දෙවියන්ට වදාළ සම්බුදු බණ
අපගේ සම්බුදු සමිඳුන් හමුවේ තමන්ට පැන නැඟුªණු බොහෝ ගැටළු විසඳාගත් දෙවිවරු ගැන අප ඉගෙන ගත්තා. ඇතැම් අවස්ථාවල දෙවිවරුන් අකරතැබ්බයන්ටත් මුහුණ දුන්නා. ඒ මොහොතේ දීත් ඔවුන්ට පිහිට වුණේ අපගේ බුදුරජාණන් වහන්සේ ම යි. මේ ලෝකයේ දෙවි මිනිස් සියලුදෙනා අතරේ ඉහළින්ම වැඩ සිටින්නේ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ යි. ඒ බව උන්වහන්සේ විසින් ම මෙසේ පෙන්වාදී වදාළා.
පින්වත් මහණෙනි, යම්තාක් සත්ත්වයෝ ඇත්ද, දෙපා රහිත වේවා, දෙපා ඇත්තෝ වේවා, සිවුපා ඇත්තෝ වේවා, බොහෝ පා ඇත්තෝ වේවා රූපවත් සතුන් වේවා, අරූපවත් සතුන් වේවා, සංඥාවක් ඇති සතුන් වේවා, සංඥාවක් නැති සතුන් වේවා නේවසඤ්ඤා සතුන් වේවා ඒ සියලු සතුන් අතරේ තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍ර වන්නේ ය. යමෙක් ඒ බුදුසමිිඳුන් කෙරෙහි සිත පහදවා ගනී නම්, ඔවුන් ඒ පැහැදී සිටින්නේ ලොව අග්‍රම පුද්ගලයාට යි.
ඒ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන සරණගොස් සිටි දිව්‍ය පුත්‍රයෙක් තමා සූරිය දිව්‍ය පුත්‍රයා. ඔහු හිරුට අධිපතිවයි වාසය කරන්නේ. දිනක් මේ හිරු දෙවියන් රාහු කියන අසුරේන්ද්‍රයා අල්ලා ගත්තා. රාහු කියන්නේ මේ ලෝකයේ සුවිශාලම ශරීරයක් තිබෙන කෙනා. ඔහු හරිම බලසම්පන්න අසුරයෙක්. මේ අසුරයා සූරිය දෙවියන් අල්ලාගෙන හිරු මඬලත් සමඟ ගිලින්නට සූදානම් වුණා. ඉතින් ඒ මොහොත් සූරිය දෙවියන් විශාල තැති ගැනීමකට පත් වුණා. ඒ මොහොතේ තමන් සරණ ගිය සම්බුදු සමිඳාණන් වහන්සේම සිහිපත් කළා. හඬ නඟා ගාථාවක් කියමින් භාග්‍යවතුන් වහන්සේට ඒ සූරිය දිව්‍ය පුත්‍රයා වන්දනා කළා.
නමෝ තේ බුද්ධවීරත්ථු - විප්පමුත්තෝසි සබ්බධී
සම්බාධ පටිපන්නෝස්මි – තස්ස මේ සරණං භගවාති
බුද්ධ වීරයන් වහන්ස ඔබ වහන්සේට නමස්සාර වේවා! ඔබ වහන්සේ හැමදේකින්ම නිදහස් වූ සේක. දැන් මම කරදරයක වැටිලයි ඉන්නේ. මට පිහිටවන සේක්වා.
සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි අපගේ බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දැක වදාළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ සූරිය දිව්‍ය පුත්‍රයා වෙනුවෙන් රාහු අසුරිඳුට ගාථාවලින් මෙහෙම වදාළා.
තථාගතං අරහන්තං - සූරියෝ සරණං ගතෝ
රාහු සුරියං පමුඤ්චස්සු - බුද්ධා ලෝකානුකම්පකාති
ඒයි රාහු සූරිය දිව්‍ය පුත්‍රයා අරහත් වූ තථාගතයන් වහන්සේයි සරණ ගොස් සිටින්නේ. බුදුරජාණන් වහන්සේලා ලෝකයට අනුකම්පා කරනවා. ඒනිසා ඔය සූරිය දිව්‍ය පුත්‍රයා නිදහස් කරන්න.
යෝ අන්ධකාරේ තමසී පභංකරෝ
වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ
මා රාහු ගිලී චරං අන්තලික්ඛේ
පජං මම රාහු පමුඤ්ච සූරියන්ති
ඒයි රාහු, යමෙක් ඝන අන්ධකාරයේ එළිය ලබා දෙයිද, බබළවයිද, උග්‍ර තේජස් ඇති හිරු මඬල ගිලින්නට එපා. ඒයි රාහු මගේ ශ්‍රාවක දරුවෙක් වන සූරිය දිව්‍ය පුත්‍රයා නිදහස් කරන්න.
සම්බුදු රජාණන් වහන්සේගේ ආනුභාව සම්පන්න මේ ගාථාවන් ඇසෙද්දී රාහු අසුරයා හොඳටම බියට පත්වුණා. සූරිය දිව්‍ය පුත්‍රයා ඉක්මණින් ම නිදහස් කළා. බියෙන් තැති අරගෙන වේපචිත්ති නම් අසුරිඳු ළඟටම ගියා. වේපචිත්ති කියන්නේ අසුරයන්ගේ රජෙක්. දැන් රාහු අසුරයා බියෙන් තැති අරගෙන ඇඟේ මවිල් කෙළින් කරගෙන පැත්තකින් හිටගෙන ඉන්නවා.
පැත්තකින් හිටපු රාහු අසුරයාට වේපචිත්ති අසුර රජු ගාථාවකින් මෙසේ පැවසුවා.
ඒයි රාහු මොකද ඔය බයවෙලා වගේ? හිරු නිදහස් කළා නේද? ඉතින් දැන් මේ තැති අරගෙන භයවෙලා වගේ ඉන්නේ මොකද?
ඒ මොහොතේ වේපචිත්ති අසුර රජුට රාහු අසුරයා පුදුමාකාර පිළිතුරක් දුන්නා. අප සරණ ගිය සම්බුදුරජුන්ගේ ආනුභාවය මේ ලෝකයේ කෙතරම් පැතිර ගියාදැයි ඒ පිළිතුරෙන් වටහා ගන්නට පුලුවනි.
බුදුසමිඳුන් විසින් මා හට ගාථාවන් වදාළා. යම් විදිහකින් මේ හිරු අත් නොහැරියා නම්, මගේ හිස හත්කඩකට පැලෙන්නටත් ඉඩ තිබුණා. මං ජීවත්වුණත් සැපක් නම් ලැබෙන්නේ නැහැ.
තුන්ලොවම ජයගත් ඒ සම්බුදු රජුන්ගේ ආනුභාවය අසීමිතයි. ඒ බුද්ධානුභාවයට වඩා බලවත් දෙයක් තුන් ලොවේම ඇත්තේ නැහැ. අපගේ ශාස්තෘන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී ඔය ආකාරයටයි ශ්‍රාවකයින්ට පිහිට වුණේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ අද වගේ යුගයකත් බියක් තැති ගැනීමක් ඇතිවූ විට ඒ අපමණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේ සිහිකරන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.
මේ අයුරින් අප සරණගිය ශාස්තෘන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක. ලෝකවිදූ වනසේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථි වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වනසේක. භගවා වන සේක යනුවෙන් සැදැහැ සිතින් සිහිකරද්දී යම් බියක් තැති ගැනීමක් ලොමුඩැහැ ගැනීමක් ඇත්නම් එය දුරුවන බව උන්වහන්සේ වදාළා. එය බුදුරජුන්ගේ උතුම් බුද්ධානුභාවය යි.
කෙනෙකුට බුදුගුණ සිහිපත් නොවන්ට පුළුවනි. එවිට උන්වහන්සේ වදාළා ධර්මයේ ගුණ සිහිකරන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ විසින් සද්ධර්මය මැනැවින් වදාළා නිසා ස්වාක්ඛාත වන සේක. මෙලොවදීම අවබෝධ කළ හැකි නිසා සන්දිට්ඨික වන සේක. ඕනෑම කාලයක දී අවබෝධ කළ හැකි නිසා අකාලික වන සේක. ඇවිත් බලන්න යැයි විවෘතව පෙන්වා දිය හැකි නිසා ඒහිපස්සික වන සේක. තමා තුළට පමුණුවා ගත යුතු නිසා ඕපනයික වනසේක. තම තම බුද්ධියේ ප්‍රමාණයට අවබෝධ කළ හැකි නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි වන සේක යනුවෙන් දහම් ගුණ සැදැහැ සිතින් සිහි කරද්දී ද බිය තැතිගැනීම් දුරුවන බව පෙන්වා දී වදාළා. ඒ ශ්‍රී සද්ධර්මයේ ධම්මානුභාවය යි.
ඒ වගේ ම සංඝරත්නයේ ගුණ සිහි කිරීමෙන්ද, බිය තැතිගැනීම් දුරු වී යනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වන සේක, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඤායපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමිචිපටිපන්න වන සේක. මාර්ගඵල යුගල වශයෙන් සතර නමක්ද, මාර්ගඵල පුද්ගල වශයෙන් අට නමක්ද වන සේක. ආහුණ්‍යෙ වන සේක, පාහුණෙය්‍ය වන සේක. දක්ඛිණෙය්‍ය වන සේක, අංජලිකරණිය වනසේක. ලොවට උතුම් පින්කෙත වන සේක වශයෙන් ආර්ය මහා සංඝරත්නයේ ගුණ සිහි කරද්දී ඒ සංඝානුභාවයෙන් බිය තැති ගැනීම් දුරු වී යන බව ධජග්ග සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා.
එයට හේතුව නම් සම්බුදු රජාණන් වහන්සේ වීතරාගී, වීතදෝසි වීතමෝහි වන බැවිනි. බිය නොවන, නො පසුබසින, පලානොයන කෙනෙකු නොවන බැවිනි.
ඒ උතුම් ධජග්ග සූත්‍රයේ අවසානයේදී තෙරුවන් සරණ ගිය සියලුදෙනාට ඉතාමත් වැදගත්වන මේ ගාථාවන් ද අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළා.
අරඤ්ඤෙ රුක්ඛමූලේ වා - සුඤ්ඤාගාරේව භික්ඛවෝ
අනුස්සරේථ සම්බුද්ධං භයං තුම්මහාක නො සියා
වනගත අරණ්‍යයකට හෝ රුක් සෙවණකට හෝ නිදහස් පාළු තැනකට හෝ පිවිසෙන ඔබ සම්බුදු රජුන්ව සිහිකරන්නේ නම් පින්වත් මහණෙනි ඔබට බියක් ඇති නොවන්නේම ය.
නෝ චේ බුද්ධං සරෙය්‍යාථ ලෝකජෙට්ඨං නරාසභං
අථ ධම්මං සරෙය්‍යාථ – නීය්‍යානිකං සුදේසිතං
ඉඳින් තුන්ලොව ම අගරජු වූ නරෝත්තම සම්බුදුරජුන් සිහි නොවේ නම් නිවනට පමුණුවාලන මනාව දෙසන ලද ඒ මිහිරි සිරි සදහම් ගුණ සිහිකළ යුතුය.
නෝ චේ ධම්මං සරෙය්‍යාථ – නීයානිකං සුදේසිතං
අථ සංඝං සරෙය්‍යාථ – පුඤ්ඤඛෙත්තං අනුත්තරං
නිවනට පමුණුවාලන මැනැවින් පැවැසූ ඒ සිරි සදහම් ගුණ සිහි නොවේ නම්, ලොවට අනුත්තර පින්කෙත වූ සංඝරත්නයේ ගුණ සිහි කළ යුතුය.
ඒවං බුද්ධං සරන්නාතං - ධම්මං සංඝඤ්ච භික්ඛවෝ
භයං වා ඡම්භිතත්තං වා - ලෝමහංසෝ න හෙස්සතී ති
මෙසේ සම්බුදු රජුන්ද, මිහිරි සිරි සදහම් ද ශ්‍රාවක සඟරුවනද සිහි කරන්නේ නම් ඔහුට බියක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩැහැ ගැනීමක් නම් නො වන්නේ ම ය.
ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා!
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ වෙසක් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ මැයි 17
වනදා ඉරිදා
No comments:
Post a Comment