Labels

Thursday, February 29, 2024

ධර්මය විවාදයට නොවෙයි අවබෝධය පිණිසයි

 


ස්වාමීන් වහන්ස,


බුද්ධ ශාසනය, එසේ නොමැති නම් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ලෙස සලකන ධර්මය කියන්නේ කුමක්ද? ඒ ශ්‍රී සද්ධර්මයේ ඇති ගුණයන් පිළිබඳ අප දැනුම්වත් විය යුතු කෙසේද?

සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල ලෙසින් විස්තර වන නවාංග සත්ථු ශාසනය යනු බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය යි. මෙම උතුම් පණිවිඩය මගින් පුද්ගල සන්තානවල ඇති සතර අපායේ වැටෙන ධර්මතාවන් ප්‍රහාණය කර සුගතිගාමි කරවන හා මාර්ගඵල ධර්මතාවයන් උපද්දවන ක්‍රමවේදයන් නොඅඩුව ම විස්තර කර දී තිබෙනවා.

" ස්වාක්ඛාතො භගවතා ධම්මො, සන්දිට්ඨිකො, අකාලිකො, ඒහිපස්සිකො, ඕපනයිකො, පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති "

ලෙස උතුම් ධර්මයේ ගුණයන් බොහෝ සූත්‍ර දේශනාවල දක්නට ලැබෙනවා. මුල, මැද, අග යන තුන් තැන ම යහපත් වන පරිදි" මනාකොට දේශනය කරන ලද්දේ ය යන ස්වාක්ඛාතො ගුණය, එම ධර්මය අප අවබෝධ කර ගත යුතුයි.


පිළිපදින්නා වූ සත්පුරුෂයනට වර්තමාන භවයේ දී ම ප්‍රත්‍යක්ෂ වන ගුණවලින් යුක්ත වන්නේ ය යන සන්දිට්ඨිකො ගුණයත් අවබෝධ කර ගත යුතු යි. ඒ වගේ ම ධර්මය අනුව පිළිපදින්නා වූ හෙවත්, ඒ ධර්මය ක්‍රියාවෙහි යොදවන්නා වූ සත්පුරුෂයනට වර්ෂ ගණන්, මාසගණන් ගත වීමෙන් නොව එදිනෙදා ම ලැබිය හැකි ගුණවලින් යුක්ත වන්නේ ය යන අකාලිකො යන ගුණය පිළිබඳ අවබෝධ කර ගත යුතුයි.

ඇවිත් මේ සසුනෙහි පිළිවෙත් පුරා බලන්න යැ යි අන්‍යයන්ට නිර්භීත ව කිව හැකි, ඒහිපස්සිකො යන ගුණය පිළිබඳ අවබෝධ කර ගත යුතුයි.

මේ ධර්මය අන් හැම වැඩක් ම පසුව කරන්නට තබා සැම වැඩකට ම කලින් තමාගේ සිතෙහි පිහිටුවීමට සුදුසු වන්නේ ය යන ඕපනයිකො ගුණය පිළිබඳවත් අවබෝධ කර ගත යුතුයි.

ඒ නිසා ම ධර්මය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයනට අන් තැනකින් නොව තමාගේ ම සිතින් ම අහෝ සැපය, අහෝ යහපත් ය කියා දැනෙන පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි යන ගුණයත් යන මේ ධර්මයේ ඇති ගුණයන් පිළිබඳ අවබෝධාත්මක දැන ගැනීමක් අපි තුළ තිබිය යුතුයි.

එය තවදුරටත් මෙලෙස පැහැදිලි කරන්නට පුළුවන්. එනම් මෙම ගුණයන්ගෙන් යුක්ත ධර්මය භාවිත කිරීමෙන් තමන්ගේ චිත්ත සන්තානය තුළ ඇතිවෙන වෙනස් වීම් පිළිබඳ තමන්ට අවබෝධයක් තිබිය යුතු බව යි. එපමණක් නොවෙයි. දැනට එම ධර්මය භාවිත කර තිබෙනවා නම් තමන් තුළ සිදුවී ඇති මානසික විපර්යාසය කොපමණ ද යන්න පිළිබඳ ව ද තමන්ට ම අවබෝධයක් ද තිබිය යුතුයි.

ස්වාමීන් වහන්ස, මෙම ධර්මය භාවිත කිරීමෙන් පුද්ගලයකුට ලැබිය හැකි උසස් ම ඵලය කුමක්ද?

බුදුන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයෙන් අපට ලද හැකි වටිනාම ඵලය වන්නේ ලෝකෝත්තර අවබෝධයට පත්වීමයි. ලෝකෝත්තර අවබෝධයට පත්වීමේ අවම සුදුසුකම සෝවාන් ඵලය යි. එයට හේතුව සෝවාන් ඵලයට පත් පුද්ගලයා තුළ ප්‍රහාණය වූ කෙලෙස් නැවත නූපදීමයි.

ධර්මයන් ප්‍රහාණය වන විට තමන්ගේ සන්තානගත කෙලෙස් එසේ ප්‍රහාණය වන බව තමන්ට ම දැන ගන්නට පුළුවන් ද?

තදංග ප්‍රහාණය, විෂ්කම්භණ ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය , පටිපස්සද්ධි ප්‍රහාණය වශයෙන් ක්‍රමානුකූල ව ප්‍රහාණය වන මෙම කෙලෙස් ධර්මයන් සන්තානවලින් ප්‍රහාණය වන විට ඒ සන්තානවල ඇත්තාවූ දැවිලි තැවිලි අඩු වෙනවා.

එවිට යම්කිසි ආකාරයක ප්‍රහාණය වන මට්ටම් අනුව සැනසිලිදායක තත්ත්වයකට පත්වෙනවා.

තමන් තුළ ඇති සංවර බව, දැවිලි තැවිලි අඩු බව, පාපයට ලජ්ජාව ඇති බව, පාපයට බය ඇති බව, හිතේ සන්සුන් බව, ඉන්ද්‍රිය සංවර බව ආදී ධර්මතාවන් මිනුම් වශයෙන් භාවිත කරමින් තමන්ගේ වර්තමානයේ පවතින මානසික තත්ත්වය පිළිබඳ තමන්ට ම නිශ්චය කර ගන්නට යම් පමණින් හැකියාවක් තිබෙනවා. රෝගයක් නිශ්චිතව ම සුව වනතුරු එය අඩු වැඩි වනවා වගේ මෙම කෙලෙස් රෝගී තත්ත්වය ද නිට්ටාවට ම සුව වනතුරු විටින් විට අඩු වැඩි වන බව ගැනත් අවබෝධයෙන් සිටිය යුතු වනවා.

ප්‍රත්‍යවේක්ෂාව යන්න අර්ථගන්වන්නේ කෙසේද?

අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට ලබා දුන් අවවාදය බලන්න “රාහුල, කැඩපත කවර ප්‍රයොජනයක් පිණිස ද?”

“ස්වාමීනි, එය මුහුණ බැලීම පිණිස යි.”

“රාහුලය, එලෙසම නුවණින් බල බලා කයින් කටයුතු කළ යුතු යි. නුවණින් බල බලා වචනයෙන් කටයුතු කළ යුතු යි. නුවණින් බල බලා සිතින් කටයුතු කළ යුතුයි.

මේ ප්‍රත්‍යවේක්ෂාව යි, ප්‍රත්‍යවේක්ෂාවේ අර්ථය නුවණින් විමසා බලමින්, තමන් තුළ ඇති අඩුපාඩු හරියාකාර ව හැඳින දැනුම නිවැරැදි කර ගැනීමට කටයුතු කිරීමයි. අතීත වර්තමාන, අනාගත වශයෙන් ම මෙම ප්‍රත්‍යවේක්ෂාව සිදු කළ යුතු වනවා.

ස්වාමීන් වහන්ස ධර්මාවබෝධය සඳහා සිදුකළ යුත්තේ කුමක්ද යන්න කෙටියෙන් පැහැදිලි කරන්නට පුළුවන් ද?

වර්තමානයේ බොහෝ බෞද්ධ පිරිස් තමන්ගේ මානසිකත්වය පිළිබඳ, අභිවෘද්ධිය පිළිබඳ සැලකිලිමත් වන බවක් පෙනෙන්නේ නෑ. සාමාන්‍ය තාක්ෂණික විෂයක් හදාරන ආකාරයට ම කරුණු ඒකරාශී කර ගැනීමෙන් කරුණු පිළිබඳ වාද විවාද කර ගැනීමෙන් දැන ගැනීමෙන් ම පමණක් ම ධර්මය අවබෝධ කරගත නොහැකි යි. තමන්ගේ දෘෂ්ටිය නිවැරැදි බවට පත්කර ගැනීම සඳහා පහත සඳහන් පියවර අනුගමනය කළ යුතු බව ධර්මයේ සඳහන් වෙනවා.

සුතා-සද්ධර්මය මනාකොට අසා දැන ගැනීම,

ධතා-එය මනාව සිත්හිලා දරා ගැනීම,

වචසා පරිචිතා-වචනයෙන් පුරුදු කර ගැනීම,

මනසානුපෙක්ඛිතා-එයට සිත යොමු කරමින් නුවණින් සලකා බැලීම හා, දිට්ඨියා සුප්පටිවිද්ධා-දෘෂ්ටිය ඍජු භාවයට පත් කර ගැනීමයි.

විමුක්තායතන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ කෙලෙස්වලින් සිත මිදෙන අවස්ථා පහක් පිළිබඳ දේශනා කර තිබෙනවා. “මහණෙනි, යම් කරුණෙක්හි කෙලෙස් තවන වීර්යය ඇති ව, හරන ලද ආත්මාලය ඇති ව, අප්‍රමාද ව වාසය කරන භික්‍ෂුහුගේ කෙලෙසුන් කෙරෙන් නොමිදුනා වූ සිත හෝ මිදේ ද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය කිරීමට යෙදේ ද, නොපැමිණියා වූ හෝ නිරුත්තර වූ යොගක්‍ෂෙම සංඛ්‍යාත නිවනට පැමිණේ ද, එබඳු වූ මේ මිදීමට කරුණු පසක් වෙත්’

අර්ථය දැන ගනිමින් ද, ධර්මය දැන ගනිමින් ද ධර්මය ශ්‍රවණය කිරීමත්, ධර්මය දේශනා කිරීමත් මෙම කරුණු පහට අන්තර්ගත වී තිබේ. එබැවින් ඒ දේශනා කරන ධර්මයෙහි හෝ ශ්‍රවණය කරන ධර්මයෙහි අර්ථය දැන ගනිමින්, තමන් තුළින් අත්දකිමින් දේශනා කිරීම හෝ ශ්‍රවණය කිරීම කෙලෙසුන්ගෙන් සිත මිදීමට හේතු විය හැකියි.

නොහැකි යැයි සිතා ඉන්නවාට වඩා එවැනි උත්සාහයක් ගැනීමට අවස්ථාවන් සකසා ගැනීම ඉතා වටිනාකමින් යුක්ත කාරණයක්.

යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ
තේසඤ්චයෝ නිරෝධෝ -  ඒවං වාදී මහා සමණෝ

ලොවෙහි සෑම දෙයක් ම හේතූන් ඇතුව සකස් වෙන බවත්, හේතුන් නොමැති ව කිසිවක් සකස් නොවන බවත් දේශනා කර ඇති ධර්මයට අනුව විග්‍රහ වන්නේ නිවන් දකින මාර්ගය ද හේතු නිසා සකස් වන බවට යි.

එසේ නම් කලින් සඳහන් කළ ඉතා පහත් නියත මිථ්‍යාදෘෂ්ටියේ සිට සෝවාන් ඵලය දක්වා කෙලෙස් කපා හරිමින්, දුරු කරමින් වර්ධනය කළ යුතු මාර්ගය හේතූන් ඇතුව, ඵලයන් ඇතිව සිදුවන ආකාරය විමස විමසා බලා පෙළ ගැස්විය හැකි විය යුතුයි.

ඒ කියන්නේ, අද අප භාවිත කරන ථෙරවාදී ත්‍රිපිටක ධර්මය භාවිතයෙන් නිවන් දැකිය හැකි බව කරුණු සහිත ව ගෙන හැර දක්වමින් පෙන්වාදිය හැකි විය යුතුයි. සැකයක් නැතුව ම පිළිවෙත් පුරන්නට එවිට පුද්ගලයකුට හැකියාවක් ලැබෙනවා.

එපමණක් නොවෙයි. තමන්ගේ මානසිකත්වය නිවන් දැකීම සඳහා කොපමණකින් වර්ධනය කර ගෙන තිබේ ද යන්න එනම්, තමන් වර්තමානයේ කුමන මානසික මට්ටමකින් සිටිනවා ද යන්න පිරික්සා බැලීමට ද මෙම ධර්ම දේශනාව ඉවහල් වනවා.

මෙවැනි උත්සාහයක් ඇති කර ගන්නා මොහොතක සෑම දෙනා ම කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිගන්නේ ද නොමැති ව, නොපිළිගන්නේ ද නොමැතිව විමසා බලා තීරණයක් ගැනීම යි. එලෙස ම ධර්මයට අනුකූල නොවන හෝ විනයට නොගැලපෙන හෝ යම් කරුණක් වෙතොත් සාකච්ඡා කර මෙම පිළිවෙත් මාර්ගය තවදුරටත් පිරිසිදු කර ගැනීම යි .

ධර්මය විවාදය පිණිස නොව සංවාදය පිණිස යි.

මෙසේ නිවැරැදි ව ධර්ම මාර්ගය පෙළගස්වා ගනිමින් අර්ථ පටිසංවේදී ව, ධම්ම පටිසංවේදී ව, තමන්ගේ මනසිකාරය ප්‍රත්‍යවේක්ෂා කරමින් දේශනා කිරීමමෙන් ම, ශ්‍රවණය කිරීම උතුම් ධර්ම අවබෝධය සඳහා ද හේතු විය හැකියි.





ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2024 පෙබරවාරි 23 සිකුරාදා   බුදුසරණ පුවත්පතෙ පල වු ලිපියකි

No comments:

Post a Comment