ඔසුපත් නරකයන් අතර එකොළොස්වන අපාය වන්නේ උස්කන්ධ නරකය යි. අම්බලම්, ඒ දඬු, විහාර ඉදිකිරීම, ගස් කොළන් රෝපණයට යැ’යි මුසා බස් පවසමින් ජනයාගෙන් සම්මාදම් ලබාගෙන ඒවා අනුභව කරන්නන් උපත ලබන්නේ උස්කන්ධ නරකයේ ය. යම පල්ලන්ගෙන් කටට සහ අතට පහර ලබමින් උස්කන්ධ නරකයේ නිරි සතුන් දිගු කලක් දුක් විඳියි.
එසේනම්, ජන සමාජයේ වැඩ කටයුතු කරද්දී තමන් ලබා ගන්නා මිල මුදල් සොරකමින් තොරව විය පැහැදැම් කළ යුතුයි. ඒ පුද්ගලයා කිසි විටෙකත් අපායගාමී නොවී සුගතිගාමී වෙයි.
දොළොස්වෙනි අපාය වේහකූට නරකය යි. බුදු, පසේ බුදු සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, මහ රහතන් වහන්සේ ආදී සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට දෝෂාරෝපණය කරන්නෝ මේ අපායේ උපත ලබති. අශුචි වළක් වැනි මෙහි අපමණ දුක පිරී ඇත. එහි වෙසෙන පණුවන් නිරි සතුන්ගේ සිරුරු තැනින් තැන විද කා දමයි.
ඒ නිසා කිසිවිටෙකත් සිල්වත් ගුණවත් උතුමන්ට, මව් පියන්ට නිග්‍රහ කරන්නට එපා. ඒ අයට වරදක් සිදු වුණා නම්, අතීත සංසාරයේ සිට බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට,සිල්වත් ගුණවත් උතුමන්ට, මව් පියන්ට සිතින් , කයින් , වදනින්, තමාට වරදක් සිදු වුණා නම්, වැඳ නමස්කාර කර, නිබඳව ම සමාව ගත යුතු යි. ඒ උත්තමයන්ගේ ගුණ වර්ණනා කරන්නෝ අපායෙන් නිදහස් ව, මෙලොව පරලොව සුගතිගාමී වෙති.


















