අකුසල කර්ම විපාකයක් නොදී ම අහෝසි වී යන අවස්ථා ඇත. මුලදී අවිද්‍යාව නිසා රැස්කිරීමට පටන් ගත් අකුසල කර්ම සියල්ල දුරු කිරීම බෞද්ධයාගේ පරමාර්ථයයි. උත්සාහවන්ත පුද්ගලයෙකුට කල්ප කෝටි ගණනක් මුළුල්ලේ විපාක දී ගෙවී යා හැකි තරම් කර්ම රාශියක් මොහොතක දී දුරු කළ හැකි ය."
බුදු දහමේ ඉගැන්වෙන කර්ම සංකල්පය ප්‍රාග් බෞද්ධ යුගය දක්වා ම විහිදී යයි. මුල් යුගයේ දී මිනිසා තම ක්‍රියාකාරකම්වල වගකීම නොපෙනෙන බලවේගයකට පවරා නිදහස් වූ නමුදු ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ඉන්දියාවේ පහළ වූ විවිධ ආගමික ශාස්තෘවරු කර්මය පිළිබඳව විවිධ ප්‍රශ්න මතු කරන්නට විය.
කෙනෙකුගේ ක්‍රියාවන් පිළිබඳ වගකීමක්, ක්‍රියාව සිදු කරන්නාට නොපැවරේ ද? කරන ලද ක්‍රියාවේ තමන්ට බලපාන හොඳ නරක පවතින්නේ ද? තම තමන්ගේ සියලු ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල මේ ජීවිතය සමග අවසන් වේද? ආදී වශයෙන් කර්මය හා ඵල විපාක පිළිබඳ ව විවිධ ප්‍රශ්න මතු කළ අතර මේ සඳහා විවිධ පිළිතුරු ද සපයන ලදී. මෙලෙස අසම්පූර්ණ, සාවද්‍ය පුද්ගල ක්‍රියාකරකම්වල වගකීම මහා බ්‍රහ්මයාට පවරා ඕනෑම අකුසල කර්මයක් සිදුකරන කාලයේ දී කර්මය පිළිබඳව නිවැරදි ව, නිරවුල් ව ලෝවැසි ජනතාවගේ හිත සුව පිණිස දේශනා කරනු ලැබූවේ අප තථාගත බුදුරජාණන් වහන්සේ ය. අතිශයින් ගැඹුරු කර්ම සංකල්පය ලෝකයාට අවබෝධ කරදීමට හැකි වන්නේ ද, සර්වඥතා ඥානයෙන් යුතු බුදුරජාණන් වහන්සේට පමණි. කර්මය හා ඵල විපාක පිළිබඳ ව පෘතග්ජන මිනිසෙකු කල්පනා කරන්නට වූවහොත් ඔහු උන්මත්තක ස්වභාවයට පත්වන බව තථාගත දේශනාවයි.



