Labels

Sunday, April 29, 2018

චුතිය හා ප්‍රතිසන්ධිය අතර අන්තරාභවයක් තිබෙනවා ද?

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 20

භික්ෂුවක් වී ඉන්න කාලයේ කෙනෙක් හොඳට ධර්මය ඉගෙන ගෙන කටපාඩම් කරගෙන දරාගෙන තියෙනවා. විශේෂයෙන් ම ධර්මය ඉගෙන ගත්තේ හොඳට ප්‍රාර්ථනා පිහිටුවාගෙන, ඊළඟ ජීවිතයේදීත් මහණදම් පුරන්න ලැබේවා යි කියන ප්‍රාර්ථනාවෙන් තමයි ඒ කටයුතු කරලා තියෙන්නේ කියලා හිතන්න. ඒ හැම ක්‍රියාවක දී ම කුසල් සිත පහළ වුණා. ඒ පහළ වුණ කුසල් සියල්ලක් තුළ ම අවිජ්ජා, තණ්හා, උපාදාන පහළ වුණා.

ඇයි? නැවත හොඳ භික්ෂු ජීවිතයක් ප්‍රාර්ථනා කළේ. එතකොට මරණාසන්න වෙලාවේ දී පහළ වුණා අර බල සම්පන්න, ඒ ධර්මය ඉගෙන ගත්ත කුසල ය. ඒ කුසලයට අනුව මනුස්ස ලෝකයේ උපත ලැබුවා. ඒ උප්පත්තිය ත්‍රිහේතුක මනුස්ස ආත්මයක්! ත්‍රිහේතුක යන්නෙහි අදහස ආලෝභ, අදෝශ, අමෝහ යන විපාක හේතු තුන් දෙනා නිසා හටගත්තා යන්නයි. ත්‍රිහේතුක මනුස්ස 
ආත්මයක් ලැබූ නිසා තමයි මහණ වෙන්න ලැබුණේ. ත්‍රිහේතුක මනුස්ස ආත්මයක් ලැබූ නිසා තමයි ධර්මය ඉගෙන ගන්න, කටපාඩම් කරන්න දේශනා කරන්න මේ හැම දෙයක් ම ලැබුණේ.

ප්‍රතිසන්ධි අවස්ථාවේ පහළ වුණ ප්‍රතිසන්ධි සිත, විඤ්ඤාණය යි. එතකොට අවිද්‍යාවයි, අතීත ජීවිතේ මරණාසන්න වේලාවේ සංස්කාර පහළ වෙලා, ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඔහුට පහළ වුණා. මව් කුසේ දී ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය පහළ වෙන්නෙ කොහොම ද? දැන් මේ සිත කියන එක පහළ වෙන්නේ කොහොම ද? එය හරියට ම කියනවා නම් මේ වගෙයි. කූඩැල්ලා තැනක් අත අරින්නෙ තව තැනක් අල්ලගෙන නේ. ඒවගේ ම තමයි ඊළඟ චිත්තක්ෂණයේ දී ප්‍රතිසන්ධි ලබනවා කොහේ හරි. මේ චුතියයි ප්‍රතිසන්ධියයි අතර අන්තරා භවයක් නැහැ.

උතුම් සරණ

සීහළවත්ථු කතා:

ඈත අතීතයේ රුහුණු දනව්වේ දීඝායු (දීඝවාපි මහා සෑය) නමින් මහා සෑයක් විය. ඒ සෑය මුදුනේ නංවා තිබු කොඩියක් සුළඟින් ගසාගෙන ගොස් එක්තරා ගොවියෙකුගේ ගොයම් කෙතකට වැටුණි.
දිනක් මේ කුඹුරු හිමියා අස්වැන්න බැලීමට කුඹුරේ ඇවිදින කල්හි ඒ කොඩිය දැක එහි ලියා තිබූ අකුරුවලින් දීඝවාපී මහා සෑයේ කොඩියක් බව දැන දැනම එය වෙන්කොට නො තබා එයට ගෞරව නො කොට ලෝභ සිතක් ඇතිව ශරීරය වටා කොඩිය ඔතාගෙන ගියේ ය.
ඔහුගේ ආයුෂ ගෙවුණි. මරණයට පත් හෙතෙම යකඩ තහඩු දහසකින් වෙළුණු පේ‍්‍රතයෙක් ව උපන්නේ ය. දැවෙන ශරීර ඇති පේ‍්‍රතයා බෝපිටිය නම් ගමට ආයේ ය. පිණ්ඩපාතිකව ජීවත්වන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සමීපයට ගොස් වැඳ ඇඟිලි බැඳගෙන දුරින් සිටියේ ය. ඔහු දුටු තෙරණුවෝ
”නුඹගේ මුලු සිරුර ලෝහ තහඩුවකින් වෙලා ඇති පරිදි වැසී ඇත. ගිනි පැහැයෙන් යුතු ය. මෙහි සිටින නුඹ කවරෙක් ද?”
”ස්වාමිනි, මම යකඩ තහඩු දහසකින් ආවරණය වූ ශරීරයකින් හැමවිටම දැවෙමින් සිටින පේ‍්‍රතයෙකි”
”නුඹ විසින් කයින්, වචනයෙන්, සිතින් කිනම් පවක් කරන ලද්දේ ද? කවර කර්ම විපාකයක් නිසා යකඩ තහඩුවලින් දැවෙන්නේ ද?”

සෑම ගෘහයක් ම නිවසක් ද ?


 මුදල් තිබෙන ඕනෑ ම කෙනකුට ගෘහයක් හදාගැනීමේ හැකියාව තිබෙන්න පුළුවන්. ඒත් නිවහනක් හදාගන්න එහෙම බැහැ. ආදරය, සෙනෙහස, දයාව, අන්‍ය අදහස්වලට ගරුකිරීම, ඉවසීම වැනි උතුම් යහපත් සිරිත් නිවසක් තුළ තිබිය යුතු යි. ගෘහ මන්දිරයක හා නිවස අතරේ තිබෙන වෙනස එයයි."

මනා ගෘහ පාලනය පිළිබඳ බුදු දහම කරුණු දක්වන්නේ කෙසේද? යන්න පිළිබඳව අවබෝධ කරගැනීම වැදගත් වේ. සාමාන්‍යයෙන් ගෘහ මූලිකයා පිරිමියා වුව ද, නිවසෙහි නායකත්වය හිමි වන්නේ ස්ත්‍රියට යි. නායකත්වය බලෙන් ලබාගන්න යනවාට වඩා ඉබේ ම ලැබෙන ලෙසට කටයුතු කළ යුතු යි. අම්මාගෙන් ගෙදරට ලැබෙන සේවය අනුව ඇයට එහි නායකත්වය හිමි වෙයි.

තමන් කරන වැඩ කොටස සේවය ලෙස හැඳින්විය හැකියි. මෙම සේවය විෂයයෙහි මඟ පෙන්වීමක් කළ හැකිවීම සුවිශේෂී ලක්ෂණයක්. ගෙදර අන්තිමට ම නින්දට යන තැනැත්තී අම්මා විය යුතු බවට බුදුදහම අවධාරණය කරන්නේ එම නිසාම යි. විවාහක කාන්තාවක් විශේෂයෙන්ම තමන්ගේ ඇවතුම් පැවතුම් හා කතාබහ පිළිබඳ ව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. තමා කරන කියන දෙය පිළිබඳ ව පුර්වයෙන් සිතිය යුතු යි. නිවසෙහි ස්වාධිපත්‍යය ආරක්ෂා කරගැනීම සඳහා ද, නිවසෙහි ආරක්ෂාව තහවුරුවීම සඳහා ද එය බෙහෙවින් ඉවහල් වෙයි .

වාසය කිරීමට සුදුසු ප්‍රදේශයක් නොවූ තැන .


සදාචාරාත්මක වශයෙන් නිසි මඟපෙන්වීමක් හා අනුශාසනයක් නොවූ නිසා තමා පාපයට යොමුවුණු බව ඇය සඳහන් කරයි. ඇය වාසය කළ ගම පතිරූපදේශයක් නොවේ. මිථ්‍යා දෘෂ්ටික මිනිසුන් බහුල ප්‍රදේශයකි. පතිරූපදේශ වාසය මංගල සම්මත ය. එය දෙලොව දියුණුවට හේතු වේ. එසේ ම වරදින් නිදහස් වීම ට සදාචාරාත්මක මඟපෙන්වීමක් හෝ අනුශාසනයක් අවශ්‍ය වේ. එය ලොකු කුඩා සියලු දෙනාට ම වලංගු වේ."

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි මගධයේ “ඉට්ඨකාවතී” නම් ග්‍රාමයෙහි විසූ එක්තරා ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

මගධ රටෙහි “ඉට්ඨාවතී” හා “දීඝරාජී” යනුවෙන් ගම් දෙකක් විය. එහි වාසය කළ බොහෝ දෙනෙක් පවට නැඹුරු වූ අදහැමි පුද්ගලයෝ වූහ. ඉට්ඨකාවතී නඟරයෙහි වාසය කළ එක්තරා කාන්තාවක් නිතර පණුවන් හා පළඟැටියන් මරමින් බොහෝ පව් සිදු කළ අතර එම පාප කර්මයේ විපාක වශයෙන් ඇය මරණින් පසුව ප්‍රේත ලෝකයෙහි උපන්නා ය.
ප්‍රාණ ඝාතය හේතුවෙන් ප්‍රේත ලෝකයෙහි උපන් ඇය වසර පන්සියයක් මුළුල්ලේ බඩසයින් පෙළෙමින් අපමණ දුක් වින්දා ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉට්ඨකාවතී ග්‍රාමයේ එක්තරා කුලයක දැරියක් ව ඉපිද සත් හැවිරිදි වියට පත්ව ගම්වාසී සෙසු දැරියන් සමඟ පාරතොටේ සෙල්ලම් කරමින් කාලය ගත කළා ය. මේ අවදියේ සැරියුත් මහ රහතන් වහන්සේ එම ග්‍රාමය ගොදුරු කොට පිහිටි අරුණවතී විහාරයේ වැඩ වාසය කළහ.

සිරිතට අනුව පිරිතට ආරාධනා කිරීම

පිරුවානා පොත් වහන්සේ

පිරුවානා යන වචනයෙහි තේරුම කටපාඩම් කරන යන අදහසයි. මෙහි ඇති සූත්‍ර අනිවාර්යයෙන් ම පැවිදි වීමට පෙර වාචෝත්ගත කරගත යුතු බව අතීතයේ පිළිගත් මතයයි. අනුරාධපුර ජේතවනාරාම ශි්ලා ලේඛනයක ‘මහණ කරත් පිරිත් සතර බණවර පිරියත් වූවන් මහණ කරනු ඉසා’ යන්නෙන් සතර බණවර කටපාඩම් අය පමණක් පැවිදි කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.
බණවර සතරකින්, සූත්‍ර විසිදෙකකින් සැදුම් ලත් වර්තමානයේ භාවිතයට ගන්නා පිරිත් පොත් වහන්සේ මහා විහාර භික්ෂූන්ගේ අභිමතය පරිදි සකස් කළ බව සඳහන් වේ.
අතීතයේ දී ලංකාවේ භික්ෂු සම්ප්‍රදායන් දෙකක් දක්නට ලැබිණ. එක් සම්ප්‍රදායක් වන්නේ විදර්ශනා ධූරය සපුරමින් වහ වහා විමුක්තිය පසක් කර ගැනීමට ප්‍රයත්න දැරූ පිරිසයි. දෙවන කණ්ඩායම වන්නේ ගිහි ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරමින් තමන් ද විමුක්තිය සලසා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ පිරිසයි.
බුදුරදුන් සිඟාලෝවාද සූත්‍රයේ දී, ගිහි උපාසක උපාසිකාවන්ගෙන් සිවුපසයෙන් උපස්ථාන ලබන භික්ෂූන් වහන්සේ ගිහියන් උදෙසා යුතුකම් හයක් ඉටු කළ යුතු බව දක්වා තිබේ. ඒවා නම්,
පවින් වැළැක්වීම, කුසලයෙහි යෙදවීම, කලණ සිතින් අනුග්‍රහ දැක්වීම, නොඇසූ විරූ දහම් ඇස්සවීම, අසා ඇති දහම් පිරිසුදු කරවීම, සුගතියට මග කීම, යනාදී කාර්යයන් වේ. බුදුරදුන්ගේ මෙම උපදේශය මැනවින් වටහාගත් ග්‍රන්ථධූරය දැරූ භික්ෂූන් වහන්සේලා ගිහි ජනතාවට ලෞකික ජීවිතයේ විවිධ ගැටලු සංසිඳුවාගෙන උසස් ජීවන තත්ත්වයකට ළඟාවීම සඳහා ඇවැසි ආශිර්වාදයන් නො අඩුව ලබාදීම සඳහා වර්තමාන පිරුවානා පොත් වහන්සේ ක්‍රමානුකූලව සකස් කළ බව හඳුනාගත හැකි ය.

ශ්‍රමාභිමානවත් දැහැමි ජීවිතය

සසර වූ කලී සරු බිමක් නොව නිසරු බිමකි. සැප ඇති තැනක් නොව දුක් ඇති තැනකි. සියලු දේ දුක මතම පිහිටා ඇති බව ‘දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ” යන්නෙන් පැහැදිලි වේ. සසර වසනාතාක් දුක ම විඳිය යුතු අතර සසරින් එතෙර වීම ම සැපත වශයෙන් බුදුදහමේ මූලික ඉගැන්වීමයි. අප සැප යයි ගන්නා සියලු දේ හි ම වන්නේ දුකම ය. එය බුදු දහමේ යථාර්ථයයි.
එසේ වූවද සැපක් ගැන කතා නොකරන දහමක් නොවන බව බුද්ධ දේශිත කරුණුවලින් සනාථ කළ හැකි ය. ඒ අනුව ගිහියා විඳින සැප මෙන්ම පැවිද්දා ලබන සැප විසිහතරක් ගැන සඳහන් වේ.

ගිහි සුවය, පැවිදි සුවය නමින් හඳුන්වන්නේ සැනසීමයි. සතුටුවීමයි. මෙහිලා ගිහියා විඳින සුවයට වඩා විශාල සුවයක් පැවිද්දා විසින් විඳිනු ලබයි. එම සුඛය නම් නෙක්ඛම්ම සුඛයයි. හෙවත් නිරාමිෂ පී‍්‍රතියයි. ගිහියා විඳින්නේ සාමිෂ පී‍්‍රතියයි. සාමිෂ පී‍්‍රතිය වූ කලි තාවකාලික ය. පැවිද්දාගේ සැපය සදාකාලික ය. එනම් පස්කම් සුවය විඳීමෙන් ඈත් වීම ය. හෙවත් අත හැරීමේ සැපයයි. එය ‘නත්ථි සුඛය’ හෙවත් නැත යන සැපය ලබයි. මව්පියන්, නෑදෑ හිතමිතුරන්, ධනය, වස්තුව, මිල මුදල්, රන් රිදී, මුතු මැණික් ආදියෙන් වෙන්වීමෙන් හෙවත් අත හැරීමෙන් යුතුව කිසිවෙකුට, කිසිවකට කිසිදු බැඳීමකින් තොරව, තමාට තමාවත් නොමැති බව සිතා බ්‍රහ්මචාරී හෙවත් උත්තම ජීවිතයක් ගත කිරීමයි. පැවිද්දාට ඒ නිසාම බලාපොරොත්තු කියා දෙයක් නැත. එබැවින් ජීවිතය අල්පේච්ඡ ය. අපිස්ය, චාම් ය. සැහැල්ලුය. (අප්පකිච්ච, සල්ලහුකවුත්ති) දැමුණු ඉඳුරන් ඇත්තේ ය. ලෙහෙසියෙන් පහසුවෙන් පෝෂණය කළ හැක්කේ ය. එබැවින් උන්වහන්සේ කිසිවකට නොඇළෙන්නෙකි. මෙවැනි ලක්ෂණයන්ගෙන් පිරිපුන් පැවිද්දා විඳින්නේ පැවිදි සුවයයි. එම සුවය අන් සියලු සැපයන්ට වඩා උතුම් ය. එය එසේ වුවද ගිහියාට ඒ සියල්ල අතහැර ජීවිතයක් ගත කළ නොහැකි ය. එසේ අපේක්ෂා කිරීම සාවද්‍ය ය. එබැවින් ගිහියාට අයත් සැප දැන ගත යුතු ය. දැනගෙන එය විඳිය යුතු ය. මේ අනුව ගිහියා විඳින සැප හතරක් ගැන සඳහන් වේ. අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජ සුඛය වශයෙන් ඒ සැප හතර දැක්වේ.

අලසකම විනාශයේ මුල යි

යමක වග්ගය 07-08

සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි අමත්තඤ්ඤුං
කුසීතං හීනවීරියං
තං වෙ පසහති මාරො
වාතො රුක්ඛං’ව දුබ්බලං
ජීවිතයේ සුභ පක්ෂය
බලමින් නො දමා ඉඳුරන්
පමණ නොදැන භෝජනයෙහි
කුසීත වී බෙල හීනව
විසුවොත් වනසයි මරුවා 
සැඬ පවනින් මහ තුරු මෙන්

සේතව්‍ය නුවර අසල වසන සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා යුග්මය මහා කාල සහ චූල කාල යන සහෝදරයන් දෙදෙනා අරබයා දේශනා කළහ.
සේතව්‍ය නුවර චූල කාල, මජ්ක්‍ධිම කාල හා මහා කාල නමැති සහෝදරයෝ තුන් දෙනෙක් විසූහ. වැඩිමලා හා බාලයා වූ මහා කාල හා චූල කාල ගැල් රැගෙන ඈත දුර ප්‍රදේශ වලට ගොස් කරත්ත පන්සියයක් පුරාම විවිධ වෙළෙඳ භාණ්ඩ රැගෙන එති. මජ්ක්‍ධිම කාල මේවා නිවසේ තබා ගෙන වෙළෙඳාම් කරයි.
මෙසේ ගිය එක් වතාවක ගැල් පුරා විවිධ වාණිජ භාණ්ඩ පුරවා ගෙන සැවැත් නුවර බලා එන අතර සැවැත් නුවරත් ජේතවනාරාමයත් අතර කරත්ත මුදා විවේක ගත් හ. එදින සන්ධ්‍යා භාගයෙහි සැවැත් නුවර වැසියන් මල් දම් හා සුවඳ ද්‍රව්‍ය ඇතැතිව දහම් ඇසීම පිණිස යනු දුටු මහා කාල ‘ඔබ මේ කොහි ද යන්නේ?’ යි ඔවුන් ගෙන් විමසා බණ අසන්නට යන බව දැන ‘මමත් යන්නෙමි’ යි ඉටා ගත්තේ ය. තම මලණුවන් ඇමතූ හේ ‘මල්ලී කරත්ත ටික බලා ගන්න. මා බණ අහන්නට යනවා’ යි පවසා විහාරස්ථානයට ගොස් බුදුරදුන් වැඳ ධර්ම ශ්‍රවණය පිණිස හිඳ ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ එදින දුක්ඛ සත්‍යය විවරණය කරමින් කාමාස්වාදයෙහි ආදීනව පැහැදිලි කරමින් කළ ධර්ම දේශනාව ඇසූ මහා කාල සසර කලකිරී පැවිදි විය.

මහා කාල පැවිදි වූ පුවත ඇසූ චූල කාල ද පැවිදි විය. එහෙත් ඔහු පැවිදි වූයේ කෙසේ හෝ සිය සොහොයුරා ද සමඟ ආපසු ගිහිගෙට ගෙන එන අරමුණෙනි.

පිසුණු බසක් නොකියමු



පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි එක්තරා කුලපුත්‍රයෝ දෙදෙනෙක් කාශ්‍යප බුදුරදුන්ගේ සසුනෙහි පැවිදි ව සමගියෙන් විසූහ.
මෙසේ පැවිදිව වාසය කරන කල එක්තරා පවිටු දුර්ගුණ අදහස් ඇති භික්ෂුවක් මේ දෙදෙනා වහන්සේ වෙත පැමිණ පිළිසඳරෙහි යෙදී, පසුදා මේ දෙදෙනා වහන්සේලා සමඟ පිඬු සිඟා වැඩි සේක. මෙසේ පිඬු සිඟා වැඩි ආගන්තුක භික්ෂුව මේ ගොදුරු ගම්මානය ඉතා හොඳ යැයි ද, එලෙස ම උවැසි උවැසියන් ද ඉතා සද්ධාසම්පන්න යැයි ද මෙම ගමෙහි වාසය කිරීම හොඳ යැයි ද සිතී ය.
දිනක් වැඩිහිටි තෙරුන් වහන්සේ තම උවැසි උවැසියනට ධර්ම අවවාද අනුශාසනා කොට නිම වූ කල්හි ටික වේලාවකට පසු මෙම ආගන්තුක භික්ෂුව පැමිණ “ ඔබ වහන්සේගේ අතවැසි ගෝලයෝ ඔබ වහන්සේගේ අගුණ කියති’යි යැයි පවසා භේද කළේ ය.
පසු දා මෙම ආගන්තුක භික්ෂුව පිඬු සිඟා වැඩි සේක. ඒ අවස්ථාවේ දී උවැසි උවැසියන් විසින් අනික් තෙරුන් දෙනම කොහි ගියෝ දැයි විමසූහ. එවිට පෙර දින මුළු රැයෙහි ම ඔවුනොවුන් කලහ කරගත් බව කී ය. තමා ඔවුන්ගේ අවවාද නො අසා බැහැර ගිය බවත් පැවසී ය. ඒ ඇසූ ගම්වැසියෝ ඒ භික්ෂූන් වහන්සේ ගෙන්වා තමනට අනුකම්පා කොට එම ගමෙහි වාසය කරන ලෙස අයැද සිටියහ.

Thursday, April 19, 2018

සිත දියුණු කිරීමෙන් ලැබෙන ශක්තිය අසීමිතයි

බුදුසරණ පත්‍රයේ සතිපතා පළවූ මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් අවසන් වෙයි. අද පළ වන්නේ මරණානුස්සති භාවනාවේ සාරාංශ ගත කිරීමකි. සති ගණනාවක් පළවූ මෙම ලිපි එකතුවෙහි මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් සජ්ඣායනා කර මෙනෙහි කර තම තමා ම මරණසතිය යනු කුමක්දැ’යි දැනුවත් වුණා.

බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේ, අනුදැන වදාළ මරණසතිය දියුණු කළ යුතු යි. බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක මරණසති භවනාව පිළිබඳ වදාළා. විශුද්ධි මාර්ගයේ ග්‍රන්ථයක මරණසති භාවනාව පහදා දුන් සේ දීර්ඝ වශයෙන් සඳහන් කළා. කවුරුත් මේ ගැන හසල දැනුමකින් සිත වැඩීම නම් වූ භාවනාව දියුණු කළ යුතු යි. විශේෂයෙන් භාවනාවෙන් ඇලීම ගැටීම දෙක තුරන් වෙයි. තණ්හාව සහ තරහව විශේෂයෙන් දුරු කර ගත හැකි යි. ඕනෑම කෙනෙකුට අවශ්‍යම කරන දෙයක් වන්නේ නොඇලී නොගැටී වාසය කිරීම යි. එසේනම්, ඒ සැමටම ඉතා ප්‍රයෝජනවත් ම භාවනාව ලෙස ධර්මයේ සඳහන් වන්නේ මරණානුස්සති භාවනාව යි.
මරණසති භාවනාව සමථ භාවනාවකි. එය ධ්‍යාන තත්ත්වයට ගෙන යන්නට පුළුවනි. ‘ජීවිතය අනියත යි. මරණය නියත යි.’ යන වදන් පෙළ දහස් වර දස දහස් වර මෙනෙහි කරද්දී තමාගේ චිත්ත සමාධිය තහවුරු කරගෙන ධ්‍යාන අවස්ථාවට ගෙන යන්නට පුළුවනි. ඒ මරණ සතිය ම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවනි. එය හඳුන්වන්නේ විදසුන් නුවණ ලෙස යි. සෑම භාවනාවක ම අවසානය විදර්ශනාවට හැරීමෙන් මාර්ග ඵල අවස්ථාවට සමීප වෙයි. ඒ ගැන හොඳින් වටහාගෙන කවුරුත් බුදුසරණ පත්‍රය මඟින් සති ගණනාවක් පහදා දුන් මේ භාවනා ක්‍රමය හොඳින් දියුණු කළ යුතු යි.
ගමේ විහාරස්ථානයේ සිල් ගන්නා ඇත්තන්ට ද මේ ගැන පහදා දී ඒ අයත් මරණසති භාවනාවේ යොදවන්න. එවිට තමන් දන්නා භාවනා දැනුම, අභ්‍යාසය තව බොහෝ දෙනා අතරට පත් වූවිට තමන්ටත් ඉමහත් පිනක්.
බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ, භාවනාව පිළිබඳව බොහොම වැදගත් ආකාරයෙන් පහදා දෙන්නේ. එය සම්‍යයක් නුවණ දියුණු කරන භාවනාවක්. වැරැදි මත කිසිවක් නැහැ. නිවනට යන අරමුණින් ම මේ භාවනාව දියුණු කළ යුතු යි. සිත දියුණු කරගැනීමෙන් තමන්ට ලැබෙන ශක්තිය මෙපමණ’ යි යනුවෙන් සීමාවක් සිතන්නට බැහැ.

පුණ්‍ය නිධානය

පින්කම් තුනක් පිළිබඳ ව බුදුදහමේ ඉගැන්වේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ලෙසින් හැඳින්වෙන ඒවා නම්, දානය, ශීීලය , භාවනාව ය. එහි පළමුවැන්න දානයයි. බෞද්ධයා ට ඉතාම හුරුපුරුදු හා නිතර කරනු ලබන පින්කම ද දානය යි.දානයට බුදුදහමේ සුවිශේෂී තැනක් හිමි වේ. බුද්ධකාරක ධර්ම හෙවත් පාරමිතාවන්හි පළමුවැන්න දානයයි. සතර සංග්‍රහ වස්තුවල ද, දසරාජ ධර්මවල ද, දස පුණ්‍ය ක්‍රියාවන්හි ද පළමුවැන්න දානය යි. ත්‍රිපිටකයේ මෙන් ම එහි අට්ඨ කතා ආදියෙහි ද වෙනත් බෞද්ධ ප්‍රකරණ ග්‍රන්ථවල ද, දානය පිළිබඳ නොයෙක් විස්තර මෙන් ම දානිශංස ද, ඒ හා බැඳුණු කතා ද විසීරී තිබේ. බෞද්ධයන්ගේ පින්කම් අතර දානයට මුල්තැන හිමි වී ඇත්තේ මේ හේතු කොටගෙන ය.
දානය වශයෙන් කුමක් අදහස් කෙරේ ද? සරලම පිළිතුර නම්, දානය නම්, දීම ය යන්න ය. පරිත්‍යාගය , පූජාව, අතහැරීම ආදී තේරුම් ද , දානයට දිය හැකි තේරුම් ලෙස ගත හැකි ය. දක්ෂිණා යන වචනය ත්‍රිපිටකයෙහි නොයෙක් තැන දානය යන්නට සමාන ලෙස යෙදී ඇත. පූජා බුද්ධියෙන් දීම ය , අනුග්‍රහ බුද්ධියෙන් දීම ය යනුවෙන් දන්දීමේ ක්‍රම දෙකකි. තමන්ට වඩා ශීලාදී ගුණයෙන් උසස් පුද්ගලයන්ට යමක් දීම පූජා බුද්ධියෙන් දන්දීමයි. තමන්ට වඩා ගුණයෙන් පහත් අයටත් , දුගී මගී යාචකයන්ටත් , බලු කපුටු ආදී තිරිසන් ගත සත්ත්වයන්ටත් යමක් දීම අනුග්‍රහ බුද්ධියෙන් දීම යි . පූජා බුද්ධියෙන් දන්දීම උසස් ලෙස ද ,දැඩි ආනිශංස දායක පින්කමක් ලෙස ද, සැලකේ. දානය විවිධ කොටස්වලට බෙදා දැක්විය හැකි ය. මුලින්ම දානය කොටස් තුනකට බෙදිය හැකි ය. ආමිස දානය , ධර්ම දානය හා අභය දානය යනු එම කොටස් තුනයි. පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් ආහාරපාන, වස්ත්‍ර, මල් පහන් ,ගිලන්පස ,සුවඳ දුම් ආදී පූජාවන් අයත් වන්නේ ආමිස පූජා කොටසට යි. ධර්මදේශනා පැවැත්වීම, ධර්ම ශ්‍රවණයට පහසුකම් සලසාදීම, දේශකයන්ට පුජා පැවැත්වීම, දහම් පොත පත ප්‍රචලිත කිරීම, ධර්මශාලා ඉදිකිරීමට දායක වීම ආදිය ධර්ම දාන කොටසට අයත් වේ. ජීවිත දානය හෙවත් මරණයට කැපවූවන්, එයින් නිදහස් කිරීම අභයදානය ලෙස සැලකේ. ත්‍රිවිධ දානය අතරින් ධර්ම දානය උසස්ම දානය බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක . සබ්බ දානං ධම්ම දානං ජිනාති යනු එහි දේශනා පාඨයයි.

සිත පුදුම සහගත ය, කළ හැකි දේ බොහෝම ය

මනස’ මිනිස් වර්ගයාට පමණක් සීමා වූවක් නොවේ. දේව, භූත ආදී ජීවිත ගත කරන අයට ද මනසක් ඇත. එහෙත් වෙනසක් තිබේ. ‘මනස’ දියුණු කර ගැනීමේ හැකියාව මිනිසා සතුවීම ය. මිනිස් සිත සතු වන්නේ පුදුමාකාර බලයකි. ශක්තියකි. හැකියාවකි. එහෙත් එය තේරුම් ගෙන ඇත්තේ සුළු පිරිසක් පමණි. සිත දියුණු කිරීමේ අග්‍රම ඵලය ලෙසින් උතුම් සම්මා සම්බුදු පදවිය ලබන්නට පුළුවන. රහත් බව ලබන්නට පුළුවන. ධ්‍යාන ලැබීමට ද, බ්‍රහ්මලෝකවල ඉපදීමටත්, සුවිශේෂී හැකියාවන් ලබා ගැනීමටත් පුළුවන.
මෑතක් වනතුරුම බටහිර චින්තකයින් ප්‍රකාශ කළේ ‘මනස’ යනුවෙන් සුවිශේෂී දෙයක් නොමැති බව ය. එය ශරීරයෙන් උපදින ක්‍රියාකාරීත්වයක් පමණක් බව ය.
සාමාන්‍ය අධ්‍යාපනය තුළින් ගණිතය, විද්‍යාව, කලා ශිල්ප ආදී විෂයයන් උගෙන, උගත් ලෙස දියුණුවක් ලැබුව ද, ඔහු මානසික වශයෙන් දියුණුවක් ලැබ ඇතැයි නිශ්චිතව කිව නොහැකි ය. බෞද්ධ සාහිත්‍යයෙහි එන චුල්ලපන්ථක හිමියන්ගේ කතා පුවත උදාහරණයකි. නුවණ මද අයෙකු ලෙස සලකා ගුරුහිමියන් විසින් චුල්ලපන්ථක හිමියන්ට ආපසු ගෙදර යන ලෙස දන්වනු ලැබී ය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ මග පෙන්වීම අනුව ක්‍රියාත්මක වීම තුළින් මනස උපරිම මට්ටමට පත්කර ගැනීමට උන්වහන්සේට හැකි විය. මෙය සිදු වූයේ කෙසේ ද? චුල්ලපන්ථක හිමියෝ පෙර බුදුවරුන්ගෙන් පවා ධර්මය අසා දැන සිටියහ. ඒ අසා දැනගත් ධර්මය උන්වහන්සේ තුළ සැඟවී පැවතිණි. ඒ දැනුම නැවත මතු වූයේ බුදුහිමියන් පෙන්වා දුන් ක්‍රමෝපාය තුළිනි. පෙර ලද දැනුම ආවරණයකින් වැසී තිබුණ ද යෙදූ උපාය මාර්ගය නිසා එය ඉවත්විණි.


මිනිසා යනු පූර්ව ආත්මවල ලබාත් ඇති විවිධ දක්ෂතා, කුසලතා හැකියාවන් නැවතත් ලබා ගන්නට සමත් අයෙකි. පූර්ව ආත්මවල හුරු පුරුදුකම්, ගති පැවතුම්, සිරිත් විරිත් බොහෝ විට මේ ආත්මයටත් උරුම වනු ඇත. මේ ආත්මයේ දී ඒවා ප්‍රකට වීමට අවස්ථාව උදාවුවහොත්, එසේත් නැතිනම් ඒ සඳහා අදාළ ක්‍රමවේදයන් යෙදුණේ නම්, නැවත් ඒ ගති ලක්ෂණ මතුවනු ඇත. බුදුදහමෙහි එන විවිධ චරිත අධ්‍යයනය කරන විට ඒ බව සනාථ වනු ඇත.

තිසරණ සමාදානයෙහි වටිනාකම

බුද්ධිමත් ලෙස කටයුතු කරන්නා යන අර්ථය ඇති බෞද්ධයන්ට මේ ලෝකයෙහි වටිනාම රත්න තුන ලැබී ඇත්තේ ය.එනම් උතුම් වූ බුද්ධ රත්නයත්,නව ලොව්තුරා ධර්ම රත්නයත්,ආර්ය මහා සංඝ රත්නයත් යන රත්නත්‍රයන් ය. ශ්‍රද්ධාවන්ත වූ සැබෑ බෞද්ධයා මෙකී රත්නත්‍රයේ සරණ හැර වෙන සරණක් කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකරයි.
“නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං (මට බුදුන් සරණ හැර වෙන සරණක් නැත.)” “නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං (මට දහම් සරණ හැර වෙන සරණක් නැත.)” “නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං (මට සඟුන් සරණ හැර වෙන සරණක් නැත.) මෙලෙස තෙරුවන් ගුණ සමුදාය නිතර මෙනෙහි කරමින් තිසරණ සමාදන් වන සැදැහැතියන්ට නිවන් දකින තෙක් සසර පුරා අපාගත වීමක් නොමැත.
යමෙක් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය පිහිට කොට, සරණ කොට වාසය කරයි නම්, ඒ අය සුගති පරායනය වෙති. “මානුසං දේහං දේවකායං පරිපූරෙස්සන්ති.” අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ‘සරණගමනීය’ නම් හිමි නමක් ‘නිසඟ’ නමැති හිමි නමකගෙන් තිසරණය සමාදන් විය.එලෙස හිත පහදා ගනිමින්, තැන්පත් සිතින් තිසරණ සමාදන් වූ පිනෙන් අසූවාරයක් සක් දෙවිඳුව ඉපදීමටත්, හැත්තෑ පස් වාරයක් සක්විති රජ වීමටත් ,අවසන අප ගෞතම බුදු සසුනෙහි හත් අවුරුදු වියෙහිදීම රහත් වීමටත් ඒ උතුම් වූ පින හේතු වූ බව දහමේ දකින්නට ලැබේ.

Monday, April 2, 2018

කරණීය මෙත්ත සූත්‍රය


" යම් කාර්යයක් ආතතියෙන් තොරව නිම කිරීමට ඒ සඳහා කුසලතා වර්ධනය කරගත යුතුය. නිපුණත්වයට පත්විය යුතුය. අප රැකියාවේ හෝ ක්‍රීඩාවක නියැළෙනවානම් නිතිපතා පුහුණූු විය යුතු ය. නමුත් පුහුණුවන්නේ ඉතා අඩුවෙන් නම් එහි ප්‍රතිඵලය ආතතියයි."
ආතතිය අද දවසේ අපට නිතර අසන්නට ලැබෙන වදනකි. මේ ආතතිය නිසා වර්තමානයේ බොහෝදෙනා පීඩා විඳීන බව අපි දනිමු. යම් කෙනෙක් ආතතියට පත් වෙන්නේ බාහිර ලෝකයේ සිදුවන සිදුවීමකට හෝ එම සිදුවීම නිසා සිතේ ඇතිවන සිතිවිලිවලට නිසි ප්‍රතිචාර දැක්වීමට නොහැකි වූ විටය .
අද දවසේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන පිරිසගෙන් 60% වඩා වැඩි පිරිසක් ලෙඩ නිවාඩු ලබාගන්නේ ආතතිය නිසා ඇතිවූ ශාරිරික හා මානසික ව්‍යාකූලත්වය නිසා බව පර්යේෂණ මගින් සොයා ගෙන අත. ආතතිය නිසා අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වැඩිවීමේ අවදානම වැඩි බවත්, සොයා ගෙන ඇත. එසේ නම් බාහිර ලෝකයේ සිදුවන සිදුවීම්වලින් අපේ ශාරිරික, මානසික සමතුලිතතාවය නොසැලී පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය කවරේද?
මීට වසර 2500 ට පෙරදී බුදුරජාණන් වහන්සේ විසින් මේ සඳහා කදිම පිළිතුරක් ලබාදී තිබේ. මේ පිළිතුර ඇතුළත් දේශනාව කරණීය මෙත්ත සූත්‍රය නමින් හැඳින්වේ.

සංසාර දුක දිය සුළියක් සේ ය


වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 19



තථාගතයන් වහන්සේ පටිච්ච සමූප්පාදය දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන් භව තුනක් සම්බන්ධ කරගෙනයි. එනම් අතීත භව වර්තමාන භවය හා අනාගත භවයයි අතීත භවයට අයත්වෙනවා. ක්ලේශ වට්ටය සහ කම්ම වට්ටය, අවිජ්ජා කියන්නේ ක්ලේශ වට්ටයටයි. සංඛාර කියලා කියන්නේ කම්ම වට්ටයටයි. දිය සුළියක් වගේ දේකට කෙනෙක් අසුවුණොත් මොකද කරන්නේ? බේර ගන්නට බෑ. දිය සුළියෙන් ඇදගෙන ඇතුළට යනවා.
මේ සංසාරයත් දිය සුළියක් හා සමානයි. වට්ට කියා කියන්නේ ඒ නිසයි. එහෙනම් මේ සංසාර දුක, සංසාර ගමන දිය සුළියක් හා සමානයි. දැන් අපේ හිතේ ඇතිවෙනවා ක්ලේශ වට්ටය. අතීත වශයෙන් ගිය ආත්මේ ඇතිවුණා ක්ලේශ වට්ටය. ඊට පස්සේ ඇතිවෙනවා කම්ම වට්ටය.

ක්ලේශ වට්ටය පැහැදිලි කිරීමේ දී අවිජ්ජා, තණ්හා, උපාදාන යන හේතු තුනක් නිසා තමයි අපි සංඛාර එකතු කරගන්නේ. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම, තණ්හාව කියන්නෙ ආශාව, උපාදානය කියන්නේ දැඩිව ග්‍රහණය කර ගැනීම. අවිද්‍යා, තණ්හා, උපාදාන යන මේ ක්ලේශ වට්ටය නිසා තමයි කර්මය රැස්කරන්නේ. ඒවා සංඛාර කම්මයි. සංඛාර කියන්නෙ කුසල අකුසල චේතනා. ඒ නිසා ඇතිවෙන කර්ම ශක්තියට කම්ම කියා කියනවා. අන්න ඒකට අපි කම්ම වට්ට කියා කියනවා. දැන් බලන්න අපේ බුද්ධ ශාසනයේ සිටියා සුමනා රාජ නමින් කුමාරිකාවක්. කවුද සුමනා රාජකුමාරිකාව කියන්නේ? කොසොල් මහ රජ්ජුරුවන්ගේ දියණිය. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී මෙතුමියගේ තාත්තා සිටුවරයෙක්. නමුත් තාත්තා මිය ගිහින්. විපස්සි බුදුරජාණන් වහන්සේ ඇතුළුකොට ඇති හැට දහසක් මහා රහතන් වහන්සේලා එදා නුවරට පිණ්ඩපාතයේ වඩිනවා.

දරුවන් ආගමික ස්ථානයට සම්බන්ධ කළ යුතුයි

බුදුසරණ පුවත්පතෙහි 2015. 04. 03 වනදා පළවූ මෙම ලිපිය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ධුරන්දර ව වැඩ විසූ ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ට උපහාර පිණිස නැවත පළ කිරීමකි




වසර සිය ගණනක් අපේ රටේ රාජ්‍යත්වයේ සංකේතය වුණේ ඓතිහාසික අතිපූජනීය දළදා වහන්සේ.
ආගම දහම මුල් කරගත් සමාජයක් බිහිවුණේ ඒ අනුවයි. ඉවසීම, කරුණාව, දයාව වැනි මානුෂික ගුණාංග මූලික කරගත් සමාජයක්, ආර්ථිකයක් අප හදා ගන්නේ ඒ අනුව යි. ගමනක් බිමනක් ගියත් වෙළෙඳාමක් කළත් සැමවිට ම අනෙක් අය ගැන සොයා බලා වැඩ කටයුතු කිරීමට ලක්වාසි ජනතාව පුරුදු පුහුණු වුණා.

සතා සිවුපාවාට පවා ආදරය කරන්න ජනතාව පුරුදු පුහුණු වුණේ ධාර්මික ප්‍රතිපත්තීන්ට එසේ මුල් තැනක් ලබාදුන් නිසයි. පාසලේ විදුහල්පතිවරයා නැතිනම් ඉස්කෝලේ මහත්තයා, වෙද මහත්තයා, ආරච්චි මහත්තයා මුල් කරගත් අපේ සමාජය පන්සල ඇසුරු කරගෙනයි එදා සියලු වැඩ කටයුතු කළේ.