Labels

Monday, March 8, 2021

සංසාරයේ කළ කර්ම නිසා ජීවිතය විඳවනවා ද?

 


ආ දරය කියන වචනයට අප කාටවත් නිශ්චිත නිර්වචනයක් දිය නොහැකියි. විටෙක ආදරය සුන්දර අත්දැකීමක් වන අතර තවත් විටෙක එය අසුන්දර අත්දෑකීමක් ගෙන දෙයි. අද සමාජ රටාව දිහා බලනකොට පෙනෙන්නේ තාරුණ්‍යය විනාශ වෙමින් යන යුගයක් බවයි.

බොහෝ විට අද ඇතිවෙන ආදර සබඳතාවලට පැවැත්මක් නැහැ. අවාසනාවකට මේ රටේ විවාහ වන අයට වඩා දික්කසාද වන ප්‍රතිශතය වැඩියි. බොහොමයක් තරුණියන්ගේ ඉවසීමේ ගුණය, ප්‍රශ්නවලට මුහුණ දෙන්න තිබෙන හැකියාව ඉතාමත් දුර්වලයි. පිරිමින්ගෙත් දුර්වලතා නැතුවම නොවේ. නමුත් සමාජීය දැනුම ගත්විට කාන්තාවන් සිටින්නේ ඉතාමත් පහළ තැනක. තම බිරියගේ හෝ සැමියාගේ මොන අඩුපාඩුව තිබුණත් එම ප්‍රශ්න පිටතට නොදී බුද්ධිමත් භාවයෙන් එය විසඳගන්නේ නම් මේ සමාජ රටාව මීට වැඩිය වෙනස් වේවි. දේවේශයෙන්, ක්‍රෝධයෙන් ප්‍රශ්න විසඳාගත නොහැකියි.

වැඩිහිටියෝ ඔහේ වයසට ගියා ඇරෙන්න ධර්මයෙන් ගුණයෙන් පොහොසත් නැහැ. දරුවන් විවාහ කර දුන්නා නම් එතැනින් එහාට ඔවුන්ගේ අලුත් ජීවිතයට අඟිලි ගැසීම ඔවුන්ට අයත් කාරණයක් නොවෙයි. ඒ ජීවිතය අයිති ඔවුන්ටය. බොහෝ දික්කසාදයන්ට මුල මාපියන්ගේ අනිසි බලපෑම්.

සාමාන්‍යයෙන් දරුවෙක් ඉන්න තරුණ පවුලක් ගන්න. ඔවුන්ගේ ජීවිත ගොඩ නැඟී ඇත්තේ අනාගත සමාජ රටාවට ඔබින ආකාරයටයි. ඔවුන් හිතන විදිය ද වෙනස්. ඔවුන්ගේ ජීවිතවලට ප්‍රශ්නයක් එනවිට සමහර මාපියෝ, නෑයෝ, වටපිටාවේ ඉන්න අසල්වැසියෝ තමා තීරණය කරන්නේ එම තරුණ යුවළ ජීවත් විය යුත්තේ මොන ක්‍රමයට ද කියා. අන්තිමට එම පුංචි පවුල දික්කසාදයෙන් විවාහය කෙළවර කර ගන්නවා. මේ විනාශයට දායක වූ සියලුදෙනා කර්මයක් රැස් කරගන්නවා.

මේ සිදුවීමේ ප්‍රධානම විනාශය තමා දරුවන්ට තම මාපියන් අහිමි වී යාම. ගැහැනියට තව පිරිමියෙක් සොයාගත හැකි අතර පිරිමියාට ද තව ගැහැනියක් සොයාගත හැකියි. නමුත් ළමයින්ට මාපියෝ සොයාගත හැකි ද? එම නිසා ඉක්මන් තීරණවලට එළැඹෙන්න කලින් මොහොතක් සිතන්න. සියලු දෙනාම ලෝකයට ඉපදෙන්නේ කර්මය දායාද කරගෙනයි. ඔබේ ජීවිතයට මොන ප්‍රශ්නය ආවත් වටහාගත යුත්තේ එක දෙයයි. එනම් බැඳීම් නිසා අතිවෙන දුක පිළිබඳයි. බැඳීමක්, නැතිනම් කෙනකුට ඇති කැමැත්තක් නිසා ඔබ මිය ගියහොත් ඔබ ඒකාන්තයෙන්ම පේ‍්‍රත බවයක් කරා යනවා. ඉන්පසු ආත්ම ගාණක් දුක් විඳිමින් තව තවත් කර්ම රැස්කරගෙන නීරයකට වැටුණොත් ඔබට තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගයයි අහිමි වී යන්නේ. එම නිසා සිතෙන්, කයෙන් ක්‍රියාවක් සිදුකිරීමට ප්‍රථම මොහොතක් සිතන්න.

අපි අපේ ජීවිතේ සබඳතා ලෙස ගත්තොත්, එනම් මේ ලෝකයේ අපට මුණ ගැහෙන අය ගතහොත් සාමාන්‍යයෙන් මවුපියෝ හැටියට වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියන් හැටියට වෙන්න පුළුවන්, අසල්වැසියෝ විදියට වෙන්න පුළුවන් පෙම්වතා, පෙම්වතිය හැටියට ඔය මුණගැහෙන සෑම දෙනාගේම සංසාරික සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය පිනක් විපාක දෙන්න වෙන්න පුළුවන්, අකුසල විපාකයක් විපාක දෙන්න වෙන්න පුළුවන්.

සංසාරේ මේ අයත් එක්ක ජීවත් වුණ ආත්ම භවයන්වල එකට කරපු පින්කම් තියෙන්න පුළුවන්. සමහර විට එකට එකතු වී කරපු පව් තිබෙන්න පුළුවන්. අපි යම් දෙයක් කළා ද ඊට අදාළ හොඳ හෝ නරක විපාක විඳින්න සිදුවෙනවාමයි. එම නිසා කිසිම කෙනකුට මේ ලෝකයේ අසාධාරණයක් වී නැහැ. අද ඔබේ පෙම්වතිය, පෙම්වතා ඔබව රවටනවා ද? ඔබේ බිරිය හෝ ස්වාමියා ඔබට අකීකරු ද? ඔබට අපි‍්‍රයයන් හා එක්වීමට සිදුවෙනවා ද? ඒ ඔබ සසරේ කළා වූ කර්ම විපාකයන්මයි. එවිට ඔබ මානසිකව ඇඳ නොවැටී පුළුවන් තරම් කුසල් දහම් වඩමින් පිනෙන් ශක්තිමත් වෙන්න. ඇසට කඳුළක් එන සෑම මොහොතකම ඔබ සසරේ ගෙවපු කර්මයක් ගෙවා අවසන් කරන බව හැම විටම සිතට ගන්න. මෙහි සැඟව ඇති ධර්මය නම් කෙනකු අකුසල කර්මයක් ගෙවා දමන විට තව කෙනකු අකුසල කර්මයක් සිදුකර ගන්නවා.

අපේ පන්සලට ආවා මාපියන් සමඟ තරුණ දුවෙක්. දුව බෝමළුව පිරිසුදු කරන මොහොතේ මව මා මුණ ගැහෙන්න පැමිණියා. කාරණාව විමසූ විට එම මව මෙසේ පැවසුවා. "අපේ දුව පිරිමි ළමයෙක් එක්ක ප්‍රේම සබඳතාවක් ඇතිකරගත්තා. ඒ දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා කියා දැනගත්තාට පස්සේ අපි ඒ සම්බන්ධයට විරුද්ධ වුණා. පස්සේ දුව ඒ පිරිමි ළමයා සමඟ පැනලා ගියා. අපි හොයාගෙන ගිහින් දුවව බොහෝම අමාරුවෙන් ගෙදර එක්ක ආවා. පසුව මවුපියෝ විදියට සැර නොවි මේ සම්බන්ධය පිළිබඳ සන්සුන්ව කතා කළා. දුව කියනවා මට එයාව අමතක කරන්න බැහැ අම්මේ එයා මට ගොඩක් ආදරෙයි. මගේ නම පවා අතේ කොටාගෙන ඉන්නේ. එයා අතේ කැළලක් ඇතිකර ගත්තේ මට ගොඩක් ආදරේ නිසානේ." නමුත් ඒ බුද්ධිමත් මාපියෝ ඒ ප්‍රශ්නය බොහෝම ලස්සනට විසඳුවා. "දුව ඔය සම්බන්දෙට කොච්චර කාලයක් වෙනව ද?" දුව කිව්වා "මාස 4යි" කියා. මම ඇයට පැවසුවා "පුතේ මගේ බඩ දිහා බලන්න. මං දස මාසයක් ඔයා බඩේ තියාගෙන ලොවට බිහිකළා. ඔයාව ගත්තේ බඩේ සැත්කමක් කරලා මේ කැළල අවුරුදු 21 තිස්සේ තියෙනවා. දැන් දුවට අවුරුදු 21යි. අවුරුදු 21 තිස්සේ අපේ ආදරය අඩුවුණා ද මේ විදියට තීරණයක් ගන්න" කියා. දුව එදා පටන් ජීවිතය තේරුම් ගත්තා. දැන් අපි හොඳින් ජීවත් වෙනවා. පින්වතුනි, ඒ දුව බැඳීමක් නිසා සිදුකරගන්න ගිය විනාශය බුද්ධිමත් මවුපියන් විසින් බේරගත්තා. පසුව අර පිරිමි ළමයා ගැන සොයා බලන විට දැනගත්තා ගැහැනු ළමයි අමාරුවේ දමා සල්ලි කඩා ගන්න මිනිහෙක් බව. ඒ දරුවට විපාක දීමට අකුසල කර්මයක් පැමිණියත්, මාපියන්ගේ පින්වත් බාවයෙන් ඇඟේ අකුසල කර්මය අහෝසි වී ගියා.

තාවකාලික ආශ්වාදයන් නිසා කොතරම් තරුණ ජීවිත විනාශවෙනවා ද? අද ඔය තරුණ ළමයි දුරකථනය ඔස්සේ කොතරම් බැඳීම් ඇතිකර ගන්නවා ද? එකවර තරුණයන් හෝ තරුණියන් කිහිප දෙනකු සමඟ සබඳතා ඇති කර ගන්නවා තාවකාලික අශ්වාදය නිසා. ඒ පුද්ගලයන් නොදැනුවත්වම පරිහානියට යනවා. සමාජයෙනුත් කොන්වෙනවා. කවදා හෝ දවසක ඇය හෝ ඔහු විවාහයක් සිදුකර ගැනීමට ගියත් ඔවුන්ට කවමදාවත් සැබෑ ආදරයක් නම් හිමි වෙන්නේ නැහැ. ඔබ අන් අයව රවටනවා සේම ඔබත් රැවටෙනවාමයි.

ඔබට යහපත් බැඳීමක් ඇතිකර ගැනීමට අවශ්‍ය නම් බුදුන් වහන්සේ උපමාවකින් පෙන්වා දෙනවා ස්වාමියා හෝ බිරිය තුළ ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා යන ගුණ ධර්ම තිබෙනවා නම් එවැනි දෙන්නකුගේ විවාහ ජීවිතයක් දෙවියෙක්, දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගෙයි. හැබයි ස්වාමියා ශ්‍රද්ධාවක් නැහැ මෙලෝ සීලයක් නැහැ. පිනට දහමට නැඹුරුවක් නැහැ, කර්ම ඵල පිළිබඳ විශ්වාසයක් නැහැ. නමුත් බිරිය මේ හැමදෙයකින්ම පරිපුර්ණයි. සංසාරේ කර්ම විපාකයකට ස්වාමියා ඒ වගේ නම් බුදුන් වහන්සේ උපමාවකින් පෙන්වා දෙනවා. දිව්‍යාංගනාවක් මළමිනියක් සමඟ වාසය කරන්න වුණා හා සමානයි. ඊළඟට බුදුන්වහන්සේ වදාලා සමහර විවාහ ජීවිත තියෙනවා ස්වාමියා දෙවියෙක් වගේ බොහෝ ගුණධර්ම ඇති පින්වන්ත කෙනෙක් හැබැයි බිරිය යක්ෂණියක් වගෙයි. මේ බිරිය ස්වාමියා කරන කිසිම දෙයකට කැමැති නැහැ. තමන්ගේ පෙර අකුසලයකට මෙවැනි බිරියක් නම් ලැබී ඇත්තේ එම අකුසලය ගෙවෙනකම් එම බිරියත් එක්ක ඉන්න සිද්ධවෙනවා. බුදුන්වහන්සේ පෙන්වා දෙනවා. හරියට දෙවියකුට යක්ෂණියක් ලැබුණා හා සමානයි කියා. ඊළඟට බුදුන්වහන්සේ පෙන්නුවා ලෝකයේ ස්වාමියා, බිරිය දෙන්නම ගත්තත් දෙන්නටම ශ්‍රද්ධාව නැහැ. දෙන්නම දුස්ශීලයි. දෙන්නම අනාචාරයේ හැසිරෙනවා. එහෙම අයට තතාගතයන් වහන්සේ උපමාවකින් පෙන්වනවා. මළමිනියක් මළමිනියක් සමඟම වාසය කරනවා හා සමානයි කියා.

විවාහ වී ඉන්න අයට වගේම විවාහ වෙන්න ඉන්න අයටත් මේ දේශනාව බොහොම වැදගත්. විවාහ වුණාම ජීවිතයට ප්‍රශ්නයක් හටගත් විගස ඔබ දන්නවා මේ සසරේ කරපු කර්මයක් බව. එම කර්මය ගෙවිය යුතු බවත් අවබෝධ කරගන්නවා. නැත්නම් දෙන්නට දෙන්නා බැණගෙන. ගහමරාගෙන තව තවත් කර්ම රැස්කර ගන්නේ නැතිව ඉවසීමෙන් මේක තේරුම් ගෙන බුද්ධිමත්ව එම විපාක ගෙවාදමන්න දක්ෂ වෙන්න. නැත්නම් සසර පුරාවටම මේ කර්ම ගෙවන්න සිද්ධ වෙයි. එම නිසා අපි කවුරුත් ඉපදීම දුකක් බව වටහාගත යුතුයි. ඉපදීම නිසාම කර්ම රැස්කර ගනිමින් සසර පුරාවටම මේ ගමන යනවා.

බුදුන්වහන්සේ පෙන්වා දුන්නේ රහතන් වහන්සේලා පමණයි පහනක් නිවී යන්නා සේ මේ සසරෙන් නික්ම යන්නේ.

එම නිසා අප අලුත් කර්ම රැස්කරමින්, පරණ කර්ම ගෙවා දමමින් මේ සසර පුරා ගමන් කරනවා. පෙර කර්ම ගෙවන්න තිබුණත් මෙහි යථා සොබාවය තේරුම් ගත්ත කෙනා අලුතින් අකුසල කර්ම රැස් කරන්නෙ නැහැ. එයා ඒක තේරුම් ගෙන

සබ්බ පාපස්ස අකරණං (සියලු අකුසල පාප කර්මයන්ගෙන් වළකිනවා) කුසලස්ස උප සම්පදා (එයා රැස් කරන්නේ පුළුවන් තරම් කුසල කර්ම පමණයි) සචිත්ත පරියෝ දපනං (තමන්ගේ හිත දමනය කරගන්නවා.) ඒතං බුද්ධානු සාසනං (සියලුම බුදුන් වහන්සේලා දේශනා කළේ මෙයයි.

එම නිසා ජීවිතයේ දුකට පත්නොවී තතාගතයන් වහන්සේගේ ධර්මයේ සරණම යන්න.

 

පූජ්‍ය ගලිගමුවේ ඥානදීප

ස්වාමීන් වහන්සේ දෙසූ ධර්ම දේශනාවක් ඇසුරෙණි.


2021 පෙබරවාරි 10  තරුණි පුවත්පත පල වු ලිපියකි

No comments:

Post a Comment