Labels

Saturday, May 30, 2015

සැප ගෙන දෙන උතුම් කරුණු සතරක්




“ආරෝග්‍ය පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාති නිබ්බාණ පරමං සුඛං”
 
ඉහත සඳහන් ගාථාව ධම්මපදයේ හමුවන ගාථාවක් වන අතර බෞද්ධ සමාජයේ කුඩා ළමුන් පවා අසා ඇති ධර්ම පාඨයකි. මිනිස් දිවියේ පැවැත්මට අත්‍යවශ්‍ය සතුට හා නිරෝගිකම පිළිබඳව වැදගත් කරුණු හතරක් මෙම ගාථාවේ සාකච්ඡා කෙරේ. එනම් 
නිරෝගිකම, සතුට, විශ්වාසය, නිවන්සුව යනුයි.

නිරෝගිකම
කායික නිරෝගිකම හා මානසික නිරෝගිකම වශයෙන් දෙයාකාර වේ. මනා කායික ස්වස්ථතාවයෙන් සිටීම කායික නිරෝගිතාවය ඇතිකරලීමට හේතුවේ.
“ආරෝග්‍ය පරමා ලාභා– සන්තුට්ඨි පරමං ධනං “ යන ගාථා දෙපදය තුළින් ප්‍රකාශ වන්නේ කයින් සුවය ලැබීමෙන්, කායික නිරොගීබව රැකගැනීමත්, මනස සතුටින් තබාගැනීමෙන් මානසික නිරෝගිකම ලබන බවයි. 

“විස්සාස පරමා ඤාති” – විශ්වාසය පරම ඥාතියා බවත් විශ්වාසය තුළින් සමාජමය සතුට ගොඩනැගෙන බවත් බුදුදහම පැහැදිලි කරයි. සමාජයේ කුඩා ඒකකය වූ නිවසේ සතුට පැවතීම හේතුවෙන් අසල්වැසියන් අතර විශ්වාසය ගොඩනැගීමෙන් ගමේ සතුටද, ඒ තුළින් රට වැසියන් සතුටුවීම හේතුකොට රටේ සතුටද ඇතිවේ. එසේ විශ්වාසය ලෝකය පුරා පැතිරී සතුට බිහිවනු ඇත. සතුටින් බැහැර වූ ලොව අවුල් වී ඇත. මෙම තත්ත්වයට මූලික හේතුව ලෙස අප දකින්නේ අවිශ්වාසයයි. ලෝකය තුළ සතුට ගොඩනැගීමට පදනම් වන්නේ විශ්වාසවන්ත භාවයයි. කායික සුවතාවය, මානසික සුවතාවය, සාමාජික සුවතාවය ආදී වූ මූලික කාරණා ආරෝග්‍ය, සතුට, විශ්වාසය මත සකස් වේ. එහෙත් අප ජීවත්වන ලෝකය දුක හා සතුට යන කාරණා දෙකින් වෙළී ඇත.
මෙලොව පවතින සිව්වන සතුට නම් පරිපූර්ණ සුවතාවය හෙවත් අධ්‍යාත්මික සුවයයි. පරිපූර්ණ ලෙස යළි නැති නොවන අන්දමින්, තවත් අයෙකුට දිනාගත නොහැකි ලෙසින්, පරාජයට පත්නොවන පරිපූර්ණ සුවතාවය පවතින්නේ නිවන තුළයි. මෙම අධ්‍යාත්මික සුවය “නිබ්බාණ පරමං සුඛං” යනුවෙන් ධර්මයෙහි හැඳින්වේ. නිරෝගිකම මෙන්ම සන්තුෂ්ටිය පිළිබඳව කතා කිරීමේදී ඉහත ප්‍රකාශ කළ සිව් සුවතාවයන් පූර්ණ වශයෙන් සැලකිල්ලෙන් හා උත්සාහයෙන් ඇතිකරගත යුතු කාරණා වේ.
නිරෝගිකම පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ භික්ෂූන් වහන්සේලා නොව වෛද්‍යවරු යැයි ඔබ සිතනු ඇත. එහෙත් සකල ලෝවැසියාටම මහා වෙදැදුරු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිරෝගිබව පිළිබඳව දේශනා කරන ලද අවස්ථා බොහොමයක් ධර්මය තුළ අපට හමුවේ. පී‍්‍රතිමත් ජීවිතයක් සඳහා නිරෝගිකම කෙතරම් වැදගත්වේද යන කාරණය උන්වහන්සේ මැනවින් පැහැදිලි කළ සේක.
භික්ෂූන් වහන්සේට තමන්ගේ ඇවතුම් පැවතුම් පිළිබඳව කරන ලද ඉගැන්වීම ඇතුළත් චුල්ලවග්ග පාළියේ වත්තක්ඛන්ධයට අවධානය යොමු කළ කල්හි ආවාසිකවත්,ආගන්තුකවත්, වත්තජ්ජවත්, වච්චකුටිවත්, ඡන්තාඝරවත්, සේනාසනවත් ආදි වශයෙන් වත්පිළිවෙත් රැසක් පිළිබඳව බුදුන් වහන්සේ අනුදැන වදාරා ඇත. භික්ෂූන් වහන්සේලාද සජීවි මිනිස් කොට්ඨාසයකි. ගිහි ගෙයින් ඈත්ව හුදෙකලා වන භික්ෂූන් වහන්සේලා සිය ශාරීරික සුවතාවය නිවැරදිව සකස්කර ගැනීම ඉතා වැදගත් වේ. භික්ෂූන් වහන්සේලා විහාර වන්දනාවට, දානයට, පිරිතට, වැඩම කරන අවස්ථාවේදී ගමන් කරනුයේ වෘද්ධ පටිපාටියට හෙවත් වැඩිහිටි අනුපිළිවෙළටය. පැවිදි දිවිය තුළ භික්ෂුවගේ වයසට වඩා වැදගත් වන්නේ පැවිදි දිවියට ඇතුළත් වූ ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ පිළිවෙළයි. පෙර කී වෘද්ධ පටිපාටිය බිඳීමට එක් අවස්ථාවකදී පමණක් බුදුන් වහන්සේ අවසර ලබාදී ඇත. එනම් වච්ඡකුටි හෙවත් සනීපාරක්ෂක කුටි පාවිච්චි කිරීමයි. අද මෙන් නොව එදා බුදුන් දවස හා ඉන් පසු පැරණි රාජධානි පැවති යුගයේ ඉතා විශාල භික්ෂූ පරපුරක් වාසය කළ බවට සාධක බොහෝ ඇත. ඒ අතර ලංකා ඉතිහාසය සාක්ෂි දරන ආකාරයට අනුරාධපුර, අභයගිරි දානශාලාවේ පිහිටුවා ඇති බත් ඔරුවේ පන්දාහක් භික්ෂූන් වහන්සේලාට බත සැපයූ බවත්, මහා විහාරයේ රුවන්වැලි සෑය හා ශී‍්‍ර මහා බෝධිය අතර පිහිටි බත් ඔරුවේ දාන පාත්තර තුන්දහස් හත්සියයක් දැමිය හැකි බවත් දැන ගැනීමට ලැබේ. ඒ සා විශාල භික්ෂූන් වහන්සේලා පිරිසකට කෙතරම් වච්ඡකුටි අවශ්‍යවේද යන්න කිවයුතු කාරණාවක් නොවේ. එදා මෙම කුටි ඉතා සුපිරි ලෙස සකස්කර තිබූ බවට දැනට ජේතවනාරාමයේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති නටබුන් සාක්ෂි දරයි. අවසානයේ පිරිසුදු ජල බිංදුවක් පොළොවට ගමන් කරන සේ මුත්‍රා බිංදුවක් වුවද ඉතා පිරිසුදු කොට පොළොවට ගමන් කරන අයුරින් මෙම සෞඛ්‍ය පහසුකම් සාදා දීමට පැරණි රජවරු ක්‍රියා කළහ. සිය රාජ්‍යත්වයට වඩා හෙවත් ඔටුන්නට වඩා බෞද්ධ භික්ෂුවගේ පැවැත්ම පැරණි රජවරු විසින් අගය කොට සැලකූහ. අනුරාධපුර බටහිර ආරාමයේ පිහිටි මුත්‍රා ගල් මනහර කැටයමින් යුතුවේ. අප වැඩ වෙසෙන පැපිලියාන ඓතිහාසික සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විහාරයේද කැටයම් සහිත පැරණි මුත්‍රා ගලක කොටසක් හමුවී ආරක්ෂා සහිතව තැන්පත් කර ඇත. බුදුන් වහන්සේ අනුදැන වදාළ පරිදි ඒ තරම් භික්ෂූ පිරිසක් වැඩ වෙසෙන විහාරය හෝ වෙනත් ආරාමීය ස්ථානයකදී වෘද්ධපටිපාටිය වෙනුවට ආගතපරිපාටිය හෙවත් පැමිණි පිළිවෙළට සනීපාරක්ෂක කුටි පාවිච්චි කිරීමට අවස්ථාව ලැබිණ, එය දූකුලා ඇවතක් ලෙස දේශනා කළ අතර ශාරීරික සෞඛ්‍යය ආරක්ෂා කිරීම වස් මෙවන් පිළිවෙතක් අනුගමනය කෙරේ.
දානශාලාව, තුළදී ජලය ඉතා අරපරිස්සමින් පිරිසුදුව පාවිච්චි කිරිම, සෙස්සන්ගේ සිරුරට නොවැටෙන සේ ඉවත් කිරීම, නිවැරදි ලෙස අපවිත්‍ර ජලය ඉවත් කිරීම ආදී කරුණු පිළිබඳව පැහැදිලි පිළිවෙත් බුදුන් වහන්සේ භික්ෂූන් වෙත ඉදිරිපත් කළ සේක. එම පිළිවෙත ගිහි අයට වුවද ඉතා වැදගත් වේ.
ජන්ථාඝරකුටි හෙවත් ස්නානයේදී භික්ෂූන් වහන්සේලා අනුගමනය කළ යුතු වත් පිළිවෙත් රැසක් උන්වහන්සේ අනුදැන වදාරා ඇත.
ඡන්ථාගාරය යනු කුමක්ද? මෙම කාරණය බොහෝ දෙනා වැරදි ලෙස අර්ථ දක්වන කරුණකි. ඡන්ථාගාරයකින් සිදුවන ක්‍රියාකාරකම වන්නේ වර්තමානයේ සවුණක් හෙවත් (ඉබඥචථ ඕචබඩ) යනුවෙන් හැඳන්වෙන ක්‍රියා පිළිවෙතයි. ශීත අධික ප්‍රදේශයන්හිදී රෝග නිවාරණය කරගැනීම පිණිස භික්ෂූන් වහන්සේලා ගිනි දල්වා ඒ හරහා ශරීරයේ දහඩිය නංවා ගනිමින් ශරීරය ප්‍රකෘතිමත් කොට නිරෝගිබව රැකගැනීමට සකස් වූ ස්ථානය ඡන්ථාඝාරයයි. මෑත කාලයේ අප රට තුළ පිහිටුවණු ලබන දියත උයන, තෙත් උයන, වේරැස් ගඟ ව්‍යාපෘතිය වැනි දිය පහරවලින්, වැව්වලින්, ඇවිදීමේ මංමාවත් සහිත උද්‍යාන මෙම ඡන්ථාගාර මගින් සිදුවූ සේවයට සමාන සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් සිදු කෙරේ. බුදුන් වහන්සේ දේශනා කරන ලද චංකමන සූත්‍රයයේද නිරෝගිකම උදෙසා සක්මන උපයෝගි වන ආකාරය පෙන්වා දී ඇත.
“පඤචිමෙ භික්ඛවෙ චංකමෙ ආනිසංසා” සක්මනෙහි ආනිශංස පහක් පෙන්වා ඇත. 

1. “අදධානක්ඛාමො හොති”
සක්මන තුළ සිය ශරීරය නිරෝගී කළ අයෙකුට දීර්ඝ මාර්ගයක වුවද අපහසුවකින් තොරව ගමන් කළ හැකිය. ශ්‍රී පාදය වැනි වන්දනා ස්ථානයන්හි යාමේදී හොඳින් සක්මන් කිරීමෙන් සිරුර නිරෝගිමත් කරගත් පුද්ගලයන් හා සක්මන් නොකර සිටින පුද්ගලයන් පිළිබඳ වෙනස හොඳින් වටහාගත හැකිය. එම තත්ත්වය “අද්ධානක්ඛමො හොති” යනුවෙන් හැඳින්වේ. 

2. “පධානක්ඛමො හොති”
සක්මන් කිරීමෙන් ශරීරයේ ලේ ධාතුව හොඳින් ක්‍රියාකිරීමට සකස් කර ගත් පුද්ගලයාට පධන් වීර්යය වැඩීම හෙවත් භාවනා කිරීම පහසුවේ. 

3. “අප්පාබාධො හොති”
සක්මනින් ශරීර සුවතාවයට පත්වූවන්ට රෝග පීඩාදිය හා ආබාධ අඩුවේ. 

4. “අසීතපීතඛායිතසායීතං සම්මා පරිනාමං ගච්ඡති”
සක්මන් කිරීමෙන් ශාරීරික සුවතාවයෙන් යුතු පුද්ගලයා අනුභව කරන දෑ හොඳින් දිරවීමට පත්වේ. අද බොහෝ ලෙස පැතිරී ඇති රෝගයක් නම් ආහාර ජීර්ණ නොවීමේ රෝගයයි. එම රෝගයට සක්මනද ඉතා හොඳ ඖෂධයකි.
5.”චංකමාධිගතො සමාධි චිරට්ඨිතිකො හොති” 
 
සක්මනෙන් ලබාගන්නා සමාධිය බොහෝ කලක් පවතී.
මෙනයින් සක්මන් කිරීමෙන් කායික සුවතාවය මානසික සුවතාවය වෙනුවෙන් අපට ලබාගත හැකි ප්‍රතිඵල බොහෝය. ශරීර සුවතාවය රැකගැනීම වෙනුවෙන් අධික ශාලා, ගිනිහල් ගෙවල් , ඡන්ථාගාර වැනි බොහෝ දේ බුදුන් වහන්සේ නිර්දේශ කර ඇත.
උන්වහන්සේ අපට ආහාර රටාවක්ද නියම කළ සේක. ආහාර අපගේ ජීවත්වීම සඳහා විනා ආහාර සඳහා අප ජීවත්විය යුතු නොවේ. මම නුවණින් බොහෝ කල්පනා කොට පිණ්ඩපාතය වළඳමි” “නෙව දවාය” යනුවෙන් ජවය හදාගැනීම පිණිස පිණ්ඩපාතය නොවළඳිමි, “න මදාය” යනුවෙන් මදය හදාගැනීම පිණිස පිණ්ඩපාත නොවළඳිමි, “න විභූසනාය” යනුවෙන් ශරීරය අලංකාර කරගැනීම සඳහා පිණ්ඩපාතය නොවළඳිමි” යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා” ශරීරය පවත්වාගැනීම සඳහා ආහාර ගන්න. “යාපනාය” යැපීම සඳහා ආහාර ගන්න. යනුවෙන් උන්වහන්සේ උපදෙස් දී ඇත.
එනයින් බෞද්ධ ක්‍රමයට අනුව ආහාර යැපීම සඳහා වීම තුළින් දිගුකලක් ජීවත්වීමට අපට අවස්ථාව ලැබේ. “චත්තාරෝ පඤ්ච ආලොපෙ අභුත්වා උදකං පිචෙ”
බත් පිඬු හතරක් පහක් කෑමට ඉඩ තබාගෙන දිය පානය කිරීම සුදුසු බව බුදුන් වහන්සේ වදාළසේක. බඩ කට පුරා ආහාර ගැනීමෙන් පසු ජලය පානයට ඉඩක් නොමැති හෙයින් ආහාර පමණට ගැනීම වඩාත් සුදුසු වේ. මෙනයින් ආහාර ක්‍රම, විවිධ වැලකුම් ක්‍රම හා විහරණ ක්‍රම ආදී සියල්ල සමග කායික, මානසික නිරෝගිකම තබා ගත හැකිය. 

සතුට උතුම් ධනයකි 
 
මානසික පක්ෂයට අයත් වන සතුට නිරෝගිකමට හේතුවන කාරණයක් වන අතර සතුට ගොඩනගා ගත හැකි අකාරය ධර්මයේ මනාව පැහැදිලි කෙරේ. බුදු දහමට අනුව සතුට ලැබිය හැක්කේ භෞතික සම්පත් මගින් නොව අධ්‍යාත්මික සුවය තුළිනි. බුද්ධ ශාසනයේ වැඩ විසූ ඒකවිහාරී භික්ෂූන් වහන්සේ තරුණ කල ඉතා ධනවත්ව, බලවත්ව වෙසෙමින් ගිහි ජීවිතය ගත කළ උත්තමයෙකි. ධනය, බලය, නිසා එතුමා පිටුපසින් හා ඉදිරියෙන් බොහෝ පිරිසක් වූ බව පැවසේ. තමා වටා කොට සිටි එම පිරිස එදා තමාට මහා හිරිහැරයක් වූ නිසා පෙර සඳහන් කළ තරුණයා බොහෝ දුකින් කල්ගෙවීය. පැවිදි වීමෙන් පසුව ඒකවිහාරී ස්වාමින් වහන්සේ වනගත වී බවුන් වඩමින් ඉතා සතුටින් කල්ගත කළ බව මේ අයුරින් පවසා ඇත.
“න ච පුරෙ න ච පච්ඡා” – මගේ ඉදිරියෙන් කිසිවෙක් නැත. මගේ පසුපසින් කිසිවෙක් නැත.
“අමානුසි රති හොති – එකස්ස වසතො වනෙ” මේ වනයෙහි තනිව සිටින මට මහා අමානුෂීය සතුටක් දැනෙන්නේ යැයි උන්වහන්සේ පැවසූහ. සාමාන්‍ය ලොවෙහි මිනිසුන්ට නොදැනෙන මෙම සතුට අපට ලැබෙන්නේ රැස්කිරීමෙන් හෝ බැහැර කිරීමෙන්ය. එය දිගු කාලීන ස්ථිර සතුටකි. රැස් කිරීමෙන් ලබන සතුට තාවකාලික වේ.අප යමක් ලබා සතුටුවන කල්හි එය ලබාගැනීමට වූ වෙහෙස ඒසණ දුක්ඛ නමින් හැඳින්වේ. අපි අදත් මෙම දුකෙහි සිටිමු. ඉනික්බිතිව ඉතා මහන්සි වී දුක් විඳ ප්‍රාර්ථනා කොට පි‍්‍රයමනාපව කාලය කැපකොට ලබාගත් සම්පත් ආරක්ෂා කරගැනීමට දරනු ලබන උත්සාහය ඒ සිත පර්යේෂණ දුක්ඛ වශයෙන් ධර්මයෙහි හැඳින්වේ. එසේ ලබාගත් සැපතද අප වෙත සදාකාලිකව නොපවතින අතර කෙටිකලකින් හෝ දිගුකලකින් හෝ එය වෙනස්වීමෙන් අහිමිවීම ධර්මතාවයයි.
“කා සංයොගා වියොගන්තා” එක්වන සියල්ල වෙන් වීමෙන් කෙළවර වේ. ගැහැනු හා පිරිමි එක්වී කලකදී වෙන් වෙති. කීර්තිය හා රූපය එක්වූ පසුව ඈත් වේ. අවසානයේ කිසිවක් අප සතුව සදාකාලිකව නොපවතින අතර අප හැමට මුහුණදීමට සිදුවන මෙම ධර්මතාවය ඒ සිත විගාත දුක්ඛය යනුවෙන් හැඳින්වේ. යමක් ලබන්න දුක් වූ අපි එය රකින්න දුක් වූ අපි එය නැති වූ කල්හි ‘අනේ අපොයි’ යනුවෙන් දුකට පත්වෙමු. සියලු ලබාගැනීම්හි යථාර්ථය වන මෙම කාරණය පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් කාම සම්පත් මගින් ලබන සතුටට වඩා විශාල සතුටක් අත්හැරීමෙන් ලබන බවයි.
“සුඛා විරාගතා ලොකෙ කාමානං සමතිකකමො”
 
