Labels

Wednesday, June 20, 2018

සීල ධනය: දුසිල්වත් වීමේ කෙළවර සතර අපායයි

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළවීමටත් පෙර සිටම විමුක්ති මාර්ගයක් සොයා ගිය අය කය, වචනය සංවර කරගන්නට උත්සාහ කර තිබේ. සීලය කියන්නේ කය වචනය සංවර කර ගැනීමයි. ඒ කියන්නේ කයෙන් සිදුවන වැරැදි එනම් සතුන් මැරීම, සොරකම් කිරීම, වැරැදි කාම සේවනය යන මේ දුෂ්චරිතයන්ගෙන් වෙන් වීමයි. ඒ වගේම වචනයෙන් කෙරෙන වැරැදි එනම් බොරු කිම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන වාග් දුෂ්චරිතයෙන් වෙන් වීමයි. බුදුරජාණන් වහන්සේ පහළවීමත් සමග නිවන් අරමුණු කරගෙන යමෙක් සීලය උපයෝගී කරගත යුත්තේ කෙසේද යනුවෙන් දේශනා කළහ. තමන්ගේ ශ්‍රාවකයා ප්‍රථමයෙන් සම්මා දිට්ඨියේ ස්ථාපිත වී, තුන්සරණය තුළ ස්ථාපිත වී, ඉන්පසුව සීලය දියුණු කරගත යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
අද ලෝකයේ සම්මා දිට්ඨියෙන් තොර වූ, තිසරණයට පත් නොවූ එහෙත් සිල්වත් ජීවිත ගත කරන අය සිටිති. එසේ වුවද, ඒ ඇත්තන්ට විමුක්ති මාර්ගයක් කරා පියමං කරන්නට හැකියාවක් නැත. බුදුදහම තුළ තිබෙන්නේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා යන පිළිවෙළකට යන මාර්ගයයි. මෙහිදී අනුපුබ්බ සික්ඛා යනු සීලයට සම්බන්ධ කොටසයි.
ශ්‍රාවකයාගේ සීලය දියුණු කරගැනීමට උන්වහන්සේ ශික්ෂා පද පනවා වදාළහ. ඒ අනුව ප්‍රථමයෙන්ම සිල්වත් වී ඉන්පසුව චිත්ත සමාධිය ඇතිකරගෙන ඉන්පසුව ප්‍රඥාව පහළ කරගත යුතු යි. සිල්වත් ජීවිතයක් ගත කරන්නේ නැති කෙනාට සමාධියක් දියුණු කරගත නොහැකියි. ඒ නිසා බුද්ධ දේශනාවේ තිබෙන විමුක්ති මාර්ගයට සීලය අනිවාර්ය අංගයක් වේ. සිල්වත් නොවුනහොත් විමුක්තිය අහිමි වේ. මෙය ඉතා දුෂ්කර කාර්යයකි. බුදුන්වහන්සේ සප්ත ආර්ය ධනයතුළ සීලය ධනයක් ලෙස දේශනා කරන්නේ ඒ නිසයි.

සද්ධා ධනය: ශ්‍රද්ධාවන්තයා ඉන්ද්‍රඛීලයක් බඳු ය

" ශ්‍රද්ධාවන්තයා බොහෝ පරිත්‍යාගශීලී ය. ලෝභය, ද්වේෂය ප්‍රහාණය කරන්නට උත්සාහ කරමින් සිටින්නේ ය. දන්දීමට ඉතා කැමැති ය"
සම්බුදු දහමට පිවිසීමේ දී අනුපුබ්බ ශික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා ලෙස වැඩ පිළිවෙළක් වෙයි. එය දාන, සීල, භාවනා දක්වා විහිදී යයි. දානය අපට පුරුදු දෙයකි. දානය සහ සීලයෙන් නිර්වාණවබෝධය කළ නො හැක. ඒ සඳහා භාවනාව ප්‍රධාන වෙයි.
භාවනාව වඩන පුද්ගයා රාග, ද්වේෂ, මෝහය, ශ්‍රද්ධා ආදී වශයෙන් විවිධ චරිතයන්ට බෙදේ. චරිත යනු අපගේ චරිත ස්වභාවය යි. ශ්‍රද්ධාවන්තයා බොහෝ පරිත්‍යාගශීලී ය. ලෝභය, ද්වේෂය ප්‍රහාණය කරන්නට උත්සාහ කරමින් සිටින්නේ ය. දන්දීමට ඉතා කැමැති ය. තෙරුවනට පැහැදීමෙන් සිටින අතර ස්වාමින් වහන්සේලා දකිමින්, සුවදුක් විචාරති. ධර්ම දානය දීමට ඉදිරිපත් වේ. හොඳින් තෙරුවනට පහදී. මේ ශ්‍රද්ධාවන්තයා බුදුදහමේ ප්‍රයෝජනය ගන්නා තැනැත්තෙකි. ශ්‍රද්ධාවේ ක්‍රම දෙකකි. අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව යි. අමූලිකා ශ්‍රද්ධාව යනු ඔහුට තෙරුවන් කෙරෙහි කිසිදු ඇල්මක්, දෘෂ්ඨියක් නැත. පිරිදුසු අවබෝධයක් ද නැත. පදනමකින් තොරව කටයුතු කරයි. තෙරුවන් කෙරෙහි චංචල ගති ඇති වෙයි. නිතර සෙලවෙන සිතින් කටයුතු කරයි.
අකාරවතී ශ්‍රද්ධාවන්තයා එසේ නොවේ. ඉතා පිරිසුදුව කරුණු කාරණා තේරුම් ගෙන, තෙරුවන් පිළිබඳව සැකයක් නො සිතා කටයුතු කරන්නා ආකාරවතී ශ්‍රද්ධාවෙන් බලවත් වෙයි. නිතර නිතර තෙරුවනේ ගුණ සිහි කරමින් ඉන්ද්‍රඛීලයකට සම කොට සිටින්නේ ඔහුයි. තෙරුවන් ගැන පී‍්‍රතියෙන් කටයුතු කරන්නා ශ්‍රද්ධාවෙන් එහාට විහිදී එය ධනයක් සේ රැස්් කර ගනී. ශ්‍රද්ධා ප්‍රතිලාභය ලැබීමට ඔහු සුදුස්සෙක් වෙයි. ශ්‍රද්ධා ධනය ඇති තැනත්තා සෝවාන් ඵලයට පත්වීමට සුදුස්සෙක් ද වෙයි. එතැනින් එහාට මාර්ගඵල ලබන්නටත්, ශ්‍රද්ධා ධනය ඔහුට රුකුලක් වෙයි. ආකාරවතී ශ්‍රද්ධාවන්තයා තෙරුවන් දැක සතුටුවෙන කෙනෙකි. ඔහු කිසිවෙකුට වෙනස් කළ නො හැකි ආකාරයට තෙරුවන් කෙරෙහි පැහැදි සිටියි.

ආගමේ නාමය නොව හරය ජීවිතයට ළංකර ගමු ( වාසෙට්ඨ සූත්‍රය හා සහජීවනය )



උපත මත ලෝකය වෙනස් නොවේ. සෑම විටම ලෝකය වෙනස් වූයේ මිනිස් ක්‍රියාකාරකම් මත ය. සත්ත්ව ප්‍රජාව පවතිනුයේ ද මෙම ක්‍රියාකාරකම් මත ම ය. රථයක පැවැත්මට එහි රෝදවල කඩ ඇණය උපකාරි වන්නා සේ සත්වයන් හා කර්මය බැඳී පවතී. ක්‍රියාකාරකම් යහපත් වූ තරමට ම සමාජය යහපත් වේ. එසේ නොවන විට සමාජය භේදභින්න වී අයහපතට ඇද වැටේ.

ජාති,ආගම් , පාට,උස්මිටිකම් මත සමාජය බෙදා තමන් උසස් බවත්, අනෙකා පහත් බවත් හුවා දැක්වීම බුදු දහමෙන් අනුමත වන්නේ නැත. උපත මත උස් පහත් බව මැනිය නොහැකි බව වාසෙට්ඨ හා භාරද්වාජ බ්‍රාහ්මණයන් හමුවෙහි වාසෙට්ඨ සූත්‍රයේ දී බුදුහිමියෝ දේශනා කළහ. එසේ ම කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වයට හේතුවන කාරණා රාශියක් මෙහි දී දේශනා කර ඇත. පටු අරමුණු ඉටු කරගැනීම උදෙසා සහ තමන් තුළ ඇති බොහෝ වැරැදි ආගමට ,ජාතියට මුවාවී වසාගැනීමට තැත් කිරීම ඉතා පිළිකුල් සහගත ය.

එය මනුෂ්‍යත්වයට තරම් නොවේ. උපතින් උසස් යැයි සම්මත පුද්ගලයා ඕනෑම පහත් ක්‍රියාවක් සිදුකළ ද, එය ආගමේ නාමයෙන්, ජාත්‍යාලයෙන් වරදක් නොවේ නම් එය බරපතල සමාජ ගැටලුවකට මුලකි. දේවාලයේ කපු මහතා දේවාල භූමියේ අපිරිසුදු කිරීම වරදකි. ඔහු දෙවියන් වෙනුවෙන් යාතිකා කළ ද සමාජ සම්මතයෙන් ඉවත්විය නොහැකි ය. එසේ වීම තුළ ඔහු සහ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ මිනිසා තුළ විශ්වාසය පළිඳු වී යයි. එය බරපතල සමාජ ප්‍රශ්න රාශියකට මුලකි. වර්තමාන ලෝකය අත්විඳිමින් සිටිනුයේ එම තත්ත්වයයි. ආගම වෙනුවෙන් ජීවිතය පවා නැතිකර ගැනීමට සූදානම් වුව ද ආගම්වල ඇති හරයන් සැබෑ ජීවිතයට ලබා නොගනී.

විසිරෙන සිත එක්තැන් කර ගැනීමට..

සිත සහ කය යනුවෙන් ජීවිතය කොටස් දෙකකට බෙදෙයි. එහෙත් අපගේ ජීවිතය ගැන බලන විට ‘කය’ ගැන පමණක් මූලික අවධානය යොමුකර ඇති බවක් පෙනී යයි. මිනිසා සම්බන්ධ මූලික ගැටලුව රඳා පවතින්නේ සිත මුල් කරගෙන බව බුදුදහමෙහි සඳහන් ය. මිනිසාගේ මූලික ම බලාපොරොත්තු ව සතුටෙන් ජීවත් වීමයි.

ඒ සඳහා බලපාන ප්‍රධානම බලවේගය මිනිස් සිතයි. අප රවටන, මුලාකරන, මායාවක් ලෙස ක්‍රියාත්මකවන සිතේ ස්වභාවික ව පවතින ගති ලක්ෂණවලින් වෙන් ව සිතෙහි නියම අවංක ස්වභාවය තේරුම් ගත්විට අපට පුදුම සතුටක් ලැබිය හැකියි. සිත හා සම්බන්ධව කරුණු දක්වන වචන කිහිපයක් ම බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් ය. ඒ අතරින් චිත්ත, මන, විඤ්ඤාණ යන වචන නිතර අපට දැකගන්නට පුළුවන. මිනිස් සිතේ නියම ස්වරූපය නිවැරැදිව තේරුම් ගත් මෙලොව සිටි එකම තැනැත්තා බුදුරජාණන් වහන්සේ ය. ලෝකයා සසර දුකින් එතෙර කරවීමේ කාරුණික චේතනාවෙන් බුදුරදුහු සිතේ නිවැරැදි ක්‍රියාකාරීත්වය ලෝකයාට පසක් කළහ. මානසික ශක්තියක් කියා දෙයක් තිබේ. අපි හිතනවා, අපි දකිනවා යනුවෙන් ප්‍රකාශ කරන විට මේ සිතීම, මේ දැකීම කරන්නේ කවුද? ඒ අපේ සිතයි. ලෝකය යනු කුමක්දැයි බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ විට උන්වහන්සේ දුන් පිළිතුර වන්නේ ඇස ලෝකයයි. කන ලෝකයයි. නාසය ලෝකයයි. දිව ලෝකයයි. ශරීරය ලෝකයයි. මනස ලෝකයයි යනුවෙනි. මේ ඉන්ද්‍රියන් හයේ එකතුවෙන් ලෝකය සෑදෙන බව බුදුරදුහු පෙන්වා දුන්හ. ‘චිත්තේන නීයතී ලෝකෝ’ මේ ඉන්ද්‍රියයන් තුළින් සෑදෙන ලෝකය දිගටම පවත්වාගෙන යන්නේ සිතයි. මේ සිත කෙබඳු දෙයක් ද? කුමක් ඇසුරු කරමින් පවතින්නේ ද? යන්නට නිවැරදි පිළිතුරක් ධම්මපදයෙහි එන පහත සඳහන් ගාථා දෙක තේරුම් ගැනීමෙන් සිතාගත හැකි ය.