Labels

Wednesday, May 6, 2020

සැබෑ වෙසක් සැමරීමට මේ කාලය යොදා ගන්න

බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයා දුකින් මුදා ගැනීම පිණිස සිදු කළ උත්තම සේවාවට උපහාර වශයෙන් බෞද්ධයන් විසින් සිදු කරනු ලබන උතුම් පූජාවක් ලෙසින් වෙසක් දින සමරනු ලබනවා.
එහෙත් මෙවර ලෝකයේ සියලුම බෞද්ධ රටවල් වෙසක් සැමරීමේදී දැඩි අපහසුතාවකට පත් වෙලා . ඒ වසංගත රෝගී තත්ත්වයන් නිසා රටවල් වසා තැබීම නිසයි. එවන් තත්ත්වයක් යටතේ බෞද්ධයන්ට වෙනදා සැමරූ ලෙසින් වෙසක් උත්සවකාරයෙන් සැමරීමට බැහැ.
එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? බුදු රජාණන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයකුට එහා ගිය අති මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි උත්තුංග අසමසම අයෙක්.
උන් වහන්සේ සැමරුම වෙනුවන් අප අභ්‍යන්තර හා බාහිර යන දෙඅංශයෙන්ම ගුණ ධර්මයන් වැඩිය යුතු වනවා. ඇත්තෙන්ම අප අවබෝධ කර ගත යුතුයි සැබෑ වෙසක් යන්න කුමක්ද කියා. අප වෙසක් උලෙළක් ලෙසින් සමරනවා. ඒ සඳහා තොරණ, දන්සල් වෙසක් පහන් කූඩු වැනි ප්‍රදර්ශනාත්මක ආමිෂ කටයුතුවල නියැළෙනවා. එහි වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේට කරනු ලබන උපහාරයක් ලෙසින් අප ඒ කටයුතු කරන්නේ. නමුත් මේ අවස්ථාවේදී අපට පෙරහර, දන්සල්, තොරණ හෝ වෙනත් සාමූහික කටයුතුවල නියැළීමට හැකියාවක් නැහැ.

එම නිසා මේ අවස්ථාවේදි කළ යුතු ඉහළම උපහාරය වන්නේ පංචශීලය රැකගෙන ආගමික කටයුතුවල නියැළීමයි. එමෙන්ම නිවසේ සිට අෂ්ටාංගශීලය රැකීමයි. දසසීලය රැකීමයි. අපට නිතිපතාම මේ ලෙසින් කටයුතු කරන්නට හැකියාව ඇත්නම් සැමදාම වෙසක් සැමරීමට පුළුවන්.
එය අපට පමණක් නොව අනෙක් අයට පවා යහපත් තත්ත්වයක් උදාවනවා. පංචශීලය ආරක්ෂා කරනවානම් කිසිවකු මරණයට බිය විය යුතු නැහැ. තම වස්තුව ගැන බිය විය යුතු නැහැ. මේ ලෙසින් තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව ගැන සමාජ සම්මතයන් ගැන කිසිදු ලෙසකින් බියවිය යුතු නැහැ.
ඒ සඳහා මෙන්ම අපේ ඕනෑම කටයුත්තක් සඳහා මනස නිරවුල්ව පවත්වා ගැනීමයි අවශ්‍ය වන්නේ. අද වන විට වෛද්‍ය විද්‍යාවේ පවා මනස නිරවුල්ව තබා ගත යුතු බව පැවසෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ බව අපට දැනුම් දුන්නේ වසර 2600කට පෙරයි.
අද බොහෝ විට සිටින්නේ දැනුමින් සපිරි බෞද්ධයන් මිස ප්‍රායෝගික බෞද්ධයන් නොවේ.
විශේෂයෙන්ම විද්‍යාව හා තාක්ෂණය මිනිසා තමන්ගේ දියුණුවට යොදා ගත යුතු වුවත් එය නිසි ලෙසින් හසුරවා ගෙන ඇති බවක් පෙනෙන්නට නැහැ.
අප පෙර සඳහන් කළ දැනුම පමණක් ලබා ගැනීමට යාම නිසා අපට ආගම දහම ගුණධර්ම අමතක වී ගොස් ඇත්තා සේ ය.
විද්‍යාව විසින්ද දැනුම සම්භාරයක් අපට එකතු කර දී තිබෙනවා. ඒ දැනුම ඔස්සේ තාක්ෂණය වැඩි දියුණු වුණා. ඒ විද්‍යාත්මක තාක්ෂණික දැනුම ලබා ගෙන ඇත්තේ මිනිසාගේ වැඩ කටයුතු පහසු කිරීම පිණිසයි. එහෙත් ඒ ඔස්සේ අපගේ ගුණධර්ම සමඟිය පිරිහෙනවානම් ඒ ආකල්පය වෙනස් කළ යුතු වෙනවා.
අද තාක්ෂණයේ දියුණුව නිසා වෙසක් කූඩුව පවා විදේශ රටවලින් ආනයනය කිරීමට පටන් අරන්. එදා අම්මා, තාත්තා. පවුලේ දූ පුතුන් එකතුව තැනූ වෙසක් කූඩුවෙන් වෙසක් එළියට අමතරව පවුලේ සමඟිය ඇති වුණා. එම කූඩුවත් එලෙස මිල දී ගත් විට පවුලේ සියලු දෙනා සමඟිව තැනූ වෙසක් කූඩුව අපේ තාක්ෂණය පමණක් නොව අපට අහිමි වන්නේ පවුලේ සමඟියයි. එසේම දැනුමින් සපිරිණු පිරිසක් සමාජයක් බිහිවුණද ඔවුන් ගුණධර්මවලින් පිරිහුණු අය වෙන්නට පුළුවන්.
බුද්ධාගම විෂයට ලකුණු 100න් 100ම ලබා ගෙන ඇති දූ දරුවන් බස් රථයට නැඟීමේදී පෝලිමේ සිටිනා වයෝවෘද්ධ අය පෙරලාගෙන යනවානම් ඔවුන් ඉගෙන ගෙන ඇත්තේ බුද්ධාගම විෂයක් මිස ගුණධර්ම නොවන බවයි එයින් හැඟෙන්නේ. විද්‍යාව, ගණිතය මෙන්ම තවත් ලකුණු ලබාගත යුතු විෂයක් ලෙස පමණක් බුද්ධාගම ඉගෙන ගෙන ඇති බවයි අප තේරුම් ගත යුත්තේ.
ඔවුන් චතුරාර්ය සත්‍යය දන්නවා, ධම්ම පදයේ ගාථා කටපාඩම්, වසල සූත්‍රයේ දැක්වෙන වසලයකු වන ආකාරය දන්නවා, පරාභව සූත්‍රයේ දැක්වෙන ආකාරයේ පිරිහීමේ දොරටු දන්නවා. විභාගයට නිසි අයුරින් පිළිතුරු ලියා ලකුණු 100ම ලබා ගත්තත් ඔවුන්ගේ ජීවිතයේදී ඔවුන් ඒ ගුණධර්ම අනුගමනය කරන්නේ නැහැ.
වර්තමානයේ නිවසේ සිටින ආච්චිට සීයාට ජංගම දුරකතන භාවිතය ගැන දැනුමක් නැතුව ඇති. එහෙත් ඒ ආම්පන්න හා ඇති නවීන තාක්ෂණය ඒ වයෝවෘද්ධ අයගේ අත්දැකීම් හා එකතු කර ගැනීම වැදගත් වන්නේ ඒ හරහා ගුණධර්ම වඩාත් වර්ධනය කර ගත හැකි නිසයි.
‘ඒ කාලයේ අපි පන්සල් ගොස් කටයුතු කෙළේ මේ ලෙසින් ‘ආදී වශයෙන් ඒ වැඩිහිටියන්ගෙන් අලුත් පරපුරට දැන ගන්නට පුළුවන්. එසේම ඒ කාලයේ ස්වාමීන් වහන්සේ කටයුතු කළ ආකාරය, ප්‍රශ්න වලට පිළිතුරු දුන් ආකාරය. මේ වෙනස්කම් දැන ගත හැක්කේ ඒ ලෙසින්.
අප ප්‍රායෝගික බෞද්ධයකු වන්නේ ඒ ලෙසින් කටයුතු කළහොත් පමණයි. අවබෝධය හා අත්දැකීම අපට තිබිය යුතු වෙනවා. අපේ රට බොහෝ අත්දැකීම් හා අවබෝධයෙන් කටයුතු කරන රටක්. ඒ ආකල්පය, සංකල්පය බෞද්ධයන් වශයෙන් අප දියුණු කරගත යුතු වෙනවා. අපේ රටේ ජනතාවගේ මානසික මට්ටම ඉතා ඉහළයි. කොරෝනා උවදුරට ගොදුරුවන පිරිස අඩුවීමත් ඒ මානසික ශක්තිය නිසා බවයි පෙනෙන්නේ.
ඒ වගේම අපේ රටේ ඇති නිසි නායකත්වය වගේම සාමූහිකත්වය බෙහෙවින්ම වැදගත් වනවා. ඒ රෝගයක් මර්දනයට පමණක්ම නෙමෙයි. රටක් ඉදිරියට යන්න වගේම අපේ ඕනෑම කටයුත්තකදී එය වැදගත් වනවා.
උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගියකු හමුවූ විට ඔහු ආ ගිය තැන්, ඇසුරු කළ අය, මේ සියලු දෙනා සොයා බලා ප්‍රතිකාර කරනවා. එහෙත් ලෝකයේ වෙනත් දියුණු රටවල පවා එවැනි ලෙසින් කටයුතු කරන්නේ නැහැ.
උදාහරණයන් ලෙසින් පෙන්වා දෙනවානම් මැලේසියාවේ රෝගියකු හමුවුණොත් ඔහුට ප්‍රතිකාර කරනවා. එපමණයි. රෝගීන් 20කට වැඩියෙන් යම් මහල් නිවාස සංකීර්ණයක හමුවුණොත් එය මුද්‍රා තබනවා. සිංගප්පූරුවේ පවා රෝගීන් ඇසුර කළ අය සෙවීම ආරම්භ කෙළේ ඉතාම මෑතක සිටයි.
අපට මේ වෙසක් සමයේ හෝ දරුවන්ට ප්‍රායෝගික බුදු දහම ලබා දෙන්නට පුළුවන් නම් එයයි අප ලද නියම වෙසක් උපහාරය වන්නේ. අපි බුදුරජාණන් වහන්සේගේ පිළිරුවට ඇයි මල් පහන් තබා වැද නමස්කාර කරන්නේ. ඇයි දානය පිරිනමන්නේ, ඇයි ගිලන්පස තබන්නේ, මේ ප්‍රශ්නවලට පිළිතුරු දරුවන්ට ලබා දිය යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ නොසැලෙන ගුණයන් සම්බන්ධව දරුවන් දැනුවත් කළ යුතුයි. දරුවන් පවා කරනු ලබන යහපත් ක්‍රියාවන් අගය කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ බොහෝ බොහෝ අවස්ථාවලදී යහපත් කාර්යයන් අගය කරන බවක් පෙනෙන්නට නැහැ. කවුරුත් කළත් යහපත් කාර්යය අගය කළ යුතුමයි. එසේ කළහොත් අනෙක් අයත් ඒ යහපත් කාර්යයට පුරුදු වේවා. ඒ ඔස්සේ කටයුතු කරාවි. අප කටයුතු කළ යුත්තේ ප්‍රායෝගිකව මිස දැනුමින්ම පමණක් නොවෙයි. ඉන්දියාවේ සංචාරක මඟ පෙන්වන්නන් සිටිනවා ඉහළ බුදු දහමින් පරිපූර්ණ, ඔවුන්ගෙන් විමසුවහොත් බුදු දහමේ සියලු සිදුවීම් පෙළ ගස්වාවි. එතරම් දැනුමක් ඔවුන්ට තිබෙනවා.

එහෙත් ඒ දැනුම ප්‍රායෝගිකව ක්‍රියාවට නැඟෙන්නේ නැහැ අප හොඳීන් මතක තබා ගත යුතු කරුණක් තමයි විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි බොහෝ දේ බුදු දහමින් පෙන්වා දී ඇති බව. විද්‍යාවෙන් ඔප්පු කළ පසුව අප පිළි ගන්නවා. අප පෙර සඳහන් කළ මානසික සහනය ලැබීම එයින් එක් කරුණක්. සිතේ ඇති කර ගන්නා දියුණුව මානසික වශයෙන් අපට වැදගත්ම වන්නේ එය ප්‍රායෝගික කටයුතු සඳහා බෙහෙවින් වැදගත් වන නිසයි. බුදුරජාණන් වහන්සේට කළ හැකි උපරිම පූජාව වන්නේ බුදු දහම ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීමයි.



මැලේසියාවේ ප්‍රධාන සංඝනායක
සෙන්තුල් ශ්‍රී ලංකා බුඩිස්ට් ටෙම්පල් විහාරාධිපති හා
මහාකරුණා පදනමේ අධ්‍යක්ෂ
බූටාවත්තේ සරණංකර නා හිමි










ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 මැයි 07 වන  බ්‍රහස්පතින්දා  දින  බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment