සසර වූ කලී සරු බිමක් නොව නිසරු බිමකි. සැප ඇති තැනක් නොව දුක් ඇති තැනකි. සියලු දේ දුක මතම පිහිටා ඇති බව ‘දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ” යන්නෙන් පැහැදිලි වේ. සසර වසනාතාක් දුක ම විඳිය යුතු අතර සසරින් එතෙර වීම ම සැපත වශයෙන් බුදුදහමේ මූලික ඉගැන්වීමයි. අප සැප යයි ගන්නා සියලු දේ හි ම වන්නේ දුකම ය. එය බුදු දහමේ යථාර්ථයයි.
එසේ වූවද සැපක් ගැන කතා නොකරන දහමක් නොවන බව බුද්ධ දේශිත කරුණුවලින් සනාථ කළ හැකි ය. ඒ අනුව ගිහියා විඳින සැප මෙන්ම පැවිද්දා ලබන සැප විසිහතරක් ගැන සඳහන් වේ.
ගිහි සුවය, පැවිදි සුවය නමින් හඳුන්වන්නේ සැනසීමයි. සතුටුවීමයි. මෙහිලා ගිහියා විඳින සුවයට වඩා විශාල සුවයක් පැවිද්දා විසින් විඳිනු ලබයි. එම සුඛය නම් නෙක්ඛම්ම සුඛයයි. හෙවත් නිරාමිෂ පී‍්‍රතියයි. ගිහියා විඳින්නේ සාමිෂ පී‍්‍රතියයි. සාමිෂ පී‍්‍රතිය වූ කලි තාවකාලික ය. පැවිද්දාගේ සැපය සදාකාලික ය. එනම් පස්කම් සුවය විඳීමෙන් ඈත් වීම ය. හෙවත් අත හැරීමේ සැපයයි. එය ‘නත්ථි සුඛය’ හෙවත් නැත යන සැපය ලබයි. මව්පියන්, නෑදෑ හිතමිතුරන්, ධනය, වස්තුව, මිල මුදල්, රන් රිදී, මුතු මැණික් ආදියෙන් වෙන්වීමෙන් හෙවත් අත හැරීමෙන් යුතුව කිසිවෙකුට, කිසිවකට කිසිදු බැඳීමකින් තොරව, තමාට තමාවත් නොමැති බව සිතා බ්‍රහ්මචාරී හෙවත් උත්තම ජීවිතයක් ගත කිරීමයි. පැවිද්දාට ඒ නිසාම බලාපොරොත්තු කියා දෙයක් නැත. එබැවින් ජීවිතය අල්පේච්ඡ ය. අපිස්ය, චාම් ය. සැහැල්ලුය. (අප්පකිච්ච, සල්ලහුකවුත්ති) දැමුණු ඉඳුරන් ඇත්තේ ය. ලෙහෙසියෙන් පහසුවෙන් පෝෂණය කළ හැක්කේ ය. එබැවින් උන්වහන්සේ කිසිවකට නොඇළෙන්නෙකි. මෙවැනි ලක්ෂණයන්ගෙන් පිරිපුන් පැවිද්දා විඳින්නේ පැවිදි සුවයයි. එම සුවය අන් සියලු සැපයන්ට වඩා උතුම් ය. එය එසේ වුවද ගිහියාට ඒ සියල්ල අතහැර ජීවිතයක් ගත කළ නොහැකි ය. එසේ අපේක්ෂා කිරීම සාවද්‍ය ය. එබැවින් ගිහියාට අයත් සැප දැන ගත යුතු ය. දැනගෙන එය විඳිය යුතු ය. මේ අනුව ගිහියා විඳින සැප හතරක් ගැන සඳහන් වේ. අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජ සුඛය වශයෙන් ඒ සැප හතර දැක්වේ.
මුලින් සඳහන් කළ පරිදි ගිහියෝ වූ කලී, පස්කම් සැප විඳින්නෝ වෙති. ගිහියාට වස්තුව ඇතිකම අත්ථි සුඛය හෙවත් ඇති සැපයයි. ඇති වස්තුව පරිභෝග කිරීම භෝග සුඛය ලෙසත් රටට ලෝකයාට ණය නොවී, බරක් නොවී ජීවත්වීම අණන සුඛය ලෙසත්, නිවැරැදිව, දැහැමින් ජීවිකා වෘත්තිය පවත්වාගෙන යාම අනවජ්ජ සුඛය ලෙසත් හඳුන්වයි. මෙය වැඩිදුරටත් විවරණය කිරීමතුළින් මිනිසුන් තුළ පවත්නා දුර්මත පළවා හැරීමටත් යහපත් දිවියකට මඟ හෙළිකිරීමටත් මඟ පෑදෙනු නො අනුමාන ය.
කෙනෙකුට තම මූලික අවශ්‍යතාවන් ඉටුකරගැනීමට තරම් ප්‍රමාණවත් ධනයක්, වස්තුවක් නොමැති වීම දුකක් බව “දාළිද්දියං භික්ඛවේ දුක්ඛෝ ලෝකස්මිං” යන්නෙන් පෙන්වා දෙයි. ධනය, වස්තුව, ඉබේ ලැබෙන්නක් හෝ අදෘශ්‍යමාන දෙවියකු විසින් ගෙන දෙන්නක් නොවන බව වටහා ගත යුතු ය. එය තම උත්සාහයෙන් ම, වීර්යයෙන් ම ළඟා කර ගත්තකි. එය දෛවයට හෝ කර්මයට භාරදීමෙන් සිදුවන්නේ තව තවත් අගාධයට දුකට පත්වීම ය. ඒ අනුව ධනය වස්තුව උපයා ගැනීමට උත්සාහවත් වී ඉගෙන ගත යුතු ය. උත්සාහය හා උනන්දුව තුළින් තම අභියෝග, ඉලක්ක කරා ගමන් කළ හැකි ය. ඒ උත්සාහය සඵල කර ගත් තැනැත්තාට වස්තුව ධනය උල්පතක් ලෙස ගලා ඒමට පටන් ගනී. අතීත ශ්‍රී විභූතිය ගැන අප උදම් අනන්නේ එදා මුතුන් මිත්තන් ගත කළ ශ්‍රමාභිමානවත් ජීවිතය පිළිබඳව ය. ඒ අනුව උත්සාහය වැරැදි දේට මෙන් ම නිවැරැදි දේටද යොදාගත හැකි ය. නමුදු බුදු දහමේ උගන්වන්නේ නිවැරැදි උත්සාහයයි. එනම් දහමට අදාළ විය යුතුම ය. යුක්තියට, නීතියට, සාධාරණයට ගැළපිය යුතු ය. එකඟ විය යුතු ය. එකවරම ධනයෙන් වස්තුවෙන් පොහොසත්වීම නිර්දේශ නොකරයි. එය පියවරෙන් පියවරට ලබා ගත යුත්තකි. වේයා තුඩින් තුඩ මැටිගෙන මහා තුඹසක් ගොඩ නඟන්නාක් මෙනි.
එසේ උපයා සපයාගත් ධනය පරිභෝජනය කිරීමේ මඟ ද දැනගත යුතු ය. ධනය පරිභෝජනය කිරීම තුළින් භෝග සුඛය ඇතිවෙයි. ධනය අවශ්‍යවන්නේ තමාගේ සතුට පී‍්‍රතිය උදෙසා ය. තම මව්පියන්ගේ, අඹු දරුවන්ගේ, නෑදෑ හිතමිතුරන්ගේ, ආගමික සාමාජික යුතුකම් ඉටු කිරීම සඳහා ය. ධනයතුළින් තමාගේ සුඛ විහරණය පමණක් නොව අන් අයගේ සුඛ විහරණය ද සලසාගත යුතු ය. උපයන ධනය වියදම් නොකොට ගොඩගසන්නේ නම්, එය උපමා කොට ඇත්තේ රකුසන් අධිගෘහිත පොකුණකට ය. පියුම්වලින් පිරී තිබුණත් ඒ පොකුණෙන් අන් අයට ප්‍රයෝජනයක් නොමැත්තා සේ ය. එබැවින් දිය යුතු දීමනා (බලි) පහක් ගැන ධර්මයෙහි පැහැදිලි කරයි. ඒවා නම් ඥාතීන්ට සැලකීම (ඥාති බලී) ආගන්තුකයන්ට සැලකීම (අතිථි බලි) මළවුන්ට පින් පෙත් දීම (පුබ්බ පේත බලි) රජයට කරන විවිධ ගෙවීම (රාජ බලි) දෙවියන්ට පින්දීම (දේවතා බලි) වශයෙනි. එසේ දීමෙන් තමාට සතුට මෙන් ම, සැනසීමත්, ලෝකයාගෙන් මහත් පැසසුම් ලැබීමටත් හේතු වේ. මෙය භෝග සුඛයයි.
බුදු දහමේ ගිහියා ලබන තුන්වැනි සැපය ලෙස හඳුන්වන්නේ අණන සුඛයයි. එනම් ණය නොවීමේ සැපයයි. එනම් රටට ලෝකයාට ණය කරුවෙකු නොවීමේ සැපයයි. ඉහතින් දැක්වූ සැප උදාකරගත හැක්කේ ද ණය නොවීම තුළිනි. ණය කරුවා හැම විටම ජීවත්වන්නේ මහත් බියකිනි. දුකකිනි. තැති ගැනීමෙකිනි. මෙයට බොහෝ විට බලපාන්නේ අනුකරණයට ගොදුරුවීමයි. රටේ ලෝකයේ කරන දේ තමාද කිරීමට යාම එයට හේතුවයි. එමෙන් ම ඉපයූ ධනය පරිහරණය කිරීමේ දී භෝග විනාශ, අපාය මුඛයන්ට ගොදුරු නොවිය යුතු ය. ඒ අපාය මුඛයෝ නම්, රහමෙර පානය, නොකල්හි වීථි සංචාරය, නැටුම්, ගැයුම්, වැයුම්වලට ලොල්වීම, සුදුව, සුරාව, පාප මිත්‍ර සේවනය හා අලසකම ය. එපමණක් නොව ස්ත්‍රීන්ට ලොල්වීම, සුරාවට ලොල්වීම, සූදුවට ලොල්වීම, ලැබූ ධනය බලා සිටියදී ම සිඳීයාමට හේතු වේ. එබැවින් මේවායෙන් වැළකී, ලැබෙන ධනයෙන් අර පිරිමැස්මෙන් යුතුව කටයුතු කළ යුතු ය. බුදුදහමේ ධනය පරිභෝජනය කිරීම පිළිබඳ වැදගත් ඉගැන්වීමක් ඉදිරිපත් කොට ඇත. ෂූමාකර් වැනි ආර්ථික විද්‍යාඥයින්ගේ පවා මහත් වූ පැසසුමට මෙය ලක් වී ඇත. ඒ අනුව උපයන ධනය කොටස් හතරකට බෙදා එයින් එක් කොටසක් එදිනෙදා පරිහරණය සඳහා ද, කොටස් දෙකක් තම ව්‍යාපාර සඳහාද, ඉතිරි කොටස අනාගතයේ දී සිදුවන ආපදාවලදී ගැනීමට ද තැන්පත් කිරීම කළ යුතු බව පෙන්වා දෙයි.
සිව්වැනි සැපය නම් අනවජ්ජ සුඛයයි. එනම් නිවැරැදි ක්‍රම මගින් ලබන සැපයයි. තිදොර සංවර කර ගෙන වරදින් මිදී සුමගට යොමුව වාසය කිරීම එනම්, මිනිසුන් අතර මනුස්සකමින් පිරිපුන් අයෙක් ලෙස ජීවත් වීමයි. දස අකුසලයන්ගෙන් වැළකී දස කුසල ධර්මයන්ගෙන් පිරිපුන් අයෙක් වීමයි. එමගින් භෞතිකව පමණක් නොව අධ්‍යාත්මික දියුණුව ද, ධ්‍යානාදී සැප පවා උදාකරගත හැකි ය. මෙය ගිහියෝ ලබන සුවය වෙති.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ,
කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක
කෝට්ටේ කොටුබැම්ම පාර ශ්‍රී සුනේත්‍රාරාමාධිපති
ශාස්ත්‍රපති
ඇලිකේවෙල සීලානන්ද නා හිමි
කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක
කෝට්ටේ කොටුබැම්ම පාර ශ්‍රී සුනේත්‍රාරාමාධිපති
ශාස්ත්‍රපති
ඇලිකේවෙල සීලානන්ද නා හිමි
No comments:
Post a Comment