මෙලොව සතුට නම් අත්හැරීම වන අතර ඉන් ලබන සතුට වෙනත් කිසිවකින් නොලැබෙන බව එම ගාථා පාඨයෙන් විස්තර කෙරේ. අල්ලාගත් දෙය වෙනස් වන විට නැතහොත් අහිමිවන විට අපට දුකක් වේදනාවක් ඇති වුවද අත්හළ දේ වෙනස්වීමෙන් දුක හෝ වෙනස්වීම් හට නොගනී.
ලෞකික ජීවිතයේ සතුට ලැබෙන්නේ කෙසේද?
ලෞකික ජීවිතය තුළ අප මියයන තෙක් විවිධ ප්‍රාර්ථනා විවිධ අපේක්ෂා සමග ජීවත් වෙමු. මෙම ප්‍රාර්ථනාවන්ගේ වෙනස්වීමක් හෝ නිමවීමක් නොමැත. තරුණවියේ ප්‍රාර්ථනා හා වැඩිහිටිවියේ ප්‍රාර්ථනා අතර වෙනසක් ඇත. පැතුම්වල වෙනසක් වුවත් පැතුම් අඛණ්ඩව පවතී. ජීවිතයේ සතුට තබාගැනීම සඳහා අප බන්ධනයන්ගෙන් ඈත්විය යුතුවේ. 

“වොහාරසමුචෙඡදො”
වෝහාර යනු ගනුදෙනු නැතහොත් ව්‍යවහාර යනුයි. ගනුදෙනු යනු මුදල් පරිහරණයම නොවේ’. බිරිඳ ස්වාමියා අතර, දෙමාපිය දරුවන් අතර, ඥාතීන් අතර ඇත්තේ ගනුදෙනුවකි. මෙම ගනුදෙනු මුළුමනින්ම අත්හැරීම සමුච්ඡේද යනුවෙන් ධර්මයෙහි පෙන්වා දේ. අප සිරිතක් ලෙස ගනුදෙනු අත්හරින්නේ සිංහල අලුත් අවුරුදු දිනයේදි පමණි. සියල්ල මුළුමනින්ම අත්හැරීමෙන් සැනසුම හා සතුට ලැබෙන අතර ගනුදෙනු හරහා අපට කම්පනය ඇතිවේ. ගනුදෙනු වැඩිවීම සමග කම්පනද වැඩිවනු ඇත. ඒ අනුව ශාන්තිනායක අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ අකම්පිතව ජීවත්වීමට අප මෙම සියලු බන්ධනයන්ගෙන් ඈත්ව අත්හැරීම සිදු කළ යුතු බවයි.
බෝසතාණන් වහන්සේ තිස්පස් වන වියේදී දුක නැති කළ නමුත් උන්වහන්සේටද දුක දැනිණ. එහෙත් උන්වහන්සේ ඉන් කම්පා නොවූ සේක. බුදුන් වහන්සේ අපහාස,උපහාස, නින්දා, ප්‍රශංසා ලැබූ සේක. උන්වහන්සේට සාගිනි දැනිණ. සතුරුකම් ඇතිවිය. රෝගි විය. වියපත් විය. එහෙත් ඒ කිසිදු සිදුවීමකින් බුදුන් වහන්සේ කම්පාවට පත්නොවූ බව අපි දනිමු. එයට හේතුව උතුම් බුදු බව ලැබූ උන්වහන්සේ මුළුමනින්ම උපාදානයෙන් ඈත්ව සිටීමයි. උන්වහන්සේ ලෝකය සමඟ සියලු ගනුදෙනු කඩා බිඳ දැමූ සේක. ඒ බැව් ධර්මය මෙසේ ප්‍රකාශ කරයි. 

“ලොකො මයා සද්ධිං විවදති
අහං ලොකෙන සද්ධීං න විවදාමි”
“ලෝකය මා සමඟ විවාදයට පැමිණියත් මම විවාද නොකරමි” යනුවෙන් උන්වහන්සේ එම ගාථාවෙන් ප්‍රකාශ කළහ. තනි අතකින් අත්පුඩි ගැසිය නොහැකිය යන කියමන අප අතර ඇත. නිවසක් තුළ කාර්යාලයක් තුළ වාද විවාද බහුල වේ. ලෝකයා ඔබ සමග විවාද කළත් ඔබ ලෝකයා සමග විවාද කිරීමෙන් වැළකුණු කල්හි අපට සැනසුම හිමිවේ. රැල්ලක් නගින්නේ වෙරළක් ඇතිවිට පමණක් හෙයින් අප තුළ උපාදානය ඇතිවිට දුක පවතී. සෑම තන්හිම පවතින සැනසුම ලඟාකර ගන්නේ කෙසේද යන්න සොයාබැලීම ඉතා වැදගත් පිරික්සුමකි. මෙහිදී සතුටින් ජීවත්වීම සඳහා ලෞකික ජීවිතය තුළ ප්‍රාර්ථනා පෙළගස්වන්නේ කෙසේදැයි බලමු.
ආර්ථික විද්‍යාවේ මෙවන් න්‍යායක් ඇත. ලෝකයේ අවශ්‍යතා අසීමිතය. එහෙත් සම්පත් සීමිතය. එහෙයින් අසීමිත අවශ්‍යතා වෙනුවෙන් සීමිත සම්පත් කළමනාකරණය කරගැනීම ආර්ථික න්‍යාය ලෙස හඳුන්වනු ලැබේ. එදා බුදුන් වහන්සේ මෙම තත්ත්වය මෙනයින් දුටු සේක. වෙරම්බ සූත්‍රයේ දැක්වෙන අන්දමට වේරම්බ වාතය හමන කල්හි කුරුල්ලෝ එයට හසුවුවහොත් විනාශයට පත්වෙති. එමෙන්ම විනාශය ළඟා කරන සම්පත්ද වේරම්බ වාතය මෙනි. තවත් සූත්‍රයකදී උකුස්සකු මස් කැබැල්ලක් ඩැහැගෙන සිටින කල්හි සෙසු උකුස්සන්ගෙන් ලැබෙන හිරිහැර බොහෝය. එහෙත් උකුස්සා මස් කැබැල්ල අත්හළ කල්හි වෙනත් කිසිදු උකුස්සෙක් ඔහු හා නොගැටෙති. මෙලොව සියලු තන්හි සම්පත් රජකරගත් අරගලයන් පවතින අතර ආර්ථික විද්‍යාව තුළින් ප්‍රකාශ වන්නේ මෙම තත්ත්වයයි.
සම්පත් අරගලයක අවසන් ප්‍රතිපලය යුද්ධය හා මිනිස් ඝාතනය වන අතර කිසිවෙක් සැප සම්පත් අත්හැර පොදුවේ සම්පත් ලබාදීමට ක්‍රියා නොකරයි. එය සාමාන්‍ය ලොව පැවැත්මයි. බුදුන් වහන්සේ මෙහි අනෙක් පස පෙන්වා දෙමින් අපමණ වූ අසීමිත ආශා හා වුවමනා සම්පත් විෂයෙහි කළමනාකරණය කරගැනීමෙන් අපට සම්පත් හිරිහැරයක් නොවන බව ප්‍රකාශ කළ සේක. එම තත්ත්වය අවබෝධ කොටගත් බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සිවුපසය අනුදැන වදාළහ.
“ජානතො අහං භික්ඛවෙ පස්සතො” – දැක දැන නිර්දේශ කරමි.
”නො අජානතො නො අපස්සතො” – නොදැන,නොදැක, නොවන බව බුද්ධ දේශනාවයි.
භික්ෂූන් වහන්සේලාගේ සිවුපසය හා මිනිසාගේ මූලික අවශ්‍යතා එක සමාන බැව් අප දනිමු. මූලික අවශ්‍යතා රහිතව අපට ජීවත්වීමට නොහැකිවා සේම මෙම අවශ්‍යතා ,ආශාව තුළ වවාගනිමු, 

චීවර –ඇඳුම 
 
සීතලට, විළි වසා ගැනීමට, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට අපට අවශ්‍ය වන අඳුම අද විලාසිතා බවට හරවා ගනිමින් මිනිස් සිත, සමාජය ව්‍යසනයට යොදාගෙන ඇත. භික්ෂුන් වහන්සේලා ලෙස අප මෙම කාරණා කතාකිරීම නුසුදුසු වන මුත් සාමාන්‍ය ලෝකයා මෙම කාරණයෙහි ඇති බරපතළ හානිකර තත්ත්වය වටහාගන්නා සෙයක් නොපෙනේ.
“හිරිකොපීනපටිච්ඡාදනත්ථං – ලජ්ජාව ඇති තැන් වසාගැනීම සඳහා
“සීතස්ස පටිඝතාය උණහස්ස පටිඝාතාය– සීතල හා උෂ්ණය නැතිකර ගැනීම සඳහා
“ඩංසමකස” – දැහැලේ බොන මදුරුවන්ගෙන් බේරීම සඳහා
ඉහත සඳහන් කාරණා නිසා අපට ඇඳුම් අත්‍යවශ්‍යවේ. ධර්මයේද මෙම කාරණය මැනවින් පැහැදිලි කර දක්වා ඇත. අද විශාල වැයක් දරා සකස්කර ගන්නා අඳුම තුළින් මූලික අවශ්‍යතාවය ඉටුනොවන අතර ඇඳුමට විවිධ විකල්ප යොදාගැනීමෙන් අපි බහුභාණ්ඩිකත්වයට ගමන් කරමු.
පිණ්ඩපාත ආහාර – ආහාරයේ අවශ්‍යතාවය ජීවිතයේ පැවැත්මයි.අදින් වසර පනහකට එහා යුගයේ ශ්‍රී ලාංකික ආහාර රටාව ඉතා පෝෂ්‍යදායි ගුණපිරි යහපත් එකක් විය.
තමන්ගේ ගෙවත්තේ වවාගත් වස විස නැති එළවළු, පලා,කොස්, දෙල් සිංහලයා ආහාරයට ගත්තේය. කොස් ගෙඩියේ ළපටි අවස්ථාවේ සිට ගෙඩිය ඉදෙන තුරු විවිධ ආකාරයට ප්‍රයෝජනයට ගත් අපි ඒ මගින් ඉතා පෝෂ්‍යදායි ආහාර වර්ග රැසක් සකස්කර ගතිමු. අද එම ගුණැති, රසැති සරුසාර වූ ආහාර පසෙකලා සුපිරි යැයි සිතමින් අධික මිලැති ප්‍රතිරූපගත ආහාර සොයා යන්නෙමු. විවිධ තෙල් වර්ග මිශ්‍ර බත් සමඟ එදා අප ලුණු මිරිස් ලෙස හැඳින්වූ අද “චිලි පේස්ට්” නම් වූ තෙල් දැමූ ලුණු මිරිස් ආහාරය ඉතා ඉහළින් අගය කරමින් අනුභව කරමු. මෙම ආහාර තුළින් රෝග පීඩාදියට බඳුන් වන අතර අවශ්‍ය දේ හොඳින් වටහා නොගෙන, ආහාරයේ අරමුණ තේරුම් නොගෙන,අනවශ්‍ය දේ භාවිතයෙන් විශාල ගැටුමකට මුහුණ දී සිටී. 

සේනාසන – නිවාස 
 
නිවසක අවශ්‍යතාවයද අපට සුදුසු පරිදි විය යුතුය. අද මහා නිවෙස් ඉදිවන අතර මිනිස් ප්‍රයෝජනයට අවශ්‍ය වන මිනිබාර් වැනි අනවශ්‍ය කොටස් සදා තිබෙනු අපට දක්නට ලැබේ. නිවැසියන් හට සැනසීමෙන් ජීවත්වීමට ඉඩ පහසුකම් සලසා නොගෙන ශාරීරික අභ්‍යාස සිදුකරන මෙවලම් තබන ස්ථානය, පුස්තකාලය ආදිය සඳහා නිවසේ කොටස් වෙන්කොට ප්‍රතිරූප ගොඩනගා ගැනීමට උත්සාහ කරන සමාජයක් තුළ අපි අද ජීවත් වෙමු. නිවස තුළ අනිවාර්යයෙන් තිබිය යුතු අත්‍යවශ්‍ය අංග නොමැතිවීමෙන් නිවසේ අරමුණ සාක්ෂාත් කරගැනීම දුෂ්කර වී ඇත.
ගිලානප්‍රත්‍ය – බෙහෙත් 
 
දුරාතීතයේ තේ,කෝපි, වැනි බීම වර්ග වෙනුවට භාවිතා කළේ ඔසුපැන් ය. ඉන් ශරීර සුවතාවය ඉතා හොඳින් ආරක්ෂා වූ අතර රාජධානි සමයේ විසූ යෝධයන් වැනි පුද්ගලයන්ගේ පි‍්‍රයතම පානයන් වූයේ මෙම විවිධ ඔසු පැන් ය. බෙලිමල් , රණවරා, ඉරමුසු, කොත්තමල්ලි, ආදී විවිධ ඔසුපැන් පානය තුළින් ශරීරයේ විස සහිත තත්ත්වය නැතිකොට කායික හා චිත්ත මැලිකම් දුරුකරයි. එහෙත් ඔසු පැන් වෙනුවට බීමට ගන්නා සීතල හා උණුසුම් විවිධ පාන වර්ග තුළින් රෝග පීඩාදිය ඇතිවී නිරෝගිකම පලා යනු ඇත. මේ හෙයින් බොහෝ පුද්ගලයෝ සතුට පවත්වාගත නොහැකිව දුකට පත්ව සිටිති. එහෙයින් ඉහත සඳහන් චතුර්විධ කාරණා අපගේ සතුට වෙනුවෙන්. අපගේ නිරෝගිකම වෙනුවෙන්, අපට හැකි අන්දමින්, අවශ්‍ය තරමින් තෝරාගැනීම අමිල කාරණාවක් වේ.
“සන්තුස්සකො ච සුභරොච”
පෝෂණය කළ හැකි පහසු ජීවිතයක් ඇතිවේ. “සුභර” යනු පෝෂණයයි.
“විසසාස පරමා ඤාති “ සමාජය තුළ විශ්වාසය නැති වී අවිශ්වාසය රජයයි නම් මිනිසා දුකින් වේදනාවෙන් පසුවන බව පෙර පැහැදිලි කළෙමි.
“විවටද්වාර “ – දොර හැර
“උරෙ පුත්තා නචචන්තා” – දරු පැටව් කරේ තබාගෙන නට නටා සිටින
දොර හැර දරු පැටව් කරේ තබාගෙන නටන සමාජයක් බිහිවිය යුතු බව බුදුන් වහන්සේ දේශනා කළ සේක. එයින් අදහස් කරන්නේ යහපත් සමාජයක පැවැත්මයි.
අප අත්දැක ඇති පරිදි ඩුබායි , ජෝර්දාන්, සාජා වැනි රටවල බොහෝ නිවෙස්හි දොර, ජනෙල් හැර තබා පිටට යන සෙයක් දක්නට ලැබේ. එහෙත් ධර්මද්වීපය නමින් හැඳින්වෙන ලංකාවේ එවන් තත්ත්වයක් දක්නට නොලැබීම කනගාටුවට කරුණකි. පී‍්‍රතිමත් සමාජයක සැකය නොපවතින අතර දොර ජනෙල් අගුල් දමා නොතිබීම හානිකර නොවේ.
දොර හැර දරු පැටව් කරේ තබාගෙන නටමින් ගතකරන සමාජයක් ශී‍්‍ර ලාංකික අපට සිහිනයක් බඳු වේ. අපට කැමති ස්ථානයක, වාහනයක් නතරකොට තබා යාමට පවා හැකියාවක් අද ලංකාව තුළ නොමැත. එසේ නවතා තබන වාහනයක දොර ජනෙල් කඩා බිඳ දමා ඇතුළත ඇති දෑ සොරකම් කිරීමට තරම් එසේ නැතහොත් හොර යතුරු දමාගෙන වාහනය ගෙනයාමට තරම් දාමරික පිරිස් වත්මන් සමාජය තුළ හැසිරෙති. පැරණි සිංහල සමාජය තුළ සුරූපී කන්‍යාවකට නවරත්න මැණිකක් දෑතින් ගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා නිරුපද්‍රිතව යාමට හැකියාව තිබූ බවට ජනපි‍්‍රය පුවතක් අප අසා ඇත්තෙමු. එම යහපත් තත්ත්වය මුළුමනින්ම විනාශ වී ඇති අතර එයට හේතුවී ඇත්තේ විශ්වාසය පිළිබඳව ගැටලුවක් පැවතීමයි.
පරම ඥාතියා ලෙස සැලකෙන විශ්වාසය සමාජය යහපත් කරන අතර වත්මන් සමාජයේ සෑම පැත්තකින්ම විශ්වාසය ගොඩනැගීමට කටයුතු කිරීම අනිවාර්ය කාර්යයක් වී ඇත. වත්මන් දේශපාලනය පිළිබඳ අපට විශ්වාසයක් නොමැත. ගනුදෙනුකරුවා අද විශ්වාස කළ නොහැකි තත්ත්වයකින් සිටියි. වෙළෙන්දා පාරිභෝගිකයා රවටයි. ගොවියා වස විස දමා ආහාර නිපදවා ලාභ ලැබීමට උත්සාහ කරයි. මේරීමට පෙර එළවළු වර්ග කඩා බර පවතින කාලයේදීම එය අලෙවිකර ගැනීමට කටයුතු කිරිමෙන් හේන් ගොවියා අපව රැවටීමට උත්සාහ කරයි. ගොවියා කෙරෙහි පාරිභෝගිකයා පිළිබඳව හැඟීමක් නොමැති තත්ත්වයක් පෙන්නුම් කරයි. ව්‍යාපාරිකයා ප්‍රමිතියෙන් තොරව භාණ්ඩ අලෙවියට පෙළඹී ඇත. කෝටි දෙකක් පමණ වන සුළු ලාංකික සමාජයේ මිනිසා අතර කෙතරම් අවංකව විශ්වාසය ගොඩනගා ගත හැකිද? එහෙත් එම තත්ත්වයෙන් බැහැරව සිටීම ඛේදනීයයි. විශ්වාසය පිරුණු සමාජය තුළ සතුට ඉතිරී යනු ඇත. සෞභාග්‍යය උදා වනු ඇත.
සිවුදෙසින් මහා ගංගා ගලා යන අප රට තුළ බොහෝ පිරිසක් ජලය නොමැතිව අද දුක් විඳිති. මෙම තත්ත්වය වළක්වාලීමට ඔවුනොවුන්ගේ වටිනාකම් හා වැදගත්කම් තේරුම් ගෙන මනුෂ්‍යත්වයට සලකන තත්ත්වයට පත්වීමෙන් විශ්වාසය ගොඩනගා ගත හැකිය. මෙහිදී පුද්ගල ක්‍රියාකාරිත්වය මෙන්ම සමාජ ක්‍රියාකාරිත්වයද ඉතා තදින් බලපාන හෙයින් ඒ සඳහා ධර්මය උපයෝගී කරගැනීම අත්‍යවශ්‍ය බැව් අවධාරණය කරමු. 

නිබ්බාණපරමං සුඛං – නිවන පරම සුවයයි 
 
දෙවියන්ගේ දිව්‍ය සම්පත්, බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම සම්පත් දිනක පිරිහීමට පත්වෙනු ඇත. එමෙන්ම සියලු සම්පත ලෞකික වේ. එහෙත් නිවන අවබෝධ කරගත් පුද්ගලයා යළි භවයට හෝ දුක් සහිත බියකරු සසරට හෝ නොයන හෙයින් නිර්වාණය පරම ශාන්තිය , පරම සතුට ලෙස හඳුන්වා දේ. සතුට භෞතිකව නොව අධ්‍යාත්මිකව ගොඩනගා ගත යුත්තක් බව බුදුදහමේ මූලික සාකච්ඡාවයි. ඒ සඳහා අවශ්‍ය වන කායික, මානසික හා සාමාජික නිරෝගිබව ගොඩනගා ගැනීම සඳහා පෙර කී චතුර්විධ ස්වස්ථතාවයන් හොඳින් තේරුම්ගෙන අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරමු. 




 ශ්‍රී ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි


 ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජනවාරි 04 වන ඉරිදා   දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment