Labels

Sunday, April 29, 2018

වාසය කිරීමට සුදුසු ප්‍රදේශයක් නොවූ තැන .


සදාචාරාත්මක වශයෙන් නිසි මඟපෙන්වීමක් හා අනුශාසනයක් නොවූ නිසා තමා පාපයට යොමුවුණු බව ඇය සඳහන් කරයි. ඇය වාසය කළ ගම පතිරූපදේශයක් නොවේ. මිථ්‍යා දෘෂ්ටික මිනිසුන් බහුල ප්‍රදේශයකි. පතිරූපදේශ වාසය මංගල සම්මත ය. එය දෙලොව දියුණුවට හේතු වේ. එසේ ම වරදින් නිදහස් වීම ට සදාචාරාත්මක මඟපෙන්වීමක් හෝ අනුශාසනයක් අවශ්‍ය වේ. එය ලොකු කුඩා සියලු දෙනාට ම වලංගු වේ."

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි මගධයේ “ඉට්ඨකාවතී” නම් ග්‍රාමයෙහි විසූ එක්තරා ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

මගධ රටෙහි “ඉට්ඨාවතී” හා “දීඝරාජී” යනුවෙන් ගම් දෙකක් විය. එහි වාසය කළ බොහෝ දෙනෙක් පවට නැඹුරු වූ අදහැමි පුද්ගලයෝ වූහ. ඉට්ඨකාවතී නඟරයෙහි වාසය කළ එක්තරා කාන්තාවක් නිතර පණුවන් හා පළඟැටියන් මරමින් බොහෝ පව් සිදු කළ අතර එම පාප කර්මයේ විපාක වශයෙන් ඇය මරණින් පසුව ප්‍රේත ලෝකයෙහි උපන්නා ය.
ප්‍රාණ ඝාතය හේතුවෙන් ප්‍රේත ලෝකයෙහි උපන් ඇය වසර පන්සියයක් මුළුල්ලේ බඩසයින් පෙළෙමින් අපමණ දුක් වින්දා ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉට්ඨකාවතී ග්‍රාමයේ එක්තරා කුලයක දැරියක් ව ඉපිද සත් හැවිරිදි වියට පත්ව ගම්වාසී සෙසු දැරියන් සමඟ පාරතොටේ සෙල්ලම් කරමින් කාලය ගත කළා ය. මේ අවදියේ සැරියුත් මහ රහතන් වහන්සේ එම ග්‍රාමය ගොදුරු කොට පිහිටි අරුණවතී විහාරයේ වැඩ වාසය කළහ.

එක් දිනෙක සැරියුත් මහරහතන් වහන්සේ දොළොස් නමක් භික්ෂූන් සමඟ ඉට්ඨකාවතී ග්‍රාමය අසලින් වැඩම කළහ. මහ මඟ සෙල්ලම් කරමින් සිටි දැරියෝ උන්වහන්සේලාගේ ප්‍රසන්න ගමන් විලාසය ගැන පැහැදී වැඩිහිටියන්ගේ පුරුදුකිරීම් අනුව වහා දුවගොස් නමස්කාර කළ හ. සෙසු දැරියන් එසේ කළ ද සැදැහැ නැති කුලයෙහි උපන් දැරිය එසේ නොකර නොහික්මුණු විලාශයෙන් සිටියා ය. එම නොහික්මුණු දැරියගේ අතීතය හා අනාගතය මැනවින් පරික්ෂා කළ දම් සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේට වර්තමානයේ ද අදැහැමි පවුලක ඉපිද පව් කිරීම හේතුවෙන් නැවතත් ඇය ප්‍රේත ලෝකයක ද ඉපදෙන බව දුටු සේක. ඈ කෙරෙහි සානුකම්පිත වූ සැරියුත් මහරහතන් වහන්සේ සෙසු දැරියන් අමතා ඔබ සැම භික්ෂූන්ගේ දෙපා නමදිද්දී මේ දැරිය පමණක් එසේ නොකර සිටී යැ යි ප්‍රකාශ කළ හ.
උන්වහන්සේගේ වදනින් උනන්දු වූ දැරියෝ නොහික්මුණු දැරිය බලහත්කාරයෙන් අතින් අල්ලා ගෙනවිත් භික්ෂූන්ගේ පා වැන්ද වූ හ. නොහික්මුණු දැරිය පසු කලෙක වැඩි වියට පත්ව විවාහ පත් වූ අතර ගැබිණියක්ව සිටියදී කළුරිය කොට ප්‍රේතාත්මයක උපන්නා ය. නිරුවත් ප්‍රේතියක් වූ ඇය සා පිපාසා දෙකින් පීඩිතව ඔබමොබ ඇවිදින්නී එක් රාත්‍රියක සැරියුත් හිමියන් ඉදිරියේ පෙනී සිටියා ය. ඇට සැකිල්ලක් බඳු ඉල්පී ගිය නහරවැල් සහිත පිළිකුල් දනවන පෙනුමකින් යුක්ත ප්‍රේතිය දුටු සැරියුත් මහතෙරුන් වහන්සේ කවර හේතුවක් නිසා නග්න ප්‍රේතියක් ව දුක් විඳීන්නේ දැයි විමසූ සේක.
සැරියුත් හිමියන්ගේ පැනයට පිළිතුරු දුන් ප්‍රේතිය තමා විසින් සිදු කළ නොයෙක් පාප කර්ම නොවලහා ප්‍රකාශ කළා ය. පෙර ආත්මයේ තමා පවින් වළක්වා යහපතෙහි යෙදවීමට අවශ්‍ය මඟ පෙන්වන කෙනෙක් හෝ හොඳ නරක කුමක්දැයි පැහැදිලි කරදෙන වැඩිහිටියෙක් නොවූ හෙයින් තමා කිසිවිටෙකත් යහපතක් සිදු නොකළ බවත් නිතර ම අයහපත් දෑම සිදු කළ බව ත් සඳහන් කළා ය. තමා කළ පාප කර්ම පිළිබඳ පපොච්චාරණය කළ ප්‍රේතිය දුකින් නිදහස් වීම පිණිස ඇය වෙනුවෙන් දනක් පුදන ලෙස සැරියුත් මහරහතන් වහන්සේගෙන් අයැද සිටියා ය.
ඈ කෙරෙහි කාරුණික වූ සැරියුත් මහරහතන් වහන්සේ එක් භික්ෂූන් වහන්සේ නමකට තමන් වහන්සේ පිඬු සිඟා ලබා ගත් ආහාරයෙන් කොටසක් ද, රියනක් පමණ වූ වස්ත්‍රයක් ද පැන් කෝප්පයක් ද, ප්‍රේතියට පින් පිණිස පුජා කළ සේක. එම පුණ්‍යමය දක්‍ෂිණාව අනුමෝදන් වූ ප්‍රේතිය ප්‍රේතාත්මයෙන් නිදහස් ව දිව්‍යමය සම්පතින් ආඩ්‍යව සැරියුත් හිමියන් ඉදිරියේ පෙනී සිටියා ය. ඉක්බිති සැරියුත් මහරහතන් වහන්සේ දෙගම්වැසි මිනිසුන් විහාරයට පැමිණි අවස්ථාවෙහි එම පුවත ආශ්‍රයෙන් පාප කර්මයේ අඳුරු විපාක හා ආදීනව ගෙනහැර දක්වමින් ධර්මය දේශනාකොට ඔවුන් මිථ්‍යාදෘෂ්ටික අදහස්වලින් මුදවා ගත්ත හ. භික්ෂූන් වහන්සේලා සැරියුත් මහරහතන්වහන්සේගේ මෙම සද් ක්‍රියාව පිළිබඳ බුදුරජාණන්වහන්සේ ට දැන්වූහ. බුදුරජාණන් වහන්සේ ද එම පුවත පදනම් කර ගනිමින් රැස්ව සිටි පිරිස ට ධර්මය දේශනා කළ සේක. ප්‍රාණඝාතයේ ආදීනව පෙන්වන මෙම පේත කථාව අංශ කීපයකින් ම වැදගත් වේ.
පළඟැටියන් හා පණුවන් ඝාතනය කිරීම හේතුවෙන් මෙම කාන්තාව ප්‍රේත ලෝකයේ උපන්නා ය. බුදුසමයට අනුව ප්‍රාණඝාතය බරපතල අකුශල කර්මයකි. එය සිදුවීමට කරුණු පහක් සම්පූර්ණවිය යුතු බව ධර්මයේ සඳහන් වේ. මෙහි එන කාන්තාව දැනුවත් ව ම පළඟැටියන් හා පණුවන් ඝාතනය කිරීමෙන් ප්‍රාණඝාත අකුශලය සිදු කර ගෙන තිබේ. සචේතනිකව සිදුකරන සෑම අකුශල ක්‍රියාවකින් ම නපුරු විපාක ලැබෙන බව කර්මය පිළිබඳ බුද්ධ දේශනාවලින් පැහැදිලි වේ. ගෘහ කටයුතුවල දී මෙන් ම කෘෂිකාර්මික කටයුතුවල දී ද අප නොදැනුවත්ව කුඩා සතුන් විනාශ වීම නොවැළැක්විය හැකි ය. එසේ නොදැනුවත්ව සිදුවන ඝාතන ප්‍රාණඝාත ලෙස නොපිළිගැනේ. නිවෙස් ආදිය අපවිත්‍රව පවතින විට විවිධ සතුන් බෝවේ.
එබැවින් පිරිසුදුකම වර්ධනය කිරීමෙන් තමා අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන සත්ව ඝාතනය ද වළක්වාගත හැකිවේ. මෙම පේත කථාවෙන් තහවුරු වන තවත් වැදගත් කරුණක් වන්නේ සදාචාරාත්මක මඟ පෙන්වීමේ අවශ්‍යතාව යි. සදාචාරාත්මක වශයෙන් නිසි මඟපෙන්වීමක් හා අනුශාසනයක් නොවූ නිසා තමා පාපයට යොමුවුණු බව ඇය සඳහන් කරයි. ඇය වාසය කළ ගම පතිරූපදේශයක් නොවේ. මිථ්‍යා දෘෂ්ටික මිනිසුන් බහුල ප්‍රදේශයකි. පතිරූපදේශ වාසය මංගල සම්මත ය. එය දෙලොව දියුණුවට හේතු වේ.
 එසේ ම වරදින් නිදහස් වීම ට සදාචාරාත්මක මඟපෙන්වීමක් හෝ අනුශාසනයක් අවශ්‍ය වේ. එය ලොකු කුඩා සියලු දෙනාට ම වලංගු වේ. දරුවන් සදාචාරවත් කිරීම දෙමාපියන්ගේ මෙන් ම ගුරුවරුන්ගේ ද යුතුකමකි. පාසල, දහම් පාසල මෙන් ම පන්සලත් එකී වගකීම දරන ප්‍රධාන සමාජ ආයතනයන් ය. කුඩා කල සිට ම එකී සමාජ ආයතනවල ශික්ෂණය වන පුද්ගලයා උසස් පෞරුෂයකින් හෙබි සදාචාර සම්පන්න අයෙකි. එවැන්නෙකුතුළ පාපයට හෝ අකුශලයට ඇති නැමියාව අල්ප ය.



කොළඹ විශ්වවිද්‍යාලයේ 
බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත 
ආචාර්ය 
උඩුහාවර ආනන්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ මැදින් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ‍ ‍‍‍‍‍පෙබරවාරි 23 වන  සිකුරාදා  දින  බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment