" බණ ඇසූ පමණින් , මතක තබා ගැනීමෙන් පමණින් සුතමය ඥානය නො ලැබේ. බණ අසාගෙන යනවිට එම කරුණු අවබෝධ වෙන්නේ, මෙය ‘ම විසින් පිළිපැදිය යුතුයි’ යනුවෙන් සිතන විට සුතමය ඥානය ලැබේ. උදාහරණයක් වශයෙන් ‘පංච ශීලය’ ගැන බණක් ඇසේ. එහි ආනිශංස ද කියැවේ. එවිට ශ්‍රාවකයා තුළ ඒ පිළිබඳ දැනුමත් , මා විසින් පංච ශීලය රැකිය යුතු යි යන අදහසත් ඇති වේ."
බුදු දහම ඥාන මාර්ගයකි. යමක් නිවැරැදිව හඳුනා ගැනීමට ඥානය උපයෝගී වේ. බෞද්ධයෙකු වූ පමණින් ඥානයන්ගෙන් තොරව දුක් කරදර දුරු කළ නො හැකි ය. සීල, සමාධි, ප්‍රඥා ත්‍රි සික්ෂාවෙහි ප්‍රඥා යනුවෙන් සඳහන් කරන්නේ මේ ඥාන යි. බුද්ධ ඥාන ප්‍රභේද වශයෙන් හැත්තෑ තුනක් බව පටිසම්භිදා මග්ගයේ සාරිපුත්ත හිමියෝ විස්තර කරති. එයින් හැට හතක් අන් අයට ද ලබා ගත හැකි බව දක්වා තිබේ. එයින් පළමුවැන්න වන ‘සුතමය ඥානය’ කුමක්දැ’යි බලමු.

