Labels

Wednesday, June 20, 2018

සද්ධා ධනය: ශ්‍රද්ධාවන්තයා ඉන්ද්‍රඛීලයක් බඳු ය

" ශ්‍රද්ධාවන්තයා බොහෝ පරිත්‍යාගශීලී ය. ලෝභය, ද්වේෂය ප්‍රහාණය කරන්නට උත්සාහ කරමින් සිටින්නේ ය. දන්දීමට ඉතා කැමැති ය"
සම්බුදු දහමට පිවිසීමේ දී අනුපුබ්බ ශික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා ලෙස වැඩ පිළිවෙළක් වෙයි. එය දාන, සීල, භාවනා දක්වා විහිදී යයි. දානය අපට පුරුදු දෙයකි. දානය සහ සීලයෙන් නිර්වාණවබෝධය කළ නො හැක. ඒ සඳහා භාවනාව ප්‍රධාන වෙයි.
භාවනාව වඩන පුද්ගයා රාග, ද්වේෂ, මෝහය, ශ්‍රද්ධා ආදී වශයෙන් විවිධ චරිතයන්ට බෙදේ. චරිත යනු අපගේ චරිත ස්වභාවය යි. ශ්‍රද්ධාවන්තයා බොහෝ පරිත්‍යාගශීලී ය. ලෝභය, ද්වේෂය ප්‍රහාණය කරන්නට උත්සාහ කරමින් සිටින්නේ ය. දන්දීමට ඉතා කැමැති ය. තෙරුවනට පැහැදීමෙන් සිටින අතර ස්වාමින් වහන්සේලා දකිමින්, සුවදුක් විචාරති. ධර්ම දානය දීමට ඉදිරිපත් වේ. හොඳින් තෙරුවනට පහදී. මේ ශ්‍රද්ධාවන්තයා බුදුදහමේ ප්‍රයෝජනය ගන්නා තැනැත්තෙකි. ශ්‍රද්ධාවේ ක්‍රම දෙකකි. අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව යි. අමූලිකා ශ්‍රද්ධාව යනු ඔහුට තෙරුවන් කෙරෙහි කිසිදු ඇල්මක්, දෘෂ්ඨියක් නැත. පිරිදුසු අවබෝධයක් ද නැත. පදනමකින් තොරව කටයුතු කරයි. තෙරුවන් කෙරෙහි චංචල ගති ඇති වෙයි. නිතර සෙලවෙන සිතින් කටයුතු කරයි.
අකාරවතී ශ්‍රද්ධාවන්තයා එසේ නොවේ. ඉතා පිරිසුදුව කරුණු කාරණා තේරුම් ගෙන, තෙරුවන් පිළිබඳව සැකයක් නො සිතා කටයුතු කරන්නා ආකාරවතී ශ්‍රද්ධාවෙන් බලවත් වෙයි. නිතර නිතර තෙරුවනේ ගුණ සිහි කරමින් ඉන්ද්‍රඛීලයකට සම කොට සිටින්නේ ඔහුයි. තෙරුවන් ගැන පී‍්‍රතියෙන් කටයුතු කරන්නා ශ්‍රද්ධාවෙන් එහාට විහිදී එය ධනයක් සේ රැස්් කර ගනී. ශ්‍රද්ධා ප්‍රතිලාභය ලැබීමට ඔහු සුදුස්සෙක් වෙයි. ශ්‍රද්ධා ධනය ඇති තැනත්තා සෝවාන් ඵලයට පත්වීමට සුදුස්සෙක් ද වෙයි. එතැනින් එහාට මාර්ගඵල ලබන්නටත්, ශ්‍රද්ධා ධනය ඔහුට රුකුලක් වෙයි. ආකාරවතී ශ්‍රද්ධාවන්තයා තෙරුවන් දැක සතුටුවෙන කෙනෙකි. ඔහු කිසිවෙකුට වෙනස් කළ නො හැකි ආකාරයට තෙරුවන් කෙරෙහි පැහැදි සිටියි.

මෙය තේරුම් ගැනීමට ධම්ම පදයෙහි පුප්ඵ වර්ගයේ කතාවක් තිබේ. බුදුරජාණන් වහන්සේ වැඩසිටින කාලයේ ඡත්‍රපානි කියා පුද්ගලයෙක් සිටියා. ඡත්‍ර කියන්නේ කුඩය යි. පානි කියන්නේ අත. නිතරම කුඩය අතින් ගෙන සිටින නිසා මේ නම ඔහුට පටබැඳුණා. ඉතාමත් ශ්‍රද්ධාවන්ත මේ තැනැත්තා දිනක් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වුණා. දැන් මොහු ධර්මය දැන, දැක ගත් කෙනෙක්. ධර්මයේ නිතර හැසිරෙන මොහු දිනක් භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසදරේ කතා කරමින් සිටින විට එතැනට කොසොල් රජතුමා පැමිණියා. රජතුමා දුටුවත්, ඡත්‍රපානි අසුනෙන් නැගිට්ටේ නැහැ. එය දුටු රජතුමා සිතින් කෝපයට පත්වුණා. ”මෙලොව, පරලොව දිනූ උතුමන් වහන්සේ වැඩ සිටින විට මම රජතුමාට ගෞරව පිණිස නැගිට්ටොත් එයින් භාග්‍යවතුන් වහන්සේට අගෞරවයක් සිදුවේවි. ඒ නිසා මම නො නැගිටිමියි” ඡත්‍රපානි සිතුවා. රජතුමා භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳරේ යෙදී සිට පිටත් වුණා. රජතුමා සිටියේ ඡත්‍රපානි ගැන පැහැදීමෙන් නොවේ. බුදුරජාණන් වහන්සේ දෙ දෙනාගේ ම සිත් බුදු නෙතින් දුටුවා. ඒ අවස්ථාවේ දී ඡත්‍රපානිගේ ගුණ භාග්‍යවතුන් වහන්සේ වදාළා.
රජතුමා පසු දිනක ඡත්‍රපානිව මාළිගාවට ගෙන්වූවා. ඉතාමත් බයාදුව, ගරුසරුව රජු ඉදිරියේ පෙනී සිටියා. ඡත්‍රපානි ඔබ එදා මට කිසිදු ගරුසරුවක් නො දැක්වූයේ මන්ද? අද මෙතරම් ගරුසරුවක් මන්ද? කියා කොසොල් රජු අසා සිටියා.” රජතුමනි, තුන් ලෝකයට පහනක් බඳු භාග්‍යවතුන් වහන්සේට ඇති ගරුසරුබව නිස යි. එදා මම නො නැගිට සිටියේ. නැතිනම් ඔබතුමාට ගෞරවය නැති නිසා නොවේ. එදා මම නැගිට්ටානම් එයින් භාග්‍යවතුන් වහන්සේට මහත් වූ අගෞරවයක් සිදුවේවි යැයි කියා සිටියා. රජතුමා කරුණු වටහා ගෙන සතුටට පත් වුණා. මෙයින් පැහැදිලි වන්නේ ඡත්‍රපානි කෙතරම් තුනුරුවනට පැහැදී සිටියා ද යන්න යි.

එනිසා අපගේ මේ දිවිගමනේ හොඳ දැක්මක් ඇතිකර ගැනීමට නම් ශ්‍රද්ධාව අවශ්‍ය දෙයක්. සෑම දෙයකට ම ශ්‍රද්ධාව මූලික පදනම විය යුතුයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසීම හෝ චතුරාර්ය සත්‍ය අවබෝධයට හෝ කැමැති පුද්ගලයා මුලින් ශ්‍රද්ධාවට පැමිණිය යුතු වෙයි. ඒ ශ්‍රද්ධාව වැඩි දියුණු කරගෙන ශ්‍රද්ධා ධනයක් බවට පත්කරගත යුතු වෙයි. ගිහි පැවිදි අප සැවොම සියලු වැඩකටයුතු අතරේ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවන්තව කටයුතු කර ශ්‍රද්ධාව ධනයක් සේ පූර්ණ කරගත යුතු වෙනවා. එය බොහෝ කල් අපගේ ජීවිතයට හිතසුව පිණිස පවතීවි. ශ්‍රද්ධාව ධනයක් සේ රැස්කර ගත යුතු බවයි මේ ලිපියේ සාරය ලෙස ගතහැකි වන්නේ.


මීරිගම, හල්පේ, 
ශ්‍රී මුනින්දාරාමාධිපති 
ශ්‍රාස්පති, පණ්ඩිත
ඉඳුරුවේ නාරද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ මැදින් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ‍ ‍‍‍‍‍මාර්තු 09 වන සිකුරාදා දින  බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment