Labels

Sunday, May 24, 2015

සරු දෙය ලබන්නා

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අසාරෙ සාරමතිනො
සාරෙ චාසාර දස්සිනො
තෙ සාරං නාධිගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගෝචරා  

සාරං ච සාරතෝ ඤත්වා
අසාරං ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්තී
සම්මා සංකප්ප ගෝචරා 

 

පින්වත්නි, 

 අද ධර්ම දේශනාව වශයෙන් මා තෝරාගත්තේ ධම්මපදයේ යමක වග්ගයේ එන 11 සහ 12 ගාථා දෙකයි. එහි සරල අදහස වන්නේ, නිසරු දේ සරු වශයෙන්ද සරුදේ නිසරු වශයෙන්ද දකින තැනැත්තා සරු දෙයක් නොලබයි. සරු දෙය සරු වශයෙන්ද නිසරු දෙය නිසරු වශයෙන්ද දකින්නා සරු දෙයම ලබයි.
රජගහ නුවරට නොදුරු බමුණු ගමක කෝලිත හා උපතිස්ස නමින් තරුණ යහළුවන් දෙදෙනෙක් වාසය කරති. සියලු සැප සම්පත් වලින් අනූන මොවුන් දෙදෙනා ඉතා සමීපතම සමගි සම්පන්න යහළුවන් ලෙස කටයුතු කරමින් වැඩුණි. ඉතා රමණීය සිත්කළු නැටුමක් වාර්ෂිකව රජගහනුවර පැවැත්වෙයි. එය නමින් ගිරග්ග සමජ්ජ නම් වේ. කෝලිත උපතිස්ස තරුණ බමුණන් දෙදෙනාද තම පිරිසත් සමඟ මෙම නාට්‍ය සන්දර්ශනය බැලීමට ගියහ. මොවුන්ගේ පැමිණීමද නාට්‍ය සංවිධායකයන්ට මහත් වාසියකි. නැටුම් රංගන විහිළු තහළුවලින් පිරී තිබුණි. මෙය දුටු තරුණයින් දෙදෙනා මහත් කළකිරීමට පත්වුණි. වැඩක් නැති හරසුන් දෙයක් බව තේරුම් ගියේ ජීවිතයේ අලුත් මාවතකට මග පාදමිනි.
මේ අවධියේ සත්‍ය ගවේෂණයේ යෙදුනු අය බොහෝ තැන්වල භාවනානුයෝගීව කටයුතු කළහ. ශ්‍රමණ සම්ප්‍රදාය වේගවත්ව සමාජගතවුණි. සංජය පරිබ්‍රාජකයාද එබඳු අයෙකි. උසස් දැනුමකින් ප්‍රසිද්ධව සිටි සංජය පරිබ්‍රාජක වෙත ගිය කෝලිත හා උපතිස්ස දෙදෙනා ආරාමික වත සමාදන්ව ඒ දහම ඉගෙන ගත්හ.
එම දහමින් ලැබිය හැකි කිසිම මොක් මඟක් නැතැයි තේරුම්ගත් පරිණත බුද්ධියක් ඇති මේ තරුණයින් දෙදෙනා එතැනින් වෙන්ව ගියේ වෙනත් ශාස්තෘවරයෙක් සොයා ය. සත්‍ය දැන ගැනීමට යම් ශාස්තෘවරයෙක් මුණ ගැසුණොත්, නැවත හමු වී එතැන වත සමාදන් වෙමු යැයි කථිකාකර ගෙන දෙදෙනා දෙමඟක පිටත්ව ගියහ.

ඒහි භික්ඛු භාවයෙන් මහණ උපසම්පදාව ලැබූ සිව්සස් දහම් අවබෝධ කර උත්තරීතර රහත් භාවයට පත්ව පළමු රහත් හැටනම ලෙස ධර්ම ප්‍රචාරක කටයුතු වල යෙදීමට බුද්ධානුශාසනය ලැබුණේ ද මෙම වකවානුවේමය. ඒ අතර අස්සජී මහරහතන් වහන්සේගේ දර්ශනය දුටු උපතිස්ස පිරිවැජියා මහත්සේ සොම්නසට පත් වූයේ ශාන්ත වූ ඉරියව් ඇති සංවරශීලී ගමන නිසාය. දැමුණු ඉඳුරන් දෙස බලා පැහැදී “මුන්වහන්සේ වෙතින් සුබසලකුණක් දත හැකි නම් මැනවයි” සිතා පිළිසඳර කතා කොට දහම් පදයක් ඇසූ පමණින් සෝවාන් මහ ඵල ලැබීමට හැකිවිය. ඉන්පසු කෝලිත හමුවීමට ගිය උපතිස්ස තමා ඇසූ දහම ඔහුට ප්‍රකාශ කළේ ය. කෝලිත ද ඒ ඇසූ දහමින් සෝවාන් ඵලයට පත් විය.
තම තමන් ලැබූ උසස් ලාභය සැලකොට සංජය පරිබ්‍රාජකට දන්වමින් බුදුරජාණන් වහන්සේ හමුවීමට යමු යැයි යෝජනා කළත් එයට සංජය අකැමැති විය. “කළයක් ළඟ කෙණ්ඩියක්” වීමට තමා අකැමැති බවත් පවසා එම අදහස් ප්‍රතික්ෂේප කළේ ය. මේ කාරණයට මහත් කම්පාවට පත්ව සිටි සංජය ඒ බව හෙළිනොකොට “බුදුන් කරා පඬිහු යති. මා කරා මෝඩයෝ එති” යැයි පවසමින් බුදුරදුන් සමීපයට යාමට අකැමැති විය. නමුත් උපතිස්ස, කෝලිත දෙදෙන, ටික දෙනෙක් සංජය සමීපයේ නතර කර 250 ක් දෙනා සමගින් බුදුරදුන් වෙත ගොස් පැවිදිව අරහත් තත්ත්වයට පත්වූහ. සම්බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවක දෙනම ලෙස පත්වෙමින් සැරියුත් මුගලන් ලෙසින් බුද්ධශාසනයට මහත් මෙහෙයක් සිදුකරන්නටද ඒ රහතුන් වහන්සේ දෙනමට හැකි විය. මේ ගැන නිතර කල්පනා කර සෝකයෙන් දැවෙන්නට සංජයට සිදුවිය. මේ හේතුකොට ගෙන බුදුරජාණන් වහන්සේ ඉහත ගාථා දෙක දේශනා කළහ.


මේ ලෝකයේ මිනිසා ගමන් කරන මාර්ග දෙකකි. එකක් යහපත් මාර්ගයයි. දෙවැන්න අයහපත් මාර්ගයයි. මේ සඳහා මිනිසා මෙහෙයවන්නේ සිත ය. එතැන සංකල්පනාවෝ මූලික වෙති. මිථ්‍යා සංකල්ප ඇති අය යොමුවන්නේ වැරැදි මාර්ගයට ය. යහපත් මාර්ගයට යන අය තුළ සම්මා සංකප්ප පිහිටයි. සරු නිසරු දෙය තෝරා, නිසරු දේ අතහැර සරු දෙය තෝරා ගැනීමට හැකිවන්නේ සම්මා සංකප්පයෙනි. මිනිසා යනු උසස් මනසක් ඇති සත්වයාය. උසස් මනසින් උසස් සංකල්පනාවෝ ඇති කරගත් බුද්ධාදී උතුමෝ කෙලෙස් දහම් දුරුකර අමරණීය වූහ.

ඒ අමරණීය තත්ත්වයට යා හැකි වන්නේ සිතේ පාරිශුද්ධිය තුළිනි. හිත අකුසලයට බරය. ලෝභ, ද්වේශ, මෝහ, මානය, ඊර්ෂ්‍යා, පළිගැනීම ආදී කෙලෙස් එක්දහස් පන්සියයකින් සිත අඳුරු වී ඇත. එය අඳුරු කාමරයට සමානවේ.
අඳුරේ කිසිවක් නොපෙනේ. එමෙන් අකුසලයෙන් බර වූ සිත් ඇත්තාට හරිමග අවුරයි. නොපෙනෙයි. අඳුර පලවා හැරීමට කාමරය තුළ පහනක් පත්තු කළහොත් අඳුරට ඉඩ නැත. ආලෝකය හැමතැන විහිදෙයි. එමෙන් අඳුරු සිත ආලෝකවත් කිරීමට පින්කම් නමැති පහන් ආලෝකය අවශ්‍යයි.
පහන නිවෙන විට නැවත අඳුර පැමිණේ. එවිට නැවත පහන දැල්විය යුතුයි. එමෙන් සිත තුළ කෙලෙස් අඳුරු දුරු කිරීමට නැවත නැවත පින්කම් කළ යුතු යි. භාවනා වැඩිය යුතුයි. පාරමිතාව ලෙස උගන්වන්නේ එයයි.
වෛරය, ක්‍රෝධය, පළිගැනීම වැනි කෙලෙස් වලින් සිත පිරෙන විට එය කායික හා මානසික දෙඅංශයටම බලපායි. විවිධ රෝගාබාධයන්ටද එය පසුබිමක් වන්නේ ය. වෛරය නමැති කෙලෙස් ගින්දර නිවාදැමීමට හැකිවන්නේ මෛත්‍රියෙනි.
වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන් එය සන්සිඳේ. වෛරී කරන සමාජය දියුණුවට පත් නොවේ. එය එකතැන පල්වෙන ‘දියත්තක්’ මෙනි. දුගඳ හමයි. එහෙයින් සිතේ සරුදම් වගා කිරීමට නිසි මගක් අවශ්‍යය. හරි වැරදි දේ වෙන් කර දීමට ආගමෙන් මහත් පිටුබලයක් ලබාදෙයි. සරු නිසරු, හොඳ නරක, පින් පව්, කුසල අකුසල තෝරා ගැනීමට හැකියාව ලැබෙන තෙක් මිනිසාගේ අභිවෘද්ධියක් දැකිය නොහැකිය.

විලි බිය දෙක හඳුනන සමාජයක් බුදු දහමින් අපේක්ෂා කරයි.

එය සමාජ සාරධර්මයේ පදනමයි. කිරිත්, දියරත් එකතු වූ විට, දියර ඉතුරු කර කිරි වෙන්කර පානය කිරීමේ හැකියාව හංසයාට ඇති බව කාව්‍යලෝකයේ එයි. එමෙන් මෙලොව ඇති හොඳ නරක හඳුනා නරක අතහැර හොඳයැයි සම්මත දේ ගැනීමට මිනිසා බුද්ධිමත් විය යුතුයි. ඒ සඳහා පංචශීලය මූලික පදනම කොට ගෙන දැහැමි ධන උත්පාදනය හා පරිභෝජනය යහපත් කොට මංගල කරුණු ජීවිතයට ආදේශ කර කලණ මිතුරන්ගේ ඇසුරෙන් ඔබේ ජීවිතයද අර්ථවත් කර ගැනීමට අධිෂ්ඨාන කර ගන්න.

 ඔබ සැමට තෙරුවන් සරණයි
 
 ර/බල/ වැලිපතයාය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති,
දම්වැල්ඕඩය රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති
වැලිපත පඤ්ඤානන්ද හිමි .


 ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ මැදින් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ පෙබරවාරි 25 වනදා බදාදා
දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි


No comments:

Post a Comment