ඔසුපත් නරකයන් අතර එකොළොස්වන අපාය වන්නේ උස්කන්ධ නරකය යි. අම්බලම්, ඒ දඬු, විහාර ඉදිකිරීම, ගස් කොළන් රෝපණයට යැ’යි මුසා බස් පවසමින් ජනයාගෙන් සම්මාදම් ලබාගෙන ඒවා අනුභව කරන්නන් උපත ලබන්නේ උස්කන්ධ නරකයේ ය. යම පල්ලන්ගෙන් කටට සහ අතට පහර ලබමින් උස්කන්ධ නරකයේ නිරි සතුන් දිගු කලක් දුක් විඳියි.
එසේනම්, ජන සමාජයේ වැඩ කටයුතු කරද්දී තමන් ලබා ගන්නා මිල මුදල් සොරකමින් තොරව විය පැහැදැම් කළ යුතුයි. ඒ පුද්ගලයා කිසි විටෙකත් අපායගාමී නොවී සුගතිගාමී වෙයි.
දොළොස්වෙනි අපාය වේහකූට නරකය යි. බුදු, පසේ බුදු සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, මහ රහතන් වහන්සේ ආදී සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට දෝෂාරෝපණය කරන්නෝ මේ අපායේ උපත ලබති. අශුචි වළක් වැනි මෙහි අපමණ දුක පිරී ඇත. එහි වෙසෙන පණුවන් නිරි සතුන්ගේ සිරුරු තැනින් තැන විද කා දමයි.
ඒ නිසා කිසිවිටෙකත් සිල්වත් ගුණවත් උතුමන්ට, මව් පියන්ට නිග්‍රහ කරන්නට එපා. ඒ අයට වරදක් සිදු වුණා නම්, අතීත සංසාරයේ සිට බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට,සිල්වත් ගුණවත් උතුමන්ට, මව් පියන්ට සිතින් , කයින් , වදනින්, තමාට වරදක් සිදු වුණා නම්, වැඳ නමස්කාර කර, නිබඳව ම සමාව ගත යුතු යි. ඒ උත්තමයන්ගේ ගුණ වර්ණනා කරන්නෝ අපායෙන් නිදහස් ව, මෙලොව පරලොව සුගතිගාමී වෙති.
භූත නරකය, දහතුන්වන නරකය යි. තමන්ට අයිති නැති බව දැනගෙන, ඉල්ලා නොගෙන බලහත්කාරයෙන් අනුන්ගේ දේ අනුභව කරන්නන්, හොරෙන් ඉඩ කඩම් ලියා ගන්නන්, මෙම අපායේ උපත ලබයි. එසේ නම් , අන් සතු දේ බලහත්කාරයෙන් ලියා ගන්නට එපා. අන් සතු දේ කෙරෙහි ඇති බලවත් තණ්හාව ඉවත් කර ගත යුතු යි. මිත්‍යා ආජීවයෙන් කටයුතු නොකළ යුතු යි. තමාට අයිති නැති ඇල්පෙනෙත්තක් තරම්වත් දෙයක් සොර සිතින් ගන්න එපා. තමන් යමක් අවංකව හරි හම්බ කරගෙන සම්මා ආජීවයෙන් කටයුතු කළ යුතු යි. එවැනි අයට අපායෙන් නිදහස් විය හැකියි.
දාහතරවන නරකය කුක්කුල නරකය යි. කුක්කුල නරකයට වැටී අප්‍රමාණ නිරි සතුන් දුක් විඳිනවා. එලෙස අපායට වැටෙන නිරි සතුන්ට ලැබෙන විපාකය අනන්ත යි. අප්‍රමාණ යි. මනුස්සයන්ට ද තිරිසන් සත්ත්වයන්ට ද උණු වතුර දැමීම, උණු අළු දැමීම, වස විස ලබාදීම, ගෙවල් පුළුස්සා දැමීම, අනවින කොඩිවින කරමින් මන්ත්‍ර ශාස්ත්‍ර ආදියෙන් විපත් සිදු කරමින්, ජීවිත අඩපණ කිරීමට උත්සාහ දරමින්, සත්ත්වයන්ට වධ හිංසා පමුණුවන්නන් උපත ලබන්නේ කුක්කුල නරකයේ යි.
මෙම නරකය උණු අළු වලින් පිරී පවතී. උණු අළු යට යනවා. මතු වෙනවා. කෙනෙකුට දීපු වධයට වඩා ලක්ෂ කෝටි ගණනක් මේ අපායේ නිරිසතුන්ට වධ පමුණුවයි. ඒ නිසා දන්නා කෙනෙක් මෙවැනි පාප කර්ම සිදු කරන්න එපා.
පහළොස්වෙනි නරකය සිංගනී නරකය යි. කම් සැප පතා පිරිමින් සහ කාන්තාවන් පරදාර සේවනයේ යෙදෙමින් කාම මිත්‍යාචාරයේ යෙදුණොත් මේ අපායේ උපත ලබයි. එහි නිරි සතුන්ට කටු ගස්වල කටු අනන්ත ඇණ ගනිමින් අපමණ දුක් විඳින්න සිදු වෙනවා. මේ ගසේ කටු ඇත්තේ ඉහළට යි. ඒ නිසා එහි නඟින්නට අපහසු යි. මේ කටු ගසේ නගිනවිට පහළට රූටා වැටීමෙන් ඉහළට නෙරා ඇති කටු සිරුරෙහි ඇණී නිරි සතා ගසට ම ඇලී යයි. ඒ නිසා කවුරුත් කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාධියාමී සිල් පදය සමාදන් ව පවුලෙහි සාමය සමඟිය තහවුරු වන සේ ක්‍රියා කළ යුතු යි.
දාසයවන නරකය අසිපත්ත නරක ය යි. මෙහි උපත ලබන්නේ භික්ෂූන් වහන්සේලාට, මව් පියන්ට නින්දා අපහාස කරන්නන් සහ මනුෂ්‍ය ඝාතනය කළ අය ය. ඒ නිසා කිසි විටෙකත් කසාවතක් පොරොවාගත් කුඩා ස්වාමීන් වහන්සේ නමකටවත් බණින්නට එපා. සමහරු ඇතැම් ස්වාමීන් වහන්සේලාට බණිනවා. ඇතැම් විට චීවර ධාරියා යැ’යි පවසනවා. කිසිවිටෙකත් එවැනි දේ පවසන්නට එපා. කිසිවිටෙකත් මැස්සෙක්, මදුරුවෙක්වත් මරන්න එපා.
මෙහි ස්වභාවය වන්නේ වැස්ස වෙනුවට නිරතුරුව ම ආයුධ වර්ෂා ඇති වීම යි. සියුම් ආයුධයන්ගෙන් නිරි සතුන්ගේ සිරුරට වැටී සීරී කැපී කෙටී යයි. මෙයින් අපමණ වේදනාවට පත් නිරි සතුන් කෑකෝ ගසනවා. එහෙත්, පාපයෙන් කිසිවෙකුටත් ගැලවෙන්නට බැහැ. කෙතරම් ආයුධ වැටුණත් නිරි සතුන් නොමැරී සිටින්නට තරම් පාපය බලවත් වෙයි.
දාහත්වැන්න ආරෝගිනා නරකය යි. මෙහි නිබඳව ම ගිනි සිළු දැල්වෙයි. ජලයට වැටී ගිනි පුපුරයි. මෙහි පාප කර්මය සතුන්ගේ ගෙල සිඳීම යි. හරකුන්ගේ, එළුවන්ගේ කොපමණ ගෙල සිඳිනවා ද? මේ පාප කර්ම සිදු කරන මිනිසුන් සිතන්නේ සත්ත්වයන් පහළ වුණේ මිනිසුන්ගේ ආහාරය පිණිස බව යි. සත්ත්වයෙක් කිසිවකුගේ ආහාරය පිණිස පහළ නොවෙ යි. සත්ත්වයන්ට කර්මානුරූපව ජීවත් වීම අයිති වෙයි. එසේනම්, අසරණ සතුන් මරා දැමීම , බෙලි කැපීම නිසා ආරෝගිනා නරකයෙහි උපත ලබයි. මෙහි නිරි සතුන් ගිනි වතුරට වැටී දියවී යයි. නිරි සතුන්ගේ ගෙල ද කැපී යයි. එසේනම්, එක ආත්මයක සත්ත්වයන්ගේ ගෙල සිඳලූ පාපය නිරි සතුන් ආත්ම පන්සියයක් මෙලෙස දුක් විඳියි. එහෙත් මරණයට පත් නොවෙ යි. ඒ නිසා දන්නා කෙනෙක් සත්ත්ව ඝාතනයක් කරන්නට එපා. අඩුම තරමේ මැස්සෙක්, මදුරුවෙක් තරම්වත් මරණයට පත් කරන්නට එපා.
දහඅටවන අපාය ලෝකුඹු නරකය යි. මේ අපායට වැටෙන්නේ මත් ද්‍රව්‍යය භාවිත කළ අය, මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට උපදෙස් දුන් අය යි. ලෝකුඹුක් යනු ගිනි සහිත අඬුවක් ගෙන ගිනි බෝල, ගිනි වතුර දානවා. ඒ මොහොතේ කෑ කෝ ගසා විලාප නඟයි. ඒ කුමන දේ කළත් වැඩක් වන්නේ නැහැ. මෙහි විඳින දුක සීමාවක් නැහැ. ලෝකයේ අති විශාල පිරිසක් මත් පැනට ගොදුරු වෙලා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ගෙදර ස්වාමි දියණියට, මව් පියන්ට, දරුවන්ට කරදර ඉවරයක් නැහැ. හැම ප්‍රශ්නයකට ම මුල මත් ද්‍රව්‍ය පරිහරණය යි.
කොසොල් රාජ්‍යයෙත් මත් ද්‍රව්‍ය පාවිච්චි කළ ලෝකුඹුක් නරකයට වැටුණා. වසර සියයකට වරක් හිස උඩ අතට එනවා. නැවත ගිලෙනවා. ඒ නිසා සැවොම අපායෙන් ගැලවෙන්න මෙවැනි පාපයෙන් වළකින්න. ‘සුරාමේරය මජ්ඣපමා දට්ඨානා’ ශික්ෂා පදය හොඳින් රැක ගන්න. තමන් ධනවත්, බලවත්, රාජ්‍ය බලය ඇත්තෙක් වුවද මත්ද්‍රව්‍යයට අනුයුක්ත වුවොත් තත්ත්වය භයානක යි. කුඩා දරුවොත් මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවී කරදර බාධක සහිතව ජීවත් වෙනවා. මේ ගැන සිතා කල්පනා කර දරුවනුත් තමනුත් මත් ද්‍රව්‍යයෙන් වැළකී සුමගට යන්න.
දහනවවන අපාය තිට්ඨාපටික නරකය යි. මෙහි ද උපත ලබන්නේ සතුන්ට වධ හිංසා දුන් අය යි. මනුෂ්‍යයන්ට, තිරිසන් සතුන්ට, වධ හිංසා ලබා දෙමින් , දඬු මුගුරු වලින් පහර දුන් අය , නින්දා අපහාස කරන අය, තර්ජන ගර්ජන කරන අය, මෙහි උපත ලබයි. ඒ නිසා කවුරුත් අවිහිංසාවාදී විය යුතු යි.
විසි වන අපාය වේතරණී නරකය යි. බුද්ධ රත්නයට , ධම්ම රත්නයට , සංඝ රත්නයට යැ’යි සම්මාදම් කර තුණුරුවන්ට අයිති දේ තමන් පරිභෝග කරන්නන් මේ අපායේ උපත ලබයි. ඒ නිසා වෙහෙර විහාර ආදියට සම්මාදම් කරන මුදල් නිවැරැදිව විය පැහැදම් කළ යුතු යි.
මෙලෙස සඟ සතු දේ පරිභෝග කළ අය මේ අපායේ නිරි සතුන් වී ලෝ දිය සේ උතුරන උණු දිය හැලියකට වැටී පැසෙයි. මේ දුක අනන්ත යි. අප්‍රමාණ යි. ඒ නිසා තුණුරුවන් උදෙසා යමක් පූජා කළොත් ඒවා නිවෙස් වෙත ගෙනියන්නට එපා.
විසිඑක්වන නරකය සුනඛ පාදක නරකය යි. සම්මාදම් මුදල් අනුභව කළ අය උපදින නරකය වෙයි. යොදුන් ගණන් දිග සුනඛයන් පැමිණ නොනවත්වා ම තම සිරුර කෑලිවලට සපා කයි. කෙතරම් කෑ කෝ ගැසුවත් නවත්වන්න බැහැ.
විසි දෙවන අපාය ගිජ්ජපාද නරකය යි. මෙහි දුක් විඳින්නේ අන් සතු ඉඩ කඩම් දැනුම් දීමකින් තොරව බලහත්කාරයෙන් අල්ලා ගත් අය යි. විහාරස්ථානවලට පූජා කළ ඉඩකඩම් අල්ලා ගත් අය මේ අපායේ උපත ලබති.
යොදුනක් පමණ දිග හොටයක් තිබෙන ගිජු ලිහිණියන් වැනි සත්ත්වයන් මෙහි වෙසෙයි. ඔවුන් නිරි සතුන්ගේ මස් කැබැලි වලට කඩමින් කා දමයි. ඒ නිසා අන් සතු දේ පරිහරණය කරන්න එපා, අන් සතු දේ බලහත්කාරයෙන් ගන්න එපා.
අපායෙන් ගැළවෙන්නට නම් , උදේ සවස තුණුරුවන් වැඳ නමස්කාර කර ධාර්මිකව ජීවත් විය යුතුයි. තුණුරුවන් ගුණ නිබඳව ම පැවසිය යුතු යි. ලොවුතුරා බුදු දහමේ ඇති සත්‍ය, බලය තේරුම් ගෙන බුදු සසුනෙන් ලබාගත යුතු ගුණ සම්පත් ජීවිතයට සම්බන්ධ කරගෙන, මහා මංගල සූත්‍රයේ මංගල ධර්ම, දැන කියාගෙන එයට අනුකූලව කටයුතු කළ යුතු යි. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් සේ කරණීය ධර්ම දියුණු කළ යුතු යි. අනුන්ට උදව් කරමින්, සංසාර ගමන සුවපත් කරගෙන ඉතා ඉක්මන් භවයක දී ම චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් නිවන් සුව සලසා ගත යුතුයි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ මැදින් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 මාර්තු 01 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment