Labels

Thursday, February 29, 2024

ගැටලුවට පිළිතුර ගැටලුවක් නොවන්නට නම්...

 දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි දෙවියෙක් උන්වහන්සේගෙන් පැනයක් විමසා සිටියා. කී දෙනෙක් නිදා ගත් විට කීදෙනෙක් අවදියෙන් ද, කී දෙනෙක් අවදියෙන් වූ විට කී දෙනෙක් නිදි ද, කී දෙනෙක් කෙලෙස් ඇති කරයි ද? කී දෙනෙක් පිරිසුදු කරයි ද?

බුදුරජාණන් වහන්සේ දෙවියාට මෙලෙස පිළිතුරක් දුන් සේක. පස් දෙනෙක් නිදන විට පස් දෙනෙක් අවදියෙන්. පස් දෙනෙක් අවදියෙන් සිටින විට පස් දෙනෙක් නින්දේ. පස් දෙනෙක් කෙලෙස් උපදවයි. පස් දෙනෙක් පිරිසිදු කරයි.

මේ සංවාදය අප දකින්නේ ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ සගාථ වර්ගයේ ජාගර සූත්‍රය තුළයි.

මෙම පිළිතුර තුළ පහ, බැගින් වූ කොටස් දෙකක් වෙයි. මේ දහය ම ඇත්තේ අපගේ සිත තුළයි. සිත තුළ වූ සිතිවිලි සමූහයකි. මොනවද මේ සිතිවිලි සමූහය. ශ්‍රද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා, එක් පහක කාණ්ඩයකි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්චකුක්කුච්ච, විචිකිච්ඡා යන පහ අනෙක් කාණ්ඩය යි.

නිදන අවදි වන කාල හඳුනාගන්නට පෙර මේ දහ දෙනා කෙටියෙන් හඳුනා ගත යුතුයි.

ශ්‍රද්ධා යනු සිත තුළ වන ප්‍රසන්න භාවයයි. පැහැදීමයි. පුද්ගලයකු තුළ වූ ඉන්ද්‍රියකි. යමක් හටගැනීමේ බීජයකි. බලයකි. ධනයකි. පැහැදීම ඇති කර ගත යුත්තේ බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන කෙරෙහි ය. තෙරුවන් ගුණ දැක, ඒ ගුණ හදුනාගෙන, ඒ ගුණ තම දෛනික ක්‍රියාකාරකම් තුළින් ප්‍රකට කිරීම ශ්‍රද්ධාව යි.

සතිය යනු සිහිය යි. එළඹගත් සිහියෙන් විසීම යි. සතර සතිපට්ඨානය තුළ වාසය කිරීමයි.

කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා.

කය ගැන සිහියෙන් විසීම කායානුපස්සනාව යි. ඉරියව් භාවිතයේ දී ඒ තුළ සිත මෙහෙයවීම, හුස්ම ඉහළ පහළ දැමීම මෙනෙහි කිරීම ආදී ලෙස කය පිළිබද පුළුල් දැනුම ලබා කය මෙනෙහි කිරීම.

එමෙන් ම සැප, දුක්, උපෙක්ඛා ආදි ලෙස විඳින දේ තුළ සිත යෙදවීම වේදනානුපස්සනාව යි. තම සිත තුළ උපදින සිතිවිලි කෙරෙහි සිත යෙදවීම චිත්තානුපස්සනාව යි. ධර්මය කෙරෙහි සිත යෙදවීම ධම්මානුපස්සනාව යි.

විරිය යනු වීර්ය යි. යමක් කිරීම සඳහා, ඉටුකර ගැනීම සදහා අප ගන්නා කායික, මානසික වෙහෙස යි. බුදු දහමට අනුව සතර ආකාරයකින් වෙහෙස විය යුතුයි. එනම් කළ කුසල් දියුණු කර ගැනීම, නොකළ කුසල් කිරීම, කළ අකුසල් නැති කර ගැනීම, නොකළ අකුසල් ඇතිවීමට අවස්ථාවක් නො දීම වීර්ය වේ.

සමාධි යනු සිතේ ඇති ඒකාග්‍රතාවයි. යමක් කරන විට ඒ කරන දේ තුළ ආරම්භයේ සිට අවසානය දක්වා සිත තබා ගත හැකි නම්, එය සමාධියයි. ප්‍රඥා යනු බුද්ධිමත් නැණවත් භාවයයි. ජීවත්වීම යනු මතුවන ගැටලුවලට පිළිතුරු සෙවීම යි. විවිධ ගැටලු මතු වෙයි. සමහර ගැටලුවලට පිළිතුරු පවතියි. සමහර ගැටලු සඳහා පිළිතුරු නිර්මාණය කළ යුතුයි. සමහර ගැටලුවලට පිළිතුරත් ගැටලුවකි. මේ සදහා පැවතිය යුත්තේ ප්‍රඥාව යි. එවිට නිවැරැදි පිළිතුරක් හෝ නිර්මාණාත්මක පිළිතුරක් සකස් කර ගත හැකි ය.

කාමච්ඡන්ද යනු අප තුළ වන ඇස, කන , නාසය, දිව , ශරීරය, මනස, යන ඉදුරන් ඉෂ්ට,කාන්ත, මනාප, ප්‍රිය, එහිම ඇලිය හැකි, ගැලිය හැකි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන මෙයින් පිනවා ගැනීම යි. මිනිස්සු මේ සඳහා ගොවිතැන්, වෙළදාම්, විවිධ වෘත්තීන් හි යෙදෙති. මේ සියල්ල කරන්නේ කාමච්ඡන්දය පිණිස යි. අපේක්ෂිත අරමුණු ඉටු නො වන විට, ඊට බාධා ඇතිවන විට ව්‍යාපාදය නැතහොත් තරහා ඇති වෙයි. ඒ තරහා නිසා ඒ බාධකය විනාශ කළ යුතුයි. නැති කළ යුතුයි යන සිතිවිල්ල ව්‍යාපාදය යි. කෙතරම් වෙහෙසක් ගත්තද අවශ්‍ය ඉලක්කයට යා නොහැකි වන විට කයෙහි, සිතෙහි අලසකමක් ඇති වෙයි. වැඩ නතර කරයි. නිදිමත ගතිය ඇති වෙයි. මේ ස්වභාවය ථීනමිද්ධ නම් වෙයි. එමෙන්ම ඒ නිසාම සිත තුළ නොසන්සුන්කමක් ගොඩනැඟෙයි. සිත එක අරමුණක තබා ගත නොහැකි ව එහෙ මෙහෙ දුවයි. ඉටු නොවුන අරමුණ ගැන පසුතැවිලි වෙයි. එය උද්දච්චකුක්කුච්ඡ නම් වෙයි. ඉලක්ක සපුරා ගන්නට විවිධ ක්‍රමවේද අනුගමනය කරයි. ඒ ක්‍රමවේද තුළින් ඉලක්ක ඉටු නොවන විට ඒ ක්‍රමවේද පිළිබද සැකය උපදියි. එය විචිකිච්ඡාව යි.

මේ ඊළඟ පහේ කණ්ඩායම වෙයි.

කෙනෙක් තුළ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්චකුක්කුච්ඡ, විචිකිච්ඡා යන මේ පස්දෙනා අවධියෙන් සිටින විට ශ්‍රද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා නිදාගනියි. යම් හෙයකින් කාමච්ඡන්දාදි පස් දෙනා නිදාගත්තොත් ශ්‍රද්ධාදි පස්දෙනා අවධි වෙයි.

කාමච්ඡන්දාදි පස් දෙනා පුද්ගල සන්ථානයෙහි අවධිව සිටින විට සිත තුළ කෙලෙස් උපදී. අරමුණු ලැබුණ විට රාගය උපදියි. නො ලැබුණ විට තරහා, ක්‍රෝධය උපදියි. අරමුණ ඉටු කර ගන්නට බාධා ගොඩනැඟෙන විට ගුණමකුකම ගොඩනැඟෙයි. තමන්ට නො ලැබී අන් අයට ලැබෙන විට කුහකකම මතු වෙයි. ඊර්ෂ්‍යාව මතු වෙයි. තමන්ට ලැබී අන් අයට නොලැබී ඇති විට මසුරුකම ගොඩනැඟෙයි. තමන්ට නො ලැබෙන විට සිත තුළ රළු හා වඩාත් රළු ගති උපදියි. තමන්ට විතරක් ලැබෙන විට මානය, අතිමානය, මත්වීම, වඩාත් මත්වීම ගොඩනැඟෙයි. මේ අයුරින් ව්‍යාපාද ආදී අනෙක් හතර පදනම් කොට ගෙන ද මෙසේම කෙලෙස් උපදියි. මේ නරක කෙලෙස් නිසා පුද්ගල ක්‍රියාකාරකම්, වචන, සිතිවිලි තමන්ට හිරිහැර කරයි. අනුන්ට හිරිහැර කරයි. එනම් අකුසල්, පව්කම් අපරාධ කරයි. එයින් පුද්ගලයා දූෂ්‍ය වෙයි. එවන් පුද්ගලයන් කිහිප දෙනෙකු එක් වූ විට සමාජය දූෂ්‍ය වෙයි.

වර්තමාන සමාජය තුළ කාමච්ඡන්දාදි පස්දෙනා අවධිව සිටියි. අවිආයුද ගෙන මිනිසුන් ඝාතනය කරන්නේ, අනුන්ගේ දේපළ තමන්ට අයිති කර ගැනීම සඳහා හොරකම් කරන්නේ, මංකොල්ල කන්නේ,වෙනත් තක්කඩිකම්, කපටිකම් කරන්නේ, අල්ලස්​ කොමිස් පසු පස්සේ දුවන්නේ, මොන ක්‍රමයෙන් හෝ ලාභ ලබන්නට හිතන්නේ, එය පදනම් කර ගෙනයි.

වැරැදි අයුරින් කම් සැප විඳියි. මත්පැන් මත්ද්‍රව්‍ය , ගණිකා වෘත්තිය, සමලිංගික විවාහ නීතිගත වෙයි. විවාහ කඩා වැටෙයි. පවුල් ඉහිරි යයි. නඩු හබ ඇති වෙයි. බොරු කියයි. කේළාම් කියයි. පරුෂ වචන කියයි. හිස් වචන කතා කරයි.

දකින දකින දේ, අසන අසන දේ ආඝ්‍රාන කරන කරන දේ, විඳින විඳින රස, ලබන ලබන ස්පර්ශය තමන්ට ම ලබා ගැනීම සඳහා වන විෂම ලෝභය හට ගනියි. මේ අරමුණු ඉටු කර ගන්නට විවිධ මිථ්‍යා කටයුතු කරයි. විවිධ වන්දනාමාන කරයි.විවිධ තක්කඩි, රැවටිලිකාර, උමතු කපුවන්, යාඥාකරුවන්, බෝසත්වරුන්, අරහතුන්, මුනිවරුන්, බුදුවරුන් පසුපස යයි.

වර්තමානය තුළ කාමච්ඡන්දාදි පස්දෙනා අවදිව සිටින නිසා පුද්ගලයා දූෂ්‍ය වී ඇත. එවන් පුද්ගලයන් රාශියක් එක්වීම නිසා සමාජය දූෂ්‍ය වී ඇත.

පුද්ගල පාරිශුද්ධත්වය, සමාජ පාරිශුද්ධත්වය ගොඩ නඟන්නට නම් ශ්‍රද්ධාදි පස් දෙනා අවදි කර ගත යුතු ය. ශ්‍රද්ධාදි පස් දෙනා අවදි වූ කල මිනිසා දන් දෙයි. කය වචනය හික්මවා ගනියි. සිත දියුණු කර ගනියි. කෘතඥතාව, කෘතවේදිත්වය ඇති කර ගනියි. අන් අයට ගරු කරයි. අන් අයගේ යහපත් දේ අගයයි. වැඳිය යුත්තන් පිදිය යුත්තන් හඳුනාගෙන වඳියි. පුදයි. බුදු බණ අහයි. බුදු බණ කියයි. තමන්ගේ දැක්ම යහපත් කර ගනියි. මෛත්‍රිය, කරුණාව, දයාව වැනි ගුණ ධර්ම අනුගමනය කරයි. ජීවිතය, ලෝකය යථාර්ථවත් ව හඳුනා ගනියි. මනුෂ්‍යත්වයේ උදාරත්වය හඳුනා ගනියි.

නිදි කළ යුතු අය හඳුනාගෙන නිදි කරමු. අවදිවිය යුතු අය හඳුනාගෙන අවදි කරමු. ලෞකික සතුට ලබමු. පාර ලෞකික සතුට ලබමු. ලොකෝත්තර වූ උතුම් සතුට ලබමු.



ඌවේ සියම් මහා නිකායේ මහා ලේඛකාධිකාරි,
වැලිමඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති,
කැප්පෙටිපොල, පාලුගම,
ශී‍්‍ර සුභද්‍රාරාම මහා විහාරාධිපති,
ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2024 පෙබරවාරි 23 සිකුරාදා   බුදුසරණ පුවත්පතෙ පල වු ලිපියකි

No comments:

Post a Comment