බෞද්ධ සැදැහැති ජනතාව කරන පින්කම් වැඩි ම උනන්දුවක් ඇත්තේ කුමක්ද? යනුයෙන් අප ප්‍රශ්නයක් නැඟුවොත් දෙන්නට හැකි කෙටි ම පිළිතුර තමා දන්දීම යන්න. අද අපට වැඩිපුර ම දක්නට ලැබෙන දෙයක් තමා මෙම බොදු දායක දායිකාවෝ මාසයකට වරක්වත් තමන්නේ ගමේ පන්සලට දානයක් දෙන්නට පුරුදු වෙලා ඉන්නවා කියන මේ කරුණ. ඒ විතරක් නොවේ. බොහෝ දායක පිරිස් සිටින පන්සල්වල දායකයන්ට සමහර විට දාන වේලක් පන්සලට දෙන්නට ලැබෙන්නේ මාස තුනකට හෝ හයකට හෝ අවුරුද්දකට වරයි. මාස් පතා දන් දෙන්නට නො ලැබෙතොත් ඒ පිළිබඳ බොහෝ දෙනෙක් වැඩි කැමැත්තක් නැති අවස්ථා ද තිබෙනවා. බොහෝ දෙනෙක් කැමැති මාසිකව දානයක් දෙන්නටයි.
ඉතින් ඒ නිසා සමහරවිට ගමේ පන්සලට උදේට දාන දෙකක්. දවල්ට දාන දෙකක් වශයෙන් හෝ ඊට වඩා වේලකට තුනක් හතරක් වගේත් දානය ලැබෙන පන්සල් අපේ රටේ තිබෙනවා. ඒ හැරුණුවිට මේ උදවිය ම වෙනත් පන්සල්වලට, ළමා නිවාසවලට, මහලු නිවාසවලට, පන්සලේ පොහෝ දින සිල් සමාදන්වන අයට ආදි වශයෙන් විවිධ අවස්ථාවල විවිධ ස්ථානවල විවිධ ආකාරයෙන් දන් දෙනවා. වෙසක්, පොසොන් දිනවල දන්සල්වලට, තම නිවෙස්වල මියගිය අයට පින් දෙන්නට, උපන්දිනය වෙනුවෙන් ආශීර්වාද ලබන්නට, විශාල වශයෙන් දන් දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව දානයෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ තමන්ගේ සිත් සතන්වල හට ගන්නා ලෝභ, දෝස, මෝහ යටපත් කර ගැනීමයි. අලෝභ, අදෝස හා අමෝහ යන මේ සසර දිගු කරන අකුසල මුල් තාවකාලිකව හෝ යටපත් කර ගැනීමයි. ඒ අරමුණට පිටුපා දන්දෙන උදවියත් කොපමණ වත් සමාජයේ දකින්නට අපට හැකියාව තිබෙනවා. සමහර විට තරගකාරීවත්, ප්‍රසිද්ධියත්, තමන්ගේ දීර්ඝ කාලයක් තුළ වැරැදි ලෙස හරිහම්බ කළ ධනය වැය කොටත් දන් දී හිත හදා ගැනීමේ අරමුණ මතත් ඒ තුළින් තමන්ගේ මුලින් කී අපකීර්තිය වසා ගන්නටත් දන් දෙනවා. පුවත්පත්වලත් විශාල ප්‍රසිද්ධියක් ලබා දෙනවා. ඒ සමඟම ඒ තුළින් සමාජයේ තමා පිළිබඳ ඇති වූ නරක නාමය යටපත් කිරීමේ අරමුණ මුදුන්පත් කර ගන්නට උත්සාහ කරනවා. දන් දෙන අය කොතෙකුත් අපේ සමාජයේ ඉන්නවා. එවැනි පටු අරමුණු උඩ දන් දීම සිදු වන්නේ නම් එය හුදු ක්‍රියාවක් පමණක් වන්නට මෙන් ම සසර දිගු කරන ක්‍රියාවක් ද වන්නට පුළුවනි. එයට බලපාන්නේ මේ ක්‍රියාව වෙනුවෙන් දන් දෙන අයගේ සිතේ ක්‍රියාත්මක වන සිතිවිලි පරම්පරාවයි. දන් දෙන තැනැත්තා නිරන්තරයෙන් සිහියෙන් දන් දිය යුතු වෙනවා. එහි දී තමන් විමසිලිමත් විය යුත්තේ වෙන කිසිවක් නොව මෙම දානයෙන් තම සන්තානයෙහි උපදින ලෝභාදි අකුසල මූලයන් කොතෙන් දුරට යටපත් වෙනවාද කියන මේ කරුණ ගැනයි. දන්දෙන්නා ඒ නිසා ම විමසිලිමත්ව සිහියෙන් ම දන්දිය යුතු වෙනවා.
ඒ වුණත් මෙවැනි වැරැදි අරමුණකින් තොරව පිරිසුදු දන්දීමේ අරමුණෙන් ම ක්‍රියා කරන අය ද වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මෙහිදී අපේ අවධානයට ලක්වන්නේ එබඳු උදවිය ගැනයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදයට හේතු වන්නේ ද එවැනි පුද්ගලයන් පිළිබඳවයි. එබඳු උදවිය මෙලොව වශයෙන් හා පරලොව වශයෙන් ඒකාන්තයෙන් ම එහි ප්‍රතිඵල ලබන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයෙහි ඉතා ප්‍රකට ගුණයක් තමා “සන්දිට්ඨික” යන වචනයෙන් පැහැදිලි කරන්නේ උන්වහන්සේගේ සමස්ත ධර්මයම මෙසේ සන්දිට්ඨිකයි.
මේ පිළිබඳ පැහැදිලි විස්තරයක් ඇති සූත්‍ර ධර්මයක් මෙහිදී අපේ අවධානයට ලක්කරමු. එය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සීහ සේනාපති සූත්‍ර ධර්මයයි. එක කාලයක අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරනවා. ඒ කාලයේ දවසක සිහ සේනාපතිවරයා බුදුරජාණන් වහන්සේ එහි වාසය කරන බව දැනගෙන බුදුරජාණන් වහන්සේ වෙත එළඹ එකත් පසෙකට වී හිඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටිනවා. “ස්වාමිනි, දන්දෙන පුද්ගලයාට ඔහුට දැන ගත හැකි දානඵල ගැන පැහැදිලිව අපට කියා දෙන්න පුළුවන් නම් බොහොම හොඳයි.” කියා ප්‍රකාශ කර සිටියා. බුදුරජාණන් වහන්සේ උපමා මඟින් නිදර්ශන සහිතව මෙයට පිළිතුරු දෙනවා.
එහිදී උන්වහන්සේ සිහ සේනාපතිගෙන් මෙසේ ප්‍රශ්නයක් අසා පිළිතුරු ලබා ගනිමින් ම ඒ කරුණ පැහැදිලි කර දෙනවා. “සිහසේනාපතියෙනි, මේ ලෝකයේ ජීවත් වන පුරුෂයන් දෙදෙනෙක් ගැන සිතමු. එයින් එක් අයෙක් කෙරේ ශ්‍රද්ධාව හීනයි, මසුරුකම වැඩියි, තද මසුරුයි, තමා සතු දෙය පිළිබඳ පරිත්‍යාගශීලි නො වෙනවා වගේ ම පරිත්‍යාගශීලි උදවියගේ එම සද්පුරුෂ දානාදි ක්‍රියාත් වළක්වාලීමට ක්‍රියා කරනවා. අනුන්ට ගරහනවා, නින්දා අපහාස කරනවා, මේ අතර අනික් පුරුෂයා මෙයට ප්‍රතිවිරුද්ධව ගති සිරිත් ඇතිව කටයුතු කරනවා. ඔහුට ශ්‍රද්ධාව තිබෙනවා, දන්දීමට වැඩි උනන්දුවක් දක්වනවා, නිතර නිතර දන්දීමට පෙළඹෙනවා, අනෙකුත් අයත් දන්දීමට පොළඹවනවා.විශාල වශයෙන් අනෙකුත් පිරිස් එකතු කරගෙන ගොස් විවිධ දානාදි පින්කම් විවිධ ස්ථානවල සිදු කරනවා. දානපතියෙකුව ජීවත් වෙනවා. මේ දෙදෙනා ගත් විට රහතන් වහන්සේලා මේ දෙදෙනාගෙන් මුලින්ම අනුකම්පා සහගත වන්නේ දෙවනුව කියැවුණු ශ්‍රද්ධාවන්ත අයටයි. උන්වහන්සේලා එබඳු අය සිටින තැන් සොයා ගෙන ගොස් ඒ අයට ධර්මය දේශනා කරනවා. අප විසින් පිහිට විය යුතු එබඳු අය කුමන පළාත්වල වෙසෙනවාදැයි සොයා බලා ඔවුන්ට නිරන්තරයෙන් අනුශාසනා කරනවා.
ඔවුන්ගේ වචනය අදහනවා. මෙය තමා ලෝක සත්‍යයය” කියා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. එයින් කියැවෙන මූලික කරුණ වන්නේ රහතන් වහන්සේලාගේ පවා ප්‍රසාදයට ඔවුන් සැබවින්ම පත් වෙනවා. ඔවුන් සමාජයේද පි‍්‍රය මනාප අය බවට පත් වෙන බව කියැවෙනවා. දන්දීමෙහි පළමුවෙනි සන්දිට්ඨික ආනිසංශය මෙයයි. දෙවන ආනිසංශය ද මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එනම් රහතන් වහන්සේලා පළමුවෙන්ම හමුවීමට කැමැත්තක් දක්වන්නේත් එසේ කැමැති වී එළඹෙන්නේත් මේ දෙදෙනා අතුරෙන් දෙවැනි කී ශ්‍රද්ධාවන්ත දායකයා වෙතට යි.
තෙවන ආනිසංශය නම් මේ දෙදෙනා දන් දෙන අවස්ථාවක රහතන් වහන්සේලා ඔවුන් අතුරෙන් පළමුව දන් පිළිගැනීමට වඩින්නේ දෙවනුව කියැවුණු ශ්‍රද්ධාවන්ත දානපතියා වෙතටයි. හතරවන ආනිසංශය වනනේ මේ දෙදෙනාටම යම් අවස්ථාවක රහතන් වහන්සේලා ධර්මය දේශනා කරනවා නම් පළමුවෙන්ම ධර්මය දේශනා කරන්නේ දෙවනුව කී ශ්‍රද්ධාවන්ත දානපතියාටයි.
මේ දෙදෙනාගෙන් කීර්ති ඝෝෂාව වැඩිපුර ම පැතිරී යන්නෙත් දෙවනුව කියැවුණු ශද්ධාවන්ත දානපතියාගෙයි. ඔහුගේ කීර්ති ඝෝෂාවෙහි විශේෂයක් ද තිබෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ දානපතියාගේ කීර්ති ඝෝෂාව බොහෝ දෙනාගේ මෙලොව පරලොව සුගතියට හේතුවන කල්‍යාණ, සද්පුරුෂ ගුණයෙන් යුක්ත වීමයි. බොහෝ දෙනාට ආදර්ශයක් වන බවයි. මෙය පස්වන ආනිසංශයයි.
එමෙන් ම මේ දෙදෙනාගේ තවත් වෙනසක් පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ සයවැනි ආනිසංශය මෙසේ දක්වනවා. මෙයින් දෙවන කී ශ්‍රද්ධාවන්ත දානපතියා යම් ජන සමූහයක් ඉදිරියට යන විට රාජකීයයන් ඉදිරියට හෝ, වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී අන්‍යාගමික පිරිසක් හමුවට හෝ, පොදු සාමාන්‍ය පිරිසක් හමුවට යන විට හෝ භික්ෂු මහාසංඝයා ඉදිරියට යනවිට හෝ කිසිදු පැකිළීමක් නොමැතිව, තැති ගැනීමක් නොමැතිව ප්‍රබුද්ධ ප්‍රියමනාප පෙනුමකින් හෝ සැක බියකින් තොරව ම එඩිතරව ගමන් කරනවා. ඔහුට වසං කිරීමට කිසිවක් නැහැ. විවෘත බවක් පෙන්නුම් කරනවා.
හත්වැනි ආනිසංශය පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පරලොව විපාක ලැබෙන කරුණක් පිළිබඳවයි. එනම් දෙවනුව කී ශ්‍රද්ධාවන්ත දානපතියා මේ ලෝකයේ ඔහු මරණයට පත් වූ කල්හි සුගතියෙහි, දිව්‍යලෝකයන්හි උත්පත්තිය ලබන බවයි. මෙහිදී සිහසේනාපතිවරයා ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කරනවා. එය නම් හයවන ආනිසංශය දක්වා වූ කාරණාවලින් දක්වා තිබෙන්නේ මේ ලෝකයේ දී ම ශ්‍රද්ධාවත් දානපතියා විසින් අත්විඳිනු ලබන ආනිසංශයයි. එය එහෙම වුණත් හත් වන ආනිශංසය මෙලොව දී දැකගන්නට, අත් විඳින්නට පිළිවන්කමක් නැහැ. ඒ කාරණාව සිහසේනාපතියාට වැටහෙන, පෙනෙන බව ඔහු ප්‍රකාශ කරනවා. ඒ වුණත් පරලොව සුගතිගාමී වන බව සිහසේනාපතියාට තම බුද්ධි මට්ටමෙන් පෙනී යන්නේ නැහැ. ඒ අවස්ථාවෙහි සිහසේනාපතියා ප්‍රශ්නයක් බුදුරජාණන් වෙත ඉදිරිපත් කරනවා. “ස්වාමීනි මුලින් කී ආනිසංශ හය මටත් හොඳට දැනෙනවා. වැටහෙනවා. නමුත් ගැටලුව තිබෙන්නේ හත් වෙනි ආනිසංශයයි. එය කොහොමද ස්වාමීනි දකින්නේ” එයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ එය පැහැදිලි කරමින් දක්වා සිටින්නේ එය ඒ ආකාරයෙන් ම සිදුවන බව එය ද මහත් ශ්‍රද්ධාවෙන් අදහා ගත යුතු බවය.
මේ ආකාරයෙන් දන්දීමෙන් ලැබෙන ආනිශංස අපට ම අද්විඳිය හැකි සන්දිට්ඨික ගුණයෙන් යුක්ත වන ආකාරය අප තේරුම් ගෙන අවබෝධයෙන් ම, සිහියෙන් ම දන්දීමයි වැදගත් වන්නේ.
අනුරාධපුර
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ
ජනවාරි 04 වනදා ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක්
ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment