ඒ වගේම තමයි ද්වේෂය. රාගය තරම් ම ද්වේෂයත් බලවත් පින්වතුනි. එය වෛරයක් වීමෙන් ආත්ම සිය ගණනක් වුවත් අප පසුපස එන්න පුළුවන්.
නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
හිතානුකම්පී සම්බුද්ධො - යදඤ්ඤ මනුසාසති
අනුරෝධ විරොධෙහි - විප්පමුත්තො තථාගතො’ති.
පින්වත්නි,
අද ධර්ම දේශනය සඳහා මාතෘකාව වන්නේ සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ රාජ වග්ගයට අයත් පතිරූප සූත්‍රය යි.
දිනක් බුදුපියාණන් වහන්සේ කොසොල් ජනපදයට අයත් එකසාලා කියන බ්‍රාහ්මණ ගමේ දී විශාල පිරිසකට ධර්ම දේශනයක් පවත්වමින් වැඩ සිටියා. කවදත් ලෝක සත්වයා සසරෙහි බැඳ තබා ගන්නට වෙර දරන මාරයා ඒ වෙලාවේ දී එම ස්ථානයට පැමිණියා. දහම් අසන අයට බාධා වන අයුරින් ගාථාවක් ප්‍රකාශ කළා. ඒ ගාථාවේ සරල අදහස තමයි, යම් හෙයකින් අනුන්ට අනුශාසනා කරනවා ද, එය ඔබට සුදුසු නොවෙයි. එහෙම අනුශාසනා කිරීමෙන් රාග, පටිඝ කියන දෙකෙහි ගැලෙන්න එපා කියල යි මාරයා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කළේ.
මේ විදිහට මාරයා ක්‍රියා කළේ පිරිස ඉදිරියෙහි බුදුපියාණන් වහන්සේ අධෛර්යයට පත් වේවි කියලා හිතාගෙන යි. මාරයා හිතුවා ශ්‍රාවක පිරිස අතරේ ඇතැමෙක් සාධුකාර දේවි, ඇතමෙක් වෙන වෙන කතාවල යෙදේවි, එවිට දේශකයා තුළ රාගයත්, ක්‍රෝධයත් ඇති වේවි කියලා.