Labels

Sunday, October 4, 2015

දුර්ලභව ලැබිය යුතු කරුණු


මේ ලෝකයේ දුර්ලභව ලැබිය හැකි කරුණු රාශියක් තිබුණද බුදු පියාණන් වහන්සේ දේශනා කළ සුවිශේෂී කරුණු හතරක් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. දුර්ලභ, අසීරු, අමාරු, අපහසු වන වචන අප කනට එතරම් සුවදායක නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

නමුදු එහි වටිනාකම ඇත්තේද ඒ තුළමය. අප ලෙහෙසියෙන් ලබා ගන්නා දේකට වඩා අමාරුවෙන් ලබා ගන්නා දේ අපට ඉතා වැදගත් වේ. ඒ ආකාරයෙන්ම මෙම කරුණු පිළිබඳවද සිතීමට පුළුවන. විශාල කැප කිරීමක් හා පරිත්‍යාගයක් කරමින් මෙම කරුණු හතර ලබා ගත යුතු බව සිතිය යුතුයි.

ධම්ම පදය නම් වූ උතුම් බණ පොතෙහි ඒ පිළිබඳ විස්තරාත්මකව කරුණු විග්‍රහ කොට ඇත. අප සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ නොයෙක් දේවල් පහසුවෙන් ලබා ගනු ඇත. කොතරම් මුදල් තිබුණත් කුමන හැකියාවන් තිබුණත් ඉහත මතක් කළ දුර්ලභ කරුණු හතර ලබා ගැනීම අපහසු බව බුදුරදුන් දේශනා කොට ඇත. ධම්ම පදයේ බුද්ධ වග්ගයේ 4 වැනි ගාථාව මේ සම්බන්ධව ඉතා වැදගත් වේ. එනම්,

“කිච්ඡො මනුස්ස පටිලාභො
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්මං සවණං
කිච්ඡො බුද්ධානං උප්පාදෝ”


මිනිසත් බව ලැබුම හා දිවිරැකුම දුෂ්කරය. සඳහම් ඇසුම හා බුදු උපත ලැබුමද දුෂ්කරය. පළමු කාරණය වන්නේ මිනිසත් බව ලැබීමයි. සත්ත්වයන් අතර උසස්ම සත්ත්වයා ලෙස ගැනෙන්නේ මිනිසායි. එයට හේතුව උසස් මනසක් ලැබීමයි. අන් සත්ත්වයන් බොහෝ දුරට අනුකරණයෙන් හා බියට සැකයට එම ආත්මය තුළ යම් යම් දේවල් සිදු කරති.
නමුදු මිනිසාට ඕනෑම දෙයක් සිතා බලා විනිශ්චය කොට තීරණය කොට කළ හැකිය.

එතැනදී කාලාම සූත්‍රයේ සඳහන් පරිදි කරුණු 10 කින් බැහැර වී යමක් කුසලය, නිර්වද්‍යය නුවණැත්තන්ගේ ප්‍රශංසාවට හේතුය, සමාදන් වී සම්පූර්ණ කිරීම හිත පිණිස සැප පිණිස හේතු වේ යනුවෙන් තමාටම වැටහේද එවිට එහි යෙදීමට පුළුවන් ආකාරය හා ධර්මය වැළඳ ගැනීම පිළිබඳව උසස් මනසක් ලැබු මිනිසාට කළ හැකි බව පැහැදිලි කොට ඇත.
“කිච්ඡෝ මනුස්ස පටිලාභෝ” යනුවෙන් වදාළේ එම හේතුව නිසාය. ඉතා දුක සේ මහා පිනකින් ලැබිය යුතු දෙයක් ලෙස එය විග්‍රහ කොට ඇත. “දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ “ යනුවෙන් ලෝවැඩ සඟරාවේද ඒ බව පැහැදිලි කොට ඇත. තව පැත්තකින් අංග සම්පූර්ණ මිනිස් දිවියක් ලැබීමද අසීරු කාර්යයකි. ඒ සඳහා සසර පින් අවශ්‍ය වේ, අද සමාජය දෙස බැලීමෙන් ඒ බව ප්‍රත්‍යක්ෂ වේ.

අඳ,ගොළු, බිහිරි නොවී අත්පා ආදී අවයව වකුටු නොවී අංග සම්පූර්ණ ශරීරයක් ලැබීම දුර්ලබ, බැවින්ද මිනිස් ආත්මයන් ලැබීම අන් සියල්ලටම වඩා උතුම්සේම දුර්ලභ වන්නේය. “දුල්ලභංච මනුස්සත්තං” යන ආකාරයට දුර්ලභව ලැබු මිනිස් බව රැක ගැනීමත් ගුණධර්ම ප්‍රගුණ කරමින් පින් දහම් සිදු කිරීමටත් නොපසු බට විය යුතුය.
දෙවන කාරණය දිවිය රැක ගැනීම නොහොත් පවත්වා ගැනීම අපහසු බවය. අප ලද දිවිය හරියට තණ අග පිණි බිඳක් හා සමානය. ක්ෂණයකින් විනාශ වීමේ ප්‍රවණතාවය වැඩිය. ස්වභාවික විපත්, සංසාරික කර්ම ශක්තීන්, ඇසුරු කරන්නන්ගෙන් වන අයහපත් ක්‍රියා, සතා සිවුපාවුන්ගෙන් ආදි වශයෙන් නිතර මිනිස් දිවියට එළඹෙන අනතුරු එමටය. එලෙස ජීවත්වීම උදෙසා නොයෙක් රැකී රක්ෂා සිදු කිරිමට සිදුවේ. එලෙසම මෙම ශරීරය නිතර පෝෂණය කළ යුතුව ඇත. ආහාර පාන, බේත්හේත් , ඇඳුම් පැළඳුම් , ගෙවල් – දොරවල් ශරීරය සඳහා වෙන් කළ යුතුය. මේ සියල්ලම කිරීමට පුංචි කාලයක් පවතින බැවින්ද එතුලින් නින්දට ජීවිතයේ භාගයක්ම ගෙවෙන බැවින්ද දිවි පැවැත්ම ඉතා දුෂ්කර කාර්යයක් වන්නේය.

තෙවන කාරණයෙන් පැහැදිලි වන්නේ සදහම් ඇසීම දුෂ්කර බවය. “කිච්ඡං සද්ධම්ම සවණං” යනුවෙන් දේශනා කළේ එයයි. හැම යුගයක් තුළම සද්ධර්මය ඇසීමට නොලැබේ.
සමහර යුග තුළ සද්ධර්මය ඇසීමට තබා සිතීමටවත් අපහසුය. දහම්සොඬ කතා පුවතින් ඒ බව මනාව පැහැදිලි වේ. සඳහම් ඇසීමට බුදු කෙනෙකු ලොව පහළ විය යුතුය. “සද්ධම්මො පරම දුල්ලභො” යනුවෙන් අර්ථවත් වන්නේ එහි අසීරු බව හා දුර්ලභ බවය. ධර්මය නම් පර්යාප්ති ධර්මය හා නව ලෝකෝත්තර ධර්මය යන දස විද ධර්මයයි.
පර්යාප්ති ධර්මය යනු තෙවලා බුදුබණයි. නව ලෝකෝත්තර ධර්මය යනු සතර මග සතර ඵල හා නිවන යන්නයි. ඒවා ඇසීම අපහසුම කාර්යයකි. ධර්මය තිබුණද “තම තම නැණ පමණින්ම දැන ගත යුතු වන්නේය. “සුඛා සද්ධම්ම දේශනා, ධර්මය ඇසීමට ඇත්නම් එය සැප පිණිසම පවතී.

බුදු උපතක් සිදුවීම සිව්වන දුෂ්කර කාර්යයි. බුදු කෙනෙක් ලොව පහළ වීම කප් කෙල සුවහස් ගණනකිනිදු සිදු නොවන්නකි. ? “බුද්ධොත්පාදොච දුල්ලභෝ’ යනුවෙන්ද “කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ” යනුවෙන්ද බුදු උපත දුර්ලභ බවත් අසීරු බවත් පැහැදිලි වේ. ඒ සඳහා නියත විවරණ ලැබීම හා දස පාරමිතා තුන් ආකාරයකින් පිරීමද කළ යුතුය. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ යනුවෙන් ලෝවැඩ සඟරාවේ අතීදීර්ඝ කාලයකින් බුදු උපත සිදුවන බව පැහැදිලි වන්නේ එම කරුණු පදනම් කරගෙනය. “සුඛෝ බුද්ධානං උප්පාදො යනුවෙන්” බුදු උපත තුන් ලොවටම සැපතක් වන්නේ එම දුෂ්කර බව හේතුවෙනි.

ඉහත කරුණු හතරම ලැබීම දුෂ්කර කාර්යයන්ය. කිච්ඡෝ යනුවෙන් හැඳින්වෙන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීමටත් වඩා අසීරු වන බැවිනි.
නමුදු මෙම කරුණුවල වටිනාකම අවබෝධ නොවී තිබීම කණගාටුවට කරුණකි. දීර්ඝ සංසාර චක්‍රයකට හසු වී සිටින අප මිනිසත් බව නමැති උතුම් ශ්‍රේෂ්ඨතම ආත්ම භාවයට ලබා ඇති මුත් ඉන් නිසියාකාරව ප්‍රයෝජනය ගන්නේ අල්ප දෙනෙකි. බොහෝ දෙනෙක් ආධ්‍යාත්මික ගුණධර්ම ප්‍රගුණ කිරීම වර්ධනය කිරීම ඉදිරියට කල් තබා ගෙන ඇත.
ඔවුන් පිළිබඳව බුදුරදුන් දේශනා කළේ “පමාදෝ මච්චුනො පදං “ ප්‍රමාද වුවෝ මළවුන් හා සමාන බවය. මිනිසත් බවෙන් විය යුතු ක්‍රියාවලිය දැන හඳුනාගෙන අද අදම එය කළ යුතුය. හෙටට කල් දැමීම බුදු දහමේ පිළිවෙත නොවේ. ප්‍රමාද නොවි නිවන් මග දැන හඳුනාගෙන ඒ මඟ ඔස්සේ ගමන් කළ යුතුය.

තමාගෙන් විය යුතු සමාජ මෙහෙවර අද අදම කළ යුතුය. නැති නම් හුස්ම පොද පිටවීමට පෙර දුක් විඳීමට සිදුවේ. පරලොව දිවියද අභෞව්‍යස්ථාන වල ඉපදීමට සිදුවේ.
එම කරුණු සිහියට ගෙන යුතුකම් වගකීම් ඉටු කරමින් පින් දහම් සිදු කරමින් ගුණ ධර්ම ප්‍රගුණ කරමින් දුර්ලභව ලද මිනිසත් බව අර්ථවත් කර ගැනීම උදෙසා වෙහෙස දරමු.



 මාස්පොත ශී‍්‍ර ගංගාරාම විහාරවාසී
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංශ හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 21 වන  ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment