Labels

Saturday, September 30, 2017

වස්සානයේ එළඹි පුණ්‍ය කාලය

ජීවිතය නම් අරගලයකි. කුස ගින්දර නිවා ගන්නට රුපියල් ශත සොයන්නට සිත, කය වෙහෙස වීමෙන් පමණක් ඒ අරගලය නො සංසිඳේ. විටෙක දරුවන්ගේ ප්‍රශ්නය. නෑදෑ හිත මිතුරන්ගේ, රැකියාවේ අධ්‍යාපනයේ ගැටලු ය.
කෙළවරක් නැති ප්‍රශ්න දම්වැල් පුරුක් සේ එකට ඈඳෙනවා මිස අරගලයේ නම් නිමාවක් නැත. ඊට මැදි වී ව්‍යාකූල වූ මනසින් ගෙවන ජීවිතය බරකි. ඒ බර සැහැල්ලු වන්නට නම් සිතට නිදහසක් ඇවැසි ය. සිත නිදහස් වන්නේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගත් පමණට ය. ඒ සඳහා මා හැඟි මාර්ගයක් බෞද්ධයන්ට තිබේ. ඒ බුදු හිමියන් දේශිත සිරි සදහම් මඟ යි. කිළිටි කෙලෙස් මළ සෝදා හැර අධ්‍යාත්මික පාරිශුද්ධත්වය ඇති කර ගන්නට අපූර්ව දහම් මාවතක් උන් වහන්සේ විසින් අපට උගන්වා වදාළහ.

නිරයෙහි දුක ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව

සිතුවත් බිය කරවන අරතර යේ
වැටුණොත් එක් සිය සතිසක් නිර යේ
බලවත් දුක් විඳිනෙය කරදර යේ
මදකුත් පිනකට නැත අවසර යේ
සිතූ පමණින් මහත් සේ බිය උපදවන එක්සිය තිස් හයක් වූ නරකයෙහි වැටුණහොත් ඉතා විශාල වූ දැඩි දුක් කරදරයන්ට භාජන වන්නේ ය. එහි පින්කම් කිරීමට සුළු හෝ ඉඩක් නැත, යනු ඉහත සඳහන් කවියෙහි සරල අදහසයි.

පව් කම් කරන අය මරණින් මතු උපත ලබන එකසිය තිස් හයක් වූ නරක පිළිබඳ කවියෙන් සිහිගන්වයි. ඒ එක්සිය සතිස අතුරෙන් අටක් මහා නරක ය. ඒවා නම් සංජීවය, කාළසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන ඒවා යි. මේ සෑම නරකයක ම සතර පැත්තේ පිහිටි දොරටු සතරකි. එහි එක් එක් දොරක් පාසා බලවත් දුක් ලබා දෙන නරක සතර බැගින් වෙයි. ඒ අනුව එක් මහා නරකයකට අමතර වශයෙන් බලවත් දුක්ගෙන දෙන නිරය දහසයක් ඇත. ඒ අනුව අට මහා නිරයන් හා ඒවා සම්බන්ධව පවතින එකසිය විසි අටක් වූ නිරයන් එක් වූ කල් හි එක්සිය සතිසක් නරක ඇති බව පැහැදිලි වෙයි.

දහම හැදෑරීමට උපදේශයක්


තථාගත බුදු පියාණන් වහන්සේගේ පරම පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මය ලංකාද්වීපයේ බිහි වූ මහා සංඝ පරපුර විසින් මහත් වූ කැප කිරීමකින් යුතුව ආරක්ෂා කර ගනු ලැබුවා. ඒ නිසා ම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඉතා පිරිසුදු ලෙස ඉගෙන ගන්නට අදත් අවස්ථාව තිබෙනවා."

කළ කම් පළදෙන හැටි: කර්ම විපාක

ලෝකය තුළ දැනට පවතින ආගම් අධ්‍යයනය කරන විට එම ආගම්වල මිනිස් ස්වභාවය පිළිබඳ කරනු ලබන විග්‍රයන් දක්නට ලැබේ.එම ආගම් බොහෝ ප්‍රමාණයක්ම නිර්මාණවාදී ආගම් ලෙස දැකිය හැකි ය.කිසියම් වූ නිර්මාණයකින් ආගම ආරම්භ කිරීමේ විධි ක්‍රම පවතින ආගම් නිර්මාණවාදී ආගම් ලෙස හැඳින්විය හැකියි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය නිර්මාණවාදයෙන් ආරම්භ නොවන නිසා ම එම ධර්මය ස්වභාවධර්මවාදී ආගමක් ලෙස හැඳින්වේ. ස්වභාවධර්මයේ විධි ක්‍රමයට අනුගතව, ආගමික විධි ක්‍රම ආරම්භ වූ බව බුදු බණෙහි දක්වා ඇත.

අනෙක් ආගම් තුළ නොමැති අලුත් දර්ශනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.එය සංසාරය නමැති වචනයෙන් අර්ථ ගැන්වේ. කිසියම් සත්ත්වයෙකු වර්තමානයට අනුව දක්නට ලැබෙන විට, එම සත්ත්වයා මීට පෙර ආත්ම ගණනාවක උප්්පත්තිය ලබා ඇති බව බුදු දහමෙහි නිගමනය වේ. උප්පත්තිය ලැබූ ආත්ම ගණන කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකි ය. එම කාරණාව වෙනත් කිසිම ආගමක, දර්ශනයක උගන්වා නැත. එම සත්ත්වයා තුන්තරා බෝධියෙන් ,එක්තරා බෝධියකට පැමිණ නිවන් දකින බව බෞද්ධ දර්ශනයෙහි සඳහන් ය. බුද්ධත්වයට පත්වීම, පසේබුද්ධත්වයට පත්වීම , මහරහත් බවට පත්වීම තුන්තරා බෝධිය ලෙස හැඳින්වේ.

වස්සානයේ වස්සානයේ කථාව


“වස්සානයේ කථාව” යන මේ වචන දෙසවන වැටෙන විට ම අපේ සැදැහැති බෞද්ධයන්ට මහත් වූ සැනසිල්ලක් දැනෙන්නේ වෙනදාට වඩා තමන්ට පින්දහම් රැස් කරගන්නට ලැබෙනවා කියන සිතිවිල්ල නිසයි.

අපේ ජීවිතය තත්පරයෙන්, පැයෙන්, දවසෙන්, මාසයෙන් අවුරුද්දෙන් යන කාල චක්‍රයට අනුව ගෙවී යනවා. ඉතින් අවුරුද්දේ දින 365 තුළ විවිධ වකවානු විවිධ කරුණුවලට අපි වෙන් කර ගන්නවා. සාමාන්‍යයෙන් අලුත් අවුරුදු සමය, වෙසක් සමය, පොසොන් සමය ආදී වශයෙන් එය බෞද්ධයෝ විශේෂ කොට සලකනවා. එහෙම වුණත් මේ “වස්සානයේ කථාවට” හසු වන කාලය දින දෙක තුනකට සීමා වන කාලයක් නම් නොවෙයි. එයට සාමාන්‍යයෙන් මාස 04 ක් ම ගැනෙනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා “වස් වැසීම” සඳහා නිශ්චිත වශයෙන් යොදා ගන්නේ නම් මාස තුන යි.

බුදුරදුන් දවස මෙහෙණි සසුන

සුද්ධෝදන මහ රජතුමා රෝගාතුර වී සිටිනු දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දැකීමට කැමැත්තෙන් සිටිනා බව දැක ශ්‍රාවක පිරිසකුත් සමඟ ඍද්ධියෙන් එහි වැඩි සේක. රෝගාතුර වූ රජ සැතපී උන් ඇඳ ඉස පැත්තේ පැනවූ අස්නෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ සුද්ධෝදන රජතුමාගේ හිස මත දක්ෂිණ ශ්‍රී හස්තය තබා සත්‍ය ක්‍රියා බලයෙන් රිදුම දුරු කළ සේක.
නන්ද රහතන් වහන්සේ රජතුමාගේ දකුණත අල්ලා සත්‍ය ක්‍රියා කළහ. එකෙනෙහි ම අත රුජාව ද දුරුවිය. අනඳ තෙරණුවෝ වමත, සැරියුත් තෙරණුවෝ හා මුගලන් තෙරණුවෝද දෙපසහිද සිය අත තබා සත්‍ය ක්‍රියා කළහ. එකෙනෙහි රජුගේ සිරුරේ සියලු රුජාව මුළුමනින් ම දුරු විය. ඒ අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ සුද්ධෝදන රජතුමාට අනිත්‍ය ධර්ම කතාවකින් අනුශාසනා කළ සේක. ධර්ම කතාව අවසානයේ සුද්ධෝදන රජු රහත් විය. මේ අවස්ථාවෙන් සත් දිනක් ව සුද්ධෝදන රහත්හු විමුක්ති සැප විඳිමින් කල් ගෙවා සත් දින අවසානයේ භාග්‍යවතුන් වහන්සේ වැඳ ඒ මංචකයෙහි ම ඇමැතිවරුන් කැඳවා තමන්ගෙන් වරදක් ඇතිවී නම් ක්ෂමා කරන ලෙස වදාරා සිටියහ. එවිට වටා රැස්ව සිටි ප්‍රජාපතී ගෝතමී දේවි ප්‍රමුඛ ලොකු කුඩා සියල්ල ශෝකවීමේ නිශ්ඵල බව දන්වා අනිත්‍යතා ප්‍රතිසංයුක්ත ධර්ම කතායෙන් අවවාද කොට ඒ යහන මත ම සැතපී සුද්ධෝදන රජු පිරිනිවන් පෑහ.
භාග්‍යවතුන් වහන්සේ පීතෘ දේහය ආදාහනය කරවා රැස්වූ මහ පිරිසට දම් දෙසා ඉන් නික්ම විසාලා මහනුවරට වැඩි සේක. මෙයින් පසු යශෝධරා දේවි මහණ වෙමියි මේවන විට තැත් කළාය. මහ ප්‍රජාපතී ගෝතමී ඒ අසා “දුව මා වැනි මවකට පවා තෙ වරක් ආයාචනය කොටත් භාග්‍යවතුන් වහන්සේ පැවිද්දට අවසර නුදුන් සේක. උන්වහන්සේ බුදුව සිටින සමයෙහි පවා තෙපි උන්වහන්සේ ඉදිරියේ එඩිතර වැ පුරා වචන දෙකක්වත් කියා ගත නුහුණ වූහ. එසේ කල දැන් තෙපි කෙසේ පැවිද්ද ඉල්ලා ගන්නට තරම් විශාරද වන්නාහුද? එය තොපට බැරිය. මම ම ගොස් පැවිද්ද ඉල්ලා ගන්නෙමි. ඉන්පසු මහණවුව යැයි ඇය නවතාලූය.

Wednesday, September 20, 2017

කුක්කුච්ඡ ( පසුතැවීම නිසා වන හානිය )


කළ වරදක් නැවත නැවත සිතමින් පසුතැවීම එය තවත් ප්‍රබල කරයි. තමන් අතින් සිදු වූ අකුසලයන්, යම් පාපී ක්‍රියාවන් නිරතුරුව ම සිතීම ද එවැනි අකුසලයන් ගැන සිතා පසුතැවිලි වීම ද, කුක්කුච්ඡයට හේතුවකි. බොහෝ විට පසුතැවිලිවීම හේතුවෙන් මෝහයත්, ද්වේෂයත් හට ගැනීමට ඉඩ ප්‍රස්ථාව ඇත.
කළ පාප කර්ම පිළිබඳ ව හා තමන් නො කරන ලද කුසලයන් පිළිබඳ ව පසු කාලයක සිතෙහි හට ගන්නා තැවෙන ස්වභාවය කුක්කුච්ඡ නම් වේ.
කෙනෙක් සිය ජීවිතයේ යමක් අවබෝධ කර ගන්නට හැකි කාලයේ දී යහපත් ගුණ ධර්ම පුරුදු පුහුණු නොකළ නිසා ත්, භික්ෂූන් වහන්සේ නමක් හෝ ධර්මයට ලැදි කල්‍යාණවන්ත ඇසුරක් නොලද නිසා ත් හොඳ නරක කුසල්, අකුසල් අඳුරන්නේ නැත. ඒ නිසා ම ඒ පුද්ගලයා වෙතින් පසු කාලයක දී තමන් අතින් සිදු වූයේ අකුසල කර්ම බව වටහා ගත් පසු ඇතිවන පසුතැවිල්ල එක් කාරණයකි.

මච්ඡරිය ( මසුරු බව සිතේ ඇණුන කටුවකි )

මසුරු බව සිතේ ඇණුනා වූ කටුවක් වගේ. අප දන්නවා කටුවක් අපේ පයේ ඇණුනාම එය කොතරම් පීඩාවක් ද කියා. පාදයේ ඇණුන කටුව අඩිය තබන වාරයක්, වාරයක් පාසා පුදුමාකාරයෙන් අපට රිදුම් දෙනවා. එසේනම් සිතේ ඇණුනු කටුව කෙතරම් අපට පීඩා ගෙන දෙනවා ද?
බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය පළමුවැනි ධර්ම සංගායනාව තුළිනුත්, මහරහතන් වහන්සේ හත්සිය නමක් සිදුකළ දෙවැනි ධර්ම සංගායනාව තුළිනුත්, තුන්වැනි ධර්ම සංගායනාව තුළිනුත් පූර්ණත්වයට පත්වෙනවා. එහි දී විනය, සූත්‍ර සහ අභිධර්ම ලෙස පිටක තුනක් හමුවෙනවා.
භාග්‍යවතුන් වහන්සේ ගේ සූත්‍ර දේශනා පැහැදිලි කරමින් කළ දේශනාවක් ලෙස අභිධර්මය හඳුන්වන්න පුළුවන්. එහි අකුසල චෛතසික ධර්ම දහයක් තිබෙනවා. ඒ අතරින් මච්ඡරිය එසේත් නැතිනම් මසුරුබව දුරු කළ යුතු අකුසලයක්.
මච්ඡරිය යන චෛතසිකයේ ප්‍රධාන ලක්ෂණ හතරක් තිබෙනවා. 

ඉස්සා ( සිතේ පිවිතුරු බවට )

සෑම තන්හිම තමා අභිබවා යමෙකු හෝ යමෙකුගේ යමක් ඇති කල නිරායාශයෙන් ම පුහුදුන් සිතෙහි වනුයේ ඊ්ර්ෂ්‍යාව යි. මෙයට මූලික හේතුව නම්, කිසිවක් නොව පුද්ගල අතෘප්තිකර බවයි. ස්වභාවයෙන් මිනිසා තමා ලද දෙයින් සතුටු නොවේ. නොලද දෙයම පතයි.
මිනිස් සිත ස්වභාවයෙන් ම ප්‍රභාමත් ය. එය නොකිළිටි සුදු පැහැති වස්ත්‍රයක් මෙනි. සිතක් කිළිටි වනුයේ බාහිර වශයෙන් සිතට පිවිසෙන උපක්ලේශ ධර්මයන් නැතහොත් අකුසල සිතිවිලි හරහාම ය. මෙලෙස සිතක පවිිත්‍රත්වය විනාශ කරන සදොස් උපක්ලේශ ධර්ම පිළිබඳ තථාගතයන් වහන්සේ විසින් දේශනා කර ඇත. ඒ සෑම එකකින් ම පාහේ සිදු කරනුයේ ශෝභාමත් සිත අපවිත්‍ර කිරීම යි. උපක්ලේශ ධර්මයන් මගින් දූෂිත වූ සිත කිළිටි වස්ත්‍රයක් මෙනි. දූෂිත වූ සිතකින් තමාට හෝ සමාජයට වන අර්ථ සිද්ධියක් නොමැත. හුදෙක් අපේක්ෂා කළ යුතු වන්නේ දුගතියක් ම පමණි. පිරිසුදු සිතකින් ම පමණක් සුගතියක් නැතහොත් යහපතක් ලැබිය හැකි වේ. සිතකට දීප්තිමත් වීමට ඉඩ නොදී දූෂිත කරන හෙයින් උපක්ලේශ යන නාමය ලබන ධර්ම පහත පරිදි වේ.
අභිජ්ඣාවිසමලොභො (දැඩි ලෝභය), ව්‍යාපාදො(අනුන් නැසීමේ සිතිවිල්ල), කොධො (දැඩි කිපීම), උපනාහො (බද්ධ වෛරය),මක්ඛො (ගුණමකුකම),පළාසො (එකට එක කිරීම), ඉස්සා (ඊර්ෂ්‍යාව ), මච්ජෙර (මසුරුකම),මායා (වංචනික බව) සාඨෙය්‍ය (කෛරාටික බව),ථම්භ( සිතේ තද බව), සාරම්භ (අභිබවා යෑම),මාන (අහංකාර බව),අතිමාන (දැඩි මානය), මදො (මුසපත් බව), පමාදො (කාමයෙහි දැඩි ඇල්ම)

මාන ( තමන් උසස්කොට සිතනවා ද? )

සමස්ත සමාජය දෙස බැලීමේ දී මානය නිසා පුද්ගලයන් විවිධාකාර අකටයුතුකම් වලට පත් වන බව පෙනේ. මානය නැත්තේ රහත් උතුමන්ට පමණි.
මානය පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල විවිධාකාර දේශනාවන් වදාළා. විශේෂයෙන් පුහුදුන් පුද්ගලයාගේ සිතෙහි බොහෝ දුරට පවතින කෙලෙස් දහම වන්නේ මානය වැඩීම යි. මානය සිත් තුළ වර්ධනය වන බැවින් එය මානසික රෝගී තත්ත්වයක් බවට පත් වේ. බුද්ධ දේශනාවට අනුව ලෝකයේ රෝගීන් කායික මානසික වශයෙන් දෙවර්ගයක් වෙයි. මානය සිත කිළිටි කරන චෛතසිකයකි.

උද්ධච්ච (සැලෙන සිත )

අභිධමර්යෙහි විස්තර වන සිව් වැදැරුම් පරමාර්ථ ධර්ම අතරින් චෛතසික යනු දෙවැන්න යි. සිත සමඟ ම ඉපදීම, සිත සමඟම නිරෝධ වීම, සිත ගන්නා අරමුණ ම ගැනීම හා එක් වස්තුවක් ඇසුරු කොට පැවතීම යන මේ කරුණු සතර චෛතසිකයන්ගේ පොදු ලක්ෂණයන් බව එකුප්පාද නිරොධා ච - එකාලම්භන වත්ථුකා චෙතොයුත්තා ද්විපඤ්ඤාස - ධම්මා චෙතසිකා මතා (අභිධර්මාර්ථ සංග්‍රහය) ගාථාවෙන් පැහැදිලි කෙරේ.
උද්ධච්චය ලෙස හඳුන්වනු ලබන්නේ සිතෙහි සැලෙන ස්වාභාවය යි. නිවන් මඟ අවුරන පංච නීවරණ ධර්ම අතර ද සිව්වැනිව සිටින්නේ උද්ධච්චය හා කුක්කුච්චය යි. මේ අනුව උද්ධච්ච චෛතසිකය යනු නිවන් මඟට බාධා කරන්නා වූ නීවරණ ධර්මයන්ට මඟ හෙළිකරන්නා වූ බලවත් අකුසල චෛතසිකයක් බව මැනවින් පැහැදිලි වේ උද්ධච්ච චෛතසිකය සියලු අකුසල සිත් තුළ යෙදෙමින් පෘථග්ජන සිත අකුසලය කරාම මෙහෙයවනු ලබයි.
සිතෙහි සැලෙන ස්වාභාවය හෙවත් අරමුණෙහි සැලෙන ගතිය උද්ධච්චය නම් වේ. උද්ධච්ච චෛතසිකයෙහි ස්වාභාවය පහසුවෙන් අවබෝධය පිණිස ධර්මයෙහි විවිධ උපමා ඉදිරිපත් කොට තිබේ. ඒ අතරින් “කන්දුකෝපමාව හෙවත් පන්දුවක උපමාව වඩාත් සරල ය. අමු මැටි ගුලියක් පොළොවෙහි පතිත වූ කල, පොළොව බදාගෙන නිසොල් ව පවතී. එහි කිසිදු සෙලවීමක් හෝ සිදු නොවේ.

දුක් ගෙන දෙන වාග් කර්ම

රජගහනුවර වේලුවනාරාමයෙහි වැඩ සිටින බුදුරජාණන් වහන්සේ සවස් යාමයෙහි රාහුල හිමි හමුවීම සඳහා අම්බලට්ඨිකාවට වැඩම කළහ. තමන් සිටින තැනට බුදුරදුන් වඩින බව දුටු රාහුල හිමියෝ බුදුරදුන් වෙනුවෙන් ආසනයක් පනවා පා දෝවනය සඳහා පැන් භාජනයක් ද පිළියෙළ කළහ.
පා දෝවනය කරගත් බුදුරදුහු බඳුනෙහි පැන් ටිකක් ඉතිරි කර එය රාහුල හිමියන්ට පෙන්වූහ. එය මුල් කරගෙන මේ සංවාදය ඇති විය. “රාහුල මේ බඳුනෙහි ඉතිරි වී ඇති වතුර ටික ඔබට පෙනේද?” එහෙමයි, බුදුහාමුදුරුවනේ මට පේනවා.’
“ඒ වගේ තමයි රාහුල, යම්කිසි භික්ෂුවක් ලජ්ජානැතිව දැන දැන බොරු කියනවා නම්, ඔහුගේ මහණකමත් මේ වගේ අල්පයි. ටිකයි. ඒ බව දැන ගන්න.”
ඉතිරි වූ වතුර ටික ඉවතට වීසි කොට එය රාහුල හිමියන්ට පෙන් වූ බුදුරදුහු “දැන් ඔබට හිස් භාජනය පේනවා නේද? ‘එහෙමයි බුදුහාමුදුරුවනේ’, ‘රාහුල, යම්කිසි භික්ෂුවක් දැන දැන බොරු කියන්නේ නම් ඔහුගේ මහණකමත් ඉවත දැමුවා වගෙයි’.

සෝ සුසුම් තැවුල් දවයි සිත් හැමකල්

යම් වස්තුවක ට තමා මොනතරම් කැමැති, අකැමැති වුණත් ඒ සියල්ලෙහි ම පවතිනුයේ උදයව්‍ය බවයි. එනම් හට ගැනීම හා නැසී යාම බව සිත් තුළ පුරුදු විය යුතුම යි. ඒ පිළිබඳව නොවඩනා ලද සිත කැමැති අරමුණෙහි ඇලීමත්, ගැටීමත් සිදු කරයි. මෙහි අතුරුඵලය ශෝකය යි. මෙය හුලකි."

පඨවි ආදී හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සියලු සංඛත වස්තූන් අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ධර්මතාවයන් ට යටත් බව විදර්ශනා මනසට හසුවෙ යි. විදර්ශනා මනසින් අරමුණු දැක ගන්නට අපොහොසත්වන සිතක ආලය සේ ම ශෝකයත්, පටිඝයත් එනම් තරහවත්, අකැමැත්තත් එකසේ ම හට ගනී. ඇලෙන සෑම අරමුණක් ම සංඛත බැවින් ඒවා වෙනස්වීමේ දී විදර්ශනාවෙන් පුරුදු නො කරන ලද සිතකට එය මහත් දුකකි. වේදනාවකි. එම වෙනස්වීම පිළිගන්නට ඇති අකැමැත්ත පටිඝයක් ලෙස ද්වේශයක් ලෙස සකස් වේ. එහි ඵලයක් ලෙස ශෝකය, බලවත් සිත් තැවුල, හැඬීම, වැළපීම සහ දැවෙන කායික, මානසික ස්වභාවය දැක්විය හැකි ය.
යම් වස්තුවක ට තමා මොනතරම් කැමැති, අකැමැති වුණත් ඒ සියල්ලෙහි ම පවතිනුයේ උදයව්‍ය බවයි. එනම් හට ගැනීම හා නැසී යාම බව සිත් තුළ පුරුදු විය යුතුම යි. ඒ පිළිබඳව නොවඩනා ලද සිත කැමැති අරමුණෙහි ඇලීමත්, ගැටීමත් සිදු කරයි. මෙහි අතුරුඵලය ශෝකය යි. මෙය හුලකි.
ශෝකය සල්ල හෙවත් හුලක් බව නුවණින් දැක විදර්ශනාව ම සිතෙහි පුරුදු කොට පරමාර්ථ වශයෙන් ඇලීම, ගැටීම දුරුකිරීමත් එමඟින් ශෝකය සංසිඳුවා ගැනීමටත් උත්සාහ ගත යුතුම යි. ඒ සඳහා පොහොය දින සතරක් පුරා විස්තර කළ මේ සල්ල සූත්‍රයේ සඳහන් දහම් පෙළ ඔබට දහම් කතිකාවතක් වූ බව නො අනුමාන යි.

මෙලොවත් යහපත් කොට පරලොවත් සුවපත් කිරීම

මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන්මග ලෙස සඳහන් ය. ආර්ය මාර්ගය ලෝකෝත්තර මෙන් ම ලෞකික වශයෙන් හඳුනාගත හැකි ය. මෙහි දී විමසීමට ලක්කරනුයේ ලෞකික මාර්ගයක් ලෙසින් ආර්ය අෂ්ටාංග මාර්ගයෙහි උපයෝගිතාවය යි. සියල්ලෝ ම නිවන අරමුණු කර නොගත්තත් මෙලොව හොඳින් ජීවත්වීමට කැමැත්තක් දක්වන්නෝ වෙති.
ඒ සඳහා බොහෝ බාධා ඇතිවේ. එය නිරාකරණය කරගනිමින් සාමයෙන් සහජීවනයෙන් ජීවත්වීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම වැදගත් ය. මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වීමේ දී ගැටුම් අවමවීමට එය ඉවහල් වේ. අන්තගාමී බව, ගැටුම් ප්‍රශ්න දියුණු තියුණු කරයි. බුදුදහමේ අපේක්ෂාව වන්නේ මෙලොව යහපත් කොට පරලොව සුවපත් කිරීමයි. නිවන වුව ද මරණින් පසු තත්වයක් නොව ජීවත් වී සිටිය දී ලැබිය යුත්තකි. අන්ධූපම සූත්‍රයේ දී දියුණුව ලෙස දක්වන්නේ අධ්‍යාත්මික දියුණුව පමණක් නොව භෞතික දියුණුවයි. ඒ අරුතින් ගත් කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ජීවිතයේ යහපත වෙනුවෙන් යොදගත යුතු ම ය. මන්දයත් දහම, දහම සඳහා නොව අප සඳහා බැවිනි.

Tuesday, September 12, 2017

කුළුණු ගුණයෙන් යුතු හදවත සැබෑවටම පින්වන්තයි

රදුක්ඛේ හදය කම්පනං කරෝතීතී කරුණා” බුද්ධ දේශනයට අනුව අනුන්ගේ දුක දැක හදවත කම්පනයවීම කරුණාවයි. තමන් තමන් උපමා කරගෙන ‘අත්තානං උපමං කත්වා’ ජීවත්වීම තුළින් තවකෙකුට කරුණාවන්තවීම ආත්ම පරියාය ලෙසින් බණ පොතේ සඳහන් වෙනවා. 
එනම් මම යම්කිසි දෙයකින් දුකට පත් වෙනවා නම් එවැනි ක්‍රියාවන්ගෙන් තවකෙකු පෙළීමට කිසිවිටෙකත් උත්සාහ නොකිරීමයි. සැබැවින්ම මෙය බුදු දහමේ උගැන්වෙන අසීමිත කරුණාවයි.
තවත් පුද්ගලයකු කෙරෙහි කාරුණිකවීම කිසිදු විටෙක මවාපෑමක් නොවිය යුතුයි. එය ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයකුට ජාති, කුලමල, උස් පහත් වයස්භේදයකින් තොරව, වෘත්තීය මට්ටම ගැන නොසිතා, ප්‍රිය අප්‍රිය යන මේ සියලු දෙනාට එක හා සමාන කාරුණික බවක් විය යුතුමයි. එහෙත් අද සමාජයේ අපි දකින කරුණාව මීට වඩා හාත්පසින්ම වෙනස්. ඔවුන් කරුණාව දක්වන්නේ මූනිච්චාවට. ඇතැම් විට ලාභ ප්‍රයෝජන ගැනීමේ පටු අරමුණු පෙරදැරි කරගෙනයි. එහෙත් ධර්මය කෙරෙහි නිසි අවබෝධයක් ඇත්තා හදවතින්ම කුළුණ ගුණයෙන් යුක්ත අයෙකි. මෙවැනි පුද්ගලයාට පින් රැස්කර ගැනීම ඉතාම පහසු කටයුත්තකි.

Wednesday, September 6, 2017

පෙළ දහම පෙළ දහම හෙළිකරන මහ රහත් ගුණ

අසාර වූ , අතෘප්තිකර වූ, අර්ථ ශූන්‍ය වූ ජාති, ජරා, මරණාදියෙන් අභිභූත වූ, මේ දුක් සහිත සසරින් එතෙර විය හැක්කේ අර්හත්වය සාක්ෂාත් කිරීමෙනි. සියලු කෙලෙස් මුලිනුපුටා දැමීමෙන් ලබන එකී අරහත් බව වූ කලී බුදුදහමෙහි දැක්වෙන අති උතුම් තත්ත්වය යි.
ථෙරවාදී පිළිගැනීම අනුව නිර්වාණාවබෝධය පිණිස රහත් බව ලබාගත යුතු ය. එයම ශාන්ත වූ ප්‍රණීත වූ විමුක්තියයි. රහතුන් වහන්සේ යනු බෞද්ධයකුගේ සදාචාරාත්මක පරමාදර්ශය වේ. උපරිම වශයෙන් වර්ධනය වූ සදාචාරයේ ප්‍රතිමූර්තිය උන්වහන්සේ ය. බුදුරදුන් විසින් නිබඳ ව ම දහම් දෙසා ඇත්තේ අර්හත්වය වෙත ළඟා වීමේ මාර්ගය පෙන්වා දීමට ය. උන්වහන්සේ ලෝකයෙහි උපන් ප්‍රථම රහතුන් වහන්සේ ය.උන්වහන්ස්ගේ ශ්‍රාවකයන් අතුරින් පළමුව රහත් බව ලබා ඇත්තේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ හිමියන් විසිනි.

මෙහෙණි සසුන ඇරඹි බිනර පොහොය


වස් කාලය තුළ එළඹෙන බිනර පුර පසළොස්වක පෝය දිනයේ සම්බුදු සසුනේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම සුවිශේෂී සිදුවීමකි. කාන්තාවන්ට පැවිද්ද හා උපසම්පදාව ලබා දීමට තථාගත බුදුරජාණන් වහන්සේ ගත් උතුම් තීරණය මනුෂ්‍ය ඉතිහාසයේ අතිශය වැදගත්කමක් දරයි. කාන්තාව මාතෘත්වයේ සංකේතය යි. සිය ස්වාමියා මළ විට එම දර සෑයට පැන තම දිවි හානිකර ගැනීමට සිදු වූ කාන්තාවට විමුක්තිය උදාකරගැනීමට හැකියාව ලැබුණේ බිනර පෝය දිනයක ගෝතමී දේවිය පැවිද්ද හා උපසම්පදාව ලැබීමෙන් භික්ෂුණී ශාසනය ආරම්භ වීමෙනි.
ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවීමට පෙර තම සුළු මව වූ මහා ප්‍රජාපති ගෝතමී දේවිය කාන්තාවන්ට පැවිද්ද ඉල්ලා සිටි විට තෙවරක් ම ප්‍රතික්ෂේප කරන ලද්දේ ඇයි දැයි බුද්ධිමත්ව සළකා බැලිය යුතු කරුණකි. එකල සමාජ සංස්ථාව කාන්තාවන්ට ලබා දී තිබුණු තත්ත්වය මෙන් ම පවුල් සංස්කෘතියට කාන්තාව සම්බන්ධවීමේ මනෝවිද්‍යාත්මක පසුබිම ද බුදු ඇසට විද්‍යමාන වන්නට ඇත.

ගිනිගත් ලොව නිවා සනසන්නට නම්.. .

අසිරිමත් ගුණයන්ගෙන් හෙබි මෙලොව පහළ වී වදාළ අසහාය පුරුෂ රත්නය වනාහි අප සරණ ගිය භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ ය. නිකෙලෙස් හද මඬලක් දරා වැඩ සිටිමින් ලෝ සතුනට අපමණ සෙත සෑදු උන්වහන්සේගේ සම්බුදු දිවියේ උත්තම ගුණ සුවඳ සදා අනුස්මරණීය වන්නේ ය.
සසරේ රැස්කළ අපමණ පුණ්‍ය බල ඇති බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් දමනය කෙරුමට සෘද්ධිමත් පෙළහර ද, අනුන්ගේ සිත් බලා දහම් දෙසීම නම් වූ ආදේශනා ප්‍රාතිහාර්යය ද, කුසල් අකුසල් පෙන්වාදීම නම් වූ අනුශාසනීය ප්‍රාතිහාර්යයද උපයෝගි කරගත් සේක. වත්මන් සමාජයේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ බනින්නාට පෙරළා බනින, නින්දා අපහාස කරන්නන්ට පෙරළා නින්දා අපහාස කරන්නවුන් ය. නමුත් තථාගතයන් වහන්සේගේ ස්වභාවය ඊට ඉදුරාම වෙනස් ය. අක්කෝස භාරද්වාජ, සච්චක, ආළවක වැනි අය අපහාසාත්මක වදන් පවසද්දී ඉවසා වදාළ බුදුරජාණන් වහන්සේ පෙරළා පැවසුවේ සුමිහිරි සම්බුදු වදන් ය.

තැනට සුදුසු නුවණ



ස්ථානෝචිත ප්‍රඥාව නැතහොත් තැනට සුදුසු නුවණ අප හැමෝම තුළ තිබිය යුතු මහඟු ගුණාංගයක්. එහ ිදී තමන් කරන කියන දේ පිළිබඳව හොඳ දැනුම්වත් බවක් අවබෝධයක් අවශ්‍යයි. බොහෝ දෙනා යමක් සිදු කිරීමේදී යමක් කිරීමේදී ඒ ගැන නුවණින් විමසා බලන්නේ නැහැ. ඒ නිසා ම විවිධ ආරවුල්, අනවශ්‍ය අර්බුද ඇති වෙනවා.
බුදුපියාණන් වහන්සේ පුංචි රාහුල හිමියන්ට අවවාද කරන්නේ සිතින්, කයින් සහ වචනයෙන් සිදු කරනු ලබන සියලු ක්‍රියාවන් හි දී නුවණින් සිතා බලන ලෙසයි. “රාහුල, නුවණින් විමසා බලා කයින් සිදු කරනු ලබන කර්මයන් සිදු කරන්න. රාහුල, නුවණින් විමසා බලා වචනයෙන් සිදු කරනු ලබන කර්මයන් සිදු කරන්න. රාහුල, නුවණින් විමසා බලා මනසින් කරන ක්‍රියාකාරකම් සිදු කරන්න” යැයි උන්වහන්සේ දේශනා කළා.මෙහි දී නුවණින් මෙනෙහි කළ යුතු වන්නේ කුමක්ද?

දුක සතුට බෙදාගන්නා පවුල සැනසිලිදායකයි


පාලනය කරගත නොහැකි තරහව, කෝපය, වෛරය වැනි සිතිවිලි නිසා බොහෝ දෙනෙක් ජීවිතය ගිනිගොඩක් බවට පත් කර ගන්නවා. අඹු සැමියන්, දූ දරුවන් අතර ප්‍රශ්න ඇති කර ගන්නවා. පවුලේ සැනසිලිදායක බව, සමඟිය නැති කර ගන්නවා. සිත දවන එවැනි හැඟීම් පාලනය කරගෙන පී‍්‍රතිමත්, පවුලක් නිර්මාණය කර ගැනීමට නම් කළ යුතු හොඳම දේ කුමක්ද? මේ, ඒ පිළිබඳව කළ සාකච්ඡාවකි.

ජීවිතයේ සතුට, සැනසුම අපේක්ෂා කළත් එදිනෙදා මුහුණ දෙන සංකීර්ණ ගැටලු හමුවේ අපේ සමාජයේ ඇතැම් පවුල් තුළ අසමඟිය, අසතුට වර්ධනය වෙලා. අපේ හාමුදුරුවනේ, අඹුසැමියන් කෙරෙන්, මවුපිය දූ දරුවන් කෙරෙන් මෙලෙස සාමය, සංහිඳියාව දුරස්වන බවක් දැනෙන්නේ ඇයි?

පවුලක සාමය, සතුට සහ සමඟියේ පදනම ඉවසීමයි. ඉස්සර පවුලේ ගෘහ මූලිකයා, එසේත් නැතිනම් ගෙදර ස්වාමියා ආවේගශීලීව මොන දේ ප්‍රකාශ කළත් අහගෙන ඉන්නට තරම් ඉවසීමක් බිරිඳට තිබුණා. ඇය ආවේගශීලී වූයේ නෑ. අම්මා ලෙස ඒ ආදර්ශය ඇය දරුවන්ට ලබා දුන්නා. දරුවන් ඇය වෙතින් අන්‍යමතවලට ගරු කරන සැටි ඉගෙන ගත්තා. දැන් සමාජය සංකීර්ණවෙලා. සැමියා වගේ ම බිරිඳත් බොහෝවිට රැකියාවට යනවා. ඒ වෙහෙසකර බව එක පැත්තකින් ඉවසීම අඩු කරනවා. එහෙත් නුවණින් කල්පනා කර බලනවා නම්, ආගම දහමට අනුව ජීවිතය පවත්වා ගන්නවා නම් ගෙදර අම්මා කවර හේතුවක දී හෝ ආවේගශීලී වන්නේ නෑ.
ඒ වගේම එදා අධ්‍යාපනය ගමට සීමා වුණා. දැන් ඒ තත්ත්වය වෙනස්වෙලා. තාක්ෂණික දියුණුව සමඟ දරුවන්ගේ සිතුම් පැතුම් ආකල්ප වේගයෙන් වෙනස්වෙනවා. හොඳ, නරක ගැන උපදෙසක් ලැබුණත් අම්මා, තාත්තා සමඟ තර්ක කරනවා. මේ හැසිරීම් මවුපියන්ට අසහනයක්, අසතුටක් ගෙන දෙනවා. ඔවුන් වැඩිපුරම සතුටු වෙන්නේ දරුවන් දෙස බැලීමෙනුයි. අද ඇතැම් පවුල්තුළ ඒ සතුට නෑ. ආගන්තුකයන් වගේ, කතා බහක් නෑ.

Saturday, September 2, 2017

සදහම් දැනුම


ප්‍රශ්නය -

බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව හා මහා ප්‍රඥාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර -

බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව ශ්‍රී මුඛ පාඨයක් වශයෙන් දම්සක් පැවතුම් සූත්‍රයෙහි සඳහන් වන “මයා සම්ම දක්ඛාතො භාවිතො බහුලී කතො අභිඤ්ඤාය සම්බෝධය – නිබ්බා - ණාය” ආදී වශයෙන් තමා අවබෝධ කරගත් සද්ධර්මය තමා විසින්ම ප්‍රඥා මහිමයෙන් ම ලබා ගත්තක් බව සඳහන් කිරීමෙන් මුළු ලොව ම අන්ධකාරයෙන් ආලෝකය කරගෙන යා හැකි ශ්‍රේෂ්ඨ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ බව පාලි නිකායගත තොරතුරු අනුව තහවුරු වේ.

මැටි මුවා බඳුන් හැම - බිඳුම් හිමි වූ සේ ම ජීවිතය අනියත ය - හැර යන්න සිදුවේ ය

කවර ආකාරයකින් ඇඳුමෙන් පැළඳුමෙන් ආභරණයෙන් සැරසී සුවඳවිලවුන් ආලේප කොට “මම ය”, “මාගේ” යැයි යම් විටක මානයෙන් යුතුව හෝ පවත්වාගෙන සිටියත් බිඳෙන මැටි කළයක් බඳු මේ ශරීරය දෙස රාගයෙන් හෝ ද්වේෂයෙන් තොරව දකින්නට යැයි දහමේ පෙන්වා දෙයි.
“යම් උපක්‍රමයෙකින් උපන් සත්ත්වයෝ නොමියෙත් නම්, එබඳු උපක්‍රමයක් නැත, ජරාවට පැමිණ ද (නො පැමිණ ද) මරණය වෙයි, ප්‍රාණීහු මෙබඳු සැහැවි ඇතියහ.”
“යම් උපක්‍රමයකින් උපන් සත්ත්වයන් මිය යන්නේ නැති නම් එබඳු උපක්‍රමයක් මේ තුන් ලෝකයේ ම නැත. ජරාවට පැමිණ හෝ නො පැමිණ හෝ මරණයට ම පත්වේ. සියලු ප්‍රාණීහු මෙබඳු ස්වභාවයක් උරුම කොට ඇත්තේ ය.”

මතකයට ගැනීම අසීරු ද?

බමුණාගේ ගැටලුව


‘සංගාරව’ බමුණා බුදුරදුන් හමුවී ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා කලින් උගත් දේ දැන් මතකයේ නැතැ’යි ඊට හේතු කුමක්දැ’යි විමසී ය . එහි දී බුදුරදුන් , සංගාරය ආශාව (කාමච්ඡන්දය) නිසා කලින් උගත් දේ මතකයට ගැනීමට අසීරුය. එය සායමක් දියවුණු ජලයෙහි මුව නිමිත්ත නොපෙනෙන්නා සේ ය. තරහක් (ව්‍යාපාද) ඇතිවූ විට කැකෑරුණු ජලයෙහි මුව නිමිත්ත නොපෙනෙන්නා සේ මතකයට ගැනීම අපහසු ය. එසේම නිදිමතක් (ථීනමිද්ධ) ඇතිවූවිට , දිය සෙවෙල් ඇති ජලයෙහි මුව නිමිත්ත නොපෙනෙන්නා සේ කලින් උගත් දේ මතකයට ගැනීමට අසීරු ය. එමෙන්ම නොසන්සුන්කම (උද්දච්ච) ඇති විටත් සුළඟින් ජලයෙහි රැල්ලක් ඇතිවිට මුව නිමිත්ත නොපෙනෙන්නා සේ මතකයට ගැනීමට අසීරු ය. සැකය (විචිකිච්ඡා) ඇති විටත් කළුවරට රාත්‍රියෙහි ජලයෙහි මුව නිමිත්ත නොපෙනෙන්නා සේ මතකයට ගැනීම අසීරු ය. මෙසේ බුදුරජාණන් වහන්සේ සංගාරව බමුණාට දේශනා කොට වදාළ සේක. (සංගාරව සූත්‍රය)

කුසලතා දියුණුවේ සාර්ථකත්වය

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවෙසෙන සමයෙහි කෝකාලික නම් දේවදත්ත පාර්ශ්වයේ භික්ෂුවක් අරභයා දද්දර ජාතකය දේශනා කළහ. සැවත්නුවර දෙව්රම් වෙහෙරෙහි බොහෝ භික්ෂූන් වහන්සේලා ධර්මය මැනවින් හදාරා අනතුරුව ධර්ම දේශනා පවත්වති. කෝකාලික තෙරුන් වහන්සේ ද තමන්ට ධර්මය දේශනා කිරීමට නොහැකි බව දැන දැනත් “ඇයි අපිට බණ කිව නොහැකිද? අසන අය වෙතොත් අපටත් බණ කිව හැකි නොවේද?” යනාදි වශයෙන් මහා හඬින් ඝෝෂා කරමින් දෙව්රම් වෙහෙර එහා මෙහා ගමන් කළේය.
මෙම ඝෝෂාව ඇසූ භික්ෂූන් වහන්සේලා “ඇවැත් කෝකාලිකයෙනි එසේනම් අද දින ඔබ වහන්සේ ධර්ම දේශනා කරන්නැයි” දන්වා සිටියහ. කෝකාලික තෙරුන් වහන්සේ ද එබස් අසා හොදින් දන් වළදා මනා සිවුරක් හැඳ පොරවාගෙන ධර්මය දේශනා කරන්නට සූදානම්ව සිටියහ. ධම්මස්සවන කාලො අයං භදන්තා.... යනුවෙන් ධර්මය ඇසීම සඳහා කාලඝෝෂණය කළ කල්හී දෙව්රම් වෙහෙර වැසී බොහෝ භික්ෂූන් වහන්සේ බණ ඇසීම පිණිස දම්සභා මණ්ඩපයට රැස් වූහ.
කෝකාලික හිමියන් ද වෘද්ධ භික්ෂූන් වහන්සේට නමස්කාරකොට විසිතුරු කැටයමින් ඔපවත් වූ විජිනිපතක් රැගෙන ධර්මාසනාරූඪව බණ කියන්නට පටන් ගත්තේය. මාතෘකා කළ ගාථාවෙන් පළමු ගාථා පදය දේශනා කළ හැකි වුව මුත් දෙවන ගාථා පදය සිහියට නඟා ගැනීම කළ නොහැකිවිය.