Labels

Wednesday, July 12, 2017

විධිමත් ධර්ම සන්නිවේදනයක කාලීන අවශ්‍යතාවය

" ධර්ම දේශනා කිරීමට යොදාගනු ලබන ආසනය ධර්මාසනය වන අතර, දහම් දෙසන්නා ධර්ම දේශක නම් වේ. ධර්මයේ උරුමය බුදුරජාණන් වහන්සේ සතුවන බැවින්, ධර්මාසනයේ හිඳ ගනු ලබන භික්ෂූන්වහන්සේ ප්‍රකාශ කළ යුත්තේ බුද්ධ දේශනය මිසක, තමන්ගේ අදහස හෝ මත වාදයන් නොවේ.'
ගංඟාවක් හැම විටකම මහ සයුර අරමුණුකොට, මහ සයුරට නැඹුරුව ගමන් කරන්නාසේ ධර්මය නිවන අරමුණු කොට, නිවනට නැඹුරු වූවකි. වරක් මහා ප්‍රජාපතී ගෝතමී දේවියට ධර්මය පිළිබඳ පැහැදිලි කළ අවස්ථාවක් අංගුත්තර නිකායේ සංක්ෂිප්ත ගෝතමීයෝවාද සූත්‍රයෙන් හමුවෙයි.
එහි සඳහන්වන්නේ මේ ධර්මය නම් විරාගයටයි. සරාගයට නොවේ, සසර කෙටි කිරීම පිණිස මිසක සසර වැඩීම පිණිස නොවෙයි. මහිච්ඡතාවය පිණිස නොව අල්පේච්ඡතාවය පිණිසයි,
අසන්තුට්ඨිතාවය පිණිස නොව සන්තුට්ඨිතාවය සඳහායි. වීර්යාරම්භය පිණිස මිසක කුසීත බව පිණිස නොවෙයි. එමෙන්ම සුපෝෂණය පිණිස මිසක දුෂ්පෝෂණය සඳහා නොවන බවයි. යමෙක් මෙලෙස දනීනම් එය ධර්මය බවත්, එයම විනය බවත්, ශාස්තෘ ශාසනය ද එයම වන බවත් මේ සූත්‍රයේ දක්වා තිබේ. එයින් පැහැදිලි වන්නේ ධර්මයෙහි අන්තර්ගතය නම් සසර කෙටි කර සසරින් එතෙර කරවන මග බවයි. ධර්ම සංනිවේදනයේ යෙදෙන හැම දෙනා විසින්ම කළයුතු වන්නේ ද ශ්‍රාවකයා සසරට ඇද බැඳ තබා ගැනීම නොව, සසරින් එතෙර කරලීමට උනන්දු කර ලීමයි.


යම් යම් දේ සංනිවේදනය කිරීම සඳහා පැරණි සමාජය අනුගමනය කළ ප්‍රධාන ක්‍රම තුනක් හමුවෙයි. එනම් ඉද්ධි, ආදේශන හා අනුසාසනා යන ක්‍රම තුනයි. මේ අතරින් බුදුරජාණන් වහන්සේ අනුමත කර ඇත්තේ අනුශාසනාවයි. අසිරිමත් දේ මවා පාමින් ප්‍රේක්ෂකයා හෝ ශ්‍රාවකයා මවිතයට පත් කර ඔහු තමා වෙතට නැඹුරු කර ගැනීම ඉද්ධි නම් වේ. අන් අයගේ සිත් හැඳින ගෙන ඊට අනුගතව අදහස් කීම ආදේශනයයි. අනුසානය නම් අවබෝධයෙන් කරුණු වටහා ගැනීමට සැලැසීමයි. වර්තමානයේ ගිහි පැවිදි දෙපිරිසම ධර්ම සංනිවේදනයේ නිරත වෙති. එහි කිසිදුවරදක් නොපෙනේ.

ධර්ම දේශනා කිරීමට යොදාගනු ලබන ආසනය ධර්මාසනය වන අතර, දහම් දෙසන්නා ධර්ම දේශක නම් වේ. ධර්මයේ උරුමය බුදුරජාණන් වහන්සේ සතුවන බැවින්, ධර්මාසනයේ හිඳ ගනු ලබන තැනැත්තා ප්‍රකාශ කළ යුත්තේ බුද්ධ දේශනය මිසක, තමන්ගේ අදහස හෝ මත වාදයන් නොවේ. සමන්ත පාසාදිකා අටුවාවේ දැක්වෙන්නේ ධර්ම දේශකයාගේ කාර්යය, රජතුමාගේ හස්නයක් ඉදිරිපත් කරන නියෝජිතයාට සමාන බවයි. දේශකයා කවරෙකු වූවත් දේශනා කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ අදහසයි.

වර්තමානයේ ඇතැම් දේශකයන් වහන්සේලාට එල්ල කරන චෝදනාවක් වන්නේ ද, බුද්ධ දේශනාව වෙනුවට ස්වකීය මතවාද ඉදිරිපත් කරන බවයි. දහම් දෙසන්නා කවරෙකු වුවද ඔහුට දහම පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉතා සුළු කලක් තුළදී වැඩි දෙනෙකු ග්‍රහණය කර ගැනීමට එක් ප්‍රබල සාධකයක් වූයේ ද, එය මනා අවබෝධයෙන් යුතුව කළ දේශනාවක් වීමයි. බුද්ධො සො භගවා බොධාය ධම්මං දෙසෙති යනුවෙන් ඒ බව දැක්වෙයි. නූතනයේ කෙරෙන ඇතැම් ධර්ම දේශනා තුළ එක දහම් පදයකුදු සොයා ගැනීමට නැති තරම්. සමහර දේශනාවලදී පැහැදිලි කරන දහම් කරුණු පිළිබඳ නිශ්චිත අවබෝධයක් දේශකයන් වහන්සේට නැති බව ද අවධානයෙන් යුතුව අසනවිට පෙනී යයි. සමහරු සමාජයේ සිදුවන දුර්වලතාම ගෙනහැර දැක්වීම රටාවක් කරගෙන තිබේ. බුදු රජාණන් වහන්සේ නොකළ යුතු යැයි වදාළ හස්ත විකාර, මුඛ විකාර ඉදිරිපත් කිරීමට යාම නිසා ඇතැම් ශ්‍රාවකයන් අතරද සමච්චලයට ලක්ව හානි පමුණුවා ගත් දේශකවරුද නැතුවා නොවේ. ධර්ම දේශනා කිරීමේ දී භාෂාව භාවිත කළ යුතු ආකාරය පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ බොහෝ මඟ පෙන්වීම කර තිබේ. මූලික වශයෙන් භාෂාවේ ප්‍රධාන දුර්වලතාවයන් වන මුසාවාදය, පිසුනාවාචය, ඵරුසාවාචය හා සම්පප්ඵලාපයෙන් තොරව සත්‍යයම ඉදිරිපත් කළයුතුයැයි සාමඤ්ඤඵල සූත්‍රයෙහි දක්වා තිබේ.

ධර්ම දේශකයාගේ කාර්ය වන්නේ ශ්‍රාවකයාට දුකෙන් නිදහස්වීමට මඟ පෙන්වීමයි. එහිලා දේශකයෙකු විසින් අනුගමනය කළයුතු කරුණු රැසක් අරණ විභංග සූත්‍රයේ පෙන්වා දී තිබේ. එනම් ශ්‍රාවකයින් කම් සැපයට යොමු කරවන ආකාරයට දහම් නොදෙසිය යුතුයි. එමෙන්ම ජීවිතයෙන් පලා යන්නට ද මග නොකිව යුතුයි. ඒ දෙකෙන් අත්මිදී මැදුම් පිළිවෙත තෝරා ගැනීමට මඟ පෙන්වා දියයුතුයි. දහම් කරුණුවල අර්ථයට හානි වන, නව අර්ථ කථන දීමෙන් වැළකීමත්, සත්‍යයක් වුවද ශ්‍රාවකයින් අතර අසමගියක් ඇති වන්නේ නම් එය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමත් යෝග්‍ය බව ද දැක්වෙයි. මේ ආදී වශයෙන් ධර්ම දේශකයා විසින් සැලකිල්ලට ගතයුතු උපදෙස් රැසක් බුද්ධ දේශනාවේ දැක්වෙයි.

අපේ රට දිවා රෑ දෙක්හි බණ කියන රටක් වුවත්, ධර්ම දේශනාවක් විධිමත්ව ඉදිරිපත් කිරීමට පුහුණු කරවන ආයතනයක් තවමත් අපට නැත. පුරාණයේ පිරිවෙන තුළ බණ කීම, පිරිත් දේශනාව හා අනෙකුත් ආගමික වතාවත් වලට සිසුන් හැඩ ගැසුවද වර්තමානය වන විට බොහෝ පිරිවෙන් තුළ එය දැකිය නොහැක. වත්මන් දේශකයන් වහන්සේලා තම තමන් වහන්සේ හුරු කරගත් ක්‍රමයක් භාවිත කොට දහම් දෙසති. එය තථාගත දේශනාවට අනුකූලදැයි අපි නොදනිමු. ඉදිරිපත් කරන කරුණු පිළිබඳවත්, ඇතැම් දේශකයන්ගේ ඉරියව් පිළිබඳවත් ගැළපෙන නොගැළපෙන බව පිළිබඳවත් කාලය ගැනත් දේශකයන් වහන්සේලාට චෝදනා එල්ල වන්නේද එනිසයි. ධර්ම සන්නිවේදනය විධිමත්ව පුහුණු කරවන ආයතනයක අවශ්‍යතාවය පැන නැගුණේ මෙම ගැටලුවට විසඳුමක් වශයෙනි. ශාසනමාමක සියලු ස්වාමීන් වහන්සේලාත් ගිහි ජනතාවත් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුව තිබේ.




ජාතික අධ්‍යාපන ආයතනයේ 
කථිකාචාර්ය 
නෙළුවාකන්දේ ඥානානන්ද හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජුනි 23 වන  සිකුරාදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment