සිත සහ කය යනුවෙන් ජීවිතය කොටස් දෙකකට බෙදෙයි. එහෙත් අපගේ ජීවිතය ගැන බලන විට ‘කය’ ගැන පමණක් මූලික අවධානය යොමුකර ඇති බවක් පෙනී යයි. මිනිසා සම්බන්ධ මූලික ගැටලුව රඳා පවතින්නේ සිත මුල් කරගෙන බව බුදුදහමෙහි සඳහන් ය. මිනිසාගේ මූලික ම බලාපොරොත්තු ව සතුටෙන් ජීවත් වීමයි.
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති මහා නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ මැදින් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 මාර්තු 09 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
ඒ සඳහා බලපාන ප්‍රධානම බලවේගය මිනිස් සිතයි. අප රවටන, මුලාකරන, මායාවක් ලෙස ක්‍රියාත්මකවන සිතේ ස්වභාවික ව පවතින ගති ලක්ෂණවලින් වෙන් ව සිතෙහි නියම අවංක ස්වභාවය තේරුම් ගත්විට අපට පුදුම සතුටක් ලැබිය හැකියි. සිත හා සම්බන්ධව කරුණු දක්වන වචන කිහිපයක් ම බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් ය. ඒ අතරින් චිත්ත, මන, විඤ්ඤාණ යන වචන නිතර අපට දැකගන්නට පුළුවන. මිනිස් සිතේ නියම ස්වරූපය නිවැරැදිව තේරුම් ගත් මෙලොව සිටි එකම තැනැත්තා බුදුරජාණන් වහන්සේ ය. ලෝකයා සසර දුකින් එතෙර කරවීමේ කාරුණික චේතනාවෙන් බුදුරදුහු සිතේ නිවැරැදි ක්‍රියාකාරීත්වය ලෝකයාට පසක් කළහ. මානසික ශක්තියක් කියා දෙයක් තිබේ. අපි හිතනවා, අපි දකිනවා යනුවෙන් ප්‍රකාශ කරන විට මේ සිතීම, මේ දැකීම කරන්නේ කවුද? ඒ අපේ සිතයි. ලෝකය යනු කුමක්දැයි බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ විට උන්වහන්සේ දුන් පිළිතුර වන්නේ ඇස ලෝකයයි. කන ලෝකයයි. නාසය ලෝකයයි. දිව ලෝකයයි. ශරීරය ලෝකයයි. මනස ලෝකයයි යනුවෙනි. මේ ඉන්ද්‍රියන් හයේ එකතුවෙන් ලෝකය සෑදෙන බව බුදුරදුහු පෙන්වා දුන්හ. ‘චිත්තේන නීයතී ලෝකෝ’ මේ ඉන්ද්‍රියයන් තුළින් සෑදෙන ලෝකය දිගටම පවත්වාගෙන යන්නේ සිතයි. මේ සිත කෙබඳු දෙයක් ද? කුමක් ඇසුරු කරමින් පවතින්නේ ද? යන්නට නිවැරදි පිළිතුරක් ධම්මපදයෙහි එන පහත සඳහන් ගාථා දෙක තේරුම් ගැනීමෙන් සිතාගත හැකි ය.
“දූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා”
අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා”
උදකංහි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ජකා
අත්තානං දමයන්ති පණ්ඩිතා
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ජකා
අත්තානං දමයන්ති පණ්ඩිතා
මේ ගාථා දෙක දෙස බලන විට සිතත්, සිතෙහි ස්වභාවය ගැනත් වැදගත් කරුණු කිහිපයක් හෙළිදරව් වනු ඇත. පළමුවෙනි ගාථාවෙහි සඳහන් ‘දූරංගමං’ යන්නෙන් අදහස් වන්නේ සිත දුරට ගමන් කරන බවයි. සාමාන්‍ය ජීවිතයේ දී අප මේ ගැන මොනතරම් අත්දැකීම් ලබා ඇත්ද? දැන් අප මෙතන සිටියත් ඕනෑම දුරගමකින් අප ලැබූ අත්දැකීමක් අපට සිහිපත් කරගත හැකි ය. ඒ අවස්ථාව සිතින් දැකීමේ හැකියාව ඇත. ඕනෑම දුරකට හිත ඉතා වේගයෙන් ගමන් කරන බව මෙයින් පැහැදිලි වෙයි. ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් හිත ගමන් කරයි. ‘එකචරං’ සිත තනියම ගමන් කරයි. සහායට කිසිවෙක් නැත. අසරීරං, සිතට ශරීරයක් නැත. සිත යනු ශක්තියක් පමණ ය. ගුහාසයං සිත පවතින්නේ ගුහාවක් ඇසුරු කරගෙන ය. මෙහි ගුහාව යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? මේ සඳහා විවිධාකාර පිළිතුරු දැකගත හැකි ය. සමහරු හදවත ඇසුරු කරගෙන සිත පවතින බව කියති. සමහරු කියන්නේ සිත මොළය ඇසුරුකරගෙන පවතින බවයි. නමුත් සිතත්, ශරීරයේ මුළු ක්‍රියාකාරීත්වයත් අතර පවතින සම්බන්ධතාවය දෙස බලනවිට පෙනී යන්නේ මුළු සිරුරම ඇසුරු කරගෙන සිත පවතින බවයි. හදවත හා මොළය පමණක් ඇසුරු කරගෙන සිත නොපවතින බව විවිධ පර්යේෂණවලින් හෙළි වී ඇත. ශරීරයේ මුළු ස්නායු පද්ධතියම සම්බන්ධ වී සිත පවතින බව මේ වන විට පෙන්වා දී ඇත. මේ අනුව සිත යනු ශරීරය නැමැති ගුහාව ඇසුරු කරගත් ශක්තිවේගයක් ලෙසින් දැක්විය හැකි ය.
අප හැමදෙනාගේ ම ශරීරය වටා රශ්මි ධාරාවක් ක්‍රියාත්මක වෙයි. එය ‘ඕරා’ නමින් හඳුන්වා ඇත. බ්‍යාම ප්‍රභා යනුවෙන් අප හඳුන්වන්නේ මේ රශ්මි ධාරාවයි. බ්‍යාම ප්‍රභා යන්න බුදුරජාණන් වහන්සේ ගැන කියන විට අප නිතරම සඳහන් කරන වචනයකි. බුදුරජාණන් වහන්සේට පමණක් නොව අපගේ ශරීරයෙන් පවා කිසියම් රශ්මි මාලාවක් නිකුත් වන බව මේ වන විට පර්යේෂණ මගින් සොයා ගෙන ඇත. ගසක ශාඛ පත්‍රවලින් පවා රශ්මි ධාරාවක් නිකුත්කරන බව උපකරණ මඟින් මේ වන විට තහවුරු කර ඇත. මනසේ දියුණු මට්ටම අනුව රශ්මි ධාරාවේ ප්‍රබලත්වය ද වැඩිවන බව පර්යේෂකයන්ගේ අදහසයි. අපගේ මනස පිරිසුදුවන තරමට මේ රශ්මි ධාරාව ප්‍රබෝධමත් වනු ඇත. තමන්ගේ මනසේ හා හදවතේ ක්‍රියාකාරීත්වය අනුව මේ ‘ඕරා’ හෙවත් බ්‍යාම ප්‍රභාව වෙනස් විය හැකි ය. ශරීරයෙන් පිටකරන බ්‍යාම ප්‍රභාව විවිධ වර්ණයෙන් යුක්ත ය. දේදුන්නෙහි වර්ණය මෙනි. කේන්තිගත් තැනැත්තෙකුගේ ශරීරයෙන් නිකුත් කෙරෙන වර්ණය රතු පැහැය ගන්නා බවද පර්යේෂණ මගින් තහවුරු කර ඇත. ආදරය වැනි හැඟීමක් ඇති වූ විට පිටකරන රශ්මිය කොළ පැහැය ගන්නා බවද පෙන්නුම් කර ඇත. පුද්ගලයින්ට හැදෙන සමහර ලෙඩ රෝග පවා මේ රශ්මිමාලාව දෙස බලා ඒ අනුව නිගමනය කළ හැකි බවයි, පර්යේෂකයන්ගේ අදහස පර්යේෂකයන් දක්වන්නේ අප මියයන්නට ඔන්න මෙන්න තිබියදී මේ රශ්මිමාලාව නැතිවන බවයි.
සිත ප්‍රබෝධමත් වීමට නම් සිත ප්‍රසන්න විය යුතු ය. දුවන හිත විසිරෙන සිත එක්තැන් කර ගැනීම සඳහා සමාධිගත කරගැනීම සඳහා ප්‍රධාන කරුණු පහක් ගැන අවධානය යොමු කළ යුතුව ඇත. එයින් මූලික ම අවශ්‍යතාවය කල්‍යාණ මිත්‍රයෙකු ගේ ආශ්‍රයයි. මෙයින් අදහස්කරන්නේ කරට අත දාගෙන විමෝදවන යාළුවෙකු නොව සිත ගැන අවබෝධයක් ඇති, සිත නිවැරැදිව හසුරුවා ගැනීම සඳහා දැනුම හා අවබෝධය තිබෙන ප්‍රායෝගික අත්දැකීම් ඇති ගුරුවරයෙකු ගේ ඇසුරයි.
දෙවෙනි කරුණ සිත හදාගැනීමට අවශ්‍ය පුද්ගලයා නිවැරැදි ජීවිතයක් ගත කරන අයෙකු විය යුතු ය. ඔහු කයින්, වචනයෙන්, සිතින් සංවර, සංයත අයෙකු විය යුතු ය. ඉන්ද්‍රියයන් වැරැදි අයුරින් හසුරවන්නෙකු නොවිය යුතු ය. තුන්වැනි කාරණය අනවශ්‍ය කතාවලින් තොරවිය යුතු ය. අපේ ධර්මයෙහි ‘මිථභාණී’ යන්නෙන් දක්වන්නේ ප්‍රමාණවත් කතාවයි. අනවශ්‍ය කතාවෙහි ප්‍රතිඵලය හිත දූෂ්‍ය වීමයි. එනම් හිත කිලිටි වීමයි. හිත සමාධිගත වීමට අදාළ නිරවද්‍ය, ඵලදායී කතාවට පමණක් අපේ කතාබහ සීමා කරගත යුතුයි. සතර වන කරුණ දැඩි වීර්යයයි. නොපසුබස්නා වීර්ය සිතේ සමාධියට ප්‍රබල ශක්තියකි. අනවශ්‍ය සිතිවිලිවලින් තොරවීමටත් සිතේ ඒකාග්‍රතාවය පවත්වා ගැනීමටත් අලස නොවී වීර්යවන්තව කටයුතු කළ යුතුයි. පස්වැනි කාරණය ප්‍රඥාවන්තභාවයි. එනම් වැරැදි සිතිවිලිවලින් වෙන්ව හොඳ සිතිවිලි වගාකර ගැනීමයි. එනම් එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීමයි. මේ කරුණු පහ ප්‍රසන්න, දීප්තිමත්, සිතකට අත්‍යවශ්‍ය ම සාධකයන් ය. මෙබඳු සිත ආලෝකවත් ය. ප්‍රබල ශක්තිවේගයක් වනු ඇත.
මෛත්‍රීමූර්ති මහා නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ මැදින් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 මාර්තු 09 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment