Labels

Sunday, December 27, 2020

සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් වැඩසිටිනා ලොව බලගතුම සෑය රුවන්වැලි මහා සෑ රදුන්

 


අද බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍රවන මහසෑය හෙවත් රුවන්වැලි මහ සෑය සැබවින්ම දෙව්ලොවත් මනුලොවත් එකට සම්බන්ධ වී තනන ලද මහා නිර්මාණයකි. මෙහි ඇති සුවිශේෂිත්වය නම්, ලෝකයේ ප්‍රබලම විශ්ව ශක්තිය ඇති එකම ස්ථානය මෙය බවට නාසා ආයතනයත් තහවුරු කිරීමයි. අපි මේ නිර්මාණයේ සැඟැවුණු රහස් පිළිබඳ ගරු ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගමු.

පින්වත්නි, අද අප ඉදිරියේ මේ අහස උසට පෙනෙන්නේ, බුදුරදුන්ගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහ සෑ රජාණන් වහන්සේයි.

අප මේ වැඩ සිටින ස්ථානය රහතන් වහන්සේලා අනූහය කෝටියක් වැඩ හිටපු තැනක්. එමෙන්ම බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. මේ මහ භද්‍රකල්පයේ බුදුවරු හතර නමක් පහළ වුණා. එනම් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බුදුවරුන්ගේ පා පහස ලැබු ස්ථානයකි මේ. ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවක රහතන් වහන්සේලා පන්සිය නමක් සමඟ මේ රන්කොත පිහිටි මධ්‍ය ලක්ෂයේ (සෑය හරි මැද) සමාධි සුවයෙන් වැඩ සිටියා. මේ රහතන් වහන්සේලා අතර සිටි ඇහැළ මලේ පාටින් බබළන, කල්පයක් ඇතුළත වැටෙන වැස්සේ වැහිබිඳු ගාණ ගණන්කරලා කියන්න පුළුවන් ප්‍රඥාවක් සහිත සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ස්ථානයට බුදුරජාණන් වහන්සේ සමඟ වැඩම කළා. ඊළඟට නිල් මානෙල් මලේ පාටින් බබළන මුගලන් මහ රහතන් වහන්සේත් මේ අප හිඳින ස්ථානයට වැඩම කළා. ඉන්පසු ධූතාංග ගුණයෙන් අගතැන්පත් දුප්පතුන්ගේ මුණිවරයා කියා, ඒ කාලයේ හැඳින්වූ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ මේ සෑයට වැඩම කළා. අංගුලිමාල මහ රහතන් වහන්සේත් මේ ස්ථානයට වැඩම කළා. උපාලි මහරහතන් වහන්සේත් වැඩම කළා. එමෙන්ම නීරෝගී ගුණයෙන් අග තැන්පත් බක්කුල මහරහතන් වහන්සේත් වැඩම කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ හැර අනෙක් සියලුම රහතන් වහන්සේලා වැඩම කරපු ස්ථානයක් තමයි මේ. ආනන්ද ස්වාමීන් වහන්සේට වැඩම කිරීමට නොහැකි වුණේ, උන්වහන්සේ ඒ වනවිට රහත්භාවය ලබා නොතිබූ නිසාවෙනි.


රුවන්වැලි මහ සෑය මූලික කොට ගෙන බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලංකාව පුරාම විහිඳී ඇති අතර මේ ලංකා භූමිය ආරක්ෂා වී තිබෙන්නේ, මේ බුද්ධ බලය නිසාය. අද අපට මේ ආනුභාවය නොතිබුණා නම්, මේ රට මේ වනවිටත් විනාශ වී හමාරය.

අදටත් භාරතය තුළ සියලුම ඉන්දියානුවන් සමරන "දසහරා" කියලා උත්සවයක් තිබෙනවා. මේ උත්සවයේ දී දවස් නමයක් කාලි මැණියන්ට පුද පූජා පවත්වනවා. දසවැනි දවසේ ලංකාවේ ආකෘතියක් සාදා පුලුස්සන අතර ලංකාව විනාශ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒ සාපේ ලංකාවට වදින්නේ නෑ. මොකද මේ ධරණී තලයෙන් විහිදෙනවා ආනුභාවයක්. ඒ බුද්ධානුභාවයෙන් මුළු දෙරණම ආරක්ෂා වෙනවා.

මහියංගණයට වැඩම කරන බුදුන්වහන්සේ ලංකාභූමියෙන් පිටත් වීමට පෙර මේ ස්ථූපය පිහිටි භූමිය ආරක්ෂා කරන්න මාහාසාල දෙවියන්ට පවරන අතර මේ භූමියේ අනාගතයේ දී තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත්කර මහසෑයක් ඉදිවෙන අතර ඒ නිසා මේ භූමිය ඔබ ආරක්ෂාකරන්න යැයි පවසන ලදී. මහසාල දෙවියන් දුටුගැමුණු රජතුමන් මේ ද්විපයේ රජ වෙනකම් මේ මහ සෑය ඉදිවෙන භූමිය ආරක්ෂා කළා. මේ භූමියේ හැදෙනවා කටු අකුල් සහිත විවිධ ගස් වර්ග. කිසිම පුද්ගලයෙකුට ඇවිත් කැත කුණු කිරීමට නොහැකි ආකාරයට භූමිය ආරක්ෂා වුණා.

ඉන්පසු බුදුන්වහන්සේ මේ භූමියෙන් නික්ම ගියාට පසු උන්වහන්සේගේ පරිනිර්වාණය සිදුවන අවස්ථාවේ අධිෂ්ඨාන පහක් සිදුකරනවා. ඒ කාරණා පහම ලංකාව වෙනුවෙන් සිදුකිරීම විශේෂත්වයක්. එනම්, ලංකා ධරණි තලයේ ජයසිරිමහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම වද්දී ධර්මාශෝක රජතුමන් ජයසිරිමහ බෝධීන් වහන්සේ ළඟට යනකොටම දක්ෂිණ ශාඛාව පමණක් පෙනී අනික් ශාඛා නොපෙනේවා කියලා. දෙවැනි අධිෂ්්ඨානය ආයුධයකින් නොකපා බෝධින් වහන්සේ වෙන්වෙලා රන්කටාරමක පිහිටත්වා කියලා තථාගතයන් වහන්සේ අධිශ්ඨාන කළා. තුන්වැනි අධිශ්ඨානය තමයි, රන්කටාරමේ පිහිටි බෝධින් වහන්සේ ආකාසෙට පැන නැග පත්‍රයෙනුත් ඵලයෙනුත් නිල් පාට රශ්මි දහරා විහිදී වළාගැබකින් වැසි දින හතක් පවතීවා කියලා. හතරවැනි අධිෂ්ඨානය තමයි, ථූපාරාමයේ අකුධාතුන් වහන්සේ පිහිටන දවසේ අකුධාතුන් වහන්සේගෙන් යමක මහ ප්‍රාතිහාර්‍යය සිද්ධවේවා කියලා. පස්වැනි අධිෂ්ඨානය තමයි, ස්වර්ණමාලි මහ සෑ රජාණන් වහන්සේගේ ධාතු පිහිටන දවසේ ඒ ධාතූන් වහන්සේලාගෙන් බුදු සිරුර මැවී යමක මහ පෙළහර ප්‍රාතිහාර්ය පාත්වා කියලා බුදුන්වහන්සේ අධිශ්ඨාන කර, ලක්දිව බුදු සසුන රකින්න ශක්‍ර දේවේන්ද්‍රයාට බාර කර තථාගතයන් වහන්සේ පහන් සිලක් නිවීයන ආකාරයට පිරිණිවන් පා වදාළා. ඉන්පසු උන්වහන්සේගේ. ආදාහනය සඳුන් දර සෑයක දැල්වූ අතර උන්වහන්සේගේ ශ්‍රී දේහයේ ධාතුන් වහන්සේලා දැවී අස්ථි ධාතුන් වහන්සේලා පමණක් ඉතිරි විය. එම ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණා විසින් රටවල් අටකින් පැමිණි රජවරුන්ට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා බෙදාදුනි.

කෝලිය ජනපදයේ රාමග්‍රාමයට ලබාදුන් ධාතුන් වහන්සේලා නිදන් කොට ගංගානම් ගඟ අයිනේ ස්ථූපයක් සාදන ලදී. පසුව මෙම ස්ථූපය ගංගාව අශ්‍රිතව වාසය කරන ලද නාගයන් විසින් ආරක්ෂා කරනු ලැබුවා. දඹදිව් තලයේ අවුරුද්දක් පමණ වන විට ස්ථූප විශාල ප්‍රමාණයක් සෑම තැනකම ඉදිවුණා. පසුව ඉදිරි අනාගතය ගැන දිවැසින් බැලූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මෙම ධාතුන් වහන්සේලාට සිදුවන හානිය ගැන දැන, අජාසත්ත රජු⁣ට පවසා දඹදිව් තලයේ සෑම ස්ථූපයකින්ම ස්ථූප ගර්භයට ගොස් වන්දනා මාන කිරීමට ස්වල්ප ධාතුන් ප්‍රමාණයක් තබා අනෙක් සියලුම ධාතුන් වහන්සේලා රැගෙන විත් අජාසත්ත රජුගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඊසාන දිශාවේ පොළොව ඇතුළේ අසූ රියනක් යටට පොළොව හාරා මෙම ධාතුන් වහන්සේලා ථූපාරාමය ප්‍රමාණයේ ස්ථූපයක තැන්පත් කරන ලදී. නමුත් රාමග්‍රාමයෙන් ධාතුන් වහන්සේලා ලබාගැනීමට යන විට නාගයන් විසින් මෙම ධාතුන් වහන්සේලා ලබාගැනීමට නොහැකි වනලෙස ස්ථූපය වටේ එතී වුන් අතර, එම ධාතුන් වහන්සේලා නාගයන් විසින් දිවිහිමියෙන් රකින බැවින් එම ධාතුන් වහන්සේලා ලබාගැනිමෙන් වැළකුණි. පසුව කාශ්‍යප මහ රහතන් වහන්සේ මෙම ධාතුන් වහන්සේලා පිළිබඳ බුදුන් වහන්සේ අධිෂ්ඨානයක් කර ඇති බව දිවැසින් දකිනවා. එනම්, ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට මහ ස්ථූපයක් අනාගතයේ ලක් දෙරණේ ඉදිවන බව. එම නිසා එම ධාතුන් වහන්සේලා ලබා නොගෙන ඉතුරු ධාතුන් වහන්සේලා සියල්ල රජගහනුවර ආරක්ෂිතව තැන්පත් කරන ලදී. පසුකාලයක දී රාමග්‍රාමයට ඇදහැලුණු මහ වර්ෂාව නිසා එම ස්ථූපය විනාශ වී ධාතුන් වහන්සේලා තැන්පත් කළ රන් කරඬුව මහ මුහුදේ පාවී ගිය අතර එම කරඬුව නාගයන් විසින් නාග ලොවට රැගෙන යන ලදී.

නාග ලොවට රැගෙන ගිය ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා සහිත කරඬුව මැණික් ඔබ්බවූ ධාතු මන්දිරයක තැන්පත් කළ පසු ධාතු මන්දිරයට අවශ්‍ය එළිය, විශාල ප්‍රමාණයේ නිල් මැණික්වලින් ලබාගෙන පසුව කඩුපුල් මලින් ද පුදසත්කාර කරන ලදී.

 අතීත භාරතයේ අශෝක අධිරාජයා පහළවීමත් සමඟ ධර්මදූත සේවය පිණිස මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කර, ලක්දිව බුදු සසුන පිහිට වූ බව අප කවුරුත් දන්නා කාරණයකි .

මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරන විට ලක්දිව පාලනය කළේ දේවානම් පියතිස්ස රජු යි. මිහිඳු හිමියන් කෙරෙහි පැහැදුණු රජු, හිමියන් සමඟ මේ පුදබිමට පැමිණි අතර මහාසාල දිව්‍ය පුත්‍රයා හිමියන්ට, මේ පුදබිමට වඩින්නට මාර්ගය සකස්කර දෙන ලදී.

පුදබිමට වැඩම කළ මිහිඳු හිමියන් අනාගතයේ දී දේවානම් පියතිස්ස රජුගේ මුණුපුරකු අතින් ඉදිවන මහා සෑය දිවැසින් දැක, එම ස්ථානයට සපුමල් ඉසින ලදී. සපුමල් ඉසිනවාත් සමඟම මහ පොළොව කම්පා විය. එම ප්‍රාතිහාර්‍යය පිළිබඳ රජු හිමියන්ගෙන් විමසූ විට මිහිඳු හිමියන්, අනාගතයේ දී ඉදිවෙන මහා සෑය පිළිබඳ විස්තරය රජුට පැවැසීය.

රජු විසින් අනාගතයේ දී දුටුගැමුණු රජුට මේ පිළිබඳව සිහිකරවීම පිණිස එකසිය විසි රියනක් උස මහා ස්ථූපයක් ගාමිණී අභය රජතුමා විසින් ඉදිකරන බව විශාල ගල් කණුවක සටහන් කර මේ ස්ථානයේ තැන්පත් කළේය. ඊට අමතරව රන් පත්වල මේ කාරණය ලියා මාළිගාවේ ආරක්ෂිත ස්ථානවල එනම්, රන් කරඬුවල තැන්පත් කිරීම ද සිදු කළේය.

නැවත මෙම භූමිය මහාසාල දෙවියන් විසින් පෙර පරිදිම ආරක්ෂා කළේය.

පසුකාලීනව දුටුගැමුණු රජතුමන් මේ ලක්දිව පහළ වීමත් සමඟ එළාර පාලනයේ තිබූ ජයසිරි මහ බෝධිය හා ථූපාරාමය බේරාගැනීමට රුහුණේ සිට අනුරපුරය දක්වා දස මහ යෝධයන් සමඟ යුදබිමට පිවිසුණේය. දැවැන්ත යුද ජයග්‍රහණ විසිඅටක් සිදුකරමින් ඉදිරියට ගිය දුටුගැමුණු රජු, එළාර නසා ශ්‍රී ලංකාව තුළ බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්තේය.

විශාල මිනිස් ඝාතනයකින් පසු, පසුතැවුණු රජු, තමන්ට මහා නරකාදියට යෑමට සිදුවේ යැයි නිතර නිතර කල්පනා කළේය. ඒ බව දැනගත් රහතන් වහන්සේලා අට නමක් රජගෙදරට වැඩමකර, ඔබවහන්සේ බුද්ධ ශාසනය බබළවන්නට පහළවූ රජකෙනකු බවත්, සසරේ මහ පිං රැසක් සිදුකළ පින්වන්තයකු බවත්, අනාගතයේ පහළවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් අග්‍ර, අගසවු තනතුරට පත්වන්නේ ඔබ බවත්, මෙම පාප කර්ම පළදීමට පෙර ඔබ සසරෙන් නික්මෙන බවත් වදාළහ.

මෙයින් සතුටට පත් රජු විවේකීව සිටින මොහොතක මා විසින් මහා සංඝයාට නොදී කිසිදු ආහාර වේලක් අනුභව කර ඇද්දැයි හෝ ඒ ආකාරයේ වරදක් තමා අතින් සිදුවූවාද කියා කල්පනා කළ අතර. එවිට රජුට මහා සංඝයාට නොදී යුද සමයේ දී තමන් ලුණු මිරිසක් වැළඳූ බව සිහි වුණි.

එමනිසා ඒ වෙනුවෙන් රජුගේ ධාතූන් වහන්සේලා සහිත ජයකොන්තය ගළවාගැනීමට නොහැකි ආකාරයෙන් තැන්පත් වූ ස්ථානය වට කොට මිරිසවැටි ස්ථූපය ඉදිකරවනු ලබනවා.

පසුව, පුදපූජා පැවැත්වීම සඳහා ජයසිරි මහ බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානයට පැමිණෙන රජු වතාවත් කොට යන අතරමගදී මහාසාල දිව්‍ය පුත්‍රයා විසින් යන මාර්ගය වරද්දවා දේවානම් පියතිස්ස රජු පෙරදා ඉදිකළ ගල් කණුව ළඟ නතර කරවීය. එහි සටහන් වී ඇති විස්තරය පිළිබඳ සතුටු වූ රජු මාළිගාවේ තිබූ රන් පත්වල ඇති තොරතුරු පවා සොයාගනු ලබනවා. එනම්, තමන් විසින් බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත්කොට සාදන ස්වර්ණමාලි මහා සෑ රදුන් හා සංඝරත්නය උදෙසා නිර්මාණය කරන නව මහල් ප්‍රාසාදය පිළිබඳවත් දැන රජු ප්‍රීතියෙන් ඉපිල යනවා.

සංඝයාට පොහොය කර්ම සිදුකිරීම සඳහා සුදුසු ස්ථානයක් සැකසීමට පෙර රහතන් වහන්සේලාගෙන් විමසන රජු ඊට අදාළ සැලැස්ම රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින අතර. පසුව භරණි නම්, දිව්‍යාංගනාවගේ දිව්‍ය විමානය ආකාරයට සැලැස්මක් ඉන්ද්‍ර ගුප්ත මහ රහතන් වහන්සේ විසින් රජුට ලබාදෙන ලදී. ඒ ආකාරයෙන්ම ලෝවා මහාපායේ වැඩ කටයුතු නිමකර සඝසතු කර පූජා කළේය.

එකල ඉන්දියාවට පවා මේ ප්‍රාසාදයේ මුදුනේ තැන්පත් කළ මැණිකේ එළිය පෙනුණු බවට මීට අවුරුදු 1500කට පෙර ඉන්දියාවේ සංචාරය කළ ‘හියුං සැන්’ නම් පුද්ගලයා එක්තරා පොතක සටහන් කර තිබෙනවා. එකල පැවැති මැණික්වල අධික එළියක් විහිදී ඇති අතර, අවාසනාවකට අද එම මැණික් වර්ග දැකගැනීමට නොහැකියි.

යුද්ධය නිසා අධික ලෙස මිනිසුන් වෙහෙසට පත්ව ඇති නිසාත් අමුද්‍රව්‍ය පවා හිඟ බැවින් කෙසේ මහ සෑයේ කටයුතු ආරම්භ කරන්නේදැයි රජු කල්පනා කරන බව දැනගත් දෙවිවරු ශක්‍ර දෙවියන්ට මේ කාරණාව සැලකරන ලදී. උන්වහන්සේ මේ සෑයට අවශ්‍ය ගඩොල් සපයා දෙන ලෙස පවරන්නේ, විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට යි. මේ අනුව විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් අනුරාධපුරයට උතුරු දිශාවේ වනයක විශාල ගඩොල් ප්‍රමාණයක් මවන ලදී. වැද්දකු විසින් තලගොයෙක් පසුපස දඩයමේ යන විට මේ ගඩොල් දැක රජුට ඒ බව සැළකර සිටිනවා.

තවත් ඇමැතිවරයකු විසින් තඹවිට නම් ගමේ පොළොවෙන් තඹ මතු වී ඇති බව රජුට සැල කරනවා. මේ අනුව රටේ සෑම තැනකින්ම මුතු, මැණික් වර්ග මෙන්ම, රිදී ගමේ ගුහාවකින් රිදී කඳන් පවා පහළ වී තිබෙනවා. එපමණක් නොවේ තවත් ස්ථානයක මිරිස් ගල් ප්‍රමාණයේ නිල් මැණික්, ඇතැම් කුඹුරුවලින් රන් පවා මහා ආශ්චර්යවත් අයුරින් පහළ විය. රජු මහා සෑය නිර්මාණය කිරීමට හිත් පහළ වූ සැණින් රටේ සෑම තැනකින්ම සෑයට අවශ්‍ය ද්‍රව්‍ය පහළ විය. මේ සිදුවීම් සුරංගනා කතා නොවන අතර තුන් ලෝකයේම මැදිහත්වීම මත සිදු වූ සත්‍ය කරුණු කාරණාය.

පසුව රජතුමා විසින් වෙසක් පුන් පොහොය දා සෑයේ කටයුතු අරඹන අතර, පළමුවෙන්ම භූමිය සමතලා කර, මැද තිබූ කණුව ඉවත්කර සෑයේ උතුරු පැත්තෙන් එය තැන්පත් කරන ලදී. එම කණුව උතුරු දිශා දොරටුව අභියස දී ඔබට අදටත් දැකගත හැකියි.

පසුව එම ස්ථානයේ තිබූ තෙළඹු ගස ඉවත් කිරීමට යන අවස්ථාවේ එය විමානය කොට සිටි දෙවඟන එයට එරෙහි විය. රජු බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට මෙහි ඉඳිවන මහා සෑය පිළිබඳවත් එහි පින ඔබට ද අනුමෝදන් වන බව පැවසීය. පසුව ඇගේ නමින් මේ සෑය ඉදිවෙන්නේ නම් පමණක් ඉවත්වන බව පවසා සිටි අතර රජු එයට එකඟ විය. රජු ඇගෙන් නම විමසූ විට ඇය ස්වර්ණමාලී දෙවඟන බව පැවසූ අතර රජූ මහ සෑයේ නම ස්වර්ණමාලී නමින් ප්‍රසිද්ධ කරන ලදී.

ඉන්පසුව රියන් 8ක් පමණ පස් ඉවත් කළ අතර, දස මහ යෝධයන් එක් වී සෑය පාදමේ ගල් ඇතිරීය. ඉන්පසු ගල් කුඩු තට්ටුවක් ඇතිරීමෙන් පසුව එය ඇතුන් යොදා මට්ටම් කරන ලදී. මට්ටම් කරගත් පසු රහතන් වහන්සේලා විසින් හිමාලයේ දියඇලිවලින් නව නීත මැටි ගෙනැවිත් පාදමට දමන ලදී. පසුව නව නීත මැටි මතින් පිළිවෙළින් ගඩොල්, බොරළු, හා කුරුඳු පාෂණ නමින් හැඳීන්වූ මිශ්‍රණයක් එකතු කිරීමක් සිදුකර, ඊට උඩින් යකඩ දැලක් අතුරන ලදී. එයට උඩින් සුවඳ මැටි අතුරා, පසුව තිරිවානා ගල් තට්ටුවක් හා නැවත ගල් අතුරා, රසදිය ලාටු උණුකර දැමූ අතර, අඟල් 8ක් පමණ උසට තඹ පතුරක් අතුරා එය මතින් රිදී අතුරා පාදම සවිමත්ව සකසන ලදී.

පසුව ඇසළ පුන් පොහෝ දින රහතුන් වහන්සේලාගේ අනුදැනුම මත මුල් ගල් තබන ලද අතර පාදම විවිධ මල්වලින් සරසා, හතර කොණ පුන්කළස් තබා සරසා සෑය වටා බුදුරැස්වල පාටින් කොඩි කණු සිටුවීය.

පසුව රජු සමඟ රහතන් වහන්සේලා පැමිණෙන මාර්ගයේ උඩු වියන් බැඳ, පහන් දල්වන ලදී. එමෙන්ම පංචතූර්ය වාදනයෙන් ඝෝෂා පැවැත්වීය. මුළු ලෝකයේ සිටින සියලුම රහත් වහන්සේලාට වැඩම කිරීමට ආරාධනා කළ මොහොතේ අනූහය කෝටියක් රහතන් වහන්සේලා සෑම දිවයිනකින්ම මෙම භූමියට පැමිණි අතර රැස් වළල්ලක් ආකාරයට භූමිය වටා වැඩමකර සිටියහ. රජු සියලු රාජාභරණයෙන් සැරසී සෑය පාදමේ මැද රන් කණුවක් සිටුවා රිදී හුයෙන් වට ප්‍රමාණය ලකුණු කරන මොහොතේ සිද්ධාර්ථ රහතන් වහන්සේ, රජු ලකුණු කරන ප්‍රමාණයේ සෑය සෑදීම ආරම්භ කරතොත් රජුට මෙය මියයන තෙක් ඉදිකිරීමට නොහැකි වන බවත්, අනාගතයේ ප්‍රතිසංස්කරණය කිරීමට අපහසු වන බවත් දිවැසින් දුටු නිසා, මහ සෑයට අවශ්‍ය සීමාව උන්වහන්සේ රවුමක් ආකාරයට සක්මන් කර ලකුණු කර පෙන්වන ලදී. පසුව පිරිත් පැන්වලින් නව නීත මැටි කලවම් කර, පාදමට රහතන් වහන්සේලා ගඩොල් අතුරන අවස්ථාවේ පොළොව සෙලවීමට පටන් ගත්තේය. ලෝකයේ තිබෙන කිසිදු සෑයක මෙවැනි ප්‍රාතිහාර්යයක් සිදු වී නොමැත.



සෑයේ පාදම සකස් කිරීමෙන් පසුව සෑය නිර්මාණය කිරීම සඳහා පෙදරේරුවරයකු අවශ්‍ය විය. විවිධ අය පැමිණ මත ඉදිරිපත්කළත්, රජු ඔවුන් කෙරෙහි පැහැදුණේ නැත.


නමුත් පසුව පැමිණි තරුණ පෙදරේරුවරයකු ඔහුගේ සැලැස්ම මෙසේ ඉදිරිපත් කළේය. ‘දේවයන්වහන්ස, මා විසින් මේ සෑය නිර්මාණය කිරීමට යොදාගනු ලබන මැටි වංගෙඩිවල කොටා කුල්ලෙන් පොළා, බොරළු ඉවත්කොට, සකස් කරගන්නා මැටිවලින් ගඩොල් සකස් කරමි. මන්ද, එසේ කළවිට සෑයේ වල්පැළ හට නොගන්නා නිසාවෙනි, යන්න ඔහු පැවැසීය. තවද වතුර භාජනයක් රජුගෙන් ලබාගත් ඔහු එම වතුර භාජනය මතට ඇඟිල්ලෙන් පහරක් එල්ල කරනවාත් සමඟ භාජනය වටා දියබුබුළක් පැන නැඟුණි. මේ දියබුබුළේ ආකාරයට බුබ්බුළාකාරව මහ සෑය නිර්මාණය කරන බවද තරුණ පෙදරේරුවරයා පැවසීය. රජු ඔහුගේ සැලැස්ම පිළිබඳ සතුටු වී සෑයේ වැඩ කටයුතු ඔහුට පැවරීය. මෙසේ වීමට හේතුව විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා එම තරුණයාගේ ශරීරයට අතුළු වී සිටිම ය.

සෑය නිර්මාණයකර අවසන් වනතෙක්ම දිව්‍ය පුත්‍රයාගේ බැල්ම ඔහු කෙරේ විය. එපමණක් නොව දෙවි දේවතාවුන්ගේ උදව් උපකාර ද ගඩොල් නිර්මාණය කිරීම සඳහා ලැබුණි. එදිනෙදා සෑය බැඳීමට අවශ්‍ය ගඩොල් දොරටු හතරේ දෙවියන් විසින් තබනු ලැබුවේය.

රජු මේ සඳහා වෙහෙසවන සියලුම මිනිසුන් හට කහවනු මෙන්ම අහාර ද්‍රව්‍ය ද ලබාදීමට දෙවරක් නොසිතුවේ ය. රජු දැඩි ලෙස පිනට ලෝභ විය. කිසිම පුද්ගලයකුගෙන් නොමිලයේ වැඩ කරවා නොගත්තේ ය.

මේ අතරතුර දී එක්තරා හිමිනමකට සෑයට ගඩොලක් පූජා කරන්න ඇත්නම්, කියා සිතක් පහළ විය. උන්වහන්සේ හුඹහකින් මැටි ගෙන සුවඳ පැනින් අනා ගඩොලක් සකස්කරගත් අතර එය සිවුර තුළ සඟවා සෑය වන්දනා මාන කරන්න යන අකාරයට ඇවිත් ගඩොල් බඳීන පෙදරේරුවරයාගේ අත උඩින් ගඩොල තැබූවේ ය.

පෙදරේරුවරයාට මේ ගඩොලේ වෙනස අතට දැනුණු අතර ස්වාමින්වහන්සේ නමක් නිසා ගොඩල තබා සෑය බැඳීම කරගෙන ගියේ ය.

පෙදරේරුවරයා මේ කාරණය තවත් පුද්ගලයකුට පැවසූ අතර එය කනෙන් කනට ගොස් රජු හට ද දැනගැනීමට ලැබුණි. රජු වහාම මේ භික්ෂුව සොයන්නට ඇමතිවරුන්ට අණ කළේය. ඇමැතිවරු රාජපුරුෂයකු යොදා හිමි නම සොයාගත් අතර මේ හිමිනමගේ සියලු විස්තර රජුට පැවසුවේය. හිමිනම මේ ගම්පළාතෙන් පිටව යන බවට ආරංචි වූ වහාම රජු විසින් උපායශීලීව නුවණැති ඇමැතිවරයකු කැඳවා පිරිකර, ධාන්‍ය භෝග රැසක් ඔහුට ලබා දී මේවා කෙසේ හෝ එම ස්වාමින්හන්සේට ලබාදෙන ලෙස අණ කළේය. ඇමැතිවරයා මේ හිමිනම යන අතර මඟ රැඳී සිට උන්වහන්සේ ඉදිරියට පැමිණ වැඳ නමස්කාරකර උන්වහන්සේ සමඟ මිතුරු ව ඔබ වහන්සේට මගේ මේ බඩුබාහිර ආදිය ටිකකට අල්ල ගන්න පුළුවන් ද කියා ඇසුවේ ය. හිමිනම ඒ්වා අතට ගත් පසු ස්වාමින් වහන්ස, මා හට සමාවන්න. රජු විසින් ඔබවහන්සේට මේ සියලු පිරිකර ලබාදෙන ලෙස අණකර සිටියා යැයි පැවැසු‌වේ ය. ඒ කුමන කාරණයක් සඳහා ද යන්න ඇමැතිවරයාගෙන් විමසූ විට ඔබ වහන්සේ මහා සෑයට පූජා කළ ගඩොලට හිලව් වෙන්න යැයි පැවැසීය. උන්වහන්සේගේ ඇස්වලින් කඳුළු වැටුණු අතර, මා හොර රහසේ කරගත් පින රජු ගනුදෙනුවකට සීමා කළේ මන්දැ යි ඇමතිතුමාගෙන් විමසා සිටියහ. ස්වාමින්වහන්ස, රජු පිනට ඇති ලෝභකමට මෙය සිදුකළා ඇරෙන්නට ඔබ වහන්සේට මේ පිරිකර පූජා කළා කියා ඔබවහන්සේ මහා සෑය වෙනුවෙන් කරගත් පිනේ අඩුවක් නොවන බවත් පවසා එතැනින් නික්ම ගියේය.

සෑයේ පේසා වළලු ඉදිකිරීමට ඇවැසි කාලය උදාවුණි. ඉන් පළමුවැනි දින පළමු පේසා වළල්ල සකසා පසු දා හිමිදිරියේ පැමිණෙන විට එම පේසා වළල්ල පොළොවට කිඳා බැස තිබුණි. මේ අකාරයට තනන ලද පේසා වළලු නවයක් ම පොළොවට කිඳා බසින්නට වූ හෙයින් රජු මේ කාරණය රහතන් වහන්සේලාට පැවසීය.

රජතුමනි, බිය නොවන්න. මේ සෑය තව අවුරුදු 5000කට පවතින්න අප මෙසේ සත්‍යක් ක්‍රියාවක් සිදුකළ බව උන්වහන්සේලා වදාළහ.

දැනට ඔබත් මමත් දකින මේ සෑයේ ප්‍රමාණය මෙන් ප්‍රමාණයක් පොළොව ඇතුළත ඇති අතර මෙවැනි ආනුභාවය පිරි සෑයක් ලොවේ කොතැනකවත් දක්නට නොමැත.

එක් දිනක් රහතන් වහන්සේ නමක් භාවනායෝගීව සිටින අවස්ථාවේ විශාල එළියක් විහදුවමින් දිව්‍යාංගනාවන් දෙදෙනකු සෑය වන්දනා මාන කිරීමට පැමිණ, යන අතරතුර දී රහතන් වහන්සේ මෙසේ විමසා සිටියහ. ‘පින්වත් දෙව්දුව ඔබලා මේතරම් පිනක් සිදුකරගත්තේ කුමක් නිසාද?’

"ඔබවහන්සේට පේනවා ද මේ සෑය ඉදිකිරීම වෙනුවෙන් වැටුපට සේවය කරන මිනිසුන්ව. අපත් මේ උතුම් සෑය වෙනුවෙන් වැටුපට සේවය කළ වයසක අම්මලා දෙන්නෙක්.’

මරණින් පසු සෑය වෙනුවෙන් කළ පිනේ ආනුභාවයෙන් දිව්‍යාංගනාවන් බවට පත්වූ බවත් මේ සෑය හේතුවෙන් බොහෝ මිනිසුන් සතර අපායෙන් මිදෙන බවත් තවදුරටත් ඔවුන් පැවසීය.

ස්වර්ණමාලි සෑයේ පේසා වළලු තුන ඉදිකළ පසු රහතන් වහන්සේලා විසින් සාමණේර රහතන් වහන්සේලාට උතුරු කුරු දිවයිනෙන් මේඝවර්ණ පාෂාණ සහිත අසූරියනක් දිග අසූ රියනක් පළල ගල් පතුරු හයක් රැගෙන එන ලෙස පැවසීය. එම ගල් පතුරු සෘද්ධියෙන් රැගෙන විත් පේසා වළලු මත එක ගල් පතුරක් අතුරා අනෙක් ඒවා පෙට්ටියක් ආකාරයට සකසන ලදී. පසුව වටේ ගඩොලින් ද බඳීන ලදී. වහන පියන කිසිවෙකුටත් නොපෙනෙන්නට සෘද්ධියෙන් වෙනම ස්ථානයක තබන ලදී.

අනතුරුව ධාතු ගර්භයේ වැඩ අරඹන ලදී.

මෙහිදී ප්‍රථමයෙන් ම ස්ථූප ගර්භය මධ්‍යයේ බෝධි වෘක්ෂයක් නිර්මාණය කළ අතර එහි පත්‍ර නීල මාණිඛයෙන් සාදා කහ පැහැති බෝ කොළ රන් පැහැයෙන් ද බෝධි වෘක්ෂයේ කඳ රිදියෙන් ද, එල මුතුවලින් ද සකසන ලදී. අද මේ ස්ථූපය මැද ඇත්තේ මාහා බෝධි වෘක්ෂයකි. වෘක්ෂය පාමුල දක්ෂිණා වෘත්තව කැරැකි ඇති සංඛයක් තබා, රත්‍රන්වලින් සිංහ, අශ්වරුවක් හා වෘෂභයෙක් ද නිර්මාණය කරන ලදී. බෝධිය වටා මංගල කාරණා සහිත වස්තු නිර්මාණයකර තැබුවේය. ඊට අමතරව රන් කළවල මුතුවලින් නිර්මාණය කරන ලද මල් ද, මුතු ඔබ්බවූ කළවල රත්තරන් මල් ද, රිදී කළවල මැණික්වලින් සාදන මල් සහිත පූජාවක් බෝධි වෘක්ෂය වටා තැබුවේය. ඉන්පසු රන්වලින් බුද්ධ ප්‍රතිමාවක් සෑදූ අතර එහි කේෂ කලාපය හා නේත්‍රා, නිල් මැණික්වලින් ද නියවලට ඊට ගැළපෙන සුදු මැණික් ද ඌර්ම රෝම ධාතුව රිදියෙන් ද අතෙහි අල්ල සහ යටි පතුල් රතු මැණික්වලින් ද සෑදුවේය.

ධාතු ගර්භය තුළ තවත් විවිධ මැණික් වර්ග, මුතු, රන්, රිදී භාවිත කරමින් වැඩ අවසන් කිරීමෙන් පසු බුදුන් වහන්සේගේ උපතේ සිට පරිනිර්වාණය තෙක් විශේෂ සිදුවීම් නිර්මාණය කිරීම ඇරැඹුණි. ඒ අතර පස්වග මහණුන්, යශෝධරා දේවිය සරණ පවා ගන්නා අවසථාව, සුජාතා දේවියගේ කිරිපිඩු පූජාව, මහාඅභිනිශ්ක්‍රමණය, මහා පරිනිර්වාණය, කාලදේව අමාත්‍යවරයා, ශක්‍ර දේවේන්ද්‍රයා, සතරවරම් දෙවියන් පහන් අතදරා සිටින ආකාරය මෙන්ම පන්සිය පනස් ජාතක කතාව ම නිර්මාණය කරන ලදී. එපමණක් නොව, විවිධ දිව්‍ය තලවල දෙවියන්ට ධර්මය දේශනා කරන අකාරය, අංගුලිමාල දමනය, පරිනිර්වාණය කරන අවස්ථාවේ ආනන්ද ස්වාමින්වහන්සේ කණුවක් අල්ලාගන අඩන ආකාරය ධාතු ගර්භය වටා නිර්මාණය කරන ලදී. මේ කිසිදු නිර්මාණයක් එකිනෙකට නොගෑවෙන සේ නිර්මාණය කිරීම ද මෙහි ඇති විශේෂත්වයයි.

මේ ධාතු ගර්භය පිළිබඳ දුටුගැමුණු රජතුමාගෙන් පසු පහළ වූ රජ කෙනකු වන භාතිකාභය රජතුමා මෙසේ විස්තර කර ඇත.

භාතිකාභය රජතුමා රාත්‍රී භෝජනය ගැනීමට පෙර ස්වර්ණමාලි මහා සෑය වන්දනා මාන කරන අතර දිනක් රජු රාත්‍රී අහාර ගන්නා අවස්ථාවේ අද දින තමාට සෑය වන්දනාමාන කරගැනීමට නොහැකිවුණ බව සිහිවිය. වහාම ආහාර ගැනීම පසෙක තැබූ රජු, මෙහොතකදුවත් පමා නොවී වන්දනාමාන කිරීම සඳහා මළුවට ගියේය. මළුවට පැමිණ සෑය වටා තෙවරක් ප්‍රදක්ශිණා කරන මොහොතේ ධාතු ගර්භය ඇතුළතින් පිරිත් සඡ්ඡායනය කරනා හඬක් රජුට ඇසුණි. මෙය රහතන් වහන්සේලා ගර්භය තුළ පිරිත් සඡ්ඡායනය කරනා බව දැන ගත් රජු මා මේ අසිරිය දැකබලා මිස මැරුණත් මෙතැනින් නොනැගිටිමි යි යන්න සත්‍යක්‍රියා කොට බිම වැතිරුණේය. මේ සෑයට ප්‍රබල ආකාරයෙන් සිදුකරන ක්‍රියා දෙවියන්ට අදටත් දැනෙන අතර මේ කාරණය ද දෙවියන්ට දැනුණි. දෙවියන් ධාතු ගර්භයට ගොස් මේ බව රහතන් වහන්සේලාට දැනුම් දුන්නේය.

ධාතු ගර්භය තුළින් මතු වූ රහතන් වහන්සේ නමක් රජුවෙත පැමිණ සෘද්ධියෙන් ධාතු ගර්භය තුළට රජු රැගෙන ගියේය.

රජු පසුදා ස්වාමින්වහන්සේලා හා රටේ ජනතාව ලෝවාමහාපාය වෙත කැඳවා ධාතු ගර්භය තුළ ඇති දේවල් විස්තර කළේය. පසුදා එළිවෙනතෙක් විස්තර කීවත් කිරීමට හැකි වූයේ ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණි. පසුව රජු සෑයේ ගර්භයේ ඇති වස්තූන් අනුරුවක් මවා වසරකට වරක් රජමාළිගාවේ මිදුලේ මිනිසුන්ට දැක ගැනීමට සැලැස්සවීය. මේ නිර්මාණ දැක බොහෝ පිරිසක් පැවිදි දිවියට ද එළැඹුණි.

ගැමුණු රජතුමා ධාතු ගර්භයේ වැඩ අවසන් කිරීමෙන් පසු ඉදිරියේ දී උදාවන ඇසළ පුන් පෝය දින බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට අවැසි බව රහතන් වහන්සේලාට පැවසීය. රහතන් වහන්සේලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානයට එක් රැස් වුණි. උන්වහන්සේලා මේ ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ කොහේදැයි දිවැසින් බැලීය. එවිට මහාකාල නාග රජුගේ විමානේ මැණික්වලින් නිම වූ ධාතු මන්දිරයක මහා සෑයට අවශ්‍ය ධාතුන් වහන්සේලා ඇති බව දිවැසින් දුටුහ.

එම ධාතුන් වහන්සේලා වැඩමවීම සඳහා සසර පුරාවට පින් රැස්කර ඇති, මහා පිනක් හිමි වයස අවු 16 ක් වූ සෝනුත්තර මහ රහතන් වහන්සේ පිටත් විය.

බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මහා සෑයේ තැන්පත් කිරීම සඳහා සියලු කටයුතු සුදානම් විය.

 මහ රහතන් වහන්සේලා කෝටි ගණනක් මේ පුදබිමට වැඩියහ. විවිධ නර්තන කණ්ඩායම් ද පුදබිමට පැමිණ විවිධ වූ පූජාවන් පිණිස නර්තනයේ යෙදුණි. මහා සෑය වටා විචිත්‍රාකාරයෙන් සැරසිලි කරන ලදී. රටේ ජනතාව ද විවිධ ප්‍රදේශයන්ගෙන්, විවිධ මල් වර්ග රැගෙන මේ පුදබිම වෙත පැමිණි අතර රජු ද සර්ව ආභරණයෙන් සැරසී පෙරහරින් රජගෙදරින් පිටත් විය. රජු මාළිගයෙන් පිටත්වන මොහොතේ සෝනුත්තර මහරහතන් වහන්සේ නාග ලෝකය වෙත ධාතුන් වහන්සේලා රැගෙන ඒමට පිටත් වීම ද සුවිශේෂී කරුණකි.

නා ලොවට වැඩි සෝනුත්තර මහරහතන් වහන්සේ මහාකාල නාග රාජයාණන් ඉදිරියේ පෙනී සිටියහ.

මොහු නම් පැමිණයේ යහපත් කර්තව්‍යයකට නොවන බව නා රජු සිතූ නමුත් නා රජු, මහරහතන් වහන්සේ ඉදිරියට පැමිණ වැඳ නමස්කාර කොට පැමිණි කාරණය විමසා සිටියේය.

බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට මහා සෑයක් දුටුගැමුණු රජතුමා විසින් සාදන බවත්, එහි තැන්පත් කිරීම සඳහා ධාතුන් වහන්සේලා රැගෙන යාමට නා ලොවට පැමිණි බවත් සෝනුත්තර මහරහතන් වහන්සේ පවසා සිටියේය.

ස්වාමීන් වහන්ස, නා ලොව එම ධාතුන් වහන්සේලා නැහැ. ඔබ වහන්සේට යම් වැරැදීමක් සිදු වී ඇති බවයි පෙනී යන්නේ යැයි පැවැසීය. එම කාරණාව පවසන අවස්ථාවේ තමන්ගේ බැණා කෙනකුවන වාසුලදත්තට නා රජු ඇසින් සංඥාවක් සිදු කළේය.

වාසුලදත්ත විසින් එම ධාතුන් වහන්සේලා රැගෙන නාග ලෝකයෙන් පිටත් විය. පිටත්ව ගොස් එම ධාතු කරඬුව උදරයේ සඟවාගෙන මහාමේරු පර්වතය වටා එතී සිටියේය.

මහාකාල රජතුමනි, ඔබ වහන්සේ මෙසේ සිදුකරන්නට එපා. මෙය බුදුන්වහන්සේ විසින් සිදුකළ අධිෂ්ඨානයක් බව සැළකර සිටියහ. රජතුමනි, ඔබ වහන්සේ කොතෙක් පුද සත්කාර කළද ඔබ වහන්සේලාට පින් රැස්වෙනවා ඇරෙන්නට මාර්ගඵල අවබෝධයක් නොලැබේ. නමුත් මෙම ධාතුන් වහන්සේලා තැන්පත්කර ඉදිවෙන මහා සෑය හේතුවෙන් බොහෝමයක් දෙවියන් සහ මිනිසුන් මාර්ගඵල අවබෝධ කරගන්නා බව පැවසීය.

පසුව ස්වාමින් වහන්සේව රැගෙන ධාතු තැන්පත්කර තිබූ මන්දිරය වෙත ගොස් මෙසේ පැවසීය. බලන්න, මෙවැනි වූ ධාතු මන්දිරයක් ලක්දිව තැනිය හැකිද? මෙතරම් විශාල මැණික් ප්‍රමාණයක් මුළු ලක්දිවෙන් ම වත් ලබාගත නොහැකියි. මෙතරම් පුදසත්කාර කරන තැනක සිටන් පුදසත්කාර අඩු තැනකට මේ ධාතුන් වහන්සේලා රැගෙන යන්නේ ඇයි දැයි විමසා සිටියේ ය. එවිට සෝනුත්තර මහ රහතන් වහන්සේ, නා රජුනි, තථාගතයන් වහන්සේලා ධර්මය ගරු කළා මිසක් ආමිසය ගරු නොකරන බව පැවසීය.

ස්වාමින්වහන්ස නාග ලෝකයේ නම් ධාතුන් වහන්සේලා නැහැ. තිබෙන ස්ථානයක් දන්නේ නම්, එතැනින් රැගෙන යන්න ලෙස පැවැසීය.

එහෙමයි රජතුමනි. යැයි පවැසූ රහතන් වහන්සේ, දිවැසින් ධාතුන් වහන්සේලා වැඩසිටින ස්ථානය බලා කාහටත් නොපෙනෙන්නට ඍද්ධියෙන් අතක් මවා නාග වේශයක් මවා සිටි වාසුලදත්තගේ උදරයෙන් ධාතුන් වහන්සේලා සහිත කරඩුව රැගෙන පිටත් විය. කරඬුව අතුරුදන් බව දැනගත් නාගයන් හඬමින් ස්වාමින් වහන්සේගේ පිටුපසින් පැමිණියේ ය. ඉන්පසුව ඉතා සුළු ප්‍රමාණයක ධාතුන් වහන්සේලා නාගයන්ට ලබාදුනි.

පුදබිමට දකුණු දිශාවේ පොළොව තුළින් කරඬුවත් රැගෙන සෝනුත්තර මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළහ.

එසේ වැඩම කරනවාත් සමඟම සාධු නදින් අවට ගිඟුම් දෙන්නට පටන් ගත්තේ ය. මේ අතර විශ්වකර්ම දිව්‍යපුත්‍රයා ධාතුන් වහන්සේ තැබීමට මැණික් මණ්ඩපයක් මැවූ අතර, ශක්‍රදේවේන්ද්‍රයා මැණික් කරඬුවක් රැගෙන පැමිණියේය. සෑයට පළමුව කරඬුවක් පූජා කළේ ද උන්වහන්සේ ය.

දුටුගැමුණු රජතුමා කඩොල් ඇතා මූලික කොට ගෙන මහ පෙරහරින් රත්තරන් කරඬුවක් ද රැගෙන මලුව වෙත පැමිණියේය. දිව්‍ය අප්සරාවන් ප්‍රීතියෙන් නර්තනයේ යෙදෙනු අතර, මහා සෑයට අහසින් මල් වැටුණේය. හේවිසි හඬින් මෙන්ම සංඛ හඬින් මුළු භූමිය ම ගිගුරුම් දුන්නේය. මේ ආශ්චර්ය මැද රජු සක්දෙවිඳුගේ ධාතුන් වහන්සේලා සහිත කරඬුව ඔහුගේ රන් කරඬුව තුළ තැන්පත් කළේය. ඉන්පසුව තෙවරක් සෑය වටා ප්‍රදක්ශිණා කොට රහතන් වහන්සේලා සමඟ නැගෙනහිර දිශාවෙන් ඉදිකරන ලද පඩිපෙළකින් සෑය ගර්භය වෙත ගොස් ධාතූන් වහන්සේලා තැන්පත් කරනවාත් සමඟ රන් කරඬුව ඇරී ධාතුන් වහන්සේලා අහසට නැඟී තථාගතයන් වහන්සේගේ බුදුරුව මැවී යමක මහ පෙරහර පාන්නට විය.

මේ සිදුවීම මූලික කොට ගෙන බුද්ධානුස්සතිය වැඩූ ලක්ෂ ගාණක් වූ සංඝයා වහන්සේලා අරහත් වූ අතර දෙවි මිනිසුන් විශාල ප්‍රමාණයක් සෝවාන්, අනාගාමී බවට පත්විය.

නැවත කරඬුව වෙත පැමිණි ධාතුන් වහන්සේලා දැක රජු මෙසේ සත්‍ය ක්‍රියාවක් සිදු කළේය. මේ තථාගතයන් වහන්සේගේ ධාතූන් නිසා බෙහෝදෙනා පින් රැස් කරගන්නවා නම්, අවුරුදු 5000 සකට මෙහි ආනුභාවය පවතිනවා නම් , කිසිම සතුරකුට මෙයට හානි කිරීමට හෝ නොහැකි නම්, මෙම ධාතුන් වහන්සේලා කරඬුවෙන් පිටතට විත් ජීවමාන බුදුන්වහන්සේ සල්ගස් දෙකක් අතර සිදු වූ මහ පරිනිර්වාණය ආකාරයට ජිවමානවම මේ චෛත්‍ය ගර්භයේ වැඩ සිටීවා යැ යි කියා සත්‍ය ක්‍රියාවක් කළේය.

අද ලෝකයේ සෑම සෑයකම කරඬුවක් තුළම ධාතුන් වහන්සේලා තැන්පත් වී ඇති නමුත් ස්වර්ණමාලි මහ සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා බුදුන් වහන්සේගේ ජීවමාන රූපයෙන් අදත් සෑය ගර්භය තුළ වැඩ සිටියි.

අනතුරුව රජතුමන් සියලුම ආභරණ ගලවා ධාතූන් වහන්සේලාට පූජා කළේය. පසුව සියලුමඇමැතිවරු ද සියලුම ආභරණ ගර්භය වෙත ගොස් ධාතූන් වහන්සේලාට පූජා කළේය. ඉදින් දින හතක් රටේ සියලුම ජනතාවට ධාතු ගර්භය දැක බලාගැනීමට පහසුකම් සලසන ලදී.

බොහෝ මිනිසුන් තමන්ගේ කණකර වූ රන් ආභරණ සුවඳ පැනින් ධෝවනය කර ධාතුන් වහන්සේලාට පූජා කළේය.

රජතුමා රහතන්වහන්සේලා වෙත පැමිණ ධාතු ගර්භය වසා දැමීමට දැන් සුදුසු වේලාව යැයි පැවසීය.

එවිට නොපෙනෙන්නට තිබූ මේඝ වර්ණ ගල් පතුර රැගෙන ධාතු ගර්භය වසා දැමූ අතර මෙසේ ද අධිෂ්ඨාන කළේය. ධාතුන් වහන්සේලාට පූජා කරනලද සුවඳ මල්, සුවඳ මැටි වර්ග, කල්ක වර්ග, පරනොවී අවුරුදු 5000ක් කල් පවතිවා කියා අධිෂ්ඨාන කළේය. අදටත් ධාතු ගර්භය තුළ රජු එදා තබපු ආකාරයෙන්ම එම මල්, පහන්, සුවඳ කල්ක පරනොවී එලෙසම පවත‍ී.

අදටත් කිසිදු අයකුට ධාතු ගර්භයට කිසිදු හානියක් සිදුකළ නොහැකිය. සිදුකරත් රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානය අනුව ධාතු ගර්භය පොළොව තුළට කිදාබසින්නේය. එමෙන්ම මෙහි ඇති නිධන් වස්තු මාරයාට වත් සොලවන්නට නම් නොහැකිය.

පසුව සියලුම ගල් පතුරු ඒකට පැහැ වේවා කියා අධිෂ්ඨාන කළේය. ඉන්පසුව රජු රටේ ජනතාව අමතා පරම්පරාවෙන් එන ධාතුන් වහන්සේලා තිබේ නම් මහා සෑයට තැන්පත් කරන ලෙස ඉල්ලා සිටියේ ය. එවිට මිනිසුන් නිවෙස්වල පුදසත්කාර කරන කරඬු දහසක් ධාතු ගර්භය ගල උඩ තැබුවේය. එමනිසා මෙතරම් ධාතුන් වහන්සේලා පිරි ඉතිරෙන මහා ආනුභාවයෙන් පිරි සෑයක් මේ තුන්ලෝකයේම නොමැත. අද ඔබලා මේ සෑය වන්දනා මාන කරන්නට පැමිණෙන විට පසඟ පිහිටුවා නළල සෑය මත තබා ඒ උතුම් ආශීිර්වාද ලබාගන්න. අද මේ ලක්දෙරණ රැකෙන්නේ මෙහි ඇති ආනුභාවය නිසාය.

අනතුරුව සෑයේ හතරැස් කොටුව සෑදීමට පටන් ගත්තේය. ඒ වනවිට රජු අමාවක දවසක නාගයකුගේ දෂ්ට කිරීමකට ලක් විය.

ඒ කාරණාව මෙසේය. මහා සෑය වැඳීම සඳහා මහකෙළ නා රජු ගේ දියණිය ඇතුළු නාග අප්සරාවන් එන බව දැනගත් රජු සැඟව සිට එම රූප ශ්‍රීයෙන් පොහොසත් ඇය අල්ලා ගත්තාය. ඇය කරදර නොකරන ලෙස ආයාචනා කළත් රූප ශ්‍රීයෙන් මත් වූ රජු ඇයව ග්‍රහණයට ගනු ලැබීය. මින් කෝපයට පත් නා රජු මිනිස් වේශයක් මවාගෙන දුටු ගැමුණු රජුගේ වෙද දුරකු වන කපුරු නාථ ළඟ සේවය කර, නයි විස සුව කළ නොහැකි දින නැකැත් පිළිබඳ දැනුම ලබාගත් පසු නා රජු ප්‍රථමයෙන්ම හෝරාවක් බලා කපුරු නාථ වෙදදුරුව මරා දැමීය. ඉන්පසුව මරු නැකැතක් බලා දුටුගැමුණු රජුට උළුවස්සක් උඩ සිට දෂ්ඨනය කරනු ලැබීය. මින් රජු දැඩි ලෙස ගිලන් විය.

පසුව සද්ධාතිස්ස කුමරුව කැඳවන දුටුගැමුණු රජු මාගේ මරණයට පෙර සෑය ඉදිකරන ලෙස පැවසුවේය. රජු මරණාසන්න වී ඇති බව වටහාගත් සද්ධාතිස්ස කුමරු සුදු රෙදි ඔතා සෑය නිර්මාණය කර වැඩ නිම වූ බව රජුට සැළ කර සිටියේය.

පසුව රන් සිවි ගෙයක තබා රජුව රුවන්වැලි සෑයත්, ලෝවා මහ පායත් අතර ස්ථානයක තබන ලදී. රජු තමන් ඉදිකළ සෑයත්, ලෝවා මහ පායත් බලා සතුටු වූයේය. මෙහිදී රහතන් වහන්සේලා පිරිත් සජ්ජායනා කරන අතරතුර, රජු සමඟ යුද පිටියේ පෙරමුණ ගත්, දස මහ යෝධයෙක් ව සිට පසුව පැවිදි දිවියට පිවිස රහත්භාවය ලබාගත් තෙරපුත්තාභය රහතන් වහන්සේ පිළිබඳ විමසා සිටිනවා. එවිට ඝෘද්ධියෙන් පැමිණි තෙරපුත්තාභය රහතන් වහන්සේ රජු ඉදිරියේ පෙනී සිට මරණය ගැන පැහැදිලිකර දෙනවා. ඉන්පසු රජු තමන්ගේ පින්පොත කියවන්න යැයි පවැසුවේය. විශාල පින්කම් ප්‍රමාණයක් සිදුකරත් රජුට හිත පැහැදුණේ එක පිනක් කෙරෙහිය. ඒ් එතුමන් රජ නොවී සිටි කාලයේ මහ කැලයේ සිටින විට තමන්ගේ කණේ තිබුණු ආභරණය ගලවා රහතන් වහන්සේලා හත් නමකට දුන් දානය පිළිබඳව ය.

පසුව මහා සෑය දෙස බලාගෙන සිටින විට දිව්‍ය රථ හයක් පැමිණ රජුට ඔවුන්ගේ දිව්‍යතලවලට එන ලෙස ආරාධනා කළේය. රජු ඔවුන් සියලු දෙනාටම ඉන්න යැයි අතින් සංඥා කළේය. එවිට පිරිත් සච්ඡායනය ස්වාමීන්වහන්සේලා නතර කළේය. රජු ඔබ වහන්සේලාට නෙමෙයි මා කිවේ. අර අහසෙහි සිටිනා දිව්‍ය රථවලට යැයි පැවසීය. මේ බව රහත් වූ ස්වාමින්වහන්සේලා දුටුවේය.

නමුත් රජුගේ හැසිරීම දුටු ජනයා රජු කොතරම් පින් කරත් සිහි මුලාවී ඇති බව සිතන්නට විය. පසුව රහතන් වහන්සේලා මල්මලා සයක් රජුට දී එම දිව්‍ය රථ වෙත වීසි කරන ලෙස පැවැසීය. එම මල්මලා වීසිකරනවාත් සමඟ එය දිව්‍ය රථවල රැඳුණි. එවිට මිනිසුන්ගේ සිත් තුළ තිබූ සැකය දුරුවිය.

පසුව සද්ධාතිස්ස කුමාරු කැඳවූ රජු සිය රජකම ඔහුට භාර දී දැහැමි බවෙන් රට පාලනය කරන ලෙස පවසා මහා සෑය දෙස බලා ගෙනම මරණයට පත්විය.

මරණයත් සමඟම එම සථානයේම දේව ආභරණයෙන් සැරසී දුටුගැමුණු දෙවියන් ලෙස පහළ වී සෑය වටා තෙවරක් ප්‍රදක්ෂිණා කොට තව්තිසා දෙව්ලොව බලා ගියේය. මේ සෑම සිදුවීමක්ම මේ උතුම් පින් බිමේම සිදුවීම කෙතරම් භාග්‍යක්ද?

භාතිකාභය රජතුමා දෑ සමන් මලින් ආවරණයක් සාදා දවස් හතක් වැව්වලින් වතුර ඉසීමේ ක්‍රමවේදයක් සැකසූ බවද සඳහන් වේ. තවද, මුතුවලින් මුළු සෑයම වසා පුද පූජා කළ බව ද සඳහන් වේ. මහදැලියාමාන රජු මේ සෑය මළුවෙහිම පහන් දල්වා පුදසත්කාර කර ඇත.

වර්තමානයේ බොහෝ මිනිසුන් තමන්ට කරදරයක් වූ වහාම නොයෙකුත් දේවාල යන්ත්‍රමන්ත්‍ර පසුපස නොගොස් මේ මහ සෑයේ සෙවණට විත් සෑය වටා තෙවරක් ප්‍රදක්ෂිණා කොට පිරිත් කියා, මේ ගර්භය තුළ වැඩ සිටින ඒ තථාගතයන් වහන්සේගේ සිරිපතුල් වන්දනා මාන කරනවා යැයි සිතා මහා සෑයට නළල තබා වඳීන්න. ඔබට ඒකාන්තයෙන්ම සෙත සැලසෙනවාමයි. ඔබට දරු සම්පත නොමැති නම් මහ සෑයට විත් මේ උතුම් පින්බිමේ අනුහසින් පින්වත් දරු සම්පත් ලබාගන්න. සෑයට පුදසත්කාර කරන්න. ඔබගේ යම් අකුසල කර්ම තිබේ නම්, එම අකුසල කර්ම යට පත් වී ඔබට සෙත සැලසෙයි. එය ඒකාන්තයි. මේ සෑයට නළල තබන විට ඔබගේ යම් අමනුස්ස දෝසක් තිබේනම් ඔවුන් ඔබේ ශරීරයෙන් ඉවත්ව පලා යනවා.

සැදැහැ සිතින් වන්දනා මාන කරන ඔබට නෙක කරදරවලින් මිදීමට එකම පිහිට මේ සෑයයි.

සියලු දෙවිවරු මෙතනට වඩිනවා නම්, සෑය නමස්කාර කරන්න. ඔබ දේවාල පසුපස යන්නේ කුමටද? පැමිණ ඔබේ දුක දෙවියන්ට පවසන්න. ඔබට පිහිට අනිවාර්යයෙන්ම ලැබේවි. ඔබේ කුඩා දරුවන් රැගෙන විත් බුදු සරිපා මත තබනවා යැයි සිතා සෑය මත තබා දරුවා සෑයට පූජා කොට මගේ පුතා අද පටන් බුදුන්, දහම්, සඟුන් සරණ යන දරුවෙක් වේවා යැයි පාර්ථනා කරන්න. එම දරුවන්ට සෙත සැලසෙනවාමයි. විවාහවීමට සිටින ඔබ මේ ස්ථානයයෙන් ආශීර්වාදය ලබාගන්න. කුසට දරුවකු ලැබී ඇත්නම් මේ පුදබිමට පැමිණ කුස අතගාමින් මේ මාගේ දරුවා මහ සෑයට භාරකර අද පටන් මේ දරුවා බුදුන්, දහම්, සඟුන් සරණ යන දරුවෙක් වේවා කියා ප්‍රාර්ථනා කරන්න. ඒකාන්තයෙන්ම දරුවාටත් ඔබටත් සෙත සැලසෙනවාමයි . ඔබ තවත් අසරණ නැහැ. ධාතුන් වහන්සේලාට වඳීන අවසාන පුද්ගලයා මේ ධරණී තලයෙන් නික්මී ගියවිට මේ මහ සෑයට අවුරුදු 5000 පිරී අවසන් වේ. එවිට මුළු ශ්‍රී ලංකාවේම ධාතුන් වහන්සේලා මේ සෑය මත එකතු වී සෑය දෙබෑ වී ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා එළියට විත් භාරත භූමියේදී බුදුරුව මැවී දැවී ගොස් මහා ධාතු පරිණිර්වානය සිදුවීමට පෙර වහා වහා පින් රැස්කර ගන්න. ඉන්පසු කිසිම සරණක් නොමැති කටුක අඳුරු කාලයක ඔබ අසරණ වේවි... අඩුම තරමේ මසකට වතාවක් හෝ මේ උතුම් සෑය වැඳ‍පුදා ගන්න.

ඔබටත් මටත් එකම පිහිට වන මේ මහා සෑයට මාගේ නමස්කාරය වේවා!

බුදුසරණයි!


පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ දෙසූ ධර්ම දේශනාවක් ඇසුරෙනි.


ඡායාරූප - අන්තර්ජාලයෙනි

 උපුටා ගැනිමකි තරුණී පුවත්පතෙ පල වු ලිපි පෙලකි

No comments:

Post a Comment