරා පවිටු දුර්ගුණ අදහස් ඇති භික්ෂුවක් මේ දෙදෙනා වහන්සේ වෙත පැමිණ පිළිසඳරෙහි යෙදී, පසුදා මේ දෙදෙනා වහන්සේලා සමඟ පිඬු සිඟා වැඩි සේක. මෙසේ පිඬු සිඟා වැඩි ආගන්තුක භික්ෂුව මේ ගොදුරු ගම්මානය ඉතා හොඳ යැයි ද, එලෙස ම උවැසි උවැසියන් ද ඉතා සද්ධාසම්පන්න යැයි ද මෙම ගමෙහි වාසය කිරීම හොඳ යැයි ද සිතී ය.
දිනක් වැඩිහිටි තෙරුන් වහන්සේ තම උවැසි උවැසියනට ධර්ම අවවාද අනුශාසනා කොට නිම වූ කල්හි ටික වේලාවකට පසු මෙම ආගන්තුක භික්ෂුව පැමිණ “ ඔබ වහන්සේගේ අතවැසි ගෝලයෝ ඔබ වහන්සේගේ අගුණ කියති’යි යැයි පවසා භේද කළේ ය.
පසු දා මෙම ආගන්තුක භික්ෂුව පිඬු සිඟා වැඩි සේක. ඒ අවස්ථාවේ දී උවැසි උවැසියන් විසින් අනික් තෙරුන් දෙනම කොහි ගියෝ දැයි විමසූහ. එවිට පෙර දින මුළු රැයෙහි ම ඔවුනොවුන් කලහ කරගත් බව කී ය. තමා ඔවුන්ගේ අවවාද නො අසා බැහැර ගිය බවත් පැවසී ය. ඒ ඇසූ ගම්වැසියෝ ඒ භික්ෂූන් වහන්සේ ගෙන්වා තමනට අනුකම්පා කොට එම ගමෙහි වාසය කරන ලෙස අයැද සිටියහ.

Thursday, April 19, 2018

සිත දියුණු කිරීමෙන් ලැබෙන ශක්තිය අසීමිතයි

බුදුසරණ පත්‍රයේ සතිපතා පළවූ මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් අවසන් වෙයි. අද පළ වන්නේ මරණානුස්සති භාවනාවේ සාරාංශ ගත කිරීමකි. සති ගණනාවක් පළවූ මෙම ලිපි එකතුවෙහි මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් සජ්ඣායනා කර මෙනෙහි කර තම තමා ම මරණසතිය යනු කුමක්දැ’යි දැනුවත් වුණා.

බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේ, අනුදැන වදාළ මරණසතිය දියුණු කළ යුතු යි. බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක මරණසති භවනාව පිළිබඳ වදාළා. විශුද්ධි මාර්ගයේ ග්‍රන්ථයක මරණසති භාවනාව පහදා දුන් සේ දීර්ඝ වශයෙන් සඳහන් කළා. කවුරුත් මේ ගැන හසල දැනුමකින් සිත වැඩීම නම් වූ භාවනාව දියුණු කළ යුතු යි. විශේෂයෙන් භාවනාවෙන් ඇලීම ගැටීම දෙක තුරන් වෙයි. තණ්හාව සහ තරහව විශේෂයෙන් දුරු කර ගත හැකි යි. ඕනෑම කෙනෙකුට අවශ්‍යම කරන දෙයක් වන්නේ නොඇලී නොගැටී වාසය කිරීම යි. එසේනම්, ඒ සැමටම ඉතා ප්‍රයෝජනවත් ම භාවනාව ලෙස ධර්මයේ සඳහන් වන්නේ මරණානුස්සති භාවනාව යි.
මරණසති භාවනාව සමථ භාවනාවකි. එය ධ්‍යාන තත්ත්වයට ගෙන යන්නට පුළුවනි. ‘ජීවිතය අනියත යි. මරණය නියත යි.’ යන වදන් පෙළ දහස් වර දස දහස් වර මෙනෙහි කරද්දී තමාගේ චිත්ත සමාධිය තහවුරු කරගෙන ධ්‍යාන අවස්ථාවට ගෙන යන්නට පුළුවනි. ඒ මරණ සතිය ම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවනි. එය හඳුන්වන්නේ විදසුන් නුවණ ලෙස යි. සෑම භාවනාවක ම අවසානය විදර්ශනාවට හැරීමෙන් මාර්ග ඵල අවස්ථාවට සමීප වෙයි. ඒ ගැන හොඳින් වටහාගෙන කවුරුත් බුදුසරණ පත්‍රය මඟින් සති ගණනාවක් පහදා දුන් මේ භාවනා ක්‍රමය හොඳින් දියුණු කළ යුතු යි.
ගමේ විහාරස්ථානයේ සිල් ගන්නා ඇත්තන්ට ද මේ ගැන පහදා දී ඒ අයත් මරණසති භාවනාවේ යොදවන්න. එවිට තමන් දන්නා භාවනා දැනුම, අභ්‍යාසය තව බොහෝ දෙනා අතරට පත් වූවිට තමන්ටත් ඉමහත් පිනක්.
බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ, භාවනාව පිළිබඳව බොහොම වැදගත් ආකාරයෙන් පහදා දෙන්නේ. එය සම්‍යයක් නුවණ දියුණු කරන භාවනාවක්. වැරැදි මත කිසිවක් නැහැ. නිවනට යන අරමුණින් ම මේ භාවනාව දියුණු කළ යුතු යි. සිත දියුණු කරගැනීමෙන් තමන්ට ලැබෙන ශක්තිය මෙපමණ’ යි යනුවෙන් සීමාවක් සිතන්නට බැහැ.

පුණ්‍ය නිධානය

පින්කම් තුනක් පිළිබඳ ව බුදුදහමේ ඉගැන්වේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ලෙසින් හැඳින්වෙන ඒවා නම්, දානය, ශීීලය , භාවනාව ය. එහි පළමුවැන්න දානයයි. බෞද්ධයා ට ඉතාම හුරුපුරුදු හා නිතර කරනු ලබන පින්කම ද දානය යි.දානයට බුදුදහමේ සුවිශේෂී තැනක් හිමි වේ. බුද්ධකාරක ධර්ම හෙවත් පාරමිතාවන්හි පළමුවැන්න දානයයි. සතර සංග්‍රහ වස්තුවල ද, දසරාජ ධර්මවල ද, දස පුණ්‍ය ක්‍රියාවන්හි ද පළමුවැන්න දානය යි. ත්‍රිපිටකයේ මෙන් ම එහි අට්ඨ කතා ආදියෙහි ද වෙනත් බෞද්ධ ප්‍රකරණ ග්‍රන්ථවල ද, දානය පිළිබඳ නොයෙක් විස්තර මෙන් ම දානිශංස ද, ඒ හා බැඳුණු කතා ද විසීරී තිබේ. බෞද්ධයන්ගේ පින්කම් අතර දානයට මුල්තැන හිමි වී ඇත්තේ මේ හේතු කොටගෙන ය.
දානය වශයෙන් කුමක් අදහස් කෙරේ ද? සරලම පිළිතුර නම්, දානය නම්, දීම ය යන්න ය. පරිත්‍යාගය , පූජාව, අතහැරීම ආදී තේරුම් ද , දානයට දිය හැකි තේරුම් ලෙස ගත හැකි ය. දක්ෂිණා යන වචනය ත්‍රිපිටකයෙහි නොයෙක් තැන දානය යන්නට සමාන ලෙස යෙදී ඇත. පූජා බුද්ධියෙන් දීම ය , අනුග්‍රහ බුද්ධියෙන් දීම ය යනුවෙන් දන්දීමේ ක්‍රම දෙකකි. තමන්ට වඩා ශීලාදී ගුණයෙන් උසස් පුද්ගලයන්ට යමක් දීම පූජා බුද්ධියෙන් දන්දීමයි. තමන්ට වඩා ගුණයෙන් පහත් අයටත් , දුගී මගී යාචකයන්ටත් , බලු කපුටු ආදී තිරිසන් ගත සත්ත්වයන්ටත් යමක් දීම අනුග්‍රහ බුද්ධියෙන් දීම යි . පූජා බුද්ධියෙන් දන්දීම උසස් ලෙස ද ,දැඩි ආනිශංස දායක පින්කමක් ලෙස ද, සැලකේ. දානය විවිධ කොටස්වලට බෙදා දැක්විය හැකි ය. මුලින්ම දානය කොටස් තුනකට බෙදිය හැකි ය. ආමිස දානය , ධර්ම දානය හා අභය දානය යනු එම කොටස් තුනයි. පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් ආහාරපාන, වස්ත්‍ර, මල් පහන් ,ගිලන්පස ,සුවඳ දුම් ආදී පූජාවන් අයත් වන්නේ ආමිස පූජා කොටසට යි. ධර්මදේශනා පැවැත්වීම, ධර්ම ශ්‍රවණයට පහසුකම් සලසාදීම, දේශකයන්ට පුජා පැවැත්වීම, දහම් පොත පත ප්‍රචලිත කිරීම, ධර්මශාලා ඉදිකිරීමට දායක වීම ආදිය ධර්ම දාන කොටසට අයත් වේ. ජීවිත දානය හෙවත් මරණයට කැපවූවන්, එයින් නිදහස් කිරීම අභයදානය ලෙස සැලකේ. ත්‍රිවිධ දානය අතරින් ධර්ම දානය උසස්ම දානය බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක . සබ්බ දානං ධම්ම දානං ජිනාති යනු එහි දේශනා පාඨයයි.

සිත පුදුම සහගත ය, කළ හැකි දේ බොහෝම ය

මනස’ මිනිස් වර්ගයාට පමණක් සීමා වූවක් නොවේ. දේව, භූත ආදී ජීවිත ගත කරන අයට ද මනසක් ඇත. එහෙත් වෙනසක් තිබේ. ‘මනස’ දියුණු කර ගැනීමේ හැකියාව මිනිසා සතුවීම ය. මිනිස් සිත සතු වන්නේ පුදුමාකාර බලයකි. ශක්තියකි. හැකියාවකි. එහෙත් එය තේරුම් ගෙන ඇත්තේ සුළු පිරිසක් පමණි. සිත දියුණු කිරීමේ අග්‍රම ඵලය ලෙසින් උතුම් සම්මා සම්බුදු පදවිය ලබන්නට පුළුවන. රහත් බව ලබන්නට පුළුවන. ධ්‍යාන ලැබීමට ද, බ්‍රහ්මලෝකවල ඉපදීමටත්, සුවිශේෂී හැකියාවන් ලබා ගැනීමටත් පුළුවන.
මෑතක් වනතුරුම බටහිර චින්තකයින් ප්‍රකාශ කළේ ‘මනස’ යනුවෙන් සුවිශේෂී දෙයක් නොමැති බව ය. එය ශරීරයෙන් උපදින ක්‍රියාකාරීත්වයක් පමණක් බව ය.
සාමාන්‍ය අධ්‍යාපනය තුළින් ගණිතය, විද්‍යාව, කලා ශිල්ප ආදී විෂයයන් උගෙන, උගත් ලෙස දියුණුවක් ලැබුව ද, ඔහු මානසික වශයෙන් දියුණුවක් ලැබ ඇතැයි නිශ්චිතව කිව නොහැකි ය. බෞද්ධ සාහිත්‍යයෙහි එන චුල්ලපන්ථක හිමියන්ගේ කතා පුවත උදාහරණයකි. නුවණ මද අයෙකු ලෙස සලකා ගුරුහිමියන් විසින් චුල්ලපන්ථක හිමියන්ට ආපසු ගෙදර යන ලෙස දන්වනු ලැබී ය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ මග පෙන්වීම අනුව ක්‍රියාත්මක වීම තුළින් මනස උපරිම මට්ටමට පත්කර ගැනීමට උන්වහන්සේට හැකි විය. මෙය සිදු වූයේ කෙසේ ද? චුල්ලපන්ථක හිමියෝ පෙර බුදුවරුන්ගෙන් පවා ධර්මය අසා දැන සිටියහ. ඒ අසා දැනගත් ධර්මය උන්වහන්සේ තුළ සැඟවී පැවතිණි. ඒ දැනුම නැවත මතු වූයේ බුදුහිමියන් පෙන්වා දුන් ක්‍රමෝපාය තුළිනි. පෙර ලද දැනුම ආවරණයකින් වැසී තිබුණ ද යෙදූ උපාය මාර්ගය නිසා එය ඉවත්විණි.


මිනිසා යනු පූර්ව ආත්මවල ලබාත් ඇති විවිධ දක්ෂතා, කුසලතා හැකියාවන් නැවතත් ලබා ගන්නට සමත් අයෙකි. පූර්ව ආත්මවල හුරු පුරුදුකම්, ගති පැවතුම්, සිරිත් විරිත් බොහෝ විට මේ ආත්මයටත් උරුම වනු ඇත. මේ ආත්මයේ දී ඒවා ප්‍රකට වීමට අවස්ථාව උදාවුවහොත්, එසේත් නැතිනම් ඒ සඳහා අදාළ ක්‍රමවේදයන් යෙදුණේ නම්, නැවත් ඒ ගති ලක්ෂණ මතුවනු ඇත. බුදුදහමෙහි එන විවිධ චරිත අධ්‍යයනය කරන විට ඒ බව සනාථ වනු ඇත.

තිසරණ සමාදානයෙහි වටිනාකම

බුද්ධිමත් ලෙස කටයුතු කරන්නා යන අර්ථය ඇති බෞද්ධයන්ට මේ ලෝකයෙහි වටිනාම රත්න තුන ලැබී ඇත්තේ ය.එනම් උතුම් වූ බුද්ධ රත්නයත්,නව ලොව්තුරා ධර්ම රත්නයත්,ආර්ය මහා සංඝ රත්නයත් යන රත්නත්‍රයන් ය. ශ්‍රද්ධාවන්ත වූ සැබෑ බෞද්ධයා මෙකී රත්නත්‍රයේ සරණ හැර වෙන සරණක් කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකරයි.
“නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං (මට බුදුන් සරණ හැර වෙන සරණක් නැත.)” “නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං (මට දහම් සරණ හැර වෙන සරණක් නැත.)” “නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං (මට සඟුන් සරණ හැර වෙන සරණක් නැත.) මෙලෙස තෙරුවන් ගුණ සමුදාය නිතර මෙනෙහි කරමින් තිසරණ සමාදන් වන සැදැහැතියන්ට නිවන් දකින තෙක් සසර පුරා අපාගත වීමක් නොමැත.
යමෙක් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය පිහිට කොට, සරණ කොට වාසය කරයි නම්, ඒ අය සුගති පරායනය වෙති. “මානුසං දේහං දේවකායං පරිපූරෙස්සන්ති.” අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ‘සරණගමනීය’ නම් හිමි නමක් ‘නිසඟ’ නමැති හිමි නමකගෙන් තිසරණය සමාදන් විය.එලෙස හිත පහදා ගනිමින්, තැන්පත් සිතින් තිසරණ සමාදන් වූ පිනෙන් අසූවාරයක් සක් දෙවිඳුව ඉපදීමටත්, හැත්තෑ පස් වාරයක් සක්විති රජ වීමටත් ,අවසන අප ගෞතම බුදු සසුනෙහි හත් අවුරුදු වියෙහිදීම රහත් වීමටත් ඒ උතුම් වූ පින හේතු වූ බව දහමේ දකින්නට ලැබේ.

Monday, April 2, 2018

කරණීය මෙත්ත සූත්‍රය


" යම් කාර්යයක් ආතතියෙන් තොරව නිම කිරීමට ඒ සඳහා කුසලතා වර්ධනය කරගත යුතුය. නිපුණත්වයට පත්විය යුතුය. අප රැකියාවේ හෝ ක්‍රීඩාවක නියැළෙනවානම් නිතිපතා පුහුණූු විය යුතු ය. නමුත් පුහුණුවන්නේ ඉතා අඩුවෙන් නම් එහි ප්‍රතිඵලය ආතතියයි."
ආතතිය අද දවසේ අපට නිතර අසන්නට ලැබෙන වදනකි. මේ ආතතිය නිසා වර්තමානයේ බොහෝදෙනා පීඩා විඳීන බව අපි දනිමු. යම් කෙනෙක් ආතතියට පත් වෙන්නේ බාහිර ලෝකයේ සිදුවන සිදුවීමකට හෝ එම සිදුවීම නිසා සිතේ ඇතිවන සිතිවිලිවලට නිසි ප්‍රතිචාර දැක්වීමට නොහැකි වූ විටය .
අද දවසේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන පිරිසගෙන් 60% වඩා වැඩි පිරිසක් ලෙඩ නිවාඩු ලබාගන්නේ ආතතිය නිසා ඇතිවූ ශාරිරික හා මානසික ව්‍යාකූලත්වය නිසා බව පර්යේෂණ මගින් සොයා ගෙන අත. ආතතිය නිසා අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වැඩිවීමේ අවදානම වැඩි බවත්, සොයා ගෙන ඇත. එසේ නම් බාහිර ලෝකයේ සිදුවන සිදුවීම්වලින් අපේ ශාරිරික, මානසික සමතුලිතතාවය නොසැලී පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය කවරේද?
මීට වසර 2500 ට පෙරදී බුදුරජාණන් වහන්සේ විසින් මේ සඳහා කදිම පිළිතුරක් ලබාදී තිබේ. මේ පිළිතුර ඇතුළත් දේශනාව කරණීය මෙත්ත සූත්‍රය නමින් හැඳින්වේ.

සංසාර දුක දිය සුළියක් සේ ය


වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 19



තථාගතයන් වහන්සේ පටිච්ච සමූප්පාදය දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන් භව තුනක් සම්බන්ධ කරගෙනයි. එනම් අතීත භව වර්තමාන භවය හා අනාගත භවයයි අතීත භවයට අයත්වෙනවා. ක්ලේශ වට්ටය සහ කම්ම වට්ටය, අවිජ්ජා කියන්නේ ක්ලේශ වට්ටයටයි. සංඛාර කියලා කියන්නේ කම්ම වට්ටයටයි. දිය සුළියක් වගේ දේකට කෙනෙක් අසුවුණොත් මොකද කරන්නේ? බේර ගන්නට බෑ. දිය සුළියෙන් ඇදගෙන ඇතුළට යනවා.
මේ සංසාරයත් දිය සුළියක් හා සමානයි. වට්ට කියා කියන්නේ ඒ නිසයි. එහෙනම් මේ සංසාර දුක, සංසාර ගමන දිය සුළියක් හා සමානයි. දැන් අපේ හිතේ ඇතිවෙනවා ක්ලේශ වට්ටය. අතීත වශයෙන් ගිය ආත්මේ ඇතිවුණා ක්ලේශ වට්ටය. ඊට පස්සේ ඇතිවෙනවා කම්ම වට්ටය.

ක්ලේශ වට්ටය පැහැදිලි කිරීමේ දී අවිජ්ජා, තණ්හා, උපාදාන යන හේතු තුනක් නිසා තමයි අපි සංඛාර එකතු කරගන්නේ. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම, තණ්හාව කියන්නෙ ආශාව, උපාදානය කියන්නේ දැඩිව ග්‍රහණය කර ගැනීම. අවිද්‍යා, තණ්හා, උපාදාන යන මේ ක්ලේශ වට්ටය නිසා තමයි කර්මය රැස්කරන්නේ. ඒවා සංඛාර කම්මයි. සංඛාර කියන්නෙ කුසල අකුසල චේතනා. ඒ නිසා ඇතිවෙන කර්ම ශක්තියට කම්ම කියා කියනවා. අන්න ඒකට අපි කම්ම වට්ට කියා කියනවා. දැන් බලන්න අපේ බුද්ධ ශාසනයේ සිටියා සුමනා රාජ නමින් කුමාරිකාවක්. කවුද සුමනා රාජකුමාරිකාව කියන්නේ? කොසොල් මහ රජ්ජුරුවන්ගේ දියණිය. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී මෙතුමියගේ තාත්තා සිටුවරයෙක්. නමුත් තාත්තා මිය ගිහින්. විපස්සි බුදුරජාණන් වහන්සේ ඇතුළුකොට ඇති හැට දහසක් මහා රහතන් වහන්සේලා එදා නුවරට පිණ්ඩපාතයේ වඩිනවා.

දරුවන් ආගමික ස්ථානයට සම්බන්ධ කළ යුතුයි

බුදුසරණ පුවත්පතෙහි 2015. 04. 03 වනදා පළවූ මෙම ලිපිය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ධුරන්දර ව වැඩ විසූ ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ට උපහාර පිණිස නැවත පළ කිරීමකි




වසර සිය ගණනක් අපේ රටේ රාජ්‍යත්වයේ සංකේතය වුණේ ඓතිහාසික අතිපූජනීය දළදා වහන්සේ.
ආගම දහම මුල් කරගත් සමාජයක් බිහිවුණේ ඒ අනුවයි. ඉවසීම, කරුණාව, දයාව වැනි මානුෂික ගුණාංග මූලික කරගත් සමාජයක්, ආර්ථිකයක් අප හදා ගන්නේ ඒ අනුව යි. ගමනක් බිමනක් ගියත් වෙළෙඳාමක් කළත් සැමවිට ම අනෙක් අය ගැන සොයා බලා වැඩ කටයුතු කිරීමට ලක්වාසි ජනතාව පුරුදු පුහුණු වුණා.

සතා සිවුපාවාට පවා ආදරය කරන්න ජනතාව පුරුදු පුහුණු වුණේ ධාර්මික ප්‍රතිපත්තීන්ට එසේ මුල් තැනක් ලබාදුන් නිසයි. පාසලේ විදුහල්පතිවරයා නැතිනම් ඉස්කෝලේ මහත්තයා, වෙද මහත්තයා, ආරච්චි මහත්තයා මුල් කරගත් අපේ සමාජය පන්සල ඇසුරු කරගෙනයි එදා සියලු වැඩ කටයුතු කළේ.

Friday, March 9, 2018

වපුරන්නේ යම් දෙයක් ද අස්වැන්න ද ඒ අනුව ය

ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, නිබඳව ම සිහි කළ යුතු කාරණා තුනක් ගැන බුදුන් වහන්සේ දේශනා කර වදාළා. එය සඳහන් වන්නේ අංගුත්තර නිකායේ පාන සූත්‍රයේ ය.


පළමුව උදේ සවස මෙසේ සිතන්නට කියනවා ‘මම කර්මය ස්වකීය කරගත් අයෙක් මි.(කම්මස්සකො හි)’ මම කර්මය දායාදය කර සංසාරයේ ගමන් කරන්නෙක් මි.(කම්ම දායාදෝ)’ මම කර්මය පිළිසරණ කරගත් අයෙක් මි. (කම්ම පටිසරණො)’ මට සිටින එකම ඥාතියා එකම නෑදෑයා මා රැස්කර ගත් කර්මය යි.( කම්ම බන්ධු)’, කර්මය මත යි මා උප්පත්තිය ලබා තිබෙන්නේ. ( කම්ම යෝනි)’ මනු ලොව ද , දෙව් ලොව ද , අපායෙහි ද මේ උපත තීරණය වන්නේ මා පෙර රැස්කරගත් කර්මය අනුව යි.

නොබියව මුහුණ දිය යුතු ය



බුදුසරණ පත්‍රයේ සතර පෝයදාටම පළවන මරණසති භාවනාව කවුරුත් හොඳින් කියවා, ඉගෙන ගත යුතුයි. ඇතැමුන් මරණසති භාවනාවට බොහොම බිය යි. එයට බිය විය යුතු නැහැ. පුළුවන්තරම් සිහි නුවණින් ම මරණ සති භාවනාව දියුණු කළ යුතු යි.
මරණානුස්සති භාවනාව තමන්ගේ මෙලොව යහපත සලසා ගැනීමට විශේෂයෙන් මහෝපකාරී වෙයි. තණ්හාව, තරහව, ඊර්ෂ්‍යාව , මද මාන්න ආදිය මරණසති භාවනාවෙන් අඩු වෙයි. එලෙස ම තම ජීවිත වාසනාවන්ත බවට පත් කරගත හැකි යි. උසස් ධර්ම කරුණු වන කරුණාව, මෛත්‍රිය, දයාව , අනුකම්පාව, අවිහිංසාව ආදිය දියුණු කළ යුතු යි. උසස් ගුණයෙන් සීල, සමාධි, ප්‍රඥා දියුණු කළ හැකි යි. සප්ත විශුද්ධි ධර්මයන් හොඳින් දියුණු කර සිත හොඳ තත්ත්වයකට ගෙන එන්නට පුළුවනි. මරණයට නිර්භීතව මුහුණ දිය හැකි යි. හොඳින් පින් කළ අය මරණයට බිය නැහැ. මරණයට භය වන්නේ පිනක් දහමක් නොකර, සතුන් මරාගෙන, සොරකමේ යෙදෙමින්, අධර්මිෂ්ඨව ජීවත් වන්නන් ය. දරුණු පව් කරන්නන් දින ගණන්, මාස ගණන් , සති ගණන්, දුක් විඳ කෑගසා මැරී අපාගත වෙයි.
එක්තරා තැනැත්තෙක් මරණාසන්නව සත් දිනක් ම නොනවත්වා ම කෑ කෝ ගැසුවා. වේදනා නාශක එන්නත් කළත් කෑගැසීම අඩුවක් නැහැ. පවසන්නෙම දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා යනුවෙනි. ඒ තැනැත්තා ජීවත්ව සිටිනතාක් කළේ පාප කාරී ක්‍රියාවන්. අධාර්මිකව ජීවත් වුණා. මරණය යන වචනය අසන්නවත් කැමැති නැහැ. දැන් ඒ තැනැත්තා නිරා දුකට පත්වන ලකුණු පෙන්වනවා. මරණයත් සමඟ ම නරකාදියට වැටී යයි. මේ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇති කරගෙන පවට බිය විය යුතු යි. පින වැඩි කළ යුතු යි. තම රැකියාව, අධ්‍යාපනය, දෛනික කටයුතු, ආර්ථික කටයුතු කරගන්නා ගමන් මරණය, අපාය, දෙව් ලොව, දුකෙන් නිදහස්ව නිවනට පත් වීමක් තිබෙනවා යැ’යි සිතිය යුතු යි. එවිට කාටවත් නොබියව , නිර්භීතව ජීවත් ව අවසන් හුස්ම හොඳින් හෙළිය හැකි යි.

ජරා මරණ උපදින සැටි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 18


ව ඇසුරු කරගෙන පහළ වන්නේ ජිව්හා විඤ්ඤාණය යි.ජිව්හා ප්‍රසාදය තියෙන්නට ඕනේ, බාහිර රසයක් තියෙන්නට ඕනේ, මනසිකාරය තියෙන්නට ඕනේ, ආපෝ ධාතුව තියෙන්නට ඕනේ, දැන් බලන්න දිව වේළිලා නම්, වියළි දිවක් නම් රස තේරෙන්නේ නැහැ. දිවේ තෙතමනය තියෙන්න ඕන රස තේරුම් ගන්න.

‘කායංච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං’

කාය ප්‍රසාදය තියෙන්නට ඕනේ, බාහිර ස්පර්ශ වන අරමුණු තියෙන්න ඕනේ. මනසිකාරය තියෙන්න ඕනේ. කර්මජ පඨවිය තියෙන්න ඕනේ. මොකක් ද මේ කර්මජ පඨවිය කියලා කියන්නේ. කායං ප්‍රසාදය තියෙන රූප කලාපය ගත්තොත් රූප දහයක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතින්ද්‍රිය, කාය ප්‍රසාදය යන රූප දහයක මිටි තියෙන්නෙ. මේ රූප දහයේ මිටිය තුළ ඒ කලාපයට ම අයිති පඨවි යන රූපයක් තියෙනවා. මේ පඨවි යන රූපයට කියන්නෙ කර්මජ පඨවිය කියලා. කර්මයෙන් හටගත්ත රූපකලාපයක්නෙ මේ කාය දශකය කියලා කියන්නේ. ඒ කාය දශකයේ තියන පඨවියට කියනවා කර්මජ පඨවිය කියලා. දැන් මේ කර්මජ පඨවිය තිබුණහම තමයි කාය ප්‍රසාදය තුළ කාය විඤ්ඤාණය පහළ වෙන්නෙ. දැන් බලන්න, අංශභාගය හැදුණු ලෙඩෙක් ගත්තොත් ඔහුගේ එක අංශයක් පණ නෑ, අත පය පණ නැති වුණාම ඒ ඇත්තන්ට කකුලේ සංවේදිතාවය තේරෙන්නේ නෑ. ඒ කියන්නේ මොකක්ද කාය ප්‍රසාදය තිබුණට එතන පඨවි ගතිය තියනවා. නමුත් ඒවා වැඩ කරන්නේ නෑ දුර්වලයි. ඒ කියන්නේ පඨවි ගතිය හරියට වැඩකරන්නේ නෑ කියන එකයි. සිත් වර්ග හතරක් තියෙනවා.

සංවරයට උපකාරී වන සීලය

පුද්ගලයාගේ චර්යාව හෙවත් හැසිරීමේ ආකාරය ප්‍රකාශ වන්නේ කය හා වචනය මගින් ය. එම කායික හා වාචසිකයේ සංවර බව සීලය ලෙස හැඳින් වේ. අකුසලයෙන් ඈත් වී කුසලයෙහි පිහිටීමට උපකාරි වන්නේ සීලය යි. ඒ අනුව නිර්වාණගාමී ප්‍රතිපදාවේත්, යහපත් ජීවිතයේත් පදනම වන්නේ සීලය යි. එබැවින් පුද්ගලයා නිවැරැදි ශික්ෂණයට පත්වන්නේ සීලයෙන් ය. එක් එක් ආයතනයන්, සංස්ථාවන් නිරවුල්ව පවත්වා ගැනීමට ආයතනික සංග්‍රහය ඉවහල් වේ.

එසේ යහපත් සමාජයක් පවත්වා ගැනීමට ඉවහල් වන්නේ සීලය යි. එය ප්‍රධාන වශයෙන් ගිහි පැවිදි වශයෙන් වෙන් වෙන්ව හඳුන්වා දී තිබේ. ප්‍රධාන වශයෙන් චතුපාරිශුද්ධි සීලය එනම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය වශයෙන් පැවිදි පාර්ශ්වයටත් , නිත්‍ය සීලය හා උපෝසථ සීලය වශයෙන් ගිහි පාර්ශ්වයේ අභිවෘද්ධියටත් සීලය ලෙස ශික්ෂා පද වෙන වෙන ම හඳුන්වා දී ඇත.


බුදුදහම මගින් නිරතුරුව පුද්ගලයාගේ අධ්‍යාත්මික හා බාහිර අභිවෘද්ධියට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරයි. ඒ අනුව සීලය මගින්ද බලාපොරොත්තු වන්නේ එයයි. බුදුදහමින් පුද්ගලයා අර්ථාන්විත ක්‍රියා සඳහා යොමු කරන්නේ යම් ක්‍රියාවක ආදීනව ය, ආනිශංස හා නිස්සරණය හඳුන්වා දීමෙන් ය. එය මනාව හඳුනාගත් පුද්ගලයා එය තමාට අවශ්‍ය ද? අවශ්‍ය නම් ඇයි, කවර හේතුවක් නිසා ද? කෙබඳු ආකාරයෙන්ද, ආදි වශයෙන් බුද්ධිමත්ව සිතා බලයි. ඒ අනුව එළඹෙයි. අවබෝධයෙන් යමක් සිදු කළ හැකි වන්නේ එවිට ය.

Thursday, March 8, 2018

සතොසින් ඇසුවොත් මෙදහම් මනහර

"බුදුරදුන් දහම් දෙසනුයේ ශ්‍රාවකයන්ට එය දැඩිව ගැනීම පිණිස නොවේ. ඔවුනට දුකින් එතෙර වීමට මග පෙන්වනු සඳහා ය. බුද්ධ වචනයේ ධර්මය උපමා කොට ඇත්තේ පහුරකට ය. එය එතෙරවනු පිණිස මිස කර ගසාගෙන යාමට නොවේ. ධර්ම ශ්‍රවණයෙන් ම විමුක්තිය ලද නොහැකි ය. ඒ සඳහා අනුපූර්ව ප්‍රතිපදාවෙහි හැසිරිය යුතු ය."
ශාසන බ්‍රහ්ම චර්යාවෙහි නිරත වීමට යමෙකු යොමුවන්නේ ධර්ම ශ්‍රවණය තුළිනි. අනුපූර්ව ශික්ෂණයෙන්, අනුපූර්ව ක්‍රියාවෙන්, අනුපූර්ව ප්‍රතිපදාවෙන් කෙසේ නම් රහත් බව ලබන්නේ දැයි පැහැදිලි කරන බුදුදහම මෙසේ පෙන්වා දෙයි.
“මෙලොව උපන් සැදැහැ ඇති තැනැත්තා (ගුරුන් කරා) එළඹෙයි. එළඹ ඇසුරු කරයි. ඇසුරු කරනුයේ ඇසීමට කන් යොමයි. යොමුකළ කන් ඇත්තේ දහම් අසයි. අසා මතකයෙහි තබා ගනියි. නුවණින් අරුත් විමසයි. වටහා ගනී. රුචිය උපදවයි. වෙර දරයි. සසඳා බලයි.භාවනාවට යොමුවෙයි. පරම සත්‍යය පසක් කරයි.”
බුද්ධ වචනය පිළිබඳ බහුශ්‍රැත භාවය නොවේ නම් පිටක සම්ප්‍රදායයෙහි නිපුණතාවය ආර්ය මාර්ගයට අවතීර්ණව සිටින භික්ෂුවකට අවශ්‍යම කරුණකි. “මහණෙනි, භික්ෂුව සැදැහැවත් වුවද, සිල්වත් වුවද බහුශ්‍රැත නොවන්නේ නම්, එම අංගයන් අපරිපූර්ණ වන්නේ ය. කවර නම් උපායෙකින් මම සැදැහැයෙන් සිල්වත් වූයෙම්. බහුශ්‍රැත වූයෙම් වෙම් දැයි එම භික්ෂුව එම අංග පිරිය යුතුය. මෙසේ (බහුශ්‍රැත බවද ඇති කල්හි) ඒ භික්ෂුව පිරිපුන් වන්නේය”යනු බුද්ධ වචනයයි. භික්ෂුව විසින් පර්යාප්ති ශාසනය පිරිය යුතු ය.” මේ සසුනෙහි භික්ෂූන් , සූත්‍රය ,ගෙය්ය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූත ධර්මය, වෙදල්ලය යන ධර්මය ප්‍රගුණ නොකරත් නම් එය සද්ධර්මයේ අතුරුදන් වීමට හේතුවන ප්‍රථම කරුණ යැයි” බුදුරජාණන් වහන්සේ වදාළහ. මේ අනුව ධර්ම ශ්‍රවණය හා ධාරණය ද ඔස්සේ උපයා ගන්නා ව්‍යක්ත බව බුදු දහමෙහි ඉතා වැදගත් කරුණක් ලෙස සලකාගෙන ඇත. ශ්‍රැතිය ධනයෙකි.

Monday, March 5, 2018

පින් වැඩෙන බෝධි වන්දනාව

බෝධින් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත්, පිරිනිවීමෙන් පසුවත් එකසේ ම පූජනීයත්වයට පත් වූ මහා වෘක්ෂරාජයාණෝ ය. අපට ඇතිවන බොහෝ කායික, මානසික පීඩා වලදී බෝ සෙවණේ සිට දුක කියන්නෙමු. සුවය පතා ප්‍රාර්ථනා කරන්නෙමු. එනිසා ම පින වැඩෙන ආකාරයට බෝධි වන්දනාවක් කරන ආකාරය මෙතැන් සිට බුදුසරණ සතර පෝදාම පළ කරමු. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේජානුභාවයෙන් ඔබට සෙත් වේවා.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස///
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

පින් ඇති දෙව්දුව (උත්තරා විමානය)

මුගලන් මහරහතන් වහන්සේ දිනක් දෙව්ලොව චාරිකාවේ වැඩි සේක. ඉතාමත් සුරූපි දෙව්දුවක් දුටු උන්වහන්සේ මෙසේ විමසූහ.
” පින්වත් දෙව්දුව, මනා රූපයෙන් යුතු ඔබ සියලු දිසා බබළුවන්නී ය. ඕසධී තරුව සේ සිටින්නී ය. කවර හේතුවකින් ඔබගේ පුණ්‍ය සම්පත් සමෘද්ධ වෙමින් මේ මන වඩන (සිතන සිතන) සම්පත් ඔබට ලැබුණේ ද? මිනිස් ලොව සිටිය දී කවර නම් පිනක් ඔබ විසින් කරනු ලැබුවා ද? මුගලන් තෙරුන් වහන්සේ කළ විමසීමට සතුටු සිත් ඇති වූ ඒ දෙව්දුවමේ දිව්‍ය සම්පත් කවර කුසල කර්මයක අනුසස් දැයි මෙසේ ප්‍රකාශ කළා ය.
දේවතාවිය – පින්වත් ස්වාමීන් වහන්ස, පෙර දා, මම මනුලොව ගිහිගෙයි වාසය කළෙමි. නිති පඤ්ච ශීලය රකිමින් පොහෝ දිනයන් හි අෂ්ඨාංග උපෝසථය සමාදන් වීමි. මසුරු බවක්, ඊර්ෂ්‍යාවක්, එකට එක කිරීමක් හෝ කිසිවකුට ක්‍රෝධ නො කරන්නියක් වීමි. කයින්, වචනයෙන් හා ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව සැමියාගේ අදහස් අනුව ජීවත් වෙමින් මාගේ ගෙයි වාසය කළෙමි.
ආර්යය සත්‍ය දැන ගැනීමෙහි සිත් ඇත්තී ව පසැස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපාසිකාවක් වීමි.

දේවාශිර්වාදය ලබන්නට නම්..

බලාපොරොත්තු, ප්‍රාර්ථනා, අධිෂ්ඨාන ඒ ආකාරයෙන් ම ඉෂ්ඨ කර ගැනීමට අපි සැවොම කැමැත්තෙමු. ඒ සඳහා නිරතුරුව උත්සාහ ගනිමු. නොයෙක් ක්‍රමෝපායන් යොදමු. එහි දී ඇතැම් බෞද්ධයන් පුරුදු වී සිටින්නේ මිථ්‍යා දෘෂ්ඨික ක්‍රම අනුගමනය කිරීමට ය. තම ලාභ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා භූමාටු මට්ටමේ දෙවියන් වැඩ හිඳින දේවාලවලට ගොස් දෙවියන් යැදීමට, භාරහාර වීමට, පූජා වට්ටි දීමට පුරුදු වී සිටිති. එයට හේතුව මොවුන් සැබෑ ලෙස ම තිසරණය තුළ ස්ථාපිත වී නොතිබීම ය. ඒ වගේම බුදුන් සරණ ගිය පින්වත් දෙවිවරු ගැන නොදන්නාකමයි.
ඒ නිසා මේ ලිපියෙන් අප කියා දෙන්නේ අවබෝධාත්මක ලෙස තිසරණය තුළ ස්ථාපිත වී සිටින පින්වත් දෙවිවරුන්ගේ වන්දනාව හා ආශීර්වාදය ලබාගැනීම පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුව දිව්‍ය ලෝක හයක් ගැන අපට අසන්නට ලැබේ. ඒවා නම් චාතුර්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත, වසවර්ති යන දිව්‍ය ලෝකයන් ය.
චාතුර්මහා රාජිකයේ වැඩ සිටින්නේ සතරමහා දෙව්රජ දරුවන්, එනම් නැගෙනහිර දිසාවට අධිපති ගාන්ධර්වයන්ට අධිපති ධ්‍රැරාෂ්ඨ දෙව් මහ රජු, ඒ වගේම දකුණු දිශාවට අධිපති කුම්භාණ්ඩයන්ට අධිපති, විරූඪ දෙව් මහ රජු, ඒ වගේ ම බටහිර දිසාවට අධිපති නාගයන්ට අධිපති, විරූපාක්ෂ දෙව් මහ රජු, උතුරු දිශාවට අධිපතිත්වය දරන්නේ යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ දෙව්මහ රජුන්ය.
තාවංතිසයත් චාතුර්මහාරාජිකයත් යන දෙදෙව්ලොවටම අධිපතිව කෝටි සංඛ්‍යාත දෙව් පිරිස් පාලනය කරන සෝවාන් ඵලයට පත්ව සිටින උතුම් දිව්‍ය රාජයා වන්නේ සක්දෙව් මහා රජු ය. යාමයට අධිපතිව වැඩ වසන්නේ සූයාම දිව්‍ය පුත්‍රයා ය. තුසිතයට අධිපතිව වසන්නේ මතු බුදුවන සංතුසිත දිව්‍ය රාජයා ය. සුනිම්මිත දිව්‍ය රාජයා නිම්මානරතියට අධිපතිව වැඩ වසති. වසවර්ති දිව්‍ය රාජයා වැඩ වසන්නේ පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයට අධිපතිවයි.

Friday, March 2, 2018

කැඳත් පුදා දෙව්ලොව යති ( සීහළවත්ථු කතා )

මහරජ, මම ඔබට සාධුකාර නො දුන්නෙමි'. මම චුල්ලී උපාසිකාවටත්, ඇය දුන් දානයටත් සාධුකාර දුන්නෙමි. ඇය මුදිතා ගුණයෙන් පරිපූර්ණ ය. බොහෝ ශ්‍රද්ධාවන්තී ය. ඇය රහතන් වහන්සේ උදෙසා දනක් පූජා කළෙන් මම මෙසේ සාධුකාර දුන්නෙමි කී ය.
ඈත අතීතයේ පියංගුදීප නමින් දිවයිනක් විය. ඒ දිවයිනේ ෂඩ්අභිඥාලාභි වූ මහත් සෘද්ධි ඇති කනපියපුත්ත තිස්ස නම් රහතන් වහන්සේ නමක් වැඩ සිටියහ. උන්වහන්සේ ගේ ඇසුරෙහි චුල්ලනාග නමින් සෘද්ධිමත් කීකරු සාමණේරයන් වහන්සේ නමක් වාසය කළේ ය.
ඒ කාලයේ ම හෙළ දිවයිනේ චුල්ලී නමින් උපාසිකාවක් සිටියා ය. ඇය බොහෝ ශ්‍රද්ධාවන්තී ය. තුනුරුවන් කෙරෙහි ප්‍රසන්න සිත් ඇත්තී ය. කුලී වැඩ කරමින් ජීවත් වන ඇය, යම් කුඹුරක ගොයම් කපා අවසන් වූ පසු ඒ ගොයම නැවත අවුස්සා එහි ඇති වී කරල් එකතු කර ඒ වී තම නිවසට රැගෙන ගොස් කොටා සහල් කරමින් ජීවත් විය.

දිනක් ඇය ‘මේ සහල් වලින් මම දානය සකසා සංඝයා වහන්සේට පූජා කරමි” යැයි සිතා විහාරස්ථානයට ගොස් එක් ස්වාමින් වහන්සේ නමකට ආරාධනා කොට සුලු සහල් කැඳක් සමඟ බත් ද පිළියෙළ කොට පිදුවේ ය.

කෘතවේදී ළමා පරපුරක් වෙනුවෙන්

සිද්ධාර්ථ කුමරු ගිහිගෙය අත්හැර පැවිදි වී බුද්ධත්වයට පත් වී කාලයක් ගිය පසුව මහාප්‍රජාපතී ගෝතමිය ඉතා ම අමාරුවෙන් පැවිද්ද ලබා කාන්තා විමුක්තිය වෙනුවෙන් මෙහෙණි සස්න ආරම්භ කළා ය.
පැවිදි වූ මුල් කාලයේ දී එතුමිය බුදුරදුන් තමන්ගේ පුතා කියා සිතුවේ නැත. තමන්ගේ ගුරුවරයා ලෙසයි සිතා ඇත්තේ. සිරිතක් වශයෙන් පිරිස කෙළවරට ගොස් බණ ඇසූ ගෝතමිය ටික දිනකින් රහත් ඵලයට පත් වූවා ය. එක් දවසක් බුදුරදුන් ධර්මය දේශනා කරන මොහොතක උන්වහන්සේ ඉදිරිපිටට පැමිණ ධර්මාසනය ළඟ වාඩිවී බණ අසමින් සිටියා ය. අත්දෙක ඔසවා නළල මත තබා බුදුරදුන් දෙස ම බලමින් බණ ඇසුවා ය. දැන් ගෝතමියගේ දෑසින් කඳුළු වැගිරෙන්නේ ය. බුදුහාමුදුරුවෝ සුළු මෑණියන් දෙස බැලූහ. වෙනදා පිටුපසට වී බණ අසණ මෑණියන් අද මේ විශාල පිරිසක් අතරින් ඉදිරියට ම විත් බණ අසන්නී ය. මේ වෙනස, කුමක්ද? මෑණියනි, ප්‍රජාපතිනියණි, අද මා ඉදිරිපිටට ම ඇවිත් මා දෙස බලා ඉන්නේ ඇයි?

පින් කළ නොහැකි ලොව

ඔහු ඒ වන විට කවර තැනක සිටී දැයි බුදු නුවණ මෙහෙයවා බලත් ම කලුරිය කොට අරූප ලෝකයෙහි ඉපිද සිටින බව අවබෝධ විය. එයින් පැහැදිලි වන්නේ රූපය ගැන කළකිරී භාවනා කොට කෙලෙස් ප්‍රහීණ කිරීමෙන් අරූප තලයෙහි උපත ලබා දෙන බවයි.
සිත මිස කය නැති බඹලොව සතර කි 
සිත නැතිව ම කය ඇති බඹ තලය කි
මෙද සත පින් කොට උපදින පෙදෙස කි
එහි උපනත් කුසලක් නොම කළ හැ කි
සිත ඇති, රූපයක් නැති අරූප බ්‍රහ්ම ලෝක සතරකි. සිත නැති, රූපය ඇති එක් අසඤ්ඤ බ්‍රහ්ම ලෝකයකි. මේවායේ වසන සත්ත්වයන් පින් කොට උපත ලබා සිටී. එහෙත් ඒ කිසිවෙකුට කුසලයක් කළ නො හැකි ය. මේ ලෝවැඩ සඟරාවෙහි එන ඉහත කවියෙහි අර්ථ යයි.
සමසතළිස් කර්මස්ථාන අතුරෙන් සුදුසු එකක් අනුව භාවනා කිරීමෙන් සිත දියුණු කොට ගත් අය ධ්‍යාන උපදවා ගනිති. එය බුදු උපතටත් පෙර සිට සමාජයෙහි ක්‍රියාත්මක ව පැවතුණු බව ආළාරකාලාම, උද්දකරාම ආදීන්ගෙන් පැහැදිලි වෙයි. සමථ භාවනා ක්‍රමයෙන් සිත දියුණු කොට ප්‍රථම ධ්‍යානය උපදවා ගත් අය මියගිය කල්හි බ්‍රහ්මපාරිසජ්ජ, බ්‍රහ්මපුරෝහිත, මහාබ්‍රහ්ම යන බ්‍රහ්ම ලෝකයන්ගෙන් එකක උපත ලබති. තවදුරටත් භාවනා කිරීමෙන් ද්විතීය ධ්‍යානය ලැබූ අය කලුරිය කළහොත් පරිත්තසුභ, අප්පමාණසුභ, ආභස්සර යන බ්‍රහ්මලෝකයන්ගෙන් එකක උපත ලබති. භාවනා මඟින් තෘතීය ධ්‍යානය උපදවාගෙන සිටිය දී කලුරිය කළ අය පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්හක යන බ්‍රහ්මලෝකයන්ගෙන් එකක උපත ලබති. භාවනාව වැඩිදියුණු කොට චතුර්ථ ධ්‍යානය ලැබුවෙක් වේහප්ඵල, අසඤ්ඤසත්ත යන බ්‍රහ්ම ලෝකයන්ගෙන් එකක උපත ලබති. විදර්ශනා භාවනාවෙන් අනාගාමි තත්ත්වය උදාකරගත් කෙනෙක් මියගිය කල්හි අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ඨ යන සුද්ධාවාසයන්ගෙන් එකක උප්පත්තිය ලබති.