Labels

Friday, August 8, 2025

පළමු සංගායනාවේ දී ධර්ම විනය සංග්‍රහ වූ අයුරු

 


බුද්ධ වචනය සංරක්‍ෂණයෙහි ලා දැරූ ප්‍රථම උත්සාහය වන ධර්ම සංගීතිය පිළිබඳ ප්‍රධාන වාර්තාව විනය පිටකයේ චුල්ලවග්ගපාළි පංචසතිකඛන්ධකයේ ඇතුළත් වන අතර, එය තවදුරටත් විස්තර කරමින් ඉදිරිපත් කළ වාර්තාවක් සමන්තපාසාදිකා විනය අටුවාවෙහි ද දක්නට ලැබේ. මෙම වාර්තා දෙක ඇසුරු කර ගනිමින් පළමු සංගායනාවේ දී ධර්මය හා විනය සංග්‍රහ කළ අයුරු සාකච්ඡා කිරීම මෙම ලිපියේ මූලික අරමුණ වේ.

චුල්ලවග්ග වාර්තාවට අනුව තථාගත පරිනිර්වාණයෙන් අනතුරුව භික්‍ෂූන් ඇමතූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අනාගතයේ දී ධර්මය යටපත්වී අධර්මය ඉස්මතුවන බවත්, විනය යටපත් ව ගොස් අවිනය ඉස්මතු වන බවත්, ධර්මවාදීන් දුර්වල වී අධර්මවාදීන් බලවත් වන බවත්, අවිනයවාදීන් බලවත් වී විනයවාදීන් දුර්වල වන බවත් දක්වා ධර්ම විනය සංගායනා කිරීම වැදගත් යැයි සඳහන් කළහ. ඒ අනුව මහාකාශ්‍යප මහරහතන් වහන්සේ විසින් පළමුව හාරසිය අනූනවයක් රහත් භික්‍ෂූන් වහන්සේ සංගායනා කාර්යය සඳහා තෝරා පත් කර ගත් අතර, එම අවස්ථාව වනවිටත් අර්හත්වය සාක්ෂාත් නොකළ ආනන්ද තෙරුන් වහන්සේ රහත් බවට පත්වීමෙන් පසුව සංගායනා කාර්යය සඳහා එකතු වීමෙන් සමස්ත සංඛ්‍යාව පන්සියයක් වූ නිසා මෙම සංගායනාව පංච සතික යනුවෙන් නම් කරන ලදී.

චුල්ලවග්ග පළමු සංගීති වාර්තාව හා සමන්තපාසාදිකා විනය අටුවාව අනුව පළමුව විනය සංගායනා කිරීමට තීරණය කරන ලද්දේ විනය බුද්ධ ශාසනයේ පැවැත්මට මෙන් ම, එහි ආරක්ෂාවට හේතු වේ ය යන ථෙරවාදි පිළිගැනීම නිසයි (විනයෝ නාම බුද්ධ සාසනස්ස ආයු. විනයේ ඨිතේ සාසනං ඨිතං).


අනතුරුව විනය දේශනා කිරීම සඳහා සුදුසුකම් ලැබුවේ බුදුරදුන් ජීවමාන අවදියේ ම විනයධරයන් අතුරින් ප්‍රධානත්වයෙහි ලා තැබූ උපාලි මහරහතන් වහන්සේ ය. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ විසින් විනය පිළිබඳ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විනයධර උපාලි තෙරුන් වහන්සේ සෑම ශික්‍ෂා පදයකට ම ආදාළ ව වස්තු නිදාන පුද්ගල ප්‍රඥප්ති අනුප්‍රඥප්ති ආපත්ති, අනාපත්ති යන අංශ හතක් යටතේ කරුණු පැහැදිලි කළහ. එම පිළිවෙත අනුව ථෙරවාද විනය පිටකයට අයත් භික්ෂු ශික්ෂා පද දෙසිය විසිහතක් සහ භික්‍ෂුණී ශික්‍ෂා පද තුන්සිය එකොළසක් අඩංගු භික්‍ෂු හා භික්‍ෂුණී උභය විභංග සාකච්ඡා කළ බව සංගායනා වාර්තාව සඳහන් කරන නමුත් සමන්තපාසාදිකා විනය අටුවාව පවසන්නේ උභය විභංග ඛන්ධක හා පරිවාර යන කොටස් තුන ම ඇතුළත් වන සේ සමස්ත ථෙරවාද විනය පිටකය පළමු සංගායනාවේ දී සාකච්ඡා කොට සංස්කරණය කළ බවයි. සමන්තපාසාදිකා විනය අටුවාව අනුව ථෙරවාද විනය පිටකය යනුවෙන් හඳුන්වන්නේ එසේ පළමු සංගීතියේ දී සංගායනා කොට සමූහ සජ්ඣායනාවකින් සමාප්ත කරන ලද, පාරාජිකාපාළි, පාචිත්තිය පාළි මහාවග්ගපාළි, චුල්ලවග්ගපාළි හා පරිවාරපාළි යන ග්‍රන්ථ පහයි. විනය සම්බන්ධයෙන් මහාකාශ්‍යප හිමියන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් විනයධර උපාලි මහරහතන් වහන්සේ බුදුරදුන්ගෙන් පසුව ථෙරවාද විනය සම්ප්‍රදාය ඉදිරයට ගෙනගිය ගුරු ශිෂ්‍ය පරපුරෙහි ආදිතමයා වශයෙන් පිළිගනු ලැබේ.

සංගායනා වාර්තාව අනුව දෙවනුවට සාකච්ඡාවට භාජනය වූයේ ධර්මයයි. ඒ යටතේ මහාකාශ්‍යප තෙරුන් වහන්සේ විසින් ධර්මය සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නවලට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ පිළිතුරු ඉදිරිපත් කළහ. සූත්‍ර දේශනාවලට පසුබිම් වූ නිදානය හා පුද්ගලයා සහිත විස්තර විභාග ගෙනහැර දක්වමින් පිළිවෙලින් දීඝ නිකාය, මජ්ම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්ධක නිකාය ආදි වශයෙන් සූත්‍ර පිටකය කොටස් පහක් යටතේ සංගායනා කොට සංස්කරණය කරන ලදී (එතෙනෙව උපායෙන පංචපි නිකායේ පුච්ඡි)

පළමු සංගායනා වාර්තාවෙන් සැපයෙන සංක්‍ෂිප්ත විස්තරය අනුව උපාලි තෙරුන් විසින් භික්‍ෂු, භික්‍ෂුණී විනය ශික්‍ෂා ඇතුළත් උභතෝ විභංගයත්, ආනන්ද තෙරුන් විසින් ධර්මය ඇතුළත් සූත්‍ර පිටකයේ නිකාය පහත් සංග්‍රහ කොට තිබේ.

සංගායනාව පිළිබඳ අතිරේක විස්තර ඇතුළත් සමන්තපාසාදිකා විනය අටුවාව වාර්තා කරන්නේ පළමු සංගායනාවේ දී සමස්ත විනය පිටකයත්, සූත්‍ර පිටකයේ නිකාය පහත්, අභිධර්ම පිටකයත් ඇතුළු ත්‍රිපිටකය ම සංගායනා කළ බවයි.

ඒ අනුව ධම්ම විනය සංගායනා කිරීම යන්නෙන් සමස්ත ත්‍රිපිටකය ම සංගායනා කිරීම අදහස් කර ඇති බව පැහැදිලි වේ.

චුල්ලවග්ග සංගායනා වාර්තාව හා සමන්තපාසාදිකා විනය අටුවාවෙන් ඉදිරිපත් කරන ලද විස්තරවලට අමතර ව ත්‍රිපිටකයට අයත් ධර්ම විනය ග්‍රන්ථ පරීක්‍ෂා කිරීමෙන් ද කෙනකුට සංගායනා කාර්යය කෙතරම් විධිමත් හා සංවිධානාත්මක ව සිදුවී තිබේ ද යන්න වටහාගත හැකි ය. බුදුරදුන් විසින් නොයෙකුත් අවස්ථාවල දී විවිධ හේතු පදනම් කරගෙන පනවන ලද ශික්‍ෂාපද සියල්ල ඒකරාශී කොට විධිමත් පරිදි සංග්‍රහ කිරීම මෙහි දී සිදුව තිබේ. ඒ අනුව ගරුකාපත්ති ගණයට අයත් පාරාජිකා සංඝාධිසේස මුලින් දක්වා දෙවනුව ලහුකාපත්ති ගණයට අයත් වන සාමාන්‍ය ඇවැත් ඇතුළත් කොට උභය විභංග සංග්‍රහ කොට තිබේ.

දෙවනුව භික්‍ෂු භික්‍ෂුණීන්ගේ ආරාමික ජීවිතය කළමනාකරණය කෙරෙන ශික්‍ෂා ඒකරාශී කොට ඛන්ධක විනය මහාවග්ගපාළි, චුල්ලවග්ගපාළි යනුවෙන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ සම්පාදනය කර ඇත. විනයෙහි අතිරේක කරුණු ඇතුළත් කොට පරිවාර පාළි නමින් වෙන ම කොටසක් සකස් කර තිබේ.

පළමු සංගායනාවේ දී සංගායනා කරන ලද සූත්‍ර පිටකයේ සැකැස්ම වෙනස් ස්වරූපයක් ගනී. ඒ අනුව බුදුරදුන් විසින් විවිධ අවස්ථාවල දේශනා කළ දීර්ඝ ප්‍රමාණයේ සූත්‍ර දීඝ නිකායටත්, මධ්‍යම ප්‍රමාණයේ ඒවා මජ්ම නිකායටත් ඇතුළත් කර ඇත. කිසියම් එක් පුද්ගලයකුට නැතහොත් එක් මාතෘකාවක් යටතේ දේශනා කළ ධර්ම කොටස් ඒකරාශී කොට සංයුත්ත නිකාය සකස්කර ඇති අතර, අංගුත්තර නිකායේ අන්තර්ගතය සැකසෙන්නේ එකේ සිට එකොළහ දක්වා විවිධ ධර්ම කොටස්වල සම්පිණ්ඩනයක් ලෙසයි.

ග්‍රන්ථ හෙවත් විශේෂ කොටස් පහළොවකින් ඛුද්දක නිකාය සමන්විත වේ. එකිනෙකට වෙනස් මාතෘකා පහළොවක් යටතේ දේශනා කළ ධර්ම කොටස් මෙම ග්‍රන්ථවල ඇතුළත් වේ. පළමු සංගායනාවේ දී අභිධර්මය සංග්‍රහ කළ බවක් සංගයනා වාර්තාවේ ඍජු ව සඳහන් නොවුණ ද සමන්තපාසාදිකා විනය අටුවාව අනුව පළමු සංගීතියේ දී අභිධර්ම පිටකයට අයත් මුල් ග්‍රන්ථ හතර බොහෝදුරට සංගයනා වන්නට ඇතැයි සිතිය හැකි ය. ඇතැම් විට එය සංගායනා කෙරෙන්නට ඇත්තේ ඛුද්දක නිකාය යටතේ බව පෙනේ (චත්තාරො නිකායේ ඨපෙත්වා අවසේසං බුද්ධ වචනං).

ත්‍රිපිටක ග්‍රන්ථවල එකිනෙකට වෙනස් සංස්කරණ ක්‍රමවලින් ප්‍රකට වන්නේ සංගීතිකාරක මහරහතන් වහන්සේ බුදුරදුන් වදාළ ධර්ම විනයේ මතු පැවැත්ම හා ආරක්‍ෂාව සිත්හි ධාරණය කර ගනිමින් විධිමත් ක්‍රමවේදයකට අනුව සියල්ල මැනවින් සංග්‍රහ කර ඇති බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ භාණකවරුන් විසින් කටපාඩමින් පවත්වා ගෙන ආ ත්‍රිපිටකය මුල්වරට ලේඛණාරූඩ වීම සිදුවන්නේ වලගම්බා රජුගේ රාජ්‍ය කාලයේ දී ය. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවීමෙන් අනතුරුව මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන රහත් භික්‍ෂූන් වහන්සේ පන්සිය නමක් එක්ව සිදු කළ ධර්ම විනය සංගායනාවේ දී බුද්ධ වචනය විධිමත් ආකාරයකට සංස්කරණය කිරීම සඳහා දරන ලද උත්සාහය ප්‍රථම සංගීති වාර්තාවෙන් හා සමන්තපාසාදිකා විනය අටුවාවෙන් ඉදිරිපත් කෙරෙන තොරතුරුවලින් සනාථ වේ.




මහාචාර්ය උඩුහාවර ආනන්ද හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2025 අගෝස්තු 08 සිකුරාදා   බුදුසරණ පුවත්පතෙ පල වු ලිපියකි

No comments:

Post a Comment