Labels

Thursday, February 29, 2024

නිවන් මඟට ප්‍රවේශය ශ්‍රද්ධාව යි

 


අභිධර්මයේ දැක්වෙන විදිහට කුසල පක්ෂයේ සිත් මුල් වී ඇති වන සිතිවිලි 21 ක් තිබෙනවා. ඒවාට කියනවා සෝභන සිතිවිලි කියලා. ඉතින් සෝභන කියන මේ වචනය තුළින් ම අපට වැටහෙනවා සුන්දර බවක්. ලස්සන බවක්. සැනසිලිදායක බවක්. මේ කියන සෝභන සිතිවිලි තුළ පළමු වන සිතිවිල්ල තමා ශ්‍රද්ධාව. මේ චෛතසිකය මුලට ම එන්නේ එය සියලුම සෝභන සිතිවිලිවලට ප්‍රවේශය ද වන නිසයි.

බුද්ධාදි රත්නත්‍රය කෙරෙහිත්, කර්මය හා කර්මඵලය කෙරෙහිත් ඇති කර ගන්නා ඇදහීම හෙවත් පහදවන ස්වභාවයට යි ශ්‍රද්ධාව කියල කියන්නේ. මෙම ශ්‍රද්ධාව පුද්ගලයාගෙන් පුද්ගලයාට අඩු වැඩි වෙනවා. ඉතා සරල මට්ටමට බැස්සොත් අපි කවුරුත් බෞද්ධයන් වශයෙන් සැලකෙනවා නම් අපට ඒකාන්ත වශයෙන් ශ්‍රද්ධාව යම් පමණකට පැවතිය යුතු වෙනවා.

ශ්‍රද්ධාව නිසා තමා අපි හැම දෙනාම කුසල පක්ෂයට යොමු කරන්නේ. දන් පින්කම් වශයෙන්, සිල් සමාදන්වීම්, බණ භාවනා කිරීම් ආදී කටයුතුවල යෙදෙන්නේ.

සෝවාන් මාර්ගයට ආසන්න වෙන අවස්ථාව වෙන කොට ක්‍රමානුකූල ව මේ චෛතසිකය ප්‍රබලත්වය කරා ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ රුව දැකීමෙන්, බුද්ධ ප්‍රතිමාවක් දෙස බලා සිට බුදුගුණ මෙනෙහි කිරීමෙන් මෙම ශ්‍රද්ධාව කියන චෛතසිකයේ ආරම්භක අවස්ථාවට පත් විය හැකියි.

මට්ටකුණ්ඩලී නම් අහිසංක තරුණයා රෝගාතුර ව, අසාධ්‍ය ව තම නිවසේ එළිපත්තේ වැතිර සිටිය දී බුදුරජාණන් වහන්සේ එතැනට වැඩියේ ඒ අසරණ එහෙත් පින් ඇති තරුණයාගේ සිත බුදුරුව කෙරෙහි යොමු කර පැහැදීමක් ඇති කරවා මරණාසන්න සිත ශක්තිමත් කර සුගති භවයක උපත ලබා ගැනීමට අවස්ථාව සලසා දීමට යි. ඒ ඇති කර ගත් ශ්‍රද්ධාව නිසාම ඒ අවස්ථාවේ ම මිය ගොස් දිව්‍ය විමානයක මට්ටකුණ්ඩලී නම් දිව්‍ය පුත්‍රයා බවට පත් වුණා.

සැවැත්නුවර එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ සිටි වක්කලී නම් වූ තරුණයා බුද්ධ ශරීරයේ සෝභාවට වසඟ වුණා. ඔහුට ඇති වූ හැඟීම වුණේ බුදුරුවේ අසිරිය පැය විසිහතර පුරාම දැක විඳ ගැනීමට යි. ඉතින් ඒ අරමුණ ඉටු කර ගන්න හොඳම ක්‍රමය ලෙස ඔහු කල්පනා කළේ බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි බව ලැබීම යි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ගත්තා වක්කලී මේ විදිහට පැවිදි වුණේ සසර දුක් අවබෝධ කර කෙලෙස් නසා සසර විමුක්තිය ලැබීමට නො වන බව. එහෙත් මේ භවය තුළ ඔහුගේ බුදුරුව කෙරෙහි ඇති බරපතළ වරදවා ගත් පැහැදීම නිවැරැදි මඟට ගැනීමේ ශක්තිය මතු කර ගැනීමට බුදුරජාණන් වහන්සේ පියවර ගත්තා. ඒ නිසා ම බුදුරජාණන් වහන්සේ පැවිදි බවේ අරුත් වටහා දෙමින් බුද්ධ ශරීරයේ පවා නිසරු බව පහදා පුහුදුන් වක්කලී හිමියන්ට ඇති වී තිබුණු සරල ශ්‍රද්ධාව ස්ථාවර කරමින් රූපස්ඛන්ධයේ අනියත බව වටහා දෙමින් බුද්ධ ශරීරයේ පවා නිසරු බව පෙන්වා දෙමින් අශූචි වළකට එය උපමා කරමින් දහම් මඟට යොමු කරවා ගැනීමට ක්‍රියා කළා.

ඒ අනුව සසර පෙරුම් පුරා ආධ්‍යාත්මය ශක්තිමත් කර ගෙන සිටි උන්වහන්සේගේ සිත අනිත්‍යයට යොමු වුණා. රුපයේ නිසරු බව ප්‍රත්‍යක්ෂ කර ගනිමින් කෙලෙස් නසා රහත් බවට පත් වුණා.

මෙහි දී සිදු වුණේ සරල වශයෙන් චංචල වශයෙන් ආරම්භ වූ බුදුරජාණන් වහන්සේ දැකීමෙන් ඇති කර ගත් පැහැදීම හෙවත් ශ්‍රද්ධාව නිසි මඟට ගැනීම යි. රහත් බවට පත් වූ වක්කලී මහරහතන් වහන්සේගේ ශ්‍රද්ධාව කෙතරම් ප්‍රබල වී ද කියනවා නම් බුදුරජාණන් වහන්සේ අසුමහා ශ්‍රාවකයන් වහන්සේගෙන් ශ්‍රද්ධාවන්ත ක්ෂීණාශ්‍රවයන් වහන්සේ අතර අගතනතුරට පත් කළේ වක්කලී මහරහතන් වහන්සේ යි.

මෙයින් පැහැදිලි වන්නේ ඉතා ප්‍රාථමික අවස්ථාවේ කෙනකුගේ සිතේ ඇති වන මේ ශ්‍රද්ධා චෛතසිකය ක්‍රමානුකූල ව කල්‍යාණ මිත්‍ර සේවනයෙන් මොන තරම් ඉහළ තැනකට පමුණුවා ගන්නට හැකියාව තිබෙනවා ද කියන මේ කාරණය යි.

ඒ විතරක් නොවෙයි ශ්‍රද්ධාව සියලුම කුසල ක්‍රියාවන් ශක්තිමත් කරන ආධිපත්‍යයක් ඇති කර ගත්නා නිසා එය ඉන්ද්‍රියයක් (සද්ධින්ද්‍රයං)ලෙස පෙන්වා දෙනවා.

එපමණක් විතරක් නොවෙයි මේ කියන ශ්‍රද්ධාව සියලුම යහපත් චෛතසිකයන් ශක්තිමත් කරන ධනයක් (සද්ධා ධනං) බවටත් පත්වෙනවා.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා තමන් වහන්සේ කෙරෙහි යම් ශ්‍රද්ධා මාත්‍රයක්වත් පවතිනවා නම්, ප්‍රේමනීය බවක් තිබෙනවා නම් ඒ සියලු දෙනා ම සුගතිය ම උරුම කොට ගන්නා බව. මෙම ශ්‍රද්ධා චෛතසිකය යම් පමණකට දුර්වල වෙනවා නම් එපමණට ම නිවන පුද්ගලයාගෙන් ඈත් වෙනවා. නිර්වාණ ප්‍රවේශයේ මූලිකම අවස්ථාව ශ්‍රද්ධාවයි.

ශ්‍රද්ධාව අමූලිකා සද්ධා හා ආකාරවතී සද්ධා යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මෙම අමූලිකා සද්ධාව අතිශය තාවකාලික වූ බුද්ධාදි රත්නත්‍රය කෙරෙහි ඇති වන ප්‍රසාදජනක තත්ත්වයකි. ක්ෂණයකින් එම ශ්‍රද්ධාව වෙනස් වී වෙනත් ආගමක් දහමක් වුවත් වැළඳගෙන මිථ්‍යා ජීවයකට යොමු විය හැකි යි. බෞද්ධ විමුක්ති මාර්ගයේ ප්‍රවේශය සලසා දෙන්නේ ආකාරවතී සද්ධාව මඟින්. එයින් අදහස් කරන්නේ බුද්ධාදි රත්නත්‍රය පිළිබඳ හා උන්වහන්සේ විසින් පෙන්වා දෙන කර්මය හා කර්මඵලය පිළිබඳ ඇදහීමක් ඇති කර ගන්නේ හේතු සහිත ව විචාරයෙන් හා විමසීමෙන් ඒ සම්බන්ධයෙන් තුලනය කොට බැලීමෙන් පමණයි.

අමූලික ශ්‍රද්ධාව අන්ධභක්තිය පැත්තට යොමු වීමක් ලෙස සැලකුවත් ආකාරවතී ශ්‍රද්ධාව බුද්ධි ගෝචර වූ ස්ථාවරත්වයට පියනඟින ශ්‍රද්ධාවක්. මෙම ශ්‍රද්ධා, චෛතසිකය මූලික වශයෙන් පුද්ගල සන්තානයෙහි ජනිත වීමට බලපාන්නේ ශ්‍රැතවත් බව හෙවත් ධර්ම ඥානය පුළුල් වීම නිසයි. ඒ සඳහා අතිශයින් හේතු වන්නේ කල්‍යාණ මිත්‍රයාගේ ඇසුරයි.

ශ්‍රද්ධාව නිවන් මගේ ප්‍රවේශය ලෙස සලකන්නට හැකි වන්නේ මුලින් ම ඇතිවන සම්පසාදන ශ්‍රද්ධාව තහවුරු වීම නිසයි. සම්පසාදන ශ්‍රද්ධාව ධර්මයෙහි උපමා කරන්නේ සක්විති රජතුමාට පහළ වන උදකප්පසාදක මාණික්‍යය හා සමාන කිරීමෙනුයි.

මේ උදකප්පසාදක මාණික්‍යය දිය සෙවෙල් සහිත යම් පමණකට කැළඹුණු ජලාශයකට දැම්මොත් එය පතුලට ගමන් කිරීම නිසා එම ජලය පිරිසුදු වී දියසෙවෙල් හා බොර ගතිය සහිත අපැහැදිලි තත්ත්වයෙන් පැවති ජලය පැහැදිලි වී, ප්‍රසන්න වී, උදකප්පසාදක මැණික ගැලී සිටින පතුල දක්වා පැහැදිලිව දැකගත හැකි වෙනවා.

ඒ වගේම මේ සම්පසාදන ශ්‍රද්ධාව යම් පමණකට ඇති පුහුදුන් පුද්ගලයාගේ සිත තුළ කුසල චෛතසිකයක් හට ගෙන වැඩි දියුණු වෙන කොට ඊට ප්‍රතිවිරුද්ධ ව ක්‍රියා කරන කෙලෙස් සහිත අපිරිසුදු සියලු සිතිවිලි එම අවස්ථාවට හෙවත් තදංග වශයෙන් හෝ යටපත් වී ඇති වන කුසල සිත ක්‍රියාත්මක වෙනවා. එ නිසා පුණ්‍ය සහගත ක්‍රියාවන්ට පෙළඹෙනවා. තෙරුවන් පිළිබඳ වඩාත් ප්‍රසන්න බවක් ඇති වෙනවා. මේ තත්වය තවදුරටත් දියුණු කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ අනුව තවදුරටත් ශ්‍රද්ධාව ඉදිරියට දියුණු කිරීමෙන් නිවන් මඟ අරමුණු කොට ක්‍රියා කිරීම අදහස් වෙනවා. එහිදී ඇති වන ශ්‍රද්ධාව සම්පක්ඛන්ධන සද්ධා කියලා හඳුන්වනවා.

එය වඩාත් උපමාවකින් පැහැදිලි කරනවා නම් භයානක මිනීකන කිඹුලුන් වැනි සතුන්ගෙන් ගහණ වූ ජලාශයකට අභීත පුරුෂයෙක් අවි ආයුධ සහිත ව බැස එම දැති මෝරුන් වැනි බියකරු සතුන් දෙපලු කොට එම ජලාශයෙන් මෙතෙර ඉන්න මිනිසුන් එතෙරට රැගෙන යන්නාක් මෙන් සිතේ බුර බුරා නැඟ එන පාප ධර්මයන්ට ඉඩ නොදී යහපත් කුසල සිතිවිලි ඇති කරමින් දහමට යොමු කරන්නාක් වැනි තත්වයක් ලෙසයි පෙන්වා දෙන්නේ. එය ශ්‍රද්ධාවේ දෙවන අවස්ථාව යි.

මේ කියවුණු සම්පසාදන හා සම්පක්ඛන්ධන යන පියවර දෙක ලෞකික අවස්ථාවට යි ගැනෙන්නේ. මේ ලෞකික වශයෙන් ඇති වූ ශ්‍රද්ධාව සද්ධානුසාරි පුද්ගලයාට ආවේණික වූ තාවකාලික තත්ත්වයක්. එහෙත් ධෛර්යවන්ත ශ්‍රද්ධාවන්තයා මේ ලෞකික අවස්ථාව ඉක්මවා තවදුරටත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන්, සද්ධර්ම ශ්‍රවණයෙන්, යෝනිසෝමනසිකාරයෙන් හා ධම්මානුධම්මපටිපත්තියෙන් ක්‍රියාත්මක වී ධම්මානුසාරි තත්ත්වයට පත් වෙනවා.

ඒ අවස්ථාව සද්දහන සද්ධා අවස්ථාව ලෙසයි පෙන්වා දෙන්නේ. මේ අවස්ථාව ඇති වන්නේ සෝවාන් වූ ආර්ය පුද්ගලයාට යි. එහිදී ඇතිවන ශ්‍රද්ධාව ස්ථාවරයි. මෙය ලෝකෝත්තර ශ්‍රද්ධාවේ පළමුවන අවස්ථාව යි.

ඊළඟ පියවර වන්නේ ඔක්කප්පන සද්ධා අවස්ථාවයි. එම අවස්ථාවේ දී කිසිම ආකාරයකින් ඇති වූ එම ශ්‍රද්ධාව කිසිදු බලයකට, යටපත් කළ නොහැකි ස්ථාවර වූ අවස්ථාව යි.

ඊළඟ පියවර වන්නේ අධිගම සද්ධා අවස්ථාවයි. මේ පියවරේ දී එතෙක් ශ්‍රද්ධාව වැඩි දියුණු වීමෙන් අපේක්ෂා කෙරුණු ප්‍රතිඵලය ළඟා කර ගැනීම යි. එයට කියන්නේ මෙම විමුක්ති මාර්ගයේ ආ ගමන් මඟ සාක්ෂාත් කර ගනිමින් තුන්තරා බෝධියෙන් යම් අවස්ථාවකට යොමුවීම තුළින් සදාකාලික නිවීමක් ඇති කර ගැනීම යි. දැන් එකී තත්වයන්ට පත් වූ සතරමග සතරඵලයන්ට පැමිණි එම ආර්යයන් වහන්සේ විසින් ජනිත කර ගන්නා අධිගම ශ්‍රද්ධාවයි. එම අවස්ථාවේ දී ශ්‍රද්ධාවෙන් විමුක්ත ව ප්‍රඥාවෙන් අවබෝධ කර ගන්නා සතර වන මාර්ග ප්‍රඥාව ලබා අර්හත් බවට පත්වෙනවා.

මහනුවර අස්ගිරි මහා විහාරයේ


කාරක සංඝසභික හා උපාධ්‍යාය ධුරන්ධර
වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2024 පෙබරවාරි 23 සිකුරාදා   බුදුසරණ පුවත්පතෙ පල වු ලිපියකි

No comments:

Post a Comment