Labels

Wednesday, May 6, 2020

සැබෑ වෙසක් සැමරීමට මේ කාලය යොදා ගන්න

බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයා දුකින් මුදා ගැනීම පිණිස සිදු කළ උත්තම සේවාවට උපහාර වශයෙන් බෞද්ධයන් විසින් සිදු කරනු ලබන උතුම් පූජාවක් ලෙසින් වෙසක් දින සමරනු ලබනවා.
එහෙත් මෙවර ලෝකයේ සියලුම බෞද්ධ රටවල් වෙසක් සැමරීමේදී දැඩි අපහසුතාවකට පත් වෙලා . ඒ වසංගත රෝගී තත්ත්වයන් නිසා රටවල් වසා තැබීම නිසයි. එවන් තත්ත්වයක් යටතේ බෞද්ධයන්ට වෙනදා සැමරූ ලෙසින් වෙසක් උත්සවකාරයෙන් සැමරීමට බැහැ.
එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? බුදු රජාණන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයකුට එහා ගිය අති මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි උත්තුංග අසමසම අයෙක්.
උන් වහන්සේ සැමරුම වෙනුවන් අප අභ්‍යන්තර හා බාහිර යන දෙඅංශයෙන්ම ගුණ ධර්මයන් වැඩිය යුතු වනවා. ඇත්තෙන්ම අප අවබෝධ කර ගත යුතුයි සැබෑ වෙසක් යන්න කුමක්ද කියා. අප වෙසක් උලෙළක් ලෙසින් සමරනවා. ඒ සඳහා තොරණ, දන්සල් වෙසක් පහන් කූඩු වැනි ප්‍රදර්ශනාත්මක ආමිෂ කටයුතුවල නියැළෙනවා. එහි වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේට කරනු ලබන උපහාරයක් ලෙසින් අප ඒ කටයුතු කරන්නේ. නමුත් මේ අවස්ථාවේදී අපට පෙරහර, දන්සල්, තොරණ හෝ වෙනත් සාමූහික කටයුතුවල නියැළීමට හැකියාවක් නැහැ.

බුදුගුණ සිහි කරමු



"බුදුවරයන් වහන්සේ වනාහි ලෝකය හා ජීවිතය පිළිබඳ ව අවබෝධ කළ යුතු සියලු සත්‍යයන් අවබෝධ කොට වදාළ සේක. පුරුදු පුහුණු කළ යුතු මනා පැවතුම් සම්පූර්ණ කළ සේක. ජීවිතයෙන් ඉවත් කළයුතු සියල්ල බැහැර කළ සේක . එබැවින් බුද්ධ නම් වූ සේක."
මම සත්‍යය අවබෝධ කරමි. අන්අයට ද සත්‍යය අවබෝධ කරවා මම ද සසර දුකින් මිදෙන්නෙමි. අන් අය ද සසර දුකින් මුදවන්නෙමි කාම, භව, දිට්ඨි, පච්චයා යන සසර සයුරෙහි සැඩ පහර භයානක ය. යනුවෙන් දීපංකර පාදමූලයේ දී සුමේධ නම් තාපස ව නියත විවරණ ලබමින් අප බෝධිසත්වයන් වහන්සේ ප්‍රාර්ථනා ඇති කොට ගත්හ.
එතැන් පටන් දානාදී සමතිස් පෙරුම් පුරමින් සීල , සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් ප්‍රභාවත් වී සකල ක්ලේශ සපරිවාර මාර පරාජයෙන් උතුම් වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට වදාළ තථාගතයන් වහන්සේගේ අසමසම අනන්ත, අත්‍යුදාරතර බුදුගුණය අනුස්මරණයෙහි ලා සුදුසුම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.
මහණෙනි පා නැත්තා වූ ද, පා දෙකක් ඇත්තා වූ ද පා හතරක් ඇත්තාවූ ද බොහෝ පා ඇත්තා වූ ද, රූප ඇත්තා වූ ද රූප නැත්තා වූ ද සංඥාඇත්තා වූ ද, සංඥා නැත්තා වූ ද, සංඥා ඇත්තාවුත් නොවු ව ද, සංඥානැත්තාවූත් නොවූ ව ද යම් පමණ සත්ත්වයෝ වෙත් ද ඒ හැමසත්වයන්ට වඩා තථාගතයන් වහන්සේ අග්‍ර වන සේක. යනු එහි අර්ථයයි.
බුද්ධ යනු අවබෝධයයි. ඒ කවර නම්, අවබෝධයක් ද? තථාගතයන් වහන්සේ ම සේල නම් බමුණාට මෙසේ වදාළ සේක. දත යුතු සියල්ලම විසින් වෙසෙසින් දක්නා ලදිමි. වැඩිය යුතු සියල්ල වඩනා ලදිමි. හළයුතු සියල්ල හළෙමි. එහෙයින් මම බුද්ධ නම් වෙමි. යනුවෙනි. දුක්ඛසමුදය නිරෝධ මාර්ගා දී ආර්යය සත්‍යය ස්කන්ධ , ආයාතන , ධාතු,බෝධිපාක්ෂික ධර්ම, පටිච්ච සමුප්පාද අංග ආදි ගැඹුරු දහම් කොටස් වෙන් වෙන් වශයෙන් ඉතා සියුම්ව ද , සත්ත්වයා හා ලෝකයපිළිබඳ අප්පාද, භංගාදී විග්‍රහයන් හේතු ඵලවාදී විචාරක්ෂියෙන් දත්හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේකැයි අට්ඨකථාචාරීහු පෙන්වා දෙති.
බුද්ධං අනුසාරතො චිත්තං පසීදතී යන බුදු වදන් සිහියට නඟා ගැනීම මේ වෙසක් සමයේ සැදැහැවතුන්ගේ යුතුකමකි.

සම්බුදු උපත සැපතකි

මිනිස්සු උපදිනවා, ජීවත්වෙනවා, මැරෙනවා. ඒ මිනිසුන් අතරෙන් ම කලාතුරකින් කෙනෙක් බුද්ධත්වයට පත්වෙනවා. ඒ කාලාන්තරයක් පුරා පුරන ලද පෙරුම්දම්වල ප්‍රතිඵල වශයෙන්. අප ජීවත් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ, උන් වහන්සේගේ දහම පවතින කාලයක යි.
බුදුවරයන් වහන්සේ නමකගේ පහළවීමත්, ධර්ම විනය ලෝකයේ පැවතීමත් ලෝකයට හිත පිණිස, සැප පිණිස පවතින බව සුගත විනය සූත්‍රයේ තථාගතයන් වහන්සේ ම දේශනා කොට තිබෙනවා. ලෝකයේ මිනිස්සු කල්පනා කරන්නේ, තමන් සිතන දේ එලෙසින් ම ඉටු වෙනවා නම් එය සැපයක් කියලයි. ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පසිඳුරන් ඇසුරෙන් ලබන සංතෘප්තිය ම ඔවුන් අපේක්ෂා කරනවා.
ඉඳුරන් පිනවන්නට ලැබීම සැපයක් කියලා හිතනවා. එහෙත් කිසිවෙකුටත් කිසි විටෙකත් එලෙස තමන් සිතන පතන සියල්ල එලෙසින්ම සපුරා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එසේ නොවන විට ඇති වන්නේ දුකක්. එබැවින් ලෝකයේ සියලු දෙනාම බොහෝ විටජීවත් වෙන්නේ බලාපොරොත්තු කඩ වූ අය හැටියට දුකෙන්, වේදනාවෙන්. එනිසා බොහොම ඈත කාලයක ඉඳලාම දුක යටපත් කිරීමට, නැතිනම් නැතිකර දැමීමට ක්‍රම සෙවීම කෙරෙහි මිනිසුන් උනන්දුවක් දැක්වූවා. බුද්ධ කාලයට පෙර සිටම මිනිසා දුකෙන් මිදීම පිණිස, නොයෙක් ක්‍රියා මාර්ග අනුගමනය කළ බව පොත පතෙහි දැක්වෙනවා. මහා බ්‍රහ්මයා, ඊශ්වරයා වැනි අදෘශ්‍යමාන බලවේග කෙරෙහි විශ්වාසය තැබීම ඒ අතරින් එක් ක්‍රමයක්. තව කොටසක් සිරුරට දුක්දීම තුළින්ම සියලු දුක් නිමා කළහැකි බව හිතුවා. මේ අතර සිරුරට අසීමිත ලෙස සැප දීමෙන් දුක් දුරලිය හැකි බව පිළිගත් පිරිසක් ද හිටියා. මේ කිසිදු ක්‍රමයකින් දුක නැතිකළ නොහැකි බව පසක් කරගත් බුදු රජාණන් වහන්සේ, ලෝකයට අනාවරණය කරන ලද්දේ එතෙක් ලෝකයේ කිසිවෙකුත් සොයා නොගත් නවතම ක්‍රියා මාර්ගයකි.
වරක් අචේල කස්සප නම් පිරිවැජියා බුදුරජාණන් වන්සේ වෙත පැමිණ ප්‍රශ්න කීපයක් ම විමසුවා.
ගෞතමයන් වහන්ස, දුක ඇති කරන්නේ තමා විසින් ම ද? නැතිනම් අනුන් විසින් ද? එසේත් නැතිනම් තමන් හා අනුන් යන දෙදෙනා විසින්දැ’යි? කස්සප ප්‍රශ්න කළා. තථාගතයන් වහන්සේගේ පිළිතුර වූයේ, දුක තමන් විසින් හෝ අනෙකෙකු විසින් හෝ තමා හා අනෙකෙකු විසින් හෝ ඇති කරන ලද්දක් නොවන බවයි.එසේනම් දුක ආකස්මික ව ඇති වන්නක් දැයි කස්සප නැවතත් විමසුවා. දුක ආකස්මික ව ඇති වන්නක් ද නොවන බව තථාගතයන් වහන්සේ වදාළා. එසේනම් දුක කියා දෙයක් නැද්දැයි ඔහු නැවත විමසුවා. දුක කියා දෙයක් තිබෙන බව බුදු පියාණන් වහන්සේ වදාළා. ඔබ වහන්සේ දුක දැක තිබේදැයි? ඔහු නැවතත් විමසා සිටියා. තමන් වහන්සේ දුක දැක ඇති බව උන් වහන්සේ වදාළා.