Labels

Monday, June 12, 2023

ලෝ සත නිවා සැනසූ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය

 


මානව වංශ කතාවේ අති විශිෂ්ටතම චරිතාපදාන අතර, ගෞතම බුදුරජාණන් වහන්සේට හිමිවන ස්ථානය අතිශයින් සුවිශේෂී ය. බුදුරජාණන් වහන්සේට සම කළ හැකි කිසිවකු අපට මෙතුවක් මානව ඉතිහාසය තුළ හමුව නැති බව සැබැවින්ම අවිවාද සහිත යි.

ඒ අනුව බුදුරජාණන් වහන්සේට සම කළ හැකි වන්නන්ගෙන් උපමා කළ හැකි වන්නේ බුදුරජාණන් වහන්සේ කෙනකුට ම පමණි. අග්‍රගණ්‍ය වූ, අසමසම වූ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වටිනාකම් සමුදායකින් සමලංකෘත නිසා බුදුරජාණන් වහන්සේ මෙලෙස උත්තරීතර උදාරතර මහනීය හා පූජනීය බවින් උපලක්ෂිතව විරාජමාන වන බව හෘදයාංගමව පැවසිය යුතුව තිබේ.

බුදුරජාණන් වහන්සේ කවර කෝණයකින් බැලුව ද වචනයෙන් විස්තර කළ නොහැකි උදාරත්වයකින් යුක්ත බව හා වටිනාකමකින් අනූන බව, ශ්‍රේෂ්ඨත්වයකින් පරිපූර්ණ බව එකහෙළා පැහැදිලි වන්නේ ය. කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන්, විනයෙන්, ගුණයෙන්, නුවණින්, ප්‍රඥාවෙන්, පෞරුෂයෙන්,කුසලතාවෙන් ආදී සියලු අංශවලින් බුදුපියාණන් වහන්සේ පරමාදර්ශී චරිත ලක්ෂණයන්ගේ සැබෑ ප්‍රතිමූර්තිය වේ.

ආත්මාර්ථකාමී ගොහොර මඩේ එරී අන්තවාදි, අකාරුණික, කුහකත්වයෙන්, චපලත්වයෙන් හා කූරත්වයෙන් පෙළෙන , සැලෙන, වෙළෙන, ලෝකයක එකී පවිටු කුරිරු ආකල්ප, ආදර්ශ, අදහස්, ගතිගුණ හැර දාම, බිඳ දමා, පරමෝදාර මනුෂ්‍යත්වයේ ආශ්වාදය ස්පර්ශ කරමින් පරාර්ථකාමිත්වයේ පරම නිෂ්ඨාව කරා ගමන් කිරීම නිසා මිනිස් සන්තානයේ හා හදවතේ ජනිත මහා කරුණාවේ, මහා දයාවේ හා මෛත්‍රියේ විශිෂ්ටත්වය තුළින් සුපෝෂිතව, පූර්ණත්වයට පත්ව බුද්ධත්වයේ පරම රමණීය සාර ගුණයෙන් ඔකඳවත්වීම සිදුවිය.