Labels

Friday, August 8, 2025

පුද්ගල වටිනාකම් සුරකින කරණීයමෙත්ත සූත්‍රය

 එදිනෙදා ජීවත්වන සෑම පුද්ගලයකුටම අවශ්‍ය කරන්නේ කායික හා මානසික සුවතාව සමබරව පවත්වාගෙන යමින් ජීවත් වන්නේ කෙසේද යන කාරණාවයි. විවිධාකාර සමාජ රටාවන් පුද්ගලයන් තුළ ඉස්මතු වෙමින් පවතින සමාජයක එසේ කටයුතු කිරීම තරමක් අපහසු කාර්යයකි.

බුදු දහම සැම විටම පුද්ගලයාගේ මෙලොව හා පරලොව දියුණුව වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව කරුණු පෙන්වා දෙන දහමක් ලෙස හැඳින්විය හැකි ය. ඒ අනුව පුද්ගල මනසේ ඇතිවන නොයෙකුත් ප්‍රශ්නවලට පිළිතුරු සපයන සූත්‍රයක් ලෙස කරණීයමෙත්ත සූත්‍රය පෙන්වා දිය හැකි ය. එහි කොටස් දෙකකින් කරුණු පෙන්වා දෙන අතර, මුල් කොටසින් පුද්ගල ජීවිතය හා බැඳුණු ප්‍රධාන කරුණු 14ක් අවධාරණය කෙරෙයි.

1. දක්ෂකම (සක්කො) 

2. අවංකකම ( උජු, සූජු) 

3.කීකරු කම ( සුවචො)

 4. මුදුමොළොක් බව ( මුදු)

 5. අතිමානී නොවීම (අනතිමානී)

 6. සෑහීමකට පත්වීම (සන්තුස්ස) 

7. පහසුවෙන් යැපීම (සුභරත)

 8.අප්පකිච්චොච ( කාර්යබහුල නොවීම) 

9. සරල ජීවිතය (සල්ලහුකවුත්ති)

 10. ඉන්ද්‍රිය දමනය ( සන්තින්ද්‍රිය) 

11. නුවණැති බව (නිපකෝ)

 12. සීලාචාරකම (අප්පගබ්බො)

 13. පවුල් සමඟ මනා සබඳකම් (කුලෙසු අනනුගිද්ධො) 

14. සුළු වරදක්වත් නොකිරීම ( න ච ඛුද්ධං සමාචරේ)

පුද්ගල දියුණුව අපේක්ෂා කරන තැනැත්තා විසින් කායික වාචසික හා මානසික හැසිරීම සිදු කළ යුත්තේ ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කරමිනි. එදිනෙදා ජීවිතයට අතිශයින් වැදගත් වන මුලින් සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ඒවා පිළිපැදීම සෑම කෙනකු විසින් ම සිදු කළ යුතු ය. ඒ සියල්ලෙහි හික්මීමත් සමඟ අවසානයේ කියවෙන ‘න ච ඛුද්ධං සමාචරෙ කිංචියෙන විඤ්ඤුපරේ උපවදෙය්‍යුං යනුවෙන් කියවෙන නුවණැති අය විසින් දොස් නඟන ඉතා සුළු වරදක්වත් නොකළ යුතු වන්නේ ය යන කාරණාව අතිශයින් වැදගත් වේ.

අපගේ වැරැදිවලට දොස් නඟන අය යනුවෙන් අදහස් වන්නේ මවුපියන්, ගුරුවරුන්, වැඩිහිටියන්, හිතමිතුරන් හා පැවිදි උතුමන් ය. මේ අය නිරන්තරයෙන් අවවාද, අනුශාසනා කරන්නේ කෙනකුගේ යහපත වෙනුවෙනි. සැරෙන් තරවටු කළත් එය කරන්නේ අප යහමඟට ගත යුතු ය යන කරුණාබර සිතිනි. ඒ අනුව පුද්ගල සංවර්ධනය උදෙසා ඉහත කරුණු සියල්ල අතිශයින් වැදගත් වේ.

බුදු දහමේ තියෙන සෑම දෙයක් ම ඇතැමකුට තේරෙන්නේ නැති වුවත් කරණීය මෙත්ත සූත්‍රයේ කියැවෙන කරුණු අනුගමනය කිරීමෙන් පුද්ගලයාට ආචාරශීලී හා ගුණගරුක පුද්ගලයකු වශයෙන් සිටිය හැකි ය. ඉහත කරුණු දහහතරෙන් සමන්විත පුද්ගලයා නිරන්තරයෙන් තමන්ගේ හික්මීම ඇති කර ගන්නවාත් සමඟ අන් අය කෙරෙහි බලන්නේ ‘සුඛිනො වා කෙමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’ යනුවෙන් සියලු සත්ත්වයෝ සැප ඇත්තෝ, බිය නැත්තෝ වී සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා යනුවෙන් කරන ප්‍රාර්ථනාවකි. මෙය මෙම සූත්‍රයේ දෙවැනි කොටසින් දැක්වෙන කාරණාවන් ය. එවැනි සත්ත්වයෝ කවුරුන් ද යන්න තවදුරටත් පෙන්වා දෙයි. ‘යෙ කෙචි පාණ භූතත්ථි’ යනාදී වාක්‍යයෙන් පෙන්වා දෙන්නේ ඒ ඒ සත්ත්ව වර්ගයා වෙන් කර දැක්වීමයි. ‘තසා වා ථාවරා වා’ යන්නෙන් කියැවෙන්නේ සියලු සත්ත්වයන් නිරන්තරයෙන් සිටින්නේ බියෙන් හා ත්‍රාසයෙනි. එසේ විවිධාකාර සතුන් අතර කෙලෙස් ඇති හෝ නැති, පණ ඇති, දිග් වූ, මහත් වූ, සිරුරු ඇති, මධ්‍යම ප්‍රමාණයේ හා කුඩා ප්‍රමාණයේ සිරුරු ඇති සතුන්, ඇසට පෙනෙන, නොපෙනෙන, දුර සිටින හා ළඟ සිටින, හටගත්ත, හට නොගත්ත, හට ගැනීමට සිටින ආදි වශයෙන් කියවෙන සෑම සත්ත්වයෝ ම මෙම සත්ත්ව කොට්ඨාසවලට අයත් වෙති.

පුද්ගල සංවර්ධන කරුණු තුළින් ගොඩනඟා ගන්නා ලද පුද්ගල චර්යාවන් මෙන් ම ආධ්‍යාත්මික දියුණුව උදෙසා මානසික සිතිවිලි ගොඩනඟාගත යුත්තේ ඉහත කී සියලු සත්ත්වයන් උදෙසා සිදු කරන මෛත්‍රී සහගත සිතුවිලි මඟිනි. කරණීයමෙත්ත සූත්‍රයේ දෙවැනි කොටසින් අවධාරණය කර ඇත්තේ එම කරුණයි.

මිනිසුන් මුලින් තමන්ට මෛත්‍රිය පතුරුවා ගැනීමෙන් පසු අන් අය කෙරෙහි මෛත්‍රිය දැක්විය යුතු ය. අප නිරන්තරයෙන් මෛත්‍රී භාවනාව සිදු කරන්නේ සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යන පිළිවෙළට ය. එසේ මෛත්‍රි භාවනාව සිදුකරන්නාගේ සිතුවිලි එක් සත්ත්වයකුට පමණක් සීමා නොවී සියලු සත්වයන් කෙරෙහි බලපැවැත්වේ. බුදුරජාණන් වහන්සේ අපට උගන්වා ඇත්තේ ද මිනිසුන්ගේ හා සියලු සත්ත්වයන්ගේ ජීවිත එක හා සමාන වටිනාකමකින් යුක්ත වූවක් ලෙසිනි. ‘සබ්බේසං ජීවිතං පියං’යනුවෙන් දැක්වෙන පරිදි සියලු සත්ත්වයෝ තම ජීවිතයට පි‍්‍රය කරති. මෙහි සියලු සත්ත්වයෝ යනුවෙන් දැක්වෙන විට හිත මිතුරු අය වගේ ම හොර සතුරු අය ද අයත් වෙති. හිත මිතුරන්ට මෛත්‍රී කළ හැකි වුවත්, සොර සතුරන්ට මෛත්‍රී කිරීම අපහසු ය. එහෙත් අප සිදුකළ යුත්තේ එයයි. ‘න පරො පරං නිකුබ්බේථ නාතිමඤ්ඥේථ කත්ථචි නං කඤ්චි’ යනුවෙන් දැක්වෙන පරිදි කිසිවෙක් කිසිවකුට නින්දා අපහාස කිරීම්, රැවටීම්, හෙළා දැකීම් නොකෙරේවා යන්න තවත් ප්‍රාර්ථනාවකි. එසේ ප්‍රාර්ථනා කරන විට තව කෙනෙක් දිහා රවා බැලීමත්, අත් ඔසවා තර්ජනය කිරීමත්, බිය වැද්දවීමත්, කයින් හෝ වචනයෙන් කෙනෙකුට හිත් රිදවෙන කිසිවක් නොකිරීමත්, සිත කිලිටි වන ආකාරයේ කිසිදු සිතුවිල්ලක් ඇති නොකර ගැනීමත් කෙනකු විසින් ඇතිකර ගත යුතු ය. මෙබඳු සිතුවිලි සපුරා ගන්නා පුද්ගලයා අන් අයට දුක් කරදරයක් ඇති වනවාටත් කැමැති වන්නේ නැත. ‘නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ජෙය්‍ය’ යන්නෙන් කියැවෙන්නේ එයයි.

මේ ආකාරයට අපගේ සිත්වල මෛත්‍රිය දියුණු කර ගත යුත්තේ කෙසේද යන්න කරණීයමෙත්ත සූත්‍රයේ විස්තර කෙරේ. එයට සමාජයේ ඇති උසස් උපමාවක් යොදාගෙන තිබීම ද විශේෂත්වයකි. ලොව ඇති උසස් ම සෙනෙහස මවු සෙනෙහසයි. මවකගේ ඇති සෙනෙහස ඕනෑම කෙනකුට තේරුම්ගත හැකි වන්නේ ය.

‘මාතා යථානියං පුත්තං ආයුසා ඒකපුත්තමනුරක්ඛෙ ඒවම්පි සබ්බභූතේසු මානසම්භාවයේ අපරිමාණං ‘මවක් තම දරුවා කෙරෙහි අසීමිත ආදරයකින්, සෙනෙහසකින් තම ජීවිතය තිබෙන තුරු රැක බලා ගන්නේ යම් සේ ද එසේම මුළු මහත් ලෝක සත්ත්වයා කෙරෙහි තම ජීවිතය පවතින තාක් කල් එවැනි මෛත්‍රියක් ගොඩනඟා ගත යුතු බව අවධාරණය කරයි.’

උද්ධං අධො ච තිරියංච අසබ්බාධං අවෙරං අසපත්තං’ යනුවෙන් දැක්වෙන පරිදි උඩ, යට, හාත්පස වසන සියලු සතුන් කෙරෙහි කිසිම තරහක් හෝ වෛරයක් හෝ හිංසාකාරී සිතුවිල්ලක් හෝ ගොඩනඟා ගත යුතු නැතැයි යනුවෙන් උපදෙස් සමූහයක් මෙම සූත්‍රයෙන් ලබා දෙයි. එසේම ඕනෑම කෙනකුට සිදුකළ හැකි වන්නේ නම් එයින් ම ඔහුට මෛත්‍රිය භාවනාව දියුණු කර ගත හැකි වන්නේ ය. එසේ කළ විට බ්‍රහ්මයකුට සමාන උසස් මානසික තත්ත්වයකින් ජීවිතය ගත කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේම වෙනත් මිථ්‍යාදෘෂ්ටියකට නොවැටී, මනා සීලයකින් හා දැක්මකින් සමන්විත වී වස්තුකාම, ක්ලේශකාම ආදිය කෙරෙහි මම ය, මාගේ ය යනුවෙන් කිසිදු ගිජු බවක් නැති ව නැවත කිසිදු ගැබක නොඉපද නිවන් අවබෝධය තෙක් මෙම ගුණාංග සංවර්ධනය කර ගත හැකි බව අවධාරණය කෙරේ. එබැවින් මෙලොව, පරලොව දියුණුව උදෙසා කරණීය මෙත්ත සූත්‍රයේ ඇතුළත් කරුණු කෙරෙහි සිත් යොමු කොට ආධ්‍යාත්මික දියුණුව සෑම දෙනා විසින් සලසා ගත යුතු වන්නේ ය.


මල්වතු මහාවිහාරයේ කාරක සංඝ සභික
වැලිවිට සෝරත නා හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2025 අගෝස්තු 08 සිකුරාදා   බුදුසරණ පුවත්පතෙ පල වු ලිපියකි

No comments:

Post a Comment