අකුසල කර්ම විපාකයක් නොදී ම අහෝසි වී යන අවස්ථා ඇත. මුලදී අවිද්‍යාව නිසා රැස්කිරීමට පටන් ගත් අකුසල කර්ම සියල්ල දුරු කිරීම බෞද්ධයාගේ පරමාර්ථයයි. උත්සාහවන්ත පුද්ගලයෙකුට කල්ප කෝටි ගණනක් මුළුල්ලේ විපාක දී ගෙවී යා හැකි තරම් කර්ම රාශියක් මොහොතක දී දුරු කළ හැකි ය."
බුදු දහමේ ඉගැන්වෙන කර්ම සංකල්පය ප්‍රාග් බෞද්ධ යුගය දක්වා ම විහිදී යයි. මුල් යුගයේ දී මිනිසා තම ක්‍රියාකාරකම්වල වගකීම නොපෙනෙන බලවේගයකට පවරා නිදහස් වූ නමුදු ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ඉන්දියාවේ පහළ වූ විවිධ ආගමික ශාස්තෘවරු කර්මය පිළිබඳව විවිධ ප්‍රශ්න මතු කරන්නට විය.
කෙනෙකුගේ ක්‍රියාවන් පිළිබඳ වගකීමක්, ක්‍රියාව සිදු කරන්නාට නොපැවරේ ද? කරන ලද ක්‍රියාවේ තමන්ට බලපාන හොඳ නරක පවතින්නේ ද? තම තමන්ගේ සියලු ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල මේ ජීවිතය සමග අවසන් වේද? ආදී වශයෙන් කර්මය හා ඵල විපාක පිළිබඳ ව විවිධ ප්‍රශ්න මතු කළ අතර මේ සඳහා විවිධ පිළිතුරු ද සපයන ලදී. මෙලෙස අසම්පූර්ණ, සාවද්‍ය පුද්ගල ක්‍රියාකරකම්වල වගකීම මහා බ්‍රහ්මයාට පවරා ඕනෑම අකුසල කර්මයක් සිදුකරන කාලයේ දී කර්මය පිළිබඳව නිවැරදි ව, නිරවුල් ව ලෝවැසි ජනතාවගේ හිත සුව පිණිස දේශනා කරනු ලැබූවේ අප තථාගත බුදුරජාණන් වහන්සේ ය. අතිශයින් ගැඹුරු කර්ම සංකල්පය ලෝකයාට අවබෝධ කරදීමට හැකි වන්නේ ද, සර්වඥතා ඥානයෙන් යුතු බුදුරජාණන් වහන්සේට පමණි. කර්මය හා ඵල විපාක පිළිබඳ ව පෘතග්ජන මිනිසෙකු කල්පනා කරන්නට වූවහොත් ඔහු උන්මත්තක ස්වභාවයට පත්වන බව තථාගත දේශනාවයි.
බුදුරජාණන් වහන්සේ තම ප්‍රඥා මහිමයෙන් සත්ත්වයන් මැරී මැරී යළි උපත ලබමින් සංසාර ගමනෙහි ගමන් කරන බවත් එය මනා කොට ඇස් ඇත්තෙකු නිවසක් තුළ එහෙ මෙහෙ ගමන් කරන මිනිසුන් දකින්නා සේ, තථාගතයන් වහන්සේ ද සත්වයන් සසර ගමනෙහි නොයෙක් කර්ම ඵල විපාක ලබාගනිමින් ජීවත් වන බව දේශනා කොට ඇත.
ආචාර ධර්ම රකින, ශිලාචාර සමාජයක් ගොඩනැගීම සඳහා බුදු සමයේ ඉගැන්වෙන කර්ම විග්‍රහය මනා පිටුවහලක් වේ. එනම් පාපයෙන් තමා අත්මිදී අන් අය ද මුදවාගෙන තම යුතුකම් හා වගකීම් මැනවින් අවබෝධ කරගෙන ජීවිතය ජය ගැනීමට කටයුතු කරයි. වර්තමානයේ දී බෞද්ධ සමාජය විවිධ අර්බුද, කලකෝලාහල, අශීලාචාර, අවිනීතකම් වලින් දූෂණය වී තිබීමට මූලික හේතුවක් වී ඇත්තේ කර්මය හා එහි ඵලය පිළිබඳ ව අවබෝධයක් නොමැති වීමයි.
බුදු දහමේ එන ඉගැන්වීම් අතර කර්මය පිළිබඳ ඉගැන්වීම ප්‍රධාන වූවකි. කර්මය යනුවෙන් අදහස් කරනුයේ පුද්ගලයා දැනුවත්ව කරන ක්‍රියාවන් ය.
“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත් වාකමමං කරොති කායෙන වාචාය මනසා” යන බෞද්ධ විග්‍රහයට අනුව පුද්ගලයා තමා කරන්නාවූ සෑම ක්‍රියාවකටම වගකිව යුතු ය. ඒ වගකීමෙන් නිදහස් වීමට ඔහුට නොහැකි ය. තමාට වගකිව නොහැකි කිසිවක් ඔහු විසින් නොකළ යුතු බව ද ඉගැන්වේ.
“කම්මස්ස කෝම්හි කමදායාදෝ කම්මයෝනි කම්ම බන්ධූ.....” යන ආකාරයට කර්මය ස්වකීය කොට ඇත්තාහ. උරුම කොට ඇත්තාහ. උපත කොට ඇත්තාහ, ඥාති කොට ඇත්තාහ. මේ අනුව සත්වයාගේ ඉපදීම, සත්වයාගේ උසස්-පහත් බව, රූපී-විරූපී බව, නුවණැති-අඤාණ බව, දීර්ඝායුෂ - අල්පායුෂ බව, රෝගාබාධ බව නිරෝගී බව, දුප්පත්-පොහොසත් බව ආදියට පමුණුවන කර්මය පුද්ගලයාට කීර්තිය, ප්‍රශංසාව, නින්දාව පමණක් ලැබෙන බව තථාගත දේශනාවයි.
උක්ත සඳහන් කළ කරුණු අනුව කර්මය පිළිබඳව ඉගැන්වීම් අතර අද අපගේ සාකච්ඡාවට බඳුන් වනුයේ අහෝසි කර්මය පිළිබඳව ය. අහෝසි කර්මය නම් පුද්ගලයන් විසින් සිදුකරන ලද යහපත් අයහපත් කටයුතු ඵල නො යෙදීමයි. මෙහි දී බොහෝ දෙනෙකු අකුසල් පක්ෂය ඵල නොදීම පමණක් පිළිබඳ ව සාකච්ඡා කළ ද හුදෙක් පෙර පින් ඇති බව නිසා ම මෙලොව උපත ලැබූවත්, උප්පත්ති ලැබීමෙන් පසුව විවිධාකාර පාප ක්‍රියා නිසා එම පින ඵල නොදී අහෝසි වී යයි. ඒ බව ‘මහාධන සිටුවරයාගේ’ කථාව තුළින් පැහැදිලි ය. ඔහු මෙලොව උපත ලැබූවේ, රහත් භාවයට පත්වීමටද පින් තිබූණි. නමුදු පාප මිත්‍ර ආශ්‍රය, සුරාව, සූදුව නිසා ම ඔහුගේ කුසල කර්මය අහෝසි වී රහත් තත්ත්වයට පැමිණීමට නොහැකි විය.
වර්තමාන මිනිසා නිරන්තරයෙන් යම් යම් ක්‍රියා සිදු කරයි. එහෙත් ඒ සියල්ල කර්මය යනුවෙන් විස්තර කළ නොහැකි ය. කිසියම් ක්‍රියාවක් කර්ම බවට පත්වීමට ඒවා කුසල් හෝ අකුසල් චේතනාවකින් සිදුකළ යුතු ය. මිනිසා විසින් කරනු ලබන සෑම ක්‍රියාවකට ම ප්‍රතිවිපාක විඳීය යුතු දැයි වරක් බුදුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසී ය. උන්වහන්සේ වදාළේ සියලුම ක්‍රියාවල ප්‍රතිවිපාක යෙදිය යුතු නම් බඹසර විසීමෙන් ඵලක් නොවන බවත්, දුක නැති කිරීම කළ නොහැක්කක් බවත් මිනිසා විසින් යම් වේදනීය කර්මයක් කරන්නේ ද ඒ කර්මයන්ට අනුව ඔහු ප්‍රතිවිපාක යෙදිය යුතු බව දැක්වී ය. යම් ක්‍රියාවක් කරන විට එය අප සිත තුළට කා වැදී සිතේ ගැඹුරු ලෙස සටහන් වේ නම්, එම සිද්ධිය නැවත නැවත සිත මතුපිටට ඒ නම් එවැනි කර්ම වේදනීය කර්ම බවත් පෙන්වා දුන්හ. ඒවා නම් ආනන්තරිය අකුසල කර්මයන්ය. එම කර්මයන්හි විපාක වැළැක්විය නොහැකි ය.
එහෙත් බලවත් නොවූ කර්මවල විපාක කුසල් පිරීමෙන් මඟහරවා ගත හැකි ය. ඉන්පසු ඒවා අහෝසි වී යයි. මේ බව සද්ධර්මරත්නාකරයේ එන කථා පුවතකින් පැහැදිලි වේ. එනම් පෙර දවස ලක්දිව අභය නම් ථෙර කෙනෙකුන් විසූහ. එක උපාසකයෙක් උන්වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන්නේ සිවුරු පිණිස වස්ත්‍ර ද පුදන්නේ ය. ‘හරන්තික’ නම් සොරෙකු මේ සියලු වස්තු අවුරුදු ගණනාවක් මුළුල්ලේ සොරකම් කිරීමට පුරුදු විය. දිනක් මෙය උපාසකයෙක් දැන හොරා අල්ලා පහර දී තලාපෙලා අමු සොහොනකට ගෙන ගොස් මළමිනියකට තබා බැඳ දැමී ය. පසුව අසරණ වූ මොහු තෙරුණ් වහන්සේ වෙත ගොස් පිහිට ලබා සොරකමෙන් මිදී පැවිදිව රහත් තත්ත්වයට පත්විය. මේ අනුව ඔහු අකුසල් කර්ම කළ නමුදු පසුව කුසල් කළ නිසා ඔහුගේ කර්මය අහෝසි වී ගියේ ය. “යමෙක් කරන ලද පාප කර්ම පසුව කරන ලද කුසල් කර්මයන් මෙසේ ද ඔහු වළාකුලකින් මිදුණු සඳ මෙන් මෙලොව එළිය කරන්නේ ය.” (ධම්මපදය)
අංගුත්තර නිකායේ කර්ම විපාක පිළිබඳ ව බුදු හිමියන් වදාළේ මෙසේ ය. “මහණෙනි, ඇතැම් පුද්ගලයන් කාය, සීල, චේතනා, ප්‍රඥා ආදී ගුණයන්ගෙන් යුතු, කරන ලද අල්ප වූ පාප කර්මයක් කරන ලද්දේ නමුදු එය ඔහුට විපාකයක් නොදීම අහෝසි වී යන්නේ ඔහු විසින් කරන ලද කුසල් කර්මයන්හි බලය විශාල නිසා ය. කෙසේද යත් යම් අයෙකු ලුණු කැටයක් ගංඟා නම් නදියෙහි දමන්නේ නමුදු එම ලුණු කැටයෙන් ගංඟා නම් නදියෙහි ජලය ලුණු රසයෙන් යුක්ත නොවන ආකාරයට ය.
මේ ආකාරයට ඇතැම් අකුසල් කර්ම විපාකයක් නොදීම අහෝසි වී යන අවස්ථා ඇත. මුලදී අවිද්‍යාව නිසා රැස්කිරීමට පටන් ගත් අකුසල් කර්ම සියල්ල විනාශ කිරීම බෞද්ධයාගේ පරමාර්ථයයි. උත්සාහවන්ත පුද්ගලයෙකුට කල්ප කෝටි ගණනක් මුළුල්ලේ විපාක දී ගෙවී යා හැකි තරම් කර්ම රාශියක් මොහොතක දී විනාශ කළ හැකි ය. අංගුලිමාල මහරහතන් වහන්සේ ගිහි කල මිනිසුන් නවසිය අනු නව දෙනෙකු මැරූ නමුදු තමාගේ ක්‍රියාව වැරදි යැයි තේරුම් ගත් පසු එය අත්හැර මහත් උත්සාහයෙන් අකුසල් සියල්ල විනාශ කොට නැවත නූපදින තත්ත්වයට පැමිණියේ ය. කුසල් වැඩිවීම පුද්ගල ජීවිතයට කෙතරම් අස්වැසිල්ලක් ලබාගැනීමට මඟ සලසන්නේ ද යන්න මනාව පැහැදිලි වේ.
එමෙන් ම සංයුක්ත නිකායේ ගාමිණි සංයුක්තයේ සංඛධම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ නිගන්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකයෙකු වූ ගාමිණි නමැත්තාට වදාළේ “ගාමිණි යමෙක් පර පණ නැසීම ආදී අකුසල් කරත් නම් ඒ සියල්ලෝ ම නිරය ගාමි වෙති යනුවෙන් ඇතැම් ශ්‍රමණ බමුණෝ දක්වති. ගාමිණි මේ කරුණ අසන පුද්ගලයා මම ප්‍රාණඝාත කර ඇත්තෙමි. ඒ නිසා අපායගාමී වෙමි. නිරයගාමි වෙමි යනුවෙන් දෘෂ්ඨියකට පැමිණේ. ඔහු කිසිදාක කුසල් දහම් කරන්නට උත්සාහ කරන්නේ නැත.
එබැවින් ඔහුට ජීවිතය යහපත් තත්ත්වයකට පත්කර ගැනීමට නොහැකි ය.” නමුදු ඔහුට උත්සාහයෙන් යුක්තව තමන් කරන්නට යෙදුන අකුසල් දහම් අහෝසි කර ගත හැකි ය. බුද්ධ දේශනාවට අනුව ඕනෑ ම පුද්ගලයෙකුට තමා අතින් අකුසල් කටයුත්තක් සිදුවූව ද එය ගැන නිතර නිතර තැවෙමින් වේදනාවට පත්නොවී උපන් අකුසල් දුරුකොට නූපන් කුසල් වර්ධනය කර ගත හැකි ය.
මහියංගනය,
මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
අඹගහවත්තේ සුධම්මවංශ හිමි
මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
අඹගහවත්තේ සුධම්මවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 03 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment