Labels

Tuesday, May 26, 2015

දන්දීම ප්‍රගුණ කළ යුතුම පුණ්‍ය කර්මයක්




නීතිමානි භික්ඛවේ පුඤ්ඤ කිරියවථුනීකතමානි තීනි මේ දානමයං පුඤ්ඤකිරියවත්‍ථු සීලමයං පුඤ්ඤ කිරියවත්‍ථු භාවනාමයං පුඤ්ඤ කිරියවත්‍ථු

 ක්ෂු සංඝයා අමතා තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ලෝකයේ පුණ්‍ය ක්‍රියාවස්තු තුනක් තිබෙන බව. එනම් දානය, සීලය, භාවනා යන්නයි. ‘පුඤ්ඤ’ ක්‍රියා යන්නන් අදහස් කරන්නේ පවිත්‍ර, පිරිසුදු කාරණය යන්නයි. මෙම ක්‍රියාවන් ක්‍රියාවට නංවන සත්ත්වයින් පිරිසුදු භාවයට පත්වෙනවා. ‘පුඤ්ඤ’ යන්නෙහි තේරුම් කිහිපයක්ම පවතිනවා. 



එනම් පිරිසුදු වාගේම ලෙඩනැති දත්ත, යන අර්ථයන් ද එතුළ ගැබ්ව පවතිනවා. බෞද්ධ දර්ශනයට අනුව පිරිසුදු තැනහොත් පවිත්‍ර යන අර්ථය තමයි ප්‍රමුඛ වශයෙන් භාවිත කරන්නේ. සත්ත්වයා තුළ පවතින ක්ලේශ ධර්ම මැඩලීම සඳහා මෙකී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ප්‍රගුණකළ යුතුවෙනවා. ප්‍රධාන වශයෙන් පුද්ගලයා නිර්වාණයට ප්‍රවිශ්ට වීම උදෙසා දාන, සීල, භාවනා යන ක්‍රියා ඉවහල් වෙනවා. ප්‍රධාන වශයෙන් කොටස් තුනකට දක්වා ඇති මෙම ක්‍රියා අනුප්‍රභේද කිහිපයකට බෙදා දක්වන්න පුළුවන්.
ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතර පළමුවැන්න වන දානයෙහි කොටස් රාශියක් තිබෙනවා. ඒ අතර ආමිෂ දාන, අභය දාන, ධර්ම දාන හඳුනාගන්න පුළුවන්. සීලය තුළත් චාරිත්‍ර ශීල, වාරිත්‍ර ශීල යනාදි ලෙස ප්‍රභේද පවතිනවා. භාවනාවත් සමථ, විදර්ශනා යනාදි ලෙස වර්ගීකරණයකට යටත් කර දක්වන්න පුළුවන්.
බොහෝ කෙලෙස් පිරි සත්ත්වයාට කෙලෙස්වලින් පිරිසුදු වෙලා ශුද්ධ සත්ත්වයෙක් වීමට අවශ්‍ය කරන පුණ්‍ය ක්‍රියා අතරෙහි ‘දානමයං පුඤ්ඤකිරිවත්‍ථු, යනුවෙන් දානය නම් වූ පුණ්‍ය ක්‍රියාව පළමු තැන ගන්නවා. දානය නම් වූ ක්‍රියාව මුලට යෙදෙන්නට හේතු ගණනාවක් ඉවහල් වෙනවා.
ලෝකය පුරා ඇතිතාක් පැටලැවිලි දුක්, කරදර, සියල්ල පැමිණෙන ආකාරය මොහොතක් කල්පනා කර බැලුවහොත් වැටහනෙවා ඒ සියල්ල තණ්හාව නිධාන කොටගෙන පවතින බව. අවිද්‍යාවත් සමඟ එකතුව ඇති තණ්හාව නිසා සත්ත්වයාට සංසාරය තුළ උපදින්න සිද්ධවෙනවා. එනිසා තණ්හාව දුරුකොට පිරිසුදු වෙන්න බලාපොරොත්තු වෙන අයෙකුට පළමුව දුර්වල කරන්නට සිදුවෙන්නේ් තණ්හාවයි. තෘෂ්ණාව දුර්වල කිරීමට තිබෙන එකම දේ දානයයි. දානය නැතහොත් පරිත්‍යාගය තුළින් ලෝභකම නසන්නට පුළුවන් වෙනවා.

දානය තුළින් ලෝභය, තෘෂ්ණාව නැසූ කෙනාට තමයි සිල් රකින්න පුළුවන් වෙන්නේ. සීලය තුළින් පුද්ගලයාට ස්වකීය ක්‍රියා තැන්පත් කරගත හැකි වෙනවා. කායික වාචසික ක්‍රියා තැන්පත් කර ගනිමින් නරක ක්‍රියාවන්ගෙන් වැළකෙමින් හොඳ යහපත් ක්‍රියාවල යෙදෙමින් සිල් රකින්න පුද්ගලයාට පුළුවන්. සිල් වඩන්නටත් ලෝභය දුරස්ථ කළ යුතුව වෙනවා. යහපත් චාරිත්‍රවලින් ඔප වැටී සිල්වත් ජීවිත පවත්වාගෙන යන පුද්ගලයාට තමයි භාවනා වඩන්න පුළුවන් වෙන්නෙ. භාවනාවට යොමුවෙලා සිත දියුණු කරමින් ඤාණය ආලෝකය ලබාගත හැක්කේ සීලය ඇති පුද්ගලයාටයි. මෙසේ කල්පනා කළ විට පෙනෙනවා දානය සීලයට මුල්වන බවත්, සීලය භාවනාවට මුල්වන බවත් දාන, සීල, භාවනා එකිනෙකට බැඳී පවතින බව පේනවා. එක් අංශයක් අතහැර දමන්නට බැහැ. මේ ලෝකයෙහි ලෝක ප්‍රජාව අතර මෛත්‍රියක් ඇතිකිරීමට දානය බොහොම උපකාරි වෙනවා. එම නිසා දානය මුලටම ප්‍රකාශ කිරීම බොහොම යුතුයි. ලෝකයෙහි දීමනාවල් බොහොමයක් තිබෙනවා. සමහරු පොලියට කාසි දෙනවා. ඒකත් දීමනා වෙනවා. නමුත් එය දානයක් වෙන්නේ නැහැ. ඒක නිකම්ම දීමකුත් නොමෙයි. දීලා වැඩියත් එක්ක ගැනීමක් සිද්ධ වෙන්නෙ එනිසා එය ආගම් උගන්වන දාන ගණයට වැටෙන්නේ නැහැ. ලෝකවාසීන් රටේ ප්‍රධානියාට අයබදු ගෙවනවා ඒකත් දීමක්. ඒවාගේම මෙහෙකරුවෙකුට පඩි දීමත් දානයක් නොවේ. එතුළ පවතින්නේ ගනුදෙනුවකි. මේ ආකාරයෙන් දීමනාවල් බොහොමයක් පවතිනවා. මේවා පුණ්‍ය ක්‍රියා වස්තුවට යටත් වෙන්නේ නැහැ.

යම් පුද්ගලයෙක් අසරණ පුද්ගලයෙක් උදෙසා යමක් දෙනවා නම් එය දීම ඉතා හොඳ එකක් බව අවබෝධ කරගෙන එතුළින් ලෝභය තුරන්වෙලා තමා පවිත්‍ර වන බව දැනගෙන දන් දීම යහපත් වෙනවා.
යමෙකුට යමක් දෙනකොට ලබන කෙනාට උපකාරයක් සිදුවෙනවා. ලෝකයේ අඳින්න නැති කන්න නැති, ඉදුම් හිටුම් නැති අසරණ මිනිස්සු ඉන්නවා. ඉගෙනගන්න අවශ්‍ය උපකරණ අහිමි ළමයි ඉන්නවා. ලෙඩට බෙහෙත් ගන්න සල්ලි නැති මිනිස්සු ඉන්නවා. නැතිබැරිකම් ලෝකේ බොහොමයි. එහෙම අනුකම්පා කරලා නැතිබැරිකම්වලට පරිත්‍යාගය තුළින් යම් සංග්‍රහයක් කිරීම මනුෂ්‍ය ධර්මයක්. තිරිසනුත් ළඟ එහෙම එකක් නැහැ. මනුෂ්‍යයෙකුටම තමයි එලෙස උදව් උපකාර කළහැකි වෙන්නේ. සමහරු දෙවියන්ගෙන් බොහෝ දේ බලාපොරොත්තු වෙනවා. එහෙම ලබන්නත් දෙවියන්ට පුද පඬුරු, පූජා තබන්නට පුද්ගලයින්ට සිදුවෙනවා. එකී විශ්වාස බොහොමයක් මිනිසුන් අතර පවතිනවා. දෙවියන්ගේ දීමටත් වඩා මනුෂ්‍යයන්ගේ දීම උසස් වෙනවා. මන්දයත් මනුෂ්‍යයා කල්පනා කරන්නේ තමන් මිනිසෙක් එනිසා අසරණයෙකුට පිහිටවීම යුතුකමක් ලෙසයි. තමන්ට ලැබෙන දේ පුද්ගලිකව භුක්ති විදීම තිරිසන් කමක් වෙනවා. ලෝකයේ ජීවත්වන අසරණ පුද්ගලයින්ට මා සතු දෙයින් සංග්‍රහයක් කරන්න පුළුවන් නම් මට ඒ දෙය කළයුතුයි කියලා පුද්ගලයා කල්පනා කළ යුතු වෙනවා. එලෙස කල්පනා කරමින් දන්දෙන පුද්ගලයාට ලෝභය තුනී කරගන්න පුළුවන්කම තියෙනවා. දානය තුළින් ලෝභය තුනී කරගැනීම පමණක් නොව ඒ තුළින් පරෝපකාරයත් සිදුවෙනවා. අනුන්ට උපකාර කරන්න හිතෙන පුද්ගලයා තුළ කරුණාව මෛත්‍රිය ඇතිවෙනවා. කරුණා, මෛත්‍රී යන කාරණ දෙක උද්දීප්තව දෙන දානයන් බොහොම ආනිසංස ගෙනෙනවා. දානය පිරිසුදු වන්නට දන්දෙන තැනැත්තා දානය ගාවලා දෙන්න නරකයි. ගාවලා දෙනවා කියන්නේ සමහරු ප්‍රසිද්ධිය. බලාගෙන හොඳ නමක් ගන්න හිතාගෙන ලෝකයට පේන්න දන් දෙනවා. එය උචිත වෙන්නේ නැහැ. හැම පැත්තටම එක වගේ වහින මහා වලාවක් වගේ එක පැත්තක් බේරෙන්නේ නැතිව දන් දෙන්න ඕන. බෝධිසත්වවරු ලෝකය ජයගත්තේ දන්දීම එලෙස සිදුකළ නිසයි.
දානය තවත් බොහෝ වර්ගීකරණයකට ලක්කරලා තිබෙන බව පෙළ දහම අධ්‍යයනයේ දී පැහැදිලි වෙනවා. සූත්‍ර පිටකය තුළ දාන වස්තු දහයක් පිළිබඳව සඳහන් වෙනවා. අභිධර්ම පිටකය තුළ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම වශයෙන් දාන වස්තු හයක් ගැන සඳහන් වෙනවා. විනය පිටකය තුළ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යනුවෙන් හතරක් ගැන සඳහන් වෙනවා. මේ අනුව සියලු දාන වස්තූ®න් විසි ආකාරයක් පිළිබඳව සඳහන් වෙනවා.

මෙහිදී අභිධර්මයේ සඳහන් කරුණු රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන දාන හය වඩාත් අසන්නට නොලැබෙන නිසා ඒ පිළිබඳ පැහැදිලි කරනවා.
රූප දාන යනුවෙන් අදහස් කරන්නේ ඇසට පෙනෙන දේවල් දන්දීමටයි. එනම් ඇඳුම් පැළඳුම් ගෙවල්, දොරවල්, බඩු මුට්ටු ආදිය දන්දීමයි. බුදුරදුන් උදෙසා හොඳ වර්ණවත් මල් පූජා කිරීමත් රූප දානයයි. යමෙකුට පෙනුම ඇති හොඳ දෙයක් දෙන්න පුළුවන් නම් එය රූපදාන කොටසට අයත් වෙනවා.
ශබ්ද දාන යනුවෙන් අදහස් කරන්නේ ශබ්ද පූජාවන් සිදුකිරීමයි. ගන්ධ දාන නම් සුවඳ දුම් ආදිය පිදීමයි. දිවෙන් විදිය හැකි රස වර්ග දන්දීම රස දානයයි. පොට්ඨබ්බ දාන යනු ශරීරයට ස්පර්ශ වන ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට ආදි සුවපහසු දේවල් දන්දීමයි. මේ සියල්ල ඇසට, නාසයට, කනට, දිවට, ශරීරයට ලැබෙන්නා වූ ගොදුරුය. ආමිස දාන වශයෙන් හඳුන්වනු ලබන්නේ මෙකි දානයන්ය.
සාමාන්‍ය ලෝකයාට තේරුම් ගැනීමට තරමක් අසීරු දානයක් තමයි ධර්ම දානය. අභිධර්මය තුළ ‘ධම්මාලම්බනය’ පිළිබඳව සඳහන් වෙනවා. ශරීරයට විඳින්නට බැරි කනෙන් අසන්නට බැරි, දිවෙන් රස විඳින්නට බැරි, ඇසෙන් දකින්නට බැරි, නාසයෙන් ඉවත් කරන්නට බැරි දේවලට ධම්මාලම්බන කියලා කියනවා. එනම් මරණයට කැපවූ සතෙකු නිදහස් කරමින් එම සත්ත්වයාට ජීවිත දානය ලබා දීම ප්‍රාණය නිදහස් කර දීම ධම්මාලම්බන දානයක් වෙනවා. ඒ වාගේම කය දුර්වල මනුෂ්‍යයෙකුට ශරීර ශක්තිය ලැබෙන කි‍්‍රයා සිදු කරමින් කාය බලය ලබාදීමට ක්‍රියාකිරීමත් ධර්මාලම්බන දානයට යටත් වෙනවා. මේ අනුව ධර්මාලම්බන දානය යනුවෙන් අභිධර්මය තුළ හඳුන්වා දී ඇත්තේ ජීවිත දානය හා බල දානයයි.
අභය දානය දාන අතරින් උසස් කොට සලකනවා. අභය දානය තුළින් ලෝකයක් සැනසීමට පත් වෙනවා. යම්කිසි මනුෂ්‍යයෙක් සිල් රකිනවානම් ඒ මනුෂයාගෙන් ලෝකයට බියක් ඇති වෙන්නේ නැහැ. එතුළින් ලෝකයක් සුවපත් වෙනවා. යම්කිසි පුද්ගලයෙක් සිල් රකිනවා නම් ‘ආමිස දාන’ සියල්ලටම වඩා එය උසස් වෙනවා.
අභය දානයටත් වඩා උසස් දානයක් පිළිබඳව පෙළ දහමේ සඳහන් වෙනවා. එනම් ධර්ම දානයයි. ‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’ යනුවෙන් සඳහන් වන්නේ සියලු දානයන්ට වඩා උතුම් බවට පත්වෙන්නේ ධර්ම දානය බවයි. එය අභිධර්ම පිටකය තුළ විග්‍රහ වන ධර්මාලම්බනයට අයත් නොවන වෙනම අර්ථයක් ගෙනදෙන දානයක්. බුදුරදුන්ද අගය කළේ ධර්ම දානයයි. ධර්ම දානය කියන්නේ ධර්මයෙන් අවවාද අනුශාසනා ලබාදීමයි. බෝධිසත්ව අවදියේද බුද්ධත්වයෙන් පසුවද බුදුරදුන් හතළිස් පස් වසක් මුළුල්ලෙහි ලෝක සත්ත්වයින් සුවපත් කළේ ධර්ම දානයෙන්. යම් පුද්ගලයෙක් වැරැදි ක්‍රියාවකින් මුදා යහපතෙහි යොදවන්නට යමෙක් ක්‍රියා කරන්නේද එය ධර්ම දානයට අයිති වෙනවා. ධර්ම දානය උතුම්ම දානය වන්නේ බොහෝ මිනිස්සු පරම්පරා වශයෙන් සුගතියට මාර්ගය හෙළි කරගන්නා නිසයි. ලෝකයක් සුවපත් කරන ධර්ම දානය ප්‍රදානය කිරීමෙන් ලෝකය තුළින් නරක, පවිටු, අදහස් තුරන් වෙලා යනවා.
දුක්ඛිත වූ ලෝකයට පරෝපකාරයක් හැටියට පුද්ගලයා දානයට හුරුවිය යුතුයි. කවුරුත් දන්දීමට පුරුදු වන විට මසුරුකම තුනීවෙලා යනවා. සිත තුළ පවතින ලෝභකම දුරුකරලීම සඳහා පරිත්‍යාගයට හුරුවිය යුතුමයි. සිල්වත් වීමට පළමුව දන්දීමට නැඹුරුවීම අනිවාර්ය දෙයක්. දන් දීමෙන් සිල්වත් බවටත් සිල්වත් බවින් භාවනාමය කුසල කර්මයටත් පුද්ගලයා සමීප වෙනවා. උතුම් නිර්වාණය ලබන්නට නම් මහත් ආනුභාව ධ්‍යාන ලබන්නට නම් පළමුව දන්දීම ප්‍රගුණ කළ යුතුම පුණ්‍ය කර්මයක් වෙනවා. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලදී පළමුතැන ලබා දෙන්නේ දානයටයි. බෞද්ධයෝ හැටියට මනුෂ්‍ය ගුණධර්ම වගා කරගන්නට උත්සාහ දැරීම ලෝකයටම සහනයක් ගෙනෙයි. ඒ අතර දානය නම් ගුණාංගයක් නොපිරිහෙළා ක්‍රියාවට නැංවීමට පුද්ගලයා උත්සාහ ගන්නේ නම් තමාටත්, ලෝකයටත් සෙතක්මයි සිදුවෙන්නේ.

 ගුවන්විදුලි ධර්ම දේශනාවකිනි


 පැළෑණේ
සිරි වජිරඤාණ මහ නා හිමි











බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